පුරාතන අවධියේ ඉඳලා විවිධ ආගම් දර්ශනයන් සමාජගත වීමට කලින් මිනිසා ගස් ගල්වලට වන්දනාමාන කිරීම, නොපෙනෙන දේවතා ඇදහිලි වගේ ඇදහීම් කටයුතුවල නිරත වුණා කියලා ඔබ දන්නවා.(Sri Lanka Latest News)
ඒ හැම දේකම විකාශයන් හේතුවෙන් අද වෙනකොට ලංකාවේ බහුතරයක් දෙනා පෙරටත් වඩා දෙවි දේවතාවන් ඇදහීම, ඔවුන්ගේ පිහිට පැතීම සිදුකරන යුගයක් උදාවෙලා තියෙනවා. සමාජයේ ප්‍රශ්න, පෞද්ගලික ගැටලු, තමන්ගේ ජීවිත සුඛිත මුදිත කරගැනීමේ අධිෂ්ඨානයෙන් බහුතරයක් දෙනා ඒ අයුරින් මේ විශේෂ වූ ආගමික ස්ථාන ඇදහීම සිදුකරනවා. අද අපි ඔබට කියන්න යන්නේ ලංකාවේ බහුතරයක් දෙනා ඉතා විශ්වාසයෙන් අදහන බොහොම බලගතු බව කියන මේ වගේ ස්ථානයක් ගැන. ඒ තමයි සියඹලා ප්‍රදේශයේ කැබිලිත්ත දේවාලය ගැන.
කැබිලිත්ත ගැන බලන්න අපි යන්නේ යාල වනෝද්‍යානයේ තුන්වැනි කලාපයට. ඇත්තටම ඔය කියන විදියට කතරගම දෙවියන් බන භාවනා කළේ මේ සියඹලාව හෙවත් කැබිලිත්ත දේවාලයේද? කැබිලිත්ත දේවාලයේ සඟවලා තියෙන කතරගම දේවාලයට අයිති මිල කළ නොහැකි වස්තුව මොකක්ද? මේ දේවාලයට අතුරු සිදුරු නැතිව මිනිස්සු එන්න තරම් මේ තරමටම තියෙන විශේෂත්වය මොකක්ද? මෙන්න මේ ප්‍රශ්න කිහිපයටම අපි ඔබට පිළිතුරු දෙන්නයි සූදානම් වෙන්නේ.
‘මුහුණු සයකි අත් දොළහකි මයුරා පිට වාහනේ’ කියන පද පේළිය අහපු සැණින් අපි කොයි කාගෙත් මතකයට එන්නේ කතරගම දෙවියන්ගේ විස්මයජනක ප්‍රතිරූපය කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. බෞද්ධයන්, හින්දූන් වගේම ලංකාවේ අනෙකුත් ආගම්වල පිරිසත් මේ ගැන හොඳින්ම දන්නවා. අපි මුලින්ම කිව්වා කතරගම දේවාලය අසල පිහිටා තියෙන මේ කැබිලිත්ත දේවාලය මේ තරම් ජනතාව අතර ප්‍රසිද්ධ වෙන්න හේතු කාරණා කිහිපයක් තියෙනවා කියලා. අතීතයේ විවිධ කුමන්ත්‍රණ හරහා ලංකාව ආක්‍රමණය කරන්න විදේශ සතුරු කණ්ඩායම් සැරින් සැරේ ලංකාවට ආවා.
එහෙම ආව ගිය පිරිසගෙන් බහුතරයක් දෙනා කතරගම දේවාලයේ තැන්පත් කර ඇති වටිනා වස්තූන් කිහිපයක් පැහැරගන්න මාන බලලා තියෙනවා. ඇත්තටම කතරගම දෙවියන් වෙනුවෙන් වෙන්වූ පූජා වස්තූන් සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා අපේ මුතුන්මිත්තන් මේ දේවාලයේ වටිනා වස්තුව කැබිලිත්තේ රාළ නමැති කපු මහතෙකුට භාරදෙන්න තීරණය කරනවා. කැබිලිත්තේ රාළ කියන්නේ ඉතා උස හැඩිදැඩි ශක්තිවන්තයෙක්. ඔහුගේ ශක්තිය කොතෙක්ද කියනවා නම් ඕනෙ මීහරකකු අල්ලා ගස් බැඳීමට පවා ඔහු අති දක්ෂයකු බවයි සඳහන් වෙන්නේ.
