රාජ්‍ය රහස් මුලින් සතියේ කළ හෙළිදරව්ව
‘ලබන 22 වැනි දින ඉම්රාන් ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර, දැනටමත් පකිස්තානය පාර්ශ්වයෙන් ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ ලංකා පාර්ලිමේන්තුව තුළ ඉම්රාන්ට කතාවක් කිරීමට අවස්ථාව සලසා දිය යුතු යැයි කියාය.
සාමාන්‍යයෙන් ලංකාවට පැමිණෙන සියලුම රාජ්‍ය නායකයන් පාර්ලිමේන්තුවේ දේශන පැවැත්වීම සිදු නොකරන නමුත් ඉල්ලීමක් කළහොත් පමණක් සම්ප්‍රදායට අනුව යමින් එම අවස්ථාව සලසා දීම සාමාන්‍ය සම්ප්‍රදායය. ඉකුත් වතාවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිත් ලංකා පාර්ලිමේන්තුව ඇමතුයේද ඒ අනුව යමිනි. ඉම්රාන් මෙසේ පාර්ලිමේන්තුවේ කතාවක් ඉල්ලා සිටීමට පියවර ගත්තේ ඒ නිසාවෙන්දැයි කියන්න දන්නේ නැත.
මහින්ද ඉම්රාන්ට කතාව දෙයි
කෙසේ වෙතත් ඉන්දියාව සමග මේ දිනවල මතුව ඇති අර්බුදය හේතුවෙන් දිනේෂ්ගේ මතය වී තිබුණේ පාකිස්තාන අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ කතාවක් ලබා නොදිය යුතු යැයි කියාය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳුදා දින පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඊට කලින් දිනේෂ් අගමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් තම මතය දැනුම් දී සිටීමට පියවර ගත්තේය. නමුත් මහින්ද කියා සිටියේ ඒ ආකාරයට කතාවක් ඉල්ලුවහොත් එය ලබාදීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවත්, එම නිසා ඉම්රාන්ටද එම අවස්ථාව ලබාදිය යුතු බවත්ය. ඒ අනුව පක්ෂ නායක රැස්වීමේදී පෙබරවාරි 24 වැනි දින ඉම්රාන්ට ලංකාවේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට ඉඩ සලසා දීමට තීන්දු විය….’
දිනේෂ් පක්ෂ නායක රැස්වීමට දැනුම් දෙයි
මේ, ඉකුත් ඉරිදා (14) ‘රාජ්‍ය රහස්’ තීරයේ පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අප තැබූ සටහනය. එහිදී අප පෙන්වා දුන්නේ පෙබරවාරි 22 වැනි දින ඉම්රාන් ලංකාවට පැමිණීමට නියමිත බවත්, එම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ දේශනයක් පැවැත්වීමට ඉඩ සලසා දෙන මෙන් පකිස්තාන මහකොමසාරිස් කාර්යාල පාර්ශ්වයෙන් ඉල්ලීමක් ආණ්ඩුව වෙත ඉදිරිපත් වී ඇති බවකි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව සලසා දීම මෙම ඉල්ලීමට හේතුවක් වී ඇති බවද අපි එහිදී අනාවරණය කර සිටියෙමු. කෙසේ වෙතත් එම ඉල්ලීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයාගෙන් විමසීමෙන් අනතුරුව 24 වැනි දිනට එම දේශනය පැවැත්වීමට ඉම්රාන්ට අවස්ථාව සලසා දීමට මහින්දගේ එකඟතාවය පළව තිබිණ. ඒ අනුව දිනේෂ් ඉකුත් අඟහරුවාදා (9දා) පැවැති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා ඇතුළු පක්ෂ නායකවරුන්ට එම තීන්දුව දැනුම්දීමටද පියවර ගෙන තිබිණ.
සාකච්ජා කල් දමයි
ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයද ඉම්රාන්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සූදානම් කළ අතර, කතානායක කාර්යාලයද ඉම්රාන්ගේ පාර්ලිමේන්තු ගමනේ කාලසටහන සකස් කිරීමට පියවර ගත් ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව ඉම්රාන් 24 වැනි බදාදා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කෙසේද, පාර්ලිමේන්තුව අමතන්නේ කුමන වේලාවටද, ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ගෙන්විය යුතු අමුත්තන් කවුද, තානාපතිවරුන් කවුද යන්න සම්බන්ධයෙන් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්විණ. එමෙන්ම ඉම්රාන් වෙනුවෙන් පවත්වන තේපැන් සංග්‍රහය සම්බන්ධයෙන්ද එහිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. 8 වැනි සඳුදා පැවැති මෙම සාකච්ඡාව අවසන් වූයේ 09 වැනි අඟහරුවාදා ඒ සම්බන්ධයෙන් තවදුරටත් හමුවී සාකච්ඡා කිරීමට ගනු ලැබූ තීන්දුවෙන් අනතුරුවය.
