අලුත් අවුරුදු සතිය වන විට ආණ්ඩුව තිබුණේ රත් වූ යකඩයක් හා සමානවය. මන්දයත් එක අතකින් ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් ගොඩනැඟෙමින් තිබුණු අතර එම කැරැල්ලට ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ 14ක් එකතුව තිබිණ. අනෙක් අතට ආණ්ඩුවේම මන්ත්‍රිවරයකු වූ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා තමන්ට ජනාධිපතිවරයා දුරකතනයෙන් කතාකොට පරුෂ වචනයෙන් බැනවැදුණු බවට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට ආණ්ඩුව ඇතුළේ දේශපාලන බෝම්බයක් පත්තුකොට තිබිණ. මීට අමතරව ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල වැඩ කොටසක් කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෝට්සිටිය චීනයට ලබාදීමට ආණ්ඩුව උත්සාහ දරන බව කියමින් තවත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කොට තිබීම නිසාද අවුරුදු සතිය වන විට ආණ්ඩුව තිබුණේ ගිනි ගොඩක් උඩය. මේ නිසා බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියේ අවුරුදු නිවාඩුවෙන් පසුව ආණ්ඩුව ඇතුළේ ගිනිකෙළි සංදර්ශන දැකගත හැකි වේ යැයි කියාය.
විමල්ගේ ගෙදර මහ රෑ රහස් සාකච්ජාවක්….
අලුත් අවුරුදු නිවාඩුව නිමවී රාජකාරි ආරම්භ කළ පළමු දින වූ ඉකුත් සඳුදා (19දා) දින අරලියගහ මන්දිරයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමත්, පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමත් කැඳවා තිබීම නිසා මෙම රැස්වීම් දෙකම උණුසුම් වනු ඇති බවටද බොහෝ දෙනා මත පළකර තිබිණ. විශේෂයෙන්ම ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේ මාතෘකාව බවට පත්වීමට නියමිතව තිබුණේ මැයි රැලිය පැවැත්වීමත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීමත්ය. මෙහිදී ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් වෙන්වී වෙනම පොළොන්නරුවේ මැයි දින රැස්වීම පැවැත්වීමට ඒ වන විටත් සැලැසුම් කර තිබූ අතර, විමල්, ගම්මන්පිල ඇතුළු කණ්ඩායම එම මැයි රැලියට සහභාගි වනු ඇති බවට ආණ්ඩුව ඇතුළේ රාවයක්ද යමින් තිබිණ. මීට අමතරව පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාසයකින් එක් පක්ෂයකට අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කළ හැකි බවට වගන්තියක් ඇතුළත් කර තිබීම නිසා ඊට විමල් ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්ව රැසක්ම දැඩි විරෝධයක්ද පළකොට තිබිණ. මේ නිසා පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන සඳුදා දිනට ප්‍රථම ඉරිදා (18දා) දිනයේදී විමල්ගේ නිල නිවසේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඊට විමල්, ගම්මන්පිල, වාසුදේව ඇතුළු පක්ෂ නායකයන් රැසක්ම සහභාගිව සිටියහ. එහිදී පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ලක්වන කරුණු පිළිබඳව පිරිස දීර්ඝ ලෙස සාකච්ඡා කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
යෝෂිතට කතා කර පනස් එකේ කතාවේ ඇත්ත නැත්ත අහයි…
කෙසේ වෙතත් පසුව විමල් ඇතුළු පිරිසට දැනගන්නට ලැබුණේ මෙම පක්ෂ නායක රැස්වීමට පක්ෂ නායකයන්ට අමතරව ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු 51ක කණ්ඩායමක් කැඳවීමට සැලැසුම් කර ඇතැයි කියාය. ඒ අනුව වහාම මෙම පාර්ශ්වය කළේ අගමැතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා වන යෝෂිත රාජපක්ෂගෙන් ඒ සම්බන්ධයෙන් විමසා සිටීමය. යෝෂිත කියා සිටියේ මෙය ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් වන නිසා ඒ ඒ පක්ෂ නියෝජනය කරන නියෝජිතයන්ද කැඳවීමට පියවර ගෙන ඇති බවකි.
විමල්-උදය-වාසු මහින්දව හමුවෙයි
යෝෂිතගේ මෙම දැනුම්දීමත් සමඟ විමල් ඇතුළු කණ්ඩායම තීන්දු කළේ මහින්දව මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ අනුව මහින්දව මුණගැසුණු විමල්, වාසු, ගම්මන්පිල තිදෙනා පක්ෂ නායක රැස්වීමට මේ සා විශාල පිරිසක් කැඳවා ඇති බැවින් යම් යම් කරුණු කාරණා සාකච්ඡා කිරීමට නොහැකි බවත්, ඒ සඳහා පක්ෂ නායකයන් පමණක් සහභාගි වන වෙනම රැස්වීමක් කැඳවීමට කටයුතු කරන ලෙසත් මහින්දගෙන් ඉල්ලා සිටියේය. නමුත් මහින්ද විමල්ලාගේ මේ ඉල්ලීම වැඩිය ගණන් ගන්නා ආකාරයක් පෙන්වූයේ නැත. වැඩි ප්‍රතිචාරයක් නොදක්වාම මහින්ද කියා සිටියේ මෙය පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් නොවන බවත්, ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් නිසා ඒ ඒ පක්ෂවල නියෝජිතයන් ඊට කැඳවා ඇති බවත්ය.
මහින්ද වැඩිය ගණන් නොගනී: ඒක එකක්… මේක එකක්….
“මේක ඇවිල්ල පාර්ලිමේන්තුවෙ තියෙන පක්ෂ නායක රැස්වීමක් නෙමෙයි. මේක ආණ්ඩුව ඇතුළෙ තියෙන පක්ෂ නායක රැස්වීමක්. ඒක එකක්. මේක එකක්. ඒ හින්ද මේකට ගොඩක් අයට ආරාධනා කරල තියෙනවා. ඕගොල්ලන්ට වෙනම රැස්වීමක් ඕනෙ නම් අපි ඉස්සරහට ඒක බලමු..” යැයි කියමින් මහින්ද එම සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගත්තේය. ඒ හේතුවෙන් විමල්, උදය, වාසු යන තිදෙනා පක්ෂ නායක රැස්වීමෙන් පිටව යන ආකාරයක් දැකගත හැකි විය.
