ජනාධිපති කෙනකු සහ ගුරුවරයකු අතර ඇත්තේ අහසට පෙළොව මෙන් සමාජ පරතරයකි. ජනාධිපති අචින්ත්‍ය බලඇති අනන්ත දළ ඇති කෙනෙකි. අතට පයට දැසිදස්සන් සහිත පිරිවර වටකොට ගත්තෙකි. ඔහුගේ ඇඳුම පැලඳුම ගැන කවර කතාද?(Sri Lanka Latest News)
අපේ ගෝඨා අස්සන් කරන පෑනේ වටිනාකම පමණක් රුපියල් ලක්‍ෂ විස්සක් බව මාධ්‍යවල තිබිණි. පස් වසරකට හිමි විශ්‍රාමික වරප්‍රසාදවලට නිල නිවාසයක් සහිත නිල වාහන සමගම තවත් සබ්බසකලමනාව එමටය. (ධුරය අත්හැර පැනගිය ගෝඨාට ද මෙකී කැඹුරුම ලැබිණි)
ගුරුවරයකුට උඩ බැලුවොත් උඩය. බිම බැලුවොත් බිමය. ඒ අතර කිසිවක් නැත. තනිවට ඇත්තේ තනිකම පමණි. අපේ (දේශීය) ගුරුවරයාගේ ඇඳුම සුදෝසුදු සරම නැත්නම් වේට්ටිය සමග අත්දිග ජාතික කමිසයයි. පයේ හං සෙරෙප්පු කෑලි දෙකයි. වමතේ ලෙලි ගිය හංබෑග් එකයි. කිහිල්ලේ මිට වකුටු කුඩයයි.
වසර විසි ගණනක සේවා කාලයකින් පසු විශ්‍රාම ගිය මගේ මිතුරු ආචාර්යවරයකු පෙන්නූ පැන්සොන් පඩි කොළේ සටහන්ව තිබුණේ රුපියල් විසිතුන් දහස් හත්සිය ගණනක වැටුපකි.
වර්තමානයේ සේම ඈත අතීතයේ රජවරුන් රාජ්‍ය විචාරණ (පාලන) සමයේ දිසාපාමොක්ලා ද ඔය අන්දමේමය. ඕනෑ නම් පොඩි වෙනසක් තියෙන්නට ඇත. මෙකල හොඳ කෙළිකාරයකු හඳුන්වන විට “ඌනං හරියට ජනාධිපති වගේ” යැයි කියන්නේය. ඉංගිරිසි පාලන කාලයේ නම් ඔහු “ගවුනර්” (ගවනර්) කෙනෙක් වූවේය. ඊටත් ඉස්සර රජකාලේ නම් “එම්ප්‍රදෝරු” හෝ “සකිවිති” රජකු යැයි කියන්නට මිනිස්සු පෙලඹුණෝය.
අපේ හිටපු ජනාධිපති ”හිටංගේ” වචනයෙන් කියනවා නං“බම්බුව” තමයි.
ලෝකෙටම ලොක්කෙකු හැඳින්වීමට ඇත්ත වශයෙන්ම බුද්ධිමතුන් ගත්තේ ඔය කියන එම්ප්‍රදෝරු හෝ සක්විත්තකු නොව ඉහත සඳහන් කළ අන්දමේ තුට්ටුදෙකේ “සූට්” එකක් ගසාගෙන මඟතොටේ උදේ හවා ගිය “ගුරා”ය. ඒත් ඒ ලෝකෙටම ලොක්කකු වශයෙන් පමණක් නොව තුන් ලෝකෙටම ලොක්කා යැයි කියා පෙන්වන්නටය.
