ලංකාවේ රුපියලේ අගය පසුගිය කාලය තුළ සැලකිය යුතු ආකාරයට ශක්තිමත් වී ඇති බව විනිමය අනුපාතික පිළිබඳ මහබැංකුවේ දත්ත විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.
මෑත කාලය තුළ රුපියලේ අගය ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලරයට සාපේක්ෂව දුර්වලම අගය වාර්තා වන්නේ 2022 මැයි 11 දිනය. ඒ අනුව ඩොලර් එකක වටිනාකම රුපියල් 364.76ක් බවත්, රුපියලක වටිනාකම 0.0027ක් ලෙසත් වාර්තා විය.
එහෙත් 2024 නොවැම්බර් 07 වැනිදා වනවිට ඩොලර් එකක වටිනාකම රුපියල් 292.94ක් ලෙසත්, රුපියලක වටිනාකම ඩොලර්වලින් 0.0034ක් ලෙසත් වාර්තා වේ.
මේ අනුව 2022 මැයි 11 සිට 2024 නොවැම්බර් 07 දා දක්වා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 26%කින් පමණ ශක්තිමත් වී ඇති බවද මහාචාර්යවරයා පවසයි.
තවද යුරෝවලට සාපේක්ෂව රුපියලේ අගය දුර්වලම අවස්ථාවක පැවැතුණේ 2023 පෙබරවාරි 02 වැනිදාය. එයට සාපේක්ෂව සලකා බලන විට 2024 නොවැම්බර් 07 වැනිදා වනවිට රුපියලේ අගය 28%කින් පමණ ශක්තිමත් වී අති බව සඳහන්ය.
එමෙන්ම පසුගිය කාලය තුළ ජපන් යෙන්වලට සාපේක්ෂව රුපියලේ අගය දුර්වලව පැවැතුණේ 2022 මැයි 31 දිනය. එහෙත් 2024 නොවැම්බර් 07 දා වනවිට ජපන් යෙන්වලට සාපේක්ෂව රුපියලේ අගය 50%කින් පමණ ශක්තිමත්ව ඇති බවද මහාචාර්ය අතුකෝරල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රුපියලේ අගය ශක්තිමත් වුවද එහි වාසිය සත්‍ය වශයෙන් රටේ ජනතාවට නොලැබෙන බවට මහාචාර්යවරයා චෝදනා කරයි.
ප්‍රේමලාල් විජේරත්න










