පසුගිය සතියේ “මව්රට” පුවත්පතේ මුල් පිටුවේම අපි අති විශේෂ පුවතක් වාර්තා කිරීමට කටයුතු කළෙමු. එම පුවතින් අප පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැංවීම අරමුණු කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක්තරා විශේෂ පුද්ගලයකු ලංකාවට ගෙන්වාගෙන ඇති බවය. හෙතෙම සිංහල, බෞද්ධ තරුණ මහාචාර්යවරයකු බවත්, ජාන විද්‍යාව සහ ඖෂධ නිපදවීම සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති විශේෂඥයකු බවත් එහිදී අපි සඳහන් කර සිටියෙමු.
“එහෙනම් කවුද මේ තරුණ, බෞද්ධ, සිංහල මහාචාර්යවරයා.”
ඔහු වෙන කවුරුවත් නොව රොෂාන් පෙරේරාය. රොෂාන් පෙරේරා යැයි කී සැණින් එය එතරම් කනට හුරු පුරුදු නමක් නොවූවත් ඔහුගේ ඉතිහාසය දෙස බලන විට ඔහු සිය වයස ඉක්මවා ගිය විද්වතෙක් යැයි කිවහොත් එහි කිසිදු අතිශයෝක්තියක් නැත. ඒ තරමට ඔහු වැඩකාරයෙකි. ජාන විද්‍යාව පිළිබඳව පරතෙරට උගත්තෙකි. ලොව ප්‍රකට විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධිය හදාරන සිසුන්ට විෂය දැනුම නිර්ලෝභීව බෙදාදුන්නෙකි. අතලොස්සක් පමණක් වන ලොව අග්‍රගණ්‍ය ජාන විද්‍යාඥයන්, මහාචාර්යවරුන් සමඟ උරෙන් උර ගැටී කටයුතු කළ තැනැත්තෙකි. ලංකාවේ නම ලෝකයේ එක් කොනක් වූ ආක්ටික් කෙළවරට රැගෙන ගිය අතිදක්ෂයෙකි.
රොෂාන් ඉපදුණේ 1972 වසරේ මතුගම නෑබඩය. නමුත් කුඩා කල හැදී වැඩුණේ පන්නිපිටියේය. ප්‍රාථමික අධ්‍යාපනය පන්නිපිටිය ක්රිස්තුරාජයෙන්ද, ද්විතීයික අධ්‍යාපනය කෝට්ටේ ශාන්ත තෝමස් සහ ගල්කිස්සේ ශාන්ත පීතර විද්‍යාලයෙන්ද ලැබූ රොෂාන් අනතුරුව විද්‍යා අංශයෙන් උසස් පෙළ කොට පේරාදෙණි සරසවි වරම් දිනාගත්තේය.

“ඒ කාලේ ජේවීපී කලබල. ඉතින් මම අවුරුද්දක් කැලේ පැන්නා. ඒ කියන්නේ මට පොඩි කාලෙ ඉඳන්ම ලොකු උවමනාවක් තිබ්බ හැමදෙයක් ගැනම ඉගෙන ගන්න. ඉතින් මම එක අවුරුද්දක් පොළොන්නරුවෙ ගිහිල්ල වඳුරො ගැන කරපු රිසර්ච් එකකට සම්බන්ධ වෙලා හිටිය. ඒක කළේ ස්මිත්සෝනියන් ඉන්ස්ටිටියුට් එක. එතැන ප්‍රධානියා වුණේ ඩොක්ටර් වුල්ෆ්ගැන්ග් ඩිටස්. ඒ රිසර්ච් එක තමයි ලෝකෙ දීර්ඝ කාලයක් තිස්සෙ කරන ප්‍රොජෙක්ට් එක. මම ඩොක්ට ඩිටස්ට් ගාව ඉඳගෙන කොහොමද රිසර්ච් එකක් කරන්නෙ කියන එක ඉගෙනගත්තා. ඒ අවුරුද්දෙම මම කොළඹ ආවෙ නෑ. ඒ වඳුරොත් එක්ක ගෙවපු කැලෑ ජීවිතේ තමයි මගේ හොඳම කාලෙ.
