තුනෙන් දෙකක බලයක් සහිතව පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ පළමු විශ්වාසභංගය විවාදයට ගැනීම සඳුදා (19) අඟහරුවාදා (20) යන දිනවලට යෙදී තිබේ. එහිදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ අඟහරුවාදා සවස් වරුවේය. මේ නිසා ආණ්ඩු පක්ෂයත්, විශ්වාසභංගය ඉදිරිපත් කළ සමගි ජන බලවේගයත් මේ දිනවල සිටින්නේ විශ්වාසභංගයේ වාසිය තම පාර්ශ්වයන් වෙත ලබාගැනීම සඳහා අවශ්‍ය තුරුම්පු එළියට අදිමින්ය.
රාජපක්ෂ පවුල ඇතුළේ රහස් සාකච්ජාවක්
ඒ අනුව ආණ්ඩුව පක්ෂය ඇතුළේත් විපක්ෂය ඇතුළේත් මේ දිනවල තැන් තැන්වල විවිධ සාකච්ඡා සම්මන්ත්‍රණ, කුමන්ත්‍රණ දියත් වෙමින් පවතින ආකාරයක් දැකගන්නට ඇත. පසුගිය සතියේ මෙම විශ්වාසභංගය මුල් කරගෙනම ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් වූ ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාත් පමණක් සහභාගි වූ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත්තේ විශ්වාසභංගයේ දී ආණ්ඩු පක්ෂය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවය.
සියලු පක්ෂ නායකයන්ට ජනපතිගෙන් නියෝගයක්
විශේෂයෙන්ම ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලිවම සඳහන් කොට සිටියේ ආණ්ඩු පක්ෂය ඇතුළේ ගැටීමක් හෝ බෙදීමක් සිදුවිය හැකි කිසිවක් මේ විශ්වාසභංගය හරහා සිදුවිය යුතු නැති බවකි. එමෙන්ම විපක්ෂයට අනවශ්‍ය ආයුධ නොදිය යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කිරීමට පියවර ගත්තේය. මීට අමතරව ජනාධිපතිවරයා මහින්දටත්, බැසිල්ටත් කියා සිටියේ තමන් සති අන්තයේ ආණ්ඩු පක්ෂයේ සියලු පක්ෂ නායකයන් හමුවීට සැලසුම කර ඇතැයි කියාය. එම සාකච්ඡාවලදී ආණ්ඩු පක්ෂයේ සියලු පක් නායකයන් මෙම විශ්වාසභංගයට එරෙහිව ඡන්දය භාවිත කරන ලෙස දැනුම්දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සිය අදහස් දක්වමින් කියා සිටියේය.
විමල්-වාසු-උදය හමුවක්
ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මේ ආකාරයට විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වද්දී ඊට මුහුණ දී සිටින ගම්මන්පිල අමාත්‍යවරයාද පසුගිය සතියේ දී සාකච්ඡා වට කිහිපයකටම සහභාගි විය. ඒ සඳහා සහභාගි වී සිටියේ ආණ්ඩුව ඇතුළේ කැරැලිකාර කණ්ඩායම් වශයෙන් ප්‍රකටව සිටින විමල්, වාසු ඇතුළු අනෙකුත් සුළු පක්ෂ නියෝජිතයන්ය. මෙම සාකච්ඡාවලදී ද සියලු දෙනාම පෙන්වා දුන්නේ මොනයම් තත්ත්වයක් මතු වුවද ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට පියවර ගත යුතු බවත්, විශ්වාසභංගය හරහා විපක්ෂයට වාසි ලබාගැනීමට ඉඩ නොදිය යුතු බවත්ය. ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානීන් සමග ඉදිරි දින කිහිපය ඇතුළත පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමටද තීන්දු විය.
ගම්මන්පිලගෙන් යළි ප්‍රහාරයක්
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය සතියේ ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමටද පියවර ගත්තේය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ තමන්ට ප්‍රහාර එල්ල කරන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට නැවත වතාවක් ගම්මන්පිල කටයුතු කිරීමය. එහිදී ගම්මන්පිල කියා සිටියේ බල්ලන් බිරුවාට කඳු පහත් නොවන බවත්, තමාගේ ගමන තමන් ඉදිරියට යන බවත්ය. එමෙන්ම තමන් කිසිදු දිනෙක බිය වී නැති බවත්, ඕනෑනම් තම මවගෙන් ඒ පිළිබඳ විමසන ලෙසත් ගම්මන්පිල කියා සිටියේය.
