සමගි ජන බලවේගය සංවිධාන කරනු ලැබූ ‘විනයගරුක සමාජයක් උදෙසා’ යන්න තේමා කරගනිමින් බිහි කළ ‘භික්ෂු උපදේශන සභාව’ සෝලීස් උත්සව ශාලාවේ දී පැවැත්වූණේ පසුගිය සෙනසුරාදාය.(Sri Lanka Latest News)
එම අවස්ථාව සඳහා 700නමක් පමණ වූ නමස්කාර පූර්වක මහා සංඝරත්නය වැඩමවා වදාළ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජලනි ප්‍රේමදාස මහත්මිය ඇතුළු සමගි ජන බලවේගයේ නායකයන් රැසක්ද එක්ව සිටියහ.
භික්ෂු උපදේශන සභාව පිහිටුවීම පිළිබඳ වූ අදහස සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ මීට කලකට පෙරය.
එහි වගකීම සජිත් භාරදුන්නේ පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට, ජාතික සංවිධායක තිස්ස අත්තනායකට සහ ගයන්ත කරුණාතිලකටය.
ඔවුන් තිදෙනාම මේ කාර්යය වෙනුවෙන් අප්‍රමාණ කැපවුණු අතර බොහෝ විහාරස්ථානවලට පෞද්ගලිකවම කතාකිරීමට ද අමතක නොකළහ. මේ වෙනුවෙන් රංජිත්, තිස්ස සහ ගයන්ත යන තිදෙනාම විශේෂ පරිශ්‍රමයක් දරනු ලැබීය.
ඊට විශාල සහයෝගයක් ලබාදුන්නේ පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමියන්ය.
‘අපේ අරමුණ වෙන්නේ දසරාජ ධර්මය මුල්කරගත්ත පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. ඒ වෙනුවෙන් අපි විශේෂයෙන්ම විනයගරුක සමාජයක් හදන්න ඕනෙ. ඒ සඳහා සංඝ උපදේශක සභාවක් ආරම්භ කරන එක වටිනවා…’
සජිත් මීට මාස කිහිපයකට පෙර උපදෙස් දුන්නේ එහෙමය.
‘මේ වැඩේට හොඳම තුන්දෙනා තෝරාගෙන තියෙන්නෙ. තුන්දෙනාටම විහාරස්ථාන එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා…’
අශෝක් අබේසිංහ කීවේ භික්ෂු උපදේශන සභාව ගොඩනැංවීමට සජිත් විසින් මහලේකම් රංජිත්, ජාතික සංවිධායක තිස්ස සහ ගයන්ත තෝරාගැනීම සම්බන්ධයෙනි.
සෝලීස් උත්සව ශාලාවේදී භික්ෂු උපදේශන සභාවේ ආරම්භක උත්සවය පවත්වා දානමය පුණ්‍යකර්මය සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට සංවිධානය කොට තිබිණි.
සති දෙකකට අධික කාලයක් මේ කටයුත්ත වෙනුවෙන් සංවිධායක කමිටුව බලවත් වෙහෙසක් ගනු ලැබීය. විශේෂයෙන්ම මේ වනවිට සමගි ජන බලවේගය රට පුරා භික්ෂු සංවිධාන සංවිධාන පිහිටුවා ඇති නිසා අතිවිශාල පිරිසක් ගරුතර මහා සංඝරත්නය ඒ වටා ගොනුවී සිටියහ. එබැවින් සීමාසහිත ඉඩකඩක් ඇති සෝලීස් උත්සව ශාලාවට වැඩමකරවා ගැනීමටද හැකි වූයේ සීමිත පිරිසකටය.
‘ලංකාව පුරා දහස් ගානක් ස්වාමින් වහන්සේලා මේ වෙනකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ලොකුම ගැටලුව තමයි අපි කොහොමද මේ හැමෝම වැඩම කරවා ගන්න කියන එක’
තිස්ස අත්තනායක කීවේය. ඔහු සදහම් යාත්‍රා වැඩසටහන හරහා විහාරස්ථාන විශාල ප්‍රමාණයක් සමග සම්බන්ධ වීය.
‘එහෙම නම් අපි පන්සියනමකට ආරාධනා කරලා, ඊට පස්සේ භික්ෂුව දේශන සභාව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය පවත්වමු…’
මේ යෝජනාව ගෙන ආවේ ගයන්ත කරුණාතිලකය.