පස්සෙ පේරාදෙණියෙ ඩිග්රි එක කරල රිසාල්ට්ස් එන්නත් කලින් මම පිටරට විශ්වවිද්‍යාලවලට ඇප්ලයි කළා. ඒ අතරවාරයේ කොළඹ ඇවිත් ප්‍රයිවට් ඩිග්රි එකකුත් සම්පූර්ණ කළා. ඒ දවස්වල මගේ පුරුද්දක් තිබුණ හැම ලයිබි්රයකටම ගිහිල්ල පොත් කියවන්න. බි්රටිෂ් කවුන්සිල්, ෆ්‍රෙන්ච් වගේ හැම ලයිබි්රයකටම මම ගියා. ඒවයෙ ඉගෙනගත්තා. මම ඉස්කෝලෙවත් ටියුෂන්වත් ගිහින් කටපාඩම් කරල ඉගෙන ගත්තෙ නෑ. මම කළේ පොතේ තියෙන කරුණු හයිලයිට් කරල ඒක හිතින් මවාගත්ත එක. එතකොට ඒ සියලු පාඩම් චිත්‍රයක් වගේ මගේ හිතේ තියෙනව. ඒ හරහා තමයි මම විවිධ නිර්මාණ කරන්න පෙලඹුණේ.” යනුවෙන් කී මේ තරුණ මහාචාර්යවරයා සිය කුඩා කල ජීවිතය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කළේය.

සාමාන්‍යයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසුව හෝ විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසු සෑම තරුණයකුම යන එක්තරා මාර්ගයක් තිබේ. ඇතැමුහු ප්‍රතිඵල එන තෙක් විවිධ පාඨමාලා හදාරමින් ගෙදරට වී සිටිති. තවත් සමහරු විවිධ සුළු සුළු රැකියා කරති. තවත් සමහරු නිවෙසටම වී සිටිති. නමුත් මේ තරුණ මහාචාර්යවරයා සැවොම ගිය ඒ සාමාන්‍ය මාවතේ ගමන් කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ තමන්ගේම මාවතක් පාදාගැනීමය.
“මම එග්සෑම් ඉවර වෙලා කොළඹ තියෙන හැම එම්බසියකටම ගියා. ගිහින් ඒ ඒ රටවල්වල තියෙන හැම විශ්වවිද්‍යාලයකම තොරතුරු ඉල්ලගන්නව. ඒ කාලෙ අපිට ටයිපින් පහසුකම් තිබුණෙ නෑ. ඉතින් මමම ගෙදර ඇවිල්ල රෑ වෙනකම් ඒ පිටරට විශ්වවිද්‍යාලවලට ලියනව. ඒ ලියල ඉල්ලන්නෙ මට ශිෂ්‍යත්වයක් දෙන්න කියලයි. ඇයි මට ශිෂ්‍යත්වයක් දිය යුත්තෙ කියලත් මම ඒකෙ සඳහන් කරනවා. ඔය වගේ විශ්වවිද්‍යාල විස්සකට විතර මම ලියලයි තිබ්බෙ.” යනුවෙන් කී මෙම තරුණ මහාචාර්යවරයා තමන්ගේ ජීවිතය වෙනසකට ලක් කළ එක්තරා සුවිශේෂ හිමිනමක් පිළිබඳවද මෙහිදී අපූරු විස්තරයක් කළේය. සැබැවින්ම එය ආශ්චර්යජනකය.