මැතිඇමැතිවරුන් කර අරින ලකුණු
මේ ආකාරයට ආණ්ඩුව පැත්තෙන් විශ්වාසභංගය මුල් කරගෙන විවිධ සාකච්ඡා ගියත් රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකුත්, පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුත් දැනටමත් තම තමන්ගේ ස්ථාවරය සිය හිතවතුන් සමග සඳහන් කර ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී ඔවුන් යම් පණිවුඩයක් දෙමින් සඳහන් කොට ඇත්තේ ඡන්ද විමසීම පැවැත්වෙන අඟහරුවාදා දිනයේදී තමන් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැළකී සිටිනවා යැයි කියාය. ඒ අනුව මේ වන විට පෙනෙන්නට ඇති කාරණය වන්නේ තුනෙන් දෙකක බහුතරයක් ආණ්ඩුව සතුව පැවැතියද විශ්වාසභංගය තුනෙන් දෙකක බහුතරයකින් ජයගැනීමට ආණ්ඩුවට නොහැකි වනු ඇතැයි කියාය.
විපක්ෂය එක්සත් වෙන්න යයි
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ පාර්ශ්වයන් මේ ආකාරයට කටයුතු කරද්දී විපක්ෂයද විශ්වාසභංගය මුල් කරගෙන විපක්ෂයේ සියලු පක්ෂ ඒකරාශි කරගන්නා වැඩපිළිවෙළකට යොමුව සිටියේය. ඒ සඳහා වැඩි බරක් ගෙන කටයුතු කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්න් කිරිඇල්ලය. ඒ අනුව කිරිඇල්ල ජවිපෙත්, දෙමළ ජාතික සන්ධානයත් සම්බන්ධ කරගනිමින් පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් යම් පණිවුඩ හුවමාරුවක් සිදුකරගැනීමට පියවර ගත්තේය. එය සාර්ථක බව සිකුරාදා වන විට දැකගන්නට ලැබුණේ දෙමළ ජාතික සන්ධානය පැත්තෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබීමත් සමගය. සිකුරාදා වන විටත් ජවිපෙන් ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ මුත් සති අන්තයේදී ජවිපෙත් විශ්වාසභංගය සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය ලබාදෙනු ඇති බව සමගි ජනබලවේගයේ විශ්වාසය වී ඇත.
බැසිල් වැඩ පටන් අරන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඉකුත් සෙනසුරාදා අරලියගහ මන්දිරයට කැඳවා තිබිණි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම කැඳවීම කර තිබුණු අතර එහිදී සංවර්ධන ව්‍යාපෘති හා දේශපාලන කරුණු කාරණා ගණනාවක්ම සාකච්ඡා විය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මුදල් අමාත්‍යාංශය භාරගැනීමෙන් පසු බැසිල් අවම තරමින් කැබිනට් මණ්ඩල රැස්වීමට හෝ සහභාගි නොවී ඊට පෙරාතුව පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් මුණගැසීමය. ඒ සඳහා ද බලපෑ විශේෂ හේතුවක් තිබිණි. ඒ, වෙන කිසිවක් නොව පක්ෂයේ කොඳු නාරටිය වන්නේ මෙම පළාත් සභා මන්ත්‍රීවරුන් බව බැසිල් වටහාගෙන තිබීමය.
මුදල් අමාත්‍ය ධූරයේ වගකීම් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් පක්ෂ කටයුතු ඉදිරියට ගෙන යාමටද එක සේ මූලිකත්වය දී කටයුතු කරන බැසිල් මෙහිදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ඉදිරිපත් කළ අදහස්වලට සාවධානව ඇහුම්කන් දුන්නේය.
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දීමටත්, මුදල් අමාත්‍ය ධුරය බාර ගැනීමටත් ඔබතුමා එකඟ වීම ගැන අපි සතුටුයි. 2005 ඉඳන් ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කළේ ඔබතුමා. රට අද තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න ඔබතුමාට පුළුවන් කියලා අපි හැමදෙනාම විශ්වාස කරනවා” පැමිණ සිටි බොහෝ දෙනා ඊට පක්ෂව අදහස් දැක්වීය.
ජන්දවලට ලෑස්ති වෙන්න! පළාත් සභා එනවා…
එහිදී බැසිල් ද මෙම මන්ත්‍රීවරුන් හමුවේ ඉතා අපූරු කතාවක් කියා සිටියේය. එමෙන්ම ඊළඟට පැවැත්වෙන මැතිවරණය පිළිබඳවද මෙහිදී බැසිල් පළමු වතාවට හිටපු මන්ත්‍රීවරුන් හමුවේ නිශ්චිත ඉඟියක් ලබාදීමට ද කටයුතු කළේය.