‘අන්න හරි, ගයන්තගේ යෝජනාව හොඳයි. එතකොට අපිට අපිත් එක්ක සම්බන්ධ සියලුම ස්වාමින්වහන්සේලාට ආරාධනා කරන්න පුළුවන්….’ සජිත් කීවේය.
ඒ අනුව මහලේකම් රංජිත් ඇතුළු කණ්ඩායම භික්ෂුන් වහන්සේලා පන්සිය නමකට ආරාධනා කිරීමේ කටයුත්ත ආරම්භ කළහ.
‘මහලේකම්තුමා, හැම ආසනයක්ම නියෝජනය වෙන විදිහට භික්ෂුන් වහන්සේලා තුන්නම ගානේ වැඩමකරවන්න කීවත් හත්සියනමකට ආසන්න පිරිසක් ඉන්නවා.’ එහෙම කීවේ ගයන්තය.
‘කමක් නෑ අපි එහෙම ආරාධනා කරමු..’
අවසානයේදී පිරිස එහෙම තීන්දුවක් ගත්හ.
පෙරවරු 8.30ට වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර, අටයි කාල පමණ වන විට ශාලාව පිරී ඉතිරී යන තරමට මහා සංඝරත්නය වැඩම කොට සිටියහ. නියමිත වේලාව වන විට මුළු ශාලාවම කහ පැහැයෙන් බබළන්නට විය.
පූජ්‍යපාද උග්ගොඩ ධම්මින්ද ස්වාමින්වහන්සේ ගරුතර මහා සංඝරත්නයට අසුන් පැනවීමේ කටයුත්තට සම්බන්ධ විය.
වැඩසටහන් නියමිත වේලාවට අවසන් කිරීම පිණිස කෙටි න්‍යායපත්‍රයක් සකස් කොට තිබූ අතර වැඩමවා වදාළ භික්ෂුන් වහන්සේලා කිහිප නමකට අනුශාසනා සඳහා කාලය වෙන්කොට තිබිණි.
අනුශාසනා වාරය ආරම්භ කළේ පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේය.
‘සමගි ජන බලවේගය මේ රටේ අනාගතය පිළිබඳ ප්‍රාර්ථනා තබාගනිමින් පිරිහී තිබෙන සමාජය සමෘද්ධිමත් දේශයක් බවට පත්කරන්න විවිධ ක්‍රියාමාර්ග වැඩසටහන් පවත්වා තිබෙනවා. පාර්ලිමේන්තුවේ දේශපාලනයේ අධ්‍යාපනයේ විනය පිරිහිලා. දේශපාලන පක්ෂයට රාජ්‍ය බලය ලබාගැනීමේ දී පූර්ව සූදානම් තිබීම අවශ්‍යයි. ඒ ගැන සමගි ජන බලවේගය කල්පනා කරලා තමයි රට පුරා සිටින මහා සංඝරත්නය එකට එකතු කළේ.
මේ මහා සංඝරත්නය ආවේ සමගි ජන බලවේගයේ නායකයා ප්‍රමුඛ පිරිස රට බේරාගනීවි, රට වර්තමානයේ පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගන්න විසඳුම් තිබේවි කියන විශ්වාසය මත. ඉතාම නිවැරදි දර්ශනයක් මත පිහිටා මුලින්ම පක්ෂය තුළ විනය සකස් කර එය සමාජයට පෙන්වා සමාජය තුළ විනයගරුක පක්ෂයක් ලෙස රාජ්‍ය බලය ලබාගන්න.
රට ගොඩගැනීමේ අභියෝගය ජයගන්න අපි ඕනෑම අවස්ථාවක උදව් කරනවා. ඉස්සර භික්ෂු උපදේශකයෝ හිටියේ තාන්න මාන්න ගන්න කාර් පර්මිට් ගන්න විතරයි. නමුත් අපි එහෙම තාන්න මාන්න බලාගෙන ඔබතුමාට උපදෙස් දෙන්නේ නැහැ. සමස්ත භික්ෂු සමාජයටම සාධාරණ වන ප්‍රතිපත්තියක් මත මිස තාන්න මාන්න අපේක්ෂාවෙන් කවදාවත් අපි එන්නේ නැහැ. අරගලය විසින් ඉල්ලා සිටි වෙනස සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් අපේක්ෂා කරනවා. අපිට විශ්වාසයි ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි කියලා….’ උන්වහන්සේ එසේ පැවසූහ.
