පසුගිය 2023 වසරේ අවුරුදු සමයට සාපේක්ෂව මම වසරේ අවුරුදු සමයේ භාණ්ඩ සහ සේවාවල මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලින් අනාවරණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
2023 මාර්තු මාසයට සාපේක්ෂව 2024 මාර්තු මාසය තුළ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් 2.28%කින් ඉහළ යෑමක් පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළේය.
2022 මාර්තුවලට සාපේක්ෂව සලකා බලන විට 2024 මාර්තු මාසයේ ජීවන වියදම 52%කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්ය.
එනම් අදාළ භාණ්ඩ මිලදී ගැනීමට යන වියදම රුපියල් 61,600කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්ය.
ආහාර කාණ්ඩයේ වියදම රුපියල් 19,900කට වැඩි ප්‍රමාණයකින් (53%) ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ සහ සේවාවල මිල ගණන් රුපියල් 41,700කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
2023 මාර්තු හා සසඳන විට අදාළ භාණ්ඩවලට වැයවන වියදම ඉහළ ගොස් ඇත්තේ රුපියල් 4,100කට ආසන්න ප්‍රමාණයකිනි.
ඒ අනුව, ආහාර කාණ්ඩයේ වියදම රුපියල් 2,200කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ රුපියල් 1,900කට ආසන්න අගයකිනි.
මේ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අවුරුදු සමය තුළ ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කරන බව මහාචාර්යවරයා පැවැසීය.
මෙම වියදම් තවදුරටත් ඉහළ යෑම හමුවේ ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රේමලාල් විජේරත්න