මාධ්‍යවේදිනිය – ඔබ බලයට පත්වුණාට පසුව පසුගිය ජන අරගලයට සම්බන්ධ වුණු අරගලකරුවන් මර්දනය කිරීමට ප්‍රබල ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. බලධාරීන් මේ වන විටත් උද්ඝෝෂකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට තාඩන පීඩන කරනවා. මෙසේ එම පිරිස ඉලක්ක කරගෙන සිදුකරන මර්දනකාරී ක්‍රියාවලිය මේ වන විට මහා අර්බුදයක්ද මතුකර තිබෙනවා. ඔබ මේ තත්ත්වය දකින්නේ කෙසේද?
ජනාධිපතිවරයා – මම හිතන්නේ නැහැ රජයේ ගොඩනැගිලි, නිවාස හා දේපළ විනාශ කිරීම මෙම ප්‍රශ්නයට විසඳුමක් කියලා. අපි කවුරුත් ඒක අවබෝධ කරගන්නට ඕනෑ. රටේ ජනාධිපතිවරයාගේ නිල නිවෙස, අගමැතිවරයාගේ නිල නිවෙස, පාර්ලිමේන්තුව අත්පත් කරගන්න, එසේත් නැති නම් මගේ පුද්ගලික නිවෙස මුළුමනින්ම ගිනිතියන්න මේ පිරිස් කටයුතු කළා කියලා මේ තිබුණු ප්‍රශ්නය විසඳුණාද?
මාධ්‍යවේදිනිය – එසේ නම් මෙම අරගලකරුවන්ට එරෙහිව කටයුතු කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම නිවැරැදි ක්‍රියාවක්ද?
ජනාධිපතිවරයා – ඔව්, අපි අත්අඩංගුවට ගත්තා. නීතිය කඩපු පිරිස්. ඒත් ඒක මම කරන එකක් නොවෙයි. ඒක පොලිසිය විසින් සිදුකරනු ලබන ක්‍රියාවලියක්. ඔබගේ රටේ වගේම තමයි මෙහෙත් සිදුවන්නේ. පොලිසිය විසින් ඒ අයට විරුද්ධව කටයුතු කරනවා. ඒත් මේ සියල්ල සිදුවන්නේ සම්පූර්ණයෙන්ම නීතියට අනුවයි.
මාධ්‍යවේදිනිය – ජීවන්ත පියතුමා, සිසු නායක වසන්ත මුදලිගේ සහ තවත් පිරිස් බොහොමයක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා?
ජනාධිපතිවරයා – ඔව් ඔව්. මම දන්නවා ඔය පිරිස් ගැන. ඔය පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට ඔබ කතා කළ වගත් මම දන්නවා. ඔබ උත්සාහ කරන්නේ ඔය සුළුතරය මා පිට පටවන්නයි. මම උත්තර දෙන්නේ බහුතරයක් වෙනුවෙන්.
මාධ්‍යවේදිනිය – මේ රටේ මේ වන විට දුක් විඳින බහුතරය ගැන ඔබට අවබෝධයක් තිබෙනවාද? ඔබට ඒ බහුතරය සහයෝගය දක්වනවාද?
ජනාධිපතිවරයා – මේ රටේ පීඩාවට පත්ව සිටින ජනතාව ගැන මට අවබෝධයක් තිබෙනවා. ඒ අයට විසඳුමක් අවශ්‍ය බවත් මම දන්නවා. මම ඒ පිරිස් වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරනවා. මමයි ඒ අය වෙනුවෙන් කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඕනෙ කියලා. ඔව්, මමයි නිවැරැදි දේ කියා සිටියේ. ඒකයි ඒ ජනතාව මා කෙරෙහි විශ්වාසයක් තිබෙන්නේ. මාස ගණනක් මේ රට අස්ථාවරව තිබුණා. මට අවශ්‍යයි මේ රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කරන්න.
