ලංකාවේ දේශපාලනයයි, ජ්‍යොතිෂයයි සැම විටම ගමන් කරන්නේ එකටය. දේශපාලකයන් මොන දේ කළත් තමන්ගේ වෙලාව බලා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදායය. හොඳ වැඩක් කරද්දී පමණක් නොව යම් තීන්දුවක් ගැනීමේදී පවා අපේ රටේ දේශපාලකයන් නැකැත් බැලීම සිදු කළේ අද ඊයේ නොවේ.
ජ්‍යොතිෂයත් එක්ක යන දේශපාලනය
මේ නිසාම ඇතැම් ජනාධිපති නිල නිවෙස්වල දොරවල් පැය 24ම ජ්‍යොතිෂවේදීන් වෙනුවෙන් ඇරී තිබුණු කාලයක්ද තිබිණ. එසේම යම් ප්‍රධාන පෙළේ ග්‍රහ මාරුවක් සිදුවේ නම් ඊට අදාළව සිය දේශපාලන තීන්දු තීරණ ගැනීමද, තමන්ගේ දේශපාලන අනාගතය ජ්‍යොතිෂවේදීන් ලවා පරීක්ෂා කර ගැනීමද බොහෝ විට සිදුවන්නකි. ලබන අඟහරුවාදා සිදුවීමට නියමිත බව පැවසෙන ග්‍රහ ලෝකයේ ප්‍රබල මාරුවක් වන ගුරු මාරුවද මේ වන විට ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරවන සිදුවීමක් බව මේ වන විට සිදුවෙමින් පවතින යම් යම් කරුණු කාරණාවලින් දැකගන්නට තිබේ.
ශ්‍රීලනිපය ඇතුළේ සිට සටන පටන් ගනී
දේශපාලනය උඩු යටිකුරු කරවන පළමු වෙනස දැකගන්නට ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙනි. මීට පෙර අවස්ථා කිහිපයකදීම රාජ්‍ය රහස් තීරයෙන් අප පෙන්වා දුන්නේ ආණ්ඩුව සමඟ සම්බන්ධව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් බරපතළ දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා නිල අල්ලමින් සිටින බවකි. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වචනවලින් කියන්නේ නම් හදිසි උකුසු ප්‍රහාරයක් සඳහා මාන බලමින් සිටින බවකි. ආණ්ඩුව පත්වීමෙන් පසු ශ්‍රීලනිපයට පොහොට්ටුව පාර්ශ්වයෙන් සිදුවූ කෙණෙහිලිකම් සහ සිත් රිදවීම්, නොසලකා හැරීම් මේ සඳහා හේතුවී ඇති බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු. කෙසේ වෙතත් ගුරු මාරුවත් සමග ශ්‍රීලනිපයද පසුගිය සතියේ බරපතළ දේශපාලන අඩව්වකට අත්පොත් තැබීමට සැලසුම් කර ඇති ආකාරයක් දැකගන්නට තිබිණ.
මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගනී
මෙහි පළමු සිදුවීම වාර්තා වූයේ පසුගිය සතියේ පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. එහිදී මෛත්‍රිපාල පැහැදිලිවම කියා සිටියේ පක්ෂය වහ වහා ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කළ යුතු බවත්, ඒ සඳහා නියමිත කාලය එළඹ ඇති බවත්ය. එහි පළමු පියවර වශයෙන් මහනුවරට ගොස් මල්වතු අස්ගිරි පාර්ශ්වයන්ගේ මහ නාහිමිවරුන්ගෙන් ආශීර්වාද ලබා දළදා සමිඳුන් වැඳපුදා ගතයුතු බවද කියැවිණ. එමෙන්ම මෙම අවස්ථාවට ශ්‍රීලනිපයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙන්ම මධ්‍යම කාරක සභිකයන් සහභාගි විය යුතු බවට තීන්දුවක්ද ප්‍රකාශයට පත්විය. ඒ අනුව කරුණු පෙළගැසෙමින් තිබූ ආකාරයට අනුව බදාදා දිනයේදී ශ්‍රීලනිපය යම් විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත්කරනු ඇති බවක් දැකගන්නට තිබිණ.
