මාකදුරේ මධුෂ්ගේ 2015 වසරේ සිටම රැඳී සිටියේ ඩුබායි රාජ්‍යයේය. එහි සිට ඔහු මෙරට පාතාලය පමණක් නොව, මත්කුඩු ජාවාරමද මෙහෙයෙව්වේය. මධුෂ් මෙරට පාතාලයේ රජු වීමේ සිහිනෙන් පමණක් නොව, මත්කුඩු ජාලය මෙහෙයවන්නා බවටද පත්වීමේ සිහිනෙන් පෙළුනෙකි. ඒ සදහා ඔහුට දේශපාලන ආශිර්වාදය මෙන්ම දූෂිත පොලිස් නිලදරුවන්ගේ රැකවරණයද නොඅඩුව ලැබී තිබුණේය. මෙරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් නොවූ ලෙස පාතාල අධිරාජ්‍යයක් පවා ගොඩ නගන්නට ඔහු සමත් වන්නේද එබැවිණි. මෙරට පාතාල කණ්ඩායම්වලින් සියයට 90ක පමණ පාලන බලය පැවැතියේද මධුෂ් යටතේය. ඔහුට ඒ අය කීවේ අයියා යැයි කියාය.
මෙරට පාතාලයේ රජු බවට මාකදුරේ මධුෂ් පත්වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීමේ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට ඩුබායි සිට සිය ගෝලයින් මෙහෙයවා පිළියන්දලදී වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමත් සමගිනි. එම වෙඩි ප්‍රහාරයෙන් වාසනාවකට රංගජීවගේ ජීවිතය රැකුණද ඔහුට තැබූ වෙඩි ප්‍රහාරයෙන් සිය සගයෙක් වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙක් සහ අහිංසක දැරිවියක් මරණයට පත්වන්නේ අවාසනාවන්ත ලෙසිනි. රංගජීවගේ ජීවිතය රැකෙන්නේ හාස්කමකින් මෙනි. ඒ සති කිහිපයක් සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර කෙරුණු දැඩි සටනකින් අනතුරුවය.
රංගජීව ශ්‍රී ලංකා පොලීසියේ නමගිය දක්ෂ නිලධාරියෙකි. මාකදුරේ මධුෂ්ගේ වෙඩි ප්‍රහාරයට ඔහු ලක්වන්නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල සිටි ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් පුද්ගලික පළිගැනීමකට ඔහුව දූෂිතයෙක් කර පොලීසියෙන් පැන්නීමට මාන බලමින් සිටියදී බවට කතාවක්ද පොලිසිය තුළ කියැවෙන්නකි. එදා රංගජීව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් සිටියදී ජනතාව ඔහුගේ ජීවිතය රැක දෙන්නයි දෙවියන් බුදුන් යදින විට ඔහුට වින කැපූ නිලධාරීන් මධුවිත තොලගාමින් සතුට සමරා තිබුණු බවක්ද කියැවේ. ඒ අය අතර මධුෂ්ගෙන් යැපුණු නිලධාරීන්ද නොසිටියා නොවේ.
රංගජීවගේ ජීවිතය ඩැහැ ගැනීමට මධුෂ් ඩුබායි සිට සැලසුම් කරන්නේ ඔහුට රංගජීව සමග පැවැති පුද්ගලික අමනාපයක් නිසා නොව මධුෂ් ඩුබායීහී වාසය කළ සිය අනියම් බිරිඳගේ දොලදුක සංසිදුවන්නටය. ඇගේ විවාහක සැමියාද මහරගම පැත්ත හොල්ලාගෙන සිටි ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වූ කළු තුෂාරය. මත්ද්‍රව්‍ය චෝදනාවකට සැකකරුවෙක් ලෙස බන්ධනාගාරගතව සිටියදී ඔහු වැලිකඩ බන්ධනාගාරයේ 2013 වසරේ සිදුවුණු කැරැල්ලෙන් මරුමුවට පත්වන්නේ වෙඩි ප්‍රහාරයකට ලක්වය. එකී මරණයේ චෝදනා එල්ලවූයේ රංගජීවටය. 2017 වසරේදී රංගජීව ඉලක්කරමින් පිළියන්දලදී ප්‍රහාරයක් එල්ලවන්නේ ඒ අනුවය.
ඊට මාස කිහිපයකට පෙර අංගොඩ ලොක්කාගේ ඉල්ලීමකට අනුව මධුෂ්ගේ සැලසුමකින් බන්ධනාගාර බස් රථයකටබ ප්‍රහාරයක් එල්ලවන්නේ කළුතර එතනමඩලේදීය. එම ප්‍රහාරයෙන් අංගොඩ ලොක්කාගේ ප්‍රතිවාදියා වූ කඩුවෙල සමයං ඝාතනය වන්නේ ඔහුගේ ගෝලයින් සිව් දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ද සමගිනි. මධුෂ් පාතාලයේ රජු වීමේ පළමු පියවර තබන්නේ එම ප්‍රහාරයත් සමගිනි. ඩුබායි රැඳී සිටිමින් මෙරට පාතාලයේ බලය ඔහු අල්ලන්නේ රංගජීවට එල්ල කළ ප්‍රහාරයත් සමගිනි. අදටත් එම ප්‍රහාරයන්ට සම්බන්ධ වූ වෙඩික්කරුවන් කිසිවෙකුත් අල්ලා ගැනීමට පොලීසිය සමත්ව නැත. එම වෙඩික්කරුවන් මාකදුරේ මධුෂ් විසින් ඩුබායි සිට මෙහෙයවූ කුලී ඝාතකයින්ය. ඒ අය කවුරුන්දැයි කියා මධුෂ් අවසන් හුස්ම පිටකරන තුරුම පොලීසිය හෙළිකරගත් බවක් දැන ගන්නට නැත. එබැවින් එම කුලී ඝාතකයින් අදටත් සිටින්නේ නිදැල්ලේය.
මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයේ ගත කරනු ලැබුවේ සුඛෝපභෝගී ජීවිතයකි. පොලිස් අපරාධ ලේඛනාගාරය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසන ආකාරයට අනුව මධුෂ්ට ඩුබායිහී කාමර හැට හැත්තෑවක තරුපන්තියේ හෝටලයක්ද හිමිය. එහි ලියාපදිංචි හිමිකරු බව ඔහු කියන්නේ ඉන්දියානුවෙකි. ඊට හේතුව යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ මධුෂ් ඩුබායිහී රැඳී සිටියේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් වූ බැවිනි. එසේම මධුෂ්ට එරට වාහන අංගනයක්ද තිබී ඇති බව ප්‍රියන්ත ජයකොඩි පවසන තවත් කරුණකි. ලෝකයේ මිල අධිකම වාහන වර්ගයක් වන හමර් වර්ගයේ රථ දෙකක්ද මධුෂ්ට තිබී ඇත. ඩුබායි රටේ මධුෂ් කරක් ගසා ඇත්තේ එම හමර් වර්ගයේ රථවලිනි. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඒ කියන ආකාරයට අනුව බැලීමේදී මධුෂ් යනු ප්‍රකෝටිපතියෙකි. එහෙත් මධුෂ්ට අයත් බව කියන ඩුබායිහී ඇති එම දේපොළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය මගින් හෝ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකා පොලීසිය හෝ ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ගයක් නම් දැන ගන්නට නැත. ඩුබායි කෙසේ වෙතත් අඩුම තරමින් මධුෂ්ට හිමිකම් කියන මෙරට ඇති රුපියලක දෙයක් සොයා ගත් බවක්වත් දැන ගන්නට නැත.
ඩුබායි සිට දුරකථනයෙන් සිය ගෝලබාලයින් මෙහෙයවමින් වැඩ පෙන්වූ මාකඳුරේ මධුෂ් ගැන අපේ රටේ පොලීසියේ විශේෂ අවධානයක් යොමු වූයේ නම් ඒ රංගජීවට වෙඩි තැබීමත් සමගිනි. ඒ ගැන මූලික විමර්ශන සිදු කෙරුණු එකල මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය ලෙසින් හැඳින්වූ අද බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය ලෙස නම්කර ඇති පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාට පවා මරණිය තර්ජන එල්ල විය. එසේම මධුෂ්ගේ ගෝලයින් පස්සේ පන්නමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ එකල බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මප්‍රියටද මරණීය තර්ජන ආවේය. ඒ ඔහුව ඝාතනය කිරීමට පවා අවස්ථා කිහිපයකදීම උත්සහ කරමිනි. මධුෂ්ගේ හැසිරීම සහ ඔහුගේ ජාලය ගැන මනා අවබෝධයක් පැවැති නිලධාරියෙක් වූයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ දාස් ගුප්තාය. තමා ගැන තොරතුරු සෙවිල්ල නතර කරන ලෙසට ඔහුටද මධුෂ්ගෙන් මරණිය තර්ජන එල්ල වී තිබුණේය. එපමණක් නොව, පොලීසියේ එකල සිටි ලොක්කා වූ පූජිත් ජයසුන්දරටද මධුෂ්ගෙන් තර්ජනයක් එල්ල වූ බව පොලීසියේ ඇතුළේ ඇති අප්‍රසිද්ධ රහසකි.
ඩුබායි පොලීසියට මධුෂ්ව කොටුවන්නේ මේ ආකාරයට ඔහු දුරකතනයෙන් වැඩ පෙන්වමින් සිටියදීය. ඒ ඉකුත් වසරේ පෙබරවාරි 04 වෙනිදාය. ඒ ඩුබායිහී පිහිටි තරුපන්තියේ හෝටලයක සාදයක් පවත්වමින් සිටියදීය. එය මධුෂ්ට අයත් බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සදහන් කළ හෝටලය යැයි කියන්නට බැරිය. ඒ එම හෝටලයේ හිමිකරු ඉන්දියානුවෙක් නොවන බැවිනි. එකී සාදය සිය අනියම් බිරිදට දාව උපන් දියණියගේ පළමු උපන්දින සැමරීම වෙනුවෙන් සංවිධාන කරන ලද්දකි. දියණිය වෙනුවෙන් පැවැති මේ සාදයට ඔහු ලංකාවෙන් සිය හිතවතුන් කිහිප දෙනෙකුටම ආරාධනා කර තිබුණේය. ඒ ගුවන් ටිකට්පත් සහ ඉඳුම් හිටුම්ද සමගිනි. ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරාත්, ටෙලි නාට්‍ය නළු රයන් වැන්රෝයන් සිටියේත් එම ආරාධිතයන්ගේ ගොන්නේය. එදා සිය දියණියගේ උපන්දින සාදය ජයට සමරද්දී එතැනට කඩා පනින්නේ ඩුබායි පොලීසියයි. ඒ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහාය. ඒ ඩුබායි පොලීසියට ලද ඔත්තුවකට අනුවය. එම ඹත්තුව මධුෂ් සමග එකට මත්කුඩු ජාලයේ සිටි කිරුලපොන මොරිල්ගේය. අන්නාසි මොරිල් යැයි කියාද ඔහුට කියති. ඔත්තුවක් යැයි කීවාට එය සැබවින්ම මොරිල්ගේ සැලසුමකි. ඊට ඩුබායි පොලීසියේ සේවය කරන විදේශිකයන් කිහිප දෙනෙකුගේ සහයද මොරිල් ලබාගෙන තිබුණේය. මාකඳුරේ මධුෂ් ඩුබායි පොලීසියට එදා සාදයට සහභාගි වී සිටි සිය ගෝලබාලයින්ද සමග කොටුවන්නේ ඒ අනුවය. උදර්පන නීතියේ පිහිටෙන් මධුෂ්ව මෙරටට ගෙන එන්නට මෙරට බලධාරීන්ගේ දෑස් විවර වන්නේ ඒත් සමගිනි. ඒ වන විට ඇතැම් පොලිස් ලොක්කන් මධුෂ් ඩුබායි පොලීසියට කොටුවීම තමන්ගේ වැඩක් යැයි කියා එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනවද හඳේ යවා තිබුණේය. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට මධුෂ්ගේ නමද ඈදී තිබුණු බැවිනි. එම ඝාතන කුමන්ත්‍රණය ගැන කියමින් රටේ යම් ආන්දෝලනයක් එකල ඇතිකරනු ලැබුවේ නාමල් කුමාර නැමැත්තා විසිනි. එකල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාද එම කුමන්ත්‍රණයේ සිටි බව නාමල් කුමාර කීවේය. නාලකද සිල්වා අද වන විට වැඩ තහනමට ලක්ව සිටින්නේ එකී චෝදනාවටය. වසර තුනක් ගෙවී ගොස් ඇතත් අදටත් එකී චෝනාව සනාථ කර ගැනීමට නොහැකි වූ තවත් එක් චෝදනාවක් පමණක් බවට පත්ව හමාරය. ඒ වෙනුවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන ජනාධිපති කොමිසමේදී හෙළිවන්නේ නාමල් කුමාර නැමැත්තා එකල ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ලැබූ තැනැත්තෙක් බවය.