‘අදට අවුරුදු 35කට පෙර එතුමා මම හඳුනාගත්තා. ඒ වගේම හුස්ම සහ සක්වල වැඩසටහන රට පුරා ගෙන යමින් රෝහල් 56කට ලක්ෂ 1,719ක් වටිනා උපකරණ පරිත්‍යාග කළා. පාසල් 72කට බස් දුන්නා. ලක්ෂ 3,442ක් ගියා ඒකට. ලක්ෂ 269ක පරිගණක උපකරණ පාසල්වලට දුන්නා. ඒ වගේම චෛත්‍ය 12ක් ඉදිකරලා තිබෙනවා. ජනතාවට කප්පරක් වැඩකරන ලෝකයේ ඉන්න එකම විපක්ෂ නායකවරයා ලෙස වාර්තා පිට වාර්තා තබලා තිබෙනවා.
ගාමිණී දිසානායක මහතාගේ ආරාධනයෙන් දේශපාලනයට අවතීර්ණය වූ සජිත් ප්‍රේමදාස මහතා යූ.ඇන්.පී.යෙන් තිස්සමහාරාම ආසන සංවිධායකවරයා ලෙස පත් වුණා. 2000 වසරේදී හම්බන්තොටින් වැඩිම මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට පත්වෙලා වසර 22කට ආසන්න කාලයන් මන්ත්‍රීවරයකු ලෙස අනුපමේය මෙහෙවරක් ඉටුකරලා තිබෙනවා. සෞඛ්‍ය නියෝජ්‍ය, නිවාස හා ඉදිකිරීම්, සමෘද්ධි, සංස්කෘතික ඇමැති ආදී වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් උදාර මෙහෙවරක් ඉටු කරලා තිබෙනවා.
ඒ වගේම විවිධ තනතුර දරපු එතුමා 2019 ජනාධිපතිවරණයේ දී යූ.ඇන්.පී.යේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඉදිරිපත් වෙලා ඡන්ද ලක්ෂ 55.5ක් ලබාගත්තා. 2020 පෙබරවාරි මාසයේ සමගි ජන බලවේගය නමින් පක්ෂය ආරම්භ කරලා බණ්ඩාරනායක මහත්තයා 1951 මැතිවරණයේ පෙන්වූ බලයත් අභිබවා ගොස් විපක්ෂ නායකවරයා ලෙස පියවරෙන් පියවර අත්දැකීම් ලබමින් නොනවතින ගමනක් ආරම්භ කරලා තිබෙනවා.
සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන 182ක් හැදුවා. විරු සුමිතුරු නිවාස ආධාර, ග්‍රාම ශක්ති නිවාස ආධාර, විසිර නිවාස ණය, සොඳුරු පියස නිවාස ණය වැඩසටහන් තුළින් ලක්ෂ කෝටි ගණනින් මිනිසුන්ට උදව් උපකාර කළා. ඒවා අතුරින් ඉන්දීය ආධාර යටතේ ලක්ෂ 12000ක් වැය කර හම්බන්තොටට සහ උතුරු නැගෙනහිර පළාත්වල ගෙවල් ඉදිකරලා දුන්නා.
මීට අමතරව ක්‍රීඩා, කලා ක්ෂේත්‍රවල නිරත වූවන්ට නොමිලේ නිවාස ලබාදුන්නා. ශිල්ප සවිය වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව ලබා දී සුදුසු රැකියාවන්ට තරුණ පිරිස යොමු කළා. ඒ වගේම සසුනට අරුණ, වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩසටහන යටතේ සිද්ධස්ථාන 259ක දහම්පාසල් ගොඩනැගිලි හදන්න මුල්ගල් තැබුවා.
ඒ වගේම කිතුනු සසුනට අරුණ, කිතුනු මගට සවියක්, ධර්මතිව් ඔලිව් යනාදී සර්ව ආගමික වැඩසටහන් යටතේ සියලු ආගම්වලට ආධාර උපකාර කළා. ලංකාවේ සතර දිග්භාගයේ සිදුකළ මෙහෙවර අනන්තයි අප්‍රමාණයි.
දියමන්තියකින් ඕනෑම දෙයක් කපන්න පුළුවන්. එහි තුඩේ හාඩ්නස් 9ක් තිබෙනවා. අනික් ඒවායේ තිබෙන හාඩ්නස් ප්‍රමාණය 8.5යි. පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 අතුරින් දියමන්තියක් සේ සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනවා. එතුමා හැම ගමකම සිටින ජනතාවට ලක්ෂ 220ක් වූ ජනතාවට සිදුකළ මෙහෙය අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා අපේ ආදරයත් ගෞරවයත් එතුමාට හිමිවෙනවා.
සජිත් ප්‍රේමදාස මහත්තයා කියන දේ කරන කරන දේ කියන කෙනෙක්. කතාව වගේම වැඩත් තියෙනවා. ඒ වගේම අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ ඉඳලා විශ්‍රාම යන මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. ඒත් සජිත් ප්‍රේමදාස මහත්තයා රටක් වටිනා රත්තරං මනුස්සයෙක් ලෙස හඳුන්වා දෙන්න ඕන.
ඕනෙ වෙලාවක ඕන දෙයක් කිව්වොත් ඇහුන්කම් දෙන ගතියක් තිබෙනවා. කවදාවත් හාමුදුරුවෝ කෙනෙක් විවේනය කරන්න යන්නෙත් නැහැ. ප්‍රතිඋත්තර දෙන්න යන්නෙත් නැහැ. ඒක තාත්තගෙන් පුරුදු වුණු දෙයක් වෙන්න ඕන….’
එහිදී නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍යපාද තීනියාවල පාලිත හිමියෝ එසේ පැවසූහ.
‘ලෝකයේ ණය ගෙවන්න බැරි රටවල් 5න් එකක් අපි. රට පහසු තැනක නෙවෙයි තියෙන්නේ. පාර කපන් යන්න ඕනෙ. කැපූ පාරක යන්න ඕන. අලුත් ගමනක් තියෙන්නේ. ලෝකය වෙනස්. ඉතිහාසයේ කතා වැඩක් නැහැ. නව ගමනකට වෙනසක් සිදුවිය යුතුයි. රටේ දේශපාලනයත් දැන් එපාවෙලා තියෙන්නේ. අපි හරියට යථාර්ථය අවබෝධ කරගෙන තමයි මේ වැඩේ කරන්න ඕනෙ. ඒ වගේම විනයගරුක වෙන්න ඕනෙ. කියන දේ කරන්න ඕනෙ. හැමෝටම දැනුම තිබ්බට වැඩක් නැහැ භාවිත කරන්නේ නැත්නම්. දැනුමින් තොර භාවිතය අන්දයි. භාවිතයෙන් තොර දැනුම වඳයි.
වෙනස් වෙන්න ඕනෙ. සෑහෙන වෙනස් ගමනක් යා යුතුයි. ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතිය ආගම සම්බන්ධ ආකල්ප සියල්ල වෙනස් වෙලා. ඒවාට අනුකූල ලෙස ප්‍රතිචාර දක්වන්න ඕනෙ. වෙනස් විදිහට හිතන ගමනකට යන්න අලුත් ලෙස සිතන්න ඕනෙ.
හැඟුම්බර වෙලා ජාතිවාදය ආගම්වාදය මත පදනම්ව පොළොවේ පදනම් නැති තීන්දු තීරණ ගත්තොත් 2019 ගෝඨාභය ගෙනාවා වගේ කන්නවත් නැති වෙයි. හරියට දේශපාලනය ගැන අවබෝධයකින් යුතුව රටට ආදරය ඇති අයගෙන් උපදෙස් ගැනීම සජිත් ප්‍රේමදාස මහතාගේ වගකීමක්. එහෙම වුණේ නැති වුණොත් 56 වුණා වගේ වෙයි.
එහෙම කීවේ පූජ්‍ය දඹර අමිල හිමියන්ය.
