පසුගිය ඉරිදා දේශපාලන ක්‍ෂේත්‍රයම කළඹවාගෙන සමාජ මාධ්‍ය ජාලාවල ගිය එක්තරා පුවතක් හේතුවෙන් ඉරිදා උදේ වරුවේම ආණ්ඩුවේ විතරක් නොව විපක්‍ෂයේ දේශපාලකයන්ගේත්, දේශපාලනයට සම්බන්ධකම් තියෙන දෙපාර්ශ්වයේම ඥාති හිතවතුන්ගේත්, මාධ්‍යවේදීන්ගේත් දුරකතනවලට නිනව්වක් නොවීය. පුවතින් කියැවුණේ මහින්ද හදිසියේම අසනීප වී ඇති බවකි. මහින්දගේ තත්ත්වය අසාධ්‍ය බවත්, වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කොට ඇති බවත් එම පුවතින් වැඩිදුරටත් කියැවිණි.
මහින්ද ගැන රටම හොල්ලන කතාවක්: ඔක්කොම බයවෙලා
සමාජ මාධ්‍ය ජාලාවන්හි පළවූ මෙම පුවත මුල්කරගෙන දේශපාලන ක්‍ෂේත්‍රයම කැලැඹී යද්දී හැමෝම උත්සාහ කළේ තම තමන් දන්නා හඳුනන පුද්ගලයන්ට කතා කොට මෙම පුවතේ ඇත්ත, නැත්ත විමසා බැලීමටය. මහින්දගේ ප්‍රධාන ආරක්‍ෂක ප්‍රධානියාටද උදේ වරුවේ හදිසි දුරකතන ඇමැතුමක් ලැබුණේ ඒ අනුවය. ඇමැතුම ආවේ විදේශගතව සිටි එම නිලධාරියාගේ හිතවතකුගෙනි. පණිවුඩය ලැබීමත් සමඟම කලබලයට පත්ව උන්හිටි තැන් අමතක වූ ආරක්‍ෂක ප්‍රධානියා මේ කතාවේ ඇත්ත, නැත්ත හොයන්න වහාම ඇමැතුමක් ගත්තේ මහින්දගේ බාල පුත්‍රයා වූ රෝහිත රාජපක්‍ෂටය. රෝහිත ඒ වෙලාවේ සිටියේ විජේරාම පිහිටි මහින්දගේ නිල නිවෙසේය. සිද්ධිය දැනගත් වහා රෝහිත මහ හයියෙන් සිනාසෙමින් කීවේ, ‘මොන පිස්සුද..? තාත්තා ඔය ජිම් එකේ එක්සයිස් කර කර ඉන්නේ…’ යැයි කියාය.
කතානායකත් මහින්ද බලන්න දුවගෙන එයි
කෙසේ වෙතත් මේ සමාජ මාධ්‍ය පුවත දුටු මැති ඇමැතිවැන්ද වහාම මහින්දව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ආකාරයක් දැකගන්නට තිබිණි. එසේ උත්සාහ කළ එක් අයකු වූයේ ධනසිරි අමරතුංගය. ධනසිරි වහාම මහින්දට කතා කොට අදාළ පුවත අසත්‍යයක් බව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පවා තබමින් කියා සිටියේය.
මේ අතර පුවත වාර්තා වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද හනිහනික විජේරාම නිල නිවෙසට ආවේ මහින්දව දුරකතනයෙන් අල්ලා ගැනීමට නොහැකි වූ තැනය. ඒ අනුව මහින්දව දුටු ගමන් කතානායකවරයා මේ කතාව පිළිබඳ කියද්දී මහින්දටද හිනා නොවී සිටිය නොහැකි විය.
ඇස්වහ කටවහ යන්නත් එක්ක හොඳයි…
‘ඔය වගේ කතා ඉඳලා හිටලා යන එක හොඳයි… එතකොට ඇස්වහ, කටවහ යනවනේ…’ කියමින් මහින්ද කියද්දී කතානායකවරයාටත් හිනා නොවී සිටිය නොහැකි විය. එම හමුව පිළිබඳ ඡායාරූපයක් දහවල් වන විට අගමැති මාධ්‍ය ඒකකයෙන් මාධ්‍ය වෙත නිකුත් කෙරුණේද උදේ වරුවේ සමාජ මාධ්‍ය ගිනිතැබූ කටකතාව බොරු කියා කියන්නට විය යුතුය.
එමෙන්ම එදින සවස මහින්ද අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ මහනාහිමියන් හමුවී සාකච්ඡා කිරීමටද පියවර ගත්තේ උදේ වරුවේ රට පුරා ගිය කටකතාවට සම්පූර්ණයෙන්ම තිත තබන්නටය.
ජිනීවා යුද්ධය ඇරඹේ
ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් පිටු 30ක රහස් වාර්තාවක් ලංකා ආණ්ඩුව වෙත එවා ඇති බවත්, ඒ හරහා බරපතළ නිර්දේශ හා අනතුරු ඇඟවීම් ගණනාවක් සිදුකොට ඇති බවත් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි අති විශේෂ අනාවරණයක් කරමින් රටට හෙළිදරව් කළෙමු. එහිදී අප වැඩිදුරටත් කියා සිටියේ මෙම රහස් වාර්තාව පදනම් කරගෙන මෙවර බි්‍රතාන්‍ය ඇතුළු බටහිර රටවල් ලංකාවට එරෙහිව බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ යෝජනාවක් සම්මත කිරීමට සූදානමින් සිටින බවත්, ඒ අනුව ලබන මාර්තු මාසය ආණ්ඩුවට ඉතා තීරණාත්මක එකක් වනු ඇති බවත්ය. සිංහල මාධ්‍ය පුවත්පතක් ලෙස පළමුවරට අප කළ මෙම අනාවරණයෙන් පසු මෙවර අප එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ආණ්ඩුව වෙත එවා ඇති වාර්තාවේ අඩංගු බරපතළ ගණයේ නිර්දේශයන්ද අනාවරණය කිරීමට සූදානම්ය. ඒවා අතර බරපතළ ගණයේ ඒවා වන්නේ ලංකාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවට මානව හිමිකම් කොමිසම විසින් කර ඇති නිර්දේශයය.
