කොළඹ වරාය නැගෙනහිර ජැටිය සියයට සියයක් වරාය අධිකාරියේ පාලනය යටතේ ක්‍රියාත්මක කිරීමට අදාළ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද (01) ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූ බව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකිමේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.
ඒ අද (01) දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්ය.
එහිදී මාධ්‍යයට අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පවසා සිටියේ, අදාළ කැබිනට් පත්‍රිකාවේ නිවේදනය හෙට දිනයේ ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවය.
“අග්‍රාමාත්‍යවරයා අපිට දුන්න පොරොන්දුව හෙට දිනයේ ඉෂ්ඨ වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිල නිවේදනය එනතුරු අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත අරින්නේ නෑ. අපි හෙට දිනයේ දී මේ නිල නිවේදනය අපිට ආවට පසුව අපි වෘත්තීය ක්‍රියාමාර්ග අතහරිනු ලබනවා. ඒ කැබිනට් තීන්දුවේ වෙනදෙයක් තිබුණොත් එහෙම අපි වෘත්තීය ක්‍රියාමාර්ග අතහරින්නේ නෑ. “ යනුවෙන් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.