මේ සතියේ කැලෑ කොලමෙන් අපි ජාතික උද්‍යානයක තියෙන වැදගත්කම ගැන කතා කරන්න හිතුවා. අපි ඒ සඳහා තෝරා ගත්තේ කුමන. නැඟෙනහිර යාල වනෝද්‍යානය ලෙසින් තමයි කුමන මීට පෙර හැඳින්වුණේ. 2006 වසරේ සැප්තැම්බර් 09 වැනිදා එය කුමන ලෙස වෙනස් වුණා. අපේ රටේ පැවැති සිවිල් යුද්ධය නිසා 1989 වසරේ ඉඳන් 2003 වසරේ මාර්තු, අප්‍රේල් විතර වෙනකම් මේ උද්‍යානයට ඇතුළු වෙන්න කිසිවෙකුට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වගේම 2004 වසරේ සුනාමි ව්‍යසනයෙනුත් කුමනට විශාල හානියක් සිද්ධ වුණා.
කුමන කියන්නේ ලංකාවේ තියෙන ඉතාම සුන්දර ජාතික වනෝද්‍යානයක්. ලංකාවේ තියෙන අනෙක් ජාතික වනෝද්‍යාන තරමට කුමන තවමත් මිනිසුන් අතින් කිලිටි වෙලා නැහැ. කොළඹ සිට කිලෝමීටර් හාරසියයකට ආසන්න දුරකින් කුමන පිහිටා තිබීමත් ඒකට එක් හේතුවක් විදියට සලකන්න පුළුවන්. නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අයත්ව පිහිටලා තියෙන කුමනට ළඟින්ම පිහිටි පහසුකම් සහිත නගරය තමයි පොතුවිල්. නමුත් 1818 කැරැල්ලෙන් පසු බැස්ස සිංහලයන්ගෙන් පැවත එන බවට සැලකෙන පානම ගම්මානය කුමනට කිට්ටුවෙන්ම පිහිටලා තියෙනවා. කුමන ජාතික වනෝද්‍යාන එක් පැත්තකින් යාල කලාප අංක දෙකටත්, අනෙක් පැත්තෙන් කුඹුක්කන් ඔයටත් මායිම් වෙනවා. එහි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 35,664ක් ලෙස සටහන් වෙනවා.
කුරුළු පාරාදීසය නමින් තමයි කුමන සංචාරකයන් අතර ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. දේශීය, විදේශීය පක්ෂි විශේෂ රාශියක් කුමනදි දැක බලා ගන්න පුළුවන්. විල්ලු සහ වැව් පිටි රාශියකින් සමන්විත කුමනට මේ කුරුළු විශේෂ එකතු කරන සුන්දරත්වය වචනයෙන් කිව නොහැකි තරම් ඉහළයි. ඒ වගේම කුමන ජාතික වනෝද්‍යානයේ ජෛව විවිධත්වයත් ඉතාම ඉහළයි. නැදුන්, බුරුත, මිල්ල ඇතුළු විවිධ වර්ගයේ ශාක වගේම සත්ව විශේෂ ගණනාවකුත් කුමනදි දැක ගන්න පුළුවන්. දුර්ලභ කුරුළු විශේෂ වන back necked stork, lesser adjutant, Eurasian spoonbill, Great thick knee වැනි විද්‍යාත්මක නම්වලින් හඳුන්වන කුරුළු විශේෂ රාශියක් කුමනදි දැක ගන්න පුළුවන්. ඒ වගේම Greater spotted eagle(clanga clanga) නැමැති සංචාරක පක්ෂියා පළමු වරට වාර්තා වෙලා තියෙන්නෙත් කුමනදියි.
මිරිදිය මිශ්‍ර කලපු වතුරු පිරුණු කුමන විල්ලුව එක් කාලයකට මේ කුරුල්ලන්ගෙන් පිරී ඉතිරී යනවා. ඒ කාලයට කුමන තියෙන්නේ පුදුමාකාර සුන්දරත්වයක්. විශේෂයෙන් යුරෝපයට සීත සෘතුව උදාවෙන ජනවාරි, පෙබරවාරි වගේ කාල වලදී තමයි ඒ සංක්‍රමණික පක්ෂීන් බොහොමයක් කුමනට පැමිණෙන්නේ. එම පක්ෂීන් එහිදී අභිජනනය පවා සිදු කරන බව සොයා ගෙන තියෙනවා.
කුරුල්ලන්ට අමතවර බිලාල කුලයට අයත් කොටියා කුමනෙදි දැක ගන්න ලැබෙන විශේෂිත සත්වයෙක්. ඒ වගේම කුමනෙදි දකින්න ලැබෙන කොටි යාල කොටින්ට වඩා පෘෂ්ටිමත්. ඊට අමතරව අලි ඇතුන්, ගෝන්නු සහ විශාල කුළු මීමුන් කුමන පුරා නිරන්තරයෙන් සැරිසරනවා. ඒ අතරේ දැක ගන්න ලැබෙන අළු මුගටියා සහ රාජාලි මුගටියා කුමනට විශේෂිත සත්වයින් ලෙස සලකන්න පුළුවන්.