කුමක්ද මේ තර්ක විතර්ක සහිත උණුසුම් කතන්දරය? මේ වගතුග ඇතිවූයේ මෙයට දින කිහිපයකට ඉහතදීය. එනම් ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඔස්ට්‍රේලියාවේ ගුවන්විදුලි සංස්ථාව ABC (Australian Broadcasting Corporation) නියෝජනය කරන මාධ්‍යවේදිනියක වන අවානි ඩයස් (Avani Dias) සිදුකරන ලද මාධ්‍ය සාකච්ඡාවකදී මෙම උණුසුම් දෙබස ඇතිවිය. ඇය දැනට එම මාධ්‍ය සංවිධානයේ දකුණු ආසියාතික විදේශ මාධ්‍යවේදිනිය ලෙස කටයුතු කරන අතර පසුගිය සමයේදී ශ්‍රී ලංකාවේ පැවැති ජන අරගලය වාර්තා කිරීමෙහි ප්‍රමුඛ මාධ්‍ය මෙහෙවරක්ද ඉටු කළාය. ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියාවේ ජාතික සම්භවයක් ඇති ඇය, ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ (University of Sydney) උපාධිධාරිනියකද වෙයි. 30 හැවිරිදි ඇය බොහෝ ආන්දෝලනාත්මක ගැටුම්කාරී සිදුවීම් වාර්තාකරණයෙහිලා ඉතා දක්ෂ මාධ්‍යවේදිනියක වන අතර කිහිප වාතාවක් ජාත්‍යන්තර මාධ්‍ය සම්මානයන්ගෙන්ද පිදුම් ලබා ඇත. ඒ අනුව ඇය 2016 සහ 2019 වසරවලදී ඔස්ටේ්‍රලියාවේ හොඳම තරුණ මාධ්‍යවේදියාට හිමි ජාතික සම්මානයෙන්ද, 2019 වසරේදී අගමැති මාධ්‍ය සම්මානයෙන්ද පිදුම් ලබා ඇත. මෙම තරුණ මාධ්‍යවේදිනිය වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතකද සේවය කර ඇති අතර දැනට ඇය ඔස්ටේ්‍රලියාවේ ්ඊක් මාධ්‍ය ජාලය ස්ථිරව නියෝජනය කරන්නීය. අවානි ඩයස් පසුගිය මාස 06කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ජන අරගලය ඉතා තීව්‍ර ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා කළ අතර එම සියලු මාධ්‍ය වැඩසටහන් දැඩි ආන්දෝලනයක් ඇති කළේය. එහිදී ඇය විසින් ශ්‍රී ලංකාවේ ජන අරගලය තේමා කරගනිමින් විනාඩි 30ක කාලයකින් යුත් වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළාය. මෙම චිත්‍රපටයෙන් ජන අරගලයේ විවිධ අවස්ථා රාශියක් නිරූපණය කළ අතර, එහි විශේෂ කාලයක් වෙන්කර තිබුණේ අවානි ඩයස් විසින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදුකළ කෙටි මාධ්‍ය සංවාදයකටය. මෙලෙස නිපදවා ඇති ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටය ‘නෝ සරෙන්ඩර්’ (No Surrender – යටත් නොවීම) ලෙස නම්කර ඇති අතර ඉංග්‍රීසි බසින් නිෂ්පාදනය කර ඇත. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ එම මාධ්‍ය ජාලයේ ඇලෙක්ස් බෙරී (Alex Berry) නමැති නිෂ්පාදකයා විසිනි.
