ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආරම්භ කිරීමට නියමිතව තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු දැනට උද්ගතව ඇති ගෝලීය කොරෝනා වසංගතය හමුවේ අඩපණ වන තත්ත්වයකට පත්ව ඇත. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය මඟින් සපයනු ලබන මූල්‍ය සහයෝගිතාව මත කොළඹ නගරයේදී ඉදිකෙරුණු ලබන මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කළේ පසුගිය රජය යටතේදීය. මෙම ව්‍යාපෘතියේ ඇනහිටීම ගැන මේ වන විට විවිධ විසංවාදී අදහස් පළ කෙරෙමින් ඇත. එසේම මෙය අවධානය යොමුකළ යුතු විෂයක් බවට පත්වී ඇත.
නාගරික සංවර්ධන, ජල සැපයුම් සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම විසින් පසුගියදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වත්මන් නව රජය විසින් මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කර දැමූ බැව්ය. මාලඹේ සහ කොළඹ අතර ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ගොඩනැඟීම සඳහා ඉතාමත් සුවිශාල මුදලක් වැය වන බවත්, එහෙත් එයින් ලබන ප්‍රතිලාභ ඉතාමත් අවම බවත් ලේකම්වරයා අවධාරණය කළේය. කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය ජපාන ණය ආධාර ක්‍රමය යටතෙන් වෙනස් කර පොදු – පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස ඇරඹීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක සුවිශාල මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන බැව් පසුගිය රජය සමයේදී ප්‍රකාශ කර ඇත. එම මුදල වැය වන්නේ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා වන අතර, මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී තවත් ව්‍යාප්ත කිරීම සඳහා මුළු මුදල වශයෙන් ඩොලර් බිලියන 06ක් පමණ වැයවනු ඇති බවට කරුණු ප්‍රකාශ වෙයි. කෙසේ හෝ මේ වන විට ජපාන රජයේ පාර්ශ්වය විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මෙතෙක් අහෝසි කර දමා නොමැති බැව්ය. එසේම මෙම ව්‍යාපෘතිය අහෝසි කර දැමුවේ යැයි කියැවෙන කිසිදු නිල ප්‍රකාශයක්ද මේතාක් දක්වා ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කර නොමැති බැව්ද ජපාන පාර්ශ්වය කියා සිටියි. ජපාන ආයතනයේ ප්‍රධාන ශ්‍රී ලංකා නියෝජිතයා වන ෆුසාතෝ තනකා විසින් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ව්‍යාපෘතියේ සැබෑ තත්ත්වය තමන්ගේ ආයතනයට නිසැක ලෙස දන්වා එවන ලෙසය. රජයේ පිළිතුර එම ආයතනය බලාපොරොත්තුව සිටියි.
කෙසේ හෝ මේ වන විට හෙළිවන කරුණුවලින් ප්‍රකාශ වී ඇත්තේ මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම සඳහා චීනය යම් අතපෙවීමක් සිදුකළේද යන කරුණය. වත්මන් අගමැති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙම ‘ජයිකා’ ජපන් ණය ව්‍යාපෘතිය අහෝසි කර දැමීමට යම් අවශ්‍යතාවක් තිබුණේද යන්න මේ වන විට යම් පාර්ශ්ව විසින් මතුකර ඇති පැනයකි. එසේ සිදුකෙරුණු පසුව එම ව්‍යාපෘතිය පොදු – පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස චීන සමාගමකට ප්‍රදානය කිරීමට අගමැතිවරයා අදහස් කළේදැයි පැනයක් උද්ගතව ඇත. එසේම ජපාන ව්‍යාපෘතිය යටතේ එම කටයුතු ජපානයේ ඉදිකිරීම් සමාගම්වලට දෙන්නට සිදුවන අතර, චීන ව්‍යාපෘතියක් යටතේ එම කටයුතු චීන සමාගම්වලට ලබාදිය හැකි වීමත් ගැන අවධානය යොමුවී ඇත.
පසුගිය රජයේ හිටපු මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර සිටියේ වත්මන් රජයේ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් මෙම ව්‍යාපෘතිය නවතා දමා ඇති බැව්ය. ඉන් පසුව දැන් ව්‍යාපෘතිය භාර දීමට චීන සමාගම් සොයමින් සිටින බවත්ය. 06%ක පොලී අනුපාතයක් යටතේ චීන සමාගම්වලට මුදල් ආයෝජනය කිරීමට කටයුතු සැලසෙන ආකාරයට ව්‍යාපෘතියේ කටයුතු සිදුකිරීමට දැන් සැලැසුම් කර ඇති බැව්ද හිටපු මහ නගර සහ බස්නාහිර කටයුතු ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේය. විරුද්ධ පාක්ෂික දේශපාලනික බලවේගයක් වන සමඟි ජන බලවේගයේ නායකයකු වන හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කර සිටියේ මෙම ව්‍යාපෘතිය නතර කරන්නේ හෝ නැවැත ආරම්භ කරන්නේ හෝ නිසි ක්‍රමවේදයකට අනුවද යන්නය. එසේම මෙම ව්‍යාපෘතිය ගැන නව ශක්‍යතා අධ්‍යයනයක්ද සිදුකිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.
