‘මම මගේ විවාහය ගැන බොහොම සුන්දර බලාපොරොත්තු තියාගත්තු ගැහැණියක්. මගේ මවුපියන් දික්කසාද වූ නිසා මගේ විවාහයටත් එසේ සිදු නොවිය යුතු යැයි මම හැම විටම ප්‍රාර්ථනා කළා. එහෙත් පසුකාලයක් යන විටදී මම දැනගත්තා අපේ විවාහයේ දෙදෙනකු නොව තිදෙනකු සිටින බැව්. මගේ ස්වාමියා චාල්ස්ට කැමිලා පාකර් නමැති කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබෙන බැව් මම දැනගත්තා. මේ නිසා මම ඉතා ඉක්මනින්ම මානසික අසහනකාරී තත්ත්වයකට පත්වුණා. රාජකීය පවුලේ බොහෝ දෙනකු මම මානසික රෝගියකු යැයි සිතන්නට ගත්තා. එහෙත් මම දරුවන් දෙදෙනකුගේ අම්මා කෙනෙක්. මට මේ දරුවන් හදාවඩා ගැනීමේ වගකීම තිබුණා. කෙසේ හෝ චාල්ස්ගේත්, මගේත් විවාහ ජීවිතය දිනෙන්, දිනම දෙදරා යන්නට පටන් ගත්තා. ඒවාට කිසිම විසඳුමක් තිබුණේ නැහැ. තිබුණු එකම විසඳුම තමයි දික්කසාදය පමණයි. අද මම එම තත්ත්වයට පත්වී සිටිනවා.
කුමක්ද මේ හැඟීම්බර කතාන්දරය. මේ වදන්පෙළ අහස් කුස සිසාරා යන්නේ මෙයට හරියටම වසර 25කට පෙරදීයි. එනම් 1995 නොවැම්බර් 20 වැනිදා මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) සිටින රාජකීයයන්ගේ බිම්කඩකින් එම වගතුග ඇසෙන්නට විය. මුළු මහත් ලොවකසේම හදවත් දිනාගත් ‘ජනතාවගේ කුමරිය’ නොහොත් වේල්සයේ ‘රෝස කුසුම’ යැයි ආදරයෙන් හඳුන්වන ඩයනා කුමරිය තමන්ගේ ජීවිතය ගැන එදා බී.බී.සී. රූපවාහිනී සේවය වෙත සිදුකළ සුවිශේෂී ප්‍රකාශයක එසේ සඳහන් විය. සාමාන්‍ය උසස් පාන්තික පවුලක සිට පසුව ලොව ප්‍රබලතම රාජකීය පරම්පරාව වන එංගලන්තයේ රජ පවුල සමඟ ඇය සම්බන්ධ වූයේ එරට රාජකීය කිරුල හිමි චාල්ස් කුමාරයා සමඟ අතිනත ගැනීමෙන් පසුවය.
තම විවාහ ජීවිතයේ කඩාවැටීම් ගැනත්, රාජකීය පවුලේ වෙනත් හෙළි නොවූ තොරතුරු ගැනත්, ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් රැසක් ඩයනා කුමරිය විසින් එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළාය. එසේම එය දැඩි ආන්දෝලනයකට ලක්වූයේ එම කරුණු ප්‍රථම වතාවට ඇය විසින් සමාජයට හෙළිකර සිටීම හේතුවෙනි. මෙම විශේෂ රූපවාහිනී සාකච්ඡාව විනාඩි 53ක කාලයකින් යුක්ත වූ අතර, එය එකල එංගලන්තයේ පමණක් ප්‍රේක්‍ෂකයන් මිලියන 25කට අධික ප්‍රමාණයක් නරඹා තිබිණි. ලොව වටා නැරැඹූ පිරිස මිලියන සිය ගණනක් ඉක්මවා ගියේය. එකල තමන් රාජකීය පවුලෙන් ඉවත් වීම හේතුවෙන් ඩයනා කුමරියට මුහුණ පාන්නට වූ විවිධ භයානක තර්ජනද ඇය විස්තර කර සිටියාය. ඇයගේ මරණය පවා සැලසුම් සහගත ඝාතනයක් යැයිද විවිධ මතිමතාන්තරද පළවිය. රාජකීය පවුලෙන් බැහැර වී ඇය එම පවුලේ විවිධ රහස්‍යමය තොරතුරු යොදා සමාජය වෙත හෙළිකිරීම නිසා එකල රජ පවුල උරණ වී සිටියේය.
