“චීනය තම රටේ උයිගර් සහ සිංජිඈං ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් ප්‍රජාවට අමානුෂික අන්දමින් දරුණු හිංසා පීඩා “මානව වර්ගයාට එරෙහිව කෙරෙන අපරාධ” ලෙසින් හැඳින්වූවත් ඒවා “මනුෂ්‍ය ඝාතන (මිනිස් සංහාර) වශයෙන් නිර්ණය කිරීමට තරම් සාධක නැතැයි” හියුමන් රයිට්ස් වොච් සහ ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සහ ගැටුම් විසර්ජන සායනය විසින් පසුගිය සඳුදා නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ.
පිටු පනස් තුනකින් (53) සමන්විත වාර්තාවේ පෙන්වා දෙන අන්දමට චීනයේ වයඹ දෙසින් පිහිටි “සිංජිඈං”පළාතේ වෙසෙන තුර්කි මුස්ලිම් ප්‍රජාව වනාහි මානව හිමිකම් නීතී මාලාවේ සඳහන් අයිතීන් අහිමි වින්දිතයන් පිරිසකි.
“චීනයේ උයිගර්, කසාක් සහ සිංජිඈං පළාත්වල වෙසෙ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව දරුණු අපරාධ ක්‍රියාත්මක කළ චීනය එමතුද නොව ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේ යැයි වොෂින්ටනයේ ස්ථාපිත “හියුමන් රයිට්ස් වොච්” ආයතනය සහ ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ චීන අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ සොපී රිචඩ්සන් විසින් පසුගිය සඳුදා පවත්වන ලද මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ඒ කවර අන්දමේ වධහිංසාත්මක අපරාධයක් වුවත් ඒ කිසිවක් එක්දහස් නවසිය හතළිස් අටේ (1948) එක්සත් ජාතීන්ගේ සංගමය සම්මත කළ මානව ඝාතන සම්මුතියට අනුව “මනුෂ්‍ය ඝාතන” (මිනිස් සංහාර) වශයෙන් සැසඳිය නොහැකි බව “හියුමන් රයිට්ස් වොච්” ආයතනය සහ “ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ සොපී රිචඩ්සන් පවසයි.
චීන වධහිංසා සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කර ඇති වාර්තාවේ සිද්ධීන් අනාවරණ කර ඇතත් ඒවා “මානව සංහාර” වශයෙන් සනාථ කිරීමට තරම් හැකියාවක් ඇති සාධක නැතැයි සොපී රිචඩ්සන් වැඩිදුරටත් පවසයි.
“එසේ කෙරෙන වධහිංසා ජන සංහාරයක් වශයෙන් නොසැලකෙන්නේ නම් ඒවා එතරම් බරපතළ නොවන්නා වූ ගණන් ගතයුතු තත්ත්වයේ ඒවා නොවන මහජනතාවගේ ආකල්පයයි. එහෙත් ඇත්ත වශයෙන්ම තත්ත්වය එසේ නොවේ” යැයි මානව හිමිකම් කණ්ඩායමේ විධායක අධ්‍යක්‍ෂ කෙනත් රොත් පවසයි.
චීනය මෙසේ ක්‍රියාත්මක කරන හිංසන ක්‍රියාවලියේ අවසාන තීරණාත්මක කරුණ නම් සමස්ත උයිගර් ප්‍රදේශයම හෝ ඉන් අඩක් හෝ මෙන්ම මුස්ලිම් ප්‍රජාවද විනාශ කරදැමීම වේ. එහෙත් එය සිතන තරම් පහසු කරුණක් ද නොවේ යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කෙළේය.
“හියුමන් රයිට්ස් වොච්”චීනය ගෙනයන මේ ක්‍රියාවලිය සම්බන්ධව පැය විසිහතර පුරාම තදබල නිරක්‍ෂණයක යෙදෙනවා. ඒ නිසා මේ කෙරෙන්නේ “ජන සංහාරයක්”යැයි හේතු සාධක නැතිව ප්‍රකාශ කිරීමට තරම් ඉක්මන් වෙන්නේ නෑ. අප කිසිම කෙනකුට එරෙහිව පදනම් විරහිතව අපහාස කිරීමේ කිසිම අපේක්‍ෂාවක් නෑ. එසේ කරතොත් කරන්නේ සනාථ කරන්න හැකි අන්දමට කරුණු කාරණා හේතු සාධක සොයා ගෙනයි” විධායක අධ්‍යක්‍ෂ කෙනත් රොත් පැවසීය.