මෙම කතාන්දරයේ සුවිශේෂ වගතුගක් හෙළිවන්නට ගන්නේ මෙතැනදීය. එනම් අවානි ඩයස් මාධ්‍යවේදිනිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාව සිදුකර ඊට පසු දින මෙම මාධ්‍ය කණ්ඩායම ඔවුන්ගේ වෑන් රථයෙන් කොළඹ නගරය තුළ ගමන් කරන විටදී හදිසියේම පොලිසිය විසින් එම රථය නතර කර දැඩි පරීක්ෂාවකට ලක්කර ඇත. එසේම ඉන් පසු දිනෙකද එලෙසම එම රථය නැවත වතාවක් දැඩි සෝදිසියකට ලක්කර ඇත. මෙහිදී පොලිස් නිලධාරීන් වෑන් රථයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂාවට ලක්කර ඇත. පොලිස් නිලධාරීන් මාධ්‍ය කණ්ඩායමට පවසා ඇත්තේ මෙම අංක දරන වෑන් රථය තුළ අරගල නායකයකු සඟවාගෙන රැගෙන යන බවට තමන්ට තොරතුරක් ලැබුණු බවය. එම තොරතුරෙහි මෙම වෑන් රථයේ අංකයම සඳහන් වී තිබුණු බවද එහි සිටි පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කර ඇත. අවානි ඩයස් මෙම සිදුවීම ගැන ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ වෑන් රථය තුළ යම් පුද්ගලයකු හෝ වෙනත් රහසිගත යමක් සඟවාගෙන ඇද්දැයි සැක කෙරෙන ආකාරයෙන් එම සෝදිසි කිරීම් සිදුකළ බවය. තවද ඇය ප්‍රකාශ කර ඇත්තේ මෙම වෑන් රථය තම ආයතනයේ නිල රථය වන අතර එහි රියැදුරුවරයාට අමතරව ඇයත් සමග තවත් කැමරා ශිල්පීන් දෙදෙනකු ගමන් කළ බවය. එසේම (No Surrender) වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේදීද ඇය අර්බුදකාරී තත්ත්වයන් රාශියකට මුහුණ දුන් බව ප්‍රකාශ වී ඇත. සිසු අරගලයන් වාර්තා කිරීමේදී ඇය කඳුළු ගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාර රැසකටද ගොදුරු වූවාය.‘ද සරෙන්ඩර්’ වාර්තා චිත්‍රපටයේ රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වූ සාකච්ඡාව නිමා වන්නේ ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රවිෂ්ට වීමට කටයුතු කළ බවත්, එහෙයින් තමන් කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් ඇති බවත් ප්‍රකාශ කරමිනි. ජනාධිපතිවරයා එසේ ස්වයං කථනයක් සිදුකරනු ලබයි. මෙහිදී ඉන් පසුව අවානි ඩයස් තමන්ගේ ඌණපූරණයක් මෙසේ සිදුකරනු ලබයි.
‘ඒ කතාව සත්‍යයක්. රනිල් වික්‍රමසිංහ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට කටයුතු කරලා එය සංවිධාන කළේ. ඒත් මෙම අයි.එම්.එෆ්. ආධාර වැඩපිළිවෙළ එළියට එන්නේ ඉතා දරුණු නීති රීති සහ කොන්දේසි රාශියක්ම යටතේයි. ජනතාවගේ රැකියා කප්පාදුකිරීම්, බදු මුදල් වැඩිකිරීම් සහ තවත් සහනාධාර රැසක් නැතිකර දැමීම මෙම වැඩපිළිවෙළට අයත් වෙනවා. දැනට අධික උද්ධමනය නිසා අසරණ වී අගාධයට වැටී ඇති ජනතාවට මෙම තත්ත්වයන් තවත් දරාගන්නට පුළුවන්ද? මේ අයි.එම්.එෆ්. දරුණු කොන්දේසි නිසා නැවතත් ජනතාවට සිදුවන්නේ මහපාරට බැහැලා උද්ඝෝෂණය කරන්නයි…’
අවානි ඩයස් තමන්ගේ මෙම ආන්දෝලනාත්මක රූපවාහිනී නිර්මාණය සඳහා විශේෂ චරිත කිහිපයක්ද යොදාගන්නීය. එනම් ඇය සුවිශේෂ පුද්ගලයන් කිහිප දෙනකු සමග එහිදී සාකච්ඡා පවත්වන්නීය. ඉන් සුවිශේෂ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු කොමසාරිස් වන අම්බිකා සත්කුනනාදන් (Ambika Sathkunanadan) මහත්මිය සමග සංවාදයක් පවත්වයි. ඇය ශ්‍රී ලංකාවේ සිටින ඉතා ප්‍රවීණ නීති විශාරදවරියක වන අතර එංගලන්තයේ (මහා බ්‍රිතාන්‍යයේ) නොටින්හැම් විශ්වවිද්‍යාලයේ (University of Nottinham) මානව හිමිකම් පිළිබඳ උසස් උපාධිධාරිනියකි. ඇය සමග අවානි ඩයස් සංවාදයේ යෙදෙන්නේ මෙසේය.