අපේ රටේ පොලීසියට මාකඳුරේ මධුෂ්ට එරෙහිව ඇති අපරාධ ගැන තොරතුරු එක තැනකට රැස් කරන්නට මතක් වන්නේ ඩුබායි පොලීසියට මධුෂ්ව කොටුවීමත් සමගිනි. ඒ වන විට මධුෂ් ඩුබායිහී රැඳී සිටින්නේ ආයෝජන වීසා මගිනි. එහි වාසිය තමා වෙත හරවා ගනිමින් නීතිඥ සමාගමක සහය ගෙන මධුෂ් උපරිමයෙන් උත්සහ ගන්නේ ඩුබායි පොලීස් අත්අඩංගුවෙන් ගැලවෙන්නටය. ඒ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමකින් තොරවය.
ඒ වන විට මධුෂ්ට එරෙහිව කිසිදු චෝදනාවක් මෙරට අධිකරණයකින් ඔප්පු වී ඔහුට දඬුවම් නියම වී තිබුණේද නැත. එහි වාසියද කැරකී තිබුණේ මධුෂ්ටය. මෙරට පාතාලයේ රජු යැයි කී මධුෂ්ට එරෙහිව රතු වරෙන්තුවක් පවා ලබා ගන්නට ඒ වන විටත් පොලීසිය අසමත්ව තිබුණේය. ඒ මධුෂ්ට එරෙහිය ප්‍රමාණවත් සාක්ෂි එකට කැටිකර ගොඩ නගා ගෙන නොතිබුණි බැවිනි. එබැවින් මධුෂ්ව මෙරටට ගෙන්වා ගැනීමටත් ඒ සදහා ඔහුට එරෙහිව ඇති අපරාධ චෝදනා රැස් කිරීම සදහාත් එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් පොලිස් ලොක්කන්ගෙන් සැදුම් ලත් කමිටුවක්ද නම් කළේය. එම කමිටුවේ ප්‍රධානියා වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල ප්‍රධානියාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නය. සෙසු සාමාජිකයන් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ එකල අණදෙන නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල අධ්‍යක්ෂකවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, කොළඹ අපරාධ කොට්ඨාසයේ එකල අධ්‍යක්ෂකවරයාව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී නිශාන්ත සොයිසා ඇතුළු කණ්ඩායමක්ම සිටියහ.
මේ අය මධුෂ්ට එරෙහි අපරාධ තොරතුරු රැස්කර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරමින් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන අතරතුර විදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් දියත්කරනු ලැබුවේ මධුෂ්ව මෙරටට පිටුවහල් කිරීමටය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද ඒ සම්බන්ධයෙන් එකල එක්සත් එමීර් රාජ්‍යයේ රජු අමතා තිබුණේය. අවසානයේ මධුෂ්ව මෙරටට පිටුවහල්කර ගැනීමට අවශ්‍ය නීතිමය ලියැවිලි රැගෙන ගොස් එක්සත් එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමතිවරයාව පවා මෙරට විදේශ කටයුතු ඇමතිවරයා මුණ ගැසී තිබුණේය. මධුෂ් සමග ඩුබායි පොලීසියට කොටුවූ එකිනෙකා මෙරටට පිටුවහල් කිරීමට එරට බලධාරීන් පියවර ගන්නේ ඒත් සමගිනි. මධුෂ්ව මෙරටට පිටුවහල් කර එවන්නේ අවසානයේදීය.
ඒ අනුව ඉකුත් වසරේ මැයි මාසයේදී මධුෂ්ව රැගෙන එන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක්ද ඩුබායි වෙත ගොස් තිබුණේය. ඒ අනුව ඩුබායි සිට මෙරටට රැගෙන පැමිණි මධුෂ්ව ගුවන් තොටුපොළේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුවට රැගෙන යන්නේ විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාවක් සහිතවය. ගුවන් තොටුපොළින් ඔහුව පිටතට ගන්නේද ගුවන් ධාවන පථය පැත්තෙනි. ඒ තරමට ඔහුගේ ආරක්ෂාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වග බලාගෙන තිබුණේය. එහෙත් ඔහුව මෙරටට රැගෙන එන්නට තිබුණු උනන්දුව ඔහුව මෙරටට රැගෙන පැමිණි පසුව තිබුණේදැයි ඇත්තේ ගැටලුවකි. පෙනී යන්නට වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන මධුෂ්ව හුරතල් කරන බවකි. මධුෂ්ගේ තොරතුරක් අනුව යැයි කියා මීගමුව පැත්තේ ඇලකින් පිස්තෝල දෙකක් ගොඩගැණුනු බව කීවා මිස මධුෂ්ගෙන් සොයා ගත් දෙයක් නැති තරම්ය.