කෙසේ හෝ අද අප පැමිණ සිටින්නේ වසර 25ක් ගෙවනු තැනටය. එතැනදී අද එනම් 2021 වසරේදී, මෙම රාජකීය වගතුග කුමන ස්ථානයකට යොමුවනු ඇතිද? එදා ඩයනා කුමරිය එම සුවිශේෂි කරුණු හෙළිකලාක් මෙන් අද එංගලන්ත රාජකීය පවුලේ විශේෂිත වගතුක් හෙළිකර සිටින ගැහැනිය කවුද? ඇය කවුදැයි සොයන්නට පෙර එම කතාව මඳක් අසා සිටිමු. ඇයද රාජකීය කුමාරිකාවකි.
‘මම අතිශයින්ම සාමාන්‍ය පවුලක උපන්න කෙනෙක්. මට රාජකීය පවුලක ක්‍රමයක් ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. එහෙත් මට පසුකාලයකදී රාජකීය පවුලකට සම්බන්ධ වෙන්නට ලැබුණා. මුලින් මම මේ ගැන යම් සතුටක් තිබුණත් පසුව මේ ජීවිතය ගැන මම කළකිරෙන්නට ගත්තා. කෙසේ වෙතත් මම දැන් එංගලන්තයේ රාජකීය පවුලේ සාමාජිකාවක්. අපගේ විවාහයෙන් පස්සේ අපට ලැබෙන්නට හිටිය පළමු දරුවාගේ ස්වරූපය ගැන රාජකීය පවුලේ බොහෝ දෙනකුගේ දැඩි අවධානය යොමු වුණා. මම කළු සම්භවයක් සහිත ගැහැනියක් නිසා ලැබෙන දරුවා කුමන සමේ වර්ණයකින් සහ හිසකෙස් වර්ණයකින් යුක්ත වේදැයි රජ පවුලේ සාමාජිකයන් කතා කරන්නට ගත්තා. ඒ ගැන සමහර අය මගේ ස්වාමියාගෙන් පවා පුද්ගලිකව කතා කරලා තිබුණා. මෙම තත්ත්වය මාව දැඩි කළකිරීමකට පත්කළා. යම් හෙයකින් කළු සමක් සහිත දරුවකු ලැබුණහොත් එම දරුවාට ලැබෙන ආරක්‍ෂාව සහ තනතුරු, තාන්නමාන්න ගැනත් ප්‍රශ්නකාරී ලෙස කතාබස් කර තිබුණා. මෙම තත්ත්වය නිසා මම ගැහැනියක ලෙස මහත් දැඩි මානසික පීඩාවකට පත්වුණා. මෙවැනි දේවල් රජ පවුලේ සාමාජිකයන් විසින් සොයා බැලීම ඒ අයටත් මහත් නින්දාවක් නොවේද? මෙවැනි තත්ත්වයක් යටතේ මට රාජකීය පවුලේ ජීවිතය තුළදී සියදිවි හානිකර ගැනීමට පවා මට සිතුණා. මම මේ තත්ත්වය මගේ ස්වාමියාටවත් මින් පෙර පවසා නැහැ. ප්‍රථම වතාවට අදයි මම එය හෙළි කළේ.’
