“මචං” උඹ දන්නවද ගස් කපන එකාට සරුවෙනවා, ගස් වවන එකා හිරේ දානවා” මා මොකක්දෝ ලියමින් සිටි තැනට කඩාවැදුණු මගේ (පත්‍ර) මිත්‍රයෙක් ඇසුවේය. මට මතක හැටියට ඒ “නෝමා”ය. (නෝමන් පලිහවඩන) උගේ ඔය ප්‍රවේශය ළඟ ඉන්න එකාට හෝ එකකුට අනින්නටය. (ඇනුම් පදයක් කීමටය) ඒ නෝමාගේ හැටිය.
“උඹ කියන අණ්ඩරදෙමළෙ මම දන්නෙ නෑ යකෝ මම හදිස්සි වැඩක්”
“මොකද යකෝ දන්නෙ නෑ කියන්නේ, උඹ මාධ්‍යවේදියෙක් නේද? දන්නෙ නැති දේවල්ද ලියන්නෙ”
නෝමා වැඩක් කරන වෙලාවට එන්නේ ඒ වැඩේ පාළු කිරීමට හිතාමතාමය. ඒ උගේ හැටිය. “හරි හරි කියාපං” මම කරන වැඩේ පැත්තකින් තියා ඔහු දෙස බැලුවෙමි.
“දැන් බලාපං, අර රිෂාඩ් වනාතවිල්ලුව කපනව ඌ ගොඩ, අපේ එකෙක් ගංජ පැළයක් වැව්වොත් ඌ හිරේ” මම වට පිට බැලුවෙමි. කන්තෝරුවට නිතර යන එන, ඒ වගේම කාටත් හෙඳ හිත පාන තොප්පි දාන ජාතියෙ කෙනෙක් (ඔහුගේ නම මතක නැත) අසල සිටියේය. “මිස්ටර් තොප්පි” මා සමගද කුලුපගය. නෝමා කී කතාව කාටදැයි මම වහා අවබෝධ කරතිමි. මම ඌට බැණවැදී මගේ වැඩට බැස්සෙමි.
නස්රුදීන් ජාතියේ කෙනකුවන නෝමාගේ කතාවල හරයක්ද ඇත.
ඔය කතාව මට මතක් වූයේ අරගලයේ ප්‍රතඵල ගැන හිතෙන විටය. ඒ ප්‍රතිඵල “ඌරන් කැකුණ තැලූ විට හබං කුකුළන්ට ජයමඟුල්” වගේය යන කතාවට ද නියමෙටම ගැළපේ.
අරගලේ කොල්ලො කෙල්ලො ටික වැට පැන්න පැනිල්ලට “ගෝඨා” දිව්වේ උහුගේ මෑණියන් වහන්සේ (අම්මා) දුන් රංකිරි කටට ආව ගානටය. පණ එපා කියා එසේ දිව්වත් ටික දවසක් කොහෙ කොහෙදෝ නන්නත්තාරේ ගොස් ආයෙත් අවුත් මේ රටේ “බින්න බැස්සේය” අනතුරුව ටිකහක් සිට හුස්මක් කටක් ඇරගෙන ඊයෙ පෙරේදා අඹුදරු මුණුබුරු මිනිබිරියන් සමග සැප ගන්නට ඩුබායි රටට “දිරාමාරු” වූවේය.
මොළ හතක්ද, හැත්තෑ හතක්ද ඇතැයි කියන “ගෞරවනීය කාක්කාතුමා මෙවර” රිළා රංගනයකට (නැටුමකට) හෝ වේවා හරිහමං (නිසි පරිදි) අන්දමටම කොයි නැටුමකටදැයි කිව නොහැකි වුවත් ගෙජ්ජි බඳින බව නම් ඇසේ දිසේ.
ඒ අරගලෙත් සමග පණ බේරාගන්නේ කෙලෙසක දැයි යන්න ගැන දෙකාංශයෙන්ම හීන්දාඩිය නොව දෙයියන්ඩ දමන මහදාඩියම (දෙවියන්ට දාඩිය දාන්නේ මරණාසන්නයේදීය) දාමින් සිටීමෙන් පසු පට්ටලවූ (හරිබැරිගැහී) අනතුරුවය.
ශිව දෙවියන්ගේ නැටුම් විලාස අතරින් සතුටින් නටන නැටුම “ලාසා” බවද විනාශය සඳහා මරුවිකල්ලෙන් නටන නැටුම තාණ්ඩව යැයිද පැවසේ.
