‘ඇමරිකාවේ වොෂින්ටන්හි ආර්.ඩබ්ලිව්.ආර්. උපදේශන කණ්ඩායම ව්‍යාපාරික කටයුතු සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳව උද්ගතව පවත්තා තත්ත්ව අරමුණු කර ගනිමින් ජාත්‍යන්තරය පුරා චීනය වපුරා ඇති මාර්ග ව්‍යාපෘති සම්බන්ධව ඉතා සියුම්ව පරීක්‍ෂා කර තිබේ. චීනය දෙදහස් දහ තුනේ සිට (2013) ගිනිකොන දිග ආසියාවේ ඩොලර් බිලියන දෙසීයක් (200) වටිනා ව්‍යාපෘති එමගින් ආරම්භ කර ඇතත් මේ වන විට ඇතැම් රටවල උද්ගතව ඇති විවිධ ගැටලු හේතු කොට ගෙන ව්‍යාපෘති අඩාල වී ඇතැයි එමගින් අනාවරණය වී ඇත. ව්‍යාපෘති සඳහා චීන බැංකුවලින් ලබාගත් ණය පහසුකම් වෙනුවෙන් කාලයක් තිස්සේ අය කෙරෙන මරාගෙන කෑමේ පොලී අනුපාත උපක්‍රම නිසාද මෙසේ වී තිබේ. අනෙක් අතට ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන ඉසව්වල (ප්‍රදේශ) ගොවීන් ඉදිකිරීමට එරෙහිව අඛණ්ඩව ගෙනයන විරෝධතා මෙන්ම සිදුවිය හැකි පරිසර හානි නිසාද දූෂණ නිසාද ව්‍යාපෘති අතර මග අතහැර දමන්නට සිදුවී තිබේ.
මහතීර් මොහමඞ්ගෙන් පසුව දෙදහස් දහ අටේ දී (2018) මලයාසියාවේ අගමැති වූ නජීබ් රසාක් විසින් චීන ව්‍යාපෘති ගණනවක් සම්බන්ධයෙන් සෝදිසි පරීක්‍ෂණයක් අරඹනු ලැබිණි. එමගින් අනාවරණය වූයේ මහා පරිමාණයෙන් වැඩි වැය බරක් පටවා ඇති බවකි. ඇමරිකානු ඩොලර් බිලියන පහක් (5,00,00,00,000) චීනයේ කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමටසහ තවත් සමාගම් දෙකකට වැඩිපුර ගෙවිය යුතුව ඇති බවකි. මේ සිද්ධියෙන් වැඬේ ගැස්සීමෙන් කීර්තියට සිදුවෙන බව තේරුම්ගත් චීනය මූලික පිරිවැයෙන් තුනෙන් එකක් අඩු කිරීමට එකඟ වූවේය. ඉන් අනතුරුව ඩොලර් බිලියන තුනකට (3,00,00,00,000) ඇස්තමේන්තු කර තිබූ ව්‍යාපෘති තුනක් (3) මලයාසියානු බලධාරීන් විසින් අවලංගු කරනු ලැබිණි.
ඉන්දුනීසියාව තම රටේ අගනුවර වූ ජාකර්තා සිට බැන්ඩුං දක්වා කිලෝ මීටර් එකසිය හතළිස් පහක් (145) දිගු අධිවේගී දුම්ිරිය මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දෙදහස් පහළොවේදී (23015) චීනය සමග එකඟ වී තිබිණි. එය දෙදහස් දහ නමයේ (2019) පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට පෙරාතුව නිම කිරීමටද එරට ජනාධිපති ජෝකෝ විඩෝඩු අපේක්‍ෂා කර තිබිණි. එහෙත් දුම්රිය මාර්ගයට නතුවන සිය ගොවි භුමි පැවරීමට එරෙහිව ගොවියන් විරෝධතා දක්වන හෙයින් ඩොලර් බිලියන පහයි දශම පහකට (5,50,00,00,000) ගිවිස ගත් වා්‍යාපෘතිය මේ වන විට ඩොලර් බිලියන හයයි දශමයක් (6,10,00,00,000) දක්වා ඉහළ නගිද්දී කොවිඞ් වසංගතය ආවේය. මේ නිසා ව්‍යාපෘතිය නිම කිරීමේ කාල පරාසය දෙදහස් විසි දෙක (2022) දක්වා ඇදී තිබේ.