“වඳිම්මුණි උතුමන් තිලෝගුරු” යැයි බුදුගුණාලංකාර හාමුදුරුවෝ කට පුරාම කීවේ ගුරුවරයා වනාහි බුදුකෙනකුට සමාන හින්දාමය. ඔය අටුවාව හොම්බට ඇන ඇන හරි අපේ උන්ට කීවේ එදා සිට අපේ දෑස් පාදාදුන් ගුරුවරුන්ගේ අගේ කීමටය. (අපේ දරුවන්ට යමක් කියාදෙන්නට තිදස පුරෙන් මිහිමඬලට බැස දේවත්වය වසංකරගෙන මේ වනතුරුත් සිටින ගුරුවරුනට දණ්ඩ නමස්කාර කරමින් ඒ බව සඳහන් කරමි)
අද ඒ ගුරුවරුන් කෝ?
පෙර උන් දිසාපාමොක්ලා අතුරුදන්ය. ඉතුරුව ඇත්තේ “මිනි මොක්ලා”ය. (Mock) “මිනි නොව “මිනී මොක්ලා”ය. මොක්ලා කියන්නේ රැවටිලිකාරයෝය.
“වර”යන පදය “උත්තමාර්ථයේ” (උතුම්) යෙදෙන්නකි. “ගුරුවරු“ යනු ගුරු උත්තමයෝය. ඒ උත්තමයන් කියන කරන සියල්ලේම සංවරයක් විය.
කතා බහේ හැසිරීම් රටාවේ සිතුවිලි මාලාවේ (කායේන සංවරෝ සාධූ, සාධු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාධූ) සංවරයක් තිබුණේය. එමෙන්ම ගමනේ බිමනේ ද, ලියන කියන දේවල (අත්අකුරු) ඇඳුමේ පැලඳූමේ ද ඔවුනට ම ආවේණික අනන්‍යතාවක් වූවේය. ඒ සංවරය ඒ අනන්‍යතාව අසන දකින බාහිර ලෝකයා ද නිරන්තරයෙන්ම ඒ සංවරයට යොමුකරවනු ලැබූහ. ඒ මැණිකක් අසල ඇති කිරිවනාවද කලෙක දී මැණිකක් බවට පත්වන සිද්ධාන්තයෙනි.
සිහිකළ මැනැවි, කුමාරතුංග මුනිදාස, පියදාස සිරිසේන, සී.ඩබලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, දි.වි. රිචඩ් ද සිල්වා, රැයිපියල් තෙන්නකෝන්, ශ්‍රීමත් චාර්ල්ස් ද සිල්වා, අරිසෙන් අහුබුදු, ජස්ටින් විජයවර්ධන. දො.පි.දෙ.කො. දසනායක, හො.ග.රා.සුමනදාස, දා.දු.න. වීරකෝන් සහ එච්.එම්. සේනානායක ඉන් අතලොස්සකගේ උතුම් නම්ය.
ඔවුහු කරන්නක්ම කීහ. කියන්නක්ම කළහ. (යථාවාදී තතාකාරී, තතාවාදී යථාකාරී) එ වැන්නෝ අද විරලයහ. අද වැඩිදෙනෙක් ගුරුවරු නොව “ගුරෝ”ය. ගුරෝ කීවාට නිකම්ම නිකං ගුරෝ නොව “මගුරෝය. මගුරෝ බොහෝ දෙනෙක් ටියුෂන් කාරයන් අතර සිටිත්.
ඇතැමුන් මගුරන්ටත් එහා ගිය පිඹුරන් සේය. තමන්ගේ සිසු දැරියන් දාසය දෙනකු අපචාරයට යොදාගත් බව කියන ඒ අන්දමේ සතෙක් ඊයේ පෙරේදා පොලිස් අත්අඩංගුවට කොටු වුණේය. ඒ සඳහා වූ හෝඩුවාව උගේම බිරියගෙනි. මේකා විකෘති කාමයෙන් පෙළෙන මනෝ විකාරකාරයෙකි. තම පරිගණකයේ විස්තර දමාගෙන සිටියේත් එහෙයිනි.
රජයේ ගුරුවරුන්ගේ ටියුෂන් සංක්‍රාන්තිය
ටියුෂන් අද ඊයේ ඇතිවූවක් නොව හැත්තෑ ගණන්වල සිට යැයි කීවාට වරදක් නැත. මේ රටේ සෑම සියලු විනාශයකටම හේතුකාරක වූ ඇතැම් දේශපාලන “මගෝඩිස්ලා” මේ අපරාධයටද අත් පොත් තබා ඇත්තෝමය.