ගස් ගෝන්නුන්ගේ (රිළවුන්ගේ) නැටුම්ද විවිධය. කා බී ජොලියෙන් නටන විට එක නැටුමක්ද මරණාසන්නයේ මරුවිකල්ලෙන් (මරණයක් ගැන නොදැන) නටන නැටුම් සහ පිනුම් ද තියේ.
උන් වනේ සරණ විට මහ ගසක මහ කඳක් දිගේ දිගඇදී බැද්දෙ මුත්තා මියගොස් සිටිනු දුටුවත් මේ බඩු ටික ඌ ආසිරාවට නම් අම්මේ මුත්තේ කීවත් එකපාරටම කිසිසේත්ම ළංවන්නේ නැත. ළං නොවුණත් උන්ට නිකං ඉන්න බැරිය. ටිකක් ළඟට විත් බලයි. අනේ අපේ බැද්දෙ මුත්තා මැරිලාද උන්ට අවිශ්වාසය. ආපසු දුවයි. හැරී බලයි. ආයෙ ඉස්සර සැරේටත් වැඩියෙන් කිට්ටුවට ඇවිත් බලයි. ඌ මැරිල නෑ පණ එපා කියාගෙන දුවයි. නවතී. නැවතුණු තැන එහාට මෙහාට පනියි. ඉන්න බැරිය. ඩෑංගල් නොහොත් “දාංගලේ”ය. නෑ ඩෝ ඌ මෙරිල චකෝචහ්, චකෝ චහ් (රිළවුන් කෑගසන්නේ එලෙසිනි) භාෂාවෙන් කියයි. ඌ මැරිල බං. “සොයිසා මාමා අප්පච්චි මැරිල කීව වාගෙ” එකෙක් කියයි. තව එකෙක් උගේ ඇඟ උඩට පනියි. පැන්න පාරට බය වුණු අනිත් උන් දුවන්නට උඩ පැන ඒ ඉරියව්වෙන්ම හැරී බලයි. කොටි හපුවාගේ ඇඟ උඩ තවත් එකෙක් බල්ටි ගහයි. දැන් ඉතිං බය වෙන්නෙ මක්කටෙයි. එකෙක් රැවුලෙන් අදියි. තවකෙක් කොටියාගේ වලිගේ එල්ලී අපේ මුණුබුරා කියන පරිදි “උන්සිං” (ඔන්චිලි) පදියි.
දැන් රොත්තම මැරිච්ච බැද්දෙ මුත්තාගේ කරේය. ඔළුවේය. එකපාරම මුත්ත නැගිට පනියි. ඒ පාරට මුණුබුරන් හත් අට දෙනෙකුම මුත්තගේ කටේය. බය වූ තරම කීවොත් මුණුබුරන්ට හතරහංදි පණ නැතුව ගිහින්ය.
දහ් දහ්. උන් ගහ පල්ලේ වැටේ. වැටුණු එවුනුත් මුත්තාගේ කටේය. දැන් කාක්කා මහතා සැරසෙන නැටුමේ වගපල (ප්‍රතිඵල) කියන්න පේන හැටියට නං අමාරු නැත. අරගලේ හොඳම කොටහ “මිස්ට ක්ලීන්ට”ය. පාර්ලිමේන්තුවටවත් ගච්චන්න (යන්න) බැරිවෙච්චි රනිල් අරගලේ නිසා ජනාධිපති පුටුවේය.
අපරාදෙ කියන්න බැරිය. “කංජිපානි” දොරේ තේ එකක්වත් බොන්න සුනංගු උණේ නැත. “මහඋළු ගෙදර “ර ඇරිය ගමන් ඉන්දියාවේය. අපට කොළඹ ඉඳන් හැන්දෑවෙ මග ගෙවාගෙන රඹුක්කනට එන්න පැය පහක් හයක් ගතවේ.