එමෙන්ම මනාව හිමිකම් කඩකළ බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයන්ට ජාත්‍යන්තර සංචාරක තහනමක් පැනවිය යුතු බවද, ඔවුන්ගේ වත්කම් අත්හිටුවිය යුතු බවටද නිර්දේශ කිරීමට මානව හිමිකම් කොමිසම යෝජනා කොට ඇත. මීට අමතරව ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ස්වාධීන ආයතනයක් ස්ථාපිත කළ යුතු බවටද එම කොමිසම නිර්දේශ කිරීමට පියවර ගෙන තිබේ.
ජනපති විශේෂ සාකච්ජාවක් කැදවයි
සාමාන්‍යයෙන් මානව හිමිකම් කොමිසම මඟින් එසේ එවනු ලබන වාර්තා පදනම් කොටගෙන අදාළ රටට එරෙහි යෝජනාවද ඉදිරිපත් කෙරෙන බැවින් මෙවර ලංකාවට එරෙහි යෝජනාව ඉතා බරපතළ එකක් වනු ඇති බවට බොහෝ පාර්ශ්වයන් මේ වන විටත් අනතුරු ඇඟවීම් ගණනාවක් සිදුකොට ඇත. ඒ නිසාමදෝ ආණ්ඩුවද පසුගිය සතියම කාලය වෙන් කළේ මීට ලබා දිය යුතු පිළිතුර කුමක්ද යන්න සොයා බැලීමටය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා පසුගිය සඳුදා (25දා) පෙරවරු 11ට ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබිණි. ඊට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය තාරක බස්නායක, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමැතිවරුන්ටද, විදේශ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ ඇතුළු විදේශ අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ද කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මහින්ද සමරසිංහ එම සාකච්ඡාවට කැඳවා තිබුණේ අවස්ථා කිහිපයකදීම මානව හිමිකම් කොමිසමේදී ලංකාව වෙනුවෙන් සටන් කොට ගෞරවනීය අවසානයක් කරා රැගෙන යෑමට හෙතෙම කටයුතු කර තිබීම නිසාය. විමල් හා උදය සාකච්ඡාවට කැඳවා තිබුණේ නිතර මානව හිමිකම් චෝදනා පිළිබඳ සඳහන් කරමින් බටහිර රටවල්වලට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම නිසාය.
දිනේෂ් නිරෝධායනයේ: සූම් එකෙන් එයි
කෙසේ වෙතත් පෙරවරු 11 වන විට සියල්ලන්ම පාහේ රැස්වීමට සහභාගි වී සිටියත්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව පැමිණ සිටි පිරිස ඒ පිළිබඳව විමසද්දී ජනාධිපතිවරයා කීවේ නිරෝධායනයට යොමුව සිටින බැවින් ඒ දෙදෙනාම රැස්වීමට සහභාගි නොවන බවකි. නමුත් ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ දිනේෂ් සජීවීව සාකච්ඡාවට අතරමැදදී සම්බන්ධ වනු ඇති බවද ජනාධිපතිවරයා කීවේය. කීවා වගේම සාකච්ඡාව මැදදී දිනේෂ් ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ පෙනී සිටිමින් විනාඩි 5ක පමණ කාලයක් මතුව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.
කෙසේ වෙතත් සාකච්ඡාව ආරම්භයේදීම මෙවර මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වීමට හැකි ලංකාවට එරෙහි යෝජනාවේ බරපතළකම ගැන පැහැදිලි කිරීමක් කරන ආකාරයක් දැකගත හැකි විය. අන් කිසිදු කාලයකට වඩා දැඩි අයුරින් මෙවර එය ඉදිරිපත් විය හැකි බවද එහිදී කියැවිණ. ඒ අනුව සාකච්ඡාව සම්පූර්ණයෙන්ම පදනම් වූයේ මෙම යෝජනාවට මුහුණ දෙන ආකාරය, කොමිසමෙන් එවා ඇති ලිපියට පිළිතුරු සපයන ආකාරය, මෙම ප්‍රශ්නය විසඳගන්නා ආකාරය සහ ලංකාවට සහාය දක්වන රටවල් ඊට සම්බන්ධ කරගන්නා ආකාරය පිළිබඳවය.
කතා කරන්න විතරක් පුලුවන් රටවල් 17ක්
මෙහිදී විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා කියා සිටියේ මානව හිමිකම් කොමිසමේ ඡන්දය හිමි සාමාජික රටවල් අතරින් 17ක පමණ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ හැකි බවකි. ‘මානව හිමිකම් කොමිසමේ ඡන්ද බලය තියෙන රටවල් 47 අතරින් රටවල් 17ක් විතර තියෙනවා අපිට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒ 17නුත් කීයක් විතර අපිට සහයෝගය දක්වයිද කියලා කියන්න බැහැ. නමුත් රටවල් 17ක් ඉන්නවා’ යනුවෙන් කොළඹගේ කියා සිටියේය.
ඉන් අනතුරුව ප්‍රශ්නය පැනනැඟුණේ එසේ රටවල් සමඟ සහාය ලබා ගැනීම සඳහා සාකච්ඡා කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳවය. එහිදී සාකච්ඡාවට සම්බන්ධ වූ ඇතැමුන් කියා සිටියේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, යන දෙදෙනාම ඒ සඳහා ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත්, ඉකුත් අවස්ථාවන්හිදී පවා එසේ සිදුවූ බවත්ය. මෙහිදී විශේෂයෙන්ම අගමැතිවරයාගේ භූමිකාව පිළිබඳ අදහස් ඉදිරිපත් වීම විශේෂ සිදුවීමක් විය.
