වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ඉන්දීය සහ චීන විශේෂ නියෝජිතයන් ලංකාවේ සංචාරයන් සඳහා පැමිණියේ තරගයට ගමේ යන්නාක් මෙනි. ආණ්ඩුව බලයට පත්වූ වහාම ජනාධිපතිවරයාද ඉන්දීය සංචාරය නිරත වූ අතර, චීන සංචාරයක් සඳහා කාල වකවානු වෙන්කරගෙන තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් චීන සංචාරය අත්හැර දැමීමට ජනාධිපතිවරයා පසුව තීරණය කර තිබිණ.
ලංකාව ජාත්‍යන්තර බල අරගලයට මැදිවෙයි
ඒ අතරවාරයේ කොරෝනා වසංගතය මධ්‍යයේ වුවද චීන සහ ඉන්දීය නියෝජිතයන් වරින්වර විශේෂ ගුවන් යානා මඟින් ලංකාවේ සංචාරයන්හි නිරත වීමට පියවර ගෙන තිබිණ. ඒ චීන, ඉන්දීය නියෝජිතයන් ලංකාවට පැමිණෙන අතරේ වරෙක ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා වූ මයික් පොම්පියෝ මහතාද ලංකාවට පැමිණ මෙරට ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණ. ඒ නිසාම ලංකාව මුල්කරගෙන මේ වනවිට ජාත්‍යන්තරයේ විශාල බල අරගලයක් නිර්මාණය වී ඇති ආකාරයක් මේ සංචාරයන් කිහිපය දෙස බලන විට හොඳටම පැහැදිලිය.
මාතෘකාව වරායේ නැගෙනහිර ජැටිය
මෙහි අලුත්ම එක වූයේ පසුගිය බදාදා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ලංකා සංචාරයය. කවුරු මොනවා කීවද මේ සංචාරයේ ප්‍රධානම මාතෘකාව බවට පත්වන තීරණාත්මක සාධකය වූයේ වෙන මොනවත් නොව කොළඹ වරායේ නැඟෙනහිර ජැටියය. නැඟෙනහිර ජැටිය යනු කාලයක් තිස්සේම ඉන්දියාව ඇසගසාගෙන සිටි වරායකි. පසුගිය ආණ්ඩු සමයේ මෙම වරායේ සංවර්ධන කටයුතු චීනයට හා ඉන්දියාවට පවරා දීමට සැලැසුම් කර තිබුණද ඊට ආණ්ඩුව ඇතුළෙන් මෙන්ම විපක්ෂයෙන් හා ජන සමාජයෙන් එල්ල වූ බරපතළ විරෝධතාවය හේතුකොටගෙන එම උත්සාහය අතරමග නැවතී තිබිණ. නමුත් නැඟෙනහිර වරාය ඉන්දියාවට ලබාගැනීම අත්හැරීමට කිසිසේත්ම ඉන්දියාව සූදානම් වූයේ නැත. කොටින්ම කියනවා නම් මෙය සිය රටේ අභිමානය පිළිබඳව ප්‍රශ්නයක් බවට ඉන්දියාව පත්කර තිබූ බවක්ද දැකගත හැකි විය. ඒ අනුව වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවද ඉන්දියාව හා ලංකාව අතර පැවැති සෑම සාකච්ඡාවකම ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූයේ මේ නැඟෙනහිර වරායය.
ආණ්ඩුව ඇතුළේ මත දෙකක්
ඒ අනුව පසුගිය කාල සමයේ කුමක් පැවැසුවද පවතින යථාර්ථයට ආණ්ඩුවටද මුහුණදීමට සිදුව ඇති බවක් පෙනී ගියේ මීට සති කිහිපයකට ඉහතදී වරාය අමාත්‍යවරයා වූ රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ සියයට 51ක කොටස් ආණ්ඩුව යටතේ තබාගෙන ඉතිරි සියයට 49ක කොටස් සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජකයන්ට පවරා දෙන බවට වූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබීම හරහාය. එහිදී ඉන්දියාවේ අදානි සමාගමට එය පවරා දෙන බවක්ද සඳහන් කොට තිබිණ.
නමුත් ඒ සම්බන්ධයෙන් යම් යම් පාර්ශ්වයන් ප්‍රශ්න කරද්දී ආණ්ඩුව ඇතුළෙන්ම ඒ පිළිබඳව මත දෙකක් ඉදිරිපත් වන ආකාරයක් දැකගත හැකි විය. ඒ සම්බන්දයෙන් ඇතැම් පාර්ශ්වයෙන් කියා සිටියේ එවැනි කිසිදු කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බවත්, වරාය ඉන්දියාවට ලබාදීම පිළිබඳව තවමත් තීන්දුවක් ගෙන නොමැති බවත්ය.
රෝහිත කලින්ම ඉන්දියාවට සිග්නල් එක දෙයි
කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් යටතේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණීමට පෙර නැඟෙනහිර වරාය සම්බන්ධයෙන් යම් ධනාත්මක ඉඟියක් ඉන්දියාවට ලබාදීමේ මෙහෙයුමක් ආණ්ඩුව පැත්තෙන් දියත් වී තිබිණ. ඒ, වරාය අමාත්‍යවරයා වූ රෝහිත අබේගුණවර්ධන මහතා මල්වතු, අස්ගිරි පාර්ශ්වයන්හි නායක හිමිවරුන් මුණගැසී මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම හරහාය. එහිදී රෝහිත පසුගිය සඳුදා (4දා) මල්වතු මහා විහාරයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියනුත්, අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියනුත් මුණගැසී වරායේ නැඟෙනහිර පර්යන්තයේ සියයට 51ක කොටස් ආණ්ඩුව සන්තකයේ තබාගෙන එහි ඉතිරිය දෙස් විදෙස් ආයෝජකයන්ට ලබාදෙන බවට සඳහන් කර සිටියේය. මෙහිදී මල්වතු මහ නාහිමියන් වූ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හා රෝහිත අතර හමුවක් සිදු නොවීමද විශේෂ සිදුවීමක් විය.