කෙසේ වෙතත් 9 වැනි අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයෙන් නිකුත් වුණු පණිවුඩයකින් කියවුණේ එදිනට පැවැත්වීමට නියමිතව තිබූ මෙම සාකච්ඡාව 12 වැනි සිකුරාදා දක්වා කල් දැමූ බවය. ඊට හේතුවක් නොදැක්වීම හරහා බොහෝ දෙනා සිතා සිටියේ 12 වැනි දින අදාළ සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවකි. නමුත් සිකුරාදා දිනද ඊට අදාළ සාකච්ඡාව පැවැත්වී තිබුණේ නැත. ඒ සම්බන්ධයෙන් හෝ කිසිදු හේතුවක් ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ නැත.
ඉම්රාන්ගේ කතාව අවලංගුයි!
ඒ අනුව ඉකුත් සඳුදා (15දා) වන විට නිල නොවන ආරංචි මාර්ගයකින් රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ලැබුණේ 24 වැනි දින ඉම්රාන්ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව ලබාදීමට ආණ්ඩුව ගෙන තිබූ තීන්දුව අවලංගු කිරීමට තීරණය කර ඇතැයි කියාය. 9 වැනිදා සහ 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා පවා කිසිදු දැනුම්දීමකින් තොරව සහ නිශ්චිත හේතු දැක්වීමකින් තොරව අවලංගු කොට ඇත්තේද මේ හේතුව නිසා බව එම නිල නොවන ආරංචි මාර්ගවලින් රාජ්‍ය රහස් තීරයට වැඩිදුරටත් දැනගන්නට ලැබිණි. ඒ අනුව රාජ්‍ය රහස් තීරයද එක් පාර්ශ්වයකින් පමණක් නොව පාර්ශ්ව කිහිපයකින්ම මේ තොරතුරේ ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විමසීමක් කළ අතර, ඒ සියලු පාර්ශ්ව අදාළ තොරතුර සත්‍යයක් බව තහවුරු කිරීමට කටයුතු කළහ. එම තහවුරු කිරීමත් සමඟ සඳුදා (15දා) දින අප වෙබ් අඩවිය වන www.mawratanews.lk වෙබ් අඩවියේ EXCLUSIVE (අතිවිශේෂ) පුවතක් ලෙස පලකිරීමට පියවර ගත්තෙමු.
පාකිස්ථානයත් කලබල වෙයි
www.mawratanews.lk අප වෙබ් අඩවියේ මෙම පුවත පළකිරීමත් සමඟ ආණ්ඩුව ඇතුළේ පමණක් නොව මාධ්‍ය ක්ෂේත්‍රයේද, තානාපති ක්ෂේත්‍රයේද මෙම පුවත ලැව්ගින්නක් මෙන් පැතිර යන ආකාරයක් දැකගත හැකි විය. එම පුවත වාර්තා වීමත් සමඟ වැඩිමනත්ම කලබලයට පත්ව තිබුණේ වෙන කවුරුවත් නොව පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයය. ඒ අනුව පුවතේ ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා වහාම පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ප්‍රොටෝකෝලයට අනුකූලව ආණ්ඩුවේ පාර්ශ්වයන්ට ඇමැතුම් ලබාදෙන්නට වූහ. මීට අමතරව ආණ්ඩුවේ ඉහළ තැන්වලටත් කතා කරමින් පාකිස්තාන මහකොමසාරිස් නිලධාරීහු එම කතාවේ ඇත්ත නැත්ත විමසා සිටින්නට වූහ. එහිදී ඔවුන්ටත් දැනගන්නට ලැබුණේ ඉම්රාන්ගේ පාර්ලිමේන්තු දේශනය අවලංගු කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවකි. ඒත් සමඟම එම සිදුවීම පාකිස්තානය හා ලංකාව අතර අලුත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කිරීම දක්වා දුරදිග ගිය ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, පාකිස්තානය පැත්තෙන් ලංකාව මෙය තමන්ට කළ ලැජ්ජාවක්, මදිපුංචිකමක් ලෙස සලකා කටයුතු කිරීමට තීන්දු කර ඇති බවක් දැකගන්නට ලැබිණ. ඉම්රාන්ගේ පාර්ලිමේන්තු කතාව මුලින් තහවුරු කර තිබියදීත් හිටිහැටියේම එය අවලංගු කිරීම ඒ සඳහා හේතුවී ඇති බවද දැනගන්නට ඇත.
