කලක් පුවත්පත් ක්ෂේත්‍රයේ ජනප්‍රියතම දේශපාලන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වූ “මේ කවුද මොනවද
කරන්නේ” විශේෂාංගය මව්රට පුවත්පතේ මේ සතියේ සිට පළවේ. “මේ කවුද මොනවද කරන්නේ” මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ශාන්ත බණ්ඩාර ජයවර්ධනයන් විසිනි.
ඔබේ සමපූර්ණ නම මොකක්ද?
අබ්දුල් රිෂාඞ් බදුර්දීන්.
ඉස්කෝලෙ ගියේ කොහෙද?
මන්නාරමෙත් ඉගෙන ගත්තා. ඒලෙවල් කළේ කොළඹ සහිරා විද්‍යාලයේ.
දෙමව්පියෝ මොනවද කළේ?
ව්‍යාපාර කළේ.
කොහොමද දේශපාලනයට සම්බන්ධ වුණේ?
මන්නාරමේ මම දේශපාලනය කළේ නෑ. ඒලෙවල් කරන්න පටන් ගන්නකොට ත්‍රස්තවාදීන් අපිව එළවල දැම්ම අපේ ගම් පළාතෙන්. ඊට පස්සෙ පුත්තලමට ආව. පුත්තලමෙන් තමයි දේශපාලනය ආරම්භ කළේ.
ඒ කාලෙ ගම් පළාතෙන් ලැබුණු අත්දැකීම් ගැන මොනවද?
එක වෙලාවක එල්.ටී.ටී.ඊ. එකෙන් ඇවිල්ල කිව්ව සියලුම මුස්ලිම් අයට යන්න කියල. පැය 24ක් කල් දෙන්නම් ඒ කාලෙ ඇතුළත යන්න කියල කිව්ව. ඒ වෙලාවෙ මන්නාරමෙන් අපිට යන්න පාර තිබ්බෙ නෑ. මන්නාරම පාලම බෝම්බ තියල කැඩිල තිබුණෙ. ඒ වෙලාවෙ මුහුද හරහා තමයි අපිට එන්න ක්‍රමයක් තිබුණෙ. ඒ වෙලාවෙ අපිට උපදෙස් දුන්න පුළුවන් නම් ඉන්දියාවට යන්න කියල. ඉන්දියාවට මන්නාරමේ ඉඳල කිලෝමීටර් 20ක් වගේ තමයි තිබුණෙ. කල්පිටියට යනව නම් කිලෝමීටර් 70ක් තිබුණ. අපි ඔක්කොම හිතුවෙ ඉන්දියාවට යන්නෙ නැතුව අපේ රටට යමු කියල. එහෙම තමයි අපි පුත්තලමට ආවෙ. ඒ වෙලාවෙ මන්නාරම විතරක් නෙමෙයි යාපනය, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව ජනතාව ලක්ෂයක් විතර පුත්තලම් දිස්ත්‍රික්කයේ කඳවුරුවලට ආව.
පුත්තලම්වල ඉඳල ඔබතුමා කොහොමද අධ්‍යාපන කටයුතු කළේ?
මම ඒලෙවල් කරනකොට තමයි එහෙම ආවෙ. එහෙම ඇවිල්ල මාස දෙක තුනක් ඉස්කෝල යන්න බැරිව හිටිය. ඒ වෙලාවෙ මම දැක්ක පත්තරේක දැන්වීමක් දාල තිබුණ ඕලෙවල් හොඳට පාස් අය දහදෙනෙක්ට කොළඹ සහිරා විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් දෙනව කියල. මන්නාරමේ මගේ පාසලේ මට තමයි හොඳම රිසාල්ට් තිබුණෙ. ඒ නිසා මමත් ඇප්ලයි කරල බැලුව. ඒකෙන් මට චාන්ස් එක ලැබුණ සියලු පහසුකම් එක්ක කොළඹ සහිරා එකේ ඉගෙන ගන්න.
ඔබේ අධ්‍යාපන සුදුසුකම් මොනවද?
ඒලෙවල්වලින් පස්සෙ මම සහිරා එකේම අවුරුද්දක් විතර ගණිතය ඉගැන්නුව. ඒකෙන් පස්සෙ නැෂනල් ඩිප්ලෝමා ඉන් ටෙක්නොලොජීස් සිවිල් ඉන්ජිනේරු ඉගෙනගන්න මොරටුව විශ්වවිද්‍යාලයට ගියා. ඒකෙන් පස්සෙ මම ඉන්ජිනේරු කවුන්සිලයේ සාමාජිකත්වය ගත්තා. ඒකෙන් පස්සෙ මම ලන්ඩන් ‘සිටි ඇන්ඞ් ගිල්ස්’ උපාධිය සම්පූර්ණ කළා.
රටේ කතාබහක් තියෙනව උගත්තු දේශපාලනයට එන්න ඕනෙ කියල. මේ ගැන ඔබතුමාගෙ අදහස මොකක්ද?
පාර්ලිමේන්තුවට යන්න උපාධියක් වගේ මූලික සුදුසුකමක් තිබුණ නම් හොඳයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය. උගත් නැති අය පාර්ලිමේන්තුවට ඇවිල්ල කරන සෙල්ලම ගැන මම කියන්න ඕනෙ නෑ. ඒක මිනිස්සු දන්නව. ඒ හින්ද මිනිසුන්ට පාර්ලිමේන්තුවෙ 225 එපා කියන මතයකට ඇවිල්ල තියෙනවා.
