ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය මාස 2ක් ඇතුළත නිමා කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ප්‍රකාශ කොට තිබුණද, මේ වනවිට මතුව ඇති තත්ත්වය හමුවේ තවත් මාස ගණනාවකට යුද්ධය දිග්ගැසෙන ලකුණු පහළ කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News
ඒ, ඉරානය විසින් එක දිගට මාස 6ක කාලයක් ඊශ්‍රායලය ඇතුළු ඇමෙරිකාවට සහාය පළකරමින් කටයුතු කරන මැදපෙරදිග රටවලට ප්‍රහාර එල්ල කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමගය.
ඉරානය විසින් සිදුකළ මෙම ප්‍රකාශයත් සමග ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කොටගෙන සිදුකරන ප්‍රහාරයන් තීව්‍ර කොට ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.
කෙසේ වෙතත් මැදපෙරදිග යුද්ධය හේතුකොට ගෙන මතුව ඇති බලශක්ති අර්බුදය නිසා ලොව රටවල් රැසක් දැඩි අර්බුදයකට මුහුණපා ඇති අතර, ඒ හේතුවෙන් එම රටවල් ඇමෙරිකාවට සහාය පළකිරීමෙන් වැළකී සිටීමට තීරණය කොට ඇති බවක් දැකගන්නට තිබේ.
ඒ අනුව, යුරෝපා කොමිසමේ රටවල් දැනටමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ මැදපෙරදිග යුද්ධයට තමන් කිසි සහායක් නොදක්වන බවකි.
මේ තත්ත්වය යටතේ ඇමෙරිකාව දැනට වසාදමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහාය ඉල්ලා සිටියද රටවල් රැසක්ම ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින ආකාරයක් දැකගැනීමට පුළුවන.
එමෙන්ම මැදපෙරදිග යුද්ධය තවත් මාස 6කට දීර්ඝ වුවහොත් ඇමෙරිකාවට යුද්ධය සඳහා අවශ්‍ය සැපයුම් දාම ලබාදීමේ අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බව ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. යුද්ධයේදී එවැනි අවස්ථාවක් උද්ගත වුවහොත් ඒ හරහා ඊශ්‍රායලය තනිවීමේ අවදානමක් මතුවිය හැකි බවද ඔවුන්ගේ අදහස වී ඇත.
කෙසේ වෙතත් ඇමෙරිකාව ප්‍රකාශ කර සිටින්නේ දැනටමත් ඉරාන යුද්ධය තමන් ජයග්‍රහණය කර ඇති බවත්, හැකි ඉක්මනින් යුද්ධය අවසන් කිරීමට කටයුතු කරන බවත්ය.