ඕ.අයි.සී. එකත් අහක බලයි
මෙම පසුබිමත් සමඟ මේ වන විට ආණ්ඩුවට තවත් අර්බුදයකට මුහුණදීමට සිදුව ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ, ලබන සඳුදා (22) ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදීය. මේ වන විටත් ලංකාවට එරෙහිව අලුත් යෝජනාවක් බි්‍රතාන්‍යයේ මූලිකත්වයෙන් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වන බවට තහවුරු වීමත් සමඟ ආණ්ඩුව මේ දිනවල ඒ සඳහා මුහුණදීම සඳහා අවශ්‍ය තුරුම්පු එකතු කරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. මේ වන විට ලංකාවට හිතවත් රටවල් කිහිපයක් හැරුණු විට අතිබහුතරයක් රටවල් සිටින්නේ මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව කටයුතු කරන ස්ථාවරයකය. මේ නිසාම ආණ්ඩුව පසුගිය සතියේදී ඉකුත් අවස්ථාවන්හිදී මානව හිමිකම් කොමිසම තුළ ලංකාවට පක්ෂව සිටි රටවල් සමඟ කිසිම සංවාදයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව ආණ්ඩුව විශේෂයෙන් අවධානය යොමුකර තිබුණේ මුස්ලිම් රටවල් කෙරෙහිය. විශේෂයෙන්ම ඕ.අයි.සී. හෙවත් මුස්ලිම් සහයෝගිතා සංවිධානයට අයත් රටවල්වල සහාය ලබාගැනීම සඳහා ආණ්ඩුව ඉකුත් දින කිහිපයේදී සාකච්ඡා ආරම්භ කර තිබුණු අතර, පාකිස්තානය හරහා එම රටවල්වලට කතා කිරීමටද ආණ්ඩුව පියවර ගෙන තිබිණ. ආණ්ඩුව කර තිබූ එම ඉල්ලීමට අනුව ඉම්රාන්ද පසුගිය දිනවල මුස්ලිම් රටවල්වල නායකයන් කිහිපදෙනකු සමගම ඒ පිළිබදව සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබුණද ඊට එම රටවල්වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත. ඒ සඳහා බලපා තිබූ ප්‍රධානම හේතුව වූයේ කොරෝනා වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා ආණ්ඩුව අවසර ලබා නොදීමය. ඒ අනුව රටවල් කිහිපයකට කතාකළ ඉම්රාන්ට ලැබුණු ඍණාත්මක ප්‍රතිචාර හමුවේ එම උත්සාහය අතහැර දැමීමට පවා හෙතෙම පියවර ගෙන තිබිණ. මේ සියල්ල මැද ආණ්ඩුව ඉම්රාන්ට ලබාදී තිබූ පාර්ලිමේන්තු දේශනය කිසිදු හේතුවක් නොදක්වා හැටිහැටියේම අවලංගු කිරීමට පියවර ගැනීමත් සමඟ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලැබීමට නියමිත පාකිස්තානයේ සහාය පවා මේ වන විට ඇත්තේ වැට උඩය.
මහකොමසාරිස් කාර්යාලය කියපු දේ
කෙසේ වෙතත් ඉම්රාන්ගේ කතාව අවලංගු කිරීමෙන් පසු ලංකාවේ පාර්ශ්ව කිහිපයක්ම පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයට කතාකොට සඳුදා (22දා) සිදුකිරීමට නියමිත ඉම්රාන්ගේ ලංකා ගමන පිළිබඳව නැවැත වතාවක් විමසා සිටින්නට පියවර ගත්හ. එහිදී කතා කළ සියලු දෙනාටම පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ අදාළ ගමනේ කාලසටහන මේ වන විට සූදානම් කොට ඇතත් ඉස්ලාමාබාද් නුවරින් ඉම්රාන්ගේ සංචාරය සිදුවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් තහවුරු කිරීමක් සිදුකර නැති බවය. ඒ අනුව දැනගන්නට ඇත්තේ ඉම්රාන්ගේ ලංකා ගමන සිදුවනවා වගේම සිදු නොවන තැනටද මේ වන විට පසුබිම සැකසී ඇති බවය.
මෝඩි ලංකාවේ බලය අල්ලයිද?
මේ ආකාරයට ලංකාව හා පාකිස්තානය අතර අලුත් රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වෙමින් පැවැති පසුබිමක ඉන්දියාව හා ලංකාව අතර මතුවූ රාජ්‍යතාන්ත්‍රික අර්බුදය විවිධ ක්ෂේත්‍ර කරා පැතිරී යන ආකාරයක්ද මේ වන විට දැකගන්නට තිබේ. විශේෂයෙන්ම අලුත් අර්බුදය මතුවූයේ ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ෂා ඉන්දීය මාධ්‍ය වෙත කළා යැයි කියන ප්‍රකාශයත් සමඟය. එම ප්‍රකාශය හරහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියා තිබුණේ ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේද ආරම්භ කිරීමට සැලැසුම් කොට ඇති බවත්, ලංකාවේ මැතිවරණවලට තරගකොට මෙරට බලය ඇල්ලීමට සූදානම් බවත්ය.