සත්ව ගනත්වය සහ ජෛව විවිධත්වයට අමතරව ඓතිහාසික වශයෙනුත් කුමනට හිමිවන්නේ විශාල වැදගත්කමක්. 3 වැනි ශත වර්ෂයට අයත් ශිෂ්ටාචාරයක නටබුන් සහ 1 වැනි, 2 වැනි සියවස්වලට අයත් සෙල්ලිපි කුමනෙන් හමුවෙලා තියෙනවා. පසුගියදා රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායම විසින් පරීක්ෂාවට ලක් කළ බුදුපටුන අයත් වෙන්නෙත් මේ කුමනටමයි. කුමන ජාතික වනෝද්‍යානය අසලම පිහිටලා තියෙන කුඩුම්බිගල සේනාසනය වගේම කුඩුම්බිගල රක්ෂිතයත් කුමන යන සංචාරකයකුට දැක බලා ගන්න පුළුවන්. කුඩුම්බිගල රක්ෂිතයෙත් විශාල වන සතුන් ප්‍රමාණයක් සැරිසරනවා. හින්දු පුරාවෘත රැසකට සම්බන්ධ ඔකඳ දේවාලය, ගල් ඔරුව, කුඩා කැබිලිත්ත දේවාලය සහ කැබිලිත්ත දේවාලයත් පිහිටා ඇත්තේ මේ කුමන වන සීමාවට අයත්වයි. ඒ වගේම නැඟෙනහිර පළාතේ සුන්දරම වෙරළ තීරය විදියට සැලකෙන කුමන වෙරළ කැස්බෑවුන්ගේ පාරාදීසයක්.
වන සත්ව ඡායාරූපකරණයට ළැදි දේශීය විදේශීය සංචාරකයන් තමයි අදටත් වැඩිපුර කුමන සංචාරයේ යෙදෙන්නේ. ඒ අය වන සතුන්ට වගේම පරිසරයටත් ආදරය කරන පිරිසක් වීම නිසාම ඒ අය අතින් කුමනට සිදු වන හානිය ඉතාම අවමයි. නමුත් වසරකට වරක් පැවැත්වෙන පාද යාත්‍රාව හින්දා නම් කුමනට සිදු වෙන හානිය ඉතාම ඉහළයි. සිංහල, දෙමළ දෙගොල්ලන්ගෙම එකතුවෙන් යාපනයේ සිට කතරගමට යන මේ පා ගමන් මඟ වැටිලා තියෙන්නේ කුමන මැදින්. ඒ කාලයට බැතිමතුන් බැහැර කරන ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය ප්‍රමාණය ඉතාම විශාලයි. ඒ හේතුවෙන් පාද යාත්‍රාවෙන් පස්සේ පරිසරය පිරිසුදු කරන්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අමතර පිරිවැයක් දරන්න සිදු වෙලා තියෙනවා. බලධාරීන්ටම දොස් නොකියා පාද යාත්‍රාවේ යන උදවියම ඒ ගැන හිතලා කටයුතු කරනවා නම් ඒක ඉතාම හොඳ දෙයක්.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුමන ජාතික වනෝද්‍යානය ඇතුළේ වන ගත බංගලා දෙකක් පවත්වා ගෙන යනවා.ඒ තුම්මුල්ල සහ කිරිගල් ඇබේ බංගලා. ඒ අතරින් තුම්මුල්ල වැව අයිනට වෙන්න පිහිටි තුම්මුල්ල බංගලාවේ රැයක් ගත කරන එක සංචාරකයකුට ජීවිතයට අමතක නොවන අත්දැකීමක් වනවා නොඅනුමානයි. ඊට අමතරව ඇද කුඹුක 1, ඇද කුඹුක 2 සහ ගල් අමුණ කියන කඳවුරු භූමිත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වෙන් කර ගන්න සංචාරකයන්ට හැකියාව තියෙනවා.
කොහොම වුණත් කුමන ජාතික වනෝද්‍යානයේ ඇති සම්පත් සංචාරක ව්‍යාපාරය සඳහා නියමාකාරයෙන් ප්‍රයෝජනයට ගන්න වැඩපිළිවෙළක් තවමත් සකස් වෙලා නැහැ. ඇත්තටම මේ හරහා අපේ සංචාරක ව්‍යාපාරයට විශාල වාසියක් අත් කර ගන්න පුළුවන්. ඒ වගේම කුමන ජාතික වනෝද්‍යානය අනාගත පරපුර වෙනුවෙන් රැක ගන්න එකත් සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීමක්. අපේ කැලෑ කොලමේ ප්‍රධාන අරමුණ වෙන්නෙත් පරිසරයට ආදරය කරන අනාගතය වෙනුවෙන් පරිසරය රැක ගන්නා සංචාරකයකු බිහි කරන එකයි.
සමන් හල්ලොලුව