මහින්දට කියලා මුස්ලිම් රටවලින් සහාය ගන්න
‘පහුගිය කාලෙදි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පලස්තීන ප්‍රශ්නයේදී ගෙනගිය ඍජු ප්‍රතිපත්තිය නිසා පලස්තීනය ඇතුළු මැදපෙරදිග මුස්ලිම් රටවල් අපට සහයෝගය දැක්වූවා. ඒ නිසා මේ පාරත් මුස්ලිම් රටවල්වල සහාය ගන්න නම් අගමැතිවරයා මැදිහත් කරගන්න ඕනෑ’ යනුවෙන් එහි සිටි එක් ඇමැතිවරයෙක් කියා සිටියේය.
එමෙන්ම තවත් ඇමැතිවරයෙක් කියා සිටියේ ඉදිරි දින කිහිපය ඇතුළත පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ලංකාවට පැමිණීමට නියමිත බැවින් පාකිස්තාන සහායද මෙම ප්‍රශ්නයේදී ලංකාවට පක්‍ෂව ලබාගත හැකි යැයි කියාය. නමුත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ තරමක් වෙනස් කතාවකි.
ඉම්රාන් ඛාන්ට දැන් තියාම බලපෑම් ඇවිත්
‘මට ආරංචියි ඉම්රාන් ලංකාවට එනවා කියලා කියපුවාම මුස්ලිම් රටවල්වලින් විශාල බලපෑමක් ඇවිල්ලා කියලා ලංකාවට ගිහින් මුස්ලිම්වරුන්ගේ භූමදාන ප්‍රශ්නය ගැන කතා කරන්න කියලා…’ යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී පැමිණි තවත් අදහසකින් කියැවුණේ එම භූමදාන ප්‍රශ්නය මුල්කරගෙන මුස්ලිම් රටවල්වලින් මෙවර කිසිදු සහයෝගයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවකි.
‘2009දීත් ලංකාවට එරෙහිව මේ විදියටම බරපතළ චෝදනා එල්ල කරලා යෝජනාවක් මානව හිමිකම් කොමිසමට බටහිර රටවල් අරගෙන ආවා. එතැනදී අපිට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වුණාම අපිත් ඊට එරෙහිව යෝජනාවක් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළා. එතැනදී ඡන්දයක් විමසන්නත් තීන්දු වුණා. ඒ ඡන්දෙදි අපට ගොඩාක් සහාය දුන්නේ මැදපෙරදිග ඇතුළු මුස්ලිම් රටවල්. හැබැයි දැන් ලංකාවේ මතුවෙලා තියෙන මුස්ලිම් සිරුරු ආදාහනය කරන ප්‍රශ්නෙත් එක්ක මුස්ලිම් රටවල්වල සහාය අපට මෙවර නොලැබෙන තත්ත්වයක් මතුවෙලා තියෙනවා. විශේෂයෙන් මැදපෙරදිග, අරාබි රටවල් අපට සහාය දක්වයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ’ යනුවෙන් එක් ඇමැතිවරයෙක් පෙන්වා දුන්නේය.
ලංකාවෙනුත් ජිනීවාවලට යෝජනාවක්…
එසේ නම් මෙවර ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව විමසද්දී යෝජනා වුණේ මෙවරත් ලංකාව පාර්ශ්වයෙන් ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කර එය න්‍යාය පත්‍රයට ඇතුළත් කරගත යුතු බවය. එසේ වුවහොත් අවම වශයෙන් ලංකාව පැත්තෙන් අදහස් දක්වා අපගේ ස්ථාවරය පැහැදිලි කළ හැකි බවද එහිදී කියැවිණි. ඒ අනුව දැන් ආණ්ඩුව තීන්දු කර ඇත්තේ මෙවර මානව හිමිකම් සමුළුවේදී ලංකාව පැත්තෙන්ද යෝජනාවක් ඉදිරිපත් කිරීමටය. එමෙන්ම මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට එවා තිබූ බරපතළ නිර්දේශ ඇතුළත් රහස් වාර්තාවට දැඩි ප්‍රතිචාර දක්වා ලිපියක් යොමු කිරීමටත් තීන්දු විය.
ලියුම හදන්න නිරෝධායනයේ සිටි දිනේෂුත් එයි
ඒ අනුව අදාළ ලිපිය සකස් කිරීමේ කාර්යය යොදාගෙන තිබුණේ අඟහරුවාදා (26දා) දිනයේදීය. මෙදින දැකගන්නට ලැබුණු විශේෂිතම සිදුවීම වූයේ නිරෝධායනය වන බව කියමින් සඳුදා පැවැති රැස්වීමට සහභාගි නොවූ දිනේෂ් අඟහරුවාදා දින පැවැති රැස්වීමට සහභාගි වී සිටීමය.
දැඩි සෞඛ්‍ය රීති පිළිපදිමින් මීටර් 2ක් දුරින් යුතුව ආසන පැනවීමක්ද සිදුකර තිබුණු අතර, සියලුම නිලධාරීන් මුඛ ආවරණ පැලැඳ ඊට එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව පිළිතුරු ලිපිය සකස් කිරීම සිදුකෙරුණු අතර, එහිදී කොමිසම වෙත දැඩි රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් උපයෝගී කරගෙන පිළිතුරු ලබා දීම සිදුවිය. අදාළ වාර්තාවේ සඳහන් සියලුම චෝදනා ඒකපාර්ශ්වීය සහ දේශපාලන න්‍යාය පත්‍රයක් මත පිහිටා ඉදිරිපත් කර ඇති බවත්, මෙම චෝදනා පසුපස ලංකාවට එරෙහි බලවේග සිටින බවටත් එම ලිපියෙන් අවධාරණය කිරීමටද වගබලාගෙන තිබිණි.
