හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් යට ගැසූ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ ඇතුළත් කරුණු සියල්ල ඔබ වෙත ගෙන එන බවට අප පසුගිය සතියේ පොරොන්දු වූයෙමු. ඒ අනුව පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළේ පිටු එක්දහස් ගණනකින් යුතු එම වාර්තාවේ දෙවැනි පරිච්ඡේදයෙන් හෙළි කර ඇති ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අදාළව සිදු කළ පරීක්ෂණ වාර්තාවේ ඇතුළත් තොරතුරුය. ක්‍රිකට් ආයතනයේ නොයෙක් වරදානයන්ට ලොබ බඳිමින් සිටිනා මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් කිසිවකුත් මෙතෙක් හෙළි කර නොමැති වෝහාරික විගණන වාර්තාවේ තෙවැනි පරිච්ඡේදයේ ඇතුළත් තොරතුරු අද ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්ය. එහි ඇතුළත්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී විකාශනය, ගුවන් විදුලි ප්‍රචාරය, ජංගම (රැහැන් රහිත) හා අන්තර්ජාල විකාශනය හා අනුග්‍රාහකත්ව ආදී අයිතීන් (International TV Broadcast, Radio Internet, Mobile and Sponsorship Rights) අලෙවි කිරීමට අදාළ ආදායම් එකතු කිරීම ඊට අදාළ අනෙකුත් කරුණු පරීක්ෂාවට අදාළ තොරතුරුය. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා යට ගැසූ මෙම වාර්තාව සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට දූෂණයට විරුද්ධ අවංක දේශපාලනඥයකු ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ ගෞරවයට පාත්‍රව ඇති වර්තමාන ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා කටයුතු කරනු ඇතැයි යන්න අපගේ බලවත් විශ්වාසයය.
වෝහාරික විගණන වාර්තාවේ තෙවැනි පරිච්ඡේදයට අදාළ වාර්තාවේ පසුබිම සැකවින් මෙසේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2018 දෙසැම්බර් 31 අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ගිණුම් සටහන් අංක 15 යටතේ ලැබිය යුතු අනුග්‍රාහක මුදල් ලෙස රු. 144,973,397ක් දක්වා තිබිණි. තවද ගිණුම් සටහන් අංක 15.1 යටතේ 2018 වර්ෂයේ පැවැති දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ ජාත්‍යන්තර රූපවාහිනී, රේඩියෝ, මොබයිල්, අන්තර්ජාල, අනුග්‍රාහකත්ව අයිතිය විකිණීමට අදාළ අනුග්‍රාහකත්ව ආදායමෙන් 15%ක මුදල් වටිනාකම වන ඇමෙරිකානු ඩොලර් 187,084.75ක් ලැබීමද ඇතුළත් බව දක්වා ඇත. තවද වාර්තා කරන දිනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී නොමැති බවත් සැපයුම්කරු එම ගෙවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවා ඇති බව තහවුරු කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් කිරීමට නිගමනය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී විකාශය අයිතියට අදාළ මුදල් අයකිරීමේ ක්‍රමවේදය අධ්‍යයනය කිරීම සහ ආයතනයේ ලැබිය යුතු සියලු ආදායම් නිසි පරිදි කාලීනව ක්‍රිකට් ආයතනය වෙත ප්‍රේෂණය වන බව තහවුරු කර ගැනීම හා ඊට අනුෂාංගික කරුණු පරීක්ෂාව කර 2018 වර්ෂයේ පැවැති දකුණු අප්‍රිකා සහ එංගලන්ත කණ්ඩායම්වල ශ්‍රී ලංකා සංචාරයන්ට අදාළ උක්ත රූපවාහිනී විකාශන අයිතියට අදාළ ආදායම් එකතු කිරීමේදී අක්‍රමිකතාවක් සිදු වී ඇත්දැයි තහවුරු කර ගැනීම එම පරිච්ඡේදයේ අරමුණු ලෙස සඳහන්ව ඇත.
මෙහිදී පරීක්ෂණයන්ට අදාළව විෂය පථය සීමා වීම පිළිබඳ කරුණුද වාර්තාවේ සඳහන්ව ඇත. එම කරුණු වාර්තාවේ සඳහන්ව ඇත්තේ මෙසේය.
