කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව මුලුමනින්ම ගොතන ලද පුවත් පළකිරීමෙන් සහ දේශපාලඥයන් කිහිප දෙනකු එක්ව ද්වේෂ සහගත ලෙස කතානායකවරයා ඉලක්ක කර පහර දීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කතානායක මාධ්‍ය අංශය අවධාරණය කර ඇත.
එක්තරා දිනපතා පුවත්පතක මුල් පුවත මගින් පළ කොට ඇති සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් කතානායක මාධ්‍ය අංශය මේ බව දැනුම් දී තිබේ.
එම නිවේදනයේ මෙසේද සදහන්ය.
‘කතානායක කරුගෙන් පොලිස් කොමිසමට බලපෑම්’ යන මැයෙන් අද (2019.12.31) දින ප්‍රධාන පෙලේ පුවත්පතක පලව ඇති ප්‍රවෘත්තිය සෑම අකුරක් පාසාම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.
පසුගිය දෙසැම්බර් 27 වන සිකුරාදා පොලිස් කොමිසමේ නිලධාරින් කැඳවා කථානායකවරයා විසින් බලපෑම් කළ බවට එම පුවතේ සඳහන් වන නමුත්, කිසිදු විටක පොලිස් කොමිසමේ කවර හෝ නිලධාරියෙකු කථානායකවරයා විසින් කැඳවා බලපෑමක් සිදුකර නොමැත. (එහි සත්‍ය අසත්‍යතාවය පොලිස් කොමිසම වෙතින් තහවුරු කර ගැනීම මැනවි.)
සත්‍ය එසේ වන හෙයින්, මෙවැනි අසත්‍ය සහ පටු වුවමනාවන් මත මුළුමනින්ම ගොතන ලද පුවත් පලකිරිමෙන් සහ කථානායකවරයාට එරෙහිව දේශපාලනඥයින් කිහිපදෙනෙකු මේ දිනවල සැලසුම් සහිතව සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ තුළින් එතුමන් කිසිවිටකත් නොසැලෙනු ඇති බව මෑත ඉතිහාසය මගින් ඔප්පු කර ඇත.
ස්වාධීන කොමිසම් සභා ක්‍රියාවලියට පදනම සැපයූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය උදෙසා 1999 වසරේ සිටම කැප වු කරු ජයසුරිය මැතිඳුන් කථානායකවරයා ලෙස එම කොමිසම් සභාවන්හි ස්වාධීනත්වයට කැළලක් වන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබනු ඇත.
කථානායක මාධ්‍ය අංශය