අපි මඟට බැස්සේ වසර සිය ගණනකට පසු වසංගතයකට බය වී හැකිළී උන් මහ පොළොවකටය. බීරුමකින් මුහුණ පුප්පා ගත් අහස නිසොල්මන්ය. වැහි බින්දුවක් ඇහැ නොගැටුණ ගහ වැල් දුඹුරු පාට වී තිබේ. අහසේ බීරුමට පොළොව රැවටුණා මිස මීගමුවෙන් මෙපිට ඉසව්වට වැස්සක් ආ දවසක් මතක නැත. නමුත් දැන් මේ මිනිස්සු වැහි ඉල්ලන්නේ නැත. පරඬැලා පත්ව වියැළී ගිය ගහ වැල් මත මල් පූදිනා තුරු කිසිවෙක් තව දුරටත් බලා ඉන්නේ නැත. ඒ සියල්ල උඩු යටිකුරුව ගොස් ඇති නිසාය. ඒ කොවිඞ් 19 අපේ රටට පය ගසා අවසන් නිසාය. කොවිඞ් 19 ලෝකයේ ඉපදී මාස තුනකට වඩා යනතුරු අපි දොරගුළු නොවැසීමේ පාපයට වන්දි ගෙවමින් සිටිමු.
“සියල්ල විසඳෙනු ඇත” යි සිතමින් තව දුරටත් ජීවත් විය යුතුය. නමුත් මේ තත්ත්වය තව දුරටත් වෙනස් වීමට ඉඩ ඇතිබව අතිශය පැහැදිලිය.
අපි ගමන් පටන් ගන්නේ දූනගහින්ය.
දූනගහ මීගමුවට හොඳටෝම කිට්ටුය. අනෙක් අතින් “ටුවරිසම්”වලට වඩාත් ඈඳුණු “බටේපොළ” තියෙන්නේ අල්ලපු වැටේය. සියල්ල ඇත්තත්, බොරුවත් අතර දෝලනය වෙමින් තිබේ. කිසිවෙක් කිසිවෙක්ට අවංක නැත. අංක එක පක්ෂද විපක්ෂද කියන එකය. අනෙක් සියල්ල තියෙන්නේ දෙවැනි තැනටය.
“අර ඉතාලි ටුවර් එක ගිය බස් එක මෙහෙලු”
මෙහෙම කතාවකින් සියල්ලෝම කලබල වී සිටී.
“පොලිසිය ආවලු”

ඒ එහි ඊළඟ කොටසයි. හැබෑවටම පොලිසිය ඒ බස් රථයේ රියැදුරු බවට සැක කරනා පුද්ගලයෙක් ගැන හොයමින් සිටී. ඒ පළමුවැනි කතාවයි.
“අමායා හෝටලේ වැඩ කරපු කෙනෙක් ඉන්නවලු”
මේ ඊළඟ කොටසයි. තවත් මොකක්ද කතාවක අගමුල මතුව එයි. යළි පොලිසිය ඔහු හොයා ආ කතාවකි.
“මේ අපේ පැත්තෙ ඉන්නවලු ඉතාලියෙන් ආපු කීප දෙනෙක්ම. පොඩි පොඩි සීනුත් ගියා, බැරිද පොලිසියට කියන්ඩ”
මිනිස්සු මේ කලබලය අනවශ්‍ය තැනකට ගෙන එන බවක් පෙනේ. සමහර විට හැබෑවටම ගැටලුවක් නැත. ආ කෙනෙක් නැත. කොරෝනාද නැත. නමුත් බොහෝ පරිස්සමට යෑම නිසා ප්‍රශ්න ඇති වෙමින් තිබේ.