- මෙම පරිච්ඡේදය සකස් කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙන තොරතුරු, ලිපි ලේඛන, දත්ත හා විද්‍යුත් තැපැල් පණිවිඩ සහ විද්‍යුත් දත්ත මත පදනම් විය.
- අප විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටිය භාවිත නොවුණු අවස්ථාවක ඒ පිළිබඳව වාචිකව ලබා ගෙන ලේඛනගත කරන ලද තොරතුරු මත පදනම් වූ නිරීක්ෂණද ඇතුළත් කරන ලදී.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අත්පොතක් පැවතියත් එම අත්පොත මඟින් ඉන්වොයිස් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ආවරණය කර නොතිබීම.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනත් පාර්ශ්ව සමඟ ඇති කර ගත් සියලුම ගිවිසුම් එක් වගකිව යුතු නිලධාරියකුගෙන් ලබා ගැනීමට නොහැකි වීම සහ සියලු ගිවිසුමවල සම්පූර්ණත්වය ගැටලු සහගත වීම.
- ඊමේල් පණිවිඩවල ආරම්භය (Originated Absolute Root) සොයා ගැනීමට Sony Pictures Network India (Pvt) Ltd මඟින් ඊමේල් headers ලබා ගත යුතුය. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ඊමේල් headers Sony Pictures Network India (Pvt) Ltd මඟින් ගෙන්වා දීමට අපොහොසත් විය.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙම පරීක්ෂා කරනු ලබන සිද්ධියට අදාළව ඊමේල් Audit Logs ලබා ගෙන තිබෙනුයේ 2018 අගෝස්තු මස 12 වැනිදා දක්වා පමණක් වීම.
- ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් ආරම්භ කර ඇතැයි සැක කෙරෙන බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබාදෙන ලෙස ඉල්ලීම් කළද, එම තොරතුරු විගණනය වෙත සෘජුව නොලැබීම.
අදාළ පරීක්ෂණ සිදු කළ ක්‍රමවේදය විගණන වාර්තාවේ දක්වා ඇත්තේ මෙසේය. - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී විකාශනය, ගුවන් විදුලි ප්‍රචාරය, ජංගම (රැහැන් රහිත) සහ අන්තර්ජාල විකාශනය සහ අනුග්‍රාහකත්ව අයිතිය (International TV Broadcast, Radio Internet, Mobile and Sponsorship Rights) විකිණීම පිළිබඳව කාලපරිච්ඡේදයට අදාළ වලංගු ගිවිසුම් පරීක්ෂා කිරීම.
- ජාත්‍යන්තර රූපවාහිනී විකාශන අයිතිය සම්බන්ධ මුදල් එකතු කිරීමේ සහ ඉන්වොයිස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ලිපිගොනු සහ පරිගණක පද්ධතිය ඇසුරින් පරීක්ෂා කිරීම.
- ජාත්‍යන්තර රූපවාහිනී විකාශන අයිතිය හා සම්බන්ධ අයිතීන් අලෙවි කිරීමද අදාළ ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ ප්‍රකාශ ලබා ගැනීම සහ අනෙකුත් ලේඛන පරීක්ෂාව.
ලිඛිත ප්‍රකාශ ලබාගත් පුද්ගලයන් පිළිබඳ විස්තර මෙසේය.
– බෝපගමගේ පාලිත මහේෂ් බෝපගමගේ (ගණකාධිකාරී ආදායම්)
– සිංහාරගේ ශාලිකා රුක්මාලි (මූල්‍ය අංශ ප්‍රධානිගේ විධායක සහායක)
– සූරියආරච්චිගේ නදීෂාන් පුෂ්පකුමාර (කළමනාකරු- තොරතුරු තාක්ෂණ)
– විජේසිංහ රුවන් ප්‍රදීප් ප්‍රේම කුමාර (ගිණුම් විධායක)
– සමරක්කොඩි මුදියන්සේලාගේ නන්දන රඹුක්පිටිය (ගිණුම් විධායක)
– ඈෂ්ලි ද සිල්වා (ප්‍රධාන විධායක නිලධාරි)
– පතිරගේ කමලිකා ප්‍රබුදිනී ප්‍රේමවර්ධන ජයසේකර (ගණකාධිකාරී)
– පියල් නන්දන දිසානායක (හිටපු මූල්‍ය ප්‍රධානී)
– සජීර සුරංජිත් රණවීර ආරච්චි (තොරතුරු තාක්ෂණ සහාය කළමනාකරු) - යථෝක්ත ආදායම් එකතු කිරීම සහ සම්බන්ධව එක් එක් පාර්ශ්ව සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කරන ලද ඊමේල් සන්නිවේදනය පරීක්ෂා කිරීම.