ඔබතුමා දේශපාලනයට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
අපේ ජනතාව ලක්ෂයක් විතර පුත්තලම, අනුරාධපුර අනාත කඳවුරුවල හරිම දුකෙන් ජීවත් වුණේ. ඒ මිනිස්සු ගැන ඒ වෙලාවෙ බලන්න කවුරුත් හිටියෙ නෑ. ඒ ජනතාවට හරියට අධ්‍යාපන පහසුකම් තිබුණෙ නෑ. හවස වෙනම පාසලක් තිබුණ ඒ පාසල්වලට තමයි ඒ දරුවන් ගියේ. අවුරුදු දහයක් ගිහිල්ලත් ඒ මිනිසුන්ට කිසිම දෙයක් වෙලා තිබුණෙ නෑ. පොඩි පොඩි පොල්අතු හට්වල තමයි ඒ මිනිස්සු ජීවත් වුණේ. ඒ කඳවුරුවලට පාරවල් තිබ්බෙ නෑ. විදුලිය තිබ්බෙ නෑ. ජල පහසුකම් තිබබෙ නෑ. ලොකු පීඩාවකට ඒ ජනතාව පත්වෙලා හිටියෙ. ඒ වෙලාවෙ මම හිතුව ඒ ජනතාවට උදව් කරන්න නම් දේශපාලනයට යන්න ඕනෙ කියල. මගේ පොඩි කාලෙ ඉඳල ආශාවක් තිබුණ ඉන්ජිනේරුවෙක් වෙන්න ඕනෙ කියල. ඒ අරමුණ ඉටුවුණාට පසුව මම හිතුව ඉන්ජිනේරු ජොබ් එක කරනවට වඩා මේ ලක්ෂයක් විතර මිනිසුන්ගෙ දුකට පිහිට වෙන්න ඕනෙ කියල. එහෙම හිතල තමයි දේශපාලනයට ආවෙ.
ඔබ දේශපාලනයට එන්නෙ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් එක්ක?
ඔව්. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් එක්ක.
මම අහල තියෙනව ඔබතුමා ශ්‍රීපති සූරියආරච්චි එක්ක හොඳ සම්බන්ධයක් තිබුණ කියල. මොකක්ද ඒ සම්බන්ධතාවය?
ශ්‍රීපති සූරියආරච්චි කියන්නෙ දක්ෂ දේශපාලනඥයෙක්. දක්ෂ ලෝයර් කෙනෙක්. හොඳ මනුස්සයෙක්. එතුමාව හඳුනගන්නෙ මම ඉන්ජිනේරු ෆැකල්ටියෙ ඉද්දි. එතුම තමයි ඒ කාලෙ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් විදිහට කටයුතු කළේ. ඒ වෙලාවෙ මගේ ජනතාවගෙ ප්‍රශ්න ගැන එතුම දැනුවත් කරල උදව් ඉල්ලුවහම එතුම මට උදව් කළා. එතැනදි තමයි එතුමගෙයි මගෙයි මිත්‍රකම ආරම්භ වුණේ. එයා මැරෙනකම්ම මගේ හොඳ යාළුවෙක්. එතුමා අත්‍යවශ්‍ය සේවා ජෙනරාල් කාලෙ ඒ ජනතාවට ලොකු සේවාවක් ඉටුකළා. ඇත්තටම දේශපාලනයට එන්න කියල ශ්‍රීපති තමයි ඒ වෙලාවෙ මට ආරාධනා කළේ.
ශ්‍රීපති ආරාධනා කළාම ඇයි දේශපාලනයට එන්න හිතුවෙ?
ඇත්තටම මම දේශපාලනයට ආවෙ මගේ ජනතාවට සේවයක් කරන්න ඕනෙ කියල හිතල. ඒ ජනතාවට අධ්‍යාපනයක් ලබාදෙන්න. ඒ මිනිසුන්ට ඉන්න හිටින්න පහසුකම් ලබාදෙන්න. ඒ මිනිස්සු කොහොමහරි ආපසු ඔවුන්ගෙ ගම්වල පදිංචි කරන්න ඕනෙ කියන අරමුණින් තමයි මම දේශපාලනයට ආවෙ.
ඔබට තියෙන චෝදනාවක් තමයි මුස්ලිම් අන්තවාදය පතුරුවනව කියල. මේ ගැන ඔබට මොකද කියන්න තියෙන්නෙ?
මම අන්තවාදියෙක් නෙමෙයි. අන්තවාදය දෙමළ අන්තවාදය වෙන්න පුළුවන්, මුස්ලිම් අන්තවාදය වෙන්න පුළුවන්, සිංහල අන්තවාදය වෙන්න පුළුවන්. මොනා වුණත් ඒකට මම විරුද්ධයි. මම අන්තවාදය වපුරනව කියන එක සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්. මං ගැන මගෙත් එක්ක විශ්වවිද්‍යාලයේ හිටපු අය දන්නව. මගේ අමාත්‍යාංශයේ සේවය කළ නිලධාරීන් දන්නව. මේ රට තුළ සියලු දෙනාම සහෝදරත්වයෙන්, සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනෙ කියල වැඩ කරපු කෙනෙක් එදා ඉඳලම.
