මාස ගණනක් පුරා ඇදී ගිය මැතිවරණ උණුසුම පසුගිය 05 වැනිදා අවසන් වීමත් සමඟ මේ වන විට හැම දෙනාගේම අවධානය යොමු වී ඇත්තේ අභිනව පාර්ලිමේන්තුව කෙරෙහිය. මැතිවරණය ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ගේ සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ලබන 10 වැනිදා වන විට ගැසට් කර අවසන් කළ හැකි වෙතැයි යන්න මැතිවරණ කොමිසමේ බලාපොරොත්තුව වී ඇත. එමෙන්ම අභිනව පාර්ලිමේන්තුව එළැඹෙන අගෝස්තු 20 වැනිදා රැස්වන බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා නිවේදනය කළේය.
කොරෝනා අවදානම හේතුවෙන් මෙවර මහ මැතිවරණය පැවැත්වූයේ අන් කවරදාටත් වඩා සුවිශේෂී ආකාරයකටය. එබැවින් ඒ සඳහා වියදම් කළ මුදලද වෙනදාට වඩා බෙහෙවින් වැඩි විය. කොරෝනා අවදානම ලෝකයේ බොහෝ රටවලට තවමත් දැනෙමින් තිබෙන පසුබිමක මීළඟ පාර්ලිමේන්තුව රැස් කිරීමද කළ යුතුව ඇත්තේ වෙනදාට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටය.
අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය ප්‍රකාශ කිරීමට පෙර සිටම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු නිලධාරීන් කටයුතු කර තිබිණි. එහිදී ඔවුන්ගේ අවධානය යොමුව ඇත්තේ කොරෝනා අවදානම මැද පාර්ලිමේන්තුව රැස් කෙරෙන බි්‍රතාන්‍ය, කැනඩා සහ යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව කෙරෙහිය. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු බලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව රැස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සඳහා විශේෂ නියෝජිතයකු පත් කිරීමට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රධානීන් කටයුතු කර තිබිණි. ඒ අනුව එම විශේෂ නිලධාරියා ලෙස පත් කළ ඇන්ඩෲ කෝල්මන් මහතා පසුගිය දින කිහිපය පුරාම මෙරට පාර්ලිමේන්තු බලධාරීන් සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට පියවර ගෙන තිබිණි.
එම සාකච්ඡාවලදී ලත් උපදෙස් අනුව අභිනව පාර්ලිමේන්තුව රැස් කළ යුත්තේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් නව නීති රීති මාලාවක් සම්පාදනය කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මේ වන විට සමත් වී ඇත.
ඒ අනුව එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම සහභාගිත්වයෙන් නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. කැනඩා සහ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සියලුම මන්ත්‍රීවරුන් කැඳවීම තවමත් සිදු නොකෙරන නමුත් සෞඛ්‍යාරක්ෂිතව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම රැස් කළ හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනුමැතිය ලබා දී ඇත. එමෙන්ම බටහිර රටවල පාර්ලිමේන්තු මෙන් මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ඔන්ලයින් තාක්ෂණය හරහා පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේදී තවමත් ප්‍රායෝගික නොවන බවද බලධාරීන්ගේ මතය වී ඇත.
සුපුරුදු පරිදි අසුන් ගත්තද, සෑම මන්ත්‍රීවරයකුම පාර්ලිමේන්තුව තුළ මුව ආවරණය පැලඳීම අනිවාර්ය කටයුත්තක් බවට පත් කර ඇත. එමෙන්ම හැන්සාඞ් වාර්තා ඇතුළු අනෙක් වාර්තා වෙනදා මෙන් පත්‍රිකා හරහා නොව හැකිතාක් ඔන්ලයින් තාක්ෂණය හරහා මන්ත්‍රීවරුන් වෙත ලබා දීමටද මේ වන විට තීරණය කර ඇත.