- 2019 පෙබරවාරි 18 දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායකගේ අනුමැතිය ඇතිව තොරතුරු තාක්ෂණ කළමනාකරු විසින් විගණනය වෙත ලබා දුන් ඊමේල් පණිවිඩ පරීක්ෂා කරන ලදී. එහිදී විගණනය වෙත ලබා දුන් ඊමේල් පිටපත්වල සාරාංශයක් පහත පරිදිය. (කෙසේ වෙතත් මා වෙත ලබා දුන් ඊමේල් පණිවිඩ අතරින් ආසන්නතම ඊමේල් පණිවිඩ දෙකක් අතර ඇති සන්නිවේදන සම්බන්ධය නිවැරදිව නොගැළපුණ අවස්ථා නිරීක්ෂණය වූයෙන් පහත දැක්වෙන ඊමේල් පණිවිඩවලට අමතරව විෂය ගත සිද්ධියට අදාළද, මා වෙත ඉදිරිපත් නොකෙරුණුද, ඊමේල් පණිවිඩ හුවමාරු වී ඇති බවද නිරීක්ෂණය විය. තවද මා වෙත ඉදිරිපත් කර ඇති ඊමේල් පණිවිඩ අතර සත්‍යය මෙන්ම ව්‍යාජ හෝ වංචනික ලෙස නිර්මාණය කළ ගිණුම් මඟින් හෝ ආශ්‍රිතව හුවමාරු වූ ඊමේල් පණිවිඩද තිබීමේ අවදානම බැහැර කළ නොහැක.) එම ඊමේල් පණිවුඩ සියල්ල වාර්තාවේ සඳහන්ව ඇත.
- තොරතුරු තාක්ෂණ කළමනාකරුගෙන් 2019 මැයි 02 සහ 2019 ජුනි 26 වැනි දිනයන්හිදී විගණනයට ලබා ගත් ලිඛිත ප්‍රකාශය අනුව, එවකට හිටපු මූල්‍ය අංශ ප්‍රධානියා විසින් ඇතැම් ඊමේල් පණිවිඩ ඔහුගේ ගිණුමෙන් මකා (Delete) ඇති බව ප්‍රකාශ කර ඇත. පසුව ඔහු විසින් මකා දමනු ලදැයි පැවසූ ඊමේල් පණිවිඩ නැවත ගන්නේයැයි (Retrieve) තොරතුරු තාක්ෂණ කළමනාකරු විසින් දක්වන ලද විගණනයට ඉදිරිපත් කරන ලදී.
- ජාතික විගණන කාර්යාලයේ පරිගණක තාක්ෂණය පිළිබඳ විශේෂඥතාවක් සහිත විගණන නිලධාරීන් විසින් ඊමේල් ගනුදෙනුවලට අදාළ පරිගණක පද්ධතිය සහ ඊට සම්බන්ධ කරුණු පරීක්ෂා කිරීම.
- ඊමේල් පණිවිඩ ආශ්‍රිත ගනුදෙනුවලට අදාළ නිවැරදිතාව තහවුරු කර ගැනීම සඳහා පරිගණක තාක්ෂණය පිළිබඳ බාහිර විශේෂඥයකු ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙහි (Sri Lanka CERT) සහාය ලබා ගැනීම සහ එහිදී ඔවුන්ගේ නිරීක්ෂණ වාර්තාවක් ලෙස ලබා ගැනීම.