සත්‍ය ලෙසම මහත් ආන්දෝලනයක් ඇති කරන මෙම කතාව කියා සිටින කාන්තාව කවුද? ඇය අද ලෝකයේ සිටින අති සුවිශේෂි චරිතයක් වන එංගලන්තයේ ඔටුන්න හිමි හැරී කුමාරයාගේ බිරිය වන රැකල් මෙගාන් මැඩොල්ය. අද ලොව ඇය ප්‍රකට ලෙස හඳුනන්නේ මෙගාන් මාකෙල් ලෙසින් වන අතර, ඇය දැනට 39 වැනි වියෙහි පසුවෙයි. ඇය ඇමෙරිකානු ජාතිකයකු වන අතර, ඇමෙරිකානු රූපවාහිනී සහ සිනමා නිළියක් ලෙසද ප්‍රකටය. ඇය කෙටි පෙම සබඳතාවයකට පසු එංගලන්තයේ හැරී කුමරුන් හා විවාහ වූයේ පසුගිය 2018 වසරේදීය. වසර 15කට ආසන්න කාලයක් ඇය තමන්ගේ නිළි වෘත්තියේ රැඳී සිටි අතර, පසුව හැරී කුමරු හා විවාහ වීමෙන් පසුව එංගලන්තයේ වින්ඩ්සර් රජ මාලිගයේ පදිංචි වූවාය. වත්මන් එළිසබෙත් මහා රැජින සහ පිලිප් කුමාරයා මෙන්ම, අනෙකුත් රාජකීය පවුලේ සාමාජිකයන් රැසක්ද මෙම මාලිගයෙහි පදිංචිව සිටිති. මෙතෙක් මාකෙල් හැරී කුමරු සමඟ වසරක පමණ කාලයක් ප්‍රේම සබඳතාවයක් පවත්වා 2018 දී විවාහ වන අතර, විවාහයෙන් පසු රාජකීය පරම්පරාවට අනුව ඇයට සසෙක්ස්හී ‘ආදිපාදවරිය’ යන ගුරු නාමය හිමිවෙයි. මේ අනුව මෙම නව යුවළට 2019 වසරේදී පුතෙකු ලැබෙයි. දැන් ඔබට ඇයගේ පසුබිම අවබෝධ වනු ඇති අතර, ඉහත කතාව ගලාගෙන යන්නේ එවැනි වටාපිටාවක් යටතේදීය.
කෙසේ හෝ මෙම තරුණ රාජකීය යුවළ අනෙකුත් රාජකීයයන්ගෙන් වෙන්වූ වෙනස් මගක යන්නට ගත්තේය. මෙයට වසර 25කට පෙර එවැනි මගක යන්නට වූ එකම ප්‍රකට රාජකීය චරිතය වූයේ ඩයනා කුමරියයි. ඩයනා කුමරියගේ එම ජීවිතය අතිශයින්ම ප්‍රබල ලෙස ලෝක ඉතිහාසයට එක්වූ කතාන්දරයකි. ඇයගේ එම වගතුගෙන් පසුව දැන් මේ දිනවල රාජකීය පරම්පරාවෙන් මිදී ජීවිතය ගතකරන්නට ගත් රාජකීය යුවළ වන්නේ හැරී කුමරු සහ මෙගාන් ආදිපාදවරිය වෙයි. මොවුන්ගේ මෙම අපූරු කතාවේ උච්චස්ථානය එළැඹියේ පසුගිය 2020 වසරේදීය. එනම් එංගලන්තයේ රාජකීය පරම්පරාව මහත් විමතියට පත්කරමින් ඔවුන් 2020 වසරේදී රාජකීය පවුලේ කටයුතුවලින් නිල වශයෙන් ඉවත් වුණේය. එනම් වින්ඩ්සර් රජ මාලිගයෙන් සහ එම රාජකීය නෑ හිතවතුන්ගෙන්ද ඉවත් වූ අතර, එතැනින් නොනැවැතී එම යුවළ එංගලන්තයෙන් නික්ම ඇමෙරිකාවේ පදිංචියට ගියේය. මෙම සිදුවීම ලොව මහා විරාජනක තත්ත්වයකලා සැලකෙන එළිසබෙත් මහා රැජන දැඩි නොසන්සුන්තාවයකට පත්කළාය. එමෙන්ම එම සිදුවීම ලොව පුරා අතිශය මහත් ආන්දෝලනයක්ද ඇති කළේය. මේ අනුව අද වත්මනේ මෙම යුවළ තම දරුවන්ද සමඟ සියලු රාජකීය වරප්‍රසාද හැරදමා ඇමෙරිකාවේදී සාමාන්‍ය වැසියන් ලෙස ජිවත් වෙති.
මෙය සැබෑ ලෙසම අතිශය පුදුමාකාර කතාන්දරයකි.