“ඒ කාලෙ තලවතුගොඩ පොල්වත්ත හරියෙ පන්සලක හාමුදුරු කෙනෙක් හිටිය. අපෙ අම්ම එක පාරක් මගේ කේන්දරෙත් අරන් මේ හාමුදුරුවො හම්බුවෙන්න ගිහිල්ල තිබුණ. ඒ වෙද්දි ඕස්ටේ්රලියාවෙ නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයෙන් මට ලියුමක් ඇවිත් තිබුණ එහෙ එන්න කියල. ඒකට යම් සල්ලි ප්‍රමාණයක් පෙන්නන්න ඕනෙ වුණා. මම ඒකත් ලෑස්ති කරගෙනයි හිටියෙ. හැබැයි මේ හාමුදුරුවො අපෙ අම්මට කියල තිබුණ මේ ළමය අනිවාර්යයෙන් රට යනව. හැබැයි යන්නෙ අතින් සතපහක්වත් වියදම් කරගෙන නෙමෙයි, නිකම්මයි යන්නෙ කියල. මේක කියද්දි මමත් එතැන හිටපු හින්ද මට හිතුණ මේක බොරුවක් කියල. මොකද මම දැන් සල්ලි පෙන්නල ඕස්ටේ්රලියා යන්නයි ලෑස්ති වෙලා ඉන්නෙ. එහෙම තියෙද්දි දවසක් උදේ අපේ ගෙදරට ලියුමක් ආව. ඒ ලියුමෙ තිබ්බෙ මට ශිෂ්යත්වයකුයි, එයාර් ටිකට් එකයි, ක්‍රෝන 6000කුයි. නෝර්වේ රටේ ලෝකෙ උතුරෙම තියෙන විශ්වවිද්‍යාලයකින් තමයි මට මේ ලියුම ඇවිත් තිබුණෙ. මේක ගැන මටම පුදුමයි. ඉතින් මට ඕස්ටේ්රලියාවෙ යනවද නෝර්වෙ යනවද කියල තෝරගැනීමක් කරන්න සිද්ධ වුණා. ඉතින් මම එදා උදේ බස් එකේ නැග්ගෙ ඕස්ටේ්රලියා එම්බසි එකට යන්න හිතාගෙන. හැබැයි ටික දුරක් යද්දි මට හිතුණ නෑ මම නෝර්වේ යනව කියල. මම එහෙම්මම බස් එකෙන් බැහැල නෝර්වේ එම්බසි එකට ගිහින් මට ආපු ලියුම පෙන්නුව. ඒ අය කිව්ව ඔයාට අධ්‍යාපනය නොමිලේ, සෞඛ්‍ය නොමිලේ, ඉන්න හිටින්න තැන නොමිලේ, විශ්වවිද්‍යාල කටයුතු නොමිලේ, සියලුම කටයුතු නොමිලේ ලැබෙනව කියල. ඉතින් මම රිසාල්ට් එන්නත් ඉස්සෙල්ල නෝර්වේ ගියා…”

නෝර්වේවලදි මේ තරුණ රොෂාන් ගතකළේ ඔහුටම ආවේණික වූ අපූරු ජීවිතයකි. විශ්වවිද්‍යාලය පිහිටා තිබුණේද හිමෙන් වැසී ගිය සීතල උතුරු ආක්ටික් කෙළවරේය. මුළු දූපතටම සිටියේ පවුල් හතරක් හෝ පහකි. උදෑසන සිටම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන රොෂාන් රාත්‍රිය දක්වාම ඒ කටයුතු සිදුකරනු ලබයි. පළමු අවුරුද්ද අවසානයේදී නොමිලේ ලංකාවට ඒමට ගුවන් ටිකට් පතක් හිමිවුවද තරුණ රොෂාන් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේය. ඔහුට අවශ්‍යව තිබුණේ හිමපතනය පවතින සමයේ ඒ අත්දැකීම රිසි සේ විඳගන්නටය. ඒ අනුව නෝර්වේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඉතා සාර්ථකව අවසන් කළ රොෂාන් නැවැත වරක් එක්තරා විශේෂ කඩඉමකට පිවිසෙයි. ඒ නෝර්වේ රටේ සිටම පශ්චාත් උපාධිය හදාරනවාද එසේත් නැතිනම් වෙනත් රටක පශ්චාත් උපාධිය හදාරනවාද යන්නය.
