කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය මුල්කරගෙන ඇතිවූ ප්‍රශ්නය මේ වන විට ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. බොහෝ දෙනා මෙම නැඟෙනහිර ජැටියේ ප්‍රශ්නය ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ලෙස සිතා එය ආණ්ඩුව ඇතුළේ විසඳා ගැනීමට උත්සාහ කළද මේ වන විට නැඟෙනහිර ජැටියේ ප්‍රශ්නය ජාත්‍යන්තරය තුළ ලංකාවට එරෙහිව බරපතළ අර්බුදයක් නිර්මාණය වන තත්ත්වයක් දක්වා ඇදී යන ලකුණු පහළ කොට තිබේ. මෙහිදී තිරය පිටුපස පැවැත්වුණු සාකච්ඡා සහ සිදුවීම් බොහෝ මාධ්‍යයන් වාර්තා නොකළ අතර, ඒ ඇතැම් සිදුවීම් ලංකාවට ඉතා අහිතකර ආකාරයේ ප්‍රතිඵල අත්කර දෙන ආකාරයේ සිදුවීම් බව මේ වන විටත් තහවුරු වී අවසානය. එමෙන්ම මෙම නැඟෙනහිර ජැටියේ සිදුවීම හරහා පළමු වතාවට ආණ්ඩුව ඇතුළේ වෙනම කණ්ඩායමක් නිල වශයෙන් බිහිවීමද දැකගත හැකි විය.
විමල් ආණ්ඩුව දෙකට කඩයි…
ඉකුත් සති අන්තය වන විට නැඟෙනහිර ජැටිය මුල්කරගෙන ආණ්ඩුව ඇතුළේ මෝදුවෙමින් පැවැති උණුසුම සඳුදා (01දා) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීමේදී පුපුරන ආකාරයක් පහළ කොට තිබිණ. ඒ අනුව සෙනසුරාදා දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වරාය ප්‍රශ්නය මුල්කරගෙන වෘත්තීය සමිති නියෝජිතයන් කොළඹදී හමුවීමට යොදාගෙන තිබුණත් හදිසියේම මේ තීරණය වෙනස් කළ අගමැතිවරයා සිකුරාදා දිනයේදී තංගල්ල බලා පිටත්ව යෑමට කටයුතු කළේය. ඒ අනුව වෘත්තීය සමිති නියෝජිතයන්ට තංගල්ලේ කාල්ටන් නිවසේදී අගමැතිවරයා මුණගැසීමට පැමිණෙන ලෙසට දැනුම්දීමක් කිරීමටද අගමැති කාර්යාලයෙන් පියවර ගැනිණ.
අගමැතිවරයා මෙසේ හදිසියේම තංගල්ල බලා පිටත්ව යෑමට බලපෑ තවත් හේතුවක්ද තිබිණ. ඒ, සෙනසුරාදා දිනයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ වරාය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක නායකයන්ට පැමිණෙන ලෙසට කර තිබූ දැනුම්දීමය.
නිල නිවසේ සාකච්ජාව ගැන පැමිණිල්ලක්
විමල්ගේ නිල නිවසේ සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ මේ හමුව ආණ්ඩුව ඇතුළේ එක්තරා ආකාරයක ආන්දෝලනයක් ඇතිකර තිබිණ. එම පුවතින් මහත් කලබලයට පත්වූ ඇමැතිවරුන් කිහිපදෙනකුම ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ඇමැතුම් දෙමින් කියා සිටියේ විමල් කරන මේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරැදි බවත්, දේශපාලන කටයුතු සඳහා නිල නිවස කෙසේවත් භාවිත කිරීමේ ඉඩක් නැති බවත්ය. මේ නිසා එම සාකච්ඡාව නැවැත්වීමට පියවර ගන්නා ලෙසද ඔවුන් වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා තිබිණ. නමුත් ජනාධිපතිවරයාගෙන් හෝ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනුණේ නැත.
විමල්ගේ නිල නිවසේ සෙනසුරාදා පැවැති මෙම රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරමින් ශ්‍රීලනිපයේ දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, නව වාමාංශික පෙරමුණේ වාසුදේව නානායක්කාර, සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ, අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග වැනි මන්ත්‍රිවරුද සහභාගිව සිටියහ.
මහින්ද ඉස්සර වෙයි
කෙසේ වෙතත් මෙම රැස්වීම සෙනසුරාදා දිනයේදී විමල්ගේ නිවසේ පැවැත්වෙන්නේ නියත වශයෙන්ම නැඟෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහිව තීන්දුවක් ගැනීමට බව ඒ වන විටත් ආණ්ඩුවේ ප්‍රධානීන්ට වැටහී තිබිණ. ඒ නිසාම රැස්වීම ආරම්භ වීමට මොහොතක් තියා තංගල්ලේ සිටි අගමැතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන් හමුවී මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ නැඟෙනහිර පර්යන්තය කිසිසේත්ම ඉන්දියාවට පැවරීමට හෝ බදුදීමට හෝ විකිණීමට තීරණයක් ගෙන නැතැයි කියාය. ඒ අනුව අගමැතිවරයාගේ මේ ප්‍රකාශයත් සමඟ විමල්ලාගේ මේ රැස්වීමේ උණුසුම පහව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.