ඒ අනුව දැන් එකක් පැහැදිලිය. ඒ ආණ්ඩුව මාර්තුවේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කොමිසමට එරෙහිව යුද ප්‍රකාශ කොට ඇති බවය. මේ හරහා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන මාර්තු මාසය වන විට ලංකාව මුල්කරගෙන ජිනීවාහිදී අති භයානක පිටියක් නිර්මාණය වීම නොවැළැක්විය හැකිය. ඒ අනුව දැන් ආණ්ඩුව තීන්දු කොට ඇත්තේ පෙබරවාරි මුල් සතියේ සිටම මානව හිමිකම් කොමිසමට ඇතුළත් ඡන්දය හිමි සියලුම රටවල්වල සිටින විදේශ ඇමැතිවරුන් සහ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙසට ලංකාව නියෝජනය කරන තානාපතිවරුන්ට දැනුම් දීමටය. එමෙන්ම රාජ්‍ය මට්ටමින් ඒ සඳහා උත්සාහ දැරීමටද ආණ්ඩුව මේ වන විට තීන්දු කර ඇති බවක්ද දැනගන්නට තිබේ.
අමෙරිකාව ගැටය තද කරයි
මීට සති කිහිපයකට පෙර සිට අප මෙම තීරුවෙන් අවධාරණය කළ කරුණක් වූයේ ඇමෙරිකාවේ ට්‍රම්ප් පාලනය මෙන් නොව ඩිමොක්‍රටික් පාක්‍ෂික බයිඩන් රජය බලයට පත්වීමත් සමඟ ලංකාවට මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියාය.
අප අනාවරණය කළ එම කරුණ මේ වන විට සියයට සියයක්ම තහවුරු වී ඇත්තේ මේ දිනවල ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් මෙන්ම ඇමෙරිකානු නිලධාරීන්ගෙන් ලංකාවට එරෙහිව නිකුත් වන ප්‍රකාශ සහ නිවේදන දෙස බලන විටය. එහි තවත් එක් පියවරක් ඉදිරියට යමින් පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කළ ජිනීවා මානව හිමිකම් කොමිසම කොරෝනා වැළැඳුණු සියලු මෘතදේහ ආදාහනය කිරීමට ලංකා රජය ගෙන ඇති තීන්දුව දැඩිව හෙළා දැකීමට පියවර ගත්තේය. එහිදී ඔවුන් එය විග්‍රහ කර තිබුණේ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසය. එමෙන්ම කොරෝනා වැළැඳුණු මළසිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම වහාම නවතා දමන ලෙසත්, ඒ හේතුවෙන් මුස්ලිම්වරුන් සහ වෙනත් ආගමිකයන්ගේ ඇදහීම්වලට බාධා වන බවත්, එම තත්ත්වය යටතේ ප්‍රචණ්ඩකාරී සිදුවීම පවා වාර්තා විය හැකි බවත් එම නිවේදනයෙන් මානව හිමිකම් කොමිසම දැනුම් දී තිබිණි.
ටෙප්ලිට්ස්ගෙනුත් ප්‍රකාශයක්
මීට අමතරව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියද පසුගිය සතියේ මෙරට මාධ්‍යවේදීන් පිරිසක් මුණගැසෙමින් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකර තිබිණි. එහිදී ඇය පෙන්වා දී තිබුණේ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දිය යුතු බවත්, චීනය සමඟ ගනුදෙනු කිරීමේදී විනිවිද පෙනෙන සුළු ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත්ය. එමෙන්ම ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන්ද අදහස් පළ කර තිබූ ඇය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවද යම් අදහස් කිහිපයක් එහිදී පළකිරීමට පියවර ගෙන තිබිණි.
කොළඹගේ දෙබරයට ගල් ගහයි
කෙසේ වෙතත් තත්ත්වය තරමක් අර්බුදකාරී එකක් වන ලකුණු පහළ වූයේ අඟහරුවාදා දිනයේදී විදේශ අමාත්‍යාංශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා ජෝ බයිඩන්ගේ නව ඇමෙරිකානු රජය විවේචනය කරමින් මාධ්‍ය වෙත දැඩිව අදහස් ප්‍රකාශ කිරීමත් සමඟය. එහිදී ඔහු සඳහන් කර තිබුණේ කිසිවකුත් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් හෝ මානව හිමිකම් සම්බන්ධයෙන් හෝ සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් හෝ ලංකාවට පාඩම් කියා දිය යුතු නැති බවකි. එහිදී ඇමෙරිකාවේ නව රජය සම්බන්ධයෙන් අදහස් පළ කළ විදේශ ලේකම්වරයා බයිඩන් පාලනය දැන් කළයුත්තේ ඉකුත් වසර කිහිපය තිස්සේ පැවැති පාලනය මඟින් අහිමි කළ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය යළි රට තුළ ස්ථාපිත කිරීම බවද කියා සිටියේය. එමෙන්ම ඇමෙරිකාව නැවැතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ සම්බන්ධ විය යුතු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ නැවැත සම්බන්ධ විය යුතු බවත්, පැරිස් ගිවිසුම සමඟ යළි එක් විය යුතු බවත් කොළඹගේ එහිදී මාධ්‍යයට කියා තිබිණි. ඇමෙරිකාව වැනි බලවත් රටවල් ගෝලීය වගකීම දැරිය යුතු බව පෙන්වා දී තිබූ කොළඹගේ බයිඩන් පාලනය ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය දෙස ලංකාව විමසිල්ලෙන් සිටින බවද පෙන්වා දුන්නේය.
කොළඹගේ ගැන දිනේෂ්ගෙන් පැමිණිලි
කෙසේ වෙතත් මේ ආකාරයට විදේශ ලේකම්වරයා හා හා පුරා බලයට පත්වූ බයිඩන් රජය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් පසු එය දෙරට අතර, රාජ්‍යතාන්ත්‍රිකව යම් උණුසුමක් නිර්මාණය කිරීමට සමත් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවා මෙම ප්‍රකාශය දැකීමත් සමඟ යම් කෝපයකින් පසුවූ ආකාරයක් දැකගන්නට තිබිණි. ඒ අනුව දිනේෂ් මේ වන විට තීන්දු කර ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමටත්, මානව හිමිකම් කොමිසම තුළ ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වන පසුබිමක් යටතේ සියලු සහාය ලංකාවට අත්‍යවශ්‍ය බැවින් මෙවැනි ප්‍රකාශ මඟින් අනවශ්‍ය ගැටුම් ඇති විය හැකි බව පෙන්වා දීමටත්ය.