චීනය මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇත්තේ “ජන සංහාරයක්” බව එක්සත් ජනපදය, බෙල්ජියම, කැනඩාව සහ නෙදර්ලන්තය තීරණය කර තිබේ. ඒ නිසා ජාත්‍යන්තර නීතියට අනුව චීනයට එරෙහිව කටයුතු කළයුතු බව ඒ රටවල මතයයි.
එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව දෙදහස් විස්ස (2020) වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මානව හිමිකම් පිළිබඳ වාර්තාවේ චීනයේ සිංජියෑං ප්‍රදේශයේ “ජන සංහාරයක් සහ මානව අපරාධ” කෙරෙන බව පළමු වරට වාර්තා කර තිබේ.
ලබන සතියේ පැවැත්වෙන ඇමෙරිකා පාර්ලිමේන්තුවේදී එම යෝජනාව සම්මත කිරීමට නියමිත බව රාජ්‍ය දෙපාර්තමේන්තු ආරංචිවලින් පැවසේ.
සුළු පරිමාණයේ ගෝලීය ඇඟළුම් නිෂ්පාදකයන් සහ ව්‍යාපාරිකයන් වන එච් ඇන්ඩ් ඇම්, නයික් සහ අඩිඩාස් චීනයේ “සිංජිඈං”ප්‍රාන්තයේ නිෂ්පාදිත කපුපිළි සිය නිෂ්පාදනවල අමුද්‍රව්‍ය වශයෙන් යොදා නොගැනීමට තීරණය කර තිබේ. ඒවා එසේ ප්‍රතික්‍ෂේප කිරීමට හේතුවී ඇත්තේ “සිංජිඈං” ප්‍රදේශයේ වෙසෙන සහ අත්අඩංගුවේ පසුවන මුස්ලිම් ජාතිකයන්ගේ බලහත්කාර ශ්‍රමයෙන් සකස් කෙරෙන හෙයින් යැයි පැවසේ.
එහෙත් චීනය ඒ චෝදනාවට පිළිතුරු වශයෙන් “සිංජිඈං”සහ “උයිගර්” ස්වතන්ත්‍ර පාලන බලප්‍රදේශයේ සභාපති “ෂොහොරාත් සකීර්” පසුගිය දෙදහස් දහනවයේ (2019) ජූලි මාසයේදී තරයේ ප්‍රකාශ කළේ ඒවා බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය නොකරන බව මෙන්ම මුස්ලිම්වරුන් රඳවා ඇත්තේ රැඳවුම් කඳවුරුවල නොව අධ්‍යාපනික නේවාසිකාගාරවල බවයි.
එහෙත් හියුමන් රයිට්ස් වොච් සහ ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සහ ගැටුම් විසර්ජන සායනය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් වන්නේ “සිංජිඈං” ප්‍රාන්තයේ මානව ක්‍රියාකාරකම් පිළිබඳ දශක දෙකක් තිස්සේ කෙරුණු පරීක්‍ෂණවලින් මහා පරිමාණයේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවයි.
ඇතැම් කරුණු සනාථ කිරීම සඳහා චීන රජයෙන් නිකුත් කළ ලේඛනද ඇති බවයි.
නීති විරෝධී අන්දමින් රැඳවුම් භාරයේ තබා ගැනීම් වධ හිංසා බලහත්කාර අතුරුදන් කිරීම් පවුලේ සාමාජිකයන් වෙන්කිරීම් (දරුවන් මාපියන්ගෙන් සහ සැමියන් බිරියන්ගෙන්) බලහත්කාරයෙන් ශ්‍රමය පැහැරගැනීම, කාන්තාවන්ට කෙරෙන ලිංගික හිංසනය, ප්‍රජනන අයිතිවාසිකම් අහිමිකිරීම් ආදී කරුණු ජාත්‍යන්තර නීති පද්ධතියට පටහැනිව කෙරෙන ඒවා බව සනාථ කිරීමට හැකි අන්දමේ ලිඛිත සාධක ඇති බවද වාර්තාවේ දැක්වේ.
වර්ෂ එක්දහස් නවසිය අනූඅටේ (1998) ගිවිසගත් රෝම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විස්තර කෙරෙන මානව වර්ගයාට එරෙහි අපරාධ යන වගන්ති කඩකිරීම් මත ජාත්‍යන්තර අධිකරණයට යාමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
අපරාධයක් කිරීම හෝ එහි කොටසක් වශයෙන් හෝ සාමාන්‍ය මහ ජනතාවට එරෙහිව අනුදැනුමෙන් (හිතාමතා) කෙරෙන මෙහෙයවීම් වශයෙන් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගතහැකි බවද වාර්තාව පෙන්වා දෙයි.