ඉන්දුනීසියාවට අයත් සුලාවාසි දිවයිනේදී දේශීය (ඉන්දුනීසියානු) සේවකයන් සහ චීන සේවකයන් අතර ඇතිවන ගැටුම් පිළිබඳව දර්ශන ඇතුළත් වීඩියෝ පට ගණනාවක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත වන්නට විය. දේශීය මුස්ලිම් සේවකයන් චෝදනා කළේ තමන්ට චීනුන් ආගමික වතාවත් පවත්වන්නට ඉඩ නොදෙන බවටය. එම ප්‍රදේශයේම විරෝධතා පවත්වන්නේ චීන්නුන් තම රටේ පතල් කනිමින් දේශීය සම්පත් සූරා කන බවටය.
පිලිපීන ජනාධිපති ඩ්‍යුටර්ටේ දෙදහස් දහසයේ දී (2016) සිය ජනාධිපතිවරණය නිමවීමත් සමගම චීනයට ගොස් සම්බන්ධතා අලුත් කර ගත්තේය. එම ජනාධිපතිවරණයට පෙර බලයේ සිටි ජනාධිපති බෙනිංනෝ ඇක්විනෝ විසින් දක්‍ෂිණ චීන සාගරය සම්බන්ධයෙන් චීනයට එරෙහිව ජාත්‍යන්තර සමථ අධිකරණයේ පවරන ලද නඩුවෙන් ඉන්දුනීසියාවට පක්‍ෂව තීන්දුව ලැබී තිබිණි. එහෙත් ඇක්විනෝගෙන් පසුව බලයට පත් ඩ්‍යුටර්ටේ චීනයට ගොස් ඩොලර් බිලියන විසි හතරක් (24,00,00,00,000) ඇස්තමේන්තු ගත දුම්රිය මාර්ග, ජලවිදුලි සහ වරාය වැනි යටිතල පහසුකම් සැපයෙන ව්‍යාපෘති ගණනාවක් චීනයට පවරා තිබේ. එහෙත් චීන සමාගම් දෙකක් මේ වනතුරුත් (2016 සිට) ඉදිකර ඇත්තේ පාලම් දෙකක් පමණි. කොන්ත්‍රාත්වලට ගිවිසුම් ගත ඇතැම් සමාගම් අතුරුදන් වී ඇත.
අතීත අප්‍රසන්න අත්දැකීම් අනුව රෑ වැටුණු වළේ දවල් නොවැටීමේ පාඩමට අනුව වියට්නාමය තම අසල්වැලි චීනය සමග පරෙස්සමෙන් කටයුතු කරයි. වියට්නාමය දෙදහස් එකොළහේ දී (2011) ඩොලර් මිලියන පන්සිය පනස් දෙකකට (55,20,00,000) ගුවන් දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ ගිවිසුමකට එලැඹිණි. ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු ඇල්මැරුණු ස්වභාවයෙන් චීනය විසින් ක්‍රියාත්මක කරනු ලැබීම නිසා දෙදහස් දාහත (2017) වන විට එහි පිරිවැය ඩොලර් මිලියන අටසිය අනූවක් (89,00,00,000) වූවත් මේ වනතුරුත් කටයුතු නිම කෙරී නැත. කාම්බෝජය සිය රටේ වේල්ලක් බැඳීම සඳහා දෙදහස් දාහතරේ දී (2014) චීනයට පැවරූ ව්‍යාපෘතිය තවමත් නිම කර ගත නොහැකිව සිටියි.
මොනවා වුවත් කෝවිඞ් වසංගතය නිසා චීන ආර්ථිකය බිඳ වැටෙමින් තියෙන අතරතුරේ ඇමරිකාව සමගද දිනෙන් දින වර්ධනය වෙන නොහොඳ නෝක්කාඩුවත් ඇති කර ගෙන ඇත. එසේම දක්‍ෂිණ චීන සාගර අර්බුදය, ඉන්දියානු දේශ සීමාව ඇතුළු ප්‍රශ්න ගණනාවක් සම්බන්ධව යුරෝපා සංගමය, ඉන්දියාව ඕස්ටේ්‍රලියාව ආදී රටවල් සමගද එතරම් ඇයි හොඳක් නැත. මේ තත්ත්වය යටතේ චීන බලවතා වන ජින් පින් තම රටෙන් සිදුවී ඇති බව කියන අක්‍රමිකතා ඇත්නම් සොයා බලා දුප්පත් රටවලට සහන සලසන බව පසුගිය වර්ෂයේ දී (2019)ප්‍රකාශ කරන්නට තරම් සත්ව කරුණාවක් පහළවීම ගැන ඇතැම් නායකයෝ මේ මේ එන්නේ මොන උප්පරවැට්ටියකටදැයි වික්‍ෂිප්තව සිටිති.
පරිවර්තනය මාර පුත්‍ර