මැතිවරණයකදී තමන්ගේ වේදිකා සැරසීමට, පෝස්ටර් ඇලවීමට, විරුද්ධ පාක්‍ෂිකයන්ට පහරදීමට, ඡන්ද පත්‍රිකා පැහැර ගැනීමට පමණක් නොව ඡන්ද මධ්‍යස්ථානවල නිලධාරීන් (පොලිස් නිලධාරීන්ද ඇතුළුව) පලවාහැර හොර ඡන්ද දැමීමාදී (වයඹ මැතිවරණය) “පක්කලි” සර්විස් කාරයන් පසුව රැකියා ඉල්ලන විට ලෝස් නැතුවම ගුරු වෘත්තියට තල්ලු කළාහුය. ඒ නිසා තාප්පවල පෝස්ටර් ඇලවූ “තාප්පයෝ”ද, පාප්ප බාල්දි ඇද්ද “පාප්පයෝ” ද දේශපාලනඥයන්ගේ ලියුමට උගන්නන්ට ගියහ.
ඉන්පසු දෙවිවරුන් පය තියන්නට බිය වූ තැන්වල අමනයෝ පිනුම් ගසන්නට වූහ. ඉංගිරිසි හරිහැටි නොදැන ඉංගිරිසි උගන්වන්නට කෑගල්ල ප්‍රදේශයේ මහ විදුහලකට එසේ පත්වීම් ලබාගිය නෝනා මහත්වරුන් නඩයක් ඉංගිරිසි උගත් සිසුන්ගේ උසුළුවිසුිළුවලට ලක්ව පන්තිවලට නොගොස් කාර්යාලයටම වී මොර දිදී වැළපුණු බවක් ද ඒ දිනවල මාධ්‍යවල පළවූයේය. (නවසිය හැට ගණන්වල සිට ඉංගිරිසි ගුරුවරයකු වශයෙන් රාජකාරි ආරම්භ කළ මේ ලියුම්කරු දුටු අත්දැකීම්වලින් එකකි ඒ.)
ඒ හා සමානවම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මිනී වළට පාර කැපූ තවත් වක්‍ර කරුණකි, විවෘත ආර්ථිකය. ලැබෙන සීමිත වැටුප අසීමිත වුවමනාවලට ප්‍රමාණවත් නොවූ කල (ඇතැමුන් ධන තණ්හාවට) තම පන්තියේ දරුවන්ට ඒ ඒ විෂයභාර ගුරුවරු ඉඩ ලද විටෙක මුදලට පාඩම් කියා දෙන්නට වන්හ. හැබැයි ඒ වනවිටත් ඇතැම් (ධනවත්) මවුපියෝ තම දරුවාගේ දුබල විෂයයන් සඳහා වැඩිපුර අත්උදව්වක් දී ඔවුන් උත්ථානය කිරීමට ද වගබලාගෙන උන්හ. උපකාරක පන්ති පැවැත්වීම නීත්‍යනුකූල නොවූ ඒ සමයේ ඔය කාරණය සිදුවූයේ අප්‍රසිද්ධියේය.
මට මතක හැටියට පනස් ගණන්වල මුල් කාලයේ (1950) ලක්‍ෂ පනහකට පමණ සීමාවී තිබූ ලංකාවේ ජනගහනයද “ඩබල් ත්‍රිබල්” පමණක් නොව“ටෙරිබල්”ව ගොස් “නහුතබල්” වෙමින් එක පවුලක යැපෙන කටවල් හත අටක් සනහන්නට එක අයෙකුට පමණක් නොහැකි ආර්ථිකයක්ද දරුණුවට සමාජය ආක්‍රමණය කරමින් තිබුණේය.
