අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවෙසේ ඊයේ (14) රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සදහා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහය සදහා සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් සහභාගී වී තිබේ.
ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, චම්පික රණවක යන මහත්වරුන් සමග මංගල සමරවීර, සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන් මහත්වරුන් සාකච්ජාවට එක්ව ඇත.
කෙසේවෙතත් මෙම සාකච්ජාවේදී රවුෆ් හකීම් මහතා පමණක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් අදහස් දක්වා ඇති අතර අනෙකුත් පක්ෂ නායකයන් සියලුම දෙනාම ප්‍රකාශ කොට ඇත්තේ එජාපය නම් කරන අපේ්ක්ෂකයා කවුරුන්ද, එම අපේක්ෂකයා හට තම සහාය ලබා දීමට සූදානම් බවකි.
නමුත් මංගල සමරවීර මහතා ඇතුළු කණ්ඩායම එහිදී පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත්තේ එසේනම් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් එජාපය සමග සාකච්ජා කරන ලෙසකි. තමන්ට එජාපය සමග සාකච්ජා කළ හැකි නමුත් අපේක්ෂකයා සම්බන්ධයෙන් බලපෑම් කළ නොහැකි බව එහිදී පෙන්වා දී ඇති පක්ෂ නායකවරුන් හැකි ඉක්මනින් අපේක්ෂකයා නම් කරන ලෙසට පමණක් තමන්ට බලපෑම් කළ හැකි බව පෙන්වා දී තිබේ.
ප්‍රේමදාස මහතා මෙහිදී සදහන් කොට ඇත්තේ තමන් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ජා කළ බවත්, එම සාකච්ජා ඉතා සුබදායක බවත්ය.
නමුත් අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව නම් දෙමළ සන්ධානය මේ සකච්ජාවලදී කිසිදු තීන්දුවක් ලබා දී තිබුණේ නැත.
එමෙන්ම මනෝ ගනේෂන් මහතා ඊයේ දිනයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ බැවින් මෙම සාකච්ජාවට සහභාගි නොවන බවට අප පෙර වාර්තා කර තිබුණද මෙම සාකච්ජාව නිසාම එම සංචාරය දිනකින් කල් දමා ඊට එක්වීමට ගනේෂන් මහතා කටයුතු කොට තිබිණ.