අවානි ඩයස් – ශ්‍රී ලංකාව තුළ දැන් අරගලකරුවන් ඉතා දරුණු ලෙස මර්දනය කරනවා. මොකක්ද මේ ඇතිවෙලා තිබෙන කනගාටුදායක තත්ත්වය?
අම්බිකා සත්කුනනාදන් – පැවැති අරගල සහ උද්ඝෝෂණ සියල්ලම පැහැදිලිවම සාමකාමී ඒවා ලෙස පිළිගන්නට පුළුවන්. එහෙත් දැන් ත්‍රස්තවාදී මර්දන පනත යටතේයි මේ සියල්ල සිදුවන්නේ. මේ පනත යටතේ වධ හිංසා පැමිණවීම, අත්අඩංගුවට ගැනීම ඉතා පහසුවෙන් සිදුකරන්න පුළුවන්. මේ යටතේ යම් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් නොකර වසර 02ක් දක්වා රැඳවුම් භාරයේ තබාගැනීමටත් පුළුවන්.
අවානි ඩයස් – එසේ නම් ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවන්නේ මානව හිමිකම් උල්ලංඝනයක් නේද?
අම්බිකා සත්කුනනාදන් – පැහැදිලිවම. මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ තවත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රාශියක්ම මේ තත්ත්වය පිළිබඳ දැඩි විරෝධය ප්‍රකාශ කරලා තිබෙනවා. එහෙත් රජය ඒ කිසිවක් මායිම් කරලා නැහැ. වත්මන් රජය ත්‍රස්ත මර්දන පනත යටතේ මිනිසුන් බියටපත් කිරීමට භීෂණයක් ආරම්භ කරලා තිබෙනවා. මිනිසුන් නිශ්ශබ්ද කිරීමටත්, එසේම විසම්මුතියටත් එරෙහිව මෙම පනත ප්‍රබලව භාවිත කරලා තිබෙනවා. මේක අතිශය ප්‍රබල මානව හිමිකම් කඩකිරීමක්.
අවානි ඩයස් – මෙහෙම මර්දනයක් සිදුකරලා ඉදිරියේදී මේ රටේ ජනතා අරගල නවත්වන්නට පුළුවන්ද?
අම්බිකා සත්කුනනාදන් – මේක යුක්තිය නෙවෙයි. මේ මගින් සිදුකරනු ලබන්නේ අරගලකරුවන්ට දඬුවම් කරලා එම සිදුවීම් හරහා ඉදිරියේදී අනෙක් පිරිස්වලට අරගල සිදු කිරීමට නොහැකි පටපිටාවක් නිර්මාණය කිරීමයි. එවිට අරගල කිරීමට මිනිසුන් බිය වෙනවා.
අවානි ඩයස් – රාජපක්ෂලාගේ සහ ජනාධිපති වික්‍රමසිංහගේ කුමන වෙනසක්ද ඔබ දකින්නේ?
අම්බිකා සත්කුනනාදන් – රාජපක්ෂලාත්, රාජපක්ෂ රෙජීමයත් පැහැදිලිවම කෲර සාහසික කණ්ඩායමක් වෙන්න පුළුවන්. එහෙත් වික්‍රමසිංහ යම් ආකාරයකට බුද්ධිමත්, සූක්ෂ්ම චරිතයක්. ඔහු මේ අරගලකාරී ක්‍රියා මැඩීමට නීතිය භාවිත කරාවි. එහෙත් රජය දැනට නීතිය විහිළුවක් බවට පත්කරගෙන තිබෙනවා. අද මේ තත්ත්වය යටතේ අභිචෝදනය (පැමිණිල්ල) හිංසනය බවට පත්වෙලා තිබෙනවා.