- 2018 වර්ෂයට අදාළව ගිවිසුම්ගත ආයතන වෙතින් ජාත්‍යන්තර රූපවාහිනී විකාශන අයිතිය සහ ඊට අනුෂාංගික කාරණා සම්බන්ධව ලැබිය යුතු මුදල් සහ ලද මුදල් පිළිබඳ පරීක්ෂා කිරීමේදී පහත ලේඛනද පරිශීලනය කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් තැබීම සඳහා පවත්වා ගෙන යනු ලබන Sage ගිණුම්කරණ පැකේජය තුළ වූ මුදල් පොතෙහි මුදල් ලැබීම් සටහන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි විගණනයට ඉදිරිපත් කරන ලද 2018 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගත කරන ලද විගණනය සඳහා ඉදිරිපත් කරන ලද ක්‍රියාකාරී බැංකු ගිණුම්වල මාසික බැංකු ප්‍රකාශන, විදේශ මුදල් ප්‍රේෂණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බැංකු ගිණුම් වෙත ලැබීමේදී (Foreign Remittance) එය සනාථ කරමින් ලංකා බැංකුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඊමේල් කරන ලද ප්‍රකාශන, එක් එක් තරගාවලීන් සඳහා ජාත්‍යන්තර රූපවාහිනී විකාශන අයිතිය (Foreign TV Right) සඳහා ගිණුම් තබන ලද ලෙජර් ගිණුම් සටහන්, යථෝක්ත මුදල් ලැබීම් සනාථ කර ගැනීම සඳහා මා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හරහා Sony Pictures Networks India (Pvt) Ltd ආයතනය වෙතින් මුදල් ලැබීම් පිළිබඳ 2019 අප්‍රේල් 18 වැනි දින NAO/FOA/SLC/2019/INF/25 දරන ලිපිය මඟින් කරන ලද තොරතුරු කැඳවීමට ප්‍රතිචාර ලෙස එකී ලිපියේ පරිදි Sony Pictures Networks India (Pvt) Ltdys Rajiv Bhargava විසින් ජාතික විගණන කාර්යාලයේ [email protected] ඊමේල් ගිණුම වෙත 2018 අප්‍රේල් 18 දින ඊමේල් පණිවිඩයක ඇමුණුම් සමඟ ඉදිරිපත් කරන ලද Excel ආකෘතියකින් ඉදිරිපත් කර තිබුණු විස්තරාත්මක තොරතුරු වාර්තාව.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී විකාශනය, ගුවන් විදුලි ප්‍රචාරය, ජංගම (රැහැන් රහිත) හා අන්තර්ජාල විකාශනය සහ අනුග්‍රාහකත්ව අයිතීන් අලෙවි කිරීමට අදාළ සිද්ධි අධ්‍යයනයේදී එහි පසුබිම හඳුනා ගත් ආකාරය ඉන් අනතුරුව විගණන වාර්තාවේ සඳහන්ව ඇත. ඒ යටතේ එම විකුණුම්වල ඉතිහාසය අධ්‍යයනය කිරීමද සිදු කර ඇති අතර මෙම වාර්තාවට අදාළ කාලපරිච්ඡේදය වන 2013 වර්ෂයේ එලැඹි ගිවිසුමට අමතරව, ඊට පෙර වසර 10කට අදාළ ගිවිසුම් සාරාංශයක්ද විගණන වාර්තාවේ ඇතුළත්ව ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි ආදායම් එකතු කිරීමට අදාළව ඉන්වොයිස් පිළියෙල කිරීමට සහ මුදල් එකතු කර ගැනීම සඳහා ලිඛිත අනුමත ලත් ක්‍රමවේදයක් ස්ථාපිතකර ඇති බවට විගණනයේදී තහවුරු වී නොමැත.