“අපිට පුළුවන් වේවි ලබන අවුරුද්දේ මුලදී පළාත් සභා මැතිවරණය තියන්න. අපේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ තියන පළමු ඡන්දය මේක. මේක මේ තරම් ප්‍රමාද වෙන්න එක හේතුවක් වුණේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නායකයා මම කියලා සමහරු මතයක් අරන් ගිය එකයි. මේ මන්ත්‍රීවරුන්ට ආර්ථික දුෂ්කරතා තියෙන බව මම දන්නවා. හැබැයි මුදල් පස්සේ ගිහින් මන්ත්‍රී ධුරයේ ගෞරවය නැතිකරගන්න එපා කියලා මම ඔබතුමාලගෙන් ඉල්ලනවා. ඔබතුමාලා තමයි අපේ පක්ෂයේ බෆර් එක. ඊළඟ ඡන්දයට ඉස්සෙල්ලාම මුහුණ දෙන්නේ ඔබතුමන්ලා. ඒ හින්දා මම ඔබතුමන්ලට උදව් කරන්න සූදානම්. ඒ වගේම අපේ ඇමැතිවරුන්ගෙනුත් ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලාට උදව් කරන්න කියලා…‘ යැයි බැසිල් හිටපු මන්ත්‍රීවරුන්ට කියා සිටියේය.
සේවක සේවිකාවන් හමුවෙයි
සාමාන්‍යයෙන් ඕනෑම වැඩකට පෙර සූදානමක් ඇතිව පැමිණීම බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රමයයි. මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසුවද ඒ ආකාරයටම ක්‍රියාත්මක වුණු බැසිල් රාජපක්ෂ මහතා තමා යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් සහ සේවක සේවිකාවන් හමුවීමට මූලිකත්වය දුන්නේය. ගෙවුණු සඳුදා සහ අඟහරුවාදා දින දෙකම වෙන් වුණේ ඒ සඳහාය. ආයතන ප්‍රධානින් හා සේවක සේවිකාවන් හමු වී ඒ ඒ ආයතනවල වත්මන් තත්වය හා පවතින තත්ත්වයෙන් ඉදිරියට ඒමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
තානාපතිවරු පෝලිමේ ඇවිත්
මේ අතර නව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රජපක්ෂ මහතා පත් වූ දින සිට මෙරට පිහිටි තානාපති කාර්යාලවලින් මුදල් අමාත්‍යවරයා හමුවීමට කැමැත්ත ප්‍රකාශ කළේය. ඒ අනුව ගෙවුණු බදාදා දිනය වෙන්කර තිබුණේ තානාපතිවරු හමුවීම සඳහාය. උදේ 10 සිට එදින හවස 5.00 දක්වා නොනවත්වා පැවැති මෙම ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා රටවල් පහක තානාපතිවරු සහ රටවල් දෙකක මහ කොමසාරිස්වරු පැමිණියහ.
මුදල් අමාත්‍යවරයා සුපුරුදු පරිදි මෙම හමුවීම් සඳහා යොදාගෙන තිබුණු වේලාවට වඩා පැයකට පමණ පෙර අමාත්‍යාංශයට පැමිණියේය. එය බැසිල් රාජපක්ෂ මහතාට අනන්‍ය වූ ලක්ෂණයකි.
මෙම ද්විපාර්ශ්වීය සාකච්ඡා දෙරට අතර සම්බන්ධතාවය වැඩිදියුණු කරන යෝජනාවලින් ඔබ්බට යාම විශේෂත්වයකි. නව මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් බැසිල්ට රටේ ආර්ථිකය ගොඩනැගීමට දිය හැකි උපරිම සහාය ලබාදෙන බව බොහෝ තානාපතිවරු ප්‍රකාශ කළහ. දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් එහාට යමින් රටේ සාමාන්‍ය තොරතුරු පවා සාකච්ඡා කිරීම විශේෂත්වයක් විය.
ඇතැම් තානාපතිවරු සමුගැනීමට සූදානම් වෙමින් “හිතුවට වඩා වෙලා ගියා” යැයි කීහ.
හරිත ආර්ථිකයක් බිහි කිරීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධන වැඩපිළිවෙළ හා ඉන්ධන භාවිතය අවම කෙරෙන පරිසර හිතකාමී ප්‍රවාහන ක්ෂේත්‍රයක් බිහිකිරීම කෙරෙහි මූලිකත්වය දෙමින් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තානාපතිවරුන් සමඟ පැහැදිලි කළේය.
