ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බර් 18 වැනිදා දිවුරුම් දෙනු ලැබූයේ මෙරට දේශපාලන වංශ කතාවේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමිනි. ඒ ඓතිහාසික අනුරාධපුරයේදී දිවුරුම් දුන් පළමු ජනාධිපතිවරයා ලෙස තම නාමය ඉතිහාසයට එක් කරමිනි. මීට පෙර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයකුගේ දිවුරුම් දීමේ උත්සවයක් කොළඹින් බැහැරදී පවත්වා ඇත්තේ එක් වතාවක් පමණි.
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය නොවැම්බර් 18 වැනිදා දිවුරුම් දෙනු ලැබූයේ මෙරට දේශපාලන වංශ කතාවේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමිනි. ඒ ඓතිහාසික අනුරාධපුරයේදී දිවුරුම් දුන් පළමු ජනාධිපතිවරයා ලෙස තම නාමය ඉතිහාසයට එක් කරමිනි. මීට පෙර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයකුගේ දිවුරුම් දීමේ උත්සවයක් කොළඹින් බැහැරදී පවත්වා ඇත්තේ එක් වතාවක් පමණි. 1988 ජනාධිපතිවරණය ජය ගත් රණසිංහ ප්‍රේමදාස මහතා එලෙස කොළඹින් බැහැරදී තම ධුරයේ දිවුරුම් දුන් පළමු ජනාධිපතිවරයා ලෙස ඉතිහාස ගත වී ඇති අතර ප්‍රේමදාස මහතා එලෙස දිවුරුම් දී ඇත්තේ මහනුවර දළදා මාලිගාවේ පත්තිරුප්පුව මතදීය.
පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩි බලයක් ලබා දී ඇත්තේ සිංහල බෞද්ධ ජනතාව විසිනි. එබැවින් නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ඓතිහාසික අනුරාධපුරයේදී පැවැත්වීම, එක් අතකින් එම ජනතාවගේ සිහිනයක් ඉටු වීමක් බඳුය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් විශේෂ පීඨිකාව ඉදි කර තිබුණේ රුවන්වැලි සෑ රදුන් අබියස පිහිටා ඇති දුටුගැමුණු මහ රජුගේ පිළිරුව අබියසදීය. ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති, වසර දහස් ගණනක් පුරා රහතන් වහන්සේලාගේ පා පහසින් පාරිශුද්ධත්වයට පත් වූ රුවන්වැලි සෑ සළපතල මළුවේ, දුටුගැමුණු මහරජුගේ පිළිරුව ඉදිරියේදී සම්බුද්ධ ශාසනය මෙන්ම මෙරට මුළු මහත් ජනතාවට රැක බලා ගන්නා බවට නව ජනාධිපතිවරයා දිවුරුම් දීම සෑම දෙනාගේම පැසසුමට හේතු වී ඇත්තේ ඒ නිසාය. එදා අනුරපුරයට පැමිණ සිටි දහස් සංඛ්‍යාත ජනතාවක් නෙතට නැඟුණු කඳුළින් ඒ දෙස බලා සිටියේ ගැමුණු කුමරුන් නැවත රාජ පදවියට පත් වූවා වැනි හැඟීමක් සමඟිනි. සිංහල ජාතිය, බෞද්ධ සංස්කෘතිය පමණක් නොව දේශීයත්වය අගයමින් බටහිර බලවේග හමුවේ නොසැලෙනා නායකයකු තමන්ගේ පාලනය බාර ගත් බවට වූ විශ්වාසය ඒ සෑම සියලුදෙනා තුළම ඇති වී තිබෙන ආකාරය පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.
ක්‍රි.පූ. 4 වැනි සියවසේදී පණ්ඩුකාභය රජතුමන් යටතේ පළමු වරට අගනගරයක් බවට පත් වූ අනුරාධපුර රාජ්‍යයේ ස්වර්ණමය යුගය එළැඹෙන්නේ දකුණු රට උපන් ගැමුණු කුමරුන් විසින් ආක්‍රමණිකයකු වූ එළාර රජ පරදවා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම සමඟිනි. රුවන්වැලි සෑ මහරදුන් සැලකෙන්නේ දුටුගැමුණු රාජ යුගය සිහිපත් කරනා සුවිශේෂී සලකුණ ලෙසිනි. බුදුදහමට සහ එය රැක ගන්නා බුද්ධ පුත්‍රයන් වහන්සේලාට දැඩි අභියෝග රැසක් එල්ල වී ඇති සමයක දකුණේ උපන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මෙරට දුටුගැමුණු යුගයක් කරා නැවත රැගෙන යනු ඇතැයි යන්න බහුතර සංඝයා වහන්සේගේද අපේක්ෂාව වී ඇත. ගාමිණී අභය හෙවත් දුටුගැමුණු බමුණු මතවලට යට නොවුණු රජෙකි. රාජකීය කුමාරිකාවන් පාවා නොගෙන රජකම් කළ පළමු රජු ඔහුය. ලක්දිව ජනීජනයා බෙදී සිටි විවිධ ආගමික මතවාදවලින් ඉවත් කර මෙරට බෞද්ධ රාජ්‍යයක් බවට පත්කළේ දුටුගැමුණුය. විවිධ රජවරුන් රජකම් කළත් මෙරට ඒකීය රාජ්‍යයක් බවට පත්කළේද දුටුගැමුණුය. රටේ මෙන්ම ජනතාවගේද සතුරා වූ එළාර රජතුමා ද්වන්ධ සටනකින් පරාජය කළ දුටුගැමුණු එළාර වෙනුවෙන් සොහොනක්ද ඉදිකිරීමට පියවර ගත්තේය. සතුරු පිරිවර වූ එළාර ඇතුළු ඔහුගේ ජනතාවට හිරිහැර නොකරන ලෙස අණපනත්ද පැනවීය. එය අද බටහිරයන් විසින් කතා නොකරන පළමු යුද අපරාධ වැළැක්වීමය.
රුවන්වැලි සෑය අබියසදී දිවුරුම් දීමට ජනාධිපතිතුමන් ගත් තීරණය උන්වහන්සේ තුළද පිබිදීමක් ඇති කිරීමට සමත් වී ඇත්තේ ඒ නිසාය. සංඝයා වහන්සේ පමණක් නොව එක රටක් තුළ සාමකාමීව ජීවත් වීමට කැමැති අනෙක් ආගමික නායකයන් රැසක්ද එදින සිනහමුසු මුහුණින් අනුරාධපුරයට පැමිණ නව ජනාධිපතිතුමන්ට ආශිර්වාද කරන ආකාරය දක්නට හැකි විය.
එමෙන්ම සතුරන් මැඩපැවැත්වීම සඳහා දුටුගැමුණු රජතුමාට මහා ආනුභාවයක්, බලයක්, අනුහසක් පැවතුණු බව අතීතයේ සිටම කියැවෙන කාරණාවකි. එළාර ඇතුළු පිරිවර පරාජයට පත්කළේද ඒ සතුරන් නැසීමේ ආනුභාවයෙන් බව කියැවේ. එමනිසා මෙවරද මාතෘභූමිය එක්සේසත් කොට රටට විණ කිරීමට බලා සිටින සතුරන් පරාජයට පත්කිරීමේ අනුහස ලබා ගැනීම සඳහා ගෝඨාභය දුටුගැමුණු පිළිරුව දෙස බලාගෙන දිවුරුම් දුන් බවද මේ වන විට රජරට ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව ඇති කරුණක් වී තිබේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සංවිධානය කර ඇත්තේ පැය කිහිපයක් ඇතුළතය. ජනාධිපතිවරණය ජය ගත හොත් තමන් අනුරාධපුරයේ දිවුරුම් දෙන බවට කිසිදු ඉඟියක් ඒ මහතා ඊට පෙර පළ කර නොතිබුණු අතර එය ප්‍රකාශ කර ඇත්තේ ජයග්‍රහණයෙන් අනතුරුවය. එම තීරණය අනුරාධපුර ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේ වෙත දැනුම් දීමත් සමඟ උන්වහන්සේගේ නොමඳ ආශිර්වාදයද ඒ සඳහා හිමි වී ඇත. ස්වාමීන් වහන්සේගේ උපදෙස් මධ්‍යයේ එම කටයුත්ත මුළුමනින්ම සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර නායකයන් විසින්. ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සහ උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත් මහතාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතාද ඒ කටයුත්ත සඳහා දැඩි කැපවීමකින් දායක වී ඇත.
චාම් නමුත් ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය වූ එම උත්සවය දැක බලා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අති විශාල ජනතාවක්ද අනුරාධපුරයට පැමිණි සිටි අතර ජනාධිපති ධුරයේ දිවුරුම් දීම සඳහා වූ සුබ මොහොත යෙදී තිබුණේ පෙරවරු 11.48ටය. ස්වාමීන් වහන්සේගේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා එතැන් පටන් ගත් සියලුම තීන්දු, තීරණ ජනතාවගේ දැඩි ප්‍රසාදයට හේතු වී ඇත. ඉදිරි වසර 5 පුරාවට ඒ ආකාරයෙන්ම කටයුතු කරමින් ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටක් ලෙස ඉදිරියට ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි වනු ඇතැයි යන්න එතුමන්ට ඡන්දය දුන්, නොදුන් සියලුම දෙනාගේ අපේක්ෂාව වී ඇත. ගැමුණු පිළිරුව ඉදිරියේ ආශීර්වාද ලබමින් අලුත් ගමනක් ඇරැඹූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ඒ සඳහා අවශ්‍ය ජනතා ආශීර්වාදයද නොඅඩුව ලැබෙනු ඇත.
චන්දන පොන්නම්පෙරුම