“මානව වර්ගයාට එරෙහි අපරාධ” යන්න රෝම ව්‍යවස්ථාවේ සිව් (4) ආකාරයකට විස්තරකර ඇති බව පෙන්නා දී ඇත.
පහර දීමක් පෘතුල වශයෙන් හෝ ක්‍රමෝපායානුකූලව විය හැකිය.
එය “සිවිල් ප්‍රජාවකට” එරෙහිව මෙහෙය වනු ලබන්නක් විය හැකිය. එය අනුදැනුමෙන්(හිතාමතා)කෙරෙනු ලබන්නක් විය හැකිය.
නැතහොත් එය රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් පවත්වනු ලබන්නක් විය හැකිය.
හියුමන් රයිට්ස් වොච් සහ ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සහ ගැටුම් විසර්ජන සායනය ඉදිරිපත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් සඳහන් අන්දමට“සිංජිඈං” ප්‍රාන්තය පුරාම තුර්කි මුස්ලිම් ජාතිකයන් දස ලක්‍ෂයක (10,00,000) තරම් ප්‍රමාණයක් නීති විරෝධී අන්දමින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇත. මෙය රෝම ව්‍යවස්ථාවේ දැක්වෙන “පෘතුල වශයෙන් හෝ ක්‍රමෝපායානුකූලව හෝ” යන අපරාධ ගනයට අයත් බව වාර්තාව කියයි.
එසේම ඒ අවකල් ක්‍රියාව දෙවැනි කරුණ වශයෙන් විස්තර කෙරෙන“සිවිල් ප්‍රජාවකට” එරෙහිව මෙහෙය වනු ලබන්නක්” යන කුලකයට අයත් බව ද දැක්වේ.
තෙවැනි වර්ගය වශයෙන් විස්තර කර ඇති “අනුදැනුමෙන් (හිතාමතා) කෙරනු ලබන්නක්” යන්නට සාධක වශයෙන් දක්වා ඇත්තේ “අභ්‍යන්තර සිංජිඈං” ස්වතන්ත්‍ර පාලන අධිකාරියෙන් යෙන් (සිංජිඈං ආණ්ඩුවෙන්) නිකුත් කෙරුණු ලේඛනයකි. එම ලේඛනය තුර්කි මුස්ලිම් ජාතිකයන් අරභයා පහරදීමේ ක්‍රමවේදය ඇඟවෙන එහෙත් ප්‍රතිඅධ්‍යාපනය හුවා (මතුකර) පෙන්වන්නකි.
මේ ලේඛනය “හියුමන් රයිට්ස් වොච්” ආයතනය විසින් කවර ආකාරයෙන් සොයාගනු ලැබුවේදැයි යන්න වාර්තාවට ඇතුළත් කර නැත.
එමතුද නොව චීන ජනාධිපති සි ජිංපිං :මුස්ලිම් වර්ගයාට හිරිහැර කිරීමට පොලිසියට දුන් නියෝග “හිංසාව රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් පවත්වනු ලබන්නක් බව සනාත කරන්නක් යැයි වාර්තාව පෙන්වා දෙයි.
සිංජිඈං පළාතේ වෙසෙන තුර්කි මුස්ලිම් ප්‍රජාවට එරෙහිව චීන ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සහ ක්‍රියා කලාපය ජාත්‍යන්තර අපරාධ නීතියට අනුව බලවත් අපරාධයක් බව ස්ටැන්ෆෝර්ඩ් නීති විදා්‍යාලයේ මහාචාර්ය බෙත් වෑන් ෂාක් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
“ආණ්ඩුවට මේ අපරාධ නවත්වන්න පුළුවන්කමක් නැත්නම් මේවාට වගකිව යුතු එමෙන් වගවිය යුතු අයට ඒ ඒ අන්දමට දඬුවම් දීම සඳහා ජාත්‍යන්තර බලවත් ඒකාබද්ධ ක්‍රියා මාර්ගයක් ගතයුතු බව පෙන්වා දිය යුතුයි” යන්න එම නිවේදනයෙන් කියැවේ.
චීනය මේ ගෙනයන අගතිගාමී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව වහාම පියවරක් ගත යුතු බව හියුමන් රයිට්ස් වොච් සහ ස්ටැන්ෆෝර්ඩ් සරසවි වාර්තාව අවධාරණය කරයි.