එම පිස්තෝල දෙකද තිබෙන්නේ ලීටර් පහේ කහ පැහැති අයිස් ක්‍රීම් පෙට්ටියක ග්‍රීස් තුළ බහාය. එම බඳුනේ දැමූ පිස්තෝල දෙක එම ඇලෙහි සැඟවූයේ යැයි කියවූනේ මධුෂ් ඩුබායි රටට පැන යන්නට පෙරය. ඒ ඊට වසර තුන හතරකට පෙරය. එකී ඇල මාර්ගය පිරිසිදු ජලය ගලා බසින එකක්ද නොවීය. ජලය කළු පැහැතිය. ඇලෙහි පස් ද කළු පැහැ ගැන්වී ඇත්තේය. එම ඇල මාර්ගය වසරකට දෙවරක් පමණ බැකෝ යන්ත්‍ර මගින් හාරා පිරිසිදු තිබුණේය. එහෙත් පිස්තෝල දෙක බහා තිබුණු එම ප්ලාස්ටික් භාජනයට කිසිදු හානියක් වී තිබුනේ නැත. වසර තුන හතරක් දියේ ගිල්වී තිබියදී භාජනයේ පිටත බැඳෙන දිය සෙවල පොදක්වත් එහි නොවීය. ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදටත් ඇත්තේ රසවත් කථාවන්ය.
මධුෂ්ගෙන් ප්‍රශ්න කර ඔහුගෙන් සොයා ගත්තේ යැයි කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදටත් ඉදිරිපත් කරන්නට ඇත්තේ එම පිස්තෝල දෙක පමණි. එහෙත් මධුෂ් මෙරටට රැගෙන එන්නට පෙර ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පොලිස් ලොක්කන්ගේ කමිටුවේ කථාබහට අනුව නම් මධුෂ්ගේ කල්ලිය සතුව ඇති ගිනි අවි ගණන විශාලය. එදා එම කමිටුවේ සාමාජිකයන්ගේ තක්සේරුව වූයේ ගිනි අවි සිය ගණනක් මධුෂ් සතුව ඇති බවය. එසේම මධුෂ්ට මෙරට ඇති දේපොළ ගැනද යම් තක්සේරුවක්ද කර තිබුණේය. ඒ අනුව ඔහුට අයත් කෝටි ගණන් වටිනා ඉඩකඩම් සහ ව්‍යාපාර රට වටේම තිබුණේය. ඒ අතර දකුණු පළාතේ හෝටල්ද ඔහුට ඇතැයි කියැවිණි. එසේම අක්කර සිය ගණනක තේවතු, පොල්වතු මෙන්ම කුරුඳු වතුද ඇතැයි කියැවිණි. එසේම ඔහු මෙරට විවිධ ව්‍යාපාරවල මුදල් ආයෝජන කර තිබුණු බවද සඳහන් විය. ඒ එක් ව්‍යාපාරයක් වූයේ පික් මී ආයතනයට තරගකාරී ලෙස ආරම්භ කෙරුණු ඩ්‍රොප් මී නැමැති කුලී ටැක්සි සේවාවයි. ඔහු එම ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ කොළඹ අලුත් කඬේ පදිංචි රිස්ඛාන් නැමැති ව්‍යාපාරිකයෙක් ඉදිරියට දමාය. එම ඩ්‍රොප් මී කුලී ටැක්සි සේවාවේ වැලිසර ප්‍රධාන කාර්යාලය විවෘත කෙරන්නේ එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිනි. එසේ අගමැතිවරයාව තම ව්‍යාපාරික ආයතනය විවෘත කර ගැනීමට ගෙන්වා ගන්නට තරම් මධුෂ් බලවත් වන්නේ මැතිවරණවලදී ඔහුගෙන් යැපුණු දේශපාලනඥයන්ට පින්සිදු වන්නටය. එසේ මධුෂ්ගෙන් යැපුණු දේශපාලනඥයන් රැසක්ම දැන් සිටින්නේ ගෙදරය. ඒ ඉකුත් මහා මැතිවරණයෙන් ඒ අයට නිසි පාඩම් ජනතාව ලබාදී ඇති බැවිනි. ඒ අයගෙන් සිව් දෙනෙක්ම නියෝජනය කරන්නේ මාතර දිස්ත්‍රික්කයයි. ඒ අය අතර යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිධුර දැරුවන් තිදෙනෙක්ද සිටින බව කියැවේ.
ඒ අය ගැන මධුෂ් අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ වමාර තිබුණු බව කියැවේ. එහෙත් ඒ කිසිවක් ලේඛනගතවූයේ දැයි ඇත්තේ ගැටලුවකි. යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් ඩුබායි ගිය අවස්ථාවකදී එම ඇමතිවරයාගේ මනදොල පුරවමින් තරුණ ගැටිස්සියක් ලබාදීමක් ගැන පවා මධුෂ් හෙළිකර තිබුණේ එම ගැටිස්සිය සමග ඇමතිවරයා රැඳී සිටි හෝටල් කාමරයද තමා විසින් වෙන්කර දුන් බව කියමිනි. එසේම පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ පුතෙකුගේ විවාහ මංගල්‍යට වියදම් කළ අයුරු පවා මධුෂ් බොහෝ තොරතුරු හෙළිකර තිබුණේය. එම විවහායට මධුෂ්ටද ආරාධනා ලැබී තිබීමද විශේෂිතය. මේ අතර මධුෂ් තවත් දැවැන්ත හෙළිදරව්වක් කර තිබුණේ එකල පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලනඥයෙකුගේ මත්කුඩු ජාවාරමක් ගැනය. මහා පරිමානයෙන් මත්කුඩු ජාවාරමේ එම දේශපාලනඥයා නිරතව සිටින බව ඔහු හෙළිකර ඇත්තේ එම මත්කුඩු ජාලයද සමගිනි. මෙවැනි දේශපාලනඥයන් ගැන පමණක් නොව, ඔහුට සහය ලැබෙන රේගු නිලධාරීන් ගැන මෙන්ම පොලිස් ලොක්කන් රැසක් ගැනද තොරතුරු මධුෂ් විසින් හෙළිකර තිබුණේය. ඒ අය අතර මධුෂ්ගේ ආනුභාවයෙන් සිය අඹු දරුවන් සමග ඩුබායිහී සාප්පු සවාරියේ ගිය පොලිස් ලොක්කන්ද නැතුවා නොවේ. මධුෂ් මේ හැම දෙයක්ම හෙළි කළත් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිසි විමර්ශනයක් සිදුවූ බවක් නම් පෙනෙන්නට නැත. අඩුම තරමින් මධුෂ්ගේ හෙළිදරව්වලට ලක්වුණු දේශපාලනඥයන්ගෙන් හෝ පොලිස් ලොක්කන්ගෙන් කටඋත්තරයක්වත් සටහන්කර ගත් බවක් පෙනෙන්නට නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටින මධුෂ් එහි සිට නිදහසේ දුරකතන භාවිතා කරමින් සුපුරුදු ලෙස සිය පාතාල අපරාධ මෙහෙයවමින් සිටින බවට වූ චෝදනාවක් පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමකදී එළියට එන්නේ ඒ අතරතුරදීය. එකල පොලිස්පතිවරයාව සිටියේ පූජිත් ජයසුන්දරය. එම චෝදනාව කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වූ කමල් සිල්වාය. එදා කමල් සිල්වාගේ හෙළිදරව්වෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල සිටි ලොක්කන් සෙලවී ගියේය. නිදහසට කරුණු