රාජකීය ජීවිතයට ගිජු නොවුණු ඔවුන් ඉතාමත් පුදුමාකාර තරුණු යුවළක්ද විය. කෙසේ හෝ මොවුන් එංගලන්ත රාජ පරම්පරාව හැර යෑමෙන් පසු මෙතෙක් කිසි මාධ්‍ය සාකච්ඡාවක් මාධ්‍යයට ලබා දී නොතිබිණි. ඒ අනුව පසුගියදා ඇමෙරිකාවේදී ඔවුන්ගේ ප්‍රථම මාධ්‍ය හමුව රූපවාහිනී මාධ්‍යය හරහා පැවැත්විණි. එනම් මෙය අති සුවිශේෂී සාකච්ඡාවක් වූ අතර, මෙම යුවළගෙන් සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා පසුගිය මාස ගණනාවක් තුළ ප5කට රූපවාහිනී ආයතන රැසක් උත්සාහ කළේය. එහෙත් ඔවුන් මෙම සාකච්ඡාව ලබා දී ඇත්තේ, අද වත්මන් ලෝකයේ අතිශයම ප්‍රකට, එමෙන්ම උච්ච ස්ථානයක සිටින රූපවාහිනී නිෂ්පාදකවරියක් වන ඩප්රා වින්ග්රි වෙතය. ඩප්රා වින්ග්රි යනු ඇමෙරිකානු රූපවාහිනී මධ්‍යස්ථානයක හිමිකාරිනියක් වන අතර, ඇය 1973 වසරේ සිට ලෝකයේ ප්‍රකට පුද්ගලයන් සමඟ සාකච්ඡා පවත්වන්නීය. ඇය ලොව සිටින ඉතාමත්ම ධනවත්ම නිවේදකවරියක්ද වන අතර, 2020දී ඇයගේ වත්කම ඩොලර් බිලියන 2.5කි. කෙසේ හෝ පසුගියදා ඇය මෙම රාජකීය යුවළ සමඟ සිදුකළ අතිශය ආන්දෝලනාත්මක සාකච්ඡාව මේ වන විට ලොව පුරා ප්‍රේක්‍ෂකයන් මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් නරඹා ඇත.
හැරී – මෙගාන් යුවළගේ අතීත ආවර්ජනයක්ද ඔබට එලෙස ලියා තැබුවේ මෙම කතාවේ යම් ස්ථානයකට ඔබ ගෙන එන්නටය. දැන් එතැනට අපි පැමිණ සිටිමු. මෙයට දින කිහිපයකට ඉහතදී විකාශය වුණු එම රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාව විනාඩි 63ක් පුරා දිවෙන දීර්ඝ වැඩසටහනක් වන අතර, ඒ සඳහා හැරී – බෙගාන් යුවළම සහභාගි වී ඇත. එහෙත් එහිදී බොහෝ විට මෙගාන් මාකෙල් දක්වන අදහස් දැඩි ආන්දෝලනයක් ඇති කළේය. මෙම තත්ත්වය හරියට මෙයට වසර 25කට පෙර ඩයනා කුමාරිය විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක රූපවාහිනී වැඩසටහනට සමානකම් දක්වන්නට විය. එහෙත් ඩයනා කුමාරිය එහිදී ප්‍රධාන වශයෙන් කතා කළේ තමන්ගේ දෙදරා ගිය විවාහය ගැන වන අතර, රජ පවුල ගැනද බොහෝ ආන්දෝලනාත්මක අදහස් ප්‍රකාශ කළාය. කෙසේ හෝ අද මෙගාන් යනු එදා සිටි ඩයනා කුමරියද? සත්‍ය වශයෙන්ම එසේ නොවුණත් ඇයද ඩයනා කුමරිය මෙන් එංගලන්ත රජ පවුලෙන් යම් ආකාරයකට බැට කෑ සාමාන්‍ය පවුලක ගැහැනියකි. ඩයනා කුමරියගේ සහ චාල්ස් කුමාරයාගේ කසාදයේ මෙන් නොවූ මෙම හැරී – මෙගාන් කසාදය මේ වන විට අති සාර්ථක අයුරින් ගතවන එකක් බවද අප දතයුතුය. මෙගාන් මාකෙල් තම අදහස් ඔප්රා වින්ෆ්‍රි වෙත කියා සිටින්නේ මෙසේය.