චීන පාලනය ගෙන යන දුර්දාන්ත මානව චෝදනාවලට සහ ඊට මෙතෙක් දායකත්වය දුන් රාජ්‍ය නිලධාරීන් අතරින් හඳුනා ගත්තවුන් වෙනුවෙන් පරීෂක්‍ෂණයන් පැවැත්වීම උදෙසා කොමිසමක් නම්කරන ලෙසට යෝජනාවක් සම්මත කරන සේ වාර්තාවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවන්සලයේ ද අවධානය යොමු කරවා තිබේ.
තම රටවලට ඇතුළුවීමට නොහැකිවන සේ මානව අපරාධවලට ඍජුවම සම්බන්ධ චීන රාජ්‍ය නිලධාරීන්ට (චීන ජාතිකයන්ට) වීසා සහ සංචාරක නීති පනවන අන්දමින් සියලුම විදේශ පාලකයන් එකමුතුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවටද වාර්තාවේ නිර්දේශයක් ඉදිරිපත් කර තිබේ.
“සිංජිඈං” සමග ආයෝජන ගිවිසුම්ගත සියලුම රටවල් සිය ගිවිසුම්වල කොන්දේසි යළි සමාලෝචනය කරවීමේ දැඩි ක්‍රියාමාර්ගයකට අවතීර්ණවිය යුතු යැයි ද ශ්‍රමය බලහත්කාරකමෙන් උදුරාගැනීමට එරෙහිවීම පිණිස චීනයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතු බවද කියයි.
මුස්ලිම් ප්‍රජාවටට එරෙහිව කෙරෙන අපරාධ වැළැක්වීම සඳහා ගෝලීය වශයෙන් එක්ව ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතා දිනෙන් දිනම වර්ධනය වන බැව් ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ චීන අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ සොපී රිචඩ්සන් කියයි.
එහෙත් චීනය විසින් තමන්ට එරෙහිව දසතින් චෝදනා නගනු ලබන්නන් විිවේචනයට ලක් කරනු ලබයි.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජපන් අගමැති යොෂිහයිඩ් සුගා පසුගියදා පැවැත්වූ සාකච්ඡාවකින් පසු “හොංකොං” සහ “සිංජිඈං”වල කෙරෙන මානව අපරාධ සම්බන්ධව ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කර තිබේ.
“මේවා සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතු”යනුවෙන් ඒ නිවේදනයේ අඩංගු කරුණු සම්බන්ධව පිළිතුරු වශයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීවේය.
“මේ නිවේදනයේ තියෙන්නෙ චීනෙට තියෙන මූලික අයිතිවාසිකම් පිළිබඳ කරුණුය. ඒවාට කාටවත් ඇඟිලි ගහන්න අයිතියක් නෑ” ජපානයේ ටෝකියෝ නුවර පිහිටි චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් ජනාධිපති ජෝ බයිඩන් සහ ජපන් අගමැති යොෂිහයිඩ් සුගා යන දෙදෙනොගේ ඒකාබද්ධ නිවේදනය ගැන එසේ කීවේය.
බාහිර පරීක්‍ෂකයන්ට “සිංජිඈං ප්‍රදේශයට ඇතුළුවීමට ඉඩදී ඇතිබව සත්‍යයක් වුවත් ඒ සීමාවන් යටතේ බවද පැවසේ.
“සිංජිඈං ප්‍රදේශයට ඇතුළුවීමට විශාල fදාරටුවක් ඇති බව සැබෑවක්. එහෙත් එය විවර කෙරෙන්නේ අඩක් පමණයි” යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් වන “හුවා චන්යිං” පසුගිය මාර්තු මාසයේ විසිහතර වැනි දින (24) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
රෝම ව්‍යවස්ථාව අනුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට චීනයේ කෙරෙන අපරාධ සම්බන්ධයේ පරීක්‍ෂණ පැවැත් වීමටත් ඒවාට වඩාත්ම වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමටත් හැකිය.
එහෙත් මූලික අධිකරණ බලයක් පමණක් ඇති රජයක් එවැනි ක්‍රියා මාර්ගයක් ගැනීමට මැලිවන බවද කියයි.
චීනය එවැනි ජාත්‍යන්තර ක්‍රියාකාරී රාමුවක පාර්ශවකරුවකු නොවන බැවින් එරටට (චීනයට) විරුද්ධව ඒ අන්දමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බවද පැවසේ.
එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සලය ජාත්‍යන්තර අපරාධ සම්බන්ධ අධිකරණයට දැනුම් දී තිබෙන්නේ චීනය නිෂේධ බලය ඇති රටවල් පහෙන් එක් සාමාජිකයකු බැවින් යමක් කළ නොහැකි බවයි.
චන්ද්‍රසේන මාරසිංහ











