කොහොමින් කොහොම හරි 2020 අවුරුද්දත් උදා වුණා. සල්ලි තියෙනවා නම් හැමදාම අවුරුදු කියලා කතාවක් තියෙනවනේ. ඒ කියන්නේ සල්ලි නැත්තම් අවුරුදු ආවත් වැඩක් නැහැ. ඒ කතාවේ අනිත් පැත්ත එහෙමනේ. එතකොට මේ අවුරුද්ද උදා වුණේ කොහොමද? ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන්නවත් කැමැති නැහැ. එළවළු මිල අහස උසට ගිහින්. ඒ මදිවට හාල් මිල. මේ දවස්වල හාලුත් ගිනි ගණන්. මොන දේ කරන්නත් කාල බීල ඉන්න ඕනෙනේ. ඒ හින්දා හාල් මිල සහ එළවළු මිල වැඩි වෙන එක සාමාන්‍ය ජනතාවට හොඳට දැනෙනවා. ඒ හින්දම හාල් මිල පහත දැමීම සම්බන්ධයෙනුත් ලොකු කතාබහක් සමාජයේ ඇති වෙලා තියෙනවා.
මේ අතරේ දේශපාලන වේදිකාවෙත් හාල්මිල ගැන එක එක කතා ඇහෙනවා. සමහරු හාල් ඒකාධිකාරයක් ගැන කතා කරනවා. සමහරු මෝල් හිමියන්ගේ මාෆියාවක් ගැන කතා කරනවා. මේ දේවල් අස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පෞද්ගලිකවම හාල්මිල ගැන හොයලා බලන්න මැදිහත් වෙනවා. එතුමා ඒ සඳහා මුලින්ම යන්නේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට. එතැනට ගිය එතුමා කඩයක් ඇතුළේ වාඩි වෙලා ඉන්න අයුරුත්, එතැන ඉඳන් හාල් මිල සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් කරුණු විමසන අයුරුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඊට දින කිහිපයකට පස්සේ එතුමා ඒ විදියටම තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයටත් යනවා. ජනාධිපතිතුමාගේ මේ කටයුතුවලින් පස්සේ අහස උසට ගිය හාල් මිල පොඞ්ඩක් හරි අඩු වේවි කියලා ජනතාව තුළ ලොකු බලාපොරොත්තුවකුත් ඇති වෙනවා. ඇත්තටම ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙලාද? එහෙම නැත්නම් ඒක ඉෂ්ට වෙන්න තව කොච්චර දවසක් යාවිද? ජනතාව වෙනුවෙන් මේ දේවල් හොයලා බලන්න අපි තීරණය කළා. ඉතින් හාල් මිලට මොකද වුණේ කියලා හොයන්න ජනාධිපතිතුමා ඇවිත් ගිය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය පැත්තේ අපිත් පොඞ්ඩක් ඇවිදලා බැලුවා. අපි මේ ගමන ගියේ හරියටම ජනවාරි පළමුවැනිදා.
“ජනාධිපතිවරයා ආර්ථික මධ්‍යස්ථානයට ඇවිත් ගියාට පස්සේ මෝල් හිමියන් සමඟ සාකච්ඡා කරලා සම්බා සහ නාඩු සඳහා පාලන මිලක් පනවන්න රජය කටයුතු කළා. ඒ හින්දා දැන් සම්බා සහ නාඩු රුපියල් 98කට මිලදී ගන්න පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒත් අනෙක් සහල් වර්ග සඳහා තාම එහෙම පාලන මිලක් නැහැ. ඒ හින්දා අනෙක් හාල් වර්ගවල මිල ටිකක් ඉහළයි. හැබැයි මේ 15 වැනිදායින් පස්සේ අස්වනු නෙළනවා. ඒ හින්දා මේ මාසේ අන්තිම වෙද්දි හාල් මිල මීට වඩා අඩු වේවි.” ඒ තමයි හාල් මිල ගැන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ගේ අදහස. ඒ කතාව ඇත්ත බව ආර්ථික මධ්‍යස්ථානයේ ඇවිදලා බලද්දි අපිටත් තේරුණා. සුදු සහ රතු සම්බා වගේම සුදු සහ රතු නාඩුත් රුපියල් 98ක මුදලට ඕනම තැනකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පාලන මිලට යටත්ව මිල ගණන් වෙනස් කළ කිලෝ 5 ප්‍රමාණයේ හාල් කොට්ටත් අපිට දැක ගන්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි රජය නිකුත් කරපු ගැසට් නිවේදනයත් වෙළෙඳසල්වල ලාච්චුවේ තිබුණා. හැබැයි අනෙක් සහල් වර්ගවල මිල නම් තාමත් තියෙන්නේ බොහොම ඉහළ මට්ටමක. කීරි සම්බා සහල් මිල රුපියල් 165 සිට රුපියල් 215 දක්වා මිලකටත්, බාස්මතී සහල් රුපියල් 210ක මිලකටත් අලෙවි වෙන හැටි අපිට දකින්න ලැබුණා.
ජනාධිපතිතුමා පසුගිය දවස් ටිකේ ගොඩක් තැන්වලට ගියේ හිටිහැටියේ. ඒ වගේම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට එතුමාගේ පැමිණීමත් සිද්ධ වෙලා තියෙන්නේ හිටිහැටියේම තමයි. ආරක්ෂක භටයන් කිහිප දෙනෙක් එක්ක එතුමා එතැනට එනකම්ම කවුරුත් ඒ ගැන දැන ගෙන ඉඳලා නැහැ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ආව ජනාධිපතිතුමා හාල් අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගිහින් තියෙනවා. හැබැයි ජනාධිපතිතුමා එදා ඒ විදියට එතැනට ආව එක ගැන වගේම හාල් මිල පාලනය කරන්න ගත්ත තීන්දුව ගැනත් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් ඉන්නේ බොහොම සතුටින්.
“මේ රටවල් හදන්න නම් ඒ වගේ වැඩ කරන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු හරියට වැඩ කරන්නේ. හාල් මිල පාලනය කරන්න ගත්තු තීරණය බොහොම හොඳයි. මොකද හාල් මිල අඩු නම් තමයි මිනිස්සු වෙළෙඳපොළට එන්නේ. එතකොට තමයි අපිට වෙළෙඳාමක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ කාලෙට කොහොමත් හාල් මිල පොඞ්ඩක් වැඩියි. මේ පාර වැස්ස වැඩිවීමත් එක්ක තමයි ඒ තත්ත්වය තවත් බැරෑරුම් වුණේ. ඒ හින්දා ජනාධිපතිතුමාටත් ඒකට මීට වඩා කරන්න දෙයක් නැහැ. බලමු මේ මාසේ ඉවර වෙන්න කලින් තත්ත්වය හොඳ අතට හැරේවි. ඒක තමයි අපේ බලාපොරොත්තුව.” වෙළෙන්දෝ කියන්නේ එහෙමයි.
ඔහොම තමයි හාල් වෙළෙඳපොළේ තත්ත්වය. හැබැයි වෙළෙන්දෝ කියන විදියට මේ මාසේ අන්තිමට හාල් මිල අඩු වුණොතින් නම් මේ අවුරුද්ද පටන් ගත්ත තරමටම නරක එකක් වෙන එකක් නැහැ.
චන්දන පොන්නම්පෙරුම