ගැහැනු ළමයෙකුට “බෙහෙත් සීට්ටුවක් කියවා ගන්න විතරක් ඉගැන්නුවොත් ඇති” යන එතෙක් පැවැති සංකල්පයේ ඉවුරු දෙදරා පුපුරා ගොස් ස්ත්‍රීවර්ගයාද පවුලේ බර කරට ගන්නට අධ්‍යාපනය ලබමින් පුරුෂ පක්‍ෂය හා හරි හරියට තරග වදින්නට වූහ. මහවැලිය වැනි සංවර්ධන ව්‍යාපෘති කාන්තාවන්ගෙන් පිරී ඉතිරී ගියේ එහෙයිනි.
උසස් රැකියාවකට උසස් අධ්‍යාපනයක් සඳහා උසස් පාසලක් අවශ්‍ය වූයෙන් එවන් පාසලකට යාමේ වරම ලැබුණේ පහේ ශිෂ්‍යත්වය නිසා එම විභාගය සැණෙකින් “අම්මලාගේ” විභාගයක් වූවේය.
“ඉස්කෝලවල හරියට ඉගැන්වෙන්නෙ නෑ” යන්න පමණක් නොව “ගුරුවරුන් ගෙවල්වල පෞද්ගලිකව උගන්නනවා. ඒ අයගෙ ක්ලාස්වලට එන ළමයින්ට විතරයි ගුරුවරුන්ගෙ සැලකිල්ල” යන මතයද තදබල අන්දමට ඔය අතරේ සමාජගත වී තිබුණේය. ඒ අනුව උපකාරක පන්ති හිතූපැතූ සම්පත් ලැබෙන කප්රුකක් යැයිද ඒවායේ මාස්ටර්ලා මහා බලසම්පන්න පුල්ලෙයාර්ලා (ඤාණාධිපති) බවට ද පත්වූහ.
“අපේ දරුවන්ට අපි විඳින දුක විඳින්න දෙන්න බෑ” යන අධිෂ්ඨානය නිසා ගෙදර මාපියන් කුසගින්නේ සිට දරුවෝ ටියුෂන් යැවූහ. කවර පාසලක හෝ ඉහළ ලකුණුවලින්ම විභාග සමත් වූ දරුවන් තම උපකාරක පන්තියේ නිෂ්පාදනයක් බව ලොකු පෝස්ටර්වල බැනර්වල ප්‍රදර්ශනයට T.Master (ටියුෂන් මාස්ටර්ලා) දඩයමේ ගියේ ඒ දරුවන්ට රුපියල් දාහක දෙදාහක අල්ලසක් දී නම ඉල්ලා ගැනීමෙනි. එපමණක් නොව තමන්ගේ නම ලොකුකර ගැනීමට එකිනෙකා අතර ඇත්තේ සීතල යුද්ධයකි.
මේ කරුණු ටික සංක්‍ෂේපයෙන් කීවේ නිදහස් අධ්‍යාපනය වළපල්ලට යවමින් ටියුෂන් අධ්‍යාපනය පංචතූර්ය නද පාමින් ජයකෙහෙලි නංවා මාස්ටර්ලා ධන කුවේරයන් වීමේ ප්‍රවේශය සහ ප්‍රගමනය දක්වා විකාශය ගැන කීමටය.
දරුවන් සිටින දේශපාලන සහ වෙනත් ඉහළපෙළේ රාජ්‍ය නිලධාරීහු වර්තමානයේ ටියුෂන් මාස්ටර්ලාගේ හිතවත්තුය. ඒ හොඳින් හෝ නරකින් හෝ තම දරුවනගේ විභාග ප්‍රශ්නය විසඳා දෙන බැවිනි.
මේ වනවිට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුවන් නියමුවන්, ගගනගාමීන් පරිගණක විශේෂඥයන් නිෂ්පාදනය කෙරෙන පෟද්ගලික කම්හල් ද ගහක් ගලක් ගන්නේ ඇති සෙයකි.
දැන් දැන් අතරින් පතරින් අසන්නට ලැබෙන්නේ ටියුෂන් සමයමේ පිදේනිය දැරහැවේ ගෙනන අන්දමය. එහෙත් සමස්ත හූනියම වසං වී ඇත්තේය.