ජනාධිපති වෙලා රනිල්ටවත් තවමත් ඉන්දියාවට ගිහින් එන්න බැරිවුණු එකේ කංජියා එහේය. (මේ අපේ අය “කංජිපානි” ලෙසින් ඔහුගේ නම කීම වැරදිය. “කංජි”යනු කැඳය. “පානි” යනු පැණිය. එතකොට “කැඳපැණියා”ය. එහෙම තේරුමක් නැත. ඒ නිසා එය පානි නොව “පාන” විය යුතුය. පාන යනු “හැලිය”ය. එවිට කංජී පාන යනු කැඳ හැලියාය. දැන් ගරු “කැඳහැලියා” මහතා ඉන්දියාවේය. මං නමේ තේරුම කීවේ තමන්ගෙ නම වැරදියට කීවා යන කරුණ මුල්කරගෙන එහෙ ඉඳලම අපේ කාටහරි තුවක්කුවේ කොකා ගස්සන්න (පුල් ද කොකා) බැරි නැත.
අරගලෙන් විතරක් නෙමෙයි හලෝ කොයි කොයි “ගලෙනුත්” වාසි ගන්ඩ දක්‍ෂ බඩුකෑල්ල දන්නවද?
අනේ මගේ කොකෝ-මේච්චර කල් මොකෝ”
අපේ තිළිණි නෝනා. තිළිණි කීවාට කප්පරක් තිළිණිලා නොවැ. මං කියන්නෙ තිළිණි ප්‍රියමාලි ගැන. දැක්කේ නැද්ද? හලෝ නුවරඑළියෙ ගිහින් එනව වාගෙ අහරෙ ඉඳල ආපු හැටි. වනවනා ආවෙ, උඹට එකායි, මට එකායි තාලෙට. බලන්න එපායැ සිරික්කිය දාගෙන එළියට ආ හැටි මට මතක් වූවේ අර මොහිජිං බෙක් (අපේ ගමේ හිටපු – අප කුඩා අවධියේ බණ්ඩියා මාමා මොහිදීන් බෙග් හැඳින්වුවේ එලෙසිනි) කියන හැටියට “සුදෝ සුදු රංංංංං, කරට නැගපංංංංං කරේ ඉඳලා..ආ..ආ.. බිමට බැහැපං..ං..ං… කියල දැක්ක ගමං කියන්න හිතුණා.
එහෙම වුණත්, හුහ්. අපේ මාධ්‍යකාරයො බොරු ප්‍රවෘත්තිනෙ එයා ගැන පහුගිය කාලෙ දාල තියෙන්නෙ. අපේ උන් කියපු හැටියට “හෙරිච්චියක්” කියල හිතන්නවත් පුළුවන්ද? එහෙම කියපු එවුන්ගෙ කටේ මල් පණුවො දාන්න වටිනව නේද?
ඉතින් ඔය ඉන්ට්‍රොඩියුස් එක දුන්නෙ “උඩහිටියත් මොර, බිම හිටියත් මොර” කියල අපේ ඇන්සෙස්ටර්ලා කියල තියෙන වාක්‍යයට. “ගහපුවාම බමරෙ වැල්ලෙත් කැරකෙනව කියල කියන උන්නැහේලාගෙ (උන් නං ඉතින් නැහෙන්නම තමයි වටින්නෙ) වාසනාව පෑදුණු හැටි සුබාව කියන්න ගැන කියන්නත් එක්කයි. ප්‍රයිවෙට් බස් ව්‍යාපාරෙ ගැන කියපු කතාවක් වගේ තමයි ඔය කතාවත්.
මුදලාලි (ධාවනයට බස් එකක් මිලට ගන්න හිමිකරු) ළිඳ කපනවලු. ඩැයිවර් (රියදුරා) වතුර අදිනවලු. ගරු කොන්දා මහතා අගේට නාගන්නවලු. අරගලේ ළිඳ කැපුවෙ වසන්ත මුදලිගේල හාමුදුරුවො වාගෙ වීරයො (අනේ මට සමාවෙන්න ඒ නම් ගම් ඔක්කොම නිච්චි නෑ). ඉතින් වසන්තල කපපු ළිඳෙන් වතුර ඇදල දුන්නෙ මහජනයා, නාගත්ත අයගෙන් ටික දෙනෙකුගෙ අභිදාන (නම්) විතරයි කීවෙ.
“අපි ගැටවර කාලෙ (පනස් ගණන්වල) හොඳ සිංදුවක් තිබුණා “දුක සැප නිති පෙරළේ, රිය සක ලෙස ලෝකේ” කියල. ඒ නිසා අපි අපේ වෙලාව එනකල්, වසන්ත මුදලිගේලගෙ වෙලාව එනකල් බලාන ඉන්නව. අම්මප වෙලාවකට මේ අපේ මාධ්‍ය කියන දේ ගැන මහ පුදුම හිතෙනව.
