දිනෙන් දින වාර්තා පිට වාර්තා තබමින් කොරෝනා රෝගීන් රට හැම තැනින්ම මේ වන විට මතුවෙමින් තිබේ. ඉකුත් අඟහරුවාදා දිනයේදී පළමුවරට දහස ඉක්මවා යමින් රෝගීන් 1111ක් වාර්තා වූ අතර, බදාදා දිනයේදී එම ප්‍රමාණයද ඉක්මවා යමින් රෝගීන් 1461ක් වාර්තා වූයේ තත්ත්වය තරමක් අවදානම් බවට අනතුරු අඟවමිනි. බ්‍රහස්පතින්දා එම ප්‍රමාණය 1077ක් විය. විශේෂයෙන්ම අලුත් අවුරුදු සමයේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා ඒකරාශී වීමත්, ඉකුත් දීර්ඝ සතිඅන්තයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් කොළඹින් පිටව විනෝද සවාරි යෑමත් මෙම ව්‍යාප්තියට හේතුපාදක වූ බව බොහෝ දෙනාගේ මතය වී තිබිණ.
කොරෝනා පොකුරු රට වටෙන්ම
මේ බව දන්නා නිසාම බොහෝ පාර්ශ්වයන් ඉකුත් සති අන්තය වන විට සංචරණයන් සීමා කිරීමකට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියත් එවැනි තත්ත්වයක් දැකගන්නට ලැබුණේ නැත. විශේෂයෙන්ම කොරෝනා භාර අමාත්‍යවරිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවා අවධාරණය කර සිටියේ සතිඅන්තයේ යම්කිසි සංචරණ සීමා කිරීමකට ලක්කිරීමට සුදුසු බවත්, එසේ නොකළහොත් තත්ත්වය බරපතළ අතට පෙරළීම වැළැක්විය නොහැකි බවත්ය. එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් දැඩිව අවධාරණය කොට තිබුණේ සතිඅන්තය යම් සීමා කිරීමකට ලක්කළ යුතු යැයි කියාය. නමුත් එවැන්නක් සිදු නොවීමේ ප්‍රතිඵල අඟහරුවාදා, බදාදා වන විට දැකගන්නට ලැබුණේ රෝගීන් දහස ඉක්මවා වාර්තා කරමිනි.
ලොක්ඩවුන් කරනවාද? ආණ්ඩුව මත 2ක
කෙසේ වෙතත් ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ මේ වන විට මත දෙකක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම මැති ඇමැතිවරුන් කණ්ඩායමක් රට කෙටි හෝ පූර්ණ වසා දැමීමකට ලක් කළ යුතු බව ආණ්ඩුවට පෙන්වා දී තිබුණත් තවත් පිරිසක් කියා සිටින්නේ එසේ පූර්ණ වසාදැමීමකට නොගොස් අවශ්‍යතාව අනුව යම් යම් වසා දැමීම්වලට කටයුතු කළ යුතු යැයි කියාය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මතයද පසුගිය සතියේ එළියට ආවේ හල්දුම්මුල්ලේ පැවැති රැස්වීමකදීය.
වසර 50ට දියතලාවේ උත්සවයක්
මෙම හල්දුම්මුල්ලේ චාරිකාව ජනාධිපතිවරයා කල්තියාම සැලැසුම් කළ එකක් විය. ඊට හේතු වූයේ හමුදාවේ රාජකාරි කළ සමයේදී සිය සමකාලීනයන් වශයෙන් කටයුතු කළ නිලධාරීන්ගේ හමුදා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් දියතලාව හමුදා කඳවුරේ සංවිධානය කොට තිබීමය. ඊට ජනාධිපතිවරයාටද ආරාධනා කර තිබූ අතර, දැඩි සෞඛ්‍ය නීති රීතීන්වලට යටත්ව උත්සවය සංවිධාන කර තිබූ ආකාරයක් දැකගත හැකි විය.
මෙම උත්සවයට සහභාගි වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව ගියේ තමන් මීට මාස කිහිපයකට ප්‍රථම ගම සමඟ පිළිසඳරක් වැඩසටහන ආරම්භ කළ බදුල්ල, හල්දුම්මුල්ලේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහාය. කොරෝනා තත්ත්වය හේතුකොටගෙන කිසිදු උත්සවයක් සංවිධානය කොට නොතිබූ අතර, ජනාධිපතිවරයා තමන් විසින් දෙනු ලැබූ නියෝග ඒ ආකාරයටම ක්‍රියාත්මක වී ඇද්ද යන්න මෙහිදී පෞද්ගලිකවම නිරීක්ෂණය කළ ආකාරය දැකගත හැකි විය.
ජනපති රට නොවසන උත්සාහයක
කෙසේ වෙතත් මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පසු නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක්ද සැලසුම් කොට තිබිණි. ඊට රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ද සහභාගිව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ වන විටත් රට ඇතුළේ කොරෝනා අවදානම ඉහළ යමින් තිබූ බැවින් සෞඛ්‍ය නිලධාරීනුත්, වෛද්‍යවරුනුත් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ කෙටි කාලසීමාවකට හෝ රට ලොක්ඩවුන් කිරීමක් කළ යුතු යැයි කියාය. නමුත් මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ කිසිසේත්ම එවැනි ලොක්ඩවුන් කිරීමකට නොයන බවය.
“නෑ… ඒක කොහොමත්ම කරන්න බැහැ. අපි එකපාරක් එහෙම කරල බරපතළ අර්බුදයකට මුහුණදුන්නා. අනෙක දැන් ඉන්දියාවෙත් රෝගීන් කොච්චර වැඩි වුණත් රට සම්පූර්ණයෙන්ම වහන්නෙ නැහැ. ඒ වගේ අපිත් මේකට මුහුණදෙන්න ඕනෙ. ඒක තමයි ප්‍රායෝගික තත්ත්වය. ඒ නිසා කොයිම මොහොතකවත් රට සම්පූර්ණයෙන් වහන්න කටයුතු කරන්නෙ නැහැ…” යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරය විය.
අගමැති රට වසන ස්ථාවරයක
මේ ආකාරයට ජනාධිපතිවරයා රට ලොක්ඩවුන් නොකළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටිද්දී පසුගිය සතිය වන විට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බොහෝදෙනකු අගමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකදී දැනුම්දී තිබුණේ මේ වන විට තත්ත්වය අවදානම් පැත්තට හැරෙමින් පවතින බැවින් කෙටි කාලයකට හෝ රට පූර්ණ වසාදැමීමක් සිදුකළ යුතු යැයි කියාය. එසේ කතා කළ මැති ඇමැතිවරුන්ට අගමැතිවරයාද කියා සිටියේ තමන්ගේද ස්ථාවරය යම් දින කිහිපයකට හෝ රට වසා දැමීමක් සිදුකළ යුතු බවකි.
“මමත් ඉන්නෙ රට යම් දින කිහිපයකට හරි වහන්න ඕනෙ කියන මතයෙ. ජනතාවගෙ වුණත් එහෙම විරෝධයක් නෑ මේ වෙලාවෙ රට වැහුව කියලා. ඉන්දියාවෙත් මේ වෙද්දි තත්ත්වය දරුණු අතට හැරිලයි තියෙන්නෙ. අපි ඒක ගැනත් බලන්න ඕන..” යන්න අගමැතිවරයාගේ මතය විය. ඒ අනුව රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත අගමැතිවරයා මෙම යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවකි.
චීනය ලෝකයම කලඹවයි
මේ ආකාරයට රට ඇතුළේ කොරෝනා අවදානම ඉහළ යද්දී පසුගිය සතිය ආරම්භයේදීම ලංකාව ජාත්‍යන්තරයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූයේ චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් මහතාගේ දෙදින ශ්‍රී ලංකා සංචාරය මුල්කරගෙනය. මීට සති කිහිපයකට ඉහතදී චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා ගමන ස්ථිර වීමත් සමඟ අසල්වාසී ඉන්දියාව මෙන්ම බටහිර සහ යුරෝපාකරයේ තානාපති කාර්යාල මෙම සංචාරය පිළිබඳව ඇස ගසාගෙන සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ. ඊට හේතු වූයේ චීන ආධාර මත ඉදිවන පෝට්සිටිය සහ හම්බන්තොට වරායට කිසිවකුටත් නොදන්වා විකිරණශීලී ද්‍රව්‍ය රැගත් චීන නෞකාවක් පැමිණීම මේ වනවිට ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබීමය. ඒ සියලු මාතෘකා මැද්දේ හදිසියේම චීන රජයේ ප්‍රබලයකු මෙසේ ලංකාවට පැමිණීම බොහෝ රටවල ඇස් අරවන්නක් බවට පත්ව තිබිණ.
ෆෙන්ග් ආවේ බංග්ලාදේශයේ සිට
ජෙනරල් වෙයි ෆෙන්ග්ගේ ලංකා සංචාරය බොහෝදෙනාගේ අවධානය දිනාගැනීමට හේතු වූ තවත් කරුණක් වූයේ ලංකාවට පැමිණීමට පෙර හෙතෙම බංග්ලාදේශයේද සංචාරයක නිරතව සිටීමය. එම බංග්ලාදේශ සංචාරයේදී ජෙනරාල් ෆෙන්ග් විසින් ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය සහ ඕස්ටේ්‍රලියාව යන රටවල් ඒකාබද්ධව නිර්මාණය කොටගෙන ඇති “කොඩ්” සංවිධානය දැඩිව විවේචනය කරනු දැකගත හැකි විය. මෙයට වසර කිහිපයකට ඉහතදී මෙම රටවල් හතර ඒකාබද්ධව “කොඩ්” සංවිධානය පිහිටුවාගනු ලැබුවේ ඉන්දීය සාගරයේ ඉහළ නගිමින් පවතින චීන බලපෑම අවම කර ගැනීමටත්, ඊට එරෙහිව සටන් වැදීමටත්ය. ඉකුත් වසරේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වන මයික් පොම්පියෝ මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදීද මෙම සංවිධානයට එක්වන ලෙස ලංකාවටද ආරාධනා කිරීමට කටයුතු කර තිබිණ. එමෙන්ම එම සමුළුව ලංකාවේ පැවැත්වීමටද සැලැසුම් කර තිබූ නමුත් අවසන් මොහොතේ එය ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු යෙදිණ.
‘කොඩ්’ එකට දැඩි ප්‍රහාරයක්
ඒ අනුව බංග්ලාදේශ සංචාරය අතරතුරදී ජෙනරාල් ෆෙන්ග් මෙම ‘කොඩ්’ සංවිධානයේ කටයුතු ප්‍රසිද්ධියේම විවේචනය කළ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ෆෙන්ග් පෙන්වා දුන්නේ ‘කොඩ්’ සංවිධානය කටයුතු කරන ආකාරයෙන් ඉන්දීය සාගර කලාපයේ රටවල ස්වාධිපත්‍ය අහිමි වනවා යැයි කියාය. ඒ හරහා ඇතැම් රටවල්වලට බලපෑමක් එල්ල වන බවද ෆෙන්ග් එහිදී පෙන්වා දී තිබිණ.
මේ ආකාරයට ‘කොඩ්‘ සංවිධානයේ කටයුතු විවේචනය කොට ඉන් අනතුරුව චීන ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට පැමිණීම හේතුකොටගෙන ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු සියලුම රටවල් ලංකාව තුළ ෆෙන්ග් සිදුකරන කටයුතු සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමුකොට තිබූ බවක් දැකගත හැකි විය.
චීනය එද්දී යුරෝපයෙන්-බටහිරින් වෙනම සංඥාවක්
ෆෙන්ග්ගේ මෙම සංචාරයට පැය කිහිපයක් තියා තවත් විශේෂ සිදුවීමක් ලංකාවේ සිදුවිය. ඒ, යුරෝපා රටවල තානාපතිවරුන් මෙන්ම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල තානාපතිවරුන් වෙන වෙනම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට සැලැසුම් කර තිබීමය. පසුගිය කාලසීමාවේ ලංකාව ඇතුළේ මතුවූ යම් යම් සිදුවීම් මුල්කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදෙස් තානාපතිවරුන් හමුවිය යුතු බවට මීට ටික කලකට පෙර සිටම ඉල්ලීම් කර තිබුණත් කොරෝනා තත්ත්වය මුල්කරගෙන ඊට ධනාත්මක ප්‍රතිචාරයක් එම රටවල්වලින් ලැබී තිබුණේ නැත. නමුත් චීන ආරක්ෂක ඇමැතිවරයාගේ ලංකා සංචාරයට දින තහවුරු වීමත් සමඟ මෙම හමුවද ඉක්මන් විය. ඒ අනුව යුරෝපා සහ බටහිර රටවල තානාපතිවරුන් සජිත්ට දැනුම්දී සිටියේ අඟහරුවාදා දින සජිත්ව හමුවීමට සූදානම් යැයි කියාය. ඒ අනුව අඟහරුවාදා පෙරවරුවේ යුරෝපා රටවල තානාපතිවරුන් හමුවීමට වේලාව වෙන්කෙරුණු අතර, සවස් වරුවේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල තානාපතිවරුන් හමුවීමට වෙලාව වෙන්විය.
යුරෝපයෙන් ආ අය
පෙරවරුවේ පැවැති සාකච්ඡාවට යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි, ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු, ඉතාලි තානාපතිනි රීටා ගිලියානා මැනෙලා, ජර්මන් තානාපති වොල්ග සීබර්ඩ් සහ රොමේනියානු තානාපති වික්ටර් චියුඩා යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ. සවස පැවැති සාකච්ඡාවට ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස්, කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන්, ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්බ්ලර්, ඕස්ටේ්‍රලියානු නියෝජ්‍ය තානාපති ඇවෙන්ඩා ජුවෙල් සහ නෝර්වේ තානාපති ට්‍රයින් ජෝන්ලි එස්කඩේල් යන මහත්ම මහත්මීහු සහභාගිව සිටියහ. මෙම සාකච්ඡාවලදී කොරෝනා මර්දනයට අමතරව ආණ්ඩුව විසින් දියත් කොට ඇති මර්දනකාරී වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් මුල්කරගෙන අත්අඩංගුවට ගැනීමට සැලැසුම් කර ඇති බව කියන හරීන් ප්‍රනාන්දු මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ඡා වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
සජිත් රනිල් පරද්දයි
මේ ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බටහිර සහ යුරෝපා රටවල සියලුම තානාපතිවරුන් සහාය එකවර හිමිවීමත් සමඟ මෙතෙක් කල් රට හමුවේ පැවැති එක්තරා මතයක්ද බිඳවැටීමකට ලක්විය. ඒ අන් කිසිවක් නොව එදා මෙදාතුර ජාත්‍යන්තරයේ සහාය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවට වූ මතයය. ආණ්ඩු පෙරළීම සඳහා එජාපය පසුපස මෙම රටවල් සිටින බවටත්, ඔවුන්ගේ සහාය හිමිවන්නේ එජාපයට පමණක් බවට වූ මතයත් ඒ අනුව බිඳවැටීමකට ලක්වූ ආකාරයක්ද දැකගත හැකි විය. මේ හරහා තානාපති අංශ ආණ්ඩුවටද යම් පණිවුඩයක් දී ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩිව සාකච්ඡා වන මාතෘකාවක් බවට පත්ව තිබේ. එසේම මේ ආකාරයට බටහිර සහ යුරෝපා රටවල තානාපතිවරුන් එකවර, එක දිනකදී රනිල්ව මුණගැසුණු අවස්ථාවක් රනිල් විපක්ෂයේ සිටියදී පමණක් නොව ආණ්ඩු පක්ෂයේ සිටියදී පවා දැකගන්නට ලැබී තිබුණේ නැත.
පාරවල් වසා අවුලක්
චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් ෆෙන්ගේ ලංකා සංචාරය සිදුවූයේ තානාපති ක්ෂේත්‍රයම සජිත් සමඟ එකට සිටගත් මෙවැනි පසුබිමකය. චීන ආරක්ෂක අමාත්‍යවරයා එරට ධුරාවලියේ ඉහළම තනතුරු කිහිපය අතර සිටීම හේතුකොටගෙන ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකොට කාලසටහන් සකස් කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව චීන ආරක්ෂක ඇමැතිවරයා කටුනායකින් ගොඩබසිනවාත් සමගම වාගේ කටුනායක සිට කොළඹ ඔහු රැඳී සිටින හෝටලය දක්වා වූ ගමන් ගන්නා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගැනිණ. ජනතාව සිය කාර්යාලවල සිට නිවෙසට යන අවස්ථාවේදී චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ පැමිණීම හේතුකොටගෙන මෙසේ පාරවල් වසා දැමීම හේතුකොටගෙන කාර්යාල සේවකයනුත්, ජනතාවත් පත්ව සිටියේ දැඩි අසීරුතාවයකටය. ඒ හේතුවෙන් කොළඹ නගරයේ දැඩි රථ වාහන තදබදයක්ද පැවැති ආකාරයක් දැකගත හැකි විය.
ජනතාව හෝන් ගසා විරෝධය පළ කරයි
එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ එසේ පාරවල් අසල සිරව සිටි ජනතාව කිසිදු බලවේගයක තල්ලු කිරීමකින් තොරව ඊට විරෝධය පළ කරමින් නැඟී සිටීමය. මෙහිදී සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ වීඩියෝවලින් දැකගන්නට ලැබුණේ යම් යම් පුද්ගලයන් ස්වාධීනවම ඉදිරියට පැමිණ මේ සඳහා නායකත්වය ගත් ආකාරයය. මෙහිදී ඔවුන් කියා සිටියේ තමන්ද වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඡන්දය භාවිතා කළ පුද්ගලයන් බවත්, එසේ වුවත් මෙවැනි කටයුතුවලට විරෝධය දැක්වීම සඳහා සියලුම වාහනවල නලා හැඬවිය යුතු බවත්ය. ඒ අනුව නවතා තිබූ රථ වාහනවල සිටි සියල්ලන්ම එකවර නලා හඬවන්නට පටන් ගැනීම හේතුකොටගෙන පොලිස් නිලධාරීන්ටද කළ හැකි යමක් නොවීය. ඒ අනුව චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් ආරක්ෂක රථ පෙළ එම ස්ථානවලින් ගමන් ගනිද්දී විරෝධය පෑ නලා හඬින් පළාතම වැසී ගිය ආකාරයක් දැකගත හැකි විය.
මෙවැනි මහජන විරෝධය දැක්වීම් ලංකාවට ආගන්තුක ඒවා වුවත් විදෙස් රටවල නම් මෙවැනි සිදුවීම් ඕනෑ තරම් දැකගත හැකිය. මෑතකදී එවැනි ජනතා විරෝධයක් මතුවූයේ මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිවය. එමෙන්ම බටහිර රටවල්වල නම් මෙවැනි විරෝධතා දැක්වීම් නිරන්තරව දැකගත හැකි විය. නමුත් එවැනි රැල්ලක ආරම්භය මෙයදැයි කියන්නට තවම කල් වැඩිය.
විරෝධයේ සද්දය බීජිං නුවරටත් දැනෙයි
කෙසේ වෙතත් මේ ආකාරයේ නලා විරෝධතාවයක් චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය අතරතුරදී සිදුව ඇති බවට වූ පුවත මොහොතෙක් යෑමට මත්තෙන් චීනයේ බීජිං නුවරටද වාර්තා වී තිබිණ. ඒ අනුව ඒ මොහොතේම මෙරට චීන තානාපති කාර්යාල නිලධාරීන් වෙත ලැබුණු දැනුම්දීමකින් කියැවුණේ වහාම අමාත්‍යවරයාගේ ලංකාවෙන් පිටවීමේ ආරක්ෂක ක්‍රමවේදය වෙනසකට ලක්කරන ලෙසටය. ලංකාව පැත්තෙන් කුමන ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට පියවර ගෙන තිබුණද වහාම එය වෙනස් කරන ලෙස එම දැනුම්දීමෙන් වැඩිදුරටත් කියැවිණ. ඒ අනුව චීන ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට පැමිණෙන විට කළ ආකාරයට මාර්ග වසා දැමීමක් චීන ආරක්ෂක අමාත්‍යවරයා රටින් පිටවන විට සිදුකළ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
ජනපති හමුව රහසක්…
කෙසේවෙතත් ලංකාවට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙහි ගත කළ දින දෙක තුළ හමුවූයේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පමණි. ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාව අතිශය පෞද්ගලික සහ රහසිගත ආකාරයට පැවැති අතර, ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් වුණු නිවේදනයට අමතරව කිසිදු තොරතුරක් ආණ්ඩුව පැත්තෙන් එළියට ආවේ නැත. ජනාධිපති මාධ්‍ය ඒකකය මඟින් නිකුත් කෙරුණු නිවේදනයෙන්ද කියැවුණේ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී වූ බව චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවැසූ බවකි. එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් වූ බව චීන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවද එහි සඳහන් විය. කෙසේ වෙතත් අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාව මාධ්‍යයට තරමක් විවෘත වූ අතර, එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ඡා වී තිබූ බවක් වාර්තා විය.
චීන ඇමැති යද්දී ඉන්දීය මහකොමසාරිස් දුවගෙන එයි
කෙසේ නමුත් ඇත්තටම චීන ආරක්ෂක අමාත්‍යවරයා හා ආණ්ඩුව අතර පැවැති සාකච්ඡාවලදී කතාබහට ලක්වූ කරුණු මොනවාද යන්න මේ වන විට බොහෝදෙනාගේ අවධානය යොමුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ඉන්දියාවද ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකොට ඇති බවක් පෙනී යන්නේ චීන ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවෙන් පිටව ගිය දිනට පසු දිනම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අගමැති මහින්ද මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගැනීම හරහාය. නමුත් මෙහිදී සාකච්ඡාවට ලක්වූ කරුණු කිසිවක්ද මෙතෙක් මාධ්‍යට අනාවරණය වී නැත.
අමෙරිකාව චීන නැව පසුපස පන්නයි
මේ ආකාරයට චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ලංකා සංචාරය ලෝකයට පුවත් මවන ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙද්දී පසුගිය සතියේ සිදුවූ චීන විකිරණ නෞකාවේ හදිසි හම්බන්තොට ගමනද ජාත්‍යන්තරය තුළ කතාබහට ලක්වූ කාරණයක් විය. මෙම නෞකාව පැමිණ මේ වන විට සති දෙකක් ගතව තිබුණද තවමත් නිශ්චිත වශයෙන් එම නෞකාවේ විකිරණශීලී ද්‍රව්‍ය කොපමණ තිබුණාද, එය කිසිදු අවසරයකින් තොරව හම්බන්තොට වරායට ඇතුළු වුණේ කුමන කාරණයක් අරභයාද, නාවික හමුදාවට හෝ එම නෞකාවට ඇතුළු වීමට ඉඩ නුදුන්නේ මන්ද යන කරුණු සම්බන්ධයෙන් මෙතෙක් වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් කිසිදු පිළිතුරක් ලැබී නොමැත. ලංකාව පැත්තෙන් මේ වන තෙක්ම ඊට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළද ජාත්‍යන්තරය පැත්තෙන් එසේ නිහඬව සිටි ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ මෙම චීන අභිරහස් නෞකාව පිළිබඳව තොරතුරු ගවේෂණය කිරීමය. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ ඇමෙරිකාවේ හවායිහි සිට ක්‍රියාත්මක වන ‘ඒෂියා පැසිපික් කමාන්ඩ්’ සංවිධානයය. ඒ අනුව එම සංවිධානය මෙම නෞකාව කොහේ සිට පැමිණියේද, ඉන් අනතුරුව ගියේ කොහාටද යන්න සම්බන්ධයෙන් චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කරමින් සියුම් විමර්ශනයක නිරත වූ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම කිසිවකුත් මෙම නෞකාවේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීමට ඉදිරිපත් නොවූ පසුබිමක ඉන්දියාව එම නෞකාවේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීමටත්, හම්බන්තොට වරායේ එම නෞකාව නැංගුරම් ලා තිබූ ආකාරය ලෝකයට හෙළි කිරීමටත් පියවර ගත්තේය. ඒ අනුව මෙම චීන විකිරණ නෞකාව මේ වන විට ජාත්‍යන්තරය තුළ පවා දැඩි මතභේදයකට තුඩුදී ඇති මාතෘකාවක් බවට පත්ව හමාරය.
හරීන් හරිද නැත්නම් හිරේද
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පසුගිය බදාදා දිනයේ ඔහුට සුළු හෘදය සැත්කමක් සිදුකිරීමට නියමිතව තිබිණ. නමුත් මතුව තිබූ හදිසි තත්ත්වයක් මුල්කරගෙන එම සැත්කම තවත් දිනකට හෝ දෙකකට කල් දැමීමට වෛද්‍යවරු අවසාන මොහොතේ තීන්දු කළහ. කෙසේ වෙතත් හරීන් රෝහල්ගත වන විට ඔහු පාර්ලිමේන්තුවේ කළ කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබිණ. රෝහල් ගතවීම හේතුකොටගෙන ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස හරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණ.
මුලින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළි කළ කරුණු මුල්කරගෙන හරීන්ගෙන් ප්‍රශ්න කරන බව කියැවුණද පසුව දැනගන්නට ලැබුණේ හරීන් සන්නිවේදන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී ඔහු යටතේ තිබූ අයි.සී.ටී.ඒ. ආයතනය තුළ සිදුවූ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සී.අයි.ඩී.යට කැඳවා ඇති බවකි. ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇති බවද වාර්තා විය. කෙසේ වෙතත් මෙම කරුණු මුල්කරගෙන තමාව අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අඟහරුවාදා දින හරීන්ගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක්ද ගොනුකර තිබිණ.
රහස් ලිපිගොනුවක් පියතුමන්ලාට
මේ සියල්ල අතරවාරයේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් හරීන් පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනාවරණය කළ කරුණු මුල්කරගෙන අගරදගුරු මණ්ඩලය දැනුවත් කිරීමට තීරණය කළේය. ඊට මූලිකත්වය ගත්තේ මනුෂ ඇතුළු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකි. ඒ අනුව හරීන් සහ මනුෂ පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණු අනාවරණය කරමින් සිදුකළ කතාවේ පිටපත අගරදගුරු මණ්ඩලයට ලබාදීමටත්, එම කතාවේ ඉංග්‍රීසි උපසිරැසි සහිත සීඩී පටයක් ලබාදීමටත් තීරණය විය. මුලින්ම මෙම ලිපිගොනුව සහ සීඩී පටය කතෝලික පියතුමන්ලා හට මරදාන සී.එස්.ආර්. ආයතනයේදී භාරදීමට සැලැසුම් කෙරිණ. එම අවස්ථාවට මනුෂට අමතරව ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, එරාන් වික්‍රමත්න, හර්ෂද සිල්වා යන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුද පසුව එක්වූහ.
ඉහළින් ඇමතුම් ඇවිත්
කෙසේ වෙතත් මෙවැනි සිදුවීමක් සී.එස්.ආර්. ආයතනයේදී සිදුවන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ කිසියම් පිරිසක් එම ආයතන ප්‍රධානීන්ට කතාකොට බලපෑම් එල්ල කර තිබූ ආකාරයක් වාර්තා විය. ඒ අනුව සී.එස්.ආර්. ආයතනයේදී එම ලිපිගොනු භාරදීම අවලංගු කෙරුණු අතර, කොළඹ වෙනත් දේවස්ථානයක් මේ සඳහා යොදාගැනීමට තීන්දු විය. කෙසේ වෙතත් මෙම ලිපිගොනු භාරදීමෙන් අනතුරුව එම දේවස්ථානයේ කාර්ය මණ්ඩලයටද මේ වන විට විවිධ දුරකතන ඇමැතුම් ලැබෙමින් පවතින බවක් දැනගන්නට ඇති අතර, අදාළ ලිපිගොනුවේ පැවැතියේ මොනවාද, සීඩී පටයේ තිබුණේ මොනවාද යන්න එහිදී විමසා ඇති ආකාරයක්ද දැනගන්නට ඇත.
විපක්ෂ නායක කාර්යාලයෙත් කොරෝනා බියක්
මේ අතර පසුගිය සතියේ කොරෝනා තත්ත්වය මුල්කරගෙන විපක්ෂ නායක කාර්යාලයද යම් යම් ආරක්ෂක ක්‍රියාමාර්ග ගත් බවක් දැකගන්නට ලැබිණ. ඒ අනුව සතියේ සෑම දිනකම විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමු සියල්ලම මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් තොරව ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට එහි මාධ්‍ය කමිටුව තීන්දු කොට ඇත. එමෙන්ම සමඟි සන්නිවේදන බළකාය සහ එස්.ජේ.බී. අපි ෆේස්බුක් පිටුව ඔස්සේත් මෙම මාධ්‍ය සාකච්ඡා සජීවීව විසුරුවා හැරීමටද සමඟි ජන බලවේගය මේ වන විට සැලැසුම් සකස් කොට ඇත.
විමල්-උදය සද්ද නෑ
පසුගිය මාස කිහිපය පුරා ආණ්ඩුව ඇතුළේ තිබූ අර්බුද කොරෝනා ව්‍යාප්තියත් සමඟ මේ වන විට යටගොස් ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ආදීන් ආණ්ඩුවේ පළාත් සභා යෝජනාවට එරෙහිව එළිපිට පහර දෙන ආකාරයක් දැකගත හැකි විය. මීට අමතරව තවත් ආණ්ඩුවේ මන්ත්‍රිවරයකු වන විජේදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පෝට්සිටි පනත සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් ඉදිරිපත් කරන ආකාරයක් දැකගත හැකි විය.
නමුත් හිටිහැටියේම විමල්ලාත්, ගම්මන්පිලලාත්, විජේදාසලාත් සද්ද වසා ඇති ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණ. ඊට හේතුව කුමක්ද යන්න විමල්ලාගේ පැත්තෙන් දැනගන්නට නැතත් ආණ්ඩුව පැත්තෙන් නම් වාර්තා වන්නේ මෙසේ ආණ්ඩුව ඇතුළේ සිටිමින් කැරලි ගසන පුද්ගලයන්ට එරෙහිව දැඩි තීන්දුවක් ගැනීමට ආණ්ඩුවේ බලධාරීන් අවසන් තීන්දුවක් ගෙන තිබීම ඒ සඳහා හේතුවී ඇති බවය. ඒ අනුව මේ දිනවල විමල්ලා, ගම්මන්පිලලා නිහඬ වී ඇති බවත්, ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ යළිත් පරණ හිතවත්කම් ගොඩනගා ගැනීමට සැලැසුම් කරමින් සිටින බවත් රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
ශ්‍රීලනිපය බැසිල් හමුවෙයි
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩුව අතරද පසුගිය කාලය පුරා පැවැති මතගැටුම මේ වනවිට කූටප්‍රාප්තිය දක්වා පැමිණ ඇති ආකාරයක් දැකගන්න ඇත. පළාත් සභා මැතිවරණය පැවැත්වීමේදී එක් කොට්ඨාසයකින් එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කළ හැකි බවට පොහොට්ටුව පැත්තෙන් ඉදිරිපත් වූ යෝජනාව මෙම ගැටුමේ ආසන්නතම සිදුවීම විය. ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිපය හා පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් මීට ඉකුත් සතියේදී පැවැත්විණ. මෙහිදී ශ්‍රීලනිපය ඍජුවම එම යෝජනාව සඳහා වූ සිය පක්ෂයේ විරෝධය බැසිල්ට දැනුම්දීමට පියවර ගත්තේය.
මින් මත්තට පොහොට්ටුව නෑ: අතෙන් විතරයි
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී බැසිල් එක් විශේෂ ඉල්ලීමක් ශ්‍රීලනිප නියෝජිතයන්ගෙන් කළේය. ඒ, ශ්‍රීලනිපයට සන්ධානය සමඟ යම් ගැටලුවක් ඇත්නම් එය ඍජුවම ආණ්ඩුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර විසඳා ගැනීමට කටයුතු කරන ලෙසය. එසේ නොමැතිව වෙනත් පක්ෂ සමඟ ඒ පිළිබඳව සාකච්ඡා නොකරන ලෙසද බැසිල් ශ්‍රීලනිප නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය. ඊට ශ්‍රීලනිපය ඒ මොහොතේ ඍජු පිළිතුරක් ලබාදීමට පියවර ගත්තේ නැත.
ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය සතියේදී ශ්‍රීලනිප නියෝජිතයන් වෙනම සාකච්ඡාවක් පැවැත්වීය. මෙහිදී ශ්‍රීලනිපය එක්තරා විශේෂ තීන්දුවකට එළැඹීමට පියවර ගත්තේය. ඒ අන් කිසිවක් නොව ඉදිරියේදී තරගවදින සියලුම මැතිවරණ පක්ෂයේ මුල් සලකුණ වූ අත ලකුණ යටතේ තරග වැදීමටය. එමෙන්ම මින් ඉදිරියට වෙනත් පක්ෂ සමඟ වෙනත් සලකුණු යටතේ සන්ධානගත නොවීමටත්, අත ලකුණ යටතේ ශ්‍රීලනිපයේ නායකත්වයෙන් පමණක් සන්ධාන බිහිකිරීමට එහිදී තීන්දු කළේය. ඒ අනුව දැන් එකක් පැහැදිලිය. ඒ, මින් ඉදිරියට ශ්‍රීලනිපය කිසිදු මැතිවරණයකදී පොහොට්ටුව සමඟ එක්ව පොහොට්ටු ලකුණ යටතේ තරග නොවදින බවය. එසේත් නැත්නම් ශ්‍රීලනිපය පොහොට්ටු සන්ධානයෙන් ඉවත් වීමට අවසන් තීන්දුව ගෙන ඇති බවය.