2018 වර්ෂය තුළ ජාත්‍යන්තර විකාශය අයිතිය හා සම්බන්ධ යථෝක්ත ගිවිසුම්ගත ආයතන වෙතින්, එනම් Aqua Holding Investments (Pvt) Ltd වෙතින් ඇ. ඩො. 499,960ක් හෙවත් මුදල් ලද දිනට විනිමය අනුපාතය අනුව රු. 77,278, 853.20ක් වටිනා මුදලක් සහ Sony Pictures Networks India (Pvt) Ltd වෙතින් ඇ. ඩො. 12,901,612ක් හෙවත් මුදල් ලද දිනට විනිමය අනුපාතය අනුව රු. 1,912,468,120.03ක් වටිනා මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී තිබිණි. ඒ අනුව 2018 වර්ෂය තුළ මෙම ආයතන 02 වෙතින් ලද මුදල ඇ. ඩො. 13,401,572ක් හෙවත් මුදල් ලද දිනට විනිමය අනුපාතය අනුව රු. 1,989,746,973.23ක් වී තිබිණි.
පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයක් ඇති කළ දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව රූපවාහිනී විකාශන අලෙවි ආදායමට ආදායම් එකතු කිරීම පිළිබඳව විගණන වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.
යථෝක්ත දකුණු අප්‍රිකා සංචාරයට අදාළ ගිවිසුම් උප ලේඛන, I, II A, II ප්‍රකාරව 2019 වර්ෂයේ මැයි, ජූලි, අගෝස්තු මාසවල පැවැත්වෙන බවට තොරතුරු ඇතුළත් කර තිබූ ටෙස්ට් තරග 03ක්, එක්දින තරග 05කින් සහ විස්සයි විස්ස තරග 03කින් යුතුව සැලසුම් කරන ලද තරගාවලියක් වී තිබිණි. දකුණු අප්‍රිකා ක්‍රිකට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යථෝක්ත තරගාවලිය 2018 වර්ෂයේ පැවැත්වීම සඳහා කටයුතු කර තිබූ අතර යථෝක්ත තරගාවලිය 2018 ජූලි මස 12 වැනි දින සිට අගෝස්තු මස 14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ පැවැති අතර එම තරගාවලිය ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 05ක් සහ විස්සයි විස්ස එක් තරගයකින් සමන්විත වී තිබිණි.
ඒ අනුව තරගාවලිය වෙනුවෙන් රූපවාහිනී විකාශන අයිතිය සහ ඊට අනුෂාංගික වෙනත් අයිතීන් වෙනුවෙන් සෝනි ටී.වී. නෙට්වර්ක් (පුද්) සමාගම වෙතින් 2018 වර්ෂය තුළ ඇ. ඩො. 1,247,232ක මුදලක් ලැබිය යුතුව තිබුණු අතර ඇ.ඩො. 1,060,146.92ක මුදලක් පමණක් ලැබී තිබිණි. එනම් ලැබිය යුතු මුදලින් 15%ක මුදලක් ලැබී නොතිබිණි. එම සංචාරය අදාළව මුදල් එකතු කර ගැනීම සඳහා ආයතන මඟින් නිකුත් කරන ලද ඉන්වොයිස් පත්‍රවල සාරාංශ විගණන වාර්තාවේ සටහන්ව ඇත.
ඉන් අනතුරුව පැවැති එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව සිදු කළ පරීක්ෂණ විගණන වාර්තාවේ සඳහන්ව ඇත්තේ මෙසේය.
යථෝක්ත තරගාවලිය 2018 ඔක්තෝබර් 10 වන දින සිට 2018 නොවැම්බර් 27 දින දක්වා ශ්‍රී ලංකාවේ පැවැති අතර එම තරගාවලිය ටෙස්ට් තරග තුනකින්, විස්සයි විස්ස තරග එකකින් සහ එක්දින තරග පහකින් සමන්විත වී තිබිණි. එම තරගාවලිය වෙනුවෙන් රූපවාහිනී විකාශන අයිතිය, සත්කාරකත්වය ඊට අනුෂාංගික වෙනත් අයිතීන් වෙනුවෙන් Sony Pictures Networks India Pvt) Ltd වෙතින් ඇ.ඩො. 11,128,809ක් ලැබී තිබිණි. එම සංචාරයට අදාළව මුදල් එකතු කර ගැනීම සඳහා ආයතනය මඟින් නිකුත් කළ ඉන්වොයිස් පත්වල සාරාංශද විගණන වාර්තාවේ දක්වා ඇත.