කන්ඩ හිතිච්චාම කබරගොයත් තලගොයා කරගන්නව විතරක් නෙමෙයි දැන් මේ යන හැටියට කිඹුල පණපිටින් උනත් ගිල්වන්න හදයි.
කොහොමද ගෝඨ ගේන්න ගහපු ගේම?අමුතුවෙන් කියන්න ඕනැ නෑ නයි ඇරපු හැටි එහෙම. පොලිස් කරල දුන්නෙ ඇට්ටි හැලෙන්න. අර ධර්මප්‍රීකාවෙ ද කොහෙද මට අහුවුණා “සඳෙන් සොමි ගෙන, ලතාවෙන් ආලම්බනය ගෙන, සමුදුරෙන් නිසසල ගතිය ගෙන, ඔන්න ඔහොම ඔය ඔක්කොම ඇරගෙන එකට අනල මහබඹා කාන්තාව මැව්ව කියල. “කෙළපිය සිමෝ තලප හැලියට” කීවලු. අපේ මාධ්‍යකාරයො අපට රටට අනාපු ඇනිල්ල ඊට හපං. හැටනම ලක්‍ෂයක්ම කෑව මේ අඹරපු ගුළිය. ඉතින් දෙකෝටි විසිපන් ලක්‍ෂයක් නෙමේ දැන්නං දෙකෝටි පනස් ලක්‍ෂත් පහුකරල ඇති. ඇස්වහක් කට වහක් හෝ වහක් නෑ අද ඔය කෝටි දෙක හමාරටම ගුළිය ගිල්ලවලා තියෙන්නෙ. පොලිෂ් කරලා හුණු ගාලා කරආඹලා වෑල්ඩිංකරලා දන්න ශිල්ප ඔක්කොම දාලා තමයි අරූ පෙරහරේ ගෙනියන මහබඹා වාගෙ උස්සලා තිබ්බෙ.
ඇවිල්ල වැඩට බැස්සට පසසෙ තමයි දැනගත්තෙ බඹෙක් නෙමෙයි ගෙම්බෙක් කියල. වැඩ බැරි ටාසං කෙනෙකු කියලා. ඒ විතරක් නෙමෙයි කරපු වැඩවල හැටියට මොළේ කළඳක්වත් තියෙනවද කියලවත් සැකයක් ඇතිවුණා. ඒත් ඒක නොවැරදුණු සැකයක්.
පාදෙණිය වාගෙ උන්නැහේලා සතා වටකරගෙන නැග්ගෙ නැතෑ ගෝනිය නැතුවම කරේ. ඊට පස්සෙ “හනික යමං පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා” කියකියා දැක්කුව. ඒත් දැක්කුණේ එයා විතරක් නෙමෙයි. තව අවුරුදු තුන්හාර සියයක් ඉස්සරහට උපදින්න ඉන්න එවුනුත් එක්ක. අපේ ආතල, මුත්තල කීවෙ වතුර නැති තැනක කපන්න ඕනැ කියල, බේං මේවාගෙ එවුන් තමයි.
අනිත් එක්කෙනා මිස්ට ක්ලීන්. අරගලෙන් පස්සෙ උතුර දකුණ මාරවෙච්චි රාජපක්‍ෂ නඩේට පරණ පොතපතේ කියල ලියල තියෙන විදිහට “සිහිඑළවාගත හැකිවූ කල්හි” අපේ පූර්ව කුශල කර්ම පලදීමෙන් අපේ ඇස් දිෂ්ඨිය ඉස්සරහටම අපේ ගැලවුම්කාර දේවතාවා හෙවත් දිව්‍යපුත්‍රයා පහළවෙලා කියල පස්වනක් ප්‍රීතියෙන් යුක්තව තෝරාගත්තෙ නැතෑ මිස්ටර් ක්ලීන්තුමාණන් වහන්සේ.