මෛත්‍රී කොළඹදී දුන් ඉඟිය
මේ සම්බන්ධයෙන් වූ පළමු ඉඟිය මෛත්‍රි ඉකුත් සතියේ බදාදා (28දා) කොළඹ පැවැති රැස්වීමකදීද ලබාදුන්නේය. මෙහිදී මෛත්‍රි කියා සිටියේ රටේ සෑම පාර්ශ්වයකින්ම තමන්ට දුරකතන ඇමැතුම් ලැබෙන බවත්, එසේ කතා කරන සියලු දෙනා ශ්‍රීලනිපය නැවත නැඟිට්ටුවන්නට කටයුතු නොකරන්නේ මන්දැයි තමන්ගෙන් විමසා සිටින බවත් ප්‍රකාශ කළේය. ඒ අනුව තමන් ශ්‍රීලනිප යෝධයා නැඟිට්ටුවීමේ වැඩපිළිවෙළ දියත් කරන බවද මෛත්‍රි එහිදී කියා සිටියේය.
එහි දෙවැනි පියවර තැබුණේ මහනුවරදීය. පසුගිය දිනවලදී ශ්‍රීලනිපයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිපදෙනකු ආණ්ඩුවත් සමඟ සමීපව කටයුතු කළත් ඒ සියලු හිතවත්කම් පසෙක තබා මෛත්‍රිගේ උපදෙස් පරිදි එදින මහනුවරට පැමිණ සිටීම විශේෂ සිදුවීමක් විය. මෙහිදී මුලින්ම දළදා සමිඳුන් වැඳපුදා ගත් මෛත්‍රි ඇතුළු කණ්ඩායම මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් මුණගැසී තමන් ඉදිරියේ සිදුකිරීමට යන දේශපාලන කටයුතු පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමට පියවර ගත්හ. එහිදී අස්ගිරි මහ නාහිමියන් හමුවී මෛත්‍රි කරුණු කිහිපයක්ම අනාවරණය කළේය. ඉන් පළමුවැන්න වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ශ්‍රීලනිපයේ සම්පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවත්, පක්ෂයක් ලෙස ඒ හරහා ශ්‍රීලනිපය ඉදිරියට යෑමට කටයුතු කරන බවත්ය.
ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවනවා
ඉන් අනතුරුව මහනුවරදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට මෛත්‍රි ඇතුළු කණ්ඩායම කටයුතු කළහ. එහිදී මෛත්‍රි පැහැදිලිවම කියා සිටියේ ශ්‍රීලනිපය නැවත වතාවක් ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කොට ඇති බවත්, අනාගතයේදී ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවත්ය.
“පාර්ලිමේන්තු මැතිවරණයේදී නොයෙකුත් අභියෝග මැද විවේචන විඳගනිමින් අපේ පක්ෂයේ අය ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වුණා. ඒ 13 දෙනා ලේසියෙන් පාර්ලිමේන්තු ගියේ නෑ. අපේ බලාපොරොත්තුව නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන එක. ඒ නිසා ශ්‍රීලනිපය වටා එකතු වෙන්න කියල අපි අපේ ජනතාවට ආරාධනා කරනවා…” යනුවෙන් මෛත්‍රිපාල කියා සිටියේය.
මාතලේදී විශේෂ ප්‍රකාශයක්
මහනුවර මෙම රැස්වීමෙන් පසු මෛත්‍රි ඇතුළු සියලු දෙනාම ගියේ මාතලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ හෝටලයකටය. ඒ, පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත්, මන්ත්‍රිවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමටත්ය.
මෙහිදී මෛත්‍රිපාල විසින් ‘ඓතිහාසික මාතලේ ප්‍රකාශය’ නමින් විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කරනු ලැබීය.