ඒ අතර නොදැනුවත්කම හෝ නොසැලකිල්ල පළමු තැන ගත් සිදුවීම් ඕනෑ තරම්ය. ඒ අතර අපි දුටු බරපතළම සිදුවීම වූයේ දූනගහ සති පොළයි. විශාල පිරිසක් කිසිම වග විභාගයකින් තොරව එක් වෙන සතිපොළක් මෙවන් වාතාවරණයක් යටතේ පවත්වන්නට අවසර දීම පවා පුදුමසහගතය. නමුත් පොලිසිය හෝ එම්.ඕ.එච්. කාර්යාලය හෝ නිසි වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හැර තිබුණේය. එය අරයට මෙයාට හෝ ශ්‍රී ලංකා නීතියට කළ වරදක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම එරෙහි වරදකි. මෙවැනි තැනක බඩු ගනිමින්, තෝරමින් එකිනෙකාගේ ඇඟේ හැපෙමින් යනෙනා අතර එක් අයෙක්ට මේ රෝගය ශරීරගතව තිබුණොත්? ඊට වඩා අහන්නට දෙයක් නැත.
ශ්‍රී ලංකාවේ සහල් පුරවරය මරදගහමුලය. මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති රංජිත් මහත්තයා කලින්ම කීවේ “හාල් හිඟයක් වෙන්නෙ නෑ. අපිට දෙන්න පුළුවන්. දැනට ඕනෑ තරමටම තොග තියෙනවා. ඒ වගේම ඉස්සරහට තවත් ගොයම් කැපෙනවා. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා”
නමුත් මිනිස්සු මේ පළමු දෙවැනි දිනවලම සහල් මිලට ගැනීමේ ක්‍රියාන්විතය ආරම්භ කළේය. අනවශ්‍ය කලබලයක් වගේම, රෝගය පැතිරයෑමේ දැඩි අවදානමක් ඉන් නිර්මාණය විය. එහි ප්‍රධානතම කාරණාව වූයේ බලධාරීන් කෙරේ ජනතාවගේ ඇතිව තිබුණ බරපතළ අවිශ්වාසයයි.

“කැලණියෙ පන්සලට නාග ලෝකෙන් ආපු පණිවුඬේ වගේද කියන්න බෑනෙ නේද?”
මිනිස්සු මේ තත්ත්වයට එන්නේම දේශපාලනය නිසාය.
අපි මේ කලබලය අතර මීගමුවට පිටත් වුණෙමු.
මීගමුවේ තත්ත්වය වෙනස්ය. බොහෝ දුරට ජන ශූන්‍ය බවට පත්වෙමින් තිබේ. අපි එහි යන විටත් නගරය වසා දමා තිබුණේ නැත. සුපිරි වෙළෙඳ සල් කිහිපයක්ද ඇතුළුව නගර කිහිපයක් සම්පූර්ණයෙන් විවෘතව තිබුණේය.
නමුත් මීගමුවේ සුපිරි හෝටල් කිහිපයකින්ම සැදුම්ලත් බීච් සයිඞ් එක එහෙම පිටින්ම හිස්ය. නමුත් විදේශිකයන් මේ ප්‍රදේශවල රැඳී සිටින නමුත් ඔවුන් ඉන්නේත් උත්තර නැති ප්‍රශ්නවලට මුහුණ දෙමිනි. ඔවුන්ට පිටව යෑමට හැකියාවක් නැති සේම, රැඳී සිටීමද බරපතළ තත්ත්වයකි.
හෝටල් ක්ෂේත්රයට අදාළ රාජකාරිවල නියැළෙන ප්‍රධානීන් අපිට මේ කතාව කීවේය.
‘හෝටල් කියන එක ඉවරයි. අප්‍රේල් 21 වැටුණු වැටිල්ල අපිට මේ දෙසැම්බර් සීසන් එක වෙනකල් හදාගන්න බැරි වුණා. අපි නන්නත්තාර වෙලා හිටියෙ. යාන්තමට වැඩ පටන් ගත්තා විතරයි.
මේ ලෙඩක් ආවා ආයෙ නැඟිටින්න හම්බවෙන දවසක් හිතන්නවත් බැහැ. දැන් ඉතින් අපිත් සුද්දෙක් දැක්කම ගැස්සෙනවා. අහවල් කාමරේ ඉන්නෙ, සුද්දට සුද්දිට මොනවා හරි ගෙනියන්න කිව්වම කොල්ලො බයයි.