ශ්‍රී ලනිපය විමල්ලාගෙන් ගැලවෙයි
ඉන් අනතුරුව මහින්දගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම ආරම්භ වූයේ මේ තිදෙනා නොමැතිවය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පසුගිය කාලය පුරාම විමල් හා උදය විසින් තැන් තැන්වල කැඳවූ රැස්වීම්වලට ශ්‍රීලනිපයද සහභාගිව සිටියත්, විමල්, උදය, වාසු නොසිටි මෙම රැස්වීමට ශ්‍රීලනිපය සහභාගිව සිටීමය. ශ්‍රීලනිපය වෙනුවෙන් එහි නියෝජිතයා ලෙස පැමිණ සිටියේද වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාද මෙම රැස්වීමට සහභාගිව සිටීම නිසා පැමිණ සිටියවුන් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කෙළින්ම බැසිල්ගෙන් විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී දැනට මතුව ඇති ප්‍රධාන ප්‍රශ්නය වූ එක් කොට්ඨාසයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කළහොත් ඉදිරියේදී සන්ධාන දේශපාලනය අසීරු වනු ඇති බව බැසිල්ට පෙන්වා දුන්නේ ඩලස්ය. බැසිල් ඊට ඍජු පිළිතුරක් ඊට ලබාදීම විශේෂ සිදුවීමක් විය.
ඩලස්ගේ ප්‍රශ්නයට බැසිල්ගෙන් කෙළින් පිළිතුරක්…
“පෙළක් අය ඔය වගේ මතයක් හදන්න යනවා. හැබැයි ඒක වැරැදියි. අපි අතර හොඳ අවබෝධයක් තියෙනව නම් එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නෙ නැහැ. මේ ගමන අපි ඔක්කොම යන්න ඕනෙ අන්‍යොන්‍ය අවබෝධය මත. එතකොට ගැටලු ඇති වෙන්නෙ නැහැ…” යනුවෙන් බැසිල් කියද්දී කිසිවකුත් ඒ සම්බන්ධයෙන් තවත් ප්‍රශ්න කරන්නට ගියේ නැත. රැස්වීමට සහභාගිව සිටි මෛත්‍රිපාලද සිටියේ අදහස් දක්වනවාට වඩා සාකච්ඡාවේදී මතුවන කරුණුවලට කන්දීගෙනය.
කෑම මහින්දගෙන්: බීම ජොන්ස්ටන්ගෙන්…
මෙම සාකච්ඡාවෙන් අනතුරුව සවස මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. මීට පෙර මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට සැලැසුම් කර තිබුණත් අවසන් මොහොතේ එය අරලියගහ මන්දිරයට ගෙන ඒමට අගමැතිවරයා පියවර ගත්තේය. ඒ අලුත් අවුරුදු සමය නිමිත්තෙන් මන්ත්‍රිවරුන්ට රාත්‍රි භෝජන සංග්‍රහයක්ද පිරිනැමීම අරමුණු කරගෙනය. අගමැතිවරයා විසින් රාත්‍රි භෝජන සංග්‍රහයක් සියලුම මන්ත්‍රිවරුන්ට ලබාදීමට සැලැසුම් කර ඇති බව වාර්තා වීමත් සමඟ ජොන්ස්ටන්ද කියා සිටියේ එසේ නම් තමන්ගේ පෞද්ගලික වියදමින් පැමිණෙන සියලුම දෙනාට මධුවිත ලබාදීමට කටයුතු කරන්නම් යැයි කියාය.
රැස්වීමට හදිසියේම ඩිජිටල් ස්ක්‍රීන්- ප්‍රොජෙක්ටර් අරන් එයි: බැසිල් එන බවට කසුකුසු
කෙසේ වෙතත් රැස්වීම ආරම්භ වීමට මිනිත්තු කිහිපයක් තබා හිටි හැටියේම රැස්වීම පැවැත්වෙන ශාලාවට පැමිණි කණ්ඩායමක් දැවැන්ත ඩිජිටල් තිර ශාලාව වටා ස්ථාපිත කරන ආකාරයත්, යම්කිසි ඉදිරිපත් කිරීමක් (ප්‍රසන්ටේෂන්) කළ හැකි ආකාරයට ප්‍රොජෙක්ටර්ස් සවි කරන ආකාරයත් සියල්ලන්ටම දැකගත හැකි විය. ඒ අනුව ඇතැමුන් ඒ පිළිබඳව විමසද්දී මන්ත්‍රිවරුන් අතර ගිය කසුකුසුවකින් කියැවුණේ බැසිල් රාජපක්ෂ මහතාද මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමට සූදානමින් සිටින බවත්, එහිදී ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ ඉදිරිපත් කිරීමක් බැසිල් විසින් සිදුකිරීමට සැලැසුම් කර ඇති බවත්ය.
www.mawratanews.lk වෙබ් එකේ BREAKING NEWS එකක්
මේ පුවත මොහොතක් යෑමට මත්තෙන් රාජ්‍ය රහස් තීරයටද ආරංචි විය. ඒ අනුව අප වෙබ් අඩවිය වන www.mawratanews.lk වෙබ් අඩවියේ එම පුවත ඒ මොහොතේම විශේෂ පුවතක් ලෙස රටට අනාවරණය කිරීමටද කටයුතු කළෙමු. ඊට හේතු වූයේ සාමාන්‍යයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම්වලට බැසිල් සහභාගි නොවීමය. බැසිල් මීට සහභාගි වන්නේම විශේෂ හේතුවක් මත බවට තොරතුරු ලැබීම මත අප එම පුවත විශේෂ පුවතක් ලෙස ඒ මොහොතේම රටට අනාවරණය කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් අවසන් මොහොතේ බැසිල් එම රැස්වීමට සහභාගි නොවූ අතර ඊට හේතුවක්ද ඉදිරිපත් නොවිණ.
විමල්-උදයලා එයි: විජේදාස මගහරී
මීට අමතරව අප www.mawratanews.lk වෙබ් අඩවිය ඔස්සේ මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම සම්බන්ධයෙන් තවත් විශේෂ කාරණයක්ද අනාවරණය කළෙමු. ඒ, ආණ්ඩුව ඇතුළේ හිඳිමින් ආණ්ඩුවට ප්‍රශ්න ඇති කරන විමල්, උදය, විජේදාස ඇතුළු කණ්ඩායමට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන් සූදානමින් සිටින බවය.
උදෑසන අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායක රැස්වීමට විමල්, වාසු, උදය සහභාගි නොවූ නිසා බොහෝ දෙනා සිතා සිටියේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමටද ඔවුන් සහභාගි නොවනු ඇතැයි කියාය. නමුත් විමලුත්, උදයත් මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට එකට සහභාගි වනු දැකගත හැකි විය. නමුත් ආණ්ඩුව දැඩිව විවේචනය කළ විජේදාස ඊට සහභාගිව නොසිටීම විශේෂ සිදුවීමක් විය.
විමල් පළිගැනීමට විරුද්ධ වෙයි
මෙහිදී ආරම්භයේදීම මතුවූ මාතෘකාවක් වූයේ දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. ඒ සම්බන්ධයෙන් සියල්ලන්ටම කලින් සිය අදහස් ඉදිරිපත් කළ විමල් කියා සිටියේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කොට ක්‍රියාත්මක කළහොත් එය වැරැදි පූර්වාදර්ශයක් වනු ඇතැයි කියාය. මන්ද යත් එම වාර්තාව හරහා විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුගේම ප්‍රජා අයිතිය අහෝසි කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කොට ඇති නිසා පසු කලෙකදී එය ආණ්ඩු පක්ෂයටම පාරා වළල්ලක් විය හැකි බව විමල්ගේ මතය විය.