හැබැයි ඊට ඉස්සර නම් ඒ තෙමේ ජූතක බමුණාය, ගෝරිමන්ද සිටාණෝය. (ගෝරිමන්ද සිටාණන් කතාකිරීමට කටඅරිනවා හා මැ කට දෙකෙළවරින් කෙළ ධාරා වැගිරුණේය) ඔහු වනාහි ඒ ඒ දවස්වල සිටියේ අජූත සූදුවට ගොස් සබ්බ සකල මනාවම “මුඩිංජි”වී සිටි “සක්කරයා” නොහොත් “සකා” හෝ මොකා හෝ සේ උකස් කරන්න බැරි නිසා තුන්සූත්තරය පමණක් ආරක්‍ෂා කරගෙනය. කරල පැහුණේ ඔහුටය. ඒ නිසා පුබ්බෝරු සෙයියාවෙන් උන් “පුබ්බාචාරීන්ට” ඔහු දියසේන කුමාරයා වූවේය. හිතූපැතූ සම්පත් දෙන සුරබිදෙනගේ නීත්‍යනුකූල ස්වාමිපූරුෂයා දුටුවා සේය.
මහ දවල් මහ බැංකුව කොල්ලකෑ බවට දිනේෂ්ලා ගම්මන්පිල්ලියලා, විමල්ලා, කෙහෙ (පස්පොලේම) ලියලලාලා, පොඩ්ඩක් හෝව් ලිස්ට් එක දිග වැඩියි ඒ නිසා එසේ නොකියපු අයගේ නම් දෙක තුනක් කියඤ්ඤං. පහසසුයි. වාතයක් ඇරියත් ඒක මහනෙල් මල් සුවඳ බව කීවෝය. උස්සා තැබුවෝය. ඒ අයගෙ කල්ල මරේය. අපට හුප්පේය.
අනෙකා කාක්කාය. කාක්කා හිටියේ තුන්ලොවම සුරත දරාගත්තා සේය. ළඟට කිට්ටුවෙන්න බැරිලු. ඒ තරම් දස්ට දිස්ඨියය. වරක් ඔහුගේ අමාත්‍යාංශයක් යටතේ ඇතිවූ මූල්‍ය ගැටලුවක් ගිණුම් කාරකසභාවේ සාකච්ඡා කෙරුණු අවස්ථාවක කාක්කා එතැනට ආවේය. එය ඔඩිට් එකෙන් නැඟුණු ප්‍රශ්නයක් බව නිලධාරීහු කීහ. ඒ අවස්ථාවේ විගණන නිලධාරීහුද වූහ. කාක්කා ඇසුවේ (කවුද ඔඩිට් එකට බය” යන්නය.
කොහොම ද ටිකිරි මොළේ?
අනිත් කෙනා තිළිණිය. එක්කෙනෙක් කෝටි හත්සියයක් දුන් බව කීවේය. නිළියෝ, බලියෝ අපට කෙළියෝ යැයි කීවාහුය. මහා සංඝයා වහන්සේලා, ඇයි අප්පේ උස්මුරුත්තෙට්ටුවේ කෙරුංකාර ගොයියා කීයේ, රුපියල් කෝටි පහක වීද?ඩීද? වීඩීද? මොකේටද ඇන්න බවයි.
එහෙත් අන්තිමේදී මේකෙ කෙළවර රෝසමල් පෙත්තක, නැත්නම් නෙලුම් රොත්තක, නාමල් කිණිත්තක සුවඳ පැතිරෙයි. අසන්නට ලැබුණු විට පිත්තල බොත්තංකාර ඔටුනුකාර අයියලා වල්ගාධිය දෙපරැන්ද අස්සේ ගහගත්තාසේ නිහඬ වූහ. තිළිණි නෝනා ඇප පිට නිදහස්ව ආවාය. ඉතින් දැන් අඩු මොනවද?
‘ඇප පිට “බඩ්ඩ” එනු දුටු හැටි කුමක් වැනී
සක බඹරයක් නූලෙන් ගිලිහුණා වැනී….’
හැබැයි මේ ඔක්කොම කෙළි වෙද්දී රටේම ජනතාව ගෝඨාලට ගෙදර යන්න වෙන තැනට පාරට ගෙනා අර අන්තරේ වසන්ත මුදලිගේ කොලුවට අන්තිමේ මොකද මුන් ටික කොළේ? ඒ ගැටයා තාම දවස් 100කට එහා තිස්සේ කළුවර කාමරේක තරු ගනනිවා. එම්.එස්. ප්‍රනාන්දු, මැණිකාට කිව්ව වගේ ‘එනවා පේනවා මුදලිගේ යනවා පේනවා’ තමයි කියන්න තියෙන්නේ.

චන්ද්‍රසේන මාරසිංහ










