පසුගියදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා නාමයෝජනා බාරදුන් වේලාව ලෙස සදහන් වූයේ ගෝඨාභය පෙරවරු 10.16ත්, සජිත් පෙරවරු 10.04ත්, අනුර පෙරවරු 09.37ත් වශයෙනි. මෙවර අපි මේ වේලාවන් අනුව ජනාධිපතිවරණය ජයගනු ඇති බවට උපකල්පනය කළ හැකි අපේක්ෂකයා සම්බන්ධයෙන් ජ්‍යොතිෂමය සොයාබැලීමක නිරත වීමු. මේ එහිදී අපට ලැබුණු විග්‍රහයන්ය.
2019 නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් 2019 ඔක්තෝබර් 07 වැනි දින පැවති ග්‍රහ තත්ත්වයන් සලකා බැලීමේදී එදින ඉර උදාව 05.58 විය. 08.34 සිට 10.38 දක්වා උදාවෙමින් පැවැති ලග්නය වන්නේ වෘශ්චික ලග්නයයි. පුර පක්‍ෂයේ නව වැනි තිථියද, සුකර්ම යෝගයද, කෞලමකරණයද පැවතිණි. මෙදින රාහු කාලය පෙරවරු 07.28ට ආරම්භ වී පෙරවරු 08.58ට ගෙවී ගියේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා 1947 ජුනි මස 19 වැනි ඉරු දින වෘශ්චික ලග්නයෙන් ඉපදී දැනට රාහු මහ දශාව ගෙවමින් සිටී. උත්‍රපුටුප නැකැත හිමිව උපන් බැවින් ඔහුට මයුර පක්‍ෂියා අයත් විය. ගෝඨාභය මහතා නාමයෝජනා භාර දුන් වේලාව පෙරවරු 10.16 විය. මේ මොහොත වන විට උදා ලග්නය වූ වෘශ්චික ලග්නය තමන්ගේම ලග්නය වූ බැවින්ද, තත්කාල කේන්දරයේදී එතුමාගේ ලග්නාධිපති, කුජ අයස්ථානය වන 11 වැන්නේ සිටීම නිසාද නාමයෝජනා භාර දුන් අවස්ථාවේ ග්‍රහ පිහිටීම් එතුමාට තරමක වාසියක් අත්කර දීමට සමත් වෙයි.
සජිත් ප්‍රේමදාස මහතා 1967 ජනවාරි 12 වැනි ගුරු දින මිථුන ලග්නයෙන් ඉපදී ඇත. සුවණ නැකැත හිමිව උපන් බැවින් ඔහුට කුක්කුට පක්‍ෂියා අයත් විය. සජිත් මහතා නාමයෝජනා භාර දුන් වේලාව පෙරවරු 10.04 විය. මේ මොහොත වන විට උදා ලග්නය වූ වෘශ්චික ලග්නය තමන් උපන් මිථුන ලග්නයෙන් හය වැන්න විය. තත්කාල කේන්දරයේදී එතුමාගේ ලග්නාධිපති බුධ වැයස්ථානය වන 12 වැන්නේය. නාම යෝජනා භාර දුන් අවස්ථාවේ ග්‍රහ පිහිටීම එතුමාට තරමක අවාසියක් ගෙන දීමට හේතුවෙයි.
දේශපාලන පොර පිටියේ තරගවදින අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණ ගැන අනාවැකි කීමේදී ජ්‍යොතිෂ විද්‍යාවේ එන පංච පක්‍ෂි ශාස්ත්‍රය පදනම් කරගැනීම ඉතාමත් වැදගත්ය. 2019 ඔක්තෝබර් 07 වැනි දින නාමයෝජනා භාර දෙන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට අයත් මයුර පක්‍ෂියා “මරණ” අවස්ථාව ගතකරමින් සිටි අතර, සජිත් ප්‍රේමදාස මැතිතුමාට අයත් කුක්කුට පක්‍ෂියා “නිදි” අවස්ථාව ගතකරමින් සිටියේය. නාමයෝජනා භාර දෙන අවස්ථාවේද මේ දෙදෙනාගේම පක්‍ෂීන් දුර්වලව පැවැතීම දෙදෙනාටම සමාන ලෙස බලපාන අයහපත් සාධකයකි. ප්‍රචාරක කටයුතු සංවිධානයේදී දෙදෙනාටම තමන් බලාපොරොත්තු ඉලක්ක ඒ අයුරින්ම සපුරා ගැනීමට නොහැකි වෙයි.
