බාල වයස්කාර (අවු. 5-6) දරු දැරියන් අතරේ අත් පා මුඛ රෝගයක් පැතිරී යෑම නිසා කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලට රැගෙන එන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව තරමක ඉහළ යෑමක් පෙන්නුම් කරන බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
‘කොක්සටී’ නමැති වෛරසය නිසා මෙම රෝගය පැතිරෙන බවත්, එය වැඩිහිටියන්ට බෝවන්නේ කලාතුරකින් බවත් ඔහු සඳහන් කළේය.
පැපොල රෝගයට සමානකම් ඇතත් එය නොවන මෙම රෝගය නිසා එයට මැදිවන ළමුන්ගේ නියපොතු පවා ගැළවී යෑමේ හැකියාව පවතින බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
මෙම ළමුන් දින 4-5 අතර කාලයක් නිවසේම රඳවාගත යුතු බවත්, එවැනි ළමුන් ළමා සුරැකුම් මධ්‍යස්ථානවලට හෝ පෙරපාසල්වලට යැවීම දින කිහිපයක් අත්හිටුවිය යුතු බවත් වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.
එම රෝගයට මැදිවී නියපොතු ගැළවී යෑමක් සිදුවුවත් එම නියපොතු යළි ලියලන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අතේ වැළමිටේ රතු බිබිලි සහිතව මෙම රෝගය මතුවන බවද වෛද්‍ය අංශ පෙන්වා දෙයි.
ඒ පිළිබඳ මවුපියන් සැලකිලිමත් විය යුතු බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