එම ප‍්‍රකාශයේ මෙසේද සඳහන් වෙයි.
ශ‍්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ මැදින් අව දියවක හා තියවක නම් තිථිය ලත් බුධ ගුරු දෙදින හෙවත්, ව්‍යවහාර රාජ්‍ය වර්ෂයෙන් 2021ක් වූ මාර්තු මස 30 හා 31 දෙදින, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකකාරකාදීන් හා මධ්‍යම කාරක සභාව විසින් ශී‍්‍ර සෙංවඩ ශෛලාභිධාන පුරවරයේදී උතුම් දළදා වහන්සේ වැඳපුදාගෙන, ජාතික වීරවරයන් සඳහා පුෂ්පෝපහාර පවත්වා, මහා නායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, උතුම් ත‍්‍රිපිටක ධර්මය ග‍්‍රන්ථාරූඪ කළා වූද, 1848 තරම් මෑතකදී අධිරාජ්‍යවාදයට එරෙහිව තීරණාත්මක අරගලයක් වූ මහතලා හටනෙහි තීරණාත්මක සන්ධිස්ථානයක් වූද, නාලන්දා ගෙඩිගේ ස්ථාපනයෙන් ලංකාද්වීපයේ මධ්‍ය ප‍්‍රදේශය ලෙස හඳුනා ගැනුණා වූද, ඓතිහාසික මාතලේ පුරවරයේදී පවත්වන්නට යෙදුන උපාය මාර්ගික සැලසුම් සකස් කිරීමේ වැඩමුළුව අවසන ඉදිරිපත් කෙරෙන ඓතිහාසික මාතලේ ප‍්‍රකාශයයි.
එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ දර්ශනය මත පදනම් වෙමින්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, චන්‍ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ආදි නායක නායිකාවන්ගෙන් පෝෂණය වෙමින්, සෙසු පුරෝගාමී පාක්‍ෂිකයන්ගේ ලෙයින්, කඳුළින්, දහඩියෙන් ගොඩනැඟුණු අපේ පක්‍ෂය, වර්ෂ 1951න් පසුව ශ‍්‍රී ලංකාවේ දේශපාලන තන්ත‍්‍රයට කර ඇති දැවැන්ත දායකත්වය ගැඹුරින් සමාලෝචනය කරමින් අපේ ශක්තීන්, දුර්වලතා, අවස්ථා හා තර්ජන හඳුනාගනිමින් නිවැරදි, දුරදක්නා, දේශපේ‍්‍රමී ක‍්‍රමෝපායික දිශානතියක් ඔස්සේ පක්‍ෂය ශීඝ‍්‍ර‍්‍ර හා කාර්යක්‍ෂම සංවර්ධනයකට ලක් කළ යුතු බව තීරණය කළෙමු. වත්මන් රජයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවකු වශයෙන් අපි සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති මාලාව සඳහා සහයෝගය ලබාදෙන අතරතුර සමස්ත ශ‍්‍රී ලාංකීය ජාතිය 21 වන ශතවර්ෂයේ නවමු ආර්ථික දේශපාලනික හා සාමාජීය අභියෝග ජය ගැනීම සඳහා පහත තේමා ඔස්සේ මෙහෙයවන්නෙමු.
පක්‍ෂයේ ඓතිහාසික භූමිකාව සපථ කරමින් සමස්ත ශ‍්‍රී ලාංකීය ජාතියේත්, අප මාතෘ භූමියේත් අනාගතය සුරක්‍ෂිත හා සෞභාග්‍යසම්පන්න කරනු පිණිස පක්‍ෂයේ මතවාදී පදනම ශක්තිමත් කරමින්ද, පක්‍ෂයේ සම්පත් පැතිකඩ ප‍්‍රමාණාත්මකව හා ගුණාත්මකව සංවර්ධනය කරමින්ද, දියුණු හරයාත්මක හා සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ශ‍්‍රී ලංකාවේ ස්ථාපනය කරමින්ද, සියලූ ජාතීන් හා වෙනත් සංස්කෘතික අනන්‍යතාවන් වෙනුවෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින්ද, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය බලය අනාගතයේදී ලබා ගැනීමට දැඩි කැපවීමෙන් නොපසුබස්නා උත්සාහයෙන්, අධිෂ්ඨානශීලීවත් කටයුතු කරන්නෙමු. යනුවෙන් එහි සදහන් විය.