දිගම්බරම් සජබෙන් එජාපයට පනින්න යනවාද?
පසුගිය මාස කිහිපය පුරා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පලනි දිගම්බරන් මහතා සිටියේ විදෙස්ගතවය. එසේ විදෙස්ගතව සිටි ඒ මහතා ලංකාවට පැමිණියේ මීට දින කිහිපයකට පෙරාතුවය. එසේ පැමිණීමෙන් පසු නැවතත් දේශපාලන වැඩකටයුතුවලට සම්බන්ධ වී කටයුතු කරන අතරවාරයේ දිගම්බරන්ට දැනගන්නට ලැබුණේ එක්සත් ජාතික පක්ෂය තම පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 40 දෙනා ඉවත් කිරීමට සැලසුම් සකස් කරමින් සිටිනවා යැයි කියාය. ඒ සඳහා නුවරඑළියේ එජාප හිටපු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායකත්, කේ.කේ. පියදාසත් දැඩි බලපෑම් එල්ල කරන බවද දිගම්බරම්ට දැනගන්නට ලැබිණි.
කෙළින්ම සිරිකොතට කඩාගෙන යයි
අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණයේ දී දිගම්බරන්ගේ පක්ෂය එම මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වූ අතර මන්ත්‍රී ආසන 40ක් දිනාගැනීමට එහිදී ඔහු සමත් විය. දිගම්බරම් මෙසේ එජාපය යටතේ තරගවැදුණේ ද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග අවබෝධතා ගිවිසුමකට අස්සන් කර නොව කට වචනයට තිබූ විශ්වාසයටය. නමුත් ඉකුත් මහ මැතිවරණ සමයේ එජාපය බිඳවැටීමත් සමග දිගම්බරම් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගයෙන් තරග වැදී පාර්ලිමේන්තුවට තේරීපත් විය.
කෙසේ වෙතත් මෙම තොරතුරු වාර්තා වීමත් සමග පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දිගම්බරම් කෙළින්ම සිරිකොතට ගියේ මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්නටය. ඒ යන විට රනිල් සිරිකොතේ නොසිටි නමුත් පක්ෂ මහලේකම්වරයා වන රංගේ බණ්ඩාර සිරිකොතේ රැඳී සිටියේය. ඒ අනුව දිගම්බරන් කෙළින්ම රංගේගෙන් මේ පිළිබඳ විමසා සිටීමට කටයුතු කළේය.
කුපාඩි දේශපාලනයක් කරන්න ලෑස්ති වෙන්න එපා
“ඔබතුමාලා කුපාඩි දේශපාලනයක් කරන්න ලෑස්ති වෙන්න එපා. අපි ගිය පළාත් පාලන ඡන්දයෙදි එජාපයත් එක්ක හිටගත්තේ විශ්වාසයක් ඇතිව. අපි අවබෝධතා ගිවිසුම් ගැහුවෙ නැති වුණාට පක්ෂ නායකයත් එක්ක අපේ යම් එකඟතාවක් තිබ්බා. හැබැයි ඔබතුමාලා ඒක කඩලා අපේ මන්ත්‍රීවරුන් අයින් කරන්න ලෑස්ති වෙනවා නම් අපිත් ඒ ගැන බලාගන්නම්. ඒකට අපි කරන දේත් ඔබතුමාලා බලාගෙන ඉන්න…” යනුවෙන් කියමින් දිගම්බරම් රංගේට දොස් පවරද්දී ඉන් ගැලවෙන්නට රංගේ කියා සිටියේ, “මේ නවීනුයි පියදාසයි ඕක කරන්න ඕනෙ කියලා කියන්නේ. නැතුව පක්ෂය ඒ ගැන තවම තීන්දුවක් අරගෙන නෑ” යැයි කියාය.
රුවන්ගේ ලංකාදීපය ගහපු ගේම
කෙසේ වෙතත් දිගම්බරන් හා රංගේ අතර හමුවේ මෙවැන්නක් සිදුවුවත් මෙම හමුව පිළිබඳ එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට අයත් ‘ලංකාදීප’ පුවත්පතේ සහ ලංකාදීප වෙබ් අඩවියේ පළවූයේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. එම පුවත මගින් ඔවුන් අඟවන්නට උත්සාහ කර තිබුණේ විදේශගතව සිට පැමිණි දිගම්බරම් සිරිකොතට ගොස් එජාප මහලේකම්වරයා මුණගැසී ඇති බවත්, ඒ හරහා දිගම්බරම් එජාපයට සම්බන්ධ වීමට සූදානමින් සිටින බවත්ය. එහි සඳහන්ව තිබුණේ එවැන්නකි.