කැබිලිත්තේ රාළ කාටවත් නෙත නොගැටෙන ආකාරයෙන් කතරගම දේවාලයට එහා පිහිටි සියඹලා ගහක දේවාලයේ වස්තුව සඟවන්න තීරණය කරනවා. ඊට පස්සේ ඔහු ඒ සියඹලා ගහට නිතිපතා වන්දනාමාන කරන්නත් පටන් ගන්නවා. ඒ අතරතුරේදී කාලයක් ගතවෙද්දී මිනිසුන් එක්කෙනා දෙන්නා දකිනවා කැබිලිත්තේ රාළ මෙන්න මේ ගහට වන්දනාමාන කරනවා. ඉතින් ඔවුනුත් පටන්ගත්තා මෙන්න මේ ගහට වන්දනාමාන කරන්න. ඉතින් ඔය අතරතුර කාලයේදීම කැබිලිත්තේ රාළ ළඟ දේවාලයේ වටිනා වස්තුව තියෙන බව දැනගත්ත ඕලන්ද ජාතිකයන් කිහිප දෙනෙක් ඔහු සොයාගෙන එනවා.
නමුත් කැබිලිත්ත රාළ කවදාවත් තමන්ගේ ජීවිතේ වෙනුවෙන් මේ වස්තූන් පාවාදුන්නේ නැහැ. ඒ නිසාම ඕලන්දකාරයන් සමග තනිවම ලොකු සටනක් කරලා අවසානයේදී ඔහු ඕලන්දකාරයන් අතින් ජීවිතක්ෂයට පත්වෙනවා. මරණාසන්නව ඒ ආකාරයන් තුවලා ලබා මියගිය කැබිලිත්තේ රාළ කතරගම දෙවියන්ගේ ප්‍රාතිහාර්යයක් නිසාම, මියයෑමෙන් පසු අදෘශ්‍යමාන බලවේගයක් ලෙස මේ භූමියේ ආරක්ෂාව පතා අදටත් සිටිනවා කියන මතයක් මේ ගැමියන් තුළ පවතිනවා. ඉන් අනතුරුව කැබිලිත්තේ රාළ මියගිය පසුව දේවාලයේ වස්තුව සියඹලා ගසෙන් ඉවතට ගෙන කතරගම දේවාලයේ තැන්පත් කළ බවටත් ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ඓතිහාසික ස්ථානය එදා පණ දෙවැනි කොට රැක්ක කැබිලිත්තේ රාළට උපහාරයක් ලෙස කැබිලිත්ත දේවාලය නමින් ප්‍රසිද්ධ වුණා. මේක තමයි ඉතිහාස කතාව.
බොහොමයක් දෙනාගේ වන්දනාමානයට ලක්වූ කැබිලිත්තේ දේවාලය තුළ තවත් නොපෙනෙන දේවාලයක් පවතින බවටත් ජනප්‍රවාදවල තොරතුරු කියැවෙනවා. ඒ වගේම මහා හාස්කම් රැසක් පවතින, අඩුම තරමෙන් නිදන් හොරෙකුටවත් හොයාගන්න බැරි ඇසට නොපෙනෙන තලකුරු වෙහෙර සහ නිල් මානෙල් පැලැස්ස නමින් කොටසකුත් කැබිලිත්ත භූමියේ පිහිටා තිබෙන බව පැරැන්නන් විශ්වාස කරනවා. නමුත් මේ සුවිශේෂ ස්ථානය කාටවත් ඇසට පෙනෙන මානයක පිහිටා නැති බවයි බොහෝ දෙනෙක් පිළිගන්නේ.
ඒ වගේම අතීතයේ දී කතරගම දෙවියන් බණ භාවනා කිරීම සඳහා ඔහුට සුදුසු නිස්කලංක පිරිසිදු තැනක් සොයමින් යන අතරතුර බොහොම නිස්කලංක පරිසරයෙන් යුත් මේ කැබිලිත්ත භූමිය දැකලා තියෙනවා. ඝන කැලෑවක පිහිටි මෙම ස්ථානයේ වන සතුන්ගෙන්වත් කිසිදු පුද්ගලයෙක්ගෙන්වත් කරදරයක් නොවන ස්ථානයක් බවයි කතරගම දෙවියන් හා සම්බන්ධ කතාපුවත්වල සඳහන් වෙන්නේ. ඉතිහාස කතාවල කියැවෙන විදියට ඒ කාලේ මේ ස්ථානය හරිම නිස්කලංක ප්‍රදේශයක්. අඩුම තරමේ ගහකින් වියළිලා වැටෙන කොළයක්වත් මේ භූමියට පතිත වෙන්නේ නැහැයි කියලයි ඒ වාර්තාවල සඳහන් වෙන්නේ.
ඒ සුවිශේෂ බව නිසාම කතරගම දෙවියන් මේ ස්ථානයේ වැඩවාසය කරමින් බණ භාවනා සිදුකළ බවට ඉතිහාස සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ වගේම කැබිලිත්ත දේවාලය අවට අතීතයේ වෙහෙර විහාර රැසක් තිබුණු බවට නටබුන් සාක්ෂි අදටත් දකින්න ලැබෙනවා. ඒ නිසා මේ ස්ථානය දේවාලයක් විදියට පවත්වාගෙන ගිය තැනක් විදියට අපට එක්වරම හිතන්න අවස්ථාවක් නැහැ.