2005 ඔබ මහින්ද රාජපක්ෂ මහත්තයට උදව් කරන්න යනව. මුස්ලිම් කොංග්‍රසය උදව් කරන්න යන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයට. ඇයි මෙහෙම තත්ත්වයක් උදාවෙන්නෙ?
ඒ වෙලාවෙ මහින්ද රාජපක්ෂ මහත්තය ඉදිරිපත් කළ ‘මහින්ද චින්තනය’ වැඩපිළිවෙළ මේ රටට හොඳයි කියල හිතල තමයි මමයි, මගේ පක්ෂයයි සහයෝගය දුන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයට.
ඔබ ඊට පස්සෙ පාර්ලිමේන්තු එනව. පළමුවෙන්ම ඔබට මොකක්ද හිමිවන ඇමැතිකම?
නැවැත පදිංචි කිරීම සහ ආපදා සහන සේවා අමාත්‍යාංශය.
නැවැත පදිංචි කිරීමේ ඇමැතිතුමා හැටියට ඔබතුමාට පුළුවන් වුණාද පුත්තලමෙ අනාත කඳවුරුවල හිටපු ලක්ෂයක් විතර ජනතාව උතුරෙ පදිංචි කරන්න?
ඒ කාලෙ මිනිසුන්ට ගමට යන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නෑ. ඒ නිසා ඒ මිනිස්සු ඉන්න තැන්වලම හොඳ පහසුකම් ලබාදුන්න. පාසල් බිල්ඩින් අලුතෙන් හදල දුන්න. වෛi පහසුකම් සලසල දුන්න. පාරවල්, වතුර ලබාදුන්න. ඒ වෙලාවෙදි මට පුළුවන් උපරිම දේවල් මම කළා.
යුද්ධෙ ඉවර වුණාට පස්සෙ?
2009 යුද්ධෙ ඉවර වුණාම ජනාධිපතිතුමයි, බැසිල් රාජපක්ෂ මහත්තයයි, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමයි තීන්දු කළා මුලින්ම මුස්ලිම්, සිංහල අය පදිංචි කරන්නෙ නැතුව මැණික්ෆාම්වල හිටපු ලක්ෂ තුනක් වෙච්ච දෙමළ ජනතාවට ප්‍රමුඛත්වය දෙන්න. දෙමළ අය ලක්ෂ තුනම පදිංචි කළාට පස්සෙ මුස්ලිම් අය පදිංචි කරන්න තමයි ඒ වෙලාවෙ තීන්දු කළේ. ආණ්ඩුවෙ අරමුණ මම ඉටුකළා. ඒ වැඬේ ඉවර වෙනකොට ඒ අමාත්‍යාංශයෙන් මාව අයින් කරල වෙන අමාත්‍යංශයක් මට භාරදුන්න.
එතකොට විල්පත්තු කපල මුස්ලිම් ජනතාව පදිංචි කරන්න ගත්තෙ කොයි කාලෙද?
මම විල්පත්තුව කපල නෑ. පුත්තලම් දිස්ත්‍රික්කෙයි, අනුරාධපුර දිස්ත්‍රික්කෙයි බෝඩරේ තමයි විල්පත්තුව තියෙන්නෙ. 2010 පස්සෙ මන්නාරම, යාපනය, කිලිනොච්චි, වවුනියාව මුස්ලිම්, සිංහල ජනතාවට ආණ්ඩුවෙන් නියෝගයක් දුන්න තමන්ගෙ ගම්වලට යන්න කියල. මන්නාරමෙ තියෙනව මුසලි කියල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්. මුසලි කියන්නෙ 80%ක් විතර මුස්ලිම් ජනතාව ජීවත් වුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්. ඒ වෙලාවෙ තමයි ජනතාව ඒ ප්‍රදේශයට ගිහිල්ල පදිංචි වුණේ. ඒ පදිංචි වීම තමයි විල්පත්තු කැපුව කියල කිව්වෙ. ඒ විල්පත්තුව නෙවෙයි. ඇත්තටම විල්පත්තුව තියෙන්නෙ පුත්තලම් හා අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ. මිනිස්සු පදිංචියට ගියේ මන්නාරම දිස්ත්‍රික්කයට. මේ පදිංචි කිරීම් කරනකොට මම නැවැත පදිංචි කිරීමේ ඇමැතිවරයා නෙවෙයි. මම ඒ වෙලාවෙ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැතිවරයා. ඒ මිනිස්සු සම්පූර්ණයෙන්ම පදිංචි කිරීමේ කටයුතු කළේ කාර්ය සාධන බළකාය හරහා. ඒකෙ සියලුම ආරක්ෂක අංශවල ප්‍රධානීන් හිටිය. ඒකෙ ප්‍රධානියා තමයි බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා.
හැබැයි ඔබතුමාටනෙ මේ විල්පත්තුව කැපුව කියන චෝදනාව තියෙන්නෙ? කවුද ඒක හදන්නෙ ඔබතුමාට?
මම එහෙම වැරැද්දක් කළා නම් උසාවි ගිහිල්ල මට දඬුවම් ලබාදෙන්න ඕනනෙ. ඔය චෝදනා කරන එක්කෙනෙක්වත් ඒ වැඬේ කෙරුවෙ නෑනෙ. මම උසාවි ගිහින් තියෙනව මට විරුද්ධව චෝදනා එල්ල කරපු අයට එරෙහිව. මිලියන 500 ගානෙ ඉල්ලල මම නඩු දෙකක් දාල තියෙනව.