එම ඉන්වොයිස් පරීක්ෂා කිරීමේදී ලද නිරීක්ෂණ විගණන වාර්තාවේ සඳහන්ව ඇත්තේ මෙසේය.
යථෝක්ත ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියට අදාළ සියලුම සන්නිවේදන කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඊමේල් ගිණුම හරහා සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ඉන්වොයිසියක් ඉදිරිපත් කිරීමේදී එකී මුදල් බැරකළ යුතු ගිණුම ලෙස ඉන්වොයිසියේ සඳහන් කරනුයේ ආයතනයේ නිල බැංකු ගිණුම වන ලංකා බැකුවේ අංක 8746681 දරන ගිණුම වේ. එසේ වුවද පහත සඳහන් ඉන්වොයිසි පරීක්ෂාවේදී එම නිල බැංකු ගිණුම වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් ආරම්භ කර ඇති වෙනත් බැංකු ගිණුම්වලට අදාළ බැංකු විස්තර එම ඉන්වොයිසිවල ඇතුළත් කර තිබූ බව නිරීක්ෂණය විය. ඒවා මෙසේය. - 2018 වර්ෂයේ ජූලි 12 සිට අගෝස්තු 14 දින දක්වා දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ජාත්‍යන්තර රූපවාහිනී රේඩියෝ මොබයිල් අන්තර්ජාල අනුග්‍රාහක අයිතිය විකිණීමේ ගිවිසුම අනුව දෙවැනි අය කිරීම වන 35% අය කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ ඉන්වොයිස් අංක SLC-A-18-019
- එම සංචාරය අදාළ ජාත්‍යන්තර රූපවාහිනී රේඩියෝ මොබයිල් අන්තර්ජාල අනුග්‍රාහක අයිතිය විකිණීමේ ගිවිසුම අනුව තෙවැනි අය කිරීම වන 15% අයකර ගැනීමට අදාළව නිකුත් කළ ඉන්වොයිස් අංක SLC-A-18-20
- 2018 වර්ෂයේ ඔක්තෝබර් 10 දින සිට නොවැම්බර් 27 දින දක්වා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ ජාත්‍යන්තර රූපවාහිනී රේඩියෝ මොබයිල් අන්තර්ජාල අනුග්‍රාහක අයිතිය විකිණීමේ ගිවිසුම අනුව පළමු අයකිරීම වන 50% අය කර ගැනීමට අදාළව නිකුත් කළ ඉන්වොයිස් අංක SLC-A-18-21
එම ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සහ Sony Pictures Networks India (Pvt) Ltd අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩ (විගණකාධිපතිවරයා වෙත ලබා දුන්) සියල්ල පරීක්ෂාවට ලක් වී ඇති අතර අදාළ ඊමේල් පණිවිඩ සියල්ල විගණන වාර්තාවේ සඳහන්ව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අදාළ සමාගම් අතර ඇති වූ ගිවිසුම් කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය අයිතිවාසිකම් හෝ නොසලකා හැරීමක් සිදු කර ඇති බව නිරීක්ෂණය වී ඇත. විගණනය සඳහා ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු බැංකු ගිණුම් 15 අතරින් පෞද්ගලික බැංකු 02ක පවතින ගිණුම් 04ක් කවර අරමුණක් සඳහා කෙදිනක ආරම්භ කරන ලද්දේද යන්න තහවුරු කිරීමට පාලනාධිකාරියට නොහැකි වී ඇත. එම ගිණුම්වලින් 04ක් වසා දමා තිබූ අතර තවදුරටත් කොමර්ෂල් බැංකුවේ අංක 2420814532 දරන ගිණුම වසර 07ක ආසන්න කාලයක් අක්‍රියව පවතින අතර 2018 දෙසැම්බර් 31 දිනට ඇ.ඩො. 3.46ක ශේෂයක් එහි පවතින බවද නිරීක්ෂණය වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සතු බැංකු ගිණුම් ලෙස විගණනට ඉදිරිපත් කළ ගිණුම්වලට පරිබාහිරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නමින් විදේශීය බැංකු ගිණුම් පවතින බව ඊට අදාළ විද්‍යුත් පණිවිඩ පරීක්ෂාවේදී නිරීක්ෂණය වී ඇත. මේ ආකාරයෙන් Banamex Bank, Bbva Compass Bank, Wells Fargo Bank NA යන විදේශීය බැංකුවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නමින් පවත්වා ගෙන යන ගිණුම් පිළිබඳ විස්තර විගණන වාර්තාවේ දක්වා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නමින් එලෙස විදේශීය බැංකු ගිණුම් පවත්වා ගෙන නොයන බව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායකවරයා විසින් විගණනය වෙත දන්වා තිබෙන නමුත් තොරතුරු තාක්ෂණ නිලධාරීන් විගණනය වෙත ලබා දුන් තොරතුරු අනුව එම විදේශීය ගිණුම් පිළිබඳව ප්‍රධාන විධායකවරයා දැනුවත් සිටි බව තහවුරු වී ඇත.