රතන හිමි ආවේ මහින්දගේ කතාවෙන් පස්සේ
ඒ ආකාරයෙන් අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් විමල්ලාගේ රැස්වීමේ උණුසුම අවම වුවත් එම ප්‍රකාශය හරහා ඊට යම් උත්තේජනයක් ලැබුණු ආකාරයක්ද දැකගත හැකි විය. ඒ, රැස්වීමට සහභාගි වීමට දෙගිඩියාවෙන් සිටි අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් විමල්ගේ නිවසේ රැස්වීමට සහභාගි වීමට අවසන් මොහොතේදී තීන්දු කිරීම හරහාය.
කෙසේ වෙතත් රැස්වීමට විමල්ගේ නිවසට පැමිණි පක්ෂ නායකයන් මාධ්‍යයට අදහස් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින ආකාරයක් දැකගත හැකි විය. මුලින් තීන්දු වී තිබුණේ මෙම රැස්වීමේද ගන්නා තීන්දු තීරණ කිසිවක් මාධ්‍යයට ප්‍රකාශ නොකොට සඳුදා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී පමණක් සාකච්ඡා කිරීමටය. නමුත් සාකච්ඡාව ආරම්භ කිරීමට ප්‍රථම අගමැතිවරයා තංගල්ලේ සිට කළ ප්‍රකාශයත් සමඟ ඔවුන්ද තීන්දු කළේ සාකච්ඡාවේදී ගත් තීන්දු තීරණ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමටය. ඒ අනුව නිල නිවසෙන් පිටත රැඳී සිටි මාධ්‍යවේදීන් ඇතුළට කැඳවූ විමල් සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහිව ආණ්ඩුව ඇතුළේ සිටිමින් සටන් වැදීමට මෙම පක්ෂ දහය තීන්දු කළ බවකි.
මේ එළියට පැන්නේ බැසිල් විරෝධයද?
ඒ අනුව නැඟෙනහිර ජැටිය මුල්කරගෙන මෙවර එළිපිටම ආණ්ඩුව ඇතුළේ පක්ෂ 10ක සන්ධානයක් නිර්මාණය වූ ආකාරයක් දැකගත හැකි විය. ආණ්ඩුව ඉකුත් වතාවේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී මේ ආකාරයටම විමල්, උදය, වාසුදේව ඇතුළු කණ්ඩායමක් ඊට එරෙහිව ආණ්ඩුව ඇතුළේ දැඩි විරෝධයක් පළකර සිටියත් ඔවුනට එය එක තැනකට ගොනුකර ගැනීමේ හැකියාවක් ලැබුණේ නැත. විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී මෙම පිරිස බැසිල් රාජපක්ෂ මහතාටත්, ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයටත් අදාළව විරෝධය පළ කළ අතර, මෙවර එම බැසිල්ගේ විරෝධය නැඟෙනහිර ජැටිය හරහා සංවිධානාත්මකව එළියට බට ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් බැසිල්ද මේ තත්ත්වය නොදැන සිටියා නොවේ. අප ඉකුත් සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ පළමුවරට අනාවරණය කරමින් කියා සිටියේ සුළු පක්ෂ ආණ්ඩුවට එකතු කර ගැනීම හරහා බරපතළ අත්වැරැද්දක් පොහොට්ටුව අතින් සිදුවූ බවට බැසිල් ප්‍රකාශ කළ බවය. ඒ අනුව මෙම සුළු පක්ෂ ආණ්ඩුව ඇතුළේ අර්බුද නිර්මාණය කරමින් සිටින බවත්, ඉදිරියේදී තනි පක්ෂයක් ලෙස පොහොට්ටුව ශක්තිමත් කළ යුතු බවත් බැසිල් මෙහිදී කියා සිටි බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු. ඒ අනුව ඉදිරියේදී පැහැදිලිවම මේ බෙදීම තවදුරටත් වර්ධනය වන ආකාරයක්ද දැකගත හැකි වනු ඇත.
පළමු ප්‍රහාරය ප්‍රමිතගෙන්
ඒ බව තහවුරු කරමින් විමල් ඇතුළු කණ්ඩායම පැවැත්වූ රැස්වීමත් සමඟ මෙම කණ්ඩායමට එරෙහිව පළමු ප්‍රහාරය නිකුත් වූයේ වෙන කාගෙන්වත් නොව පොහොට්ටුවේ මාතලේ දිස්ත්‍රික් තරුණ මන්ත්‍රිවරයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගෙන්ය. මාතලේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව ප්‍රමිත මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ ආණ්ඩුව සිදුකරන කටයුතුවලට එරෙහිව ආණ්ඩුව ඇතුළේම සිටින පිරිසක් විරුද්ධ වන බවත්, එසේ ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුවේ කකුලෙන් අදිනවා නම්, ආණ්ඩුවට පහර දෙනවා නම් අපටද එම පිරිස්වලට පහරදීමට සිදුවන බවත්ය. ඉකුත් 20 වැනි සංශෝධනයේදී මෙම පිරිස කළේත් මෙවැනිම කටයුත්තක් බවද ප්‍රමිත වැඩිදුරටත් කියා සිටියේය.
