පසුගිය මාස කිහිපය පුරාම රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණය කළ පරිදිම ජිනීවා මානව හිමිකම් කොමිසමෙ ඡන්ද විමසුමෙන් ලංකාව බරපතළ පරාජයකට මුහුණදුන්නේය. පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් පවා අප අනාවරණය කර සිටියේ මෙවර මානව හිමිකම් මණ්ඩලයේදී ලංකාවට එරෙහිව බරපතළ යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිත බවත්, පසුගිය අවස්ථාවන්හිදී ලංකාවේ සහායට පැමිණි බොහොමයක් රටවල් මෙවර ලංකාවට එරෙහිව ඡන්දය භාවිතා කරනු ඇති බව හෝ ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇති බවත්ය. අප අනාවරණය කළ පරිදිම මෙවර එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් විසින් ලංකාවට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට මානව හිමිකම් කොමිසමේ ඡන්දය හිමි රටවල් 47 අතුරින් 22ක් පක්ෂව ඡන්දය ලබාදුන්නේය. ඊට එරෙහිව නොඑසේ නම් ලංකාවට පක්ෂව ඡන්දය හිමිවූයේ රටවල් 11කින් පමණි. තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටිනු දැකගන්නට ලැබිණ.
ඉන්දියාව ජන්දෙ නොදුන්නේ ඇයි?
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ලංකාවේ අසල්වැසියා මෙන්ම ලොකු අයියාද වශයෙන් සැලකෙන ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමය. එසේ ඉන්දියාවට අමතරව තවත් ආසියානු රටක් වූ නේපාලයද ඡන්දය දීමෙන් වැළකී සිටිනු දැකගත හැකි විය. මෙසේ දකුණු ආසියානු රටවල් දෙකක්ම ඡන්දය දීමෙන් වැළකී සිටියේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් දකුණු ආසියාවේ සියලුම රටවල් ලංකාවට පක්ෂව ඡන්දය භාවිතා කරනු ඇති බවට සහතිකයක් දී ඇතැයි කියා පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන්ය. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සමඟ දුරකතන සංවාදයක යෙදී දින කිහිපයක් ඉක්ම යෑමට මත්තෙන්ය.
කෙසේ වෙතත් අප මෙම තීරයෙන් අනාවරණය කළ පරිදිම පසුගිය කාලය පුරාම ඉන්දියාව සිටියේ ලංකාවත් සමග තරමක නෝක්කාඩුවෙන්ය. ඊට හේතු කිහිපයක් බලපා තිබූ අතර ඉන් ප්‍රධාන තැනක් ගෙන තිබුණේ කලින් පොරොන්දු වූ පරිදි කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබා නොදීමට ආණ්ඩුව තීන්දු කිරීමය. බටහිර ජැටිය අදානි සමාගමට ලබාදීමට පසුව පියවර ගත්තත් ඉන්දියාවේ ප්‍රමුඛතාවය තිබුණේ බටහිර ජැටියට නොව නැගෙනහිර ජැටියටය. එමෙන්ම උතුරු නැඟෙනහිර වාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා නොදීමට ආණ්ඩුව කටයුතු කිරීමද ඒ සඳහා බලපෑ හේතුවක් වී තිබිණ.
වගකීම ගන්න කවුරුත් නෑ: මිලින්ද පැත්ත පළාතේ ගිහින් නෑ
එමෙන්ම මෙම ප්‍රශ්නයේදී ඉන්දියාව සමබර කර ගැනීම සඳහා වගකිවයුතු පුද්ගලයකු නොසිටීමද මෙහිදී දැකගත හැකි වූ විශේෂ සිදුවීමකි. ඊට හේතුව වී තිබුණේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් මිලින්ද මොරගොඩ මහතා තවමත් රාජකාරි භාර ගැනීමට පියවර ගෙන නොතිබීමය. මිලින්ද ඉන්දියාවේ මහකොමසාරිස්වරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබුණේ ඉකුත් වසරේ අගෝස්තු වැනි කාලයක සිටය. ඒ අනුව මිලින්දගේ පත්වීම පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳව කමිටුව වෙත යොමුකෙරුණු අතර, ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වැනි දින මෙම පත්වීම අනුමත කිරීමටද පාර්ලිමේන්තු කමිටුව පියවර ගෙන තිබිණ. සාමාන්‍යයෙන් නිදහසින් පසු පත්වූ සෑම ආණ්ඩුවක්ම පාහේ මුලින්ම සිදුකරනු ලබන රාජතාන්ත්‍රික පත්කිරීම වන්නේ මෙම ඉන්දියානු මහකොමසාරිස් ධුරය සඳහා නියෝජිතයකු නම් කිරීමය. ජනාධිපතිවරුන්, අගමැතිවරුන් පවා සිය පළමු සංචාරය ලෙස තෝරාගන්නේ ඉන්දියාවය. නමුත් එසේ තිබියදී මිලින්ද මාස හතක පමණ කාලයක් ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස රාජකාරි භාර නොගැනීම බරපතළ තත්ත්වයකි.