කියපු ගමන් නැගිට යයි
“මේකෙ තියෙනවා විපක්ෂයේ කිහිපදෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනෙ කියලා. විපක්ෂයත් දැන් ඒක සමාජගත කරලා ඉවරයි. හැබැයි අපි මේක පාර්ලිමේන්තුවට ගේනව නම් එකක් හිතේ තියාගන්න ඕනෙ. අපි මේව විපක්ෂයට කළා වගේම පසු කාලෙකදි අපේ අයටත් මේවා වෙනවා කියල මතක තියාගන්න. ඒ හින්ද මේක ගැන කතා නොකර ඉන්න ඕනෙ කියන එක තමයි මගේ මතය…” යනුවෙන් කී විමල් ඒ පිළිබඳව අනෙකුත් මන්ත්‍රිවරුන්ගේ අදහස් අසා දැන ගැනීමට ප්‍රථම හදිසි කාර්යයක් යෙදී ඇති බව පවසමින් මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමෙන් පිටව යෑමට කටයුතු කළේය. විමල් එසේ සාකච්ඡාවෙන් නැඟිට ගියද උදය තවදුරටත් සාකච්ඡාවේ සිටින ආකාරයක්ද එහිදි දැකගත හැකි විය.
කෙසේ වෙතත් විමල්ගේ අදහස් දැක්වීමෙන් පසු කතා කළේ ගෙවිඳු කුමාරතුංගය. ගෙවිඳුද අදහස් දැක්වූයේ විමල්ගේ මතය තහවුරු කරමිනි. ඒ සඳහා උදාහරණද ගෙනහැර පාමින් අදහස් දැක්වූ ගෙවිඳු, මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එජාප රජය පියවර ගැනීම හරහා එජාප ආණ්ඩුව රට ඇතුළේ අප්‍රසාදයට පත්වූ ආකාරයත්, එම ආණ්ඩුව කඩාවැටුණු ආකාරයත් පෙන්වා දුන්නේය.
ගෙවිදුත් විමල්ගෙ මතයේ…
“මමත් ඉන්නෙ විමල් ඇමැතිතුමා කියපු ස්ථාවරයේමයි. දේශපාලනය කිරීම එකක්. නමුත් මේ වගේ වැඩ කිරීම තවත් එකක්. මොකද මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු එක යූ.ඇන්.පී. එකට පාරාවළල්ලක් වුණා. මේ පළිගැනීමේ දේශපාලන සංස්කෘතිය දැන්වත් අපි නවත්වන්න ඕනෙ…” යනුවෙන් කියමින් ගෙවිඳු අදහස් දක්වද්දී ඊළඟට අදහස් දැක්වීමට නැගිට්ටේ නාමල්ය. නාමල් කතා කළේ යහපාලන ආණ්ඩුවේ පළිගැනීමේ දේශපාලනයට ලක්වූ පවුලක සාමාජිකයකු ලෙසටය.
නාමල් පළිගත්ත හැටි මතක් කරයි
“ගිය ආණ්ඩුව කාලෙ වඩාත්ම දේශපාලන පළිගැනීමට ලක්වුණේ අපේ පවුල. අපේ පවුලෙ හැමෝම වගේ හිරේ දැම්ම. අපිට මානසිකව වද දුන්නා. හැබැයි එහෙම කළා කියලා ඒ අයගෙන් පළිගන්න ඕනෙ කියන ස්ථාවරයේ මම නෑ. හැබැයි මමත් මේ කොමිෂන් වාර්තාව ගැන හොයලා බැලුවා. ඒකෙ ඔය කියන තරම් ප්‍රශ්නයක් නෑ. ප්‍රජා අයිතිය අහෝසි කරන කතාව විපක්ෂය රට ඇතුළෙ කරන කැම්පේන් එකක් විතරයි. ඒකෙ කොහෙවත් කියල නෑ පාර්ලිමේන්තුවෙ මේ වාර්තා සම්මත කරලා ඒ අයගෙ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනෙ කියලා. ආණ්ඩුව වුණත් එහෙම තීන්දුවක් අරන් නෑ…” යන්න නාමල්ගේ අදහස විය.
සියල්ලන්ම හොල්මන් කරමින් සබ්‍රි කරපු කතාව
නාමල්ගෙන් අනතුරුව කතා කරන්නට පටන් ගත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සියල්ලන්ම පුදුමයට පත්කරමින් අලි සබ්‍රිද මෙම වාර්තාව විවේචනයට ලක්කිරීමට කටයුතු කිරීමය. එහිදී අලි සබ්‍රි පෙන්වා දුන්නේ මෙම කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා තියා ඒ පිළිබඳව කතා කිරීමට හෝ අවශ්‍ය නැති බවය.
මේ සියල්ලන්ගේම අදහස් දැක්වීමෙන් අනතුරුව අගමැතිවරයාද සිය ස්ථාවරය ඒ සම්බන්ධයෙන් මන්ත්‍රි කණ්ඩායමට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. අගමැතිවරයාද පෙන්වා දුන්නේ මේ පිළිබඳව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී ප්‍රජා අයිතිය අහෝසි කිරීමක් පිළිබඳව කිසිවකු වචනයක් හෝ කතා කළ යුතු නැතැයි කියාය.
ඒක ගැන කතා කරන්න එපා-මහින්ද
“පසුගිය ආණ්ඩුව අපේ පවුලෙන් පුදුම විදිහට දේශපාලනිකව පළිගත්තා. මගේ සහෝදරයෝ හිරේ දැම්මා. මගේ ළමයි හිරේ දැම්මා. අපේ පවුලටම දේශපාලන වශයෙන් විඳවන්න සිද්ධ කළා. හැබැයි මේවා අපි කරන්න යන්න ඕනෙ නෑ. මේ විවාදයේදී ප්‍රජා අයිතිය අහෝසි කිරීමක් ගැන කවුරුවක්වත් වචනයක්වත් කතා කරන්න ඕනෙ නෑ…” යනුවෙන් කියමින් මහින්ද එම මාතෘකාව අවසන් කිරීමට කටයුතු කළේය.
ඉන් අනතුරුව මන්ත්‍රිවරයෙක් මෙම පළිගැනීමේ වාර්තාවේම සඳහන් වන හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සම්බන්ධ මාතෘකාව පිරිසේ අවධානයට ලක්කළේය. මන්ත්‍රිවරයා විමසා සිටියේ හිටපු අගවිනිසුරුවරයා ඉවත් කිරීමේ ක්‍රමවේදය නීත්‍යානුකූල නොවන බවට මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්විය යුත්තේ කවරාකාරයෙන්ද යන්නත්ය.