මේ ආකාරයට ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය හා කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවේ ‘අදානි’ සමාගමට ලබා දීම වැනි කරුණු හේතු කොටගෙන සතිය ආරම්භ වන විටදීම ආණ්ඩුවට මුහුණ දීමට සිදුව තිබුණේ නොසිතූ සිදුවීම් කිහිපයකටය. විශේෂයෙන්ම වරාය ප්‍රශ්නයේදී ආණ්ඩුවත් සමඟ සිටි ස්වාමීන් වහන්සේලා, සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රකාශ නිකුත් කිරීම ආණ්ඩුව කිසිසේත්ම බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවීය.
ජනපති රහස් සාකච්ජාවක
ඒ සියල්ල අතරවාරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා එක්තරා විශේෂ පුද්ගලයකු අතර අති විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේදී පැවැත්වී ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. මෙම විශේෂ පුද්ගලයා වෙන කවුරුවත් නොව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාය. පැය ගණනාවක් පුරා ඉතා රහසිගතව පැවැත්වී ඇති මෙම සාකච්ඡාවේදී නැඟෙනහිර ජැටිය පිළිබඳ සාකච්ඡා වී ඇති බවක් වාර්තා වුවද, නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙහිදී නැඟෙනහිර ජැටියට වඩා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට ඉන්දියාවේ සහාය ලබා ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා වී ඇති බවකි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ නිල තොරතුරු මෙතෙක් මාධ්‍ය වෙත ඉදිරිපත්ව නොතිබීමද විශේෂ සිදුවීමකි.
ආණ්ඩුවට අප්‍රේල් තීරණාත්මකයි: පිරිසක් ගැලවෙන ලකුණු
මේ සියල්ල අතරවාරයේ ලබන අප්‍රේල් මාසය ආණ්ඩුවට ඉතා තීරණාත්මක මාසයක් වීමේ ලකුණු මේ වන විට පහළ කරමින් යම් යම් සිදුවීම් කිහිපයක් ආණ්ඩුව ඇතුළේ සිදුවීමේ පසුබිමක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. ‘රාජ්‍ය රහස්’ තීරය තවමත් මේ පිළිබඳ විමර්ශනය කරමින් සිටින අතර, දැනට අප වෙත ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ යම් යම් සාකච්ඡා හා හමුවීම් තිරය පිටුපස සිදුවෙමින් පවතින බව පමණි. මෙහිදි යම් යම් කණ්ඩායම් පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයට එක්වීමේ සාකච්ඡාද මේ තුළ නැතුවා නොවේ. මෙහිදී පළමු වටයේදී විපක්‍ෂයට එක් නොවී ස්වාධීන වීම මෙම පිරිසේ සැලැසුම බවත්, ඒ සම්බන්ධයෙන් මේ දිනවල පවතින නීතිමය තත්ත්වයන් සොයා බලමින් සිටින බවත් දැනගන්නට ඇත.
නීතිමය උපදෙසුත් අරන්
මෙහිදී මෙම පිරිසට ලැබී ඇති නීතිමය උපදෙස්වලින් කියැවී ඇත්තේ ඍජුව පොහොට්ටුවේ සාමාජිකයෙක් වී ඡන්දය ඉල්ලා තිබුණි නම් ස්වාධීන වීමේ ඉඩකඩක් පවතින නමුත්, පක්‍ෂය ගන්නා තීන්දු, තීරණවලට එරෙහිව පාර්ලිමේන්තුව තුළ ඡන්දය භාවිත කිරීම කළ නොහැකි බවකි. නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය හැකි බවට එහිදී ඔවුන්ට නීති උපදෙස් ලැබී ඇති බවක්ද ආරංචිය.
මේ අතරවාරයේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනෙක්ම පසුගිය සතියේ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශ 2ක් සිදුකර තිබීමද දේශපාලනයේ මහත් කතාබහට ලක්වූ සිදුවීමක් විය. එම ඇමැතිවරුන් දෙදෙනා වූයේ බන්ධුල ගුණවර්ධනත්, ඩලස් අලහප්පෙරුමත්ය.
බන්දුලගෙන් කූඨ ආණ්ඩුවක්?
මෙහිදී කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධුල කියා සිටියේ අද ඇතැම් පිරිසක් කූඨ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවය. ආණ්ඩුවට ඡන්දය දුන් 69 ලක්‍ෂයක ජනතාවට වැරැදි මතයක් දී මෙම කූඨ ආණ්ඩුව පිහිටුවා ගැනීමේ උත්සාහයක් පවතින බවද බන්ධුල ගුණවර්ධන එහිදී පෙන්වා දුන්නේය.
මීට අමතරව ඩලස්ද මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ ආණ්ඩුවේ සතුටින් නිදාගන්නා එකම ඇමැති තමන් විය හැකි යැයි කියාය. ඩලස් එහිදී මතුපිට අර්ථයෙන් මේ දිනවල වර්ෂාව වැටී ජලාශ පිරී තිබීම නිසා රටටම අඛණ්ඩව විදුලිය ලබා දිය හැකි බවත්, තමන් බලශක්ති ඇමැතිවරයා ලෙස ඒ පිළිබඳ සතුටින් සිටින බව ප්‍රකාශ කළත් එහි යටි අර්ථය ඊට හාත්පසින්ම වෙනස්ය.