“දිගම්බරන් එජාප මහලේකම් හමුවෙයි.
සමගි ජනබලවේගයේ ප්‍රධාන පාර්ශ්වයේ පක්ෂ නායකයකු වන ජාතික වතු කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පෙරේදා (14) සවස හමුවී ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කළේය.
මාස කිහිපයක් විදේශගතව සිටි පලනි දිගම්බරන් මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීම විශේෂ සිද්ධියකැයි සිරිකොත ප්‍රකාශකයෙක් පැවැසීය.
පලනි දිගම්බරන් මහතා සහ එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අතර සාකච්ඡා වූ කරුණු ගැන මාධ්‍යයට අනාවරණය නොවූ බවද සාකච්ඡාව ගැන එජාප මහලේකම්වරයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට වහාම කරුණු වාර්තා කර ඇතැයි වාර්තා වෙයි.”
දිගා සජිත්ට කතා කරයි
කෙසේ වෙතත් මේ ආකාරයට රුවන් විජයවර්ධනගේ ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කිරීමත් සමග දිගම්බරම්ද කළේ වහාම සජිත්ට දුරකතන ඇමතුමක් ගැනීමය. එහිදී සිදුවූ සියල්ලම සජිත්ට පැහැදිලි කළ දිගම්බරම් කියා සිටියේ “ඔබතුමා මේ මෝඩ චූන් යූ.එන්.පී.කාරයන්ගේ නිවුස්වලට කලබල වෙන්න එපා” යැයි කියාය. එමෙන්ම දිගම්බරම් සිකුරාදා දිනයේ සමගි ජන බලවේග සාමාජිකයන් සඳහා පැවැති වැඩමුළුවටද සහභාගි වීමටද පියවර ගත්තේය.
එජාපයට දේශපාලන බෝම්බ 2ක්
මේ අතර සමගි ජන බලවේගය කඩන්නට එජාපය පැත්තෙන් විවිධ පුවත් පළවෙද්දී පසුගිය සතියේ එජාපයටද දේශපාලන බෝම්බ දෙකක් පත්තු විය. ඉන් එකක් පත්තු වුණේ නාවලපිටිය නගර සභාවෙනි. අනෙක මහියංගනය ප්‍රාදේශීය සභාවෙනි. මේ දෙකේම බලය මෙතෙක් එජාපය සතුව පැවැතියද, පසුගිය සතියේ පැවැති ඡන්ද විමසීමේදී එජාපයේ බලය මේ දෙකෙන්ම ගිලිහී ගියේය. ඒ අනුව නාවලපිටිය නගරසභාව පොහොට්ටුව බලය අත්පත් කරගත් අතර, මහියංගන ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රීලනිපය අත්පත් කරගත්තේය.
බැසිල් විමල්ගේ අමාත්‍යංශයට එන්න කියයි! විමල් නොඑයි!
පසුගිය බදාදා දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වීය. මෙම හමුවට කර්මාන්ත අමාත්‍යාංශ විමල් වීරවංශ මහතාටත්, රාජ්‍ය අමාත්‍යවරයාටත්, අමාත්‍යාංශ නිලධාරීන්ටත් ආරාධනා කිරීමට පියවර ගත් බැසිල්, රෙදිපිළි, මැණික්, තොරතුරු තාක්ෂණ යනාදී ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයන්ටත් ඒ සඳහා ආරාධනා කිරීමට පියවර ගත්තේය. කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සාකච්ජාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගි නොවී සිටීමය. ඒ අනුව සාකච්ඡාව ආරම්භ වී මොහොතක් යෑමට මත්තෙන් විවිධ වෙබ් අඩවි මෙන්ම සමාජ මාධ්‍ය ජාල ද විමල්, බැසිල් විසින් කැඳවා තිබූ හමුව වර්ජනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කරමින් පුවත් පළකරන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සියලු දෙනාම සොයාබලන්නට වූයේ විමල්ට කුමක් සිදුවී ඇද්දැයි කයාය. එම සොයාබැලීම්වලදී අනාවරණ වූයේ විමල් ආරක්ෂක ලේකම්වරයා සමග එම අවස්ථාව වන විට අම්පාරේ දීඝවාපි චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුත්තකට සහභාගි වීමට ගොස් ඇතැයි කියාය.