ඔබතුමා දශක තුනක් විතර තිස්සෙ මේ සරණාගත ප්‍රශ්නෙ එක්ක බැඳිල ඉන්නව. පසුගියදා සී.අයි.ඩී. එකට එන්න කිව්වෙ මේ ප්‍රශ්නෙ හින්ද නේද?
සරණාගතයින්ව ඡන්දෙ දාන්න එක්කන් ගියා කියල දැන් එළව එළව ගහනව මට. සී.අයි.ඩී.යෙ සමහර අය දැන් දේශපාලකයො වගේ තමයි කටයුතු කරන්නෙ. දැන් මන්නාරමේ කඳවුරුවල ඉන්න අයගෙන් බය කරල අහනවලු රිෂාඞ් ඇමැතිතුමා නේද බස් දුන්නෙ, රිෂාඞ් ඇමැතිතුමා නේද ඡන්දෙ දාන්න යන්න කිව්වෙ කියල. අවුරුදු 30ක් මේ මිනිස්සු ඡන්දෙ දැම්ම. එහෙම ඡන්දෙ දැම්මෙ නැත්නම් මම අද පාර්ලිමේන්තුවෙ නෑ. පුත්තලම කඳවුරුවල මිනිසුන්ගෙ ඡන්ද තමයි මට තිබ්බෙ. මේ පාර ජනාධිපතිවරණයෙදි මේ මිනිසුන්ට ඡන්දෙ දාන්න වැඩපිළිවෙළක් මැතිවරණ කොමිසම විසින් සකස් කරල තිබුණෙ නෑ. ඒ හින්ද මේ මිනිස්සු මැතිවරණ කොමිසමේ සභාපතිට ලියුමක් යැව්ව ඡන්දෙ දාන්න පහසුකම් දෙන්න කියල. ඒ මිනිස්සු අගමැතිතුමාට ලිව්ව. අදාළ අමාත්‍යවරයා හැටියට මට ලිව්ව.
ඔබට චෝදනාවක් තියෙනව නේද ඔය දොළොස්දාහ පුත්තලමෙයි, මන්නාරමෙයි දෙපැත්තෙම රෙජිස්ටර් කරල තියෙනව කියල?
ඕන කෙනෙක්ට ඕන චෝදනාවක් කරන්න පුළුවන්. ඡන්දෙ දාන්න අනිවාර්යෙන් අයිඩින්ටිය තියෙන්න ඕනෙ. එහෙනම් කොහොමද එක මනුස්සයෙක් ඡන්දපොළ දෙකක ඡන්දෙ දාන්නෙ. එහෙම නම් අයිඩින්ටි දෙකක් තියෙන්න ඕනෙ. තැන් දෙකේම ඡන්ද නාමලේඛනයෙ නම් තියෙන්න ඕනෙ. මිනිස්සු දොළොස්දාහකට එහෙම වංචාවක් කරන්න පුළුවන්ද. එහෙම කියන අයට පුළුවන්නෙ එහෙනම් කොමිසමට කියල ඒ අය අල්ලන්න කියල. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක්.
ලක්ෂයක් විතර ආපු අනාතයන්ගෙන් තාමත් දොළොස්දාහක් විතර පුත්තලමෙ ඉතුරු වෙලා ඉන්නෙ කොහොමද?
ඒ මිනිසුන්ට තාම ගම්වල ඉඩම් ප්‍රශ්න තියෙනව. ඒ මිනිස්සු හිටපු ඉඩම්වල වෙන මිනිස්සු පදිංචි වෙලා. ගම්වලට ගියාම පහසුකම් නෑ. යන්න පාසල් නෑ. රස්සා ප්‍රශ්න තියෙනව. ඒ මිනිසුන්ට ගම්වල ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නැති නිසා තමයි ඒ මිනිස්සු එහෙ ගිහිල්ල රෙජිස්ටර් වෙලා ආපහු මෙහෙට ඇවිල්ල ඉන්නෙ.
ඔබතුමා 2010 – 2015 අතර කාලෙ ඉන්නෙ කර්මාන්ත ඇමැතිතුමා හැටියට. ඒ කාලෙ ඔබතුමාට තියෙන චෝදනාවක් තමයි සිංහල මිනිසුන්ට අලුතෙන් කර්මාන්ත පටන් ගන්න අවසර දෙන්නෙ නැතුව මුස්ලිම් අයට අවසර දුන්න කියල?
මගේ අමාත්‍යාංශයෙ මම විතරයි මුස්ලිම්. ලේකම්වරයගෙ ඉඳල නිලධාරීන් දහදාහකට වැඩිය හිටිය ආයතනවල ඔක්කොම සීයට අනූනවයක් හිටියෙ සිංහල සහෝදරවරු තමයි. එහෙම ඉද්දි මම ඒ වගේ වැරැද්දක් කළා නම් එයාලට ඔප්පු කරන්න පුළුවන්නෙ. මම අමාත්‍යාංශය භාරගත්තට පස්සෙ නිලධාරීන්ට උපදෙස් දුන්න පැය 24න් තමන්ට අදාළ රාජකාරිය කරල ඉවර කරන්න ඕනෙ කියල. ආයතනයෙ කිසිම කෙනෙක් මට විරුද්ධව කවදාවත් එහෙම කියල නෑ. කර්මාන්ත අංශයෙ ඉන්න කවුරුවත් කවදාවත් මට එහෙම චෝදනාවක් කරල නෑ.
ඊළඟට ඔබතුමාට තියෙන චෝදනාව තමයි ඔබතුමා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙ ඉද්දි ආහාර ආනයනය කිරීම සිංහල ව්‍යාපාරිකයන්ට නොදී මුස්ලිම් ව්‍යාපාරිකයන්ට දුන්න කියල?
ආනයනය කිරීමේ කටයුතු පාලනය කරන්නෙ මගේ අමාත්‍යාංශයෙන් නෙමෙයි. අනිත් එක ලංකාවට ආනයන කටයුතුවලට සීමාවක් තිබුණෙ නෑ. ඕනෑම කෙනෙක්ට ආනයන කටයුතු කරන්න පුළුවන්.
සතොසට ගත්තෙ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙ බඩු විතරද?
අපි හැම අවුරුද්දෙම සතොසට සප්ලයර්ස්ලව රෙජිස්ටර් කරනව. තුන් හාරසීයක් විතර සප්ලයර්ස්ල රෙජිස්ටර් වෙනව. ඒ අයට අත්‍යවශ්‍ය භාණ්ඩ සතියෙන් සතිය ටෙන්ඩර් කරනව. සතොස සභාපති ඇතුළු ටෙන්ඩර් බෝඞ් එකකින් තමයි ඒව තීරණය කරන්නෙ. ඇමැතිවරයාට තීරණය කරන්න බෑ කාටද ටෙන්ඩර් දෙන්නෙ කියල. අමාත්‍යාංශ ලේකම් යටතේ තිබුණ ටෙන්ඩර් බෝඞ් එකෙන් තමයි ඒක තීරණය කරන්නෙ. පුවත්පත් දැන්වීම් මගින් තමයි කට්ටිය රෙජිස්ටර් කරගන්නෙ. ඒකට ඕනම කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන්.
2005 ඉඳන් 2010 වෙනකම් රාජපක්ෂ ආණ්ඩුවෙ ඉඳල, ඇමැතිකම් දරල ඔබ 2015 යහපාලන ආණ්ඩුව හදන්න එනව. ඇයි එහෙම රාජපක්ෂලගෙන් අයින්වෙලා එන්නෙ?
2005, 2010 ජනාධිපතිවරණයෙදි මහින්ද රාජපක්ෂ මහත්තය ජනාධිපති කරන්න මම උපරිම සහයෝගය දුන්න. 2015 වෙද්දි අලුත්ගම, දඹුල්ල වගේ පැතිවලින් ජාතිවාදී සිදුවීම් කීපයක් සිදුවුණා. ඒ වෙලාවෙදි අපි ආණ්ඩුවට කිව්ව මේවට සම්බන්ධ අයට පොලිසිය හරහා කටයුතු කරන්න කියල. ඒ වෙලාවෙදි ඒක වුණේ නෑ. සාමාන්‍යයෙන් මනුස්සයෙක් අසාධාරණයක් වුණාම යන තැන තමයි පොලිසිය. පොලිසිය හරියට පරීක්ෂණ කරල වැරැදිකරුවන්ට දඬුවම් ලබාදුන්නෙ නැත්නම් මිනිසුන්ගෙ විශ්වාසය නැති වෙනව. ඒ වෙලාවෙ ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණෙ. ඒ නිසා තමයි මම ආණ්ඩුව දාල ගියේ.
ඔබ කියන්නෙ ඒ කාලෙ සිංහල අන්තවාදයක් ක්‍රියාත්මක වුණා කියලද?
අන්තවාදයක් ක්‍රියාත්මක වුණා කියල ඔබත් දන්නවනෙ. ලංකාවෙ ඒ වගේ දෙයක් තියෙනව කියල සියලු දෙනාම දන්නවනෙ.
ඔබතුමත් එහෙම අන්තවාදී පක්ෂයක් නෙවෙයිද පිහිටුවාගෙන තියෙන්නෙ?
මගේ පක්ෂය මහජන කොංග්‍රසය. මගේ පක්ෂයෙන් පහුගිය උතුරු පළාත් සභාවට තුන්දෙනෙක් පත්වුණා. මුස්ලිම් දෙන්නයි, සිංහල එක්කෙනයි. ඒ වගේම මේ පාර ප්‍රාදේශීය සභා ඡන්දෙදි අපේ මන්ත්‍රිවරු 169ක් පත්වුණා. ප්‍රාදේශීය සභා 7ක් අපේ පක්ෂය පාලනය කරනව. ඒ හතෙන් එක්කෙනෙක් හින්දු සහෝදරයෙක්. එක්කෙනෙක් කතෝලික සහෝදරයෙක්. ඒ නිසා මගේ පක්ෂය ජාතිවාදී පක්ෂයෙක් නෙමෙයි. මේක ජාතීන් අතර සහයෝගය ඇති කරන්න හදපු පක්ෂයක්. උතුරු පළාත් සභාවට සිංහල කෙනෙක් ගියේ අපේ පක්ෂය හරහා තමයි.
ඔබතුමා මොකද හිතන්නෙ යහපාලන ආණ්ඩුව ගැන?