මොහාන් ගැන කතාකළොත් ගහන්න වෙන්නෙ අපේ අයට…
එහිදී අගමැතිවරයා උපහාසයෙන් සිනාසෙමින් දුන්නේ අපූරු පිළිතුරකි.
“ඒ ගැන කතා නොකර ඉන්න එක වඩා හොඳයි. මොකද ඒ ගැන කතා කරන්න ගියොත් අපේ අයටම තමයි ගහන්න වෙන්නෙ. ඒ නිසා ඒකත් මඟහැරියොත් හොඳයි…” යන්න අගමැතිවරයාගේ පිළිතුර විය.
අපේක්ෂකයන් තුනේ යෝජනාව සම්මතයි…
ඉන් අනතුරුව පසුපෙළ මන්ත්‍රිවරුන් පළාත් සභා පැවැත්විය යුතු බවට වූ යෝජනාවත්, එක් කොට්ඨාසයකින් අපේකයන් තිදෙනකු ඉදිරිපත් කළ යුතු බවට වූ යෝජනාවත් මන්ත්‍රි කණ්ඩායමට ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට පියවර ගත්තේය. මෙහිදී මන්ත්‍රිවරුන් සියලුම දෙනාම පාහේ අත උස්සද්දී දයාසිරි ඇතුළු කිහිපදෙනකු සිනාසෙමින් සිටින ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී විමල්ලාට, ගම්මන්පිලලා, විජේදාසලාට පහර පිට පහර එල්ල වනු ඇති බවට බොහෝ දෙනා සිතා සිටියත් කිසිවකුත් ඔවුන්ට වචනයකින් හෝ පහර ගැසීමට කටයුතු නොකිරීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයට මන්ත්‍රිවරුන් සියලු දෙනාම පාහේ සහභාගි වූ අතර, මධ්‍යම රාත්‍රිය වන තෙක් බොහෝ මැති ඇමැතිවරුන් මධුවිතෙන් සන්තර්පනය වන ආකාරයක්ද දැකගත හැකි විය.
රාජපක්ෂවරුන් අතර විශේෂ සාකච්ජාවක්
මේ ආකාරයට මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න පිළිබඳව කිසිවක් සාකච්ඡා නොවුණත් ආණ්ඩුව ඇතුළේ මතුව ඇති අර්බුදයන් සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් අතර පසුගිය සතියේ විශේෂ සාකච්ඡාවක් ඇතිවිය. ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාද සහභාගිව සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී තිදෙනා අතර සාකච්ඡා වූයේ ආණ්ඩුව ඇතුළේ ගැටුම් ඇති කරන, එම ගැටුම් ආණ්ඩුවෙන් එළියට අරන් යන සහ රට හමුවේ ආණ්ඩුව අපහසුතාවට ලක්කරන මැති ඇමැතිවරුන් පිළිබඳවය. ඒ පිළිබඳව පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව තිදෙනාම එක් තීන්දුවකට එළැඹියේය. ඒ, ආණ්ඩුවට කුමන අවාසියක් සිදුවුවද ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුව අපහසුතාවට පත්කරන සියලු දෙනාම සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගත යුතු යැයි කියාය. එනම් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය වුවහොත් කිසිදු පැකිලීමකින් තොරව ඒ සියලු දෙනාම ආණ්ඩුවෙන් ඉවත් කළයුතු යැයි කියාය. එය ජනාධිපතිවරයාට හුරු පුරුදු ස්වරූපයෙනුත්, අගමැතිවරයාට හුරු පුරුදු ස්වරූපයෙනුත් එම මැති ඇමැතිවරුන්ට ඉඟි කළ යුතු බවටද එහිදී තීන්දු විය.
කුමන්ත්‍රණකාරයන්ගේ නම් ගම් සියල්ල බැසිල් එළියට දමයි…
මීට අමතරව මෙසේ ආණ්ඩුව අපහසුතාවට පත්කරන පිරිස කවුද, ඔවුන් සාකච්ඡා පවත්වන්නේ කුමන ස්ථානවලද, කුමන කාර්යාලවලද, ඊට සහභාගි වන පුද්ගලයන් කවුද, එමෙන්ම එම කාර්යාලවලට යන එන පුද්ගලයන් කවුද, ඔවුන්ගේ අරමුණු කුමක්ද, ඇතැමුන් මෙහෙයවන පිරිස් කවුද ආදී වශයෙන් දීර්ඝ විස්තරයක්ද බැසිල් විසින් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම පිරිස් සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමටද එහිදී රාජපක්ෂවරුන් අතර එකඟතාවයක් ඇතිව ඇති බවක් දැනගන්නට ඇත.
විමල්ලා රහසේම මහින්ද හමුවී ෂේප් වෙයි
කෙසේ වෙතත් මේ ආකාරයට ආණ්ඩුව අපහසුතාවට පත්කරන මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් බැසිල් විශේෂ අනාවරණයක් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් සිදුකොට ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමඟ විමල් සහ උදය ගම්මන්පිල පසුගිය බදාදා දිනයේදී කිසිවකුටත් නොදන්වා අගමැතිවරයා හමුවීමට පියවර ගත්හ. සාමාන්‍යයෙන් මෙවැනි හමුවීමකින් පසු විමල් හා උදය ඒ බව තමන් යටතේ ක්‍රියාත්මක වෙබ් අඩවි වෙත හෝ තමන් දන්නා කියන අනෙකුත් වෙබ් අඩවිවලට ඡායාරූප සහිතව ලබාදීම සිරිතක් වුවත් මෙම හමුව පිළිබඳව කිසිදු පුවතක් ඔවුන් මාධ්‍ය වෙත ලබාදීමට පියවර ගෙන තිබුණේ නැත. මාධ්‍යද මෙවැනි හමුවක් පිළිබඳව කිසිවක් වාර්තා කළේ නැත. නමුත් දෙපැත්තෙන්ම හැංගූ මෙම කරුණ අනාවරණය කර ගැනීමට රාජ්‍ය රහස් තීරයට හැකි විය.
මෙහිදී විමල් හා උදය අගමැතිවරයා මුණගැසී කතාබහ කරමින් පෙන්වා සිටියේ අලුත් අවුරුද්දට අගමැතිවරයාට සුබ පැතීමට තමන් පැමිණි බවකි. අගමැතිවරයාත් වෙනත් කිසිදු කරුණක් පිළිබඳව සාකච්ඡා නොකොට විමල්, උදය කියන කරුණුවලට ඒ ආකාරයෙන්ම උත්තර දෙන ආකාරයක්ද දැකගත හැකි විය. මේ තත්ත්වය මත මෙම සාකච්ඡාවේදී කිසිදු දේශපාලන කරුණක් විමල් හා සාකච්ඡා නොකිරීමට අගමැතිවරයා වගබලාගෙන තිබීමද විශේෂ කරුණක් විය.
ජනපතිගෙන් මැතිඇමැතිවරුන්ට ‘අපොයින්ට්මන්ට්’
පෝට්සිටිය ඉලක්ක කරගෙන ආණ්ඩුවේ මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවටම එරෙහිව එල්ල කළ බරපතළ ප්‍රහාරය පසුගිය සතියේ රටේම අවධානයට ලක්විය. ඒ හා සමානවම රටේ මාතෘකාව බවට පත්වූයේ මෙම ප්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයා තමන්ට දුරකතන ඇමැතුමක් ලබාදී පරුෂ වචනයෙන් කතා කළ බවට කියමින් විජේදාස පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවය. එම මාධ්‍ය සාකච්ඡාවෙන් පසු එදිනම දහවල් ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යම් යම් කරුණු කිහිපයක් කීවද විජේදාස ජනාධිපතිවරයාට කළ චෝදනාව පිළිබඳව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් වූයේ නැත. නමුත් පසුගිය සතියේ ජනාධිපතිවරයා එක්තරා තැනකදී මේ සම්බන්ධයෙන් විශේෂ සඳහනක් කර තිබිණ. ඒ ඉකුත් සඳුදා දින තමන් මුණගැසීමට පැමිණි ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයකුටය.
විජේදාසට කුණුහරුප කී චෝදනාව ගැන ජනපති පළමු වරට කතා කරයි
පසුගිය ඉරිදා ජනාධිපති කාර්යාලයෙන් ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට කළ දැනුම්දීමකින් කියැවුණේ සඳුදා (19දා) දිනය පුරාම ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින බවත්, වේලාවක් වෙන්කර ගැනීමෙන් අනතුරුව ඕනෑම කෙනකුට පැමිණ ජනාධිපතිවරයා මුණගැසිය හැකි බවත්ය. එම දැනුම්දීමට අනුව පෙළක් මැති ඇමැතිවරුන් කෙළින්ම පැමිණ ජනාධිපතිවරයා හමුවී අලුත් අවුරුද්දට සුබ පතා කෙටි සාකච්ඡාවල නිරත වූ අතර ඇතැම් මැති ඇමැතිවරුන් දුරකතනවලින් ජනාධිපතිවරයාට කතාකොට අවුරුදු සුබපැතුම් එක්කළ ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් මෙම අවස්ථාව ජනාධිපතිවරයා ඒ වන විටත් රට ඇතුළේ උණුසුම්ව පැවැති විජේදාසගේ චෝදනාව පිළිබඳව සිය මතය එළියට දැමීමට අවස්ථාවක් කරගත් ආකාරයක් දැකගත හැකි විය. ඒ හිටපු අමාත්‍යවරයකු පැමිණ තමන් සමඟ සාකච්ඡා කරන අතරවාරයේදීය. ඒ අනුව මෙම හිටපු අමාත්‍යරයා සාදරයෙන් පිළිගත් ජනාධිපතිවරයා ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව කෙළින්ම පිවිසියේ විජේදාසගේ මාතෘකාවටය.
සහතික ගැන සීඅයිඩී පරීක්ෂණයක්
“බලන්න මම විජේදාසට කුණුහරුපෙන් කතා කළා කියල එයා කියනවා. හැබැයි මම බැන්නෙ නෑ. මොකද මම දැනන් හිටිය එයා මේ කතාව රෙකෝඩ් කරනවා කියලා. ඒ හින්ද මම එයාට කතා කරල කිව්වෙ ඔබතුමා උගතෙක් කියනවා, ජනාධිපති නීතිඥවරයෙක් කියනවා ඉතින් එහෙම තියෙද්දි ඇයි මේ වගේ කතා කරන්නෙ කියලා. ඔබතුමා ඔය කියන කිසි දෙයක් පෝට් සිටිය ඇතුළෙ වෙන්න නෑ කියල මම එතුමට කිව්වා. හැබැයි එතුම මට ලොකු කතා, පණ්ඩිත කතා කියාගෙන ආවා. ඒ වෙලාවෙ මම අනේ ඔබතුමාගෙ උගත්කම ගැන මට කියන්න එන්න එපා. මොකද ඒ ඔක්කොම ගැන සී.අයි.ඩී. එකේ පරීක්ෂණයක් කරල දුන්න වාර්තාවක් මගේ ළඟ තියෙනවා කියලා කිව්වා. මම ඒක කිව්ව විතරයි එයා කලබල වෙලා කෑගහන්න ගත්තා. ඕක තමයි එතැන වුණේ…” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා එම හිටපු ඇමැතිවරයාට කියා සිටියේය.
මේ හිටපු අමාත්‍යවරයාද මීට දින කිහිපයකට ඉහතදී ආණ්ඩුව විවේචනය කළ මන්ත්‍රිවරයකු වූ අතර, ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා ඔහුටද දුරකතන ඇමැතුමක් ලබාදුන් බව කියැවිණ. ඒ නිසා ජනාධිපතිවරයා මෙම හිටපු ඇමැතිවරයාටම විජේදාසගේ මේ කතාව කියා සිටියේ ඔහුට පණිවුඩයක් දීමටද, එසේත් නැතිනම් විජේදාස හා ජනාධිපතිවරයා අතර සිදුවුණු ඇත්ත කතාව රටට අනාවරණය කිරීමටද යන්න කියන්න දන්නේ නැත. මන්ද ඒ වන විටත් රට ඇතුළේ කියැවුණු කතාව වූයේ ජනාධිපතිවරයා විජේදාසට කතාකොට කුණුහරුපෙන් බැන්නා යන කතාවය.
මෙදින දැකගැනීමට ලැබුණු අනෙකුත් විශේෂ සිදුවීම වූයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේ පැවැති රැස්වීම වර්ජනය කළ විමල්, උදය යන දෙදෙනාම ජනාධිපතිවරයා කළ දැනුම්දීමට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයාට අවුරුදු සුබපැතුම් එක්කිරීමට කටයුතු කිරීමය.
ජනපති ආණ්ඩුවටම සාකච්ජාවකට එන්න කියයි
මීට අමතරව පසුගිය අඟහරුවාදා දිනයේදී පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයෙන් ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට විශේෂ පණිවුඩයක් ලැබුණු අතර, ඉන් කියැවුණේ බදාදා දින සවස 2.30ට ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට සාකච්ඡා සඳහා කැඳවා ඇතැයි කියාය. එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මේ දිනවල මහත් ආන්දෝලනයට තුඩුදී ඇති පෝට්සිටිය සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් මැති ඇමැතිවරුන්ට සිදුකිරීමට සූදානමින් සිටින බවද එම පණිවුඩයෙන් වැඩිදුරටත් කියැවිණ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයෙන් මෙම නිවේදනය නිකුත් වෙද්දී බදාදා දිනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක්ද, තවත් මුදල් පනතක් සම්බන්ධයෙන්ද විවාදයක්ද පැවැත්වීමට නියමිතව තිබිණි. සාමාන්‍යයෙන් ඒ ආකාරයේ පාර්ලිමේන්තු විවාදයන් පැවැත්වෙද්දී ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීමක් සිදුනොවේ. නමුත් මේ ලැබුණු දැනුම්දීමත් සමඟ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක්ද, නිලධාරීන්ද සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මුණගැසී පෙන්වා දී තිබුණේ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතරතුර මේ අයුරින් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් පිටව ගියහොත් බරපතළ ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවනු ඇති බවකි.
විපක්ෂයට තොරතුර ආවේ ආණ්ඩුවෙන්මයි
එමෙන්ම ආණ්ඩුව පැත්තෙන් කෙසේ හෝ මෙම පණිවුඩය විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුටද දැනගන්නට ලැබිණි. ඒ අනුව ඔවුන්ද සූදානම් වූයේ බදාදාට පැවැත්වීමට නියමිත මුදල් පනත ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් නොමැති තත්ත්වයක් හමුවේ ඡන්දයක් ඉල්ලා පරාජයට පත්කිරීමටය. ඒ සඳහා අවශ්‍ය සැලැසුම් සකස් කරද්දී කෙසේ හෝ විපක්ෂය පැත්තෙන්ද මෙම පණිවුඩය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ලැබිණ. එම පණිවුඩයෙන් කියැවුණේ බදාදා සවස 2.30ට මුදල් පනත සඳහා ඡන්දයක් ඉල්ලා සිටීමට විපක්ෂය සැලැසුම් කරනවා යැයි කියාය. ඒ අනුව එම පණිවුඩය පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයටත්, එතැනින් ජනාධිපති ලේකම් කාර්යාලයටත් ගියේය. ඒ අනුව මොහොතක් ගතවීමට මත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නැවත දැනුම් දුන් පණිවුඩයකින් කියැවුණේ බදාදා දින පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු වූ බවත්, එය ඊට පසු දින පැවැත්වීමට සැලැසුම් කොට ඇති බවත්ය.
පෝට්සිටියට ආරාධනා චීන තානාපතිතුමාගෙන්
මේ අතරවාරයේ බදාදා දිනයේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා තවත් විශේෂ අනාවරණයක් පෝට්සිටිය සම්බන්ධයෙන් සිදුකළේය. ඒ පෝට්සිටිය බැලීමට යෑම සඳහා පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමැතිවරුන්ට ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය මඟින් ආරාධනාවක් කොට ඇති බවය. හර්ෂණ රාජකරුණා කියා සිටියේ ආණ්ඩුව පෝට්සිටිය චීනයට ලබාදී නොමැති නම් මෙසේ චීන තානාපති කාර්යාලය මඟින් පෝට්සිටිය නැරඹීම සඳහා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ආරාධනා කරන්නේ කෙසේද යන්න කියාය. මීට පෙර අවස්ථාවකදී මේ ආකාරයටම පෝට්සිටිය නැරඹීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආරාධනා කර තිබූ අතර, එය සිදුකොට තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය මඟිනි. නමුත් මෙවර චීන තානාපති කාර්යාලය මඟින් එය සිදුකිරීම විශේෂ සිදුවීමක් බව හර්ෂණ රාජකරුණා එහිදී කියා සිටියේය.
මුරුත්තෙට්ටුවේ හිමියන් සද්ද නැත්තේ ඇයි?
මේ අතර පසුගිය සති කිහිපය පුරාම පෝට්සිටියට එරෙහිව දැවැන්ත හඬක් ගෙනගිය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එක්වරම නිහඬ වූ ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට තිබිණ. ඒ අනුව හැමදෙනාම පාහේ සොයාබලන්නට වූයේ මුරුත්තෙට්ටුවේ හිමියන්ට සිදුවූයේ කුමක්ද යන්න කියාය. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ මුරුත්තෙට්ටුවේ හිමියන් සතියක කාලසීමාවක් සඳහා පාකිස්තානය බලා සංචාරයකට පිටත්ව ගොස් ඇති බවකි. උන්වහන්සේ සමඟ තවත් ස්වාමීන් වහන්සේලා දසනමක්ද පාකිස්තානය බලා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය රහස් තීරයට ආරංචි විය.
රන්ජන් විදින දුක
මීට සති දෙකකට ඉහතදී රාජ්‍ය රහස් තීරයෙන් අප දැනට වසර හතරක සිර දඬුවමකට යටත්ව සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ඔහුගේ සිරුරේ බර කිලෝ 10කින් අඩුවී ඇති බවත්, දැඩි අසීරුතා මධ්‍යයේ ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දවස ගෙවමින් සිටින බවත්ය. මේ නිසා තමන්ගේ දුක සැප බැලීමට පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රිවරුන්ට ආරාධනා කිරීමට රන්ජන් පියවර ගත් බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු. කෙසේ වෙතත් අප කළ අනාවරණයෙන් පසුව ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවුරුදු සතියේදී බන්ධනාගාරයට ගොස් රන්ජන්ගේ දුක සැප විමසීමට පියවර ගෙන තිබිණ. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අලුත් අවුරුදු දිනයේ රන්ජන්ගේ දුක සැප බැලීම සඳහා දෙවැනි වතාවටත් අඟුණුකොළපැලැස්සට ගියේය. ඒ දිලිප් වෙදආරච්චිත් සමඟය.
ජනපති සමාවකට ඉල්ලීමක්…
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී රන්ජන් එක්තරා විශේෂ ඉල්ලීමක් සජිත්ගෙන් කළේය. ඒ තමන්ට ජනාධිපති සමාවක් ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙසටය. රන්ජන් සිරගෙදර ගත කරන දුක්ඛිත ජීවිතය දුටු සජිත්ද රන්ජන්ට කියා සිටියේ එවැනි ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නම් තමන් එය නොපැකිලව රන්ජන් වෙනුවෙන් කිරීමට සූදානම් බවකි.
ඒ කී ආකාරයටම සජිත් ඊට පසු දින විශේෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් කැඳවා රන්ජන් කළ මෙම ඉල්ලීම සිය මන්ත්‍රි කණ්ඩායම හමුවේ තැබීමට පියවර ගත්තේය. එහිදී සජිත් ඔවුන්ට පෙන්වා දුන්නේ එය ඉතාම මානුෂික ඉල්ලීමක් බවත්, පක්ෂ දේශපාලනයට එහා ගිය විශාල ගැඹුරක් මෙම ඉල්ලීමෙහි ඇති බවත්ය. එම නිසා මන්ත්‍රී කණ්ඩායම තමන්ට අනුමැතිය ලබාදෙන්නේ නම් රන්ජන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව සජිත් මෙහිදී මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දී සිටියේය. රන්ජන්ගේ තත්ත්වය හොඳින්ම තේරුම්ගෙන සිටි සජබෙ මන්ත්‍රී කණ්ඩායමද එම ඉල්ලීමට එකඟතාවය පළකිරීමට පියවර ගත්තේය. ඒ අනුව පසුගිය සතියේදී සජිත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.