විමල් කමල් එක්ක දීඝවාපි ගිහින්
ඒ අනුව නැවතත් පුවත පළවන්නට වූයේ, “බැසිල්, විමල්ගේ අමාත්‍යාංශය කැඳවද්දී විමල් ආරක්ෂක ලේකම්වරයා සමගින් දීඝවාපිය වඳින්න ගොස් ඇතැයි කියාය. කෙසේ වෙතත් මේ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳ සොයබැලීමට ‘රාජ්‍ය රහස්’ තීරයද කටයුතු කළේය. එහිදී අපට දැනගන්නට ලැබුණේ ඇතැම් මාධ්‍ය වාර්තා කළ පරිදි විමල් හා බැසිල් අතර පවතිනවා යැයි කියන ගැටුමක් මුල් කරගෙන එවැන්නක් සිදුව නැති බවත්, අදාළ සාකච්ඡාව පිළිබඳ ආරාධනාව ලැබුණු අවස්ථාවේදීම විමල් තමන්ට දීඝවාපි විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුත්තකට සම්බන්ධ වීමට ඇති බව දැනුම් දෙමින් අදාළ සාකච්ඡාවට සහභාගි වීමට නොහැකි බවට බැසිල්ව දැනුවත් කොට ඇති බවත්ය.
දයාසිරි මහින්දව ෆලෝ කරයි
පසුගිය බදාදා දිනයේදී නාරාහේන්පිට අභයාරාමයේ විශේෂ බෝධිපූජාමය පින්කමක් පැවැත්විණි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පිරිස් සහභාගි වී සිටි මෙම පින්කමේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාත්, රවි කරුණානායක මහතාත් සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබුණේ මේ දිනවල මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටින දයාසිරි පිළිබඳවය. ඊට හේතු වී තිබුණේ පසුගිය දින කිහිපය පුරාම දයාසිරි ආණ්ඩුවේ යම් යම් වැඩකටයුතු විවේචනය කරමින් ශ්‍රීලනිපය තනි පක්ෂයක් බවට ප්‍රතිසන්ධාන විය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමය. එමෙන්ම පසුගිය සතියේ දයාසිරිගේ ආසනය වන පඬුවස්නුවර ආසනයේ පොහොට්ටුවට හිමිව තිබූ සභාපති පුටුව ශ්‍රීලනිපයට ලබාගැනීම පිටුපස දයාසිරි සිටි බවටද ඒ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කනින් කොනින් ආරංචි පැතිර ගොස් තිබිණි.
ඒ අනුව මහින්ද පින්කමට සහභාගි වෙද්දී දයාසිරිද එහි සිටි බැවින් “ආ… කොහොමද ඇමැතිතුමා….” යැයි කියමින් මහින්ද ඇතුළට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී දයාසිරි සුපුරුදු පරිදි සිනාසෙමින් ඊට ප්‍රතිචාර දැක්වුවත් අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අවට සිටි පිරිසටත් ඇහෙන්නට උස් හඬින් යුතුව කියා සිටියේ, “ආ.. එතුමා දැන් ඔබතුමාව තමයි ෆලෝ කරන්නේ. ඔබතුමා එදා කළා වගේම දයාසිරි ඇමැතිතුමත් දැන් ඇතුළෙ ඉඳන් ෆයිට් කරලා පක්ෂය හදන්නයි යන්නේ…..” යැයි කියාය. ඊට මහින්දද සිනාසෙමින් ලබාදුන්නේ අපූරු පිළිතුරකි.
එයා මට වඩා අමාරුකාරයෙක්
“මාව ෆලෝ කරන අයට නම් ඉතින් වරදින්නෙ නෑ. හැබැයි මෙයා මට වඩා අමාරුකාරයෙක්…” යනුවෙන් එහිදී මහින්ද උත්තර දෙද්දී දයාසිරිද සිනාසෙමින් කියා සිටියේ, “කාටත් ඔබතුමාගෙ වටිනාකම දැනෙන්නෙ නෑනෙ. ඔබතුමාගෙ මෙතඩ් එක තමයි හරි….” යැයි කියාය.