කියන්නට වූයේ ඩුබායිහී රැඳී සිටින අනියම් බිරියට කථා කරන්නට පමණක් දුරකථන පහසුකම් ලබාදුන් බවටය. ඒත් එක්කම කමල් සිල්වා පාතාලයට සම්බන්ධ යැයි කියමින් මධුෂ්ගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවක්ද කියැවේ. එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් පොලිස් ලොක්කන් මධුෂ්ව සුරතල් කළේ එසේය. මධුෂ්ට කථාබහ කරන්නට දුරකථනය දෙන්නේ අනියම් බිරියටය. මධුෂ් මෙරටට පිටුවහල් කිරීමෙන් මාස කිහිපයකට පසු ඇය සිය දරුවන්ද සමග ඩුබායි සිට මෙරටට ආවත් ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් සිදුනොවීය. රාජ්‍ය බුද්ධි සේවය විසින් ඇයව හදුනාගෙන ගුවන්තොටුපොළෙන් ඇයට පිටව යන්නට ඉඩ නොදී ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නද සිදුවන්නේ ප්‍රකාශයක් පමණක් ලබාගෙන ඇයට ගුවන් තොටුපොළින් පිටතට යන්නට ඉඩ සලසා දීමය.
මධුෂ්ට එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ලැබී තිබුණේ අති මහත් නිදහසකි. නාමල් කුමාර හෙළිකළ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ ගැනවත් මධුෂ්ගෙන් හරිහැටි ප්‍රශ්න කළාදැයි ඇත්තේ ගැටලුවකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළින් ලද ආදරය, රැකවරණය, දයාව සහ කරුණාව මධුෂ්ට සීමා වන්නේ ආණ්ඩු පෙරළියත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවන පුටු පෙරළියත් සමගිනි. ඒත් සමගින් මධුෂ් සම්බන්ධයෙන් කෙරන්නා වූ විමර්ශන භාරවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අලුතින් පත්ව එන සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවාටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ එතෙක් කාලයක් මධුෂ්ට ලබාදී තිබුණු සැපද ඒත් සමගින් අහිමිව ගියේය. ආදරය හා කරුණාවද නැතිව ගියේය. ඒ යැයි කියා දැඩි රෝගී තත්වයකින් සිටි ඔහුට ප්‍රතිකාර ලබාදීම්වලට බාධාවක් නොවීය. ඒ වන විට මධුෂ් සිටියේ ගුදමාර්ගයෙන් රුධිරය පහව යන යම් රෝගී තත්වයකිනි. ඊට ප්‍රතිකාර අඛණ්ඩව ලබාදුන්නේය. ඒ හැරුණු කොට මධුෂ් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදුවූයේ දැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි.
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු ඉකුත් වසරේ මැයි මාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ මධුෂ්ව රඳවා තබාගෙන සිටියේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රඳවා ගැනීමේ නියෝගයකිනි. එසේ යම් සැකකරුවෙක් ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයකින් රඳවාගෙන සිටීමේ හැකියාව ඇත්තේ වසර එකහාමාරක් පමණි. මධුෂ් සම්බන්ධයෙන් එම කාලය හමාර වීමට නියමිතව තිබුණේ ලබන නොවැම්බර් 28 වෙනිදාටය. 28 වෙනිදායින් පසු මධුෂ්ව එක මොහොතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගැනීමට නීතියෙන් ඉඩක් හිමිවන්නේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිදුවන්නේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමටය. එහිදී මෙතෙක් කාලයක් ඔහුව අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන කළ පරීක්ෂණ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. අධිකරණයෙන් ඔහුට ඇප ලැබීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ගැන තීරණය වන්නේ ඒ අනුවය.
මෙයට පෙර අවස්ථාවකදීත් මධුෂ් වසර එකහමාරක් රැඳවුම් නියෝග මත පොලිස් අත්අඩංගුවේ සිටියෙකි. එකල ඔහු රඳවාගෙන සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසිනි. ඒ 2015 පෙර එකල සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතන සැලසුමකට සැකපිටය. එම සැලසුම ගැන තොරතුරු ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයටය. එකී තොරතුරට අනුව එම ඝාතන කුමන්ත්‍රණය සිදුවන්නේ එල්.ටී.ටී.ඊ.ය සමගිනි. ඒ වන විට මධුෂ් සිටින්නේ බන්ධනාගාරගතවය. ඒ මීගමුවේ පීපල්ස් ලීසිං මංකොල්ලයට සැකපිටය. වසර එකහාමාරක් තිස්සේ ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන සිටියත් එකී ඝාතන කුමන්ත්‍රණය තොරතුරකට පමණක් සීමා වූවක් මිස එය ඔප්පු කරන්නට තරම් සාක්ෂියක් මධුෂ්ගෙන් ලැබී තිබුණේ නැත. ඒ වෙනුවට මධුෂ් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය තුළ රැඳෙමින් පොලීසියේ මිතුරන් රැසක් සමීපකර ගත්තේය. නීතිය ගැන උගත්තේය. පොලීසියේම නිලධාරීන්ගේ ජංගම දුරකථන භාවිතා කළේය. අවසානයේදී ඔහු රැඳවුම් නියෝග අවසන්ව 2015 වසරේ යහපාලන ආණ්ඩුව සමයේදී නිදහස ලබන්නේ ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් අධිකරණය හමුවේ ඔප්පුකර ගැනීමට නොහැකිවූ තැනය. එකී නිදහසත් සමග ඩුබායි පැන ගන්නා මධුෂ් දැවැන්ත අපරාධකරුවෙක් ලෙස කලඑළි බසින්නේ මෙරට පාතාලයේ ගෝඞ්ෆාදර් බවට පත් වෙමිනි. ඒ ඉන්දියාවේ පාතාල රජු චාවුඞ් ඊබ්‍රහිම්ගේ අඩිපාරේ යමිනි.