ඩලස්ගෙන් අමුතු ගැහිල්ලක්
සාමාන්‍යයෙන් ඩලස් සැලකෙන්නේ විශිෂ්ට භාෂා ඥානයක්, සාහිත්‍ය දැනුමක් සහිත අමාත්‍යවරයකු ලෙසටය. ඩලස් අනෙක් මැති, ඇමැතිවරුන් මෙන් තමන්ට කියන්නට ඇති දේ අමුවෙන් කියන්නට යන කෙනෙක් නොවේ. යම් ප්‍රකාශයක් හරහා එහි යටි අරුත අන්‍යයන්ට දැනෙන්නට සැලැස්වීම ඩලස්ගේ සිරිතය. ඒ ආකාරයට ඩලස් කළ මේ ප්‍රකාශය දෙස බැලීමේදී පැහැදිලිවම පෙනෙන්නට ඇත්තේ ආණ්ඩුව ඇතුළේ සිටින සියලුම ඇමැතිවරුන් යම් කලකිරීමකින් සිටින බවය. කෙසේ වෙතත් මේ කලකිරීම්වල ඇත්ත, නැත්ත බලා ගැනීමට අප්‍රේල් මාසය දක්වා සිටිය යුතු බව සිදුවීම් පෙළ ගැසෙන ආකාරය දෙස බලන විට දැකගන්නට තිබේ.
බැසිල්ගේ තවත් අනාවැකියක් හරි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ආසන සංවිධායකවරුන්, නගර සභා, ප්‍රාදේශීය සභා ප්‍රධානීන් බත්තරමුල්ලේ නෙලුම් මාවතේ පිහිටි පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයට ගෙන්වා දිස්ත්‍රික් මට්ටමින් පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට පියවර ගත්තේය. දින 3ක් පුරා පැවැති මෙම රැස්වීම් මාලාවේදී බැසිල් එක්තරා විශේෂ පණිවුඩයක් පක්‍ෂ සාමාජිකයන් වෙත පැහැදිලිවම ලබා දීමට පියවර ගත්තේය. ඒ, පොදුජන පෙරමුණ නැතිනම් පොහොට්ටුව තනි පක්‍ෂයක් ලෙස සංවිධානගතව රට ඇතුළේ ශක්තිමත් විය යුතු කරුණය.
ජනාධිපතිවරණයට පෙරාතුව සිටම බැසිල් සිටියේ මෙම ස්ථාවරයේය. දිගින් දිගටම බැසිල් පිරිසට පෙන්වා දී තිබුණේ පොහොට්ටුව තනි පක්‍ෂයක් ලෙස ශක්තිමත් කළ යුතු බවත්, වෙනම සන්ධානයක් යටතේ අනෙකුත් පක්‍ෂ පොහොට්ටුවට එක්කර ගත යුතු බවත්ය. නමුත් අවසානයේදී වෙනම සන්ධානයක් නොමැතිව පොහොට්ටුව යටතේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, විමල්ලාගේ, ගම්මන්පිලලාගේ, වාසුදේවලාගේ සුළු පක්‍ෂ ඒකරාශි විය.
ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇවිත්
ඒ අනුව ජනාධිපතිවරණය පවත්වා වසරක් ඉක්ම යන මොහොතේ පැවැති මෙම රැස්වීම් මාලාවේදී බැසිල් පැහැදිලිවම කියා සිටියේ මේ ආකාරයට සුළු පක්‍ෂ පොහොට්ටුව යටතට ගැනීම හරහා ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න රැසක් මේ වන විට නිර්මාණය වී ඇති බවය.
‘මම මීට කාලෙකට කලින් දැකපු දේ අද වෙනකොට ඇත්ත වෙලා. දැන් මේ ආණ්ඩුව ඇතුළෙත් ගොඩාක් ප්‍රශ්න ඇවිත්. ඒකට මුල තමයි තනි පක්‍ෂයක් විදියට පොහොට්ටුව ඡන්දෙට ඉදිරිපත් වෙන්නෙ නැතිව පොඩි පොඩි පක්‍ෂ පොහොට්ටුව ඇතුළට දාගත්ත එක. මේ නිසා ඉස්සරහටත් අපිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වේවි’ යනුවෙන් බැසිල් කියද්දී පැමිණ සිටි පිරිස් සාවධානව ඊට ඇහුම්කන් දී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි.
පොහොට්ටුව තනියම යන තීන්දුවක
කෙසේ වෙතත් බැසිල් ප්‍රසිද්ධියේ කළ මේ ප්‍රකාශය හරහා එකක් පැහැදිලිය. පොහොට්ටුව ඇතුළේ සිටින සුළු පක්‍ෂ පොහොට්ටුවට පමණක් නොව ආණ්ඩුවටද හිසරදයක් වී ඇති බවය. අනෙක් පැත්තෙන් ඉදිරි මැතිවරණවලදී ප්‍රතිඵලය කුමක් වුවත් පොහොට්ටුව තනිව තරග වැදීමට මේ වන විට හිත හදාගෙන සිටින ආකාරයක්ද බැසිල්ගේ මේ ප්‍රකාශයෙන් පෙනෙන්නට ඇති කරුණකි. ඒ අනුව මැතිවරණවලදී ආණ්ඩුව සමඟ සිටින සුළු පක්‍ෂවලටද තමන්ගේ පැවැත්ම වෙනුවෙන් දැන් තියාම සැලැසුම් සකස් කරගන්නට සිදුවනවා ඇත.