පැරදුණාට පස්සේ යන්න ලෑස්ති වෙයි
වරක් මෙම මහකොමසාරිස් ධුරය භාරගැනීමට නම් තමන්ට කැබිනට් ඇමැතිවරයකුට ලැබෙන වරප්‍රසාද හිමිවිය යුතු බවට මිලින්ද යෝජනාවක්ද ඉදිරිපත් කර තිබිණ. සාමාන්‍යයෙන් මීට පෙර සිටි කිසිදු මහකොමසාරිස්වරයකු හෝ තානාපතිවරයකු මෙවැනි ආකාරයේ ඉල්ලීම් කර නොතිබුණද මහා සංඝරත්නයේ සහ කැබිනට් ඇමැතිවරුන්ගේ දැඩි විරෝධය පවා නොතකා ජනාධිපතිවරයා මිලින්දගේ මෙම ඉල්ලීමද ඉටුකර දීමට පියවර ගෙන තිබිණ. එසේ කර තිබියදීත් මිලින්ද නවදිල්ලියට ගොස් රාජකාරි භාර ගැනීමට පියවර නොගැනීම බරපතළ තත්ත්වයකි. නමුත් ඉන්දියාව මිලින්දගේ කැබිනට් වරප්‍රසාද පිළිබඳව කිසිදු අනුකූලතාවයක් දක්වා නොතිබීමද විශේෂ සිදුවීමකි.
කෙසේ වෙතත් මේ වන විට නිල නොවන ආරංචි මාර්ගවලින් රාජ්‍ය රහස් තීරයට දැනගන්න ඇත්තේ ඉන්දීය මහකොමසාරිස් ධුරය භාරගැනීම සඳහා මිලින්දද ජිනීවා ඡන්ද විමසුම අවසාන වන තෙක් බලා සිටියා යැයි කියාය. යම් හෙයකින් මුලින්ම එම තනතුර භාරගත්තේ නම් ජිනීවා ගැටලුවේදී ශ්‍රී ලංකාවේ වාසියට ඉන්දියාව හරවා ගැනීමට නොහැකි වීමේ චෝදනාව තමන් පිට පැවරීම වළකා ගැනීම සඳහා මිලින්ද එසේ කොට ඇති බවද එම නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවිණ. ඒ අනුව මේ වන විට ජිනීවා ඡන්ද විමසුම අවසන් වී ඇති බැවින් මිලින්ද හෙට අනිද්දාම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයේ වැඩ භාරගනු ඇති බව දැනගන්නට ඇත.
පාකිස්තානය ෂේප් කරගත්තේ අගමැති
මීට අමතරව ඉන්දියාවේ බලපෑම මත හෝ නොමැතිව නේපාලය ලංකාවට සහාය නොදී නිහඬව සිටීමට තීරණය කළද අනෙකුත් ප්‍රධාන දකුණු ආසියානු රටවල් දෙකක් වූ පාකිස්තානය හා බංග්ලාදේශය ලංකාවට පක්ෂව සිය ඡන්දය භාවිත කිරීම විශේෂය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ වෙන කවුරුවත් නොව අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද ජනාධිපතිව සිටි කාලයේ සිටම පාකිස්තානය සහ බංග්ලාදේශය සමග පැවතියේ අතිශය සමීප සබඳතාවයකි. ජිනීවා ඡන්ද විමසුමට සති දෙක තුනක් තබා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ලංකාවට පැමිණියේද මහින්දගේ විශේෂ ආරාධනාවකට අනුවය. කොරෝනා වැළඳුණු මුස්ලිම් සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීම හේතුවෙන් අනෙකුත් මුස්ලිම් රටවල් මෙන්ම පාකිස්තානයද දැඩි විරෝධාකල්පයක සිටියද ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඉම්රාන් ලංකාවට පක්ෂපාතී ස්ථාවරයකට නම්මා ගැනීමට මහින්දට හැකි විය. එහි ප්‍රතිඵලය වූයේ ඉන්දියාව සහ නේපාලය නිහඬ වද්දී පාකිස්තානය ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමය.
අගමැති බංග්ලාදේශය ඇල්ලූ හැටි
මීට අමතරව බංග්ලාදේශය මුලින් සිටියේද ජිනීවා ඡන්ද විමසුමේදී ඉන්දියාව සහ නේපාලය මෙන්ම නිහඬව සිටීමටය. නමුත් ජිනීවා ඡන්දය කට මුල තියා මහින්ද සිදුකළ බංග්ලාදේශ සංචාරයේදී ලංකාවට වාසි සහගත වන ආකාරයට බංග්ලාදේශය නම්මා ගැනීමට මහින්ද හැකි විය. ඇත්තටම මහින්ද මුලින්ම සිටියේ මෙම බංග්ලාදේශ සංචාරයට සහභාගි නොවී සිටින ස්ථාවරයකය. බංග්ලාදේශය නිදහස ලබාගෙන වසර 50ක් පිරීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැති අතර ඊට සහභාගි වන ලෙස ඉල්ලා බංග්ලාදේශ අගමැති ෂීක් හෂීනා මහත්මිය මහින්දට ආරාධනා කර තිබිණ. කොරෝනා ගැටලුව මධ්‍යයේ වුවද මහින්ද මෙම ආරාධනය පිළිගෙන බංග්ලාදේශයට යෑමට තීන්දු කළේ ජිනීවාහිදී බංග්ලාදේශයේ ඡන්දය ලංකාවට ගැනීම අරමුණු කරගෙනය.