එහෙත් මධුෂ්ට වැඩිය සෙල්ලම් කරන්නට ඉඩක් නොලැබෙන්නේ ඩුබායි පොලීසියට කොටුවීම නිසාය. එසේ නොවන්නට මේ වන විට අපේ රට පාතාලය ගිලගෙන හමාරය. ඩුබායි සිට මධුෂ්ව මෙරටට රැගෙන එන්නේ තවදුරටත් ඔහුගේ පාතාල සෙල්ලම්වලට ඉඩ නොදී නීතිය හමුවට ඉදිරිපත් කර දඬුවම් කරන්නටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මධුෂ්ව භාරදෙන්නේ ඒ වෙනුවෙන් මධුෂ්ගේ අපරාධ ජාලය ගැන සාක්ෂි සහිතව සොයා අධිකරණයට ඔහුව රැගෙන යන්නටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ කටයුත්ත කොපමණ ප්‍රමාණයකින් ඉටුවූයේදැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. වසරකුත් මාස පහකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටි මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසයට ඉහළ අණකින් ඉකුත් 16 වෙනිදා භාරදෙනු ලැබීය. ඒ මධුෂ්ව තව දුරටත් ආරක්ෂක ලේකම්ගේ අණින් රදවාගෙන සිටීමේ හැකියාව ඇත්තේ නොවැම්බර් 28 වෙනිදා දක්වා පමණක් වන බැවිනි. මේ කාලය තුළ මධුෂ්ට එරෙහිව බලවත් සාක්ෂි රැස් කර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ පෙර මෙන්ම ඔහුට නිදහස හිමිවීම බව කොයි කවුරුත් දැන සිටියේය.
කොළඹ අපරාධ කොට්ඨාශයට මධුෂ්ව භාරදෙන්නේද ඔහු සම්බන්ධයෙන් වූ’විමර්ශන බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධික්ෂණයෙන් අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දනගේ මෙහෙයැවීමෙන් සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා ඇතුළු කණ්ඩායමක් මගින් කරන්නටය. දේශබන්දු තෙන්නකෝන් පවසන ආකාරයට අනුව මධුෂ් ඒ වන විටත් මෙරට මත්දුව්‍ය ජාලය මෙහෙයවමින් සිට ඇත. ඔහු ඒ නොකියා කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිටියදීත් මධුෂ් ගෙවී ගිය වසර එකහාමාරකට ආසන්න කාලය තුළ මත්කුඩු ජාවාරම මෙහෙයවා ඇති බවකි. දේශබන්දු තෙන්නකෝන් යනු ශ්‍රී ලංකා පොලීසියේ ඊළග පොලිස්පතිවරයා වන්නට සිටින රටේ නමගිය පොලිස් නිලධාරියෙකි. ඔහු සාක්ෂි නොමැති නම් මෙවන් දෙයක් ආවාට ගියාට කියන්නේ නැත. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිටි මධුෂ්ට මත්කුඩු ජාලය මෙහෙයවන්නට අවස්ථාව ලද ආකාරය ගැන පොලිස් මූලස්ථානය පැත්තෙන් වෙනම විමර්ශනයක් ආරම්භ විය යුතුය.
මාකදුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට ගෙන පැය 24ක් යන්නට මත්නෙන් හෙරොයින් කිලෝ 11ක්ද වැටලීමකින් සොයා ගත්තේය. ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිල ප්‍රකාශය වූයේ මාකඳුරේ මධුෂ්ගෙන් ලද තොරතුරකට අනුව එම මත්කුඩු තොගය කොටිකාවත්ත ප්‍රදේශයෙන් සොයා ගත් බවය. ඒත් සමග අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයෙක් ගැනද කියැවිනි. ඒ පුද්ගලයාද මත්කුඩු ජාලයට සම්බන්ධ වූවෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිට කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ගැණුනු මාකදුරේ මධුෂ්ගෙන් පැය 24ක් ඉක්ම යන්නටත් මත්තෙන් හොරොයින් කිලෝ 11 ක් සොයා ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ඒ වන විටත් සිටියේ පුදුමයෙක් පුදුමයට පත්වෙමිනි. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මධුෂ්ගේ තවත් බොහෝ දේවල් සොයා ගනු ඇතැයි විශ්වාස කළෝය. ඒ විශ්වාසය සැබෑවක් බවට පත්කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඉකුත් 20 වෙනිදා අළුයම මාළිගාවත්තේ ඇපල්වත්තේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණය වෙත යන්නේ එහි ඉහළ මහලේ නිවසක සඟවා ඇතැයි මධුෂ් විසින් හෙළිකරන ලද තවත් මත්කුඩු කිලෝ 22ක් අත්අඩංගුවට ගන්නටය. ඊට පෙර මධුෂ්ගේ තොරතුරෙන් හෙරෙයින් කිලෝ 11ක් සොයා ගැනීමට කොටිකාවත්තට මධුෂ්ව රැගෙන නොගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම වැටලීමට මධුෂ්ව රැගෙන යන්නට වග බලා ගත්තේය. කොළඹ අපරාධ කොට්ඨාසය නම් කියන්නේ මත්කුඩු සගවා ඇති ස්ථානය පෙන්වීමට මධුෂ්ව රැගෙන ගිය බවකි.
මෙකී තට්ටු නිවාස සංකීර්ණය ඇපල් වත්තේ මුඩුක්කු නිවාස ඩෝසර් කර නාගරික සංවර්ධන අධිකාරීය විසින් ඉදිකළ එකකි. මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමට මුල්ගල තබන විට මධුෂ් රැඳී සිටියේ ඩුබායි හීය. නිවාස ඉදිකර අවසන්ව එය විවෘත කෙරන්නේද පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදීය. ඒ මෛත්‍රීපාල ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය. මත්කුඩු සගවා ඇතැයි කියන්නට වූයේ එහි 10 වැනි මහලේ වූ නිවසකය. එය කංජිපානිට අයත් එකක් බව පොලීසිය පැත්තෙන් කියැවෙන්නකි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ පොලීසියේ අනුදැනුම මත මාකදුරේ මධුෂ්ට දුරකතනයක් ලබාදී ජාවාරම්කරුවන් සමග සම්බන්ධවීමට ඉඩදෙමින් එම මත්කුඩු සඟවා ඇති තැන් හෙළිකරගත් බවය. එය පොලීසියේ උපක්‍රමයකි. කොටිකාවත්තේදී මත්කුඩු කිලෝ 11ක් අල්ලාගත් අවස්ථාවේදී ඊට කොලඹ අපරාධ කොට්ඨාසය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක්ද ලබා දුන්නේය. ඒ මාකඳුරේ මධුෂ්ගේ ඔත්තුවෙන් මත්කුඩු තොගයක් අල්ලාගත් බවටය. එසේ මාධ්‍ය මගින් දැවැන්ත ප්‍රසිද්ධියක් ලබාදී තිබියදී මධුෂ් දෙවැනි මෙහෙයුම දියත්කරමින් ඇපල්වත්තේ තට්ටු නිවාස සංකීර්ණයේ සගවා ඇති හෙරොයින් තොගය ගැන ජාවාරම්කරුවන්ගෙන්ම තොරතුරු දැනගෙන තිබේ. ඒ පොලීසිය කියන ආකාරයට අනුවය.
මත්කුඩු සඟවා ඇතැයි කියූ එම නිවස මාළිගාවත්ත පොලීසියේ නිරන්තර වැටලීම්වලට ලක්වන්නෙකි. ඒ එම නිවස මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මෙන්ම මත්කුඩු භාවිතා කරන්නන්ගේ තෝතැන්නක් බව ප්‍රසිද්ධ රහසක් වන බැවිනි. එම නිවස තුළ මෙම වසරේ මුල වෙඩි තැබීමක් මෙන්ම මිනිස් ඝාතනයක්ද සිදුවී තිබුණි. එයද මත්කුඩු ආරවුලක් මුල්කරගත් පාතාලයේ ගැටුමකි. මධුෂ්ගේ ඔත්තුවේ ඊළග මත්කුඩු කිලෝ 22ක සගවා තිබෙන්නේ මෙතැනය. පොලීසිය නිල වශයෙක් කරන ප්‍රකාශයන්ට අනුව එදා අළුයම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මධුෂ්ව රැගෙන එන්නේ එම මත්කුඩු තොගය අල්ලා ගන්නටය. ගොඩනැගිල්ලට ඇතුළු වී ඉහළ මහලට යන්නට සූදානම් වනවාත් සමග පොලීසිය දෙසට එකවරම එල්ල වන්නේ වෙඩි වර්ෂාවකි. ඒ එක් වෙඩිල්ලක් මධුෂ්ගේ ඇසක් හිල්වී හිස හරහා පසාරුකරගෙන යන්නේ එතැනම ඔහුගේ ඉරණම තීන්දු කරමිනි. පොලීසියේ නිල ප්‍රකාශයන්ට අනුව දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක්ද සිදුවී ඇත. ඒ බව සනාත කිරීමට රූපවාහිනී නාලිකාවන්ට පොලීසිය පාර්ශවයෙන් කැමරාවකින් රූගතකරන ලද දර්ශනයක්ද ලබා දී තිබේ. එම පටිගත කිරීම සිදුව ඇත්තේ තට්ටු නිවාස සංකීර්ණයෙන් තරමක් ඈතක සිටය. ජංගම දුරකතනයේ කැමරාව ඉලක්ක වී ඇත්තේ තට්ටු නිවාස සංකීර්ණය දෙසටය. පළමු වෙඩි හf`ඞ් සිට අවසාන වෙඩිල්ල දක්වා වෙඩි හඩවල් පමණක් එහි ශබ්දය ලෙස පටිගත වී තිබේ. මේ වෙඩි තැබිල්ල සිදුවන්නේ අළුයම 3.00න් පසුවය. පොලීසිය ගොඩනැගිල්ලට යන්නේ සංවිධානාත්මකව සැලසුම් සහගතවය. පොලීසිය කියන ආකාරයට අනුව වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ අනපේක්ෂිතවය.
කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරයට පොලීසිය පැත්තෙන්ද ප්‍රතිප්‍රහාර එල්ලවී ඇති බව කියති. එසේම බෝම්බ ප්‍රහාරයක්ද පොලීසියට එල්ල වී තිබේ. ඒ සියල්ල පොලීසිය නිල වශයෙන් සදහන් කරන කරුණුය. එසේම පොලීසියට වෙඩි තබා මාකදුරේ මධුෂ්ව ඝාතනය කළ වෙඩික්කරුවන් පළාගොස් තිබේ. පොලීසිය පවසන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකුටද වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇති බවය. එක් අයෙකුගේ අතකටත්, තවත් නිලධාරියෙකුගේ කලවටත් වෙඩි වැදී ඇතැයි කියති.
මේ ආකාරයට මධුෂ්ගේ ජීවිත කථාව ආන්දෝලනාත්මක අයුරින් නිමාවට පත්වන විට ඒ තුළින් සැනසුම් සුසුම් හෙළන පිරිසක්ද සිටිති. ඒ මධුෂ්ගේ තර්ජන ගර්ජනවලට ලක්වූවන් හෝ මධුෂ්ගේ අපරාධ හේතුවෙන් වින්දිතයන් වූවන් නොව මධුෂ් සමග ඇසුරු කළ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධව සිටි දේශපාලනඥයන් සහ දූෂිත පොලිස් ලොක්කන්ය. මධුෂ්ගේ මරණයත් සමග දැන් ඒ සියලුදෙනා සතුටින් පිනාගොස් සිටින්නේ මධුෂ්ගේ මරණයත් සමග සියල්ල වැළලී යන බව දන්නා බැවිනි.
බදියුදීන් අල්ලපු අලුත්ම සිස්ටම් එක
ගෙවී ගිය සතියේ රටේ අවධානයට යොමු වූ තවත් සිදුවීමක් වූයේ පොලීසියට කට්ටි පනිමින් සැගවී සිටි රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමය. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව ආසන්නයේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි නිවසකින් සැගවී සිටි බදියුදීන් මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ පසුගිය 19 වෙනිදාය. ඒ වන විටත් ඔහු සතියකට ආසන්න කාලයක් පොලීසියට කට්ටි පනිමින් සිටියේය. ඔහුගේ දේශපාලන සගයන් ඊට පෙරදින මාධ්‍ය හමුවක් පවත්වමින් රටටම කියන්නේ බදියුදීන් සැඟවී සිටින්නේ 20 වෙනිදා දක්වා පමණක් බවය. 20 වෙනිදාට බදියුදීන් එළිබසින බවද ඔවුහු සදහන් කළහ. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි පරීශ්‍රමයකින් පසු ඔහුව කොටුකර ගන්නේ 20 වෙනිදා එළි බසින්නට පෙරය.
බදියුදීන් ඉන්නා තැන සොයා ගන්නට එම මාධ්‍ය හමුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තරමක් ඉවහල්වී තිබුණේය. ඒ එම මාධ්‍ය හමුවට සහභාගිවූවන් රිෂාඞ් 20 වෙනිදා සැඟවී සිටින තැන්වලින් එළියට එන බව කියන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට රිෂාඞ් සැගවී සිටින තැන හඹා යාමට ඒ තුළින් ලැබෙන්නේ මනා පිටුවහලකි. එනම් 20 වෙනිදා ඔහු එළියට එන බව මනා විශ්වාසයකින් ඔවුන් පවසන්නට වූ බැවිනි. එතැන් සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එකී මාධ්‍ය හමුව පැවැත්වූ සහ සංවිධානය කළ අය පස්සේ පන්නන්නට ගත්තේය. එය තාක්ෂණික මෙහෙයුමකි. ජංගම දුරකතන ජාල පරීක්ෂාවක්ද ඒ අය සම්බන්ධයෙන් කළේය.
බදියුදීන්ව අත්අඩංගුවට ගන්නැයි 13 වෙනිදා නීතිපතිවරයා පොලීසියට දැනුම් දීමත් සමග අතුරුදන් වූ ඔහුව සොයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කළේය. ඒ ඔහු අතුරුදන්වීමෙන් පසු සජිත් ප්‍රේමදාස සමගින්ද යම් දුරකතන සංවාදයක නිරතවී සිටීම නිසාය. සජිත් ප්‍රේමදාසගෙන් පමණක් නොව, තවත් බොහෝ අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බදියුදීන් ගැන ප්‍රශ්න කර තිබුණේය. ඒ වන විට බදියුදීන් භාවිතා කළ ජංගම දුරකතනය පවා තිබෙන්නේ අක්‍රියකරමිනි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් උත්සහ ගත්තේ ඔහු ඇමතුම් ලබා ගැනීමට භාවිතා කරන ජංගම දුරකතන හෝ වෙනත් දුරකතන අංකයක් ඔස්සේ ඔහු පස්සේ පැන්නීමටය. එය සාර්ථක වන්නේ මාධ්‍ය හමුව පවත්වන ලද දේශපාලනඥයන්ගේ දුරකතන ජාල පරීක්ෂාව තුළිනි. දුරකතන ඇමතුම් සිය ගණනක් සම්බන්ධයෙන් කෙරුණු ජාල පරීක්ෂාවකින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වන්නේ කළුබෝවිල රෝහල ආසන්නයේ පිහිටි වෛද්‍යවරියකගේ නිවසකි. මුස්ලිම් ජාතික එම වෛද්‍යවරියගේ සැමියා ටියුෂන් පංති පවත්වන ඉංජිනේරුවරයෙකි. ඒ අය බදියුදීන්ගේ පවුලේ හිතවතුන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෛද්‍ය බිරියත් ඉංජිනේරු සැමියාත් වෙන වෙනම තබා ප්‍රශ්න කරන්නට ගත්තේය. එතෙක් කලක් බදියුදීන් සැඟවී සිටි තැන් ගැන තොරතුරු එළියට එන්නේ ඒත් එක්කමය. ඒ අනුව බදියුදීන් 13 වෙනිදා රාත්‍රීයේ සිට 15 වෙනිදා දක්වා සැගවී සිටින්නේ මෙම වෛද්‍යවරියගේ නිවසේය. එම නිවසින් බදියුදීන් පිටව යන්නේ 15 වෙනිදා සවස් කාලයේදීය. ඔහුව රැගෙන යන්නේ මෝටර් රථයකින් පැමිණි පිරිසකි. වෛද්‍යවරියගේ නිවස අවට සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට එකී මෝටර් රථය හදුනා ගන්නට එතරම් අපහසු වන්නේ නැත. ඒ අනුව එම මෝටර්රථයේ හිමිකරුවන් හදුනා ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගනිමින් බදියුදීන්ව රැගෙන ගිය තැන් ගැන ප්‍රශ්න කරන්නට ගත්තේය. ඒත් එක්කම වෙද්‍යවරිය සහ ඇගේ සැමියාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ බදියුදීන්ට සඟවාගෙන සිටීමේ වරදටය. අවසානයේදී බදියුදීන්ව කොටුකර ගන්නේ 19 වෙනිදා අලුයම් කාලයේදීය. ඒ ඔහුටත් සිතා ගන්නට බැරිවන්නටය.
රුවන් වෙඩිවර්ධන