‘අපි පසුගිය 2020 ජනවාරි මාසයේදී රාජකීය පවුලේ කටයුතුවලින් ඉවත් වෙන්නට තීරණය කළා. හැරී සමඟ විවාහ වීමට පෙර මට එංගලන්තයේ රාජකීය පවුල ගැන නිසි අවබෝධයක් තිබුණේ නැහැ. අපගේ පවුල්වල කටයුතුවලදී කෙදිනකදීවත් රජ පවුලක් ගැන කතාවෙලා නැහැ. අනෙක අපිට ඒ ගැන සොයන්නත් අවශ්‍ය නැහැ. රාජකීය ජීවන රටිව කෙනකුගේ ආදර හැඟීම් අවුස්සන්නේ නැතැයි කියා මා සිතනවා. රාජකීයකු වන එක ගැන මම පර්යේෂණයක්ද පවත්වා නැහැ. එහෙත් මට බොහෝ විට හිතෙන්නේ රාජකීය ජීවිතය කියන්නේ සුරංගනා කතාවල එන වගතුගක් වගේ කියලයි. මම ඈතින් ඉඳගෙන මගේ සැමියාගේ කටයුතු සොයා බැලුවේ නැහැ. අප දෙදෙනා අතරේ හැමදෙයක්ම සුහදව හුවමාරු කර ගත්තා. මම හැමදෙයක්ම පාහේ ඔහුට කියනවා, ඔහුත් එහෙමයි. 2018 දී රූපවාහිනියෙන් සජීවීව විකාශනය කෙරුනු අපගේ විවාහයට පෙර අපි දෙදෙනා අපගේ මේ නිවෙස තුළදීම විවාහ වුණා. අපි ඒක කළේ හරියටම දවස් තුනකට පෙරයි. අපට ඕන වුණො හදවතින්ම ඒ දේ කරන්න. අපි ආර්ච් බිෂොප්තුමාට මේ ගැන කිව්වා. ‘තව දවස් 3කින් අපේ විවාහය කෙරෙන්නේ ලෝකෙට පේන්නයි. කමක් නැහැ. අපට ඕනෑ අපගේ විවාහය සත්‍ය බන්ධනයකින් සිදුකරන්න’ අපි ආරච් බිෂොප්තුමාට කිව්වා.
‘කැන්ටබරිස් ආරච්බිෂොප්තුමා අපේ කතාව පිළිගත්තා. ඔහු නිසි වේලාවට පැමිණියා. අපි කෙන්සින්ටන් මාලිගය වන අපේ නිවෙසේ පිටුපස ඇති උද්‍යාන කොටසේදී බිෂොප්වරයා ඉදිරියේදී විවාහ වුණා. මේ ගැන කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ අවස්ථාවට මමත්, හැරීත්, බිෂොප්තුමාත් පමණයි සහභාගී වුණේ. අපගේ රූපවාහිනී විවාහය තිබුණේ ඊට දවස් 3කට පස්සේයි. එළිසබෙත් මහා රැජන මම මුලින්ම දැක හමුවුණු දවස මට තවම මතකයි. එතකොට මමත්, හැරීත් පෙම්වතුන්. රජ මාලිගයේ තිබුණු උත්සවයකට හැරී මාව රැගෙන ගියා. හැරී කිව්වා මේ ඉන්නේ එළිසබෙත් මහ රැජින, ඔබගේ මිත්තනිය කියලා. කෙසේ හෝ එම අවස්ථාව උදාවුණා. හැරී මාව එළිසබෙත් රැජිනට හඳුන්වා දුන්නා. ඇය මාත් සමඟ කතා කළා. කෙසේ හෝ මම පසුව දැනගත්තේ රැජින එසේ හමුවන විට මම මගේ ගවුමෙන් අල්ලාගෙන දණ නමා සිදුකරන ආචාරය කළ යුතුයි කියා. එය රාජකීය චාරිත්‍රයක්ලු. ඒත් මම ඒ ගැන කිසිවක් දැන සිටියේ නැහැ. මම ගැහැනුන්ගේ අයිතිවාසිකම් ගැන හුඟක් කතා කරපු කෙනෙක්. එහෙත් මේ රාජකීය ජීවිතයේදී මට එය සිදුකරන්න ලැබුණේ නැහැ.’