එජාපයේ පලු ගැලවෙයි
එක්සත් ජාතික පක්‍ෂයේත්, එයින් මිදී අලුතින් බිහිවුණු සමඟි ජනබලවේගයේත් අලුත් නිලධාරි මණ්ඩලය පත්කෙරුණු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් පැවැතියේ පසුගිය සතියේදීය. මෙහිදී විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකගන්නට ලැබුණු අතර, ඉන් ප්‍රධාන තැනක් ගත්තේ වසර 26ක් තිස්සේ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ දිගටම සිටින රනිල් වික්‍රමසිංහ මහතා නැවැත වතාවක් සිය නායකත්වය තහවුරු කරගැනීමය. මීට අමතරව තමන්ට හිතවත් කිහිපදෙනකුම පක්‍ෂයේ ඉහළ තනතුරුවලට පත්කර ගැනීමටද රනිල් මෙවරත් සමත් විය. ඊට විරෝධය පළකරමින් ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය හිමි වූ අර්ජුන රණතුංග සහ ජාතික සංවිධායක ධුරය හිමිවූ නවීන් දිසානායක එම තනතුරු ප්‍රතික්‍ෂේප කිරීමට පියවර ගත්හ. එපමණක් නොව රනිල්ගේ මෙම වැඩපිළිවෙළ දැඩිව විවේචනයට ලක්කරමින් අර්ජුන මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වීය.
කෙසේ වෙතත් සමඟි ජනබලවේගයේ ඇතුළේ සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස්ම ක්‍රියාවලියකි. එහිදී සජිත් පක්‍ෂ නායකයා ලෙස තේරී පත්වුණු අතර, පක්‍ෂයේ ඉහළ තනතුරු සඳහා සජිත් තෝරාගෙන තිබුණේද ඊට ඉහළම සුදුසුකම් සපුරා තිබූ පිරිසකි.
චම්පිකට සජබේ කැපිල්ලක්ද?
කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය සහ වෙබ්අඩවි මෙහිදී විශාල ප්‍රචාරයක් ගෙන යමින් කියා තිබුණේ චම්පික රණවක මහතාට සමඟි ජනබලවේගයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ආරාධනා කර නොතිබූ බවත්, කිසිදු තනතුරක් චම්පිකට ලබා දීමට සජිත් පියවර නොගත් බවත්ය. සජිත් හා චම්පික අතර ගැටුමක් ඇති බව පෙන්වමින් මෙම පුවත් පළ කර තිබීමද විශේෂත්වයක් විය.
සජිත් චම්පික ගැන ගත් තීන්දුව
නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිදුව තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. ඊට චම්පිකට ආරාධනා කිරීමට පක්‍ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කල්තියාම පියවර ගෙන තිබුණි. ඒ අනුව චම්පික කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූ අතර, ඔහුට තනතුරක් වෙන් කර නොතිබුණේ එතෙක් ඔහු සමඟි ජනබලවේගයේ සාමාජිකත්වය ගෙන නොතිබීම හේතුකොට ගෙනය. නමුත් රැස්වීමට පැමිණි චම්පික තමන් සමඟි ජනබලවේගයේ සාමාජිකත්වය ගැනීමට කටයුතු කරන බව කියා සිටියේ සියල්ලන්ගේම අත්පොළොසන් හඬ මධ්‍යයේය.
ඒ සමඟම පක්‍ෂ නායක සජිත් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් චම්පික වෙනුවෙන් වෙන් කර ඇතැයි කියාය.
ඒ අනුව චම්පිකද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව කියා සිටියේ තමන් අද දින සමඟි ජනබලවේගයේ සාමාජිකත්වය ගත් බවත්, මාධ්‍ය සඳහන් කරන ආකාරයේ ගැටුමක් පක්‍ෂය ඇතුළේ නොමැති බවත්ය.
රුවන්ගේ ලංකාදීපය මඩ ගැහිල්ල අරඹයි
කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය හිමිකරගත් රුවන් විජයවර්ධන මහතාට අයත් ‘ලංකාදීප’ පුවත්පත් සමූහය සමඟි ජනබලවේගය ඇතුළේ ප්‍රශ්න ඇති බවට හැඟවෙන පුවත් පළකිරීමේ මෙහෙයුමක සිටින ආකාරයක් පසුගිය දින කිහිපය පුරා එම පුවත්පත්වල පළවු පුවත්වලින් දැකගන්නට ඇති කාරණයකි. විශේෂයෙන්ම සමඟි ජනබලවේගයේ නිලධාරි මණ්ඩලය පත්වූ වහා ‘ලංකාදීප’ පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවතකින් කියැවුණේ මෙතෙක් කල් පැවැති සාම්ප්‍රදායන් කඩමින් පක්‍ෂ සභාපති ධුරය ෆොන්සේකාට ලබා දී ඇතැයි කියාය. මෙතුවක් කල් එම තනතුර දැරුවේ සුළු ජාතිකයකු විසින් බවද එම පුවතේ වැඩිදුරටත් දැක්විණි.
එමෙන්ම තවත් පුවතක් පළකරමින් ‘ලංකාදීප’ය සඳහන් කර තිබුණේ විපක්‍ෂ නායකවරයා ලෙස සජිත් මෙවර නිදහස් උළෙලට සහභාගි වීමට තීරණය කර ඇතැයි කියාය.
සජිත් නිදහසට යයිද?
කෙසේ වෙතත් පසුගිය දිනෙක සමඟි ජනබලවේගය ඇතුළේ මේ සම්බන්ධයෙන් යම් කතිකාවක් සිදුව තිබූ අතර, එහිදී එක් පිරිසක් පෙන්වා දී තිබුණේ ආණ්ඩුව මේ වන විට කතා කිරීමේ නිදහස අහිමි කර ඇති නිසා ඊට විරෝධය පළකරමින් නිදහස් උළෙල වර්ජනය කළ යුතු යැයි කියාය. තවත් පිරිසක් පෙන්වා දී තිබුණේ ලංකාවට නිදහස ලබා දුන්නේ එක්සත් ජාතික පක්‍ෂය බැවින් එවැනි ජාතික උළෙලකදී දේශපාලන තින්දු, තීරණ නොගෙන යම් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගතයුතු යැයි කියාය. ඒ අනුව ඒ පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි දිනෙකදී ගැනීමට නියමිතය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්‍ෂය අද පත්ව ඇති තත්ත්වය පිළිබඳවද සාකච්ඡා විය. එහිදී එක් මන්ත්‍රිවරයෙක් කියා සිටියේ අද එක්සත් ජාතික පක්‍ෂයට අත්ව ඇති ඉරණම ඉතා කනගාටුදායක යැයි කියාය.