කෙසේවෙතත් නුවර රැස්වීමට බොහෝ දෙනා සහභාගිව සිටියද මාතලේ පැවැති මෙම සාකච්ඡාවට ප්‍රදේශයේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පවා සහභාගිව නොසිටි බවක් දැකගත හැකි විය.
ආණ්ඩුව පළාත් සභා ජන්දෙට සූදානම් වෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පැවැති ඡන්ද විමසීමෙන් ලංකාව පරාජයට පත්වූ බවත්, ඉන්දියාව ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැළකී සිටි බවත් මේ වන විට ප්‍රසිද්ධ කාරණයකි. මෙහිදී ඉන්දියාව ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටිමින් මානව හිමිකම් කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බවත්, හැකි ඉක්මණින් පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවත්ය. ඉන්දියාවේ නිල ස්ථාවරය මේ ආකාරයට ප්‍රකාශ වෙද්දී දැනට මාසයක පමණ කාලයක සිට ආණ්ඩුවද සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට වූ ස්ථාවරයේය. ඒ අනුව ජනාධිපතිවරයා පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ සංසදය කැඳවමින් පළාත් සභා මැතිවරණයට වහාම සූදානම් වන ලෙස ඔවුන්ට දැනුම්දීමක්ද කර තිබිණ.
ජනක යෝජනාව කැබිනට්ටුවට දායි
මේ අතර ජනාධිපතිවරයා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට දැනුම්දී සිටියේ දැනට අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වහාම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙසටය. ඒ අනුව ජනකද පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ අතර, ඉන් විකල්ප යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබිණ. ඉන් එක් යෝජනාවක් වූයේ කොට්ඨාස ක්‍රමය යටතේ සියයට හැත්තෑවක මන්ත්‍රිවරුන් පිරිසකුත්, සමානුපාතික ක්‍රමය යටතේ සියයට තිහක මන්ත්‍රිවරුන් පිරිසකුත් තෝරාගත යුතු බවකි. කැබිනට් මණ්ඩලයේ අති බහතරයකගේ මතය වී තිබුණේද පැරැණි ක්‍රමයට වඩා අලුත් ක්‍රමයකට මැතිවරණය පැවැත්විය යුතු බවකි.
විමල් පිල ඇවිලෙයි
මිශ්‍ර ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේදී එක් මැතිවරණ කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු බැගින් ඉදිරිපත් කිරීමටද මෙහිදී යෝජනාවක් ඇතුළත් කොට තිබිණ. කෙසේ වෙතත් එම යෝජනාවට ඇමැතිවරුන් රැසක්ම විරෝධය පළ කළ ආකාරය දැකගත හැකි විය. එහි මූලිකත්වය ගත්තේ වෙන කවුරුවත් නොව විමල් වීරවංශය. විමල්ගේ විරෝධය පළවීමත් සමඟ උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ද එම යෝජනාවට විරෝධය පළ කරමින් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
ස්වාමීන් වහන්සේලා රැස්වෙති
ඒ අනුව සංවාදය තරමක් උණුසුම් ස්වභාවයක් ගනිද්දී වහාම ඊට මැදිහත් වූ ජනාධිපතිවරයා එම යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීන්දුව වෙනම පක්ෂ නායක රැස්වීමක් කැඳවා ගන්නා ලෙස දැනුම්දී සිටියේය. එතෙක් එම මාතෘකාව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී දැනුම්දී සිටියේය.
කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලයේ පළාත් සභා මාතෘකාව සාකච්ඡා වී පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් සැපයූ ස්වාමීන් වහන්සේලා පිරිසක් මුණගැසී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්හ. නාරාහේන්පිට අභයාරාමයේ පැවැති එම සාකච්ඡාවට සහභාගි වූ සියලුම භික්ෂුන් වහන්සේලා දැඩිව පෙන්වා දුන්නේ මේ මොහොතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම පිළිගත නොහැකි ක්‍රියාවක් බවත්, ආණ්ඩුව ජනතාව හමුවේ පොරොන්දු වූයේ නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම බවත්ය. එම නිසා ඉන්දියාවේ බලපෑම්වලට යටත් වී පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැඩි ලෙස හෙලාදැකිය යුතු බව මෙහිදී සියලුම ස්වාමීන් වහන්සේලා අවධාරණය කර සිටියහ. ඒ අනුව ජනාධිපතිවරයාට මෙම විරෝධය ලිපියක් මගින් දැනුම්දිය යුතු බවද උන්වහන්සේලා තීරණය කළහ. ඒ අනුව ස්වාමීන් වහන්සේලා දසදෙනකුගේ අස්සන සහිතව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය මෙසේය.
ජනපතිට යවපු ලියුම මෙන්න
අතිගරු ජනාධිපතිතුමා සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත.
පළාත්සභා මැතිවරණය කඩිනම් කිරීමේ දේශපාලන වරද පිළිබඳව
පසුගිය දිනවල ඔබතුමා විසින් පළාත් සභා මැතිවරණය වහා පැවැත්විය යුතු බව පැවසීම පිළිබඳව අපි සැම විමතියට පත්වූයෙමු. නමුත් අප එම ප්‍රකාශය විග්‍රහ කරනු ලැබුවේ ඒ වන විට පැවැත්වීමට නියමිතව තිබූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම ඉලක්ක කර ගනිමින් කරනු ලැබූ උපක්‍රමික දේශපාලන ප්‍රකාශයක් ලෙසය. එසේ වුවත් එම ප්‍රකාශය මගින් ඉන්දියාවේ තීරණය වෙනස් නොවූ බව දැන් පැහැදිලිය. ඊට අමතරව ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහායට ඉදිරිපත් නොවීම පිළිබඳව අපගේ අප්‍රසාදය ඉන්දියානු රජයට ප්‍රකාශ කළ යුතු බව අපගේ පිළිගැනීමයි.
ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටි අතර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට බලපෑම් සහගත ප්‍රකාශ නිකුත් කිරීම ද අපි දැඩි ලෙස හෙළා දකිමු. එය ඉතා පැහැදිලිවම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන තීන්දු තීරණවලට ඇඟිලි ගැසීමක් මිස අන් යමක් නොවේ.
ඔබතුමා විසින් රටට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ලේඛනය මගින් මහජනයාට ලබා දුන් ප්‍රධාන පොරොන්දුව වූ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම නිසා මහජනයා තුළ අනාගතය පිළිබඳව ඉමහත් බලාපොරොත්තු ජනිත විය. ඊට අමතරව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරනු ලැබූ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව ඔබතුමා විසින් තව දුරටත් තහවුරු කරන ලදි. ඒ අනුව මහජන අපේක්ෂා අනුව සහ ඔබතුමා විසින් මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දුව අනුව නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාවය දිය යුතු බව ඔබතුමා පිළිගන්නවා ඇත.
ඒ අනුව පහත සඳහන් හේතු මත නව ව්‍යවස්ථාව සම්මත කරන තෙක් පළාත්සභා මැතිවරණය කල් දමන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
- මහජන අපේක්ෂා අනුව නව ව්‍යවස්ථාව මගින් පළාත් සභා ව්‍යුහය තුළ සහ බලතල පිළිබඳව වෙනස්කම් සිදුවීම සඳහා ඉතා ඉහළ සම්භාවිතාවක් ඇත. එම නිසා නව පළාත්සභා පිහිටුවිය යුත්තේ එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සහ ඊට අදාළ නව නීතිමය රාමුවකට අනුවය. එවැනි තත්වයක් තිබියදී පැරණි පළාත්සභා ක්‍රමය නැවත ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක.