“මම ග්‍රැජුවේෂන් එකයි මාස්ටර්සුයි හොඳටම කළා. නෝර්වේ රිසර්ච් කවුන්සිල් එකේ පී.එච්.ඩී. කරනවා නම් නෝර්වේ භාෂාව ඉගෙන ගන්න ඕනෙ. නෝර්වේවල මාස්ටර්ස් ඉංග්‍රීසියෙන් කරපු එකම ළමය මම. 2005දී ඒ විශ්වවිද්‍යාලයේ හිටපු හොඳම ශිෂ්‍යයා බවට මම පත්වුණා. නමුත් පී.එච්.ඩී. එකට අලුතෙන් නෝර්වේ භාෂාව ඉගෙන ගන්න එක මට ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මට හිතුණා වෙන රටක ගිහිල්ල පී.එච්.ඩී. එක කරන්න. ඔය අතරෙ අම්ම ආයිත් වතාවක් අර හාමුදුරුවන් ගාවට ගිහිල්ල තිබුණ කේන්දරේ අරගෙන. ඒ හාමුදුරුවො අම්මට කියල තිබුණ ඔය ළමය ඔය රටේ ඉන්නෙ නෑ, ආයෙමත් වෙන රටකට යනව කියල. ඒක මහ පුදුම සිද්ධියක්. දවසක් මම කැම්පස් එකේ කැන්ටින් එකට යද්දි ඉන්දීය මහාචාර්යවරයෙක් මගේ ළඟට ඇවිල්ල කතා කළා ඔයා රොෂාන් නේද කියල. එතුම කිව්ව මම ඔයාව හම්බුවෙන්න හිටියෙ. ඔයා හොඳට එග්සෑම් කරල තිබුණ හින්ද කියල, ඉතින් එයා මට එකපාරටම කිව්ව ඔයා කැමැති නැද්ද ඇමෙරිකාවේ කැලිෆෝනියාවලට ගිහින් පී.එච්.ඩී. එක කරන්න කියල. මමත් කළේ කැලිෆෝනියාවල, මාස හයයි ඒකට යන්නෙ, ඒ ඕන ගාන මම ගෙවන්නම් කියලත් එතුම කිව්ව. ඉතින් මමත් තීන්දු කළා ඇමෙරිකාවෙ යන්න…”

ඒ ඉන්දීය මහාචාර්යවරයාගේ ආරාධනාවට අනුව තරුණ රොෂාන් ඊළඟට නවතින්නේ කැලිෆෝනියාවේ රිවර් සයිඞ්හි පිහිටි සවුත් කැරලිනා විශ්වවිද්‍යාලයේය. ඒ අනුව 2000 සිට 2005 දක්වා කාලය මේ තරුණ රොෂාන් ගෙවා දැමුවේ අමෙරිකාවේය. එහිදීද රොෂාන් උදේ සිට රෑ වනතුරු රසායනාගාරය තුළට වී සිය අධ්‍යයන කටයුතුවල නිරත වූ අතර තවත් එක්තරා විශේෂ පුද්ගලයෙක්ද එහිදී රොෂාන්ට මුණගැසිණි. ඒ ජපන් ජාතික මහාචාර්යවරයකු වන සෝනෝය. ඔහුද ජාන විද්‍යාව පිළිබඳ අතිදක්ෂ මහාචාර්යවරයෙකි.