‘නෝ සරෙන්ඩර්’ වාර්තා චිත්‍රපටය හරහා අවානි ඩයස් පසුගිය ජන අරගලයට නායකත්වය දුන් අරගලකරුවන් කිහිප දෙනකු සමග කෙටි සංවාදයන් පවත්වා ඇත. ජීවන්ත පීරිස් පියතුමා, නීතිඥ නුවන් බෝපගේ, සිසු නායක වසන්ත මුදලිගේ, විමුක්ති රණසිංහ යන පිරිස්ද සමගද ඇය සංවාද පවත්වා ඇත. ජන අරගලය ඉතා ප්‍රබල ලෙස සමාජ මාධ්‍ය හරහා විකාශය කළ විමුක්ති රණසිංහ නමැති 25 හැවිරිදි තරුණයා සමග අවානි ඩයස් යෙදුණු සංවාදයක මෙසේ අදහස් ප්‍රකාශ වෙයි. මාධ්‍යවේදිනිය ඔහු සමග සහ ඔහුගේ මව සමගද සංවාදයක යෙදෙන ආකාරය දැකිය හැකිය. එහිදී විමුක්ති මෙසේ අදහස් ප්‍රකාශ කරයි. ‘මිලියන ගණනාවක මිනිසුන් වගේ මමත් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නා. මම උද්ඝෝෂණවලට ගියේ මම ගත්ත වැරැදි තීරණය හදාගන්නයි. මාව පසුගියදා අත්අඩංගුවට අරගෙන දින 10ක්ම තබාගෙන හිටියා. මට ඇඳ ඇතිරිල්ලක්වත් නැතිව බිම නිදාගැනීමට සිදුවුණා. මට මේ දවස් 10 තේරුණේ අවුරුදු 10ක් වගෙයි. හරියට අපායක් වගේ දැනුණා. අම්මා මට කිව්වා මේ උද්ඝෝෂණවලට යන්න එපා කියලා. ඒත් මම අම්මාට කිව්වා කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න, මේ තරම් මිනිස්සු පාරට බැහැලා ඉන්නකොට අපට බයගුල්ලන් වගේ හැංගෙන්න බැහැ කියලා. මේක ලැජ්ජාවක් නොවේද කියලත් මම අම්මාගෙන් ඇහුවා. මාව නිදහස් කරලා තිබුණත් මට එරෙහිව නඩුව තවම තියෙනවා…’ යැයි ඔහු ප්‍රකාශ කර ඇත. විමුක්ති රණසිංහ තරුණයා ජන අරගලය පිළිබඳ විවිධ ප්‍රචාරයන් සහ විරෝධතාවන් සමාජ මාධ්‍යවල දිගින් දිගටම පළකිරීමට කටයුතු කළ අතර එහෙයින් ඔහුට ෆේස්බුක් අනුගාමිකයන් ලක්ෂ 04කට වඩා ප්‍රමාණයක් ඇතිවූ බව වාර්තා චිත්‍රපටය ප්‍රකාශ කර සිටියි. මේ නිසා ඔහුගේ නිවෙස වටලා ඔහු අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් නිවෙස වැටලූ විට ඔහු නිවෙසේ නොසිටි හෙයින් පොලිස් නිලධාරීන් ඔහුගේ මවට ප්‍රකාශ කර ඇත්තේ තරුණයා (තම පුත්‍රයා) රැගෙන පසුදින පොලිසියට එන ලෙසයි. ඒ අනුව පසු දින මව තම පුතා රැගෙන පොලිසියට ගොස් ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඇප මතා නිදහස් කර ඇත.
මේ ආකාරයට ඔස්ට්‍රේලියානු ABC මාධ්‍ය ජාලයේ සම්මානලාභී ගවේෂණශීලී මාධ්‍යවේදිනී අවානි ඩයස්ගේ මෙම සුවිශේෂ වාර්තා චිත්‍රපටය මේ වන විට ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. මෙය මේ වන විට අන්තර්ජාලය හරහා මිලියන ගණනක ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹා ඇත.
ප්‍රියන්ත හෙට්ටිගේ