මිට අමතරව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් මේ වනවිට තවත් විශේෂ තීන්දුවක් ගෙන ඇති ආකාරයක් දැකගැනීමට ඇත. ඒ, ඊළගට පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුව අපහසුතාවට පත් කරන විමල් වීරවංශ ඇතුලු ඔහුගේ හිතවතුන්ට දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීමටය.
කැබිනට් රැස්වීමත් උණුසුම්
මේ ආකාරයට සෙනසුරාදා දිනයේ අගමැතිවරයා සිදුකළ ප්‍රකාශයත්, විමල් ඇතුළු කණ්ඩායම සිදුකළ ප්‍රකාශයත් මුල්කරගෙන නැඟෙනහිර ජැටිය සම්බන්ධයෙන් පැවැති උණුසුම තව තව ඉහළ නඟින ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම ඉරිදා දිනයේදී මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාවද ජනාධිපතිවරයා අතට පත්විය. ඒ අනුව ඉරිදා වන විට වරාය සභාපති දයා රත්නායක මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් සිටියේ සුබවාදී අයුරින් මෙම නැඟෙනහිර ජැටියේ ප්‍රශ්නය විසඳෙනු ඇතැයි කියාය. ඒ අනුව සියල්ලන්ම බලා සිටියේ සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී වරාය සම්බන්ධයෙන් ආණ්ඩුව කුමන තීන්දුවක් ගනු ඇතැයිද කියාය.
කොරෝනා තත්ත්වය හේතුකොටගෙන මෙවරද කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේය. ඒ අනුව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම රැස්වීමේදී විමල්, උදය, වාසුදේව යන ඇමැතිවරුන් ජැටිය ඉන්දියාවට ලබාදීමට එරෙහිව අදහස් පළකළ බවකි. එමෙන්ම ඊට එරෙහිව ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු අදහස් පළ කළ බවක්ද, කැබිනට් සාමූහිකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණු බවක්ද එම මාධ්‍ය වාර්තා කර තිබිණ. කෙසේ වෙතත් අවසානයේදී කැබිනට් මණ්ඩලය තීන්දු කළේ නැඟෙනහිර ජැටිය 100%ක්ම වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමටය. ඒ වෙනුවට වරායේ බටහිර ජැටිය සංවර්ධනය කිරීමෙන් 85%ක් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමටත්, 15%ක් වරාය අධිකාරිය යටතට පත්කිරීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කරනු ලැබීය.
කවුරුත් නොදත් රහසක් එළියට
මෙහිදී කවුරුත් නොදැන සිටි කතාවක්ද එළියට ආ ආකාරයක් දැකගත හැකි විය. ඒ කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය විදේශ ආයෝජකයන්ට ලබාදී සංවර්ධනය කරන බවට ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ සෞභාග්‍යයේ දැක්මේ මීට පෙර සඳහන් කොට තිබීමය. ඒ බව රටම දැනගත්තේ කැබිනට් මණ්ඩල හමුවෙන් පසු අමාත්‍යවරුන් විසින් බටහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට තීන්දු කළ බවත්, එය ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා ඇතුළත් කොට තිබූ බවරටට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවත්ය.
විමල් වහල් භාවයෙන් අයින් වුණාලු
මේ අතර ආණ්ඩුව ඇතුළේම පක්ෂ දහයක එකමුතුවක් සාදාගත් විමල් ඇතුළු කණ්ඩායම එහි තවත් එක් පියවරක් ඉදිරියට තබමින් බදාදා දිනයේදී මේ සියලු දෙනාම එක මේසයක හිඳවා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමටද පියවර ගත්තේය. මෙම හමුව සංවිධානය කොට තිබුණේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේය. මෙහිදී සියලුම පක්ෂ නායකයන් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළ අතර, විමල් සිය කතාවේදී විශේෂ කරුණු කිහිපයක්ම සඳහන් කළ ආකාරයක් දැකගත හැකි විය. විමල් කියා සිටියේ මෙම කණ්ඩායම කාගේවත් වහලුන් ලෙස කටයුතු කිරීමට සූදානම් නැතැයි කියාය. එපමණක් නොව ආණ්ඩුව හැටනව ලක්ෂයේ ජනවරමට එරෙහිව යෑමට කටයුතු කරන්නේ නම් පිටත සිටින බලවේග සමග පමණක් නොව ආණ්ඩුව ඇතුළේ සිටින බලවේග සමගද සටන් කිරීමට මෙම කණ්ඩායම සූදානම් බවද විමල් එහිදී අවධාරණය කර සිටියේය.
මහින්ද කැදවූ රැස්වීමට ඇවිල්ලත් නෑ
මෙම හමුවෙන් පසු එම සාකච්ඡාවට එක්ව සිටි උදය, දයාසිරි ඇතුළු පිරිස කෙළින්ම අරලියගහ මන්දිරයට පැමිණියේ අගමැතිවරයා විසින් ඒ වන විටත් සංවිධානය කර තිබූ රැස්වීමට සහභාගි වීම සඳහාය. මෙම රැස්වීමට සියලුම කැබිනට් ඇමැතිවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් කැඳවා තිබූ අගමැතිවරයා ඊට සහභාගි වන ලෙසට ජනාධිපතිවරයාටද ආරාධනාවක් කර තිබිණ. නමුත් කාර්ය බහුලතාවය මත ජනාධිපතිවරයා ඊට සහභාගි නොවුණු අතර, විමල්ද ඊට සම්බන්ධ වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. බොහෝ විට බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ වන රැස්වීම්වලට සහභාගි නොවීමට නිල නොවන ලෙසට විමල් ගෙන ඇති තීන්දුව ඊට හේතු වූවා යැයි සිතිය හැකිය.