‘මොකක්ද කරන්නෙ?’
ඒ එක කතාවක්. සංචාරක කර්මාන්තයට අදාළ අයෙක් මේ කතාව කීවේය.
‘මම අන්තිමට බැස්සෙ, ඕස්ටේ්රලියන් සෙට් එකක් එක්ක ගිහිල්ලා. මිනිස්සු වැඩි ගණනකට හෙම්බිරිස්සාව. ඕස්ටේ්රලියාවෙ නිසා මොනවවත් කියන්නත් බැහැ. එයාලට තහනමකුත් නැහැ. ඒත් ඒක අපිට බෝ වෙනවා. ඒ.සී. බස්වල යන කොට ටක් ගාලා පැතිරෙනවා.

අපේ ගයිඞ් නවලෝකෙන් ගිහිල්ලා චෙක් කළා. එහෙම එකක් නැහැ කියනවා.
මේ තත්ත්වය යටතේ ලංකාවේ සංචාරක කර්මාන්තය සහ එහි නියැළෙන්නන් අතිශය බරපතළ අර්බුදයකට මුහුණ දී තිබේ. ඒ ‘රස්සා නැති වීම’ නමැති සරල ප්‍රශ්නයට වඩා අතිශය සංකීර්ණ එකකි. ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධ බොහෝ දෙනා සමාජයීය ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටී.
‘මිනිස්සු අපි දිහා බලන්නෙ අප්‍රසන්න විදියට. කඬේකට ගියාම මිනිස්සු යනවා. ගෙවල්වල සැකකටයුතු අය ඉන්නවා. අරක මේක කියලා පොලිසිවලට කෝල් යනවා. අපේ දරුවො පවා ඉන්නෙ ප්‍රශ්නෙක. ටුවරිසම්වලට කොහෙන් හරි සම්බන්ධ අය දිහා බලන්නෙම වපර ඇහැකින්. මේ රට කෙළින්ම ලොක්ඩවුන් කරලා, උණ හැදෙන අය ඔක්කොම බලන්න ඕනෑ. නැත්නම් මේ සැකය දැන් අපිටත් අපි ගැනත් තියෙනවා.
ඒ කතාවේ අපිට නොතේරෙන බරපතළක් තිබේ. සංචාරකයන් ඇසුරු කළ සියලුම දෙනා ලෙඩ වෙන බවට ඇති කරනා සමාජ මතය ඔබ මේ දැන්ම දුරු කරගත යුතුය. මාස දෙකකට, තුනකට පෙර සංචාරකයෙක් ආශ්‍රය කළ පමණින් ඔහු හෝ ඇය කවදා හෝ කොරෝනා රෝගියෙක් වෙන්නේ නැහැ. හැබෑවටම රෝගියෙක් හා සමඟ ගැටීමේදී පවා රෝගය බෝවීමේ හැකියාව සම්බන්ධතාවක් සහිත එකකි. ඒ නිසා අනවශ්‍ය ලෙස කලබල වීමද අවශ්‍ය නැත.
අපි දහඅට වැනිදා ගුවන් තොටුපොළට යන විටත්, එය වසා දමා තිබුණේ නැත. නමුත් පොදු සමාජය ඒ වනවිටත් විශ්වාස කරමින් උන්නේ එය සිදුව ඇති බවය. ගුවන් තොටුපොළ සේවක සේවිකාවන් බොහෝ දෙනෙක් ගුවන් තොටුපොළෙන් පිටතදී කිසිම මුහුණු ආවරණයක් හෝ වෙනත් ආරක්ෂිත උපක්‍රමයක් සහිත ඇඟලුමක් පාවිච්චි කරන බවක් අපි දැක්කේ නැහැ. සමහර විට ඔවුන් ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී යම්කිසි ආරක්ෂිත උපක්‍රම කිහිපයක් පාවිච්චි කරනවා විය හැකිය. නමුත් ගුවන් තොටුපොළ අවටද විශාල වශයෙන් විදේශිකයන් ගැවසෙනු දක්නට ලැබුණේය. සමහර විට ඒ අය මෙහි සිට පිටත්ව යනවා විය හැකිය. නමුත් මෙවන් තත්ත්වයක් යටතේ ගුවන් තොටුපොළ සේවක සේවිකාවන්ටවත් සාමාන්‍ය සමාජයට නිරාවරණය නොවී නිවෙස තෙක්ම පිටත්ව යා හැකි ක්‍රමයක් සැකසිය නොහැකිද?