දකුණු අප්‍රිකා තරගාවලියට අදාළ මුදල් ලබා ගැනීම සඳහා ඉන්වොයිස් පිළියෙල කිරීමේදී එහි දින වැරදියට යෙදීමක් සිදු වී තිබෙන අතර අභ්‍යන්තර නිලධාරීන් 04 දෙනකු පරීක්ෂා කළද එම වරද නිවැරදි කර නැත. ඉහළ පෙළේ නිලධාරීන් සිවු දෙනකු මේ ආකාරයෙන් ක්‍රියා කිරීම නිසි සැලකිල්ලකින් තොරව රාජකාරි ඉටු කිරීමක් බවට නිරීක්ෂණය වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹ තිබූ ගිවිසුම්වලට අනුව මුදල් නියමිත දිනට අයකර ගත හැකි වන ලෙසට 2018 වර්ෂයේදී පමණක් අවස්ථා 05කදී ඉන්වොයිස් යැවීම ප්‍රමාදව තිබූ බව නිරීක්ෂණය වී ඇත.
දකුණු අප්‍රිකා සහ එංගලන්ත සංචාරයන්ට අදාළ මුදල් විදේශීය බැංකු ගිණුම්වලට බැර කිරීමට උත්සාහ දැරීම සම්බන්ධ දීර්ඝ නිරීක්ෂණයක් විගණන වාර්තාවේ සඳහන්ව ඇත. එහිදී අදාළ මුදල් වෙනත් ගිණුමකට යවන ලෙස ප්‍රධාන මූල්‍ය නිලධාරි ප්‍රකාශ නොකළ බවට සහ ප්‍රධාන විධායක නිලධාරි දැන නොසිටි බව තහවුරු කිරීමට විගණනයට සාක්ෂි ලැබී නොමැති බවද වාර්තාවේ සඳහන්ව ඇත. ඒ පිළිබඳව කරුණු සවිස්තරාත්මකව වාර්තාවේ සඳහන්ව ඇත.
එම පරිච්ඡේදය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා එළැඹ ඇති නිගමන මෙසේය. - ජාත්‍යන්තර රූපවාහිනී විකාශන අයිතිය අලෙවි කිරීමට අදාළව මුදල් අය කර ගැනිමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුම් ප්‍රකාරව කටයුතු කර නොමැති බව.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නමින් විදේශීය බැංකුවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරයකින් සහ පාලනයකින් බැහැරව ගිණුම් පවත්වා ගෙන යෑම මූල්‍ය අක්‍රමිකතාවන්ට හේතු විය හැකි බව.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විද්‍යුත් තැපැල් ගිණුම් පද්ධතියෙහි තනි තනි විද්‍යුත් තැපැල් ගිණුම් වශයෙන් හෝ සමස්තයක් වශයෙන් අනවසර ප්‍රවේශයක් (Compromise) සිදුව ඇති බව.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්වොයිස් ක්‍රියාවලියේ හා තොරතුරු තාක්ෂණ පද්ධතියේ අභ්‍යන්තර පාලනය දුර්වල වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු වූ ඇ.ඩො. 187,084.75ක මුදලක් වෙනත් ගිණුමකට ගෙවීමට සහ ඇ.ඩො. 11,565,350ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පරිබාහිර ගිණුමකට යැවීමටත් හේතු වී ඇති බව.