- නව ව්‍යවස්ථාව පිළිබඳව සැලකිල්ලක් නොදක්වා එම මහජන අපේක්ෂාවට පිටුපාමින් පළාත්සභා මැතිවරණය පැවැත්වුවද මහජනතාවගේ දෙවන අපේක්ෂාව වන මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා නව පළාත් සභා පනතක් අවශ්‍ය වේ. එම නව පනත කලබලකාරී ලෙස සම්මත කිරීමට උත්සාහ කළහොත් සීමා නීර්ණයන් පිළිබඳ බරපතල ගැටලු ඇතිවිය හැකි අතර ජාතිවාදී සහ ආගම්වාදී ලෙස කොට්ඨාස බෙදීමේ අනතුරක්ද මතුවේ. එවැනි තත්වයක් තුළ පැරණි ක්‍රමය යටතේ පැරණි පනත සංශෝධනය කොට මැතිවරණය පැවැත්වීමද මහජන අපේක්ෂාවලට පිටුපෑමකි. එම නිසා ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් පසුව බිහිවන පළාත්සභා හෝ වෙනත් සභාවක ව්‍යුහය සහ බලතල අනුව නව පනතක් සකස් කිරීම වඩා තර්කානුකූල වේ.
- කෝවිඩ් වසංගත තත්වය තවදුරටත් පවතින තත්වයක් යටතේ සහ භයානක තුන්වන රැල්ලක් මතු වීමේ අවදානමක් තිබියදී අත්‍යවශ්‍ය නොවන මැතිවරණයක් දේශපාලන උවමනාවක් මත පැවැත්වීම මගින් පවතින ආණ්ඩුව මහජන අප්‍රසාදයට පත්විය හැක.
- පළාත්සභා මැතිවරණය කල් දැමීම සිදු වූයේ පසුගිය ආණ්ඩුව සමයේදීය. එම නිසා මැතිවරණ කල් දැමීම පිළිබඳව වර්තමාන ආණ්ඩුවට චෝදනා කිරීමට හැකියාවක් නැත. එවැනි තත්වයක් තුළ මැතිවරණ කල් දැමීම නැමති චෝදනාවට බිය වී කලබලකාරී ලෙස මැතිවරණය පැවැත්වීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක.
- පසුගිය වසර තුනක කාලය තුළ පළාත්සභා නොමැතිවීම පිළිබඳව කිසිදු මහජන උද්ඝෝෂණයක් පැන නැඟුනේ නැත. ඒ නිසා එම මැතිවරණය නව ව්‍යවස්ථාව සම්මත කරනතෙක් කල් දැමීම පිළිබඳව කිසිදු මහජන විරෝධයක් පැන නැඟීමට ඉඩක් නැත.
- රට ආර්ථික අර්බුදයක ගිලී පවතින තත්වයක් තුළ ආර්ථිකය උද්දීපනය කිරීම සහ මහජනයාට ආර්ථික ඉඩ ප්‍රස්ථා වර්ධනය කිරීම සඳහා රාජ්‍ය මුදල් වැඩි වශයෙන් යෙදවීම වැදගත් වේ. එවැනි අවස්ථාවක පළාත්සභා මැතිවරණය පැවැත්වීම සඳහා වැය කළ යුතු රු. කෝටි 500ක පමණ මුදල ඒ සඳහා වන හදිසි රාජ්‍ය පිරිවැය දැරීම සඳහා යොදා ගැනීම වඩා යෝග්‍ය වේ.
මෙම කරුණු සියල්ල පිළිබඳව සහ පොදු මහජන අපේක්ෂා සැලකිල්ලට ගෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරන තෙක් පළාත්සභා මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස නැවත වතාවක් ඔබතුමා වෙත අවධාරණය කිරීමට කැමැත්තෙමු.
මේ වගට,
පුජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි
පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමි
පූජ්‍ය කිරම විමලජෝති හිමි
මහාචාර්ය පූජ්‍ය ඉත්තැදෙමලියේ ඉන්දසාර හිමි
මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි
පුජ්‍ය හෑගොඩ විපස්සි හිමි
පූජ්‍ය වැලිමිටියාවේ ඥානරතන හිමි
ආචාර්ය කපුගොල්ලෑව ආනන්ද කිත්ති හිමි
විමල්ලාගේ 11 කණ්ඩායමත් රහස් හමුවක
මේ ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ආණ්ඩුව ඇතුළේ විරෝධයක් මතුවෙමන් පැවතියදී පසුගිය බ්‍රහස්පතින්දා සවස්වරුවේ එහි තවත් ඉදිරි පියවරක් තිරය පිටුපස ක්‍රියාත්මක විය. ඒ ආණ්ඩුවේ පොහොට්ටුව හැර අනෙකුත් සියලු පක්ෂ නැවත වතාවක් මුණගැසී සාකච්ඡා පැවැත්වීමය. පළමු වතාවට මේ ආකාරයේ රැස්වීමක් සංවිධානය කළේ වෙන කවුරුවත් නොව අමාත්‍ය විමල් වීරවංශය. ඒ, තමන්ගේ නිල නිවසේදීය. එම සාකච්ඡාව විමල් කැඳවූයේ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට විරෝධය පළ කිරීම සඳහාය. ඊට ආණ්ඩුව නියෝජනය කරන පොහොට්ටුව හැරුණු විට පක්ෂ 11ක නියෝජිතයෝ සහභාගිව සිටියහ. එහිදී නැඟෙනහිර ඉන්දියාවට ලබාදීම වැළැක්වීමට මෙම පිරිසට හැකියාව ලැබී තිබිණ.
ඉන් අනතුරුවත් අවස්ථා කිහිපයකදීම මෙම පිරිස මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණ. එහි අවසන් සාකච්ඡාව පැවතියේ ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේදීය. මෙම සාකච්ඡාවට විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ඩියු ගුණසේකර, තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග, අසංග නවරත්න, ටිරාන් අලස්, එම්.එල්.ඒ.එම්.අතාවුල්ලා සහ අතුරලියේ රතන හිමි සහභාගිව සිටියහ.
පොහොට්ටුව නැතිව වෙනම මැයි රැළියක් තියන්න තීන්දුවක්
මෙහිදී මාතෘකා කිහිපයක්ම පිරිස සාකච්ඡාවට ලක්කළහ. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ වර්තමාන දේශපාලන තත්ත්වයය. එමෙන්ම ජීවන වියදම බරපතළ ලෙස ඉහළ යෑම, ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති පළාත් සභා මැතිවරණය සහ මැයි දිනය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී පිරිස දීර්ඝව සාකච්ඡා කළහ. එහිදී මැයි රැළිය ආණ්ඩුවෙන් වෙන්ව වෙනම පැවැත්වීම සම්බන්ධයෙන්ද සාකච්ජාවක් පිරිස අතර ඇතිවිය. ඊට ශ්‍රීලිනිපයද එකගතාව පළ කිරීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව ගුරු මාරුවත් සමග තවත් දේශපාලන පෙරළියකට මුල පුරමින් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 11ක මෙවර මැයි දිනයේදී ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම මැයි රැළියක් පැවැත්වීමට නියමිතය.
සජිත්ලාත් මැයි රැළියට බලමුළු තර කරයි
පළාත් සභා මැතිවරණය මුල්කරගෙන සියලුම පක්ෂ තම බලමුළු තර කිරීමට පියවර ගැනීමත් සමඟ දේශපාලනය තරමක් උණුසුම් වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම මේ සියලුම පක්ෂ පළාත් සභා මැතිවරණය සඳහා දේශපාලන ජවය ගැනීමට සැලැසුම් කර ඇත්තේ මෙවර පැවැත්වීමට නියමිත මැයි දින රැස්වීම් හරහාය. ඉකුත් වසරේ කොරෝනා ව්‍යාප්ත වීම හේතුවෙන් කිසිදු මැයි දින පෙළපාළියක් නොපැවැත්වුණද මෙවර යම් යම් සෞඛ්‍ය සීමාවන්ට යටත්ව මැයි දින රැස්වීම් පැවැත්වීමට අවසර ලබාදීමටද ආණ්ඩුවද තීරණය කර ඇති ආකාරයක් දැකගන්නට ඇත. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගයද මෙවර සූදානම් වන්නේ සිය මැයි දින රැලිය ඉතාමත් සංවිධානාත්මකව අති උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්වීමටය. පසුගිය සතියේදී අවස්ථා කිහිපයකදීම පක්ෂයේ නායකකාරකාදීන් එක්රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර, එහිදී යෝජනා කිහිපයක්ම ඉදිරිපත් වී ඇති ආකාරයක්ද දැනගන්නට ඇත. විශේෂයෙන්ම පක්ෂයේ පළමු මැයි දින රැලිය වීම හේතුකොටගෙන එය රටට දැනෙන ආකාරයට සිදුකළ යුතු බව සියල්ලන්ගේම අදහස වී තිබිණ. ඒ අනුව සජිත්ද කියා සිටියේ සියලුම පාර්ශ්ව එකතු කර ගනිමින් මෙවර මැයි දින උත්සවය ඉහළින් සංවිධාන කළ යුතු යැයි කියාය.
විමුක්ති පුත් විජය තාත්තා ගැන තැබූ පළමු සටහන
සිංහල සිනමාවේ සිහින කුමරා ලෙස සැලකෙන විජය කුමාරතුංගගේ පුත් විමුක්ති කුමරතුංග ලන්ඩනයේ ජීවත් වුවද නිරතුරුවම ලංකාවේ පුවත් මවන්නෙක් බවට පත්ව සිටින්නෙකි. පසුගිය කාලයේදී විමුක්ති ගැන කිසිදු සඳහන් නොවුවද හදිසියේම විමුක්ති ගැන යළිත් වතාවක් මෙරට මාධ්‍යවල මාතෘකාවක් බවට පත්වූයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා විසින් අන්තර්ජාල සාකච්ඡාවකදී මේ රටේ අනෙකුත් තරුණයන් දේශපාලනය වෙනස් කිරීමට සූදානම් වූ විටකදී තමන්ගේ දරුවන්ද ඊට එකතු වනු ඇති බවට ප්‍රකාශ කිරීමත් සමගය. මේ සමගම බොහෝ දෙනා කියන්නට වූයේ විමුක්තිගේ දේශපාලන ආගමනය පිළිබඳව චන්ද්‍රිකා මේ හරහා යම් ඉඟියක් සිදුකර ඇතැයි කියාය.
කෙසේ වෙතත් විමුක්ති පිළිබඳව මෙසේ යළිත් වතාවක් රටේ කතාබහක් ඇති වෙද්දී පළමු වරට විමුක්ති සිය ෆේස්බුක් පිටුවේ සිය පියා පිළිබඳව සටහනක් තබා තිබිණ. කිසිදු වචනයක් සටහන් නොකරමින් එහිදී විමුක්ති තබා තිබුණේ සිය පියා ඝාතනය වූ දිනට පසු දින දිනමිණ එම ශෝකජනක පුවත වාර්තා කරමින් ඉදිරිපත් කොට තිබූ මුල් පිටුවේ පිටපතකි. පහතින් දැක්වෙන්නේ සිය පියා වූ විජය සම්බන්ධයෙන් විමුක්ති පළකළ එම ඡායාරූපයය.
කපිල පුංචිමාන්නගේ