භාරතීය ජනතා පක්ෂයෙන් මෙම ප්‍රකාශය නිල වශයෙන් නිකුත් කිරීමට ප්‍රථම ඉන්දියාව මුල්කරගෙන තවත් සිදුවීම් මාලාවක්ද සිදුව තිබිණ. ඉන් පළමුවැන්න වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවට පසුගිය සතියේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ආචාර්ය ගෝපාල් බාග්ලේ මහතා මෙරට සියලුම දමිළ දේශපාලන පක්ෂවල නායකයන් වෙන වෙනම මුණගැසීමටද පියවර ගෙන තිබිණ. ඒ අනුව බාග්ලේ කොළඹදී දෙමළ සන්ධාන නියෝජිතයන්, දෙමළ ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ රාධක්‍රිෂ්ණන් මෙන්ම වතුකරයේ දෙමළ පක්ෂ නියෝජනය කරන ජීවන් තොණ්ඩමන් ඇතුළු පාර්ශ්වයන්ද මුණගැසී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මීට අමතරව නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස්වරයා වන විනෝද් මඩකළපුවට ගොස් කරුණා මෙන්ම පිල්ලෙයාන්ද මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණ. ඒ හරහා දැකගන්නට තිබුණේ ඉන්දියාව ලංකාවේ සියලුම දෙමළ දේශපාලන පක්ෂ එක ස්ථාවරයකට ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බවකි.
බීජේපී ලංකාවේ නියෝජිතයා මුත්තුසාමි
මෙම තත්ත්වය වැඩිදුරටත් තහවුරු වූයේ මෙම හමුවීම්වලින් පසු දෙමළ ජාතික සන්ධානය මඩකළපුවේ සිට යාපනය දක්වා ආරම්භ කළ විරෝධතා පාගමන සඳහා උතුරේ සියලු දමිළ පක්ෂ සහයෝගය පළකර තිබීම හරහාය.
මෙම සිදුවීම් පෙළත් සමඟ ඉන්දියාව පාර්ශ්වයෙන් ලංකාවේ භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් පිහිටුවීමට කටයුතු කරන බවට ප්‍රකාශ වීමත් සමඟ බොහෝ දෙනා එම කතාවේ ඇත්ත නැත්ත සොයා බලන්නට උත්සුක වූහ. ඒ අනුව අපද මෙම කතාවේ ඇත්ත නැත්ත සොයා බලද්දී අපට අනාවරණය වූයේ දැනටමත් භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයකු ලංකාවේ රැඳී සිටින බවකි. ඔහු නමින් ‘මුත්තුසාමි‘ බවද රාජ්‍ය රහස් තීරයට ආරංචි විය. ඔහු කාලයක් තිස්සේ ලංකාවේ ව්‍යාපාරික කටයුතුවල නිරත වෙමින් සිටින බවත්, ගුවන් ප්‍රවේශපත් අලෙවි කිරීමේ ආයතනයක් ඇතුළු ව්‍යාපාර කිහිපයක් ඔහු සතුව පවතින බවත් අපට දැනගන්නට ලැබිණ. මෙම මුත්තුසාමි මෙරට සියලුම ද්‍රවිඩ දේශපාලන පක්ෂ සමඟ ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නකු ලෙස සැලකෙන අතර, විශේෂයෙන්ම උතුරේ දෙමළ දේශපාලකයන් සමඟ දැඩි හිතවත්කම් ඇත්තකු ලෙස සැලකේ. එමෙන්ම ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ සබඳතා ඇත්තකු ලෙසද මෙම මුත්තුසාමි සැලකේ. ඒ අනුව මෙතුවක් කල් කිසිවකුත් නොදැන සිටියද භාරතීය ජනතා පක්ෂයේ ශ්‍රී ලාංකීය නියෝජිතයා ලෙස කටයුතු කොට ඇත්තේ මේ කියන මුත්තුසාමිය. ඒ අනුව ඉන්දියාවෙන් නිකුත් වුණු නිල ප්‍රකාශයත් සමඟ භාරතීය ජනතා පක්ෂයේ මෙරට නියෝජිතයා ලෙස ඉදිරියේදී මුත්තුසාමි එළිපිට කටයුතු කරනු ඇති ආකාරයක් ඉදිරියේදී දැකබලාගත හැකි වනු ඇත.
ආණ්ඩුව ඉන්දියාව බැලන්ස් කරගනී
මේ අතරවාරයේ කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට ආණ්ඩුව ගත් දැඩි තීන්දුව හරහා බොහෝ දෙනා සිතා සිටියේ ඉන්දියාවත් ලංකාවත් අතර බරපතළ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වනු ඇතැයි කියාය. ඇතැමුන් සිතා සිටියේ 2015 දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය කිරීමට ඉන්දියාව තිරය පිටුපස දියත් කළ මෙහෙයුම හා සමාන මෙහෙයුමක් මේ වතාවේත් දියත් වනු ඇතැයි කියාය.
නමුත් ආණ්ඩුවේ බලවත් පාර්ශ්වයක් මේ වන විට ඉහළ පෙළේ සාකච්ඡාවකදී පෙන්වා දී ඇත්තේ 2015 දී සිදුවූ ඒ අත්වැරැද්ද නැවත නොවීමට වගබලාගත යුතු බවකි. එසේ වුවහොත් ඉදිරියේදී අර්බුදකාරී තත්ත්වයකට ආණ්ඩුවට මුහුණදීමට සිදුවනු ඇති බවද එම බලවත් පාර්ශ්වය ආණ්ඩුවේ ඉහළපෙළ නියෝජිතයන්ට පෙන්වා දී ඇති බවද දැනගන්නට ඇත. ඒ අනුව එම බලවත් පාර්ශ්වය ඉන්දියාව සමඟ නිල නොවන මට්ටමින් සාකච්ඡා ආරම්භ කොට ඇති බවත්, එම සාකච්ඡා ඉතා සාර්ථක වී ඇති බවත් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. මෙහිදී ඉන්දියාවට ලබාදෙන්නේ කොළඹ වරායේ නැඟෙනහිර ජැටියද, බටහිර ජැටියද එසේත් නැතිනම් වෙනත් දෙයක්ද යන්න පැහැදිලි නැතත් දෙපාර්ශ්වය අතර ඉතා තීරණාත්මක සාකච්ඡාවක් සිදුව ඇති බවක් නම් තහවුරු වී ඇත.
දූපත් 3 චීනයටද-ඉන්දියාවටද?
මේ සියල්ල මැද ආණ්ඩුවට පසුගිය සතියේ මුහුණදීමට සිදුවූ තවත් මතභේදාත්මක සිදුවීමක් වූයේ ලංකාවට අයත් උතුරේ දූපත් තුනක් බලාගාර පිහිටුවීම සඳහා චීනයට ලබාදීමට ගත් තීන්දුවය. ඩෙල්ෆ්, නයිනතිව් හා අනලතිව් යන දූපත් මෙසේ චීනයට ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන තිබූ අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක වියදමකින් බලාගාර තුනක් එම දූපත්වල ස්ථාපිත කිරීමට නියමිත බව ආණ්ඩුව පාර්ශ්වයෙන් කියවිණ. එම මුදල ණයක් ලෙස ලංකාවට දෙන බවද එහිදී සඳහන් විය.
කෙසේ වෙතත් මාධ්‍ය මඟින් මෙය අනාවරණය වීමත් සමඟ කලබලයට පත්වුණු ඉන්දියාවද පසුගිය සතියේ එක් රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගයක් ක්‍රියාවේ යෙදවීමට පියවර ගත්තේය. ඒ, චීනයෙන් ඩොලර් මිලියන 12ක ණය මුදලක් ගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවාට වඩා එම මුදල සම්පූර්ණ ප්‍රදානයක් ලෙස ලංකාවට ලබාදීමට ඉන්දීය රජය සූදානම් බවත්, ඒ හරහා අදාළ විදුලි ව්‍යාපෘති ඉදිකර දීමට ඉන්දීය රජය සූදානම් බවත් ලංකා ආණ්ඩුවට දැනුම් දී සිටීමය. ඒ අනුව දැන් ආණ්ඩුවට අදාළ විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් තෝරාගැනීම් දෙකක් ඉතිරිව තිබේ. ඒ ඩොලර් මිලියන 12ක මුදලක් ණයට ගෙන අදාළ ව්‍යාපෘති චීනයට ලබාදෙනවාද, එසේත් නොමැති නම් සත පහක වියදමකින් තොරව ඩොලර් මිලියන 12ක මුදල ප්‍රදානයක් ලෙස ලබාගෙන එම ව්‍යාපෘතිය ඉන්දියාවට ලබාදෙනවාද යන්න තීරණය කිරීමය.