‘බොහෝ පක්ෂ විපක්ෂයේ සිටින විට මහා සංඝරත්නයට සවන් දෙනවා. බලයට ආවිට ඒ ප්‍රතිපත්තියට අනුකුලව නොව ඊට පරස්පරව වැඩකරනවා කියන එක. ඇත්ත වශයෙන්ම පහුගිය කාලවකවානුව තුළ 75 වසරක ඉතිහාසය තුළ ඉදිරිපත් කළ දේශනාවල බොහෝ සත්‍යයක් තිබෙනවා. ගෞරවනීය වන්දනීය ස්වාමින්වහන්ස, අප උත්සාහ දරන්නේ ඒ ආපු පිළිවෙතේ පැහැදිලි සංශෝධනයක් කරන්න. අපි අනුගමනය කරන්නේ දානය, පරිත්‍යාගය, ශීලය, තපස, අහිංසාව, අක්‍රෝධය, ඍජු බව, මෘදු බව, ඉවසීම, අවිරෝධය යන දසරාජ ධර්මය. ඒ අනුව අපේ ගමන ඉදිරියට ක්‍රියාත්මක කරනවා.’
විපක්ෂ නායක සජිත් සිය කතාවේදී එහෙම කීවේය. ඔහුගේ කතාවට ධම්මපදය ගාථා පමණක් අටක් අන්තර්ගත කරගෙන තිබිණි.
වැඩසටහනෙන් අනතුරුව දහවල් දානමය පුණ්‍යකර්මය සිදුකෙරුණේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදීය. සෝලීස් උත්සව ශාලාවේ සිට සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය වෙත මහා සංඝරත්නය පාගමනින් වැඩම කළ අතර එය අසිරිමත් දර්ශනයක් විය. එහිදී දානය පිළිගැන්වීමේ කටයුත්තට සජිත්, සරත් ෆොන්සේකා, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු සමගි ජන ජනබලවේගයේ නායකයන් එක්ව සිටියහ. සජිත් භික්ෂුන් වහන්සේලා සියලු දෙනා වෙත ගොස් කතාබස් කිරීමට ද අමතක නොකළේය.
‘ඔබතුමාට ධම්මපදයම කටපාඩම් වගේ’
භික්ෂුන් වහන්සේලා කිහිප නමක්ම සජිත් සමග එහෙම කීහ.
‘දහම් පාසල් යන දවස්වල ඉඳලම ධම්මපදයේ කටපාඩම්. ඒ දවස්වල ගුටි කකා අපි ධම්මපදය කටපාඩම් කරලා තියෙනවා…’ සජිත් කීවේය.
‘ධම්ම පදය විතරක් නෙවේ, මෙතුමා දසරාජ ධර්ම, දස සක්විතිවත් වගේ බොහෝ කාරණා ගැන කතා කරනවා අපි අහල තියෙනවා…’
භික්ෂුන් වහන්සේ නමක් පැවැසූහ.
‘රාජ්‍ය පාලනය සම්බන්ධව බුදු දහමේ තරම් කරුණු කාරණා වෙනත් තැනක ඉදිරිපත් වෙලා තියෙනවා මම දැක්කේ නැහැ. බුදු දහමේ තියෙන කරුණු කාරණාවලට අනුව රටක් පාලනය කරනවා නම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ…’ සජිත් කීවේය.
අපි ඔබතුමාලාගෙන් ඉල්ලන්නේ මහා සංඝරත්නයේ වුණත් නිවැරැදි උපදෙස් ගන්න කියලා. වැරැදි උපදෙස් පිළිගත්ත ගෝඨාභය රාජපක්ෂට වෙච්ච දේ හැමෝටම පාඩමක්…’
දඹර අමිල හිමියන් උපදේශයක් දුන්නේය.
‘මේ භික්ෂු උපදේශන සභාව සාර්ථක කරගන්න මහලේකම්තුමා, ජාතික සංවිධායකතුමා, වගේම ගයන්ත කරුණාතිලක මැතිතුමා ගත්ත අප්‍රමාණ වෙහෙසට අපේ ප්‍රණාමය පුද කරන්න ඕනෙ. මේ වැඩේ කරන්න සුදුසුම කණ්ඩායමට අපි ඒ වැඩේ භාර දුන්නා. ඒ වැඩේ හරියටම එතුමලා කළා…’
සජිත් අවසානයේදී පැවැසීය.
පුබුදු උදයංග