මේ ගුවන් තොටුපොළ සේවකයන්ට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවන්නේ, ඔවුන් හරහා සාමාන්‍ය පුද්ගලයන්ටද යම් හෙයකින් අනාරක්ෂිත වන නිසාය. සාමාන්‍ය ගුවන් තොටුපොළේ එක එක සෙල්ලම්වලට එතෙක් මෙතෙක් කළ මිල-මුදල් නාස්තීන්ගේ තරමට මෙවන් ව්‍යසනයකදීත් එවන් තීන්දුවක් ගත නොහැකි නම් වෙන කතා කිරීමෙන් පලක්ද නැත.
පසුගිය දින කිහිපය පුරාම අධිවේගී මාර්ගවල වෙනදාට වඩා යම් පාළු ගතියක් තිබ්බේය. නමුත් ඒ දවල් කාලයේය. රාත්‍රිය උදාවෙත්ම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයටම පත්වෙමින් තිබ්බේය. ඒ හරහා අධිවේගී මාර්ග සේවකයන් අතිශය අනාරක්ෂිතය. ඔවුන්ට බාහිරට නිරාවරණය නොවී ගනුදෙනුව කරගැනීමේ ක්‍රමයක් නැත. සමහර විට විෂබීජ නාශක දියරයක් වැනි යමක් ඔවුන් ළඟ තිබිය හැකිය. නමුත් එය ප්‍රායෝගිකද? ශ්‍රී ලංකා රජයට අවශ්‍යව ඇත්තේ රට බේරා ගැනීමට අධිවේගී මාර්ගවල ගනුදෙනුවලින් තොරව ගමන් කිරීමේ ක්‍රමයත්, මේ දවස් කිහිපයකට හෝ නිර්මාණය කළ යුතුය. අවාසනාවකට මේ රජය ගණන් හදන්නේ ඉලක්කම් එකතුවෙන්ම පමණි. මිනිසුන්ගෙන් ගණන් හැදීම ගැන තවමත් ඒ තරමට අවබෝධයක් හෝ වුවමනාවක් ඇති බවක් නොපෙනේ. මිනිස්සු සිය දෙනෙක් ලෙඩ වීම රුපියල් ගණනකට වඩා රටට වෙන පාඩුවක් බව වැටහෙන දිනෙක මේ ගැටලු ලෙහෙනු ඇත. නමුත් ඒ වන විට සුපුරුදු පරිදි අස්සයෝ පැනලා ගොස්ය. වසා දමන්නට වෙන්නේ හිස් ඉස්තාලයය.
මුල් දිනවලම, අපි එයාපෝර්ට් වැහුවේ නැත. චීනයෙන් ළමයින් ගෙනෙවිත්, ගුවන් තොටේදීම නිරෝධායනයට අවශ්‍ය වටපිටාව සකසා, විෂබීජ නාශක පවා ඉස්සේය. නව ඇඳුම් අන්දවා ඔවුන් ගෙන ගියේය. ඒ වගේම ඊළඟට එය අයට සලකන්න බැරි බව පැහැදිලිය. හැබෑවටම මේ අපේ රටට ආ අපේ අය ඒ ඒ රටවලම හිටියා නම් මීට වඩා සුරක්ෂිතය. ඒ රටවල සෞඛ්‍ය අංශ මීට වඩා බලවත්ය. නමුත් ඔවුහු අනාරක්ෂිත නිරෝධායන මධ්‍යස්ථානවල ඉතා අපහසුවෙන් ජීවත් වෙති. මේ සියල්ලටම පෙර ගුවන් තොටුපොළ වසා දැම්මා නම් ප්රශ්නය මීට වඩා පහසු වෙනු ඇත. නමුත් ආණ්ඩුව ගුවන් තොටුපොළ වහන්නේ වෙසක් දන්සල් ඉවර වෙන්නා වාගේය.