කොමිසම් වාර්තා දෙකේ අර්බූදය
ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා දෙකක අවසන් වාර්තා මේ වන විට ජනාධිපතිවරයා අතට පත්කිරීමට ඒවායේ සාමාජිකයන් කටයුතු කර අවසානය. ඉන් එක් විමර්ශන වාර්තාවක් වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ කොමිසමේ අවසන් වාර්තාවය. අනෙක වන්නේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කොමිෂන් වාර්තාවය. මේ දෙකම ජනාධිපතිවරයා වෙත ලැබී මේ වන විට සති කිහිපයක කාලයක් ගතව ඇතත් තවමත් ඒවා පාර්ලිමේන්තුවට හෝ ජනතාවට ලබාදීමට පියවර ගෙන නොතිබීම විශේෂ සිදුවීමකි.
මේ නිසාම අදාළ කොමිෂන් වාර්තා දෙක ඉල්ලා විශාල හඬක් විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම පාස්කු කොමිෂන් වාර්තාව ලබාදෙන ලෙස ඉල්ලමින් දැඩි හඬක් මේ දිනවල නඟන්නේ වෙන කවුරුවත් නොව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කළ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ය. උන්වහන්සේ අවස්ථා කිහිපයකදීම මෙම පාස්කු විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කළත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් කියැවෙන්නේ එය පිටපත් කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බවකි.
පළිගැනීම් කොමිසම තවත් පළිගැනීමක්ද
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ අවසන් වාර්තාව ඉල්ලා විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ මේ වන විට ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බලපෑමක් එල්ල කරමින් සිටින ආකාරයක්ද දැකගන්නට ලැබේ. ඒ සඳහා හේතුවී ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයන් කිහිපදෙනකුගේ නම් එම වාර්තාවේ ඇතුළත්ව ඇති බවට විපක්ෂය වෙත තොරතුරු ලැබී තිබීමය. විපක්ෂය කියා සිටින්නේ ආණ්ඩුව මේ හරහා ආණ්ඩුවට එරෙහි විය හැකි බලවේග මර්දනය කිරීම සඳහා කුමන්ත්‍රණය කරමින් සිටින බවත්, ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවත්ය.
කෙසේ වෙතත් ආණ්ඩුව මේ වන විට අදාළ වාර්තාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කරන ලෙස ඉල්ලා තවත් ජනාධිපති කොමිසමක් පත්කර ඇති අතර, එහි වාර්තාව මාස තුනක් ඇතුළත ලබාදෙන ලෙසද උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම මෙම වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් පවත්වන බව ආණ්ඩුව මුලින් සඳහන් කළද තවමත් මෙම රැස්වීම පැවැත්වීමට ආණ්ඩුව පියවර ගෙන නැත.
සජිත් සියලු පක්ෂ හමුවෙයි
මෙම තත්ත්වය යටතේ ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ මෙම වෑයමට එරෙහිව පක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ඒකරාශි කිරීමේ වැඩපිළිවෙළක නිරතව සිටින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව මෙම වාර්තාවේ නම් සඳහන්ව ඇතැයි කියන විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, අනුර කුමාර දිසානයක, එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රිවරුන් සමඟ සජිත් වෙන වෙනම සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. එහිද සජිත් ඔවුන්ට පැහැදිලිවම කියා සිටියේ ආණ්ඩුව ගෙනයන මෙම ක්‍රියාවලියට එරෙහිව විපක්ෂයක් වශයෙන් සියලු බලවේග ඒකරාශි කිරීමට තමන් සූදානම් යැයි කියාය.
රනිල් එක්ක කතා කළේ මොනවාද
එතෙකින් නොනැවතුණු සජිත් පසුගිය සතියේදී එම කොමිෂන් වාර්තාවේ නම සඳහන්ව ඇති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අදාළ සිද්ධිය පිළිබඳව පමණක් සාකච්ඡා කිරීමට වෙන්වුණද ඇතැම් මාධ්‍ය මෙම හමුවෙන් පසුව වාර්තා කර තිබුණේ රනිල් හා සජිත් අතර දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වී ඇති බවකි. එමෙන්ම ඒවායේ තනතුරු පිළිබඳවත් එහිද සාකච්ඡා වූ බවද එම මාධ්‍යවල වැඩිදුරටත් පලව තිබිණ.
මෙම මාධ්‍ය වාර්තා දුටු සැණින් කවුරුන් හෝ අදාළ සාකච්ඡාව පිළිබඳව වැරැදි තොරතුරු මාධ්‍යයට ලබාදී ඇති බවක් සජිත්ට වැටහිණි. ඒ අනුව සජිත් ඉකුත් බ්‍රහස්පතින්දා දින පැවැති සමඟි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දැඩිව අදහස් පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
මහජන නියෝජිතයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ආණ්ඩුව නිවට, බියගුලු ක්‍රියාවලියකට පිඹුරුපත් සකසමින් සිටින හෙයින් එම තත්ත්වයට පොදු ශක්තිමත් බලවේගයක් ලෙස එක්වීමේ වැදගත්කම මුල්කොටගෙන තමන් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් හමුවූ බව සජිත් එහිදී කීය. රනිල් වික්‍රමසිංහ මහතා අතර වු හමුවද ඒ සද් අරමුණ ඇතිව සිදු වූවක් මිස ඇතැම් පාර්ශව නිකුත් කළ ආකාරයේ කිසිදු දේශපාලන ගනුදෙනුවක් එහි නොවූ බවද හෙතෙම අවධාරණය කළේය.
සජිත් ගෲප් එකේදි පැහැදිලි කරයි
“අපේ හමුවීම් දේශපාලන ගනුදෙනු නෙවේ. නමුත් අපි සද්භාවයෙන් කළ හමුවීම සමහර බංකොලොත් කණ්ඩායම් බොරු බේගල් බවට පත් කරලා අවස්ථාවාදී දේශපාලනයක යෙදෙන බව පෙනුනා. ආණ්ඩුව මහජන නියෝජිතයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිවට, බියගුලු ක්‍රියාවලියකට පිඹුරුපත් සකසමින් සිටිනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලිය තුළ මහජන මතය විශේෂයි. මහජන මතය තුළ මැතිවරණයට ඉදිපත් වුණාම තමයි අපිට සහ රටට දැනගන්න පුලුවන් ඔවුන්ගේ තැන කුමක්ද කියලා.
ඒ අය මැතිවරණය ක්‍රියාදාමයේ නොහිටියා නම් එයාලට කොළඹින් ලැබෙන්නේ ඡන්ද තිස්දාහක් බව මේ රටේ ජනතාව දැන ගන්නේ කොහොමද. ගණන් කරන්න තරම්වත් මහජන මනාපයක් නොලැබෙන බව ජනතාව දැන ගන්නේ කොහොමද? මහජනතාවගේ ඡන්ද බලයෙන් ආසනයක් දිනා ගන්න බැරිවූ ඇතැම් බංකොලොත් කණ්ඩායම් එක්ක දේශපාලන ගනුදෙනුවලට යාමක් ගැන කතා කිරීමත් විහිලුවක්.
ඒ නිසා මම නැවත අවධාරණයෙන් කියන්නේ. අපිට ඒ අය එක්ක දේශපාලන ගනුදෙනු නෑ….” යනුවෙන් සජිත් එහිදී කියා සිටියේය.
පක්ෂ නායක රැස්වීමත් උණුසුම්
මේ අතර බ්‍රහස්පතින්දා දහවල් දොළහට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමද ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේ මෙම දේශපාලන පළිගැනීමේ කොමිෂන් වාර්තාව ඇතුළු මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂය නැඟූ ප්‍රශ්නවලදී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් දැඩි ප්‍රතිචාර එල්ලවීම හේතුවෙනි. මෙම සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහභාගිව සිටි අතර විපක්ෂය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, රන්ජිත් මද්දුමබණ්ඩාර, අනුර කුමාර දිසානායක, එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රිවරු සහභාගිව සිටියහ.
ජොන්ස්ටන් කෑ ගසයි
මෙහිදී පළමුවෙන්ම රැස්වීම උණුසුම් වූයේ කිරිඇල්ල සහ අනුර කුමාර අදාළ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසටත්, ඒ පිළිබඳව විවාදයක් අවශ්‍ය බවටත් කළ දැනුම්දීමත් සමඟය. කිරිඇල්ල කියා සිටියේ ජනවාරි 15 වැනි දින මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවත්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන බැවින් මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්ය. එහිදී කතානායකවරයා කියා සිටියේ තවමත් අදාළ වාර්තාව තමන්ට ලැබී නැතැයි කියාය. තමන් එය වාචිකව ජනාධිපති කාර්යාලය වෙත දැනුම් දුන් බව කතානායකවරයා කියද්දී මද්දුමබණ්ඩාර කියා සිටියේ එය ලිඛිතවම ජනාධිපතිවරයා වෙත ලබාදී අදාළ වාර්තාව ගෙන්වා ගන්නා ලෙසටය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් විවාදයක් ලබාදිය යුතු බව මද්දුම බණ්ඩාර කියද්දී ජොන්ස්ටන් කියා සිටියේ යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ කතානායකවරයා වූ කරු ජයසූරිය මහතා විසින් විපක්ෂයට එකල මේ ආකාරයේ විවාද ලබාදුන්නේ නැතැයි කියාය. එසේ කියමින් ජොන්ස්ටන් තරමක් උස් හඬින් යුතුව අදහස් පළ කරන ආකාරයක් දැකගන්නට ලැබුණු අතර රන්ජිත් එහිදී කියා සිටියේ පක්ෂ නායක රැස්වීමේදී වැදගත් ආකාරයට හැසිරීමට ඉගෙන ගන්න යැයි කියාය.
දිනේෂුත් සද්දෙ දමයි
ඉන් අනතුරුව සුමන්තිරන් තමන්ගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට කරුණු දැක්වීමත් සමඟ රැස්වීම යළිත් උණුසුම් වූයේ දිනේෂ් ඊට මැදිහත් වෙමින් දැඩි ස්වරයෙන් යුතුව අදහස් පළ කිරීමත් සමඟය. එහිදී දිනේෂ් කියා සිටියේ නැඟෙනහිර සිට උතුරට පෙළපාලි යෑමට ආරක්ෂාව ලබාදෙන්නේ කුමකටදැයි කියාය. ඊට වහාම මැදිහත් වෙමින් කිරිඇල්ල කියා සිටියේ මහින්ද දකුණේ සිට කොළඹට පෙළපාළි එද්දී එවක පැවැති ප්‍රේමදාස රජය විසින් මහින්දට ආරක්ෂාව සැපයූ බවත්, පාර්ලිමේන්තුව ඇතුළේ සිටින මහජන නියෝජිතයන් සියලු දෙනාටම ආරක්ෂාව සැපයීම ආණ්ඩුවේ වගකීමක් බවත්ය. එහිදීද දිනේෂ් උස් හඬින් යුතුව අදහස් දක්වන ආකාරයක් දැකගන්නට ලැබිණ. මේ හේතුව මත එම සාකච්ඡාව අවසන් වූයේ ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගෙනමය.
විමල්ලාගේ අනාගතය
ආණ්ඩුව ඇතුළේ මතුව පවතින විමල්ලාගේ අර්බුදයද මේ වන විට ඇත්තේ අවසානයක් නොමැතිව දිගටම ගලා යමින්ය. ඊට හේතු වී ඇත්තේ විමල් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක් ලබාදෙමින් කළ ප්‍රහාරයට එරෙහිව තවමත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් දිගටම විමල්ට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල වීමය. ඒ අනුව නැවත වතාවක් පොහොට්ටුවේ ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවූ පක්ෂ මහලේකම් සාගර කාරියවසම් කියා සිටියේ විමල් කර තිබූ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගැනීමක් සිදුවිය යුතු යැයි කියාය. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ලන්සා ප්‍රසිද්ධියේම කියා සිටියේ ආණ්ඩුව ඇතුළේ සාමූහිකව කටයුතු කිරීමට විමල්ලාට නොහැකි නම් ආණ්ඩුවෙන් එළියට බැස විපක්ෂයට යා හැකි යැයි කියාය. එමෙන්ම ජොන්ස්ටන්ද කුරුණෑගල පැවැති උත්සව අවස්ථාවකදී කියා සිටියේ ඇතැමුන් අයියාට කැමැති වී මල්ලීට අකැමැති බවත්, තවත් සමහරු මල්ලීට කැමැති වී අයියාට අකැමැති බවත්, එසේ වුවත් සියලුම රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට පොහොට්ටුව කටයුතු කරන බවත්ය.
භාගයක්ම ඇවිත් නෑ
මෙවැනි පසුබිමක් යටතේ විමල්ලාද නිකන් සිටියේ නැත. ඒ අනුව පසුගිය බදාදා රාත්‍රියේ විමල් තමන් සමඟ සිටින ආණ්ඩුවේ පක්ෂ නායකයන් නැවැත වතාවක් කැඳවීමට පියවර ගත්තේය. ඉකුත් වතාවේ සිය නිල නිවසේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට විමල් පියවර ගත්තද මෙවර විමල් එය සංවිධානය කර තිබුණේ බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදීය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඉකුත් වතාවේ විමල්ගේ නිවසට පක්ෂ 14ක නායකයන් පැමිණ සිටියද මෙවර සාකච්ඡාවට ඉන් හරි අඩක්ම පැමිණ නොසිටීමය. ඒ අනුව මෙවර සාකච්ඡාවේ සිටියේ පක්ෂ හතක නියෝජිතයන් පමණි. එමෙන්ම මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවැති බවක්ද දැකගත හැකි විය.
කෙසේ වෙතත් මෙවැනි වාතාවරණයක් යටතේ පොහොට්ටුවේ ප්‍රධානීන්ද විමල් ඇතුළු එම කණ්ඩායම සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගෙන ඇති ආකාරයක් වාර්තා වේ. ඒ, විමල් ඇතුළු මෙම පිරිස ඇතුව හෝ නැතිව ආණ්ඩුව ඉදිරියට රැගෙන යෑමටය. ඒ අනුව ඉදිරියේදී විමල්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් ආණ්ඩුව ඇතුළේ දියත් කිරීමටද මෙම පාර්ශ්ව තීන්දු කොට ඇති බවක්ද ආරංචිය.