ටියුෂන් රැට්රේස් එකේ කණමදයෝ ඉංගිරිසියෙන් (Rat Race) නමින් හැඳින්වෙන ධාවන තරගයක් ලෝකයම වෙළාගෙන තිබේ. ඇමෙරිකාව, චීනය, රුසියාව, ඉන්දියාව ප්‍රධාන තරගකරුවෝය. රේස් එකේ පළමු අධිෂ්ඨානය ධන තණ්හාව පෙරටු කරගත් මුදල් ගොඩගසා ගැනීමය. (අද ඩොලර් බිලියන දෙලක්‍ෂ පනස් දහසකට හෙවත් රුපියල් කෝටි ගණනක අපේ රට ණය වීමට හේතුවද ඒ කරුණකි.) ගමේ ගොඩේ කසිප්පු පෙරීම, රජයේ කැලෑ කැපීම, වැලි හෑරීම කොන්ත්‍රාත්වලින් ගසා කෑමද ඊට ඇතුළත්ය. මේ දශකයේ එකතු වූ නවතම ධන උල්පත ටියුෂන් හෙවත් උපකාරක පන්තිය.
ධනයේ නිවුන් සොහොයුරා බලයයි. ඒ රැට් රේස් එකේ සිද්ධාන්තයයි. සල්ලි වැක්කෙරන්න වූ විට ටියුෂන් කාක්කෝ බලය පසුපස එළවූහ. ඒ, ගමේ පළාතේ පමණක් නොවේ රටේම බලය පතාය. මේ වනවිට අපේ පාර්ලිමේන්තුවේ ටියුෂන් ගුරාලා කීදෙනකු ඇත්දැයි විමසා බලත්වා. එපමණක් නොව පාර්ලිමේන්තුවට එන්නට රටේ කීදෙනකු අමුඩ ගසමින් සිටිනවා යන්නද බලත්වා.
“කණමොදා” හෙවත් “කණමදයා” යැයි වචන දෙකක් ගැමි වහරේ තිබේ. “කණා” යනු ඇස් නොපෙනෙන “අන්ධයා” නොහොත් “පොට්ටයා” ය. “මොදා” නොහොත් “මදයා” යනු “මද” කිපුණු එකාය.
මද කිපෙන්නේ කාමය (රාගය) උස්මුරුත්තාවට ගිය විටය. මද කිපුණු කණෙකුට කිසිවක් පෙනෙන්නේ නැත. ඌට වැදූ මවත් එකය. සහෝදරියත් එකය. අවශ්‍යතාව ඇඟේ අමාරුව අඩුකර ගැනීමට පමණි. එළි (සමිජගතව) නැතත් අද ඇතැම් උපකාරක පන්තිකාරයින්ට වී ඇත්තේ ඔය ටිකය. ඔවුන් සතුව අලුත්ම අලුත් සුඛෝපභෝගී වාහනය. අද එකකි. හෙට වෙනත් එකකි. ඇහැට කනට පෙනෙන දැරියන් ඔය වාහනවල පටවාගෙන යන අන්දම දන්නෝ දනිති.
මේ ලියුම්කරුගේ හිතවතියක වන වෛද්‍යවරියක් ටික කලකට ඉහතදී මා සමග පැවැසුවේ ඇගේ බාල (එකම) සොයුරිය විවාහ කරගන්නා පොරොන්දුව මත ටියුෂන් ගුරා ඇසුරු කරනු ලැබ පසුව මඟහැරිය බවයි. ඒ කුර හෝ කුක්කුරසිංහ නම්ගත් එකකු බවද ඕ කීවාය. මෙවන් සිද්ධි එමටය.
ගුරුවරයකු යන වචනය ඇසුණු හැටියේම අපට සිතෙහි මැවුණේ තලතුනා (හොඳට ඉස නිකට පැහුණු) තාගෝර්, ගුරුළුගෝමි වැනි දැවැන්තයන්ගේ රූපය. නැතහොත් ඉහත සඳහන් කෙරුණු කන්නන්ගර, කුමාරතුංග මුනිදාස වැනි ශ්‍රේෂ්ඨයන්ගේ හැඩරුවය.