රනිල්ගෙන් රුවන්ට කොන්දේසි
‘අද එක්සත් ජාතික පක්‍ෂය වැටිලා ඉන්න තත්ත්වය දැක්කාම දුකක් හිතෙනවා. පක්‍ෂය මේ තැනට වැටුණේ රනිල් එදා ඉඳන් නායකත්වය තියාගෙන ගහපු ගේම් නිසයි. මේ පාර එයා අයින් වෙනවා කියලා ප්‍රසිද්ධියේම කිව්වා. හැබැයි ඒක වුණෙත් නැහැ. දැන් එයාගෙම හෙංචයියන් ආයෙමත් තනතුරුවලට දාගෙන…’ යනුවෙන් මන්ත්‍රිවරයා කියද්දී තවත් මන්ත්‍රිවරයෙක් රනිල්ගේ මස්සිනා වූ රුවන්ට අයත් ‘ලංකාදීප’ පත්තර සමූහය සමඟි ජනබලවේගයට ගහන මඩ පිළිබඳව විශේෂ අනාවරණයක් කළේය.
‘අපිට ආරංචියි රනිල් එයාගෙ මස්සිනා වෙච්ච රුවන්ට පක්‍ෂයේ නියෝජ්‍ය නායක කම දුන්නේ කොන්දේසි ගොඩක් දාලා කියලා. ඒ එක කොන්දේසියක් විදියට ‘ලංකාදීප’ පත්තරවල හැමදාම සජිත්ටයි, සමඟි ජනබලවේගයටයි ගහලා නිවුස් එකක් දාන්න ඕනෑ කියලා. චම්පිකයි – සජිත් අතරෙයි ගැටුම් තියෙනවා කියලා ඒ පත්තරවල මුල් පිටුවෙම දාලා තියෙන්නෙත් ඒ හින්දා කියලා අපිට ආරංචියි. කට්ටිය ගිහින් රනිල්ගෙන් ඇහුවාමත් රනිල් ඒ අයට කියලා තියෙන්නේ චම්පික – සජිත් දැන් ගහගන්න පටන් අරන් තියෙන්නේ, ළඟදීම චම්පික එතැනින් අයින් වෙලා යනවා කියලලු…’ යනුවෙන් මන්ත්‍රිවරයා කියා සිටියේ සියලු දෙනාගේ හිනා හඬ මධ්‍යයේය.
මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා සම්බන්ධයෙන් සති අන්තයේ අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වූ බව මෙම තීරුව ආරම්භයේදීම අපි සඳහන් කළෙමු. කෙසේ වෙතත් එදිනම මහින්ද හා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර පැවැති සාකච්ඡාවක ඡායාරූප මාධ්‍යයට නිකුත් වීමත් සමඟ එම කතා බොරු වූ බවක්ද අපි එහිදී අනාවරණය කළෙමු.
මහින්ද අභයාරාමයෙන් එළියට එයි
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු මහින්ද පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පසුගිය බදාදා අභයාරාමයේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ 78 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැති දානමය අවස්ථාවේදීය.
කෙසේ වෙතත් මෙම රැස්වීමේදී විශේෂ සිදුවීමක් දැකගන්නට ලැබිණි. ඒ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා දැවැන්ත කැපකිරීමක් කළ සියලුම ස්වාමින් වහන්සේලා එම දානමය අවස්ථාවට වැඩම කර තිබීමය. ඒ අතර ඇල්ලේ ගුණවංශ හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, ගලගොඩඅත්තේ ඥානසාර හිමිද වූහ.
මහින්ද අභයාරාමයට පැමිණීයේ තනිවම නොව මැති ඇමැතිවරුන් රැසක් පිරිවරාය. ඒ අතර, පසුගිය කාලයේ නිතර නිතර සාකච්ඡා සඳහා අභයාරාමයට පැමිණි ඇමැතිවරුද වූහ. එමෙන්ම ආණ්ඩුව පිහිටුවීමෙන් පසු සිදුවූ ඇතැම් සිදුවීම් හේතු කොට ගෙන අභයාරාමයට පැමිණීමට නොහැකි වූ මැති ඇමැතිවරුද මේ අතර වූහ.
මහින්දට ස්වාමින් වහන්සේලා කියපු කතා ටික
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ දානමය අවස්ථාවෙන් පසුව රැස්ව සිටි ස්වාමීන් වහන්සේලා මහින්ද සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට දැනුම් දී සිටීමය. එය හදිසියේ සිදුවූ ඉල්ලීමක් හේතුකොට ගෙන වහාම අගමැති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් රැස්ව සිටි අවශේෂ පිරිස් ශාලාවෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව ශාලාවේ ඉතිරි වූයේ අගමැතිවරයා කැටුව පැමිණි ඇමැතිවරුන් පිරිසය.
මෙහිදී මුරුත්තෙට්ටුවේ හිමියන්, ඥානසාර හිමියන් සහ මැදගොඩ අභයතිස්ස හිමියන් ඉතා දැඩිව ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනයට ලක්කර ඇති බවක් ආරංචිය.
‘අපි ඔබතුමා කෙහෙි තියෙන විශ්වාසයටයි ජනාධිපතිතුමාව පත්කර ගත්තේ. ඒත් දැන් මොකද්ද වෙලා තියෙන්නේ. අපි කියන දේවල් අහන්නේ නැහැ. අපිව ගණන් ගන්නේ නැහැ. අපිත් ඉන්නේ මේ වෙන දේවල් ගැන හොඳටම කලකිරිලා. ඔබතුමාවත් වහාම මේ ගැන පියවරක් ගන්න…’ යනුවෙන් හිමිවරුන් කියද්දී මහින්ද අසා සිටියා විනා ඊට පිළිතුරක් දෙන්නට ගියේ නැත.
කපිල පුංචිමාන්නගේ