225 රැස් කිරීමට තීරණය කිරීමත් සමඟ සභා ගර්භයේ අසුන්ගතව සිටිමේදී මීටරයක පරතරය තබා ගැනීම ප්‍රායෝගිකව සිදු කළ හැකි කරුණක් නොවෙතත්, අනෙක් සෑම අවස්ථාවකදීම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ එකිනෙකා අතර මීටරයක පරතරය තබා ගැනීමට මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතුය. මන්ත්‍රී ආලින්දය, පුස්තකාලය, ආපනශාලාව ඇතුළු සෑම ස්ථානයකටම එම නීතිය එකසේ අදාළ බව නව නීති රීති මාලාවේ පැහැදිලිව සඳහන්ව ඇත. එමෙන්ම අතට අත දීම සහ සිප වැලඳ ගැනීමද සියලු මන්ත්‍රීවරුන්ට තහනම් කර ඇත.
ඊට අමතරව මන්ත්‍රී පිවිසුම, කාර්ය මණ්ඩල පිවිසුම සහ ආරාධිත අමුත්තන්ගේ පිවිසුම යන සෑම පිවිසුමකම දෑත් සේදීමේ උපකරණ සහ සැනිටයිසර් යෙදවීමට බලධාරීන් කටයුතු කර ඇත. එමෙන්ම වෙනදා මෙන් මෙවර පාර්ලිමේන්තුව වෙත ආරාධිත අමුත්තන්ට පැමිණීමේ හැකියාවක් නොලැබෙන අතර පළමු දිනයේදී එක් මන්ත්‍රීවරයකුට තම සමීපතමයන් දෙදෙනකු පමණක් ගෙන්වා ගැනීමට අවසර ලබා දී ඇත. පාර්ලිමේන්තු සභා ගර්භයේ මීටරයක පරතරය නොමැතිව අසුන් පනවා තිබුණද, පාර්ලිමේන්තු ගැලරියේ අසුන් පනවා ඇත්තේ මීටරයේ පරතරය සහිතව වීමද විශේෂත්වයකි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කිරීමටත් පෙර සිටම බොහෝ දෙනකුගේ මතය වී තිබුණේ ඊළඟ පාර්ලිමේන්තුව සඳහා හැකිතාක් නවක මන්ත්‍රීවරුන් පත් කර යැවිය යුතු බවය. මෙම සටහන ලියැවෙන්නේ මනාප ප්‍රතිඵල නිකුත් වීමට පෙර බැවින් ජනතාවගේ එම තීරණය එලෙසින්ම ක්‍රියාත්මක කර ඇද්දැයි පැවසීමේ හැකියාවක් නැත. නමුත් මීළඟ පාර්ලිමේන්තුව සඳහා අලුතෙන් පත්වන මන්ත්‍රීවරුන්ගේ ලියාපදිංචිය මෙවර සිදු වන්නේද අලුත්ම ආකාරයටය. ඒ කොරෝනා අවදානම මත නවක මන්ත්‍රීවරුන්ගේ ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමය හරහා සිදු කිරීමට බලධාරීන් තීරණය කිරීමත් සමඟය. ඒ ආකාරයෙන් නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට ශ්‍රී ලංකාවේදී සිදු කෙරෙන පළමු අවස්ථාව වන්නේද මෙයය.
මේ සියල්ලට අමතරව පාර්ලිමේන්තු පරිශ්‍රය සම්පූර්ණයෙන් විෂබීජහරණය කිරීමද පසුගියදා සිදුවූ අතර ලබන 20 වැනිදාට පෙර නැවත වරක් එය විෂබීජහරණයට ලක් කිරීමටද නියමිතව ඇත. නැවුම් ආරකට පැවැති මැතිවරණයකින් පත්වන මන්ත්‍රීවරුන්ගේ පළමු පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන්නේද නැවුම්ම ආකාරයටය. එබැවින් එම නැවුම් පාර්ලිමේන්තුව හරහා ගනු ලබන තීන්දු තීරණද රටේ අනාගතයට යහපත් ආකාරයෙන් බලපාන නැවුම් ඒවා වනු ඇතැයි යන්න ජනතාවගේ පාර්ශ්වයේ සිටින අපේ බලාපොරොත්තුව වන බවද පැවසිය යුතුය.
චන්දන පොන්නම්පෙරුම