ඒ අනුව ආණ්ඩුවේ ඉංග්‍රිසි මාධ්‍ය පුවත්පතක් වන ‘ඬේලි නිවුස්’ පුවත්පත අඟහරුවාදා දිනයේදී සිය මුල් පිටුවේ ඉහළින්ම මේ ආකාරයට වරායේ නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට දෙස් විදෙස් ආයෝජකයන් කැඳවන බවට රෝහිත කළ ප්‍රකාශය පළකරනු ලැබ තිබුණේ ඉන්දියාවට ඒ හරහා යම් පණිවුඩයක් ලබාදීම සඳහා විය යුතුය.
ඒ අනුව ජයශංකර් ලංකාවට පැමිණියේම වරාය පිළිබඳ මාතෘකාව සිය න්‍යාය පත්‍රයේ අංක එකට තබාගෙන බව පැහැදිලිය. මීට අමතරව ඔහුගේ කාලසටහනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ආණ්ඩුවත්, විපක්ෂයත් නියෝජනය කරන ප්‍රධාන පෙළේ දේශපාලන කඳවුරු සියල්ලම හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලැසුම් කොට තිබිණ.
දිනේෂ් එක්ක කතාවේදී බරපතළ කතාවක්
ඒ අනුව ලංකාවට පැමිණි ජයශංකර් මුලින්ම මුණගැසුණේ විදේශ අමාත්‍යවරයා වූ දිනේෂ් ගුණවර්ධන මහතාය. වරායේ ප්‍රශ්නය අංක එකේ තබාගෙන පැමිණියද දිනේෂ් සමඟ පැවැති හමුවේදී ජයශංකර් ආන්දෝලනාත්මක ප්‍රකාශන කිහිපයක්ම සිදුකළේය. එහිදී කළ ඇතැම් ප්‍රකාශ උතුරු නැඟෙනහිර දෙමළ ප්‍රජාව මෙන්ම දෙමළ ජාතික සන්ධානයද දැඩි උත්තේජනයන්ට ලක් කළ ප්‍රකාශයන් විය. මේ දිනවල නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් අලුත් කතිකාවක් මතුව තිබෙන පසුබිමක ජයශංකර් ප්‍රසිද්ධියේම කියා සිටියේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන ආකාරයේ බලය බෙදීමක් ලංකාව තුළ සිදුකළ යුතු යැයි කියාය. එමෙන්ම පළාත් සභා අහෝසි කළ යුතු බවට දැඩි මතවාදයක් රට ඇතුළේ පැවතුණත් ජයශංකර් පැහැදිලිවම කියා සිටියේ තවදුරටත් පළාත් සභා ශක්තිමත්ව පවත්වාගෙන යෑම සඳහා ඉන්දියාව සහාය ලබාදෙන බවය. එමෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටින බවය. එසේවුවත් දිනේෂ් සමඟ පැවැති සාකච්ඡාවේදී කිසිදු තැනක වරාය සම්බන්ධයෙන් වචනයක් හෝ එහා මෙහා කිරීමට ජයශංකර් කටයුතු නොකළේය.
මහින්දගෙන් පාර්ලිමේන්තුවේදී වෙනස්ම කතාවක්
කෙසේ වෙතත් දිනේෂ්ගේ සාකච්ඡාවෙන් අනතුරුව ජයශංකර් යොදාගෙන තිබුණේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවය.
ඒ අතරවාරයේ පාර්ලිමේන්තුවේද විශේෂ යමක් සිදුව තිබිණ. ඒ, අගමැතිවරයාගේ පිළිතුරු බලාපොරොත්තුවෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වරාය මුල්කරගෙන ප්‍රශ්නයක් යොමුකොට තිබීමය. එහිදී අනුර අසා තිබුණේ වරායේ නැඟෙනහිර පර්යන්තය විදෙස් රටකට පැවරීමට අදාළ ප්‍රශ්න කිහිපයකි. සාමාන්‍යයෙන් අගමැතිවරයාගෙන් අසන ප්‍රශ්නවලට වෙනත් ඇමැතිවරුන් හෝ රාජ්‍ය අමාත්‍යවරුන් පිළිතුරු ලබාදෙන නමුත්, අනුර කුමාර වරාය සම්බන්ධයෙන් අසා තිබූ ප්‍රශ්නයට අගමැතිවරයාම පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු දීම විශේෂ සිදුවීමක් විය. මෙහිදී පැහැදිලිවම මහින්ද කියා සිටියේ කිසිසේත්ම වරාය හෝ වරායේ කොටස් විකිණීමට හෝ කිසිවකුට පැවරීමට ආණ්ඩුව තීන්දුවක් ගෙන නැතැයි කියාය. ඒ අනුව මහින්දගේ කතාවේ කියවුණු ප්‍රධානම කරුණ වූයේ වරායේ කොටස් පැවරීමක් සිදුකිරීමට හෝ ආණ්ඩුව තීන්දු කර නැති බවය.
නමුත් මහින්ද එසේ කීවද මහින්දගෙන් පසුව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ වරාය ඇමැති රෝහිත යළිත් වතාවක් කියා සිටියේ වරායේ සියයට 51ක කොටස් ආණ්ඩුව සන්තකයේ තබාගෙන අනෙක් සියයට 49ක කොටස් දෙස් විදෙස් ආයෝජකයන්ට පැවරීමට ආණ්ඩුව සැලැසුම් කර ඇතැයි කියාය.
කෙසේ වෙතත් මෙහිදී අතුරු ප්‍රශ්න විමසද්දී අනුර කුමාර එදා ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගෙන නැඟෙනහිර ජැටිය සංවර්ධනය කරද්දී එය ලංකාවේ වත්කමක් ලෙස තබා ගැනීම සම්බන්ධයෙන් මහින්දට ප්‍රශාංසා කළ ආකාරයක්ද දැකගත හැකි විය.
මහින්දට වැරදුණාද? වැරැද්දුවාද?
කෙසේ වෙතත් මහින්ද වරාය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය මොහොතක් යෑමට මත්තෙන් ‘සිරස’ සහ ‘දෙරණ’ රූපවාහිනී නාළිකා විශේෂ පුවතක් ලෙස එය සිය නාළිකාවන්හි විකාශය කිරීමට පියවර ගෙන තිබිණ. මේ හේතුවෙන් සවස් වරුව වන විට දේශපාලන ක්ෂේත්‍රයේ ගිය කටකතාවලින් කියැවුණේ ආණ්ඩුව පැහැදිලිවම වරායේ සියයට 49ක කොටස් විදෙස් ආයෝජකයන්ට පවරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබියදී මහින්ද මෙසේ වරායේ කොටස් පැවරීමක් සිදු නොවන බව ප්‍රකාශ කළේ වැරදීමකින්ද යන්න කියාය. එසේත් නැත්නම් මහින්ද එම කතාව කොළයක් දෙස බලාගෙන පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ නිසා එම ප්‍රකාශය සකස් කළ පුද්ගලයා අතින් යම්කිසි වැරැද්දක් සිදුව ඇතැයිද යන්න ඒ ගිය කටකතාවලින් වැඩිදුරටත් කියැවිණ. ඒ අනුව බොහෝ දෙනෙක් අගමැති ලේකම් ගාමිණී සෙනරත්ට කතා කොට ඔහුගෙන් විමසා සිටියේ මහින්ද දහවල් පාර්ලිමේන්තුවේ එවැනි ප්‍රකාශයක් කළේ වැරදීමකින්ද යන්න කියාය. ගාමිණී ඔවුන්ට කියා සිටියේ තමන් මේ පිළිබඳව නොදන්නා බවත්, අගමැතිවරයාගෙන් ඒ පිළිබඳ විමසා යම් වැරැදීමක් සිදුව ඇත්නම් අගමැති මාධ්‍ය ඒකකය ලවා එය නිවැරැදි කිරීමට කටයුතු කරන බවත්ය. ගාමිණී එසේ කීවද මේ වනතෙක් එවැනි නිවේදනයක් අගමැති මාධ්‍ය ඒකකයෙන් නිකුත් වී නැත. එයින් තහවුරු වන්නේ අගමැතිවරයා සිටින්නේ එම ස්ථාවරයේමය යන්නය. එමෙන්ම මහින්ද එවැනි ප්‍රකාශයක් කළේ එදින සවස හයට සිය නිල නිවසේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මුණගැසීමට කටයුතු යොදාගෙන තිබියදී වීමද විශේෂ සිදුවීමකි.
ජයශන්කර් පැය හතරහමාරක් මහින්දගේ ගෙදර
ඒ අනුව කලින් සැලසුම් කළ පරිදිම මහින්ද හා ජයශංකර් අතර හමුව පස්වරු හයට විජේරාමේ පිහිටි මහින්දගේ නිලනිවසේදී ආරම්භ විය. සාමාන්‍යයෙන් මෙවැනි රාජ්‍යතාන්ත්‍රික හමුවක් උපරිම පැයකට හෝ පැය එකහමාරකට සීමා වුවත් මහින්ද සහ ජයශංකර් අතර පැවැති හමුවේ විශේෂම සිදුවීම වූයේ හයට ආරම්භ වූ සාකච්ඡාව රාත්‍රි 10.30 දක්වාම ඇදී යෑමය. එපමණ වේලා මහින්ද සහ ජයශංකර් කතා කළේ මොනවාද, එහිදී ගත් තීන්දු තීරණ මොනවාද යන්න සම්බන්ධයෙන් නම් තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට මහින්ද තවත් විශේෂ පුද්ගලයන් සිවුදෙනකු එක්කර ගත්තේය. ඒ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂය. ජයශංකර් සමඟ සාකච්ඡාවට එක්ව සිටියේ ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වන ගෝපාල් බාග්ලේය.
නිවේදනවල කතා 2ක්…
මේ අතර ජනාධිපතිවරයා හා ජයශංකර් අතර පැවැති හමුව සම්බන්ධයෙන්ද මේ වන විට කිසියම් ආන්දෝලනයක් හටගෙන තිබේ. ඒ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සහ ජයශංකර්ගේ පාර්ශ්වයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනවල තරමක් පරස්පර කරුණු වාර්තා වී තිබීම නිසාය. එහිදී ජනාධිපති මාධ්‍ය ඒකකය මඟින් නිකුත් කළ නිවේදනයේ වරායේ නැඟෙනහිර ජැටිය සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ඡා වූ බවක් සඳහන්ව තිබුණත් ඉන්දියාව පාර්ශ්වයෙන් නිකුත් වූ නිවේදනයේ නැඟෙනහිර ජැටිය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවක් සඳහන්ව තිබුණේ නැත.
රනිල් ඉල්ලගෙන හමුවෙලා
මීට අමතරව ජයශංකර් සිය ලංකා සංචාරය අතරතුරදී තවත් දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක්ම හමුවී සාකච්ජා කිරීමට පියවර ගෙන තිබිණ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දෙමළ ජාතික සන්ධාන නියෝජිතයෝ මෙන්ම වතුකරයේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝද ඒ අතර වූහ. එමෙන්ම තවත් එක් විශේෂ පුද්ගලයෙක්ද ඒ අතර විය. ඔහු වෙන කවුරුන්වත් නොව හිටපු විපක්ෂ නායක මෙන්ම තවමත් එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වන රනිල් වික්‍රමසිංහ මහතාය. අනෙක් සෑම දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග පැවැති සාකච්ජාවල ජායාරූප සිය ‘ට්විටර්’ ගිණුමේ පළ කරමින් ඔවුන් සමග ‘සාකච්ජා’ පැවැත්වූ බව ජයශංකර් විශේෂයෙන් සඳහන් කර සිටියත් රනිල් සමග හමුව පිළිබඳව ජයශංකර් සිය ‘ට්විටර්’ ගිණුමේ පළ කොට තිබුණේ අපූරු සටහනකි. ඒ, ලංකා සංචාරය නිමවා යළි ඉන්දියාවට යන අතරවාරයේ රනිල්ගේ සැපදුක් බලාගෙන යාමට තමන් පියවර ගත්තා යැයි කියාය. ඊටද හේතුවුණේ වෙන කිසිවක් නොව රනිල් විසින් තමන්ට ජයශන්කර් හමු වීම සදහා අවස්ථාවක් ලබා දෙන ලෙස මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් කළ ඉල්ලීමකි. රනිල්ගේ ඉල්ලීම ලැබිමෙන් පසු ඉන්දීය බලධාරීන් ජයශන්කර්ගේ කාලසටහන පිරික්සා බැලීමේදී ඔවුන්ට දැකගන්නට ලැබුණේ සියලු සාකච්ජා නිමාකිරීමෙන් පසු විනාඩි කිහිපයක කාලයක් ඉතිරිව ඇති බවකි. ඒ අනුව ඔවුන් ඒ විනාඩි කිහිපය රනිල්ට ලබා දීමට පියවර ගත්තේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අනෙක් සියලුම දේශපාලන නියෝජිතයන් හමුවීමට ඔවුන්ගේ නිල ස්ථානවලට ජයශන්කර් ගියද රනිල්ගේ නිල ස්ථානයකට නොයා අවශ්‍ය නම් රනිල්ට ජයශන්කර් සිටින ස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දීමය. රනිල් හා ජයශන්කර් අතර හමුව ‘ඉන්දියන් හවුස්’හිදී සිදුවූයේ එහි ප්‍රතිපලයක් ලෙසටය.
අවුරුද්දේ පළමු ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ගිය කසුකුසුව
සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පවත්වන්නේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදීය. නමුත් මෙවර නව වසරේ ආණ්ඩු පක්ෂයේ පළමු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වන බවට එම කාර්යාලයෙන් වසර ආරම්භයේදීම සියලුම මන්ත්‍රිවරුන්ට දැනුම්දීමක් කර තිබිණ. ඒ, එය නව වසරේ පවත්වන පළමු ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම වීම හේතු කොටගෙනය.
මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට පෙර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වුණේද ජනාධිපති ලේකම් කාර්යාලය තුළදීමය. එහිදී ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමට අසුන් ගත්තේම අගමැතිවරයා ප්‍රමුඛ සියලුම කැබිනට් ඇමැතිවරුන්ට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමිනි. එදින කැබිනට් මණ්ඩලයේ වැඩි උණුසුමක් දක්නට නොලැබුණත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේ කොරෝනා වැළඳී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීම සම්බන්ධවය. මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලිවම කැබිනට් මණ්ඩලයට දැනුම්දී සිටියේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට තීන්දුවක් ගත නොහැකි බවත්, සෞඛ්‍ය අංශ විසින් ඒ පිළිබඳ අවසන් තීන්දුවක් ගත යුතු බවය.
ඒ ආකාරයට පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වීමෙන් පසු සියලුම මැති, ඇමැතිවරුන් අගමැතිවරයා සමඟ පහළ මාලයට පිවිසියේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට සහභාගි වීම සඳහාය. නව වසරේ පළමු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම වීම හේතුවෙන් එදින සියල්ලන්ම පාහේ ඊට සහභාගිව සිටිනු දැකගත හැකි විය. මෙහිදී ජනාධිපතිවරයා, අගමැතිවරයා දෙන දෙදෙනාම එකවර පැමිණ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ආරම්භ කරනු ඇති බවට සියලු දෙනාම බලාපොරොත්තුවෙන් සිටියත් පළමුව ඊට සහභාගි වූයේ අගමැතිවරයාය. ඒ අනුව බොහෝ දෙනා සිටියේ සුළු මොහොතකට පසුව හෝ ජනාධිපතිවරයා රැස්වීමට පැමිණෙනු ඇති බවකි.
අරුන්දික-නාමල් දෙබරෙට ගල් ගහයි
කෙසේ වෙතත් කණ්ඩායම් රැස්වීම ආරම්භ වී මොහොතකට පසු එය තරමක් උණුසුම් අතට පෙරළුණේ අරුන්දික ප්‍රනාන්දු විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන ඒමේදී විශාල මාෆියාවක් සිදුවන බවට මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී සඳහන් කර සිටීම නිසාය. ඔහු පෙන්වා දුන්නේ ඇතැම් ව්‍යාපාරිකයන් එය ජාවාරමක් බවට පත්කරගෙන ඇතැයි කියාය.
“දැන් මේ පිටරට ඉන්න අපේම මිනිස්සු කොරෝනා වසංගතය මැද්දෙ ලංකාවට අරන් එන එක කීපදෙනෙක් බිස්නස් එකක් කරගෙන. ඒ අයව ලිස්ට් එකට දාන්නත් සල්ලි ගන්නවා කියල ආරංචි වෙලා තියෙනවා. ඒ වගේම ඒ අය මෙහාට ආපුවහම ඒ ඒ අයගෙ හෝටල්වල නිරෝධායනය වෙන්න දාල තියෙනවා. ඒවයෙනුත් විශාල මුදලක් ගසාකනවා. මේක මහ අපරාධයක්. මේ මිනිස්සු අමාරුවෙන් හම්බුකරගත්තු සල්ලි ටික කොහෙවත් ඉන්න කට්ටියක් ගසාකනවා. මේකෙන් වෙන්නෙ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් අපහසුතාවට පත්වෙන එකයි. ජනාධිපතිවරයා කිව්වෙ මෙහෙම එකක් කරන්න කියල නෙමෙයි…” යනුවෙන් අරුන්දික දෙබරෙට ගල් ගසද්දී නාමල්ද කතා කළේ අරුන්දිකගේ ස්ථාවරයේ සිටමය. නාමල්ද පෙන්වා දුන්නේ මේ හරහා විශාල ගසාකෑමක් සිදුවන බවත්, ඇතැම් හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් ලබාගත් මුදල් පිළිබඳව විමර්ශනයක් සිදුකළ යුතු බවත්ය.
මේක මාෆියාවක්
එමෙන්ම මුදල් ගෙවා හෝටල්වල සිදුකරන නිරෝධායනය නවත්වා රජය විසින් නොමිලේ එම සියලුම නිරෝධාන කටයුතු සිදු කළ යුතු බවද නාමල් එහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අපූරු යෝජනාවක් කළ අතර, එය ඇසූ බොහෝ දෙනා කට කොනකින් සිනාසුණු ආකාරයක්ද දැකගත හැකි විය. එහිදී රෝහිත කියා සිටියේ තමන් දන්නා විශාල නැව් ඇති පිරිස් සිටින බවත්, අවශ්‍ය නම් එම නැව් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කර වරායෙන් පිටත නවතා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි බවත්ය. නමුත් අගමැතිවරයාගෙන් ඊට වැඩි අවධානයක් යොමුවුණු බවක් දැකගන්නට නොලැබිණ. එම නිසා ඒ මාතෘකාව එතැනින්ම අවසන් විය.
කෙසේ වෙතත් මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම නිමාවී මන්ත්‍රිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යද්දී බොහෝ දෙනා තැන් තැන්වල කසුකුසු ගාන්නට වූයේ මෙය වසරේ පළමු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමවීත්, එම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබියදීත් ජනාධිපතිවරයා ඊට සහභාගි නොවූයේ මන්ද කියාය. නමුත් ඊට කිසිවකු සතුව හෝ නිශ්චිත පිළිතුරක් පැවැති ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
ජනපතිගෙන් නාමල්ට කැදවීමක්
කෙසේ වෙතත් මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වූ ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී සිදුවන ගසාකෑම් සම්බන්ධයෙන් පසුව නාමල් සමාජ මාධ්‍ය ජාලාවලද සටහනක් තැබීමටද පියවර ගෙන තිබිණ. එහිදීද නාමල් අවධාරණය කර තිබුණේ විදෙස් ශ්‍රමිකයන් අධික මිලට හෝටල්වල නිරෝධානය කිරීම වහාම නවතා දැමිය යුතු බවය. ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නාමල් ජනාධිපතිවරයාගෙන් වේලාවක්ද ඉල්ලා තිබිණ. ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේදී ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් වේලාවක් ලැබුණු අතර, නාමල් සමඟ එම හමුවට රොෂාන් රණසිංහ, කාංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ වැනි තරුණ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක්ද එක්ව සිටියහ.
“නිරෝධායනය සඳහා නොමිලේ හෝටල් දෙන බව ආණ්ඩුවට සම්බන්ධ ඇතැමුන් කියල තිබුණ. ඒත් එහෙම දෙයක් වෙලා නැහැ. මිනිස්සු හිතන් ඉන්නෙ එයාල හෝටල්වලට ගෙවපු සල්ලි ආණ්ඩුවට අරගෙන කියල. සමහර හෝටල් හිමියො නිරෝධායනය වෙන මිනිස්සුන්ගෙන් ගසාගෙන කාලා. මිනිස්සු ආණ්ඩුවට නොසෑහෙන්න බනිනවා…” යැයි නාමල් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. ඒ අනුව පවතින තත්ත්වය පිළිබඳව යුදහමුදාපතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන්ද කරුණු විමසූ ජනාධිපතිවරයා අවසානයේදී තීන්දු කළේ විදෙස්ගතව සිට ලංකාවට පැමිණෙන සියලුම ශ්‍රමිකයන් රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු බවකි. අවශ්‍ය නම් පමණක් ඔවුනට මුදල් ගෙවා හෝටල්වල නැවතී සිටිය හැකි බවද ජනාධිපතිවරයා දැනුම් දී සිටියේය. මීට අමතරව ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ගුවන් වාර ගණන ගිය සතියේ සිට වැඩි කිරීමටද මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා තීන්දු කළේය.
අරලිය ගහමන්දිරයේ ගම සමග පිළිසදරක්
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති වසරේ මුල්ම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ජනාධිපතිවරයා සහභාගි නොවීම පසුගිය බදාදා දින පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ලොබියේද ප්‍රධානම මාතෘකාවක් බවට පත්ව තිබුණේය. ආණ්ඩුවේ සියලු දෙනාම පාහේ තැන් තැන්වල රැස්වෙමින් ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරන ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අතරවාරයේදී බදාදා උදෑසනම ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ට අරලියගහ මන්දිරයෙන් පණිවුඩයක් ලැබුණු අතර, ඉන් කියැවුණේ බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහනේ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බවත්, ජනාධිපතිවරයාද ඊට සහභාගි වන හෙයින් සියලුම මැති ඇමැතිවරුන් පෙරවරු 10.00 වන විට ශාලාවේ අසුන්ගෙන සිටිය යුතු බවත්ය.
ඒ අනුව බ්‍රහස්පතින්දා පෙරවරුව වන විට අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාව පිරී ඉතිරී යන තරමට පිරිසක් එක්රැස්ව සිටියහ. ඊට ප්‍රධානම හේතුව වූයේ එම රැස්වීමට දිවයිනේ සියලුම දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලැසුම් අධ්‍යක්ෂවරුන් ඇතුළු මහජන නියෝජිතයන් කැඳවා තිබීම හේතුවෙනි. ඒ අනුව පෙර දැනුම් දුන් පරිදිම හරියටම පෙරවරු 10.00ට රැස්වීම ආරම්භ වූ අතර, ජනාධිපතිවරයා ඒ වන විටත් අරලියගහ මන්දිරයට පැමිණ නොසිටි හෙයින් අගමැතිවරයා රැස්වීමේ මූලාසනය දැරූ ආකාරයක් දැකගත හැකි විය. අගමැතිවරයාට අමතරව මූලාසනයේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රධාන ඇමැතිවරුන් කිහිපදෙනෙක්ද සිටි ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් පෙර පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ජනාධිපතිවරයා පැමිණ නොසිටීම හේතු කොටගෙන බොහෝ දෙනා සිතන්නට වූයේ මෙම රැස්වීමටත් ජනාධිපතිවරයා සහභාගි නොවනු ඇති බවකි.
ජනපති ආවේ 10.45ට
ඒ අනුව රැස්වීම ආරම්භ කිරීමෙන් පසු මුලින්ම මහින්ද රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කිරීමට පියවර ගත්තේය. ඒ අනුව රැස්වීම ඉදිරියට යද්දී හරියටම ජනාධිපතිවරයා රැස්වීමට සම්බන්ධ වූයේ පෙරවරු 10.45ටය. ඒ අනුව මහින්ද මූලාසනයෙන් නැඟිට එය ජනාධිපතිවරයාට පිරිනැමීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳරක් වැඩසටහන සම්බන්ධයෙන් විනාඩි 15ක පමණ පැහැදිලි කිරීමක් රැස්ව සිටි පිරිසට සිදුකළේය. සිය කතාව අවසානයේදී ජනාධිපතිවරයා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියේ මෙය ගම හදන සංවර්ධන වැඩපිළිවෙළක් බැවින් සියලු දෙනාම කැපවීමෙන් යුතුව එය සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව සිය කතාව අවසානයේදී රැස්ව සිටි පිරිසට ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක්ද ජනාධිපතිවරයා ලබාදුන්නේය.
විමල්ලා නැගිට යයි
පසුව අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් හේතුවෙන් ජනාධිපතිවරයා රැස්වීමෙන් පිටව ගිය අතර, ඒ සමඟම රැස්වීමේ සිටි විමල් ඇතුළු පිරිසක්ද මූලාසනයෙන් අවසර ගෙන අරලියගහ මන්දිරයෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව රැස්වීමේ ඉදිරි කටයුතු සිදුවූයේ විමල් ඇතුළු පිරිස නොමැතිවය.
යුක්රේන ජරමරයේ තිරය පිටුපස කතාව
මේ දිනවල සමාජ මාධ්‍යවල මෙන්ම ජනතාව අතරද ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ ආණ්ඩුව මැදිහත් වී කොරෝනා වසංගතය මැද්දේ රටට ගෙන්වූ යුක්‍රේන සංචාරක කණ්ඩායම පිළිබඳවය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් සිදුකෙරෙන්නක් බවත්, “එයාර් බබ්ල්” ක්‍රමවේදය යටතේ මම සංචාරක කණ්ඩායම ලංකාවට රැගෙන එන බවත්ය. ඒ අනුව කිසිදු හානියක් මෙම පිරිස හරහා රටට සිදු නොවන බවද ආණ්ඩුව පැත්තෙන් කියැවිණ.
නමුත් ප්‍රශ්නය පැනනැඟුණේ ලංකාවට පැමිණීමෙන් පසු එම සංචාරකයන් අතර සිටි කිහිපදෙනකුට කොරෝනා රෝගය වැළඳී තිබීමත්, ඔවුන් යාල සිදුකළ සංචාරයෙන් අනතුරුව එම ගමනට සම්බන්ධව සිටි සෆාරි රියැදුරන් 28 දෙනකු නිරෝධායනය වන ලෙසට ආරක්ෂක අංශ දැනුම්දීමත් සමඟය. ඒ අනුව සෆාරි රියැදුරන් සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝ නිකුත් කරමින් සඳහන් කර සිටියේ එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් කිසිදු නිලධාරියකු තමන් දැනුවත් නොකළ බවත්, මෙහි වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් ගත යුතු බවත්ය.
කිමාලිගෙන් ආන්දෝලනාත්මක ලිපියක්
නමුත් මෙම තත්ත්වය අර්බුදයක් කරා ගමන් කරන ලකුණු පහළ වූයේ හිටිහැටියේම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් මාධ්‍ය වෙත ලිපියක් නිකුත් කිරීමත් සමඟය. එම ලිපිය මඟින් කිමාලි අවධාරණය කර තිබුණේ මෙම සංචාරකයන් පිරිස යාල ප්‍රදේශයේ සංචාරය කරන බව සංචාරක මණ්ඩලය නොදැන සිටි බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකුත් තමන් දැනුවත් නොකළ බවත්ය. එමෙන්ම මෙම පිරිස සංචාරයට පෙර සංචාරක මණ්ඩලය සමඟ පැවැති එකඟතා කඩකොට ඇති බවද කිමාලි සිය ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබිණ.
ඒ අනුව අපිද මෙම සිදුවීම පසුපස ඇති තොරතුරු පිළිබඳව සොයා බැලීමට පියවර ගත්තෙමු. එහිදී අපටද දැනගන්නට ලැබුණේ මෙම යුක්‍රේන සංචාරකයන් පිරිස ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මුල් වටයේදීම සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක මණ්ඩලයේ කිමාලි ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡා කරද්දී ඇය විසින් ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරන ලෙසට දැනුම්දී තිබූ බවකි. කිමාලි එහිදී පෙන්වාදී ඇත්තේ එය අවදානම් සහගත කටයුත්තක් බැවින් තමාට එය ලිඛිතව ඉදිරිපත් කරන්න යැයි කියාය.
කිමාලි අනුමැතිය දී නෑ
පසුව ප්‍රසන්න ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ කිමාලිගේ මෙම ස්ථාවරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ. එහිදීද ආණ්ඩුවේ ප්‍රධානීන් කිමාලිගෙන් ඊට අවසර ඉල්ලා ඇතත්, කිමාලි දැනුම් දී ඇත්තේ තමන්ට ඊට අනුමැතිය දීමට නොහැකි යැයි කියාය. ඒ අනුව යුක්‍රේන සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම සිදුකර ඇත්තේ සංචාරක මණ්ඩලයේ ලිඛිත අනුමැතියකින් තොරව බව දැනගන්නට ඇත. අදාළ සංචාරය තරමක අර්බුදකාරී එකක් බවට පෙරළෙද්දී කිමාලි තමන් මේ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවට වූ ලිපිය මාධ්‍ය වෙත යොමුකළේ ඒ අනුවය.
කෙසේ වෙතත් කිමාලි එම ලිපිය නිකුත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුවේම රාජ්‍ය අමාත්‍යවරයකු වූ නිමල් ලන්සා පාර්ලිමේන්තුවේදී කිමාලිට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය. එපමණක් නොව පසුගිය බ්‍රහස්පතින්දා දින ඉංග්‍රීසි පුවත්පතකට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මෙම සංචාරක කණ්ඩායම ලංකාවට ගෙන්වා ගැනීමට මූලිකත්වය ගත් උදයංග වීරතුංග පැහැදිලිවම කියා සිටියේ එම සංචාරකයන්ගේ යාල ගමන පිළිබඳව කිමාලි ප්‍රනාන්දු පැහැදිලිවම දැන සිටි බවකි. පසුගිය දෙසැම්බරයේ මේ සම්බන්ධයෙන් ඇය දැනුවත් කර තිබූ බවද උදයංග වැඩිදුරටත් එම මාධ්‍යයට සඳහන් කර තිබිණ.
සමගි ජන බලවේගය ඇතුළේත් කචල් එකක්
මේ ආකාරයට ආණ්ඩු පක්ෂය පැත්තේ තිරය පිටුපස විවිධ අර්බුද මතුවෙද්දී ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගය පාර්ශ්වයේද අර්බුද මතු නොවුණා නොවේ. සමඟි ජන බලවේගයේ එම අර්බුදය පැනනැඟුණේ ආණ්ඩු පක්ෂයේ වසරේ මුල්ම රැස්වීමේ අර්බුදය මතු වූ ආකාරයටම නව වසරේ පැවැති මුල්ම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීය. පාර්ලිමේන්තුවේ පැවැති මෙම රැස්වීමට පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් සහභාගිව සිටි ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, තත්ත්වය තරමක් උණුසුම් වූයේ එදිනෙදා මාතෘකා සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාඨලී චම්පික රණවක මහතා විසින් තමන් ආරම්භ කිරීමට සූදානම් වන නව දේශපාලන ව්‍යාපාරය වූ ‘43 වන සේනාංකය’ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකිරීමත් සමඟය. එහිදී හර්ෂද සිල්වා මහතා මෙම සේනාංකය හරහා සිදුකිරීමට බලාපොරොත්තු වන කටයුතු පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස චම්පිකගෙන් ඉල්ලා සිටියේය.
චම්පිකගේ අලුත් සේනාංකය ගැන ප්‍රශ්න ගොඩක්
ඒ අනුව චම්පික පිරිසට පැහැදිලි කර දුන්නේ තමන් පිහිටුවන්නේ වෙනම දේශපාලන ව්‍යාපාරයක් නොවන බවත්, ඍජුව සමඟි ජන බලවේගය හා සම්බන්ධ වීමට අකැමැති සිවිල් සංවිධාන, විද්වතුන් ඇතුළු විවිධ සමාජ කොටස් ඒකරාශී කිරීමේ පොදු වේදිකාවක් බවත්ය. චම්පික එසේ කීවද සමඟි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රිවරු චම්පිකගේ එම අදහසට එකඟ වූ ආකාරයක් දැකගන්නට නොලැබිණ. සජිත්ද එහිදී කියා සිටියේ දැනටමත් සමඟි ජන බලවේගය තුළ විවිධ දේශපාලන අංශ ක්‍රියාත්මක වන බැවින් එක් පක්ෂයක් ඇතුළේ කණ්ඩායම් දෙකක් කටයුතු කිරීමට ගියහොත් එය පක්ෂයට අහිතකර බලපෑමක් එල්ලකරනු ඇති බවකි.
සජිත්ගෙන් පසු කතා කළ රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, තලතා අතුකෝරල, සරත් ෆොන්සේකා වැන්නවුන්ද පැහැදිලිවම කියා සිටියේ එවැන්නක් සිදුකිරීම හරහා යම් ගැටලුවක් මතුවිය හැකි බවකි. එක් අවස්ථාවක සරත් ෆොන්සේකා කෙළින්ම චම්පිකගෙන් විමසා සිටියේ යම් හෙයකින් ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයා තෝරන විට මෙම සන්ධානයේ නායකයන් පැමිණ ජනපති අපේක්ෂකයා විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළහොත් එවිට කුමක් කරන්නේදැයි කියාය.
ප්‍රශ්නය විසදන්න මද්දුමබණ්ඩාරට දෙයි
කෙසේ වෙතත් මේ ආකාරයේ වාද විවාදවලින් පසුව අවසානයේදී සියලුම මන්ත්‍රිවරුන් කියා සිටියේ මෙම ගැටලුව පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීමකදී සාකච්ඡා කොට විසඳා ගන්නා ලෙසය. ඒ අනුව සජිත් එම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා රංජිත් මද්දුමබණ්ඩාර සමඟ සාකච්ඡා කරන ලෙස චම්පිකට දැනුම් දී සිටියේය. ඒ අනුව අදාළ මාතෘකාව සාකච්ඡා කර නිමවීමත් සමඟ චම්පික තමන් යොදාගත් වෙනත් රාජකාරි කටයුත්තක් ඇති බව සඳහන් කරමින් එම ස්ථානයෙන් පිටව යෑමට පියවර ගත්තේය.
කෙසේ වෙතත් ඊට පසු දින ඇතැම් පුවත්පත් එම තත්ත්වය සමඟි ජන බලවේගය ඇතුළේ මහා අර්බුදයක් ලෙස හුවාදක්වන ආකාරයක් දැකගන්නට තිබිණ. සමහර පුවත්පත් කියා තිබුණේ සමඟි ජන බලවේගය ඇතුළේ විශාල අර්බුදයක් පැනනැඟී ඇති බවත්, ඒ හේතුවෙන් චම්පික මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමෙන් නැඟිට ගොස් ඇති බවත්ය. ඒ අනුව වහාම සමඟි ජන බලවේගයේ ඉදිරි පෙළ නායකයන් දෙදෙනකු වන හරීන් ප්‍රනාන්දුත්, හර්ෂ ද සිල්වාත් සිය ෆේස්බුක් ගිණුම්වල සටහන් තබමින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් පළකිරීමට පියවර ගෙන තිබිණ.
හරීන් තිබ්බ සටහන
“පසුගියදා පැවැති සමඟි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රිවරුන් විසින් පාඨලී චම්පික රණවක මහතාව විවේචනය කළ බවට අසත්‍ය සහ ද්වේශ සහගත පුවතක් ආණ්ඩුවට හිතවත් කැලෑ පත්තර කිහිපයක් සහ මඩ වෙබ් අඩවි කිහිපයක් විසින් පළකර ඇත. එදින පැවැති රැස්වීමේදී ඒ ආකාරයේ කිසිදු සිදුවීමක් සිදු නොවූ අතර, සියලු කණ්ඩායම් ඒකරාශී කරගනිමින් පුළුල් සමාජ බලවේගයක් නිර්මාණය කිරීම සඳහා ඵලදායී සංවාදයක් පැවැත්විණි. දිනෙන් දින ෆේල් වෙමින් පවතින ආණ්ඩුව සිය අසාර්ථකභාවය ජනතාවගෙන් වසන් කිරීම සඳහා සමඟි ජන බලවේගයේ නායකයන්ට එරෙහිව ජඩ මාධ්‍ය සහ ගවුම් අඳින මඩ මාධ්‍ය උපදේශකයින් ලවා බොරු පුවත් මවමින් සිටී. එම පුවත්වලට නොරැවටෙන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු. පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩු විරෝධී දේශපාලන සටනේ අප සමඟ පෙරමුණ ගන්නා සටන් සගයකු බව මතක් කරමු කැමැත්තෙමි.”
ඒ හරීන් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනය.
හර්ෂගෙනුත් පැහැදිලි කිරීමක්
හර්ෂ තම ෆේස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවැනි සටහනකි.
“සමඟි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාඨලී චම්පික රණවක මහතාට මා ඇතුළු පිරිසක් විරෝධය පළ කළැයි පුවතක් මාධ්‍ය කිහිපයකම වාර්තා කර තිබෙනවා. එවැනි විරෝධතාවයක් එල්ල නොවුණු බවත්, වෘත්තීයවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ සමඟි ජන බලවේගයේ ඉදිරි ගමන්මග ගැන ඉතාමත් ධනාත්මක සාකච්ඡාවක් මන්ත්‍රී කණ්ඩායම සිදුකළ බවත් මා එම වාර්තාකරුවන්ට පැවසීමට කැමැතියි” යන්න හර්ෂ තබා තිබූ සටහන විය.
කපිල පුංචිමාන්නගේ