පසුගිය 2019 වසරේ අවසානය තෙක් මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු බාධාවකින් තොරව සිදුකෙරිණි. පළමුවැනි අදියර යටතේ කොළඹ කොටුවේ සිට මාලඹේ දක්වා වන කිලෝමීටර් 15.8ක දුර ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක මුදලක් වැය කෙරෙයි. ජපානයේ ‘ජයිකා’ ආයතනය ඒ සඳහා ඩොලර් බිලියන 1.8ක ණය මුදලක් ලබාදෙයි. පසුගිය 2019 මාර්තු මාසයේදී මේ සඳහා දෙරට අතර ගිවිසුම් අස්සන් කෙරිණි. මෙම ණය මුදල ගෙවී යන්නේ වසර 40ක කාලයක් තුළදී වන අතර, වසර 12ක් යන තෙක් පොලිය අය වන්නේ 0.1%ක් පමණි.
පසුගිය රජය යටතේ තිබුණු සැලැසුම්වලට අනුව මෙම ව්‍යාපෘතියට ටෙන්ඩර් කැඳවීම මෙම 2020 අප්‍රේල් මාසයේදී සිදුකිරීමට නියමිතව තිබිණි. කෙසේ හෝ කොරෝනා වසංගතය සහ වත්මන් රජයේ තීන්දු, තීරණ මත එම කටයුතු කිසිවක් සිදු නොකෙරිණි. මෙම ව්‍යාපෘතියේ කටයුතු ඉදිරි 2025 වසරේදී නිම කිරීමට නියමිතව තිබිණි. කෙසේ හෝ දැන් මෙම ව්‍යාපෘතියේ කටයුතු අහෝසි කිරීම කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකර ඇත. එසේම මෙම ව්‍යාපෘති නවතා දැමීම චීනයේ බලපෑමක් මත සිදුවුණේදැයි රජය කිසිවිටකවත් ප්‍රකාශ කරන්නේ නැති අතර එවැනි මතයක් ප්‍රතික්ෂේප කරමින්ද සිටියි. කෙසේ හෝ දැන් රජය එම තීරණය ගෙන ඇත.
කලාපයේ රටවල් තුළ මෙන්ම ශ්‍රී ලංකාව තුළද චීනයේ ණය උගුල ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙයි. මේ තත්ත්වය දැනට ශ්‍රී ලංකාවටද එහි ආර්ථිකයටද ඉතාමත් දරුණු ලෙස බලපා තිබෙයි. ශ්‍රී ලංකාව මේ වන විට නිසි විදෙස් ආයෝජන නොමැති, අපනයන කර්මාන්තය කඩාගෙන වැටුණු දුර්වල ආර්ථික තත්ත්වයකට පත්ව ඇතැයි කරුණු හෙළිවෙයි. එමෙන්ම විදෙස් සහ අභ්‍යන්තර ණය බර ඉතාමත්ම උච්ච ස්ථානයකට පත්ව ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 55ක් වන අතර, අභ්‍යන්තර ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.9ක් පමණ වෙයි. මෙම ණය මුදල් ප්‍රමාණයෙන් 14%ක් චීනයට සහ ආසියානු සංවර්ධන බැංකුවටද, 12%ක් ජපානයටද, 11%ක් ලෝක බැංකුවටද, 2%ක් ඉන්දියාවටද ගෙවිය යුතුය.
පසුගිය මැයි 13දා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ චීනයේ ජනාධිපති ෂී පින් ජින් අතර සිදුවූ සාකච්ඡාවකට අනුව කොරෝනා වෛරස වසංගත තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට අමතර ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාදීමටද චීනය කැමැත්ත පළකර තිබිණි. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ගැන චීනය මුල සිටම දැඩි උනන්දුවක් දක්වා තිබිණි. චීනයට සහාය දක්වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේදීද චීන සමාගම් 06ක් මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කර තිබිණි. අද ඒ තත්ත්වය පළ දරන බැව් පෙනීයයි.
පරිවර්තනය- ප්‍රියන්ත හෙට්ටිගේ