මරන්න හිටපු හැටි හෂීනා මහින්දට කියයි
මෙම බංග්ලාදේශ සංචාරයේදී ෂීක් හෂීනා විසින් මහින්දට ඉහළම ආකාරයේ ආගන්තුක සත්කාර සිදුකළ අතර, විශේෂ පිළිගැනීමක්ද මහින්දට ලබාදීමට පියවර ගෙන තිබිණ. විශේෂයෙන්ම මහින්ද වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධාන කර තිබූ බංග්ලාදේශ අගමැතිනිය එහිදී පැය ගණනාවක් මහින්ද සමඟ ආගිය තොරතුරු කතාබස් කිරීමට කටයුතු කළාය. මෙහිදී ඉතා සංවේදීව මහින්ද සමග අදහස් හුවමාරු කරගත් ෂීක් හෂීනා සිය පියා ඇතුළු පවුලේ සියලුම සාමාජිකයන් ඝාතනය කිරීමට දේශපාලන විරුද්ධවාදීන් පියවර ගත් ආකාරය පැහැදිලි කළාය. එහිදී තමන් සහ තම සහෝදරිය රටින් පිටවී ජීවිතය බේරාගත් ආකාරයත්, පසුව නැවත සිය රට පැමිණ දේශපාලන කටයුතු ආරම්භ කළ ආකාරයත් ඇය ඉතා සංවේදීව සහ දීර්ඝව මහින්දට පවසා සිටියාය.
කතාවෙන් පසු මහින්ද ගැන වෙනම කතාවක්
මෙහිදී මහින්දද සිය දේශපාලන ජීවිතයේ මුහුණදීමට සිදුවූ අමතක නොවන සිදුවීම් බංග්ලාදේශ අගමැතිවරියට පවසා සිටියේය. 1970 මැතිවරණයේදී දේශපාලන පළිගැනීම් මත තමන්ට සිරගත වීමට සිදුවූ අයුරු සිය මවගේ අවමඟුලට පවා සිරගතව සිටියදී සහභාගි වීමට සිදුවූ අයුරුත් මෙහිදී බංගලාදේශ අගමැතිවරියට මහින්ද සඳහන් කර සිටියේය.
මීට අමතරව ප්‍රධාන උත්සවයේදී ෂීක් හෂීනා ලංකාව සහ මහින්ද ගැන වෙනම අදහස් දැක්වීමක් සිදුකිරීමද විශේෂ සිදුවීමකි. එහිදී හෂීනා සිය කතාව පිටු තුනකට සීමා කර තිබූ අතර, එම පිටු බලාගෙන කතාව සිදුකිරීමට ඇය කටයුතු කර තිබිණ. නමුත් පිටුවේ තිබුණු කතාව අවසන් කිරීමෙන් පසු වෙනමම මහින්ද සහ ලංකාව ගැන විනාඩි කිහිපයක කලින් සූදානම් කර නොතිබූ කතාවක් සිදුකිරීමට ඇය කටයුතු කළාය. එය ඇය විසින් මහින්දට දැක්වූ විශේෂ සැලකිල්ලක් බව බොහෝ දෙනාගේ මතය වී ඇත.
දිනේෂ් ජෝක් වෙයි
කෙසේ වෙතත් බංග්ලාදේශයේ සහාය ජීනීවාහිදී ලංකාවට ලබාගැනීමට මහින්ද සමත් වුවද අවසන් ප්‍රතිඵලයේදී ලංකාවට අත්ව තිබුණේ බරපතළ පරාජයකි. මේ පරාජයත් සමඟ විපක්ෂය ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ ගැටලුකාරී විදේශ ප්‍රතිපත්තිය හේතුකොටගෙන මෙම පරාජයට රටට මුහුණදීමට සිදුවූවා යැයි කියාය. විපක්ෂය ඒ ආකාරයට ආණ්ඩුවට ප්‍රහාර එල්ල කළද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම ඡන්ද විමසුම රටේ පරාජයක් ලෙස දුටුවේ නැත. ඒ සඳහා දිනේෂ් රටට ඉදිරිපත් කළේ අපූරු සහ රසවත් තර්කයකි. දිනේෂ් කියා සිටියේ ඡන්ද 22ක් යෝජනාවට පක්ෂව ලැබුණද ලංකාව පරාජය වී නැති බවත්, ලංකාවට පක්ෂව ලැබුණු ඡන්ද 11 සහ නිහඬව සිටි ඡන්ද 14 ගත් විට ඡන්ද 25ක් ලංකාවට පක්ෂව ඇති බවත්, ඒ අනුව ලංකාව ජයග්‍රහණය කොට ඇති බවත්ය.
ජනපති සජිත්!!!
දිනේෂ්ගේ මේ අපූරු තර්කයත් සමඟ සමාජ මාධ්‍ය ජාලවල දිනේෂ්ගේ එම කතාව දැඩි උපහාසයට ලක්වූ ආකාරයක් දැකගන්නට තිබුණේ ඊට ඉකුත් ජනාධිපතිවරණයද සම්බන්ධ කරගෙන විශාල පිරිස් අදහස් දැක්වීමට පටන් ගැනීම නිසාය. එහිදී බොහෝ දෙනා කියා සිටියේ දිනේෂ්ගේ තර්කයට අනුව ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය පරාජයට පත්ව ඇති බවත්, සජිත් ජයග්‍රහණය කොට ඇති බවත්ය. ජනාධිපතිවරණයේද ගෝඨාභයට ලක්ෂ 69ක් ඡන්දය ලැබුණු අතර සජිත්ට ලැබී තිබුණේ ඡන්ද ලක්ෂ 55ක් පමණි. නමුත් ඡන්දය නොදී සිටි සංඛ්‍යාව ලක්ෂ 27ක් බැවින් ලක්ෂ 82ක් ඡන්ද සජිත්ට පක්ෂපාතීව පවතින නිසා සජිත් ජයග්‍රහණය කොට ඇති බව ඔවුන්ගේ තර්කය වී තිබිණ. ජවිපෙ දේශපාලන මණ්ඩල බිමල් රත්නායකද මේ බව මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කර තිබුණු අතර, සජිත්ද පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී දිනේෂ්ගේ කතාවට පිළිතුරු සපයමින් කියා සිටියේ දිනේෂ්ගේ එම තියරියට අනුව තමන් ජනාධිපතිවරණය ජයගෙන ඇතැයි කියාය.