පුරාවිද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට මේ කැබිලිත්ත නමැති සුවිශේෂ භූමිය සම්පූර්ණයෙන්ම අතීතයේ ආගමික ස්ථානයක් ලෙස ගොඩනැගුණු එකක් බව හඳුන්වන්න පුළුවන්.
වර්ෂ 1818දී ඌව වෙල්ලස්ස කැරැල්ල සිදුවෙන කාලසීමාවේදී වීර කැප්පෙටිපොළ නිලමේතුමන් කැරැල්ලට යෑමට ප්‍රථමයෙන් කැබිලිත්තට පැමිණ පුද පූජාවන් තබා දේවාශීර්වාදය ලබාගත් බවත් ඒ ඉතිහාස කතාවල සඳහන් වෙනවා. ඒ වගේම කැබිලිත්ත දේවාලය ගැන කතා කරද්දී ඒ හා බැඳුණු විවිධාකාරයේ හාස්කම් පිළිබඳවත් සඳහන් කළ යුතුයි.
සාමාන්‍යයෙන් මේ භූමියේදී අවැඩක් සිදුකරපු පුද්ගලයකුට යහතින් ගෙදර යන්න නම් ලැබෙන්නේ නෑ. ඒක තමයි බොහෝ දෙනා විශ්වාස කරන සමාජ මතය. කැබිලිත්ත පූජා භූමියට හානි කරලා ආපහු යන්න හදන ඕනෑම කෙනෙක්ට අලි ඇතුන් ඌරන්, නාගයන් වැනි සතුන්ගේ දඬුවමට යටත් වෙන්න සිදුවෙනවාම තමයි. ඒකට හොඳම උදාහරණයක් විදියට මේ ස්ථානය තුළ ව්‍යාපාරිකයන් විසින් කිහිප වරක්ම ඉදිකිරීම් කටයුතු සිදුකරන්න අත්තිවාරම් ගොඩනගලා තියෙනවා. නමුත් සුළු වෙලාවකින් එවැනි ස්ථානවලට පැමිණෙන අලි ඇතුන් එම ගොඩනැගිලි බිමට සමතලා කරලා දාන්න දෙපාරක් හිතන්නේ නෑ.
ඒ වගේම එක කාලවකවානුවකදී අපේ රටේ දැව සංස්ථාවේ සභාපති විදියට කටයුතු කළ බව සැලකෙන ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රම මහතා සහ ඔහුගේ හිතවතෙකු කැබිලිත්ත ප්‍රදේශයට එන්න තීරණය කරනවා. ජෝ අබේවික්‍රමත් එක්ක ආපු මේ හිතවතා ගුවන් විදුලි සහ සිනමා අධ්‍යක්ෂවරයෙක්. ඒ අවස්ථාවේ මේ අවට තිබුණු වටිනා කළුවර ගසක් කපාගෙන යන්න අධ්‍යක්ෂවරයා සූදානම් වුණු බවට කතාවක් තියෙනවා. හැබැයි අවාසනාවකට ඒ ආකාරයෙන් කළුවර ගස් කපා රැගෙන යෑමට සූදානම් වෙන අවස්ථාවේදී ජෝ අබේවික්‍රම මහතා සමග ආපු අධ්‍යක්ෂවරයා හිතාගන්නවත් බැරි ආකාරයෙන් කැලේ අතුරුදන් වෙනවා. ඔවුන්ට සිදුවුණේ මොකක්ද කියලාවත් ඒ කාලේ කාටවත් හොයාගන්න බැරිවෙලා තියෙනවා. මේ කතාවත් බොහෝ දෙනා විශ්වාස කරන කතාවක්.
ඒ වගේම 1978 වසරේදී මේ අඩවියට මුස්ලිම් ජාතික වනජීවී නිලධාරියෙක් පැමිණෙනවා. කැබිලිත්ත ප්‍රදේශයේදී ඔහු වලිකුකුළෙකුට වෙඩි තියලා, ඒ වලි කුකුළාගේ මස් අනුභව කිරීමට සැරසෙන අවස්ථාවේ දරුණු ආකාරයෙන් ඔහුට ලේ බඩයන්න පටන්ගෙන තියෙනවා. ඉන් අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහලට යන්න ජීප් රථයට ගොඩවෙන අවස්ථාවේදී ජීප් රථය ගිනිගෙන විනාශ වූ බව ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා.
තවත් එක් අවස්ථාවක කතරගම පූජකවරයෙක් සමග බැතිමතෙක් කැබිලිත්ත දේවාලයට පැමිණෙනවා. අනතුරුව කැබිලිත්ත දේවාලයේ පවතින සුවිