එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර ඊයේ (20) රාත්‍රී පැවැති පක්ෂ නායක රැස්වීම ඉතා සාමකාමීව හා සුහදශීලී අයුරින් පැවත්වී ඇති බව වාර්තා වේ.
අර්බුදකාරී කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මෙම සාකච්ජාව පැවැත්වී ඇත්තේ එජාප අපේක්ෂකයා තෝරා ගැනීම පිළිබදව සාකච්ජා කිරීම සදහාය. අගමැතිවරයාගේ ප්‍රධානත්වවයෙන් අරලිය ගහ මැදුරේ පැවැති මෙම සාකච්ජාවට පෙරමුණේ සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබුණද මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්ට පමණක් ආරාධනා කර නොතිබීම විශේෂ සිදුවීමකි.
අගමැතිවරයාට අමතරව පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, දිගම්බරම් මෙන්ම කබීර් හෂීම්, අකිල විරාජ්, රවි කරුණානායක යන මහත්වරුන්ද ඊට සහභාගී වී ඇත. රිෂාඩ් බදුර්දීන් මහතා හදිසි රාජකාරී කටයුත්තක් මත ඊට එක්ව නොමැති නමුත් ඔහුගේ නියෝජිතයකු ඊට සහභාගී කරවීමට කටයුතු කර තිබේ.
ඉතා සුහදශීලීව පැවැත්වී ඇති මෙම සාකච්ජාවේදී හෂීම් මහතා පමණක් සජිත් ජනප්‍රිය බවත්, ඔහුට ජනපති අපේක්ෂකත්වය දී වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය බාරගන්නා ලෙසත් දැනුම් දී තිබේ.
කෙසේවෙතත් කිසිවකුත් හෂීම් මහතාගේ මෙම කතාවට ප්‍රතිචාර දක්වා නැත.
ඉන් අනතුරුව චම්පික රණවක මහතා ඉල්ලා ඇත්තේ අපේක්ෂකයා තේරීමේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 106 දෙනාටම ජන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත්,එය වඩාත් ප්‍රජාත්ත්‍රවාදී බවත්ය.
නමුත් එහිදී අගමැතිවරයා පක්ෂ ව්‍යවස්ථාව ගෙන හැර දක්වමින් ව්‍යවස්ථාවට අනුව අපේක්ෂකයා තෝරනු ලබන්නේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පමණක් බව ප්‍රකාශ කොට තිබේ. එමෙන්ම අවසානයේදී අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ලබන අගහරුවාදා (24) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා බවත්, බදාදා (25) දිනයේදී පාර්ලිමේන්තු කණ්ඩායම කැදවා එය ප්‍රකාශයට පත් කරන බවත්ය.