කෙසේ වෙතත් මෙම රැස්වීමේදී ‘ගම සමඟ පිළිසඳරක් වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන යටතේ සියලුම කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ගම ඇතුළේ කළ යුතු වැඩකටයුතු රැසක් බෙදාදීමට අගමැතිවරයා පියවර ගත්තේය. එමෙන්ම බැසිල් ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සියලුම ඇමැතිවරුන්ට සිදුකළ ආකාරයක්ද දැකගත හැකි විය.
ඉන්දියාවට යකා නගී
කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය මේ ආකාරයට නැඟෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට තීන්දු කිරීමෙන් පසු ප්‍රශ්නය අවසන් වනු ඇති බවක් සිතා සිටියද, ඇත්ත වශයෙන්ම ප්‍රශ්නය ආරම්භ වූයේ එතැන් සිටය. මන්ද යත් ලංකාව මුල්කරගෙන ඉන්දියාව පියවර කිහිපයක් ඔස්සේ දැඩි පීඩනයක් එල්ල කිරීම ආරම්භ කිරීම ඊට හේතුවිය. මෙහිදී ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විදේශ අමාත්‍යවරයා මුණගැසී ඉන්දීය රජයේ විරෝධය නිල වශයෙන් පළකිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පියවර ගත්තේය. මෙම සාකච්ඡාවලදී බාග්ලේ දැඩිව ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දුන්නේ දෙරට අතර මීට පෙර ඇතිකරගෙන තිබූ එකඟතාවන්ට අනුකූලව කටයුතු කිරීම අත්‍යවශ්‍ය යැයි කියාය. එමෙන්ම මීට මාස තුනකට ඉහතදී පවා නැඟෙනහිර ජැටිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අවසන් තීන්දුවක් ගත් බවද බාග්ලේ මෙහිදී පැහැදිලිවම ආණ්ඩුවට පෙන්වා දුන්නේය. එම නිසා ඒකපාර්ශ්වකව කොන්දේසි කඩ කිරීමට පියවර නොගන්නා ලෙසද එහිදී බාග්ලේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම්දී සිටියේය.
කෝටි 8000 ගෙවන්න පැය 48ක් දෙයි
ඉන්දියාවේ ඊළඟ ප්‍රහාරය එල්ල වූයේ අඟහරුවාදා උදෑසනය. ඒ ඉන්දීය රජයෙන් මෙරට මුදල් අමාත්‍යාංශයට ලැබුණු ලිපියක් හරහාය. එම ලිපියෙන් කියැවුණේ රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා ලංකාව ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 400ක (රුපියල් කෝටි 8000ක්) මුදල පැය 48ක් ඇතුළත යළි ඉන්දියාවට ගෙවන ලෙසටය. මේ ලිපියත් සමඟ මුදල් අමාත්‍යාංශ ප්‍රධානීන් මහත් කලබලයට පත්වූයේ ඒ වන විටත් අදාළ මුදල යළි ඉන්දියාවට ගෙවීම සඳහා තවත් මාස හයක සහන කාලයක් ලබාදෙන ලෙසට ඉල්ලමින් සහ තවත් ණයක් ලංකාවට ලබාදෙන ලෙසට ඉල්ලමින් ඉන්දියාවට යැවීම සඳහා ලිපි දෙකක් මුදල් අමාත්‍යාංශය මඟින් සකස් කර තිබියදීය. ඒ අනුව ඉන්දීය රජයේ හදිසි දැනුම් දීම පරිදි ඩොලර් මිලියන 400ක මුදල යළි ගෙවීම මුල්කරගෙන මුදල් අමාත්‍යාංශය මුහුණදුන්නේ බරපතළ අසීරුතාවයකයට. මේ වන විට රටේ ආර්ථිකය කඩාවැටී තිබුණත් ඉන්දීය රජයෙන් කළ දැනුම්දීමට අනුව කෙසේ හෝ පැය 48ක් ඇතුළත එම ඩොලර් මිලියන 400 යළි ඉන්දියාවට ගෙවීමට බදාදා සවස් වරුව වන විට ආණ්ඩුව පියවර ගෙන තිබිණ. මේ හරහා එක් කාරණයක් පිළිබඳව බරපතළ සැකයක් මේ වන විට මතුව තිබේ. ඒ, ලංකා රජය මෙම ණය මුදල ගෙන තිබුණේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමේ පොරොන්දුව මතද කියාය. එසේ නොමැති නම් ජැටිය ලබා නොදෙන බවට තීන්දු කිරීමත් සමඟ ඉන්දියාව යළි මෙම මුදල ඉල්ලා සිටීමට හේතුවක් නැත. මීට අමතරව ඉන්දීය රජය එවා තිබූ ලිපියෙන් තවත් මූල්‍යාධාර සිය රටෙන් බලාපොරොත්තු නොවන ලෙස කිසියම් ඉඟියක්ද ලංකාවට ලබාදී තිබීම විශේෂ කාරණයක් ලෙස දැකගත හැකි විය.
නාවික හමුදාවට බරපතළ චෝදනාවක්
ඉන්දියාවේ ඊළඟ ප්‍රහාරය එල්ල වුණේ පසුගිය බදාදා දිනයේදීය. ඒ, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඉන්දීය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයත් සමඟිනි. ජයශංකර්ගේ කතාවට පාදක වී තිබුණේ මීට මාසයකට පමණ ඉහතදී ඉන්දීය මුහුදු තීරයේ යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයන් තිදෙනකු නාවික හමුදාවේ යාත්‍රාවක හැපීමෙන් මියයෑමේ සිදුවීමය. කෙසේ වෙතත් මේ සිදුවීම සිදුව කෙටි කලක් ගතව තිබුණත් ජැටිය ඉන්දියාවට ලබාදීමට ගත් තීන්දුවත් සමඟ පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ ජයශංකර් දැඩි රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් අනුගමනය කරමින් ලංකාවට එරෙහිව බරපතළ ප්‍රකාශයක් සිදුකළේය. මෙහිදී ජයශංකර් කියා සිටියේ මෙම සිදුවීම “ඝාතනයක්” බවත්, එය කිසිසේත්ම “පිළිගත නොහැකි” එකක් බවත්ය. මේ ආකාරයට මෙම සිදුවීම ඝාතනයක් බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ පළමු වතාවටය. ජයශංකර්ගේ මෙම වචන හැසිරවීම මේ වන විට විවිධ ආකාරයට විග්‍රහ වෙමින් පවතින අතර, රාජ්‍යතාන්ත්‍රික භාෂාව පිළිබඳ දන්නා බොහෝ දෙනා කියා සිටින්නේ එය ඉතා දැඩි වචන භාවිත කිරීමක් යැයි කියාය. මන්ද යත් බොහෝදුරට මෙම “කිසිසේත්ම පිළිගත නොහැකි” යන වචනය භාවිතා කිරීම හරහා ඊට එම රජයේ ප්‍රතික්‍රියාවක් නියත වශයෙන්ම බලාපොරොත්තු වීමට සිදුවන බවද ඔවුන්ගේ මතය වී තිබේ.
කරුණා-පිල්ලෙයාන් හදිසියේ හමුවුණේ මොකටද?
මීට අමතරව ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දියානු මහකොමසාරිස්වරයා පසුගිය අඟහරුවාදා දිනයේදී තවත් විශේෂ වැඩකටයුත්තකට අත ගැසුවේය. ඒ, එල්.ටී.ටී.ඊ. හිටපු නියෝජිතයන් දෙදෙනකු වන කරුණා අම්මාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි පිල්ලෙයාන් මුණගැසීමට නැඟෙනහිරට යෑමටය. උතුරු නැඟෙනහිර සංවර්ධනය සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව මහකොමසාරිස් කාර්යාලය නිල වශයෙන් නිවේදනය කළත් සත්‍ය වශයෙන්ම එහිදී කතාබහට ලක්වුණේ කුමක්ද යන්න සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් මාධ්‍යයට අනාවරණය වී නැත.
ටී.එන්.ඒ. එකත් ඇවිස්සෙයි
අනෙක් අතට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා නැඟෙනහිර සංචාරය කළ දිනයේදීම තවත් එක්තරා විශේෂ සිදුවීමක්ද මඩකළපුව කේන්ද්‍ර කරගෙන සිදුවන ආකාරයක් දැකගත හැකි විය. ඒ දෙමළ සන්ධාන නියෝජිතයන් උතුරු නැඟෙනහිරට දේශපාලන නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් මඩකළපුව සිට යාපනය දක්වා පාගමනක් ආරම්භ කිරීමට පියවර ගැනීමය. ඊට එරෙහිව පොලිසිය උතුරේ අධිකරණවලින් තහනම් නියෝග ගත්තද, එම තහනම් නියෝග නොතකා මහ වැසි මැද්දේ දෙමළ සන්ධාන මන්ත්‍රිවරු උතුර බලා පාගමනින් යන ආකාරයක් දැකගත හැකි විය.
ජිනීවාවලදී ඉන්දියාවත් කනපිට ගහයිද?
කෙසේ වෙතත් නැඟෙනහිර ජැටිය මුල්කරගෙන ලංකාව හා ඉන්දියාව අතර මේ දේශපාලන ආරෝව ඇතිවීමට පෙර ලංකා රජය සැලැසුම් කර තිබුණේ මෙවර ඉතා තීරණාත්මක වනු ඇති බවට කල්තියාම ප්‍රකාශ වී ඇති ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ඉන්දියාවේ සහාය ලංකාවට ලබාගැනීමටය. ඉකුත් සතියේදී අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ අතර මේ සම්බන්ධයෙන් පැය දෙකක පමණ අතිශය රහසිගත සාකච්ඡාවක් පවා පැවැත්වී තිබූ බවකි. එම සාකච්ඡාවේදී ජිනීවා ගැටලුව විසඳා ගැනීම සඳහා ඉන්දියාව මැදිහත් වී සහාය ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බවද අපි එහිදී අනාවරණය කර සිටියෙමු. එම අවස්ථාවේදී ඉන්දීය කොමසාරිස්වරයාද එය ප්‍රතික්ෂේප කළ බවක් වාර්තා නොවිණ. කලාපයේ බලවතා වශයෙන් ලංකාව සම්බන්ධයෙන් යම් සාධනීය මැදිහත්වීමක් ජිනීවා කොමිසම තුළදී ඉන්දියාවට කළ හැකි බව සියල්ලන්ම දන්නා කාරණයකි. නමුත් නැඟෙනහිර ජැටිය මුල්කරගෙන මතුව ඇති නව අර්බුදයත් සමඟ මේ වන විට මතුව ඇත්තේ ඉන්දියාව ලංකාවට සහාය දක්වනවාට වඩා ලංකාවට එරෙහිව එන යෝජනාවකට සහාය දක්වන ස්ථාවරයකය.
දිනේෂ් මුහුණ දුන් අසීරුම සාකච්ජාව
මේ අතරවාරයේ මෙම සිදුවීම්වලින් පසු ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හදිසි හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ. ඇමෙරිකානු තානාපතිවරිය පසුගිය සතියේ මෙරට ඉංග්‍රීසි මාධ්‍යයකට ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම සුදුසු යැයි කියාය. නමුත් ආණ්ඩුව එම තීන්දුව අත්හිටුවීමට හදිසියේම තීන්දු කිරීමත් සමඟ දිනේෂ් මුණගැසුණු ඇමෙරිකානු තානාපතිවරිය මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව බරපතළ චෝදනා රැසක්ම එල්ල කිරීමට පියවර ගත්තාය. එහිදී වගවීම, සංහිඳියාව, නව බයිඩන් රජයේ මානව හිමිකම් ප්‍රතිපත්ති ආදිය පිළිබඳව දිනේෂ්ට පැහැදිලි කිරීමටද ටෙප්ලිට්ස් මෙහිදී කටයුතු කළාය. සාමාන්‍යයෙන් වෙනදා මෙවැනි සාකච්ඡාවන් ඉතා සුහදශීලී ආකාරයෙන් පැවතුණද එදින දැකගන්නට ලැබුණේ ඒ සුහදශීලී බව වෙනුවට ඉතා දැඩි ස්වරූපයකි. මෙම දැඩි ස්වාභාවය කොතෙක්ද කියනවාද යත් සාකච්ඡාව නිමාවීමෙන් පසු දිනේෂ් සිය නිලධාරීන්ට කියා තිබුණේ තමන් මෑත කාලයේ මුහුණදුන් අසීරුතම සාකච්ඡාවට මුහුණදුන් බවකි. මෙම සිදුවීම හරහා ඉන්දියාව සමඟ ඇමෙරිකාවද එකතුව ඉදිරි සැලැසුම් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවක් දැකගන්නට තිබේ.
පළමු වතාවට ජිනීවාවලින් ආන්දෝලනාත්මක නිල වීඩියෝවක්
මේ සියලුම කරුණු කාරණා හරහා මේ වන විට ජිනීවාහි ආරම්භ වීමට නියමිත මානව හිමිකම් මණ්ඩල රැස්වීමේදී ලංකාවට ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවන ආකාරයක් දැකගන්නට ඇත. එම තත්ත්වය තවත් තීව්‍ර කරමින් ඉකුත් සති අන්තයේ ජිනීවා මානව හිමිකම් කොමිසම සිය ඉතිහාසයේ මෙතෙක් කිසිදු දිනක නොකළ කටයුත්තක්ද සිදුකළේය. ඒ ලංකාවේ සිදුවූයේ යැයි කියන යුද අපරාධ සිදුවීම් ඇතුළත් කෙටි වීඩියෝවක් පළමු වතාවට මාධ්‍යයට නිකුත් කිරීමය. යුද්ධය නිමාවූ 2009 වසරේ සිට මේ දක්වා මෙවැනි කටයුතු සිදුකරනු ලැබ තිබුණේ ලංකාවට එරෙහි ඩයස්පෝරා ප්‍රධානීන් සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් වුවත් මෙවර එය මානව හිමිකම් කොමිසම විසින්ම නිල වශයෙන් සිදුකිරීම විශේෂ සිදුවීමක් විය. විනාඩියයි තත්පර විසි අටකින් යුත් එම කෙටි වීඩියෝවට ගුවනින් බෝම්බ හෙළීම ඇතුළු සිදුවීම් කිහිපයක්ම ඇතුළත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබිණ. ඒ හරහා එම සිදුවීම්වලට නිල පිළිගැනීමක් ඔවුන් ලබාදී තිබීම විශේෂ සිදුවීමක් විය.
චන්ද්‍රප්‍රේමට කොන්ත්‍රාත්තුවක්
මෙම වීඩියෝව නිකුත් වීමත් සමඟ දැඩි ලෙස කලබලයට පත්වූ විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම කළේ ජිනීවාහි නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරන සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතාට කතාකොට මෙම වීඩියෝව සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන ලෙස දැනුම්දී සිටීමට පියවර ගැනීමය. සාමාන්‍යයෙන් මෙවැනි කටයුතුවලදී ඊට එරෙහිව ජිනීවා කොමිසම තුළ මතයක් ගොඩනැඟීම සහ කොමිසමේ සාමාජික රටවල්වල නියෝජිතයන්ට සත්‍ය කරුණු වටහා දීම සම්බන්ධයෙන් එහි සිටින නිත්‍ය නියෝජිතයාට පැවරෙන්නේ විශාල වගකීමකි. ඒ අනුව ආණ්ඩුවද චන්ද්‍රප්‍රේමට දැනුම් දී සිටියේ වහාම සියලුම රටවල තානාපතිවරුන් සහ නියෝජිතවරුන් මුණගැසී එම වීඩියෝව පිළිබඳව සත්‍ය තත්ත්වය පහදා දෙන ලෙසටය. එමෙන්ම මෙම වීඩියෝව ඒකපාර්ශ්වික සහ අතිශය දේශපාලනික එකක් බව තහවුරු කර පෙන්වන ලෙසටද විදේශ අමාත්‍යාංශය ලබාදුන් උපදෙස්වලින් වැඩිදුරටත් කියැවිණ.
චන්ද්‍රප්‍රේමට කුඩම්මාගේ සැලකිලිලු
ඒ අනුව චන්ද්‍රප්‍රේමද තානාපතිවරුන් මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වේලාවක් ඉල්ලා සිටියත් කිසිදු තානාපතිවරයෙක් ඒ සඳහා අවස්ථාවක් ලබා නොදීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව විදේශ අමාත්‍යාංශය මෙහි ප්‍රගතිය පිළිබඳව චන්ද්‍රප්‍රේමගෙන් විමසා සිටිද්දී ඔහු ලබාදී තිබුණේ අපූරු පිළිතුරකි.
“කොරෝනා නිසා මේ අය මාව හම්බුවෙන්න බෑ කියනවා. කතා කරන්න ඕනෙ නම් ඔන්ලයින් එන්නලු…” යන්න චන්ද්‍රප්‍රේම එහිදී විදේශ අමාත්‍යාංශයට දී තිබූ පිළිතුර විය. චන්ද්‍රප්‍රේමගේ මේ පිළිතුරෙන් ලංකාවේ විශේෂ නියෝජිතයා වශයෙන් ඔහුට මානව හිමිකම් මණ්ඩලය තුළ පිළිගැනීමක් නැතිද යන ප්‍රශ්නය පැනනැඟීම නොවැළැක්විය හැකිය. එසේත් නොමැති නම් චන්ද්‍රප්‍රේම මෙසේ කියන්නේ ඇත්තටමද යන්න දන්නේ චන්ද්‍රප්‍රේමත්, ජිනීවාහි සිටින තානාපතිවරුනුත් පමණය.
කෙසේ වෙතත් මාර්තු මාසයේදී නිල වශයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබුණද එහි නිල නොවන සාකච්ඡා ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 22 වැනි දිනය. ඒ අනුව ඒ සඳහා ඉතිරිව ඇත්තේ හරියටම තවත් සති දෙකක කාලයකි. නමුත් බරපතළ කාරණය වන්නේ මෙසේ සති දෙකකට අඩු කාලයක් ඉතිරිව පැවැතියදීත් ආණ්ඩුව තවමත් ජිනීවා කොමිසමට මුහුණදෙන ආකාරය පිළිබඳව ස්ථීර සැලැස්මක් සකස් කොටගෙන නොතිබීමය. ඉකුත් සතියේදී අප මෙම තීරුව ඔස්සේම අනාවරණය කළේ ලංකාවට එරෙහිව බටහිර රටවල් විසින් අලුත් යෝජනාවක් ඉදිරිපත් කළහොත් ලංකාවද ඊට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලැසුම් කොට ඇති බවය. නමුත් මේ සම්බන්ධයෙන් හෝ තවමත් නිල තීන්දුවක් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් රැගෙන නොමැති බව දැනගන්නට ඇත.
තිස්සගේ ප්‍රශ්නයෙන් සජබෙ ඇතුළෙත් බෙදිල්ලක්
මේ ආකාරයට ආණ්ඩුව ඇතුළේ මන්ත්‍රිවරුන් විවිධ කල්ලි කණ්ඩායම් ගැසෙද්දී ප්‍රධාන විපක්ෂය වූ සමඟි ජන බලවේගය ඇතුළේද බරපතළ ප්‍රශ්නයක් මතුවන ආකාරයක් දැකගන්නට ලැබුණේ පක්ෂයේ ජාතික සංවිධායකවරයා වූ තිස්ස අත්තනායක මහතා මුල්කරගෙනය. තිස්සගේ දියණිය වූ දුල්මිණි අත්තනායකට ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ඕස්ටේ්‍රලියාවේ තානාපති කාර්යාලයේ ඉහළ පත්වීමක් ලැබ තිබීම මෙම අර්බුදයට හේතුපාදක වී තිබිණ. එම තොරතුර මාධ්‍ය මඟින් අනාවරණය කිරීමත් සමඟ පසුගිය සතියේ සජිත්ව මුණගැසුණු පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම සජිත්ට පෙන්වා දී තිබුණේ මෙම තත්ත්වයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුකොට ඇති බවකි. ඔවුන් දැඩිව සජිත්ට කියා සිටියේ මෙම සිදුවීම හරහා තිස්ස හා ආණ්ඩුව අතර යම් ගනුදෙනුවක් සිදුව ඇති බව පැහැදිලි බවත්, ප්‍රධාන විපක්ෂය ලෙස ජනතාව අතරට යෑමේදී එම තත්ත්වය අහිතකර ලෙස බලපෑම වැළැක්විය නොහැකි බවත්ය. විශේෂයෙන්ම පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් තිස්ස මීට වඩා වගකිවයුතු ලෙස කටයුතු කළ යුතු බව සජිත්ට පෙන්වා දුන් මෙම මන්ත්‍රිවරුන් ලබන සඳුදා පැවැත්වීමට නියමිත මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් බරපතළ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවද සජිත්ට දැනුම්දී සිටියේය.
තව කෙනෙක් දාන්නලු
ඔවුන් සජිත්ට ඉල්ලීම් දෙකක් මෙහිදී ඉදිරිපත් කළ අකාාරයක්ද දැකගන්නට ලැබිණ. ඉන් එක් ඉල්ලීමක් වූයේ වහාම තිස්සව පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙසටය. අනෙක් ඉල්ලීම වූයේ එසේ ඉවත් කළ නොහැකි නම් සම ජාතික සංවිධායකවරයකු පත්කොට තිස්සගේ වගකීම් ඔහුට පවරන ලෙසටය. ඒ අනුව තිස්සගේ ප්‍රශ්නය මුල්කරගෙන සඳුදා පැවැත්වීමට නියමිත මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම උණුසුම් ස්වභාවයක් ගනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
සජිත්ගෙන් අනුර දිසානායකට ඇමතුමක්
මේ අතර ආණ්ඩුව පසුගිය සතියේ කළ නිවේදනයකින් වාර්තා කර තිබුණේ 2015 – 2019 අතර කාලයේ සිදුවූ දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කොට ඇතැයි කියාය. ඒ යටතේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, රවුෆ් හකීම්, ආර්. සම්බන්ධන්, සරත් ෆොන්සේකා වැනි දේශපාලනඥයන්ටද, ජයම්පති වික්‍රමරත්න, එම්.ඒ. සුමන්තිරන්, ජේ.සී. වැලිඅමුණ යන නීතිඥවරුන්ටද, හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදිලිගේ, ශානි අබේසේකර වැනි රජයේ නිලධාරීන්ටද, ආනන්ද විජේපාල වැනි දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ හිටපු නිලධාරීන්ටද දඬුවම් දීමට සූදානම් වන බවද කියැවිණ.
මේ තත්ත්වය වාර්තා වීමත් සමඟ ආණ්ඩුවේ මෙම වෑයමට එරෙහිව සටන් කිරීමට විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා දැඩි තීන්දුවක් ගත්තේය. ඒ අනුව සජිත් කළේ වෙන වෙනම මේ සියලු දේශපාලනඥයන්ටත්, රජයේ නිලධාරීන්ටත් කතාකොට ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර සිටීමය. සජිත් තම හිතවතුන්ට කියා තිබුණේ මෙම පිරිස අතර තමන්ට ප්‍රහාර එල්ල කරන පිරිස් සහ තමන් සමඟ අමනාප පිරිස් සිටියද විපක්ෂ නායකවරයා වශයෙන් තමන් ඒ සියලුදෙනාගේම ආරක්ෂාව පිළිබඳව වගකීම භාරගන්නා බවකි. ඒ අනුව සජිත් කළේ ජනාධිපති නීතිඥ කනගීෂ්වරන්, ෆයිස් මුස්තාපා, ශ්‍රීනාත් පෙරේරා වැනි නීතිවේදී මණ්ඩලයක් පත්කොට ඒ සම්බන්ධයෙන් සොයා බලා නීතිමය කටයුතු ආරම්භ කරන ලෙසට දැනුම්දී සිටීමය.
කෙසේ වෙතත් මෙම පිරිස අතර රනිල්ගේ නම සඳහන්ව තිබියදීත් රනිල් එය කිසිදු ගණනකට නොගෙන නිහඬව සිටීම සියලුදෙනා අතර ලොකු කුකුසක් මතුකළ කරුණක් වී තිබිණ. මුල් අවස්ථාවේදී ජනාධිපති කොමිසම මඟින් සිදුකළ සාක්ෂි විමසීමේදී රනිල් කොමිසමට පැමිණ ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත්, එසේ දේශපාලන පළිගැනීම් කර තිබුණා නම් එය වැරැදි ක්‍රියාවක් බවත්ය. ඒ හරහා රනිල් අනුන් පිට වරද පටවා සිය ගැලවීමට මඟ පාදාගෙන තිබූ ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් මේ හරහා රනිල් රජයේ සාක්ෂිකරුවකු වී අනෙකුත් සියලු දෙනා දංගෙඩියට යැවීමට කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බරපතළ කටකතාවක් පැතිර යමින් පවතින ආකාරයක්ද දැකගන්නට තිබේ.
කපිල පුංචිමාන්නගේ