ආහාර ආසාත්මිකතාවයෙන් විෂ වීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ වටිනා තරුණ ජීවිත තුනක්ම ඉතා අවාසනාවන්ත ලෙස අපට අහිමි වුණා. ඔවුන්ගේ ජීවිත එලෙස අහිමි වුණේ ප්‍රමිතියෙන් තොර ආහාර හේතුවෙන් සහ ආසාත්මිකතා හේතුවෙනුයි. තමන් ආසා කරන කෑමක් කාලා ඒ කෑම නිසාම ජීවිත අහිමි වෙනවා කියන්නේ මොන තරම් ඛේදජනක තත්ත්වයක්ද?(Sri Lanka Latest News)
මෙම අවාසනාවන්ත සිදුවීම්වලින් එකක් වාර්තා වුණේ පුත්තලම ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ තරුණියක් මස් වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව මියයෑමේ සිදුවීමයි. මෙලෙස මියගොස් තිබුණේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෝධ්‍යා දේශානි විජේවර්ධන නමැති 20 හැවිරිදි තරුණියක්. පොලිසිය පවසා තිබුණේ ඇය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇති බවයි. අයෝධ්‍යා මංගල සාදය අතරතුර මස් වර්ගයක් අනුභව කිරීමෙන් පසුව ඇය අසාත්මිකතාවකට ලක්ව ඇති බවයි ඇගේ ළඟම ඥාතීන් පවසා සිටියේ.
‘අපට හිටියේ මලක් වගේ මැණිකක්. එයා දැන් හොරු අරන් ගිහින්. අපි දැන් ජීවත් වෙලා මොකටද? කාටවත් කිසිම කරදරයක් නොකළ මගේ අහිංසකීට ඇයි මෙහෙම දෙයක් වුණේ…?’ යනුවෙන් ඇගේ මව හඬාවැටෙන්නට වුණා.
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ අයෝධ්‍යා මහ උස්වැව රතනපාල ජාතික පාසලේ උසස් පෙළ හදාරමින් සිට තිබෙනවා. නර්තනයට දස්කම් දැක්වූ තරුණියක් වූ ඇය දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාලයායි. ඇය පුත්තලම ප්‍රදේශයේ හෝටලයක පැවැති සිය මිතුරියකගේ මංගල උත්සවයකට සහභාගි වී පුත්තලම නගරයේ පිහිටි තම නැන්දණියගේ නිවෙසට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේ මෙම හදිසි රෝගී තත්ත්වයට ලක්ව තිබෙනවා.
අවසන් වරට අයෝධ්‍යා සමග මංගල සාදයේදී එකට ආහාර ගත් ඇගේ මිතුරියක වූ සචිනි බණ්ඩාර අයෝධ්‍යා පිළිබඳ පැවැසුවේ මෙවැන්නකි.
‘එයා මගේ හොඳම යාළුවාගේ යාළුවෙක්. මංගල උත්සවයේ අපි එක්ක එකම මේසයේ හිටියේ. බයිට්ස් සඳහා තිබුණු කුකුළු මස් එක්ක අඳුනන්න බැරි මස් වර්ගයක් තිබුණා. මම ඒවා කෑවාම එයා මගෙන් ඇහුවා ඒවා හොඳද කියලා. මම හොඳයි කිව්වාම එයා ඒ අඳුනන්න බැරි මස්වලින් කෑලි කිහිපයක් කාලා බීම බිව්වා. පස්සේ අපි නටලා විනෝද වුණා. අපි මඟුල් ගෙදර ඉවර වෙලා ගෙදර යනකොට එයාව පුත්තලමේ නැන්දලාගේ ගෙදරින් බස්සන්න පුළුවන්ද කියලා ඇහුවා. අපි එයාවත් අරන් ත්‍රීවීල් එකට නැඟලා යන්න හදද්දී තමයි එයා අසනීප වුණේ. එයා ඇඳගෙන හිටිය ඇඳුමේ බොත්තම් බුරුල් කරන්න කිව්වා. අපි දැනගත්තා අයෝධ්‍යාට අමාරු බව. අපි එයාව වහාම පුත්තලම රෝහලට අරන් ගියා. ඒත් එයාගේ ජීවිතය බේරගන්න බැරිවුණා. අපි මේ මරණයෙන් කම්පනයට පත්වෙලා ඉන්නේ…’
පුත්තලම මූලික රෝහලේදී කළ පශ්චාත් මරණ පරික්ෂණයෙන් අයෝධ්‍යාගේ මරණයට හේතුව පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදී තිබේ. වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා තිබෙන බවයි පුත්තලම නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා පවසා තිබුණේ.
තවත් තරුණියක් මීට මාස 2කට පෙර මියගොස් තිබුණේ මංගල උත්සවයකට සහභාගි වී සිටියදී ලබාගත් ආහාර විෂවීමකිනුයි. ඇය මංගල උත්සවයේ නර්තනයේ යෙදී සිටින අවස්ථාවේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත මියගොස් තිබුණා. එලෙස ජීවිතය හැරගොස් තිබුණේ හොරණ පෞද්ගලික ආයතනයක අලෙවි විධායකවරියක් වශයෙන් සේවය කරමින් සිටි මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නමැති 25 හැවිරිදි තරුණියක්. මේ සිදුවීම සිදුව තිබුණේ හොරණ ගෝනපල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතරතුරයි.