“මම කැලිෆෝනියාවල වැඩ කළේ ප්‍රොෆෙසර් පීටර් ෂූල්ට්ස් යටතේ. එතුමා අතිදක්ෂ ජාන විශේෂඥයෙක්. එතුමත් එක්ක තමයි මම පශ්චාත් උපාධිය කරන්න ගත්තෙ. මම ඒ අවුරුදු දෙකට පත්‍රිකා 17ක් ඉදිරිපත් කළා. ඒ ලැබ් එකේම වැඩ කළා ජපන් ජාතිකයකු වෙච්ච මහාචාර්ය සෝනෝ. එතුමත් අතිදක්ෂ ජාන විද්‍යාඥයෙක්. එයත් එක්ක ගත කරපු කාලය තමයි මගේ ජීවිතයේ හොඳම කාලය. මම මගේ පළමු රිසර්ච් එක විකුණුවෙ ඩොලර් මිලියනයකට. අන්තිමට මම කොච්චර හොඳට මගේ වැඩ කළාද කියනවා නම් පීටර් ෂූල්ට්ස් මට කිව්ව උඹ හොඳට ඉගෙනගත්ත, මගේ මේ ලැබ් එකේ තියෙන ඕනෙම දෙයක් උඹට අරන් යන්න දෙනව කියල. ඒක ඇහුවම මම පුදුම වුණා. මොකද එතැන ඩොලර් මිලියන ගණන් වටින ෂූල්ට්ස්ගෙ රිසර්ච් තිබුණ. මම ඉතින් එකතු කරගත්තා ජාන විද්‍යාව ගැන ෂූල්ට්ස් කරපු හොඳම රිසර්ච් ටික. එතැන ඩොලර් මිලියන 200ක විතර රිසර්ච් තිබ්බ. ඊළඟට මම ටෙක්සාස් යුනිවර්සිටි එකේ තිබ්බ ලැබ් එකක් ඩොලර් මිලියනයක් දීල ගත්ත. ඒ කාලෙ මම ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට ඉගැන්නුවෙත් පී.එච්.ඩී. කරන ළමයින්ට විතරයි. ඊට පල්ලෙහා කාටවත් මම ඉගැන්නුවෙ නෑ. ගොඩක් රටවල ළමයි ගෙන්නගෙන මම එහෙදි පී.එච්.ඩී. එක කරන්න උදව් කළා.”
මේ ආකාරයට ඇමෙරිකාවේ සිටියදී මාසිකව දැවැන්ත ආදායමක් උපයමින් සිටි මහාචාර්ය රොෂාන්ගේ ජීවිතය වෙනස් අතකට පෙරළීම ආරම්භ වූයේ එවකට ඇමෙරිකාවේ සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා වූ ජාලිය වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවකදී කළ ඉල්ලීමකින් පසුවය. ජාලිය යනු එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ බිරියගේ පාර්ශ්වයේ ඥාතිවරයෙකි.

“ 2011 මම ලංකාවට ආව. ඊට පස්සෙ මගේ ළගම හිතවතෙක් මාව එවක ආරක්ෂක ලේකම්වරයාව හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තය ගාවට එක්කගෙන ගියේ. ඉතින් මම මගේ විෂය පථය ගැන එතුමා එක්ක කතා කරද්දි එතුමා එකපාරට මගෙන් ඇහුව ලංකාවේ මිලිටරි එකට රිසර්ච් යුනිට් එකක් උවමනා කරල තියෙනව කියල, ඒක මට හදල දෙන්න කිව්ව. මම ඒක භාර අරගෙන සම්පූර්ණ කන්සෙප්ට් එකම හදල දුන්න. සයන්ස් ෆැකල්ටි එකක් හැදුව. මම ඒ ඔක්කොම දුන්නට පස්සෙ ගෝඨාභය මහත්තය කිව්ව මේක මටම භාර අරගෙන කරන්න කියල. මම කිව්ව මට ඇමෙරිකාවෙන් එන්න බැහැ, එහෙ මම ස්ථිර රැකියාවක් කරන්නෙ, මම එළියෙ ඉඳන් උදව් කරන්නම් කියල. පස්සෙ එතුම මට කිව්ව මට පුළුවන් නම් ඇමෙරිකාව දාල එන්න ඇයි ඔයාට බැරි කියලා. පස්සෙ කොහොම හරි මම ආයිමත් ඇමෙරිකාවට ගියා. ඊට පස්සෙ 2013 විතර ලියුමක් එනව මාව කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමි එකේ ඩිරෙක්ටර් කළා කියල. මට ඒ වෙද්දි එන්න පුළුවන් තත්ත්වයක් තිබ්බෙ නෑ. හැබැයි මාව මෙහේ ඩිරෙක්ට කරල තිබුණ හින්ද 2014 දෙසැම්බර්වල මම ඒ සියල්ලම අතඇරල දාල ආයි මගේ රටට ආව. ඒ ඇවිත් කේ.ඩී.යූ. එකේ ඩිරෙක්ටර් විදිහට වැඩ භාරගත්ත. මම මගේ ඩොලර් මිලියන 200ක ප්‍රෙජෙක්ට්ස් ටිකත් අරන් ආව. ඒ වගේම ඩොලර් මිලියනයක් වටිනා ලැබ් එකත් මම සම්පූර්ණයෙන්ම නැවෙන් ගෙනල්ල කේ.ඩී.යූ. එකට භාරදුන්න. ඒ ඉන්න අතර වාරෙ ධම්මික පෙරේරට සම්බන්ධ වෙලා ව්‍යාපෘති හතක් දියත් කළා. ආර්පිකෝ එකේ අධ්යක්ෂ මණ්ඩලයේ මම අදත් ඉන්නව. කොහොම හරි 2015 ආණ්ඩුව වෙනස් වුණත් රනිල් වික්‍රමසිංහ මහත්තය කේ.ඩී.යූ. එකේ මේ යුනිට් එක පටන් ගන්න මිලියන 300ක් වෙන්කළා. චම්පික ඇමැතිතුමා මේ ව්‍යාපෘතියට බිලියන 2.1ක මුදලක් වෙන් කරල දෙන්නම් කියල කිව්ව.”
කෙසේ වෙතත් ඒ සිදුවූ දේශපාලන පෙරළියෙන් පසුව යම් යම් සිදුවීම් මුල්කරගෙන මහාචාර්ය රොෂාන් කොතලාවල ආරක්ෂක පීඨයෙන් ඉවත්ව තමන්ගේම ව්‍යාපාරයක් කිරීම සඳහා අත්පොත් තිබ්බේය. එහිදී මහාචාර්ය රොෂාන් තෝරාගත්තේ ස්වාභාවික අමුද්‍රව්‍යවලින් ඖෂධ නිපදවීමය. උදාහරණයක් ලෙසට නෙල්ලි, කොතලහිඹුටු ආදියේ සාරය ගෙන ඒවායෙන් දියවැඩියාව, කොලෙස්ටරෝල් මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කරන 100%ක්ම ස්වාභාවික ඖෂධ නිපදවීම මහාචාර්ය රොෂාන්ගේ අරමුණ විය. ඒ වෙනුවෙන් ඔහු වෙනම ව්‍යාපෘති වාර්තාවක්ද සකස් කළේය. ඉකුත් ආණ්ඩු සමයේ මෙම ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය ක්‍රමය යටතේ ඒ සඳහා අවශ්‍ය මුදල් වහාම මුදාහැරීමට එවක ආණ්ඩුව පියවර ගෙන තිබිණි. ඒ අනුව හික්කඩුවේ මහාපරිමාණ ඖෂධ සමාගමක් ආරම්භ කළ රොෂාන් මේ වන විට සිය ඖෂධ චීනය, ජපානය, යුරෝපය ආදී රටවලට අපනයනය කරමින් ජාත්‍යන්තර වෙළඳපොළද ජයග්‍රහණය කිරීමට සමත්කම් දක්වා ඇත. එමෙන්ම දැනටමත් ලංකාව පුරා මෙම ඖෂධ බෙදාහැරීමටද මහාචාර්ය රොෂාන් කටයුතු කොට අවසානය.
කපිල පුංචිමාන්නගේ