කෙසේ වෙතත් එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාත්, ගොඨාභය රාජපක්‍ෂ මැතිතුමාත් අතර පවතින ඡන්ද සටන ඉතාමත් උණුසුම්, තීව්‍ර සටනක් වන බව නම් පැහැදිලිය. දෙදෙනාගේ ජන්ම පත්‍රද 2019 නොවැම්බර් 16 ඡන්ද විමසීම ආරම්භ වන වේලාවේ පවතින තත්කාල කේන්දරද, ජ්‍යොතිර් විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ තියුණු සටනකින් පසුව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජයග්‍රහණය කරන බවය.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි
නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදුන්නේ පසුගිය 07 වැනි සඳුදා දිනයි. එක් එක් අපේක්ෂකයන් නාමයෝජනා භාරදුන් වේලාවන් ඔවුන්ගේ ජය පරාජය තීරණය වීමට ජ්‍යොතිෂයට අනුව බලපෑම් ඇති කරයි. එම අවස්ථාවේදී තත්කාල ග්‍රහ පිහිටීම සහ සුබ මූර්තවල බලපෑම ජයග්‍රහණයේ ප්‍රතිඵලයට ප්‍රබල සාධකයකි. මෙදින තුළ අපේක්ෂකයන් විශාල පිරිසක් නාමයෝජනා භාරදුන්නත් ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන් භාරදුන් අවස්ථාව ජ්‍යොතිෂයට අනුව විමර්ශනය කර බැලීම වැදගත්ය.
පසුගිය 07 වැනි සඳුදා දින රවිට අයත් උත්‍රසල නැකැත උදාව තිබූ අතර නවවක තිථිය උදාව තිබීම රික්මාව තිබූ දිනයකි.
අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා භාරදුන්නේ පෙ.ව. 09.37ටයි. මෙම වේලාව තුළ පැවැතුණේ අඟහරු හෝරාව තුළ සිකුරු පංචමයේ සිකුරුගේ සූක්ෂමයයි. තත්කාලය තුළ වෘශ්චික රාශිය උදාව තිබූ අතර ලග්න අධිපති අඟහරු සතුරු රාශිව අයස්ථානය තුළ ගෝචර විණි. විශේෂයෙන් අඟහරුගේ හෝරාවක් පංචමයක් ගනු ලබන්නේ යුද්ධයකට යන අවස්ථාව තුළයි. මෙහි බලපෑම් මත එතුමන්ගේ පක්ෂය තුළ ආධාරකරුවන්ට මැර ප්‍රහාර එල්ල වීමට පුළුවන. ජයග්‍රහණය කළ නොහැකිය. නමුත් පසුගිය මැතිවරණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගැනීමට හැකියාවක් ඇතිවන්නට පුළුවන.
සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා භාරදුන්නේ පෙ.ව. 10.04ටයි. එම වේලාව තුළ රවි හෝරාවේ රවි පංචමය තුළ සිකුරුගේ සූක්ෂමය ගතවිය. තත්කාල ලග්නය වෘශ්චිකයයි. රවි එකොළොස්වැන්න තුළ කෝටියක් දෝෂ භංග කරමින් පිහිටයි. සිකුරු දොළොස්වැන්න තුළ විපරීත රාජ යෝග උදාකරමින් බලවත්ව ගෝචර විය. මෙම වේලාව තුළ අභිජිත් මුහුර්තයද තිබීම විශේෂත්වයකි. වේලාව ඉතා සුබයි. දවසින් දවස ජයග්‍රහණය කරා ගමන් කරන පිහිටීමකි. නොවැම්බර් මුල වන විටදී නොසිතූ ලෙස තමන් වටා පිරිවර එකතු වෙයි. බාධක බිඳගෙන ඉලක්කය උදෙසා ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ගෝඨාභය මහතා නාම යෝජනා භාරදුන්නේ පෙ.ව. 10.16ටයි. මෙම වේලාව තුළ රවි හෝරාවේ සඳු පංචමය තුළ සෙනසුරුගේ සූක්ෂ්මය ගතවිය. රවි හෝරාව සුබ වුවත් සෙනසුරුගේ සූක්ෂ්මය තිබීම හොඳ නැත. වෘශ්චික රාශිය උදාව ලග්න ඒරාෂ්ටකය සෙනසුරු දෙවැන්න තුළ සිටීම නිසා ඇතිවිණි. නොවැම්බර් මුල සිට බාධක ඇති කරයි. 2015 වර්ෂය තුළදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණේ වැරැදි ජ්‍යොතිෂ්‍ය උපදෙස් ලැබුණු නිසයි. ගෝඨාභය මහතාටත් එවැනිම අයකු නැකැත් වේලාව දුන්නාද යන්න ගැටලුවකි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සරත්චන්ද්‍ර බෝතලාගේ