යහපාලන ආණ්ඩුව නායකයො දෙන්නෙක් එක්ක ගිය නිසා තමයි මේ වගේ තත්ත්වයකට ගියේ. ඒ ගොල්ලො ජනතාව ගැන හිතුවෙ නෑ. පක්ෂය ගැන හිතුවෙ. එහෙම නැත්නම් තමුන් ගැන හිතුවෙ. ඒ වෙලාවෙ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා රට ගැන හිතුව නම්, ඡන්දෙ දුන්න අය ගැන හිතුව නම්, ඡන්දෙ දුන්න මිනිසුන්ට සාධාරණයක් ඉටුවෙන්න ඕනෙ කියල හිතුව නම් ගොඩක් ප්‍රශ්න ඔය විදිහට එන්නෙ නෑ. සමහර හොඳ දේවල් වුණා. පාර්ලිමේන්තුව ශක්තිමත් වුණා. උසාවිය නිදහස් වුණා. කොමිෂන් සභා ශක්තිමත් වුණා. ඒ වගේ හොඳ දේවල් වුණ එකෙන් රටට හොඳයි. අනාගත පරම්පරාවටත් හොඳයි. යහපාලන ආණ්ඩු කාලෙත් ජාතිවාදී වැඩ වුණා. හැබැයි ඒ අයට එරෙහිව නඩු දාල, උසාවි දාල වැඩකටයුතු කළා.
2015ට කලින් මුස්ලිම් අයට තිබුණ හිරිහැර යහපාලන ආණ්ඩුව කාලෙ නැති වුණාද?
ඒ හිරිහැර තිබුණ. මට නෑ කියල කියන්න බෑ. නමුත් එහෙම කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා.
හැබැයි මේ කාලෙ නේද මුස්ලිම් අන්තවාදය පෝෂණය වෙන්නෙ? සහරාන්ල වගේ අය බිහිවෙන්නෙ යහපාලන ආණ්ඩු කාලෙ නේද?
සහරාන්ව මම දැකල නෑ. හම්බවෙලත් නෑ. කතා කරලත් නෑ. සහරාන් කාත්තන්කුඩිවල නැෂනල් තවුෆික් ජමාද් කියල සංවිධානයක් පිහිටුවගෙන එහෙ මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරල තියෙනව. සහරාන්ව අත්අඩංගුවට ගන්න කියල කාත්තන්කුඩිවල මුස්ලිම් ජනතාව පිකටින් පවා කරල තියෙනව. ඒ වගේම මුස්ලිම් කවුන්සිල් කියන සිවිල් සංවිධානයෙන් සහරාන්ගෙ වීඩියෝපට බුද්ධි අංශයට භාරදීල පැමිණිල්ලක් දාල තියෙනව එයා අයි.එස්.අයි.එස්. එකට පක්ෂව කතා කරනව කියල. එයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න කියල. නමුත් එහෙම කිසිම ඇක්ෂන් එකක් ගත්තෙ නැති නිසා තමයි එයාට එහෙම දෙයක් කරන්න පුළුවන් වුණේ.
ඔබතුමාගෙ මල්ලිත් අත්අඩංගුවට අරන් තියෙනව මේ සම්බන්ධයෙන්?
මගේ මල්ලි ව්‍යාපාරිකයෙක්. එයා මගේ දේශපාලනයට උදව් කරන කෙනෙක්. එයා කිසිම ත්‍රස්තවාදී දේකට සම්බන්ධ වෙන කෙනෙක් නෙමෙයි. මගෙත් එක්ක තියෙන දේශපාලන වෛරය නිසා එයාව අත්අඩංගුවට අරන් තියෙනව කියල තමයි මට හිතෙන්නෙ. මගේ සහෝදරය ව්‍යාපාරික ඊබ්‍රහිම් එක්ක කතා කරා කියල අත්අඩංගුවට අරන් තියෙන්නෙ. එයාගෙ පුතා මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් කියල ඒ වෙලාවෙ කවුරුත් දන්නෙ නෑනෙ. පරීක්ෂණ සාධාරණ විදිහට යනව නම් මම හිතන්නෙ මගේ සහෝදරයට නිදහස ලැබෙයි.
මොනවද මේ මද්‍රසා පාසල් කියන්නෙ?
මද්‍රසා පාසල් කියන්නෙ බෞද්ධ දහම් පාසල් වගේ. අපේ ස්ලාම් ආගම ඉගෙන ගන්න පාසල්. ඒව ඉතිහාසයේ ඉඳල ලංකාවෙ තිබිල තියෙනව.
මද්‍රසා පාසල් හරහා අන්තවාදය, ජාතිවාදය පතුරුවන්නෙ කියල අදහසක් තියෙනව. මේ ගැන මොකද කියන්නෙ?
මද්‍රසා පාසල්වල හරියට ඉගෙනගත්ත නම් අන්තවාදය, ජාතිවාදය පතුරුවන්නෙ නෑ. සහරාන් කියන මනුස්සය අවුරුදු අටක් ඉගෙන ගත්තෙ නෑනෙ. අවුරුදු දෙකෙන් පැන්න. එයාට බැරි වුණා හරියට ඉගෙන ගන්න. ඊට පස්සෙ තමයි එයා ජාතිවාදය, අන්තවාදය අවුස්සල උගත් මිනිස්සුවත් රවට්ටල බෝම්බකරුවන් කළේ. හරියට හොයල බලන්න ඕනෙ මේ ත්‍රස්තවාදය පිටිපස්සෙ කවුද හිටියෙ, කවුද මේවට සල්ලි දුන්නෙ, අපේ රට ඇතුළෙ එකම වෙලාවෙ මේ වගේ බෝම්බ පුපුරුවන්න සහරාන් ශක්තිමත් වුණේ කොහොමද කියල. අපේ සියලුම ආගම් නායකයො, දේශපාලකයො, සිවිල් සංවිධාන අපි ඔක්කොම එකතු වෙලා මේ ත්‍රස්තවාදය වළක්වන්න ඕනෙ කියල එකතුවෙලා වැඩ කළා. අපිට හරි වේදනයි මුස්ලිම් නමින් මේ වගේ වැඩක් අපේ රටට වුණා කියන එකට. අපි කවදාවත් ත්‍රස්තවාදයට සහයෝගය දීල නෑ.