සාමාන්‍යයෙන් වෙසක් දන්සලක වෑංජන එකින් එක අවසන් වෙද්දීත් දන්සල තිබේ. අන්තිමට බත් ඉතිරි නම් සම්බෝලයක් හෝ හදා අන්තිම ටිකත් දෙයි. ගුවන් තොටුපොළේ කතාවත් එහෙමය. රට අතිශය අනාරක්ෂිත වෙන්නේ මේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසාය. ලංකාවේ බොහෝ නායකයන්ට යුද්ධයත් රෝගයක ඇති බරපතළ තත්ත්වයත් පැටලී තිබේ. රෝග කාරකයෙක් එන්නේ බෝම්බකාරයෙක් වගේ නොවනා බව බොහෝ දෙනෙක්ට නොතේරේ. විශේෂයෙන්ම මේ කිසිවෙක් ඉතාලියේ හෝ වෙනත් බටහිර රටක සිට, අපි ලෙඩ කරන්නට ආවා නොවේ. නමුත් එය සිදුවිය. හෙටද සිදුවිය හැකිය. අවාසනාවකට දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරය.
කෙසේ වෙතත් අපි දකින්නේ කොළඹ ප්‍රධාන නගර කිහිපයම ජනාකීර්ණ බවෙන් තොරය. පෑලියගොඩ පාලමේ සිට මාර්ග පද්ධතියම වෙනදා තරම් වාහනවලින් පිරී නැත. බොරැල්ල, රාජගිරිය, නුගේගොඩ නගරවල පාළුව රජයයි. විහාරමහාදේවී උද්‍යානය සම්පූර්ණයෙන්ම මිනිසුන්ගෙන් තොරය. රාත්‍රිය උදාවෙද්දී වෙනදා වාහනවලින් පිරී යන ලේක්හවුස් වටරවුම අතිශය නිහඬ නිස්කලංක බවකින් පිරී ගියේය. කොටුවත් පිටකොටුවත් එහෙමය. පහුගිය දිනෙක කොටුව දුම්රිය පොළේ කිසියම් පිරිසක් විසින් සංවිධානය කරන ලද “මාස්ක්” දන්සැල විශේෂ සිදුවීමකි. ලංකාවේ ප්‍රධාන දුම්රිය පළ කීපයක්ම දුම්රිය ටිකට් නිකුත් කිරීමෙන් සහ ටිකට් පරීක්ෂාවෙන් ඉවත්ව සිටී. පිටකොටුව බස් පොළේ විශාල පාළුවක් දක්නට ලැබුණ නමුත් බ්‍රහස්පතින්දා වනතුරුත් පිටකොටුවේ වෙළෙඳාම් යම් අඩුවක් සහිතව, නමුත් කෙරෙමින් තිබුණේය. එය අතිශය භයානක තත්ත්වයක් බව බැලූ බැල්මට පේන දෙයකි. නමුත් බලධාරීන් ක්‍රියාත්මක වෙන බවක් පේන්න තිබ්බේ නැත. කොතැනත් ප්රශ්නය ඒකය. මේ බරපතළ අර්බුද අවස්ථාවේ නිවැරදිව වැඩ කළ යුත්තේ අපය.
තීන්දු කවුරු ගත්තත් නොගත්තත් ආරක්ෂාව තියෙන්නේ අපේ අතේය. ඒ නිසා ආරක්ෂා වෙමු.
ජීවන පහන් තිළිණ