කොළඹගේට වට කරගෙන ගහයි
කෙසේ වෙතත් මෙම ජිනීවා පරාජයත් සමඟ බොහෝ දෙනා සොයා බලන්නට වූයේ එම පරාජයට බලපෑ හේතු සාධක සහ ඊට වගකිවයුතු පුද්ගලයන් පිළිබඳවය. විශේෂයෙන්ම එහි වගකීම භාරගත යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ය. මෙහිදී බොහෝ දෙනා විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා මෙම පරාජයේ වගකීම භාරගත යුතු බව ප්‍රසිද්ධියේ සඳහන් කරන ආකාරයක් දැකගත හැකි විය. ජිනීවා ඡන්දය කට මුල තියා ඉන්දියාව සම්බන්ධයෙන් සහ මුස්ලිම් දේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් ජයනාත් කොළඹගේ සිදුකර තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන් ඉන්දියාව සහ මැදපෙරදිග මුස්ලිම් රටවල් ලංකාව සමඟ වෛර බැඳගත් බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණ. ජයනාත් කොළඹගේගේ මෙම ප්‍රකාශයක් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම දිනේෂ්ද ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර තිබූ අතර, එහිදී හෙතෙම ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ කොළඹගේගේ මේ ප්‍රකාශ හේතුවෙන් බරපතළ අර්බුදයකට රටට මුහුණදීමට සිදුව ඇති බවත්, ඔහු සමඟ රාජකාරි කිරීමට තමන්ට නොහැකි බවත්ය. නමුත් ජයනාත් සම්බන්ධයෙන් තීන්දුවක් නොගැනුණු අතර, ජිනීවා ඡන්දය පරාජය වීම දක්වාම ඒ තත්ත්වය ඇදී ගොස් තිබූ බවක් දැකගත හැකි විය. එමෙන්ම ජිනීවා පරාජයෙන් පසු මාධ්‍ය හමුවකට එක්වූ පොහොට්ටුවේ ප්‍රධාන මන්ත්‍රිවරයකු වන ඩිලාන් පෙරේරා මහතාද ප්‍රසිද්ධියේම කියා සිටියේ මෙම පරාජය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වන ජයනාත් කොළඹගේ ප්‍රධාන වශයෙන් වගකිව යුතු බවකි. ඔහු සිය රාකාරිය හරි හැටි ඉටුකර නොමැති බවත්, කට ඉස්සර කරගෙන රට අනතුරේ හෙළා ඇති බවත් ඩිලාන් මෙහිදී කියා තිබිණ.
චන්ද්‍රප්‍රේම මොකද්ද කළේ….
එමෙන්ම ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන් පත්කර යැවුණු සී.ඒ. චන්ද්‍රපේම සම්බන්ධයෙන්ද පසුගිය කාලය පුරාම පැවතියේ මහත් අර්බුදකාරී වාතාවරණයකි. විශේෂයෙන්ම චන්ද්‍රප්‍රේම එම තනතුරට පත්කරද්දී පවා බරපතළ විරෝධයක් ජිනීවාවලින් එල්ලවූ අතර, ඔවුන් කියා සිටියේ මෙම පත්වීම පිළිගත නොහැකි බවය. නමුත් ආණ්ඩුව ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීමෙන් පසු අනෙක් රටවල නියෝජිතයන් කළේ ඔවුන් සමඟ සාකච්ඡා කිරීම සඳහා චන්ද්‍රප්‍රේමට වේලාවක් වෙන් නොකිරීමය. ඒ හරහා ලංකාවේ නිත්‍ය නියෝජිතයා හුදෙකලා කර දැමීමට වෙනත් රටවල නියෝජිතයන් කටයුතු කර තිබිණ.
රට දිනවපු මහින්ද සමරසිංහ පැත්තක
මීට අමතරව මහින්ද සමරසිංහ ජිනීවා කණ්ඩායමේ නොසිටීම සම්බන්ධයෙන්ද බොහෝ දෙනා තුළ තිබුණේ විශාල පුදුමයකි. මන්දයත් 2009 වසරේදී යුද්ධය නිමා කිරීමෙන් පසු ජිනීවා කොමිසමේදී මානව හිමිකම් ගැටලු මතුවූ අවස්ථාවේදී ඊට මුහුණදෙමින් ලංකාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළේ මහින්ද සමරසිංහය. ඒ නිසා මහින්ද සමරසිංහ ජිනීවා ගැටලුවේ දිග පළල මෙන්ම ජිනීවා මානව හිමිකම් කොමිසමේ අස්සක් මුල්ලක් නෑර හොඳින් දන්නා අයෙකි. එම රටවල නියෝජිතයන් සමඟ සමීප සබඳකම් පවත්වා ඇත්තෙකි. කොටින්ම කියනවා නම් 2014 වසරේදීත් මේ ආකාරයට ලංකාවට එරෙහිව යෝජනාවක් ආ අවස්ථාවේදී එය පරාජයට පත්කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ වෙන කවුරුවත් නොව මහින්ද සමරසිංහය. ජිනීවා කොමිසම තුළ ලංකාව ඡන්දයකට මුහුණදී ජයගත් පළමු අවස්ථාව ලෙසද එය වාර්තා පොත් අතරට එක්ව තිබේ. නමුත් මෙවර ජිනීවා ප්‍රශ්නයේදී මහින්ද සමරසිංහගේ මුහුණ දැකගන්නට ලැබුණේ නැත. ඒ, ඒ සඳහා මහින්දට ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ගෙන් ආරාධනාවක් නොලැබීම නිසාය.