බෝම්බ ප්‍රහාරයත් එක්කම සිංහල සමාජය ඔබතුමාට තමයි චෝදනාව එල්ල කළේ මේකෙ සංවිධායක ඔබතුමා කියල?
සිංහල සමාජය නෙමෙයි එහෙම කිව්වෙ. සිංහල, මුස්ලිම් ජනතාව අතර බේදයක් ඇති කරල ජාතීන් අතර ප්‍රශ්න ඇති කරල, ආගම් අතර ප්‍රශ්න ඇති කරන කල්ලියක් ඉන්නවනෙ අපේ රටේ. ඒ කල්ලිය තමයි ඒ වගේ චෝදනාවක් එල්ල කළේ. ඒ චෝදනාවලට සමහර චැනල්වලින් හොඳ ප්‍රචාරයක් දුන්න. ඒ වෙලාවෙ මම ඇතුළුව අනෙක් මුස්ලිම් අමාත්‍යවරුනුත් අමාත්‍යාංශවලින් අයින් වුණා. අයින් වෙලා අපි කිව්ව පරීක්ෂණයට සහයෝගය දෙන්නයි අපි අයින් වුණේ කියල. ඒ වෙලාවෙ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්ව රිෂාඞ් බදුර්දීන් ඇමැතිතුමාට විරුද්ධව පැමිණිල්ලක් තියෙනව නම් ඇවිල්ල ඉදිරිපත් කරන්න කියල. ඒ වෙලාවෙ විරුද්ධ පක්ෂයෙ මන්ත්‍රිවරු, දැන් ඉන්න ඇමැතිවරු හැම කෙනෙක්ම ගියා. ආගමික නායකයො ගියා. ගිහිල්ල පැමිණිල්ලක් කළා. සී.අයි.ඩී. එකෙන් පරීක්ෂණයක් පවත්වල කතානායකවරයාට ලිඛිතව දැනුම්දීමක් කළා රිෂාඞ් බදුර්දීන්ට ත්‍රස්තවාදීන් සමඟ කිසිදු සම්බන්ධයක් නෑ කියල. ඒ ලියුම පාර්ලිමේන්තුවෙ සභාගත කරල තියෙනවා. මගේ නිවැරැදිතාවය ඔප්පු වුණා ඒ වෙලාවෙම.
අපි දකිනව ඔබතුමාගෙ බිරිඳ පවා මුහුණු වහගෙන මුස්ලිම් අන්තවාදී පැත්තට තල්ලු වෙලා තියෙනව. මේ තත්ත්වය කවුද හදන්නෙ මුස්ලිම් සමාජයෙ?
සවුදි අරාබියාවෙ තියෙන සංස්කෘතිය තමයි ඒක. මුස්ලිම් ආගමේ අනිවාර්යයෙන් වහගෙන යන්න ඕනෙ කියල එකක් නෑ. ඉස්ලාම් ආගමෙන් බලපෑමක් කරල නෑ මෙහෙම තමයි අඳින්න ඕනෙ කියල.
හැබැයි මේ වගේ දේවල් හින්ද නේද සිංහල සමාජයයි, මුස්ලිම් සමාජයයි වෙන් වෙන්නෙ. ඇයි තවදුරටත් මේ වගේ දේවල් තියෙන්නෙ? මේක ලිහිල් කරල දාන්න බැරිද ඔබතුමාලට?
ඒක බලහත්කාරයෙන් කරන්න බෑ. අපි ඔක්කොමල එකතු වෙලා ලංකාවේ සංස්කෘතිය අනුව ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදන්න ඕනෙ. ඒක සහයෝගයෙන් කරන්න ඕනෙ වැඩක්. දැනටමත් අපි ඒක පටන් අරන් තියෙන්නෙ. මේ බෝම්බ පිපුරුණාට පස්සෙ අපි කල්පනා කරන්න ගත්ත කොතැනද අපිට වැරදුණේ කියල. සමහර දේවල් වැරැදියි කියල අපිටත් තේරුණා. අපි ඒ වැරදි දැන් හදාගෙන යනවා. අපේ ආගමෙන් කියල තියෙනව ඔබගේ රටේ තියෙන නීතියට ගරු කරන්න කියල. ඒකෙන් පිට යන්න එපා කියල තියෙනව. අපි සියලු දෙනා සහයෝගයෙන් වැඩ කරන්න ඕනෙ කියන තැනට අපි දැන් ඇවිල්ල ඉන්නව.
සහරාන්ගෙ ප්‍රශ්නය ඔබල හැදුව යහපාලන ආණ්ඩුව පරදින්නත් හේතු වුණා නේද?
සහරාන්ගෙ ප්‍රශ්නය ඡන්දෙ කාලෙ ලොකුවට ගෙනිච්ච. නමුත් ආණ්ඩුවත් සමහර වැරැදි කරා කියල අපි පිළිගන්න ඕනෙ. ආණ්ඩුව හදපු දවසෙ ඉඳල ජනාධිපති එක පැත්තක ගියා. ඇමැතිවරු තව පැත්තක ගියා. අනිත් එක ආරක්ෂක මණ්ඩලය රැස්වෙලා තිබ්බෙ නෑ කියලත් අපිට ආරංචි වුණා. අගමැතිට ආරක්ෂක මණ්ඩලයට එන්න ආරාධනා කරල තිබ්බෙ නෑ. ඒ වගේ වැරැදිත් යහපාලන ආණ්ඩුවෙන් වුණ එකත් එක හේතුවක් මේ වගේ බෝම්බ පුපුරන්න.
දෙමළ, මුස්ලිම් පක්ෂවල මතයක් තිබ්බ ජනාධිපති කෙනෙක් හදන්න කුඩා පක්ෂවල සහයෝගය ඕනෙ කියල. නමුත් මෙවර ජනාධිපතිවරණයෙදි ඒක වෙනස් වුණා. ඒ ගැන ඔබතුමා හිතන්නෙ මොකක්ද?
ලංකාවෙ 70%කට වැඩිය ඉන්නෙ සිංහල ජනතාව. සිංහල ජනතාවට ඕනෙ කෙනා ජනාධිපති හැටියට පත්කරන එක සිංහල ජනතාවට අමාරු දෙයක් නෙමෙයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි සහයෝගය දුන්නෙ නැති වුණාට තොණ්ඩමන් මන්ත්‍රිතුමා සහයෝගය දුන්න. ඩග්ලස් දේවානන්දා මහත්තය සහයෝගය දුන්න. අතාවුල්ලා මහතා සහයෝගය දුන්නා. මේ රටේ ජාතිවාදය තව තව අවුස්සන්නෙ නැතුව අපි රටේ තියෙන තත්ත්වය තේරුම් අරගෙන රට ගොඩනගන්න එකතු වෙලා වැඩ කරන්නයි ඕනෙ.
ඔබ රාජපක්ෂ මහත්තයගෙන් අයින් වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ පක්ෂෙත් එක්ක ගනුදෙනු කළා. ඊට පස්සෙ රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් අයින් වෙලා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ගනුදෙනු කරනව. ඇයි ඒ?
අපි විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයගෙ ඡන්දෙ වෙලාවෙදි උදව් කරපු සියලුම පක්ෂ සජිත් ප්‍රේමදාස මහත්තයගෙ සන්ධානෙන් තමයි ඡන්දෙ ඉල්ලන්නෙ.
ඔබ විශ්වාස කරන අනාගත දේශපාලන නායකය කවුද?
එක පුද්ගලයෙක්ට අපේ රට හදන්න බෑ. සියලු දෙනා ආගම්, පක්ෂ බේදයෙන් තොරව එකතු වෙලා තමයි මේ රට හදන්න ඕනෙ. එහෙම නැතුව තනි පුද්ගලයෙක්ට මේ රට හදන්න බෑ.
ඔබ අනාත කඳවුරක ඉඳල දේශපාලනය පටන් අරන්, අවුරුදු 15ක් විතර ඇමැතිකම් දරල, අද ඔබ ලංකාවේ පළමුවැනි කෝටිපතියන් 10 දෙනා අතරෙත් ඉන්නව කියනව. මේ තත්ත්වෙට ආවෙ කොහොමද?
ඒ වගේ චෝදනා කරන්න පුළුවන්. නමුත් ඒවයෙ ඇත්ත නැත්ත බලන්න ඕනෙ. මම 2001 පාර්ලිමේන්තුවට තේරුණ වෙලාවෙදි වත්කම් බැරකම් ප්‍රකාශය ලබාදුන්න පාර්ලිමේන්තුවට. හැම අවුරුද්දෙම මම ඒ ප්‍රකාශය භාරදීල තියෙනව. එයිට වඩා රුපියලක්වත් මගේ අතේ නෑ. වැරැදි විදිහට මම හම්බු කරල නෑ. මම ඔබතුමා කියන විදියෙ කෝටිපතියෙකුත් නෙමෙයි. මම සාධාරණ විදිහට ජීවත් වෙන පුද්ගලයෙක්.
ඔබතුමා දේශපාලනඥයෙක් වීම ගැන ගෙදර අය මොකද කියන්නෙ?
දුක් විඳින අපේ ජනතාවට සේවය කරන්න තමයි මම දේශපාලනයට ආවෙ. ඒ එනකොට මගේ දරුවො පොඩියි. මගේ හෘදසාක්ෂිය අනුව මම උපරිම සේවයක් ඉටුකරල තියෙනව. මගේ දරුවො කියන්නෙ දැන් දේශපාලනයෙන් අයින් වෙලා අපිත් එක්ක කාලය ගත කරන්න කියල. මම දේශපාලනය කරපු අවුරුදු 20ම පවුලත් එක්ක වැඩි කාලයක් හිටියෙ නෑ. මගේ ජනතාවත් එක්ක තමයි වැඩිපුර හිටියෙ.
මේ පාර ඡන්දෙදි ආසන කීයක් විතර ගන්න පුළුවන් වෙයිද?
මන්ත්‍රි ධුර අටක්, දහයක් විතර බලාපොරොත්තු වෙනව.

සකස් කළේ ඉන්දික වික්‍රමරත්න