එහෙත් දැන් බලාපල්ලකො කටවුට්වල පෝස්ටර්වල සිටින උන්නේ හැටි. ගුරුවරයකුට තිබිය යුතු සංවරකමක් ගෑවිලාවත් නැති තරම්ය. ඔක්කෝම “සෙක්සි ලුකිං, කුක්කෝ”ය. අපේ මාධ්‍ය සගයකු ඒ ගැන කීවේ එමගින් පන්තිවලට ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය ඇද ගැනීමට පහසු බවය.
“බලන්ඩ එපායැ කහ කෑල්ල දෙකට කැඩුව වාගෙ පිංපාට” කියමින් උඩුව බලාගෙන යන අලි හොරාගේ වුවත් බණ අසන්නට අපේ උපාසකම්මලා පොදි පිටින් එන බව හෙතෙම උදාහරණ වශයෙන් පෙන්නා දුන්නේය.
දිසාපාමොක් ආචාර්යවරයා තමන්ගේ හොඳම ශිෂ්‍යයාට තම දියණිය කරකාර බන්දා දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහනි. එහෙත් මේ සිරිත වර්තමානයේ උඩුයටිකුරුවී ගොස් තිබේ. ටියුෂන් ක්ලාස් එකට එන ධනවත් පවුලක ශිෂ්‍යාවක් දැපනේ දමාගෙන විවාහ කරගැනීමේ කලාව ඉස්මතු වී ඇති බවට සාධක ඕනෑ පදම් ඇත.
ඔය ව්‍යාපෘතිය මා පළමුවෙන්ම දුටුවේ ගම්පෙරළියේ පියල් අයියා කයිසාරුවත්තේ මුහංදිරම් උන්නැහේගේ දියණි නන්දක්කාට ටියුෂන් දෙන්නට ගිය අවස්ථාවේ වුවත් මිනිහාට (පියල්ට) වැඩේ කරගන්න “ගට්ස්” නැතිවිය.
අපේ මාපියන් පමණක් නොව ඒ මාපියන්ගේ මාපියන් ද දරුමල්ලන් වූ පසුව වුවත් සිය ගුරුවරුන් මඟතොටේදී දුටු කල්හිද දණනමා වැඳීමට නොහැකි නම් ඒ හා සමානවම ගෞරව දැක්වූ බවට කියාදුන් පාඩම් අපිද මේ වන තෙක්ම නොවළහා අනුගමනය කරන්නෝ වෙමු.
ඈත අතීතයේ පටන් පවත්නා දිසාපාමොක්ලාගේ එවන් යල්පැනගිය පුබ්බාචාර්ය වන්දනය (මාපියන් පමණක්ම නොවේ) වෙනුවට වෙනස් වන සමාජයේ ගුරුගෝල සමීප සම්බන්ධයක ප්‍රවේශයක් වශයෙන් එකට දුම්වැටි ඉරීමාදී Social Acts “හඳුන්වා දුන් නඩයක් හැත්තෑවේ මුල්භාගයේදී පේරාදෙණියේ සිටි බවක් ද ලියුම්කරුට යාන්තමින් මතකය.
ඒ පසුපස මදකිපුණු ඇතැම් මහාචාර්යවරුද උන්හයි දැනගන්නට ලැබිණි. ඔය කතාව කීවේ වෙනදා සිසුන්ට උගන්වන “ස…අ….අර්ලා, ටීචර්ලා, මැඩම්ලා මෙදාපාර ගුරුදිනයේ දී එම දරුවන් ඉදිරියේ “අයියලා අක්කලා, ජොසීලා, මනප්පුලා” හැටියට රඟපාපු හැටි දුටු විටය.
මන්ද? අර හැත්තෑ ගණන්වල පේරාදෙණියේ ගුරුගෝල සුහදතා වර්ධන නඩේ හිටපු එකකු අධ්‍යාපන අමාත්‍යංශයේ තවමත් රැඳී සිටිනවාදැයි යන සැකයක් ඇතිවුණු බැවිණි.
චන්ද්‍රසේන මාරසිංහ