බැසිලුත් පේන්න නෑ
එමෙන්ම මෙවර ජිනීවා ගැටලුවේදී බැසිල්ගේ මුහුණද කිසිවකුටත් දැකගන්නට ලැබුණේ නැත. පසුගිය කාල වකවානුවේදී ජිනීවා මානව හිමිකම් ප්‍රශ්න පැනනැඟුණු විට ආණ්ඩුව ඇතුළේ පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලදී ප්‍රධාන චරිතයක් බවට පත්ව තිබුණේ වෙන කවුරුවත් නොව බැසිල්ය. නමුත් මෙවර අප දන්නා ආකාරයට ජිනීවා මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ අරලියගහ මන්දිරය හෝ පැවැති කිසිදු සාකච්ඡාවකට බැසිල් සහභාගි වී සිටියේ නැත. අවම වශයෙන් ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ නිවසේ ජිනීවා මුල්කරගෙන සාකච්ඡා කිහිපයක් පැවැති නමුත් ඒ සඳහා හෝ බැසිල් සහභාගිව සිටි බවක් වාර්තා නොවිණ. එයද මේ වන විට ආණ්ඩුව ඇතුළේ විශාල කුතුහලයක් මතුකොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
රටම භයානක අනතුරක
කෙසේ වෙතත් දැන් ජිනීවා ඡන්දය ආණ්ඩුව පරාජයට පත්වී අවසානය. ලංකාවට එරෙහිව ඉදිරිපත්වූ යෝජනාව ජයග්‍රහණය කර අවසන්ය. එසේ නම් මින් ඉදිරියට ලංකාවට මුහුණදීමට සිදුවන්නේ කුමන තත්ත්වයකටද? දැනගන්නට ඇති ආකාරයට යෝජනාව සම්මත වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය දැනටමත් ලංකාව සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු ආරම්භ කොට අවසානය. එමෙන්ම ලංකාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ මහකොමසාරිස්වරයාගේ කාර්යාලය මඟින් විශේෂ කණ්ඩායමක් පත්කිරීමටද නියමිතය. එම කාර්ය මණ්ඩලයට නියෝජිතයන් දොළොස්දෙනකු ඇතුළත් වන අතර එම පිරිස අතර මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන්, යුද අපරාධ සම්බන්ධයෙන් වූ විශේෂඥයන් සහ සාක්ෂි ගවේෂණය කිරීමේ විශේෂඥයන් සිටින බව දැනගන්නට තිබේ. මීට අමතරව අපරාධ යුක්තිය පිළිබඳ අත්දැකීම් ඇති නීති උපදේශයකයින් සහ එම කණ්ඩායම සම්බන්ධීකරණය කිරීමට, තොරතුරු හා සාක්ෂි එකතු කිරීමට, අපරාධ පරීක්ෂණයට, නඩු පැවරීමට කටයුතු කළ හැකි නිලධාරීන් සහ වින්දින සහායක නිලධාරීන් ඇතුළත් කොට ඇති බවද පැවසේ.
රට යන්න බැරි වෙයිද
මෙම කටයුතු දියත් කිරීම සඳහා මේ වන විටත් මානව හිමිකම් සංවිධානය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.856ක මුදලක් සම්මත කර ගැනීමටද සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ජාත්‍යන්තර විශේලේෂකයන්ගේ ස්ථාවරය වී ඇත්තේ මෙම යෝජනා සම්මතය හරහා ලංකාවට ක්ෂණික බලපෑමත් ඇති නොකරන නමුත්, දීර්ඝකාලීනව දැඩි බලපෑමක් එල්ලවිය හැකි යැයි කියාය. ඇතැම් විට මෙම යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර රටවල් සමඟ වෙළෙඳාමට අහිතකර බලපෑම් එල්ලවිය හැකි බවත්, ඉහළ පෙළේ ඇතැම් නිලධාරීන්ට සංචාරක සීමා පැනවීමේ ඉඩකඩක් මතුවිය හැකි බවත් දැනගන්නට ඇත. එමෙන්ම මේ හරහා ඕනෑම රටකදී නඩු පැවරීමේ හැකියාවක් පවතින බවද කියැවේ.
ඉඩම් ඇල්ලුවේ ජනපතිගේ ඔප්පු කතාවෙන් පස්සේ…
මේ දිනවල ආණ්ඩුව මුහුණදී ඇති තවත් ප්‍රශ්නයක් වන්නේ කැලෑ කැපිල්ල මුල්කරගෙන මතුව ඇති අර්බුදයය. දිනපතාම පාහේ විවිධ මාධ්‍ය මඟින් සහ සමාජ මාධ්‍ය ජාලා මඟින් මෙම කැලෑ කැපිල්ලේ දර්ශන සහ ඡායාරූප ප්‍රසිද්ධ කිරීමත් සමඟ ආණ්ඩුවද ඒ පිළිබඳව කිසියම් සොයාබැලීමක නිරත වීමට පියවර ගෙන තිබිණ. එහිදී ඇතැම් කරුණු සත්‍ය වූ නමුත් ඇතැම් තොරතුරු හිතාමතාම විවිධ පිරිස් විසින් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට සිදුකර තිබූ ඒවා බව අනාවරණය වී තිබිණ. මේ නිසාම ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන් කිසිදු පුද්ගලයකුට කැලෑ කැපීමට අවසර ලබාදී නොමැති බවත්, තමන් පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන පුද්ගලයකු බවත්, කැලෑ කැපිල්ල මාධ්‍ය සංදර්ශනයක් බවත්ය.
ගූගල් මැප් එකෙන් ඇත්ත හොයයි
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡා කිහිපයක්ම පැවැත්විණ. එසේ පැවැති එක් සාකච්ඡාවකදී සාකච්ඡාවට පැමිණ සිටි නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ මීට කෙටි කලකට ඉහතදී ජනාධිපතිවරයා සහභාගි වූ ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහනකදී පසුව සිදුකළ ප්‍රකාශයකින් අනතුරුව බොහෝ දෙනා කැලෑ ඉඩම් අත්පත් කර ගැනීමට පියවර ගනිමින් සිටින බවකි. බොහෝ කාලයක් ජනතාව වාසය කළ ප්‍රදේශවල පවතින ඉඩම්වල අයිතිය ඔප්පු මගින් එම ජනතාවට ලබාදෙන බවට ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශයක් ඊට හේතු වී ඇති බවද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණ. ඒ අනුව අවසානයේදී ජනාධිපතිවරයා දැඩිව කියා සිටියේ තමා කළ ප්‍රකාශයෙන් අනතුරුව එසේ ඉඩම් අත්පත් කොටගෙන ඇති නම් ඒ සියල්ල නැවත පවරා ගැනීමට කටයුතු කළ යුතු බවකි.
නමුත් එහිදී ගැටලුව වූයේ එසේ අත්පත් කරගත් ඉඩම් හඳුනා ගැනීම සම්බන්ධයෙන්ය. ඒ පිළිබඳව කළ සාකච්ඡාවේදී අදියර කිහිපයක් යටතේ එම ඉඩම් හඳුනා ගැනීමට යෝජනා විය. ඉන් එක් යෝජනාවක් වූයේ ගූගල් මැප් තාක්ෂණය ඔස්සේ කලින් පැවැති තත්ත්වය සහ වර්තමානයේදී පවතින තත්ත්වය සොයා බලා එම ඉඩම් අත්පත් කර ගැනීමය. දෙවැනි යෝජනාව වූයේ අදාළ පළාත්වල නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් හරහා පූර්ණ විමර්ශනයක් කොට අලුතින් අත්පත් කරගත් ඉඩම් හඳුනා ගැනීමය. එසේ කොට එම සියලු ඉඩම් නැවත රජයට පවරා ගැනීමටද කටයුතු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම්දී සිටියේය.
ජනපති වැලි පාර්ක් එකට ගියේ ඇයි
මීට අමතරව පසුගිය සතියේ ජනාධිපතිවරයා තවත් විශේෂ සාකච්ඡාවකට සහභාගි විය. ඒ, පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධාන සමඟ පැවැති සාකච්ඡාවකි. මෙම සාකච්ඡාව පිළිබඳව බොහෝදෙනාගේ අවධානය යොමුවූයේ එය පැවැත්වූ ස්ථානය මුල්කරගෙනය. වෙනදා නම් මෙවැනි රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැත්වුණද මෙවර එය සංවිධානය කොට තිබුණේ නුගේගොඩ, නාවල නාගරික තෙත්බිම් උද්‍යානයේදීය. ඊට බැසිල්ද සහභාගිව සිටි ආකාරයක් දැකගත හැකි විය.
ඒ අනුව මෙම සාකච්ඡාවේ ඡායාරූප මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ බොහෝ දෙනා සොයා බලන්නට වූයේ මෙවැනි රැස්වීමක් ජනාධිපතිවරයා නගරයක් මැද පැවැත්වීමට තීන්දු කළේ කුමන හේතුවක් මතදැයි කියාය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා මෙවැනි රැස්වීම් පවත්වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ඒ අනුව අප කළ සොයාබැලීම්වලදී දැනගන්නට හැකි වූයේ මෙම රැස්වීමද මුලින්ම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට සැලැසුම් කර තිබූ බවකි. නමුත් අවසන් මොහොතේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් කතාකොට රැස්වීම නුගේගොඩ පවත්වන බව දැනුම්දී ඇති බවක් වාර්තා වී ඇත. මීට අමතරව බත්තරමුල්ල පක්ෂ නායක කාර්යාලයේ මෙම රැස්වීම පැවැත්වීමට නොහැකි වී ඇත්තේ එහි ශ්‍රවණාගාරය ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් බව පැවසිණි. කෙසේ වෙතත් බොහෝ දෙනකු සඳහන් කරන්නේ මෙම රැස්වීම පක්ෂ මූලස්ථානයේ හෝ ජනපති ලේකම් කාර්යාලයේ නොපැවැත්වීම හරහා තවමත් ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් පොදුජන පෙරමුණ සමඟ ඍජුව සම්බන්ධ වී ඉදිරි ගමනක් යෑමට සූදානමක් ඇති බවක් දැකගන්නට නැති බවකි.
මන්ත්‍රී කණ්ඩායමට මහින්ද නෑ
පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු කමිටු කාමර අංක 1 හීදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊට සහභාගි නොවීම හේතුකොටගෙනය. එහිදී බඩු මිල සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් ඇති විය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ “බදු සහන දීලා ජනතාවට සහන ලබා දෙන්න අවශ්‍ය පියවර රජය අරන් තියෙන්නේ” යැයි කියාය.
බඩු මිලෙන් රැස්වීම උණුසුම්
“ඔය විදියට කිව්වාම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.ජනතාව දන්නේ බඩු මිල වැඩියි කියන එක විතරයි. බඩු මිල අඩුයි කියලා ජනතාවට දැනෙන්න ඕනේ” යනුවෙන් ඊට එරෙහිව මුල්ම ගල ගැසුවේ අමාත්‍ය සරත් වීරසේකර මහතාය.
මෙම සාකච්ඡාවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ එය තහවුරු කළේය.
“ඒක නම් ඇත්ත. පාන් 3.50ට දෙනවා කිව්වාමයි ජනතාවට තේරෙන්නේ. ඒ වගේ තේරෙන භාෂාවෙන් තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ” යන්න ඔවුන්ගේ තර්කය විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාද මේ කතා බහට එක්වෙමින් කීවේ “අපි මොනවා කිව්වත් වැඩක් නැහැ. ඉස්සරහට එන්නේ උත්සව සමය. මිනිස්සුන්ට දැනෙන්නේ බඩු මිල ඉහළ ගිහින් කියන එකයි. ඒ නිසා මිනිස්සුන්ට දැනෙන විදියට බඩු මිල අඩුවීමක් සිදුවෙන්න ඕනේ” යැයි කියාය.
ලන්සා-බන්දුල හැප්පෙයි
නිමල් ලංසාද මෙහිදී චෝදනාවක් ඉදිරිපත් කළේය. “වගකිය යුතු අය බෝල පාස් කරගෙන හරි යන්නේ නැහැ. බඩු මිල පාලනය කරන නිසි ක්‍රමවේදයක් හැකි ඉක්මනින් සකස් කිරිමයි කෙරෙන්න ඕනේ.” යන්න ලන්සාගේ ස්ථාවරය විය.
ඒ අවස්ථාවේ වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා බඩු මිල වැඩිවීම ගැනත් බඩු මිල අඩු කිරීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙනුත් දීර්ඝ පැහැදිලි කිරීමක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ සිදුකළේය.
එම අදහස් දැක්වීමෙන් අනතුරුව “ප්‍රශ්නේ තියෙන්නේ ඕවා මේ මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි” යැයි ලංසා පැවසීය.
සහල් මිල ඉහළ යාම කෙරෙහි මෙහිදී මන්ත්‍රීවරුන්ගේ වැඩි අවධානයක් යොමු විය.
මහින්දානන්ද බෝලය බන්දුලට දමයි
“සහල් මාෆියාව නතර කරලා මිල පාලනය කරන එක කෘෂිකර්ම ඇමැතිවරයා විදියට මට කරන්න බැහැ. ඒක කරන්න ඕනේ වෙළෙඳ ඇමැතිවරයා.” යි මහින්දානන්ද අලුත්ගමගේ බන්දුලට බෝලෙ පාස් කරද්දී ලලිත් එල්ලාවල කීවේ “ මේවා එක එක්කෙනාට දෙපැත්තට ඇද ඇද ඉන්න පුලුවන් කාරණා නෙවෙයි. ඒ විදියට කරන්නේ නැතිව අවශ්‍ය පියවර ගන්න ඕනේ” යැයි කියාය. ඒත් සමගම මන්ත්‍රීවරු එකිනෙකා සිය අදහස් දක්වන්නට වූහ. තරමක කලබල ගතියක් දිස්වීමත් සමග ඊට මැදිහත් වූ දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ඝෝෂාව පාලනය කළේය.
සිංහරාජේ ඇත්ත කතාව
අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ ප්‍රධාන මාතෘකාවක් වූයේ වන වගාව සහ වන රක්ෂිත ප්‍රදේශයි. සිංහරාජ රක්ෂිතයේ වන සංහාරයක් සිදුවන බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහක් ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් සිහිපත් කළ ජානක වක්කුඹුර “වෙබ් අඩවිවලින්, සමාජ මාධ්‍යවලින් නැති වන සංහාරයක් මවා පාමින් පුළුවන් තරම් ආණ්ඩුවට පහර දෙනවා. සිංහරාජයේ එළි කරන ඉඩමේ සැබෑ හිමිකාරීත්වය තියෙන්නේ ගුරුගේ මැණික් ව්‍යාපාරිකයාට. ඒ අය ඉඩම අරන් තියෙන්නේ හැට ගණන්වල. ඒ ඉඩමට එහා පැත්තෙන් තියෙන්නේ තේ ඉඩමක්. මේ ගැන පැහැදිලිව කරුණු දක්වලා තිබුණත් නිසි ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ.” යැයි කියා සිටියේය.
“ඒ කතාව සම්පූර්ණ ඇත්ත. මේ සිද්ධිය ආණ්ඩුවට පහර දෙන්න යොදා ගනිමින් තිබෙනවා. සමහර වෙබ් අඩවිවල සමාජ මාධ්‍යවල සිංහරාජය එළි කරනවා කියලා පෙන්වන්නේ වෙන රටක කැලෑ එළි කරපු පින්තූර. නැත්නම් වෙන රටක ගස් පටවගෙන යන ලොරි.මේ වගේ සිද්ධියක් මතු වුණාම ඒ තැනටම ගිහින් සැබෑ තොරතුරු එළි කරන ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ.” යැයි පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් අදහසක් ඉදිරිපත් විය. පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිස බ්‍රහස්පතින්දා දිනයේ සිංහරාජයට ගියේ ඒ අනුවය.
සිංහරාජය කැබිනට් එකටත් එයි
මේ සම්බන්ධයෙන් එදින සවස පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී කතා කරන බවට දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පොරොන්දු විය. දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා පොරොන්දු වු පරිදිම කැබිනට් මණ්ඩල රැස්වීමේදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
එම සාකච්ඡාවට එක්වූ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා “මේ වගේ බොරු චෝදනා ආණ්ඩුවට එල්ලවෙන එක හොඳ දෙයක් නෙවෙයි. මේවාට විදිමත් විදියට පිළිතුරු දෙන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මාධ්‍යවේදින් කියන්නේ ඔවුන්ට හරියට තොරුතුරු ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා විශේෂයෙන්ම මාධ්‍යට නිවැරදි තොරතුරු ලබා දෙන ක්‍රමවේදයක් ඉක්මනින් සකස් කරන්න ඕනේ” යැයි කියා සිටියේය.
මේ සංවාදයට සාවධානව ඇහුම්කන් දෙමින් සිටි ජනාධිපතිවරයා “ජනමාධ්‍ය ඇමැතිතුමා මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳන්න. අපි බලයට ආවේ රට විනාශ කරන්න නෙවෙයි. විනාශ වෙමින් තිබුණු රටක් ගොඩගන්න තමයි ජනතාව අපිව බලයට පත්කෙරුවේ. මෙහෙම බොරු ප්‍රචාර දියත් වුණොත් ජනතාව මුලා වෙනවා. වහාම මේ තත්ත්වයන් නිවැරදි කරන නිසි ක්‍රමවේදයක් සකස් වෙන්න ඕනේ”යැයි කීවේය.
සමගි බලවේගයත් රැස්වෙයි
සමඟි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමද පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම පිරිසගේ අවධානය යොමුවූයේ මේ දිනවල රට ඇතුළේ සිදුවන පරිසර විනාශයත්, ඊට එරෙහිව විරෝධතා දැක්විය යුතු ආකාරය පිළිබඳවත්ය.
මුලින්ම අදහස් දැක්වූ සජිත් පෙන්වා දුන්නේ මෙම විරෝධතා ව්‍යාපාරය රට පුරාම සිදුකළ යුතු බවය. මෙහිදී ඇතැම් මන්ත්‍රිවරුන් පෙන්වා දුන්නේ ඉදිරියේදී අලුත් අවුරුදු සමය එළැඹෙන බැවින් අවුරුද්දෙන් පසු මෙම උද්ඝෝෂණ සිදුකළ යුතු බවකි. නමුත් සජිත් කියා සිටියේ අවුරුදු නිම වන තෙක් සිටිය යුතු නැති බවත්, අවුරුද්ද වන විට මිනිසුන්ට කන්න බොන්න නැති වෙන තත්ත්වයක් උදාවනු ඇති බවත්ය.
සීනි වංචාවට දවස් 2ක්
එමෙන්ම සීනි වංචාව සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු විය. සජිත් එහිදී කියා සිටියේ සීනි වංචාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ඉල්ලා සිටිය යුතු බවකි.
එම සිදුවීමෙන් පසු සජිත් තම නායකත්වයෙන් පසු ගොඩනැගීමට නියමිත පුළුල් දේශපාලන සන්ධානය පිළිබඳවද මන්ත්‍රිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.
“මං මේක කියන්නෙ ආවට ගියාට නෙමෙයි. ඔබතුමන්ලා විවිධ දේශපාලන පක්ෂ ගැන අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා. මොකද මේ දවස්වල බොහෝ පාර්ශ්ව අපිත් එක්ක සාකච්ඡා ආරම්භ කරලයි තියෙන්නෙ. කවුරුත් හිතන්නෙ නැති දැවැන්ත සන්ධානයක් අපි බිහි කරනවා. මට ඒකට ඔබතුමන්ලා අනුමැතිය දෙන්න.” යනුවෙන් සජිත් කියද්දී මන්ත්‍රිවරු ඊට ඒකමතිකව එකඟතාව පළ කළහ. එහිදී එක් මන්ත්‍රිවරයෙක් පැවසුවේ මෙම සන්ධානයට සම්බන්ධ කර නොගන්නේ කවුරුන්ද කියාය. එවිට සජිත් වහාම කියා සිටියේ බැඳුම්කරේට සම්බන්ධ කිසිවකුත් ඊට සම්බන්ධ කරගන්නේ නැතැයි කියාය.
කට්ටියට ආයෙත් පසුපෙළද
ඉන් අනතුරුව මන්ත්‍රි මුජිබර් රහුමාන් සජිත්ගෙන් විමසා සිටියේ එම සන්ධානය බිහිකොට හදන අලුත් ආණ්ඩුවෙත් මේ සියලුදෙනාට හිමි පසුපෙළද යන්න කියාය. එහිදී සජිත් සියලුම මන්ත්‍රිවරුන්ට සහතිකයක් ලබාදීමට කටයුතු කළේය.
නෑ. මම ඒක කීයටවත් සිද්ධ වෙන්න ඉඩ තියන්නෙ නැහැ. මම වගකීමක් ඇතිව කියනව මේ සැරේ අපි හදන අලුත් ආණ්ඩුවේ මේ වෙනුවෙන් කැපවෙච්ච සියලු දෙනාට අවස්ථාව දෙනව. ඒ වගේම අපිත් එක්ක තරගවැදිල පැරදුණු සියලු දෙනාටමත් අපි අවස්ථාව ලබාදෙනවා” යැයි සජිත් කියා සිටියේය.