සජිත් ජනපතිට කතා කරයි
ඒ අනුව මෙම ඇමතුම ලැබුණු වහා ජනාධිපතිවරයා සජිත්ට දැනුම්දී සිටියේ එය රන්ජන් හරහාම තමන්ට ලැබෙන ඉල්ලීමක් ලෙස එවන ලෙසටය. එමෙන්ම තමන්ට එක්වරම මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදිය නොහැකි බව කී ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතු බව පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් තමන්ට අදාළ රන්ජන්ගේ ඉල්ලීම හැකි ඉක්මණින් ලැබෙන්නට සලස්සන ලෙස කී ජනාධිපතිවරයා ස්ථිර වචනයක් නොදී සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගත්තේය.
ඒ අනුව සජිත් කළේ වහාම ජනාධිපතිවරයා කළ යෝජනාව විශේෂ පණිවුඩයක් හරහා රන්ජන්ට දැනුම්දීමය. ඒ අනුව රන්ජන්ද කියා සිටියේ අදාළ ඉල්ලීම සකස් කරන ලෙසත්, තමන් ඊට අස්සන් තැබීමට කටයුතු කරන බවත්ය. රන්ජන්ගේ එම පිළිතුරත් සමඟ අදාළ ඉල්ලීම සකස් කිරීම සඳහා සජිත් නීතිඥ කණ්ඩායමකට භාරදී ඇති බවක් දැනගන්නට ඇත. ඒ අනුව එම ඉල්ලීමට රන්ජන්ගේ අස්සන ගෙන ඉදිරි දින කිහිපය ඇතුළත එය ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට සජිත් සැලැසුම් කර ඇති බවක්ද දැනගන්නට ඇත.
රේණුක ඉල්ලා අස්වෙයි
පසුගිය අඟහරුවාදා දින සවස මාධ්‍යයට ලැබුණු විශේෂ පුවතකින් කියැවුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ රේණුක පෙරේරා මහතා සිය තනතුරින් හදිසියේම ඉල්ලා අස්වී ඇති බවකි. නිවාස රාජ්‍ය අමාත්‍යවරයා වූ ඉන්දික අනුරුද්ධ මහතා සමඟ ඇතිකරගත් මතගැටුමක් මත මෙසේ රේණුක සභාපතිකමින් ඉල්ලා අස්වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වූ ලිපිය විෂය භාර අමාත්‍යවරයා වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමුකොට ඇති බවත් එම පුවතින් වැඩිදුරටත් කියැවිණ. දූෂිත පුද්ගලයකු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත්කිරීමට ඉන්දික අනුරුද්ධ බලපෑම් කරමින් සිටින බවත්, තමන් ඊට විරෝධය පළකිරීම හේතුකොටගෙන ඇතිවූ අර්බුදයෙන් පසු මෙසේ ඉල්ලා අස්වුණ බවත් ඉන් වැඩිදුරටත් කියැවිණ. ඊට සුළු මොහොතකට පසු රේණුක සිය ෆේස්බුක් පිටුවේ තමා අගමැතිවරයාට යැවූ ඉල්ලා අස්වීමේ ලිපිය පළකිරීමටද පියවර ගත්තේය. එහි මෙම කරුණු සියල්ල ඇතුළත් කිරීමටද රේණුක කටයුතු කර තිබිණ.
මහින්ද වහාම රේණුකට කතාකරයි
කෙසේ වෙතත් රේණුක යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ පාලක ලේකම්වරයාය. එමෙන්ම වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල මෙහෙයක්ද සිදුකළ අයෙකි. එමෙන්ම මහින්දට අතිශය සමීප අයෙකි. එම නිසා රේණුකගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳව තොරතුරු දැනගත් වහා මහින්ද කළේ රේණුකට කතාකොට එම කතාවේ ඇත්ත නැත්ත විමසා සිටීමය. එහිදී රේණුකද කියා සිටියේ ඉන්දික අනුරුද්ධ සමඟ තමන්ට වැඩ කිරීමට නොහැකි බවත්, අගමැතිවරයා අපහසුතාවට පත්කිරීමට නොහැකි බැවින් තමා තනතුරින් ඉල්ලා අස්වූ බවත්ය.
“මට ඉන්දික අනුරුද්ධ ඇමැතිතුමත් එක්ක වැඩ කරන්න බෑ. එතුමා තමන්ගෙ ඥාතියෙන් අධිකාරියෙ ජෙනරල් මැනේජර් කරන්න කියල බලපෑම් කරනවා. එයා ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. එහෙම පත්කිරීමක් කළොත් අපිටත් වෙන්නෙ හිරේ යන්න. ඉතින් මම සර්ට කරදර කරන්න බැරි හින්ද අයින් වෙන්න තීන්දු කළා…’ යනුවෙන් රේණුක කියද්දී අගමැතිවරයා කියා සිටියේ “මොන පිස්සුද, ඔයා කොහොමද එහෙම ඉල්ලා අස්වෙන්නෙ. ඔයාට ප්‍රශ්නයක් තියෙනව නම් ඔයා මටයි කියන්න ඕනෙ ප්‍රශ්නයක් තියෙනව කියල. කවුද ඔයාට කිව්වෙ ඉල්ලා අස්වෙන්න කියලා….” යනුවෙනි.
අගමැතිගෙන් පීබීට කෝල් එකක්
ඊට පිළිතුරු දෙමින් රේණුක කියා සිටියේ තමන්ට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඉල්ලා අස්වන ලෙස දැනුම්දුන්නා යැයි කියාය. ඒ අනුව අගමැතිවරයා වහාම පී.බී.ට කතාකොට මෙහි ඇත්ත නැත්ත විමසා බැලීම සඳහා පියවර ගත්තේය. එසේ පී.බී.ට කතාකළ අගමැතිවරයා කියා සිටියේ රේණුක ඉල්ලා අස්වීමට අවශ්‍ය නැති බවත්, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස රේණුක තවදුරටත් කටයුතු කරනු ඇති බවත්ය.
කවදාවත් නැතිව ජනපතිත් කතා කරයි…
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අගමැතිවරයා පී.බී.ට කතාකොට මොහොතක් ගතවීමෙන් පසු ජනාධිපතිවරයාගෙන් රේණුකට දුරකතන ඇමැතුමක් ලැබීමය. එහිදී ජනාධිපතිවරයාද රේණුකට දැනුම්දී සිටියේ ඉල්ලා අස්වීමට තරම් සිදුවීමක් සිදුව නැති බවත්, තවදුරටත් සභාපති ධුරයේ රාජකාරි කරන ලෙසත්ය. එමෙන්ම නිවාස අධිකාරියේ සාමාන්‍යාධිකාරී තනතුර සඳහා අවශ්‍ය නම් රේණුකටම නමක් යෝජනා කරන ලෙස කී ජනාධිපතිවරයා එසේ නොහැකි නම් තමන් ඒ සඳහා අලුත් නමක් යෝජනා කිරීමට කටයුතු කරන බව රේණුකට කියා සිටියේය. ජනාධිපතිවරයා කළ මෙම දැනුම්දීමෙන් පසු රේණුකද තීන්දු කළේ තවදුරටත් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු ඉදිරියට කරගෙන යෑමටය.
සජබෙ මැයි රැලියට ආණ්ඩුව බය වුණාවත්ද?
පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප දේශපාලන පක්ෂ මැයි දින උත්සව පැවැත්වීමට සැලැසුම් කරන ආකාරය පිළිබඳව විශේෂ අනාවරණයක් සිදුකළේය. එහිදී අප කියා සිටියේ පොහොට්ටුව සිය මැයි රැලිය කොළඹ නගර සභා පිටියේ පැවැත්වීමට සියලු සැලැසුම් සකස් කොට අවසන් බවත්, ශ්‍රීලනිපය මෙවර මැයි රැලිය ආණ්ඩුවෙන් ඉවත්ව මෛත්‍රිපාලගේ ගම වූ පොළොන්නරුවේ පැවැත්වීමට සැලැසුම් කොට ඇති බවත්ය. එමෙන්ම සමඟි ජන බලවේගය සිය පක්ෂයේ පළමු මැයි රැලිය බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වීමට සැලැසුම් කර ඇති බවක්ද අපි එහිදී අනාවරණය කළෙමු.
කෙසේ වෙතත් පසුගිය සතිය ආරම්භයේ පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී මෛත්‍රිපාල පළමුවරට නිල වශයෙන් පක්ෂයේ මතය ආණ්ඩුවට දැනුම් දෙමින් මැයි රැලිය පොළොන්නරුවේ පැවැත්වීමට සැලැසුම් කොට ඇති බව කියා සිටියේය. නමුත් කොළඹ නගර සභා පිටියේ පැවැත්වීමට නියමිත ආණ්ඩුවෙ මැයි රැලියට ශ්‍රීලනිප නියෝජනයක් පැවැතිය යුතු වීම නිසා ඊට නිමල් සිරිපාලද සිල්වා සහභාගි කරවන බවද මෛත්‍රිපාල ආණ්ඩුවට දැනුම්දී සිටියේය.
මේ අතරවාරයේ එජාපය තමන්ට ප්‍රසිද්ධියේ මැයි රැලියක් තියාගැනීමට අපහසු බව හොඳහැටි තේරුම්ගෙන ඇති නිසා එය සිරිකොත පක්ෂ මූලස්ථානයට සීමා කිරීමට පියවර ගත්තේ තරුණ සමුළුවක් තියෙන බවට ප්‍රකාශයට පත්කරමිනි.
කෙසේ වෙතත් මෙහිදී ආණ්ඩුව කිසියම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන්නේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව පොළොන්නරුවේ වෙනමම රැලියක් තැබීම නිසාත්, විමල්, උදය ඇතුළු ආණ්ඩුව ඇතුළේ සිටින කැරලිකාර කණ්ඩායම යම් හෙයකින් පොහොට්ටුවේ මැයි රැලියට නොපැමිණියහොත් ඒ හරහා ආණ්ඩුවේ බෙදීමක් ඇති බවට මතයක් රටට යා හැකි නිසාත්ය.
මරික්කාර් මැයි රැලිය ඩිජිටල් කරයි
මේ සියල්ල අතරවාරයේ සමඟි ජන බලවේගය මෙවර සූදානම්ව සිටියේ සිය මැයි රැලිය අලුත්ම ක්‍රමවේදයක් යටතේ ඩිජිටල් වේදිකාවක පැවැත්වීමටය. ඒ සඳහා නූතන තාක්ෂණය ඉහළින්ම යොදාගැනීමට සමඟි ජන බලවේගය සැලැසුම් කොට තිබිණ. ඒ සියල්ල සජිත් භාරකොට තිබුණේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර්ටය. ඒ අනුව මරික්කාර්ද පසුගිය සති කිහිපය පුරාම උදේ, දිවා, රෑ නොබලා පක්ෂයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කරමින් අලුත්ම සංකල්පයක් යටතේ දැවැන්ත පාක්ෂිකයන් ප්‍රමාණයක් සහභාගි කර ගනිමින් මැයි දින රැලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබිණ. ඒ සඳහා සමඟි ජන බලවේගය කොතරම් සූදානම් වූවාද කියනවා නම් මැයි රැලියට බාධාවක් වනු ඇතැයි පවසමින් කොළඹට කැඳවා තිබූ පක්ෂයේ බලමණ්ඩල රැස්වීමක්ද අවලංගු කිරීමට පියවර ගත්තේය. ඒ දෙවතාවක් සිය පාක්ෂිකයන්ට කොළඹ පැමිණ මුහුණදීමට සිදුවන අසීරුතාවය මඟහරවා ගැනීම සඳහාය. මැයි දින රැලියෙන් පසු එම බලමණ්ඩලය යළිත් කොළඹට කැඳවීමට පියවර ගන්නා බව එහිදී වැඩිදුරටත් කියැවිණ.
තීන්දුව කඩන්න ජවිපෙ තීන්දු කරයි
කෙසේ වෙතත් අවසානයේදී පසුගිය සතියේ පැවැති රැස්වීමකදී විශේෂඥ උපදෙස් මත ආණ්ඩුව තීන්දු කළේ කිසිදු මැයි රැලියක් මෙවර නොැවැත්වීමටය. ඒ කොරෝනා ප්‍රශ්නය මුල්කරගෙනය. ආණ්ඩුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ සමඟි ජන බලවේගය කියා සිටියේ ආණ්ඩුවට සෙනඟ ගෙන්වා ගැනීමට නොහැකි නිසාත්, ආණ්ඩුවේ බෙදීම පැහැදිලිවම මෙවර එළියට එන නිසාත් කොරෝනා පිට දමා මැයි රැලිය අවලංගු කිරීමට පියවර ගත් බවකි. නමුත් බැසිල් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ මැයි රැලිය පැවැත්වීම සම්බන්ධයෙන් තම පක්ෂයට කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඒ සඳහා අවශ්‍ය සියලම සැලැසුම් මේ වන විටත් සකස් කොට අවසන් බවත්ය. නමුත් කොරෝනා අර්බුදය හේතුකොටගෙන මෙවර මැයි රැලිය නොපැවැත්වීමට තීරණය කළ බවද එහිදී බැසිල් වැඩිදුරටත් කියා සිටියේය.
ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මේ ආකාරයට මැයි රැලිය නොපැවැත්වීමට තීන්දු කළත්, ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය නම් කියන්නේ තම පක්ෂය මැයි රැලි පවත්වන බවත්, ආණ්ඩුව ප්‍රකාශ කළ පමණින් මැයි රැලිය අවලංගු නොකරන බවත්ය.