මහින්දගෙන් කතාකරන ෆොටෝ 3ක්
පසුගිය සතියේ අගමැතිවරයා මුල් කරගෙන විශේෂ ඡායාරූප තුනක් සමාජ මාධ්‍ය ජාලවල වේගයෙන් සංසරණය වන ආකාරයක් දැකගත හැකි විය. ඉන් පළමුවැන්න වූයේ එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සමග අගමැතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහයක සිටින ඡායාරූප පෙළකි. එම ඡායාරූප පෙළෙහි අගමැති බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියත්, අගමැති බිරියගේ සහෝදරයා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතාත්, තවත් පුද්ගලයන් කිහිප දෙනකුත් සිටින ආකාරය දැකගත හැකි විය. සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතාවක් දියත් කර තිබෙන පසුබිමක හිටි හැටියේම එජාප නායකයා අගමැතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වීම සමාජ මාධ්‍ය ජාල භාවිත කරන බොහෝ දෙනා හඳුන්වා දී තිබුණේ මෙයත් ඩීල් දේශපාලනයේ එක් අවස්ථාවක් විය හැකි යැයි කියාය.
රනිල්ගෙන් යූඑන්පියෙන් කතා 2ක්
ඒ අනුව මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල දැඩි දෝෂාරෝපණයක් රනිල්ටත්, එජාපයටත් එල්ල වද්දී ඒ සම්බන්ධයෙන් කතා නොකර සිටීමට එජාපයට නොහැකි විය. ඒ අනුව වහාම නිවේදනයක් නිකුත් කරමින් එජාපය කියා සිටියේ ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ රනිල් හා මහින්ද හමුවක් පැවැති බවත්, එහිදී කිසිදු දේශපාලන මාතෘකාවක් පිළිබඳ සාකච්ඡා නොවුණු බවත්ය. දෙපාර්ශ්වයම දන්නා හිතවතෙකුගේ උත්සවයකදී මෙම හමුව සිදුව ඇති බවද එජාප නිවේදනයෙන් වැඩිදුරටත් දැක්විණි.
නමුත් ගැටුලුව මතුවූයේ එම අවස්ථාවට සහභාගි වූ රනිල් එක්තරා වෙබ් අඩවියකට ලබාදී තිබූ ප්‍රකාශයක් සමගිනි. එහිදී රනිල් කියා තිබුණේ එය මාස කිහිපයකට කලින් සිදුවූවක් යැයි කියාය. ඒ අනුව මෙම හමුවේ කිසියම් රහසක් පවතින බව එජාපය විසින් එළියට දැමූ පරස්පර විරෝධී කතාවෙන් බොහෝ දෙනකුට පැහැදිලි විය.
රනිල් සජින් වාස්ගේ ගෙදර රෑ කෑමකටත් ගිහින්
මීට අමතරව රනිල් ආණ්ඩුව සමග ගනුදෙනු කරන බවට එල්ලවී ඇති චෝදනා තහවුරු කරන ආකාරයේ තවත් හමුවක් පසුගිය සතියේ පැවැත්වී තිබිණි. ඒ, වෙන කවුරුවත් සමග නොව ඉකුත් සමයේ රාජපක්ෂ පවුලේ අතිශය සමීපතමයකු ලෙස සලකන සජිත් වාස් ගුණවර්ධන මහතා සමගය. මෙම හමුව පැවැත්වුණේද බත්තරමුල්ලේ පිහිටි සජින්ගේ නිවෙසේදීය. මෙම හමුවට රනිල්ගේ සමීප හිතවතකු ලෙස සැලකෙන නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා සහභාගි වී සිට ඇති අතර, පිරිස රාත්‍රී භෝජන සංග්‍රහයක්ද භුක්ති විඳ ඇති බව ආරංචිය.
කව්ද මේ අලුත් සම්බන්ධීකරණ නිලධාරිනිය? පත්වීම දුන්නේ කව්ද!

ඉන් අනතුරුව සමාජ මාධ්‍ය ජාල හෙල්ලූ මහින්දගේ ඊළඟ පින්තූරය වූයේ තරුණ සුරූපී කාන්තාවක් සමග ගත් ඡායාරූපයක්ය. කෞෂි වෙඩික්කාරආරච්චි නමින් හැඳින්වූ මෙම තරුණිය මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරියක වශයෙන් පත්කිරීමේ ලිපිය ලබාදෙන අවස්ථාවේ ගත් ඡායාරූපයක් එලෙස සමාජ මාධ්‍ය ජාලවල විශාල අවධානයක් ලබාගෙන තිබිණි. ඒ සමගම සියලු දෙනාම සොයාබලන්නට වූයේ මෙම කෞෂි වෙඩික්කාරආරච්චි නමැත්තිය කවුරුන්ද කියාය. ඒ අනුව ඇය කලක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක නිවේදකාවක් ලෙස කටයුතු කර ඇති බවත්, තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයාගේ බිරිය බවත් වාර්තා විය.
