පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කවදත් ප්‍රකටව සිටින්නේ නිරන්තරයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරන මන්ත්‍රීවරයකු ලෙසටය. ඒ ආකාරයෙන් ඒ මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඕනෑ තරම් ඉතිහාසයෙන් සොයා ගත හැක. රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමඟ සිදු කළ සංවාද ඇතුළත් හඬ පට කිහිපයක් ප්‍රසිද්ධියට පත්වීමද පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. ඒ හේතුවෙන් කලක් බන්ධනාගාරගතව සිටීමටද මන්ත්‍රීවරයාට සිදු විය.
නැවත වරක් රටම කලඹමින් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට රන්ජන් රාමනායක මහතා පසුගිය සතියේදී කටයුතු කළේය. එහිදී රාමනායක මහතා අනාවරණය කර සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලයේ අවසන් දින කිහිපයේදී සිදු වූ සිදුවීමක් සම්බන්ධවය. ස්ත්‍රී ඝාතනයක් සම්බන්ධයෙන් වැරැදිකරු වීම මත මරණ දඬුවම නියම වී සිටි ජූඞ් ශර්මන්ත ජයමහට ජනාධිපති සමාව ලබා දීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කළේ තම ධුර කාලය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. හදිසියේ ජූඞ් ශර්මන්ත නිදහස් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය ඒ දිනවල රටේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමටද සමත් විය. නැවත වරක් එම සිද්ධිය ආවර්ජනය කරමින් රාමනායක මහතා පවසන්නේ ජූඞ් ශර්මන්ත නිදහස් කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෝටි පහක මුදලක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි කෝටි තුනක මුදලක් ලබා ගත් බවය. රාමනායක මහතා මේ අදහස් පළ කිරීම සිදු කළේ ත්‍රස්ත විමර්ශන ඒකකය බාරව කටයුතු කළ ශානි අබේසේකර මහතා පිළිබඳ තම මතය ඉදිරිපත් කරමිනි.
එහිදී රාමනායක සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය. “රෝයල් පාර්ක් නඩුවේදී ශානි අබේසේකර මහත්මයා තමයි බිත්තියේ ගෑවිලා තිබුණු ලේ පැල්ලම හරහා වැරැදිකරුවා හොයා ගත්තේ. ඒ කණ්ඩායම ඒ වෙලාවේ ඔහුට කෝටි තුනක් ඔෆර් කළා. ඊට පස්සේ කෝටි පහක් ඔෆර් කළා. ජූඞ් ශර්මන්ත කියන ගාමන්ට් ෆැක්ටරි හිමිකරුවෙක්ගේ පුතෙක් තමයි වැරැදිකරු වුණේ. ගැහැනු ළමයි දෙන්නෙක් එක්ක යාළු වෙලා රෝයල් පාර්ක් එකේදී එක්කෙනෙක්ව මැරුවා. මේ අය තමයි අන්තිමට අතුරලියේ රතන හාමුදුරුවන්ගේ අසපුවට කෝටි තුනකුයි, ගෙදර යන ගමන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කෝටි පහකුයි දීලා ගෙදර යන ගමන් ජනාධිපති සමාවත් ගත්තේ. ජනාධිපති සමාව ලැබුණු තීන්දුව ආව ගමන් ඔහු සිංගප්පූරුවට ගියා. සිංගප්පූරුවෙන් බස් එකේ මැලේසියාවට ගියා. ඔහු අතුරුදන්. ඒක නෙවෙයි මම කියන්නේ. ඇයි අතුරලියේ රතන හිමිට කෝටි තුනක් ගන්න පුළුවන් නම්, කියන විදියට හිටපු ජනාධිපතිතුමාට කෝටි පහක් ගන්න පුළුවන් නම්, ඇයි ශානි වගේ මෝඩයෙක් සල්ලි ගන්නේ නැතිව විකුණුනේ නැත්තේ. මම අහන්නේ ඒකයි.” රාමනායක මහතා එහිදී උත්සාහ කළේ ශානි අබේසේකර යනු මුදලට නොවිකෙණෙන පොලිස් නිලධාරියෙකු බව ඔප්පු කර පෙන්වීමටය.
නමුත් එහිදී රාමනායක මහතා මතු කළ කාරණය ඉතාම බරපතළ එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. ජූඞ් ශර්මන්ත නිදහස් කිරීමට හේතු වූයේ ඔහුගේ යහපත් කල් ක්‍රියාව බවට ප්‍රකාශ වුණත්, එය පිළිගැනීමට රටේ ජනතාව සූදානම් නැත. එම නිදහස් කිරීම ඉතාම සැලසුම්සහගතව සිදු කළ එකක් බව තහවුරු වූයේ නිදහස ලැබී පැය කිහිපයක් ඇතුළත රටින් පිටවීමට ශර්මන්ත සමත් වීම මතය. ඒ බව අනාවරණය වූයේ ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කිරීමට අදාළ නඩුවට සම්බන්ධ පිරිස් උත්සාහ ගැනීමේදීය. ශර්මන්ත ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇත්තේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් බවද වාර්තා විය.
අධිකරණය විසින් මරණ දඬුවම නියම කළ තැනැත්තෙකු නිදහස් කිරීම සඳහා රටේ ජනාධිපතිවරයා සතු බලය උපයෝගී කර ගැනීම අනාගතයට ඉතාම නරක පූර්වාදර්ශයක් වනවාද නොඅනුමානය. ඒ හරහා බිඳ වැටෙන්නේ රටේ නීතිය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසයය. එබැවින් රාමනායක මහතා සිදු කළ අනාවරණය පිළිබඳ ඇත්ත නැත්ත දැන ගැනීම පොදු ජනතාවගේ අයිතියකි. එමෙන්ම රන්ජන් රාමනායක මහතා එල්ල කළ බරපතළ චෝදනාවට පිළිතුරු සැපයීමට මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ අතුරලියේ රතන හිමියන් මේ වන තුරු ඉදිරිපත් වී නොමැති වීමද විශේෂත්වයකි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිසම ඉදිරියේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා බොරු සාක්ෂි ලබාදුන් බවට වහාම ප්‍රකාශයක් නිකුත් කිරීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය අපට හොඳින් මතකය. නමුත් රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ මහතා තවමත් නිහඬය.
කෙසේ නමුත් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා රන්ජන් රාමනායක මහතා සම්බන්ධ කර ගැනීමට අප කිහිප වරක්ම උත්සාහ කළ නමුත් ඒ උත්සාහය සාර්ථක වූයේ නැත.
චන්දන පොන්නම්පෙරුම