‘රාජකීය ජීවිතයේදී මගේ හඬ බොහෝ විට නිශ්ශබ්ද කරලායි තිබුණේ. අසත්‍ය ප්‍රචාර ගැන කිසිවිටකවත් කතා කරන්නට එපා කියලා මට උපදෙස් ලැබී තිබුණා. මම නිශ්ශබ්ද වුණේ නැහැ. මාව නිශ්ශබ්ද කෙරෙව්වා. බි්‍රතාන්‍යයේ බොහෝ මාධ්‍ය අප දෙදෙනාගේ ජීවිතය ගැන බොහෝ සියුම්ව පරීක්‍ෂා කර බැලුවා. එහිදී වඩාත්ම අවධානයට ලක්වුණේ මගේ ජීවිතයයි. එම බොහෝ මාධ්‍ය සිදුවීම් නිසා මම දැඩි ලෙස අපහසුතාවයට පත්වුණා. ඒ නිසා මාගේ මානසික සෞඛ්‍යය පවා හීන වුණා. මට බොහෝ අවස්ථාවල මගේ ජීවිතය පවා එපා වුණා. මේ තත්ත්වය ගැන මම වෛද්‍ය උපදෙස් ගන්න උත්සාහ කරන විටදී එක් ප්‍රධාන රාජකීය සාමාජිකයෙක් මට කිව්වා, එහෙම කරන්න යන්න එපා. එවිට එය රාජකීය පවුලට කැලලක් වේවි කියලා. මම රාජකීය ජීවිතයේදී මේ වගේ සිදුවීම් රාශියකටම මුහුණ දීලා තිබෙනවා. ඒත් දැන් අපි බොහොම නිදහස්, සතුටු ජීවිතයක් ගතකරනවා. මට මේ ග්‍රීෂ්මයේදී තවත් දරුවකු ලැබෙන්නට ඉන්නේ. ඇය දියණියක්. මුලින් පුතෙකු ලැබිලා දැන් දියණියක ලැබීම කෙතරම්ම වාසනාවන්ත දෙයක්ද? අපි හතර දෙනාට බල්ලන් දෙදෙනෙක්ද ඉන්නවා තනියට.’
අද මෙගාන් මාකෙල්ට එංගලන්තයේ ආදිපාදිවරියගේ තාන්නමාන්න නැත. ඇය පෙර සිටියා මෙන් සාමාන්‍ය ඇමෙරිකානු ගැහැනියකි. මෙගාන් මාකෙල් සමඟ අප රූපවාහිනී නිෂ්පාදිකාව ඔප්රා වින්ෆ්රි සාකච්ඡා කළා මෙන් ඇය හැරී කුමරු සමඟද බොහෝ අදහස් විමසා ඇත. මෙහිදී ඇය මෙම යුවළගෙන්ම ඇසූ විශේෂිත පැනයක් වෙයි. ඒ සඳහා පිළිතුරු ලබාදී ඇත්තේ හැරී කුමරුය.
ඔබ දෙපළට පුතු ලැබෙන විටදී එම දරුවාගේ සමේ පැහැය ගැන රාජකීයයන් උනන්දු වුණා කිව්වා. එහිදී ඒ ගැන ඔළිසබෙත් මහ රැජින සහ පිලිප් කුමරු උනන්දුවක් දැක්වූවාද? ඔප්රා වින්ෆ්රි ඇසීය.
හැරී කුමරු – නැහැ. පැහැදිලිවම ඔවුන් දෙපළ ඒ ගැන කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැහැ. මම ඇත්තටම එළිසබෙත් මහ රැජින නොහොත් මගේ මිත්තනියට ඉතාමත් ආදරෙයි. මම ඇයට ගරු කරනවා. ඔවුන් දෙපළ ඔය ප්‍රශ්නය ගැන කවදාවත් අහලා නැහැ. වෙනත් රාජකීය පවුලේ සාමාජිකයන් තමයි ඔය මතු කළේ.
කෙසේ වෙතත් මෙම ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාව මුළුමනින්ම නැරැඹූ එළිසබෙත් මහ රැජින මහත් විමතියටත්, ශෝකයටත් පත්වූ බැව් වාර්තා වෙයි. මේ වන විට ඇය 94 වැනි වියෙහි පසුවන අතර, පිලිප් කුමරු 99 වැනි වියෙහි පසුවෙයි.
රාජ පරම්පරාවක කතා කෙතරම් විශ්මිතද?
ප්‍රියන්ත හෙට්ටිගේ