යෝෂිතවත් දන්නේ නෑ
එමෙන්ම මෙම පත්වීම් සම්බන්ධයෙන් තවත් කලබලයක් මතුවූයේ එවැන්නක් සිදුවන බවට වගකිව යුතු කිසිවකුම කල්තියා දැන නොසිටීම නිසාය. මන්ද යත් අගමැතිවරයා පවා එවැන්නක් සිදුවන බවට දැනුවත්ව නොසිටි අතර, අගමැති කාර්යමණ්ඩල ප්‍රධානියා වූ යෝෂිත රාජපක්ෂ පවා එවැනි පත්වීමක් පිළිබඳ කලින් දැනසිටියේ නැත. බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාලවලින් මෙම ඡායාරූපය දුටු පසු යෝෂිතගෙන් ඒ පිළිබඳ විමසද්දී ඒ සියලු දෙනාටම යෝෂිත කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් දන්නේ නැතැයි කියාය. එමෙන්ම අග්‍රාමාත්‍ය ලේකම්වරයා වූ ගාමිණී සෙනරත් මහතාගෙන් විමසුම් කළ බොහෝ දෙනකුටද ලැබුණේ ඒ ආකාරයේම පිළිතුරකි. ඒ අනුව යෝෂිත රාජපක්ෂ වහාම සාකච්ඡාවක් කැඳවූයේ මෙම පත්වීම පිටුපස ඇති කතාව සොයාගන්නටය.
අස්සන් කළ නිලධාරියා මෙන්න
ඒ අනුව යෝෂිතට දැනගන්නට ලැබුණේ අගමැතිවරයා සමීපයේ සිටින එක්තරා නිලධාරියකු විසින් මෙම ලිපියට අස්සන් තබා අදාළ තනතුර ලබාදී ඇති බවකි. මෙම නිලධාරියා මීට පෙරද මෙවැනිම ආකාරයේ ලිපියක් ලබාදීම හේතුවෙන් මහත් ආන්දෝලනයකට ලක්වූ නිලධාරියෙකි. එවර එම නිලධාරියා අදාළ ලිපිය ලබාදී තිබුණේ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙතය. ඒ, අභයාරාමයේ එන්නත්කරණ වැඩසටහනක් පැවැත්වීමට අවසරය ලබාදෙමිනි. අදාළ ලිපියට අනුව එන්නත්කරණ වැඩසටහන සංවිධාන කළද සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි ලිපියක් පිළිබඳ හාංකවිසියක්වත් නොදැන සිටි නිසා එදින මහත් අර්බුදයක් අභයාරාමයේ හටගැනිණි. මුරුත්තෙට්ටුවේ හිමියන් අගමැතිවරයාගේ නියෝග පවා සෞඛ්‍ය අමාත්‍යවරිය පිළි නොගන්නා බව සඳහන් කරමින් මාධ්‍ය සාකච්ඡා පවත්වද්දී, පවිත්‍රා ඊට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ එවැනි ලිපියක් සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නැතැයි කියාය. කෙසේවෙතත් එම ලිපියේ උණුසුම යන්නටත් මත්තෙන් අදාළ තරුණියට අගමැතිවරයාගේ සම්බන්ධීකරණ තනතුරක් ලබාදී ලිපියක් නිකුත් කිරීමත් සමග යෝෂිත එම නිලධාරියාට දොස් පවරා තිබූ බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
දුමින්දත් මහින්ද ළගට

අගමැතිවරයා සම්බන්ධ තුන්වැනි ආන්දෝලනාත්මක ඡායාරූපය වූයේ ඉකුත් පොසොන් පොහෝ දින ජනාධිපති සමාව ලැබ නිදහස් වූ දුමින්ද සිල්වා මහතා අගමැතිවරයා මුණගැසීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණ තිබීමය. නිදහස ලැබීමෙන් පසු සති දෙකක්ම විවේකීව ඇතුළට වී කල් ගත කළ දුමින්ද, පසුගිය සතියේ හා හා පුරා කියා එළියට බැස්සේ අගමැතිවරයා මුණගැසෙන්නට යෑමටය. එසේ ගිය දුමින්ද අගමැතිවරයා සමග බොහෝ වේලාවක් ඉකුත් ජීවිතය පිළිබඳවත්, අනාගත සැලසුම් පිළිබඳවත් සාකච්ඡා කළ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කපිල පුංචිමාන්නගේ