එලෙස රෝගී වූ මංජරී ආදිත්‍යා වහාම රෝහලට ගෙනගියත් ඒ වන විටද ඇය මියගොස් තිබුණා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබුණේ ඇය ලබාගත් ආහාර ශ්වාස නාලිකාවල හිරවී ඇති බවත්, ඒ සමගම ඇතිවූ හෘදයාබාධ තත්ත්වයකින් මරණය සිදුව ඇති බවයි.
මෙම මරණ දෙකට අමතරව තවත් තරුණියක් මීට මාස තුනකට පමණ ඉහතදී මියගොස් තිබුණේද ආහාර විෂවීමක් හේතුවෙනුයි. එලෙස මියගොස් තිබුණේ පේරාදෙණියේ පදිංචිව සිටි චමෝදි සංදීපනී නමැති 21 හැවිරිදි තරුණියක්. වෙළෙඳසලකින් රැගෙන ආ කොත්තු රොටියක් ආහාරයට ගැනීමෙන් පසු ඇතිවූ උදරාබාධයක් හේතුවෙන් ඇය රෝහල්ගත කර ඇති අතර, එහිදී රෝගී තත්ත්වය උත්සන්නවී ඇගේ මරණය සිදුව තිබුණා.
චමෝදිගේ මරණයට හේතුව බෙහෙත් විෂවීමක් බව මුලදී ප්‍රකාශ වුණද පසුව දැනගන්නට ලැබුණේ පෙර දින ඇගේ මව ගෙනා කොත්තු රොටියක් ආහාරයට ගැනීමෙන් සිදුවූ අසාත්මිකතාවක් හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.
පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂ අජිත් තෙන්නකෝන් මහතා පැවැසුවේ ඇගේ මරණයට හේතුව ලබාදුන් එන්නත් විෂවීම නොව, අසාත්මිකතාවයක් බවයි. කෙසේ වෙතත් අදාළ කොත්තු රොටිය මිලට ගත් වෙළෙඳසලට එරෙහිව පැමිණිලි රැසක්ද සෞඛ්‍ය අංශ වෙත ලැබී තිබුණා. එම වෙළෙඳසලෙන් ආහාර ලබාගත් කිහිපදෙනකුද විවිධ රෝගී තත්ත්වයන්ට ලක්ව ඇති බව පැවැසුණා. කෙසේ වෙතත් එම වෙළෙඳසල සෞඛ්‍ය බලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වූ අතර, එහිදී කල් ඉකුත්වූ මස් වර්ග සහ දිලීර සහිත ආහාර වර්ග කිහිපයක් සොයාගත හැකිව තිබුණා.
අද වන විට බොහෝ දෙනෙක් සතියකට දවසක් හෝ දෙකක් පිටින් ආහාර ලබාගැනීමට හුරුව සිටිනවා. කොත්තු, පරාටා, රයිස්, පිට්සා, බිරියානි වැනි විවිධ නම්වලින් හඳුන්වන ආහාර අද තරුණ තරුණියන්ගේ ජනප්‍රියම ආහාර බවට පත්ව තිබෙනවා. එහෙත් මෙම ආහාරවල ගුණාත්මක බව ගැන කිසිදු තැකීමක් නොකර රසය ගැන පමණක් සිතා ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය අවදානමකට ලක්කර ගැනීම කනගාටුවට කරුණක්.
ඇතැම් ආහාරවලට යොදන රසකාරක වර්ග මිනිස් සිරුරට ඉතා අහිතකරයි. එසේම කල් ඉකුත් වෙන්නට ආසන්න සෝස් වර්ග, මස් මාළු, එළවළු යොදා සාදන ආහාරද බහුලව වෙළෙඳපළට නිකුත් කිරීමේ ප්‍රවණතාවක් පවතී. එවැනි ආහාර ලබාගන්නා පුද්ගලයන්ට විවිධාකාර රෝගී තත්ත්වයන් ඉස්මතුවීමට ඇති හැකියාව ඉහළය. එසේම දීර්ඝකාලීනව ශරීරයට බලපාන පිළිකා, දියවැඩියාව, හෘද රෝග වැනි බරපතළ රෝගවලට එම ආහාර වර්ග මඟපාදනවා විය හැකියි. සමහර විට එම ආහාර නිසා අපේ ජීවිතය පවා අහිමි වෙන්නට පුළුවන්.
තමන් ආසා කරන දේවල් කාලා බීලා විනෝදයෙන් ඉන්න එක තමයි ජීවිතය කියලා බොහෝ දෙනෙක් සිතන්නේ. මේ නිසාම දිවට රසය සොයා යාමට බොහෝ දෙනෙක් පුරුදුව සිටිනවා. නමුත් අපේ වැරදි ආහාර පුරුදු සහ ජීවන රටාවේ යම් ගැටලු හේතු වී රෝගී තත්ත්වයන් ඇතිවුණාම තමයි බොහෝ දෙනකුගේ ඇස් ඇරෙන්නේ. ඊට පස්සේ තමයි සෞඛ්‍ය ගැන හිතන්නට පටන්ගන්නේ.
ලාභ බලාපොරොත්තුවෙන් කල් ඉකුත් වූ ආහාර වර්ග පාරිභෝගිකයන්ට ලබාදීමෙන් බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා වගේම අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමට ඉඩ ඇති බව මේ කූට වෙළෙන්දන් තේරුම්ගත යුතුය. මෙවැනි වෙළෙඳාම් ගැන සොයා බලා ඒවා නියාමනය කිරීමට බලධාරීන් මීට වඩා දැඩි නීතිරීති ක්‍රියාත්මක කළ යුතු බව අපේ අදහසයි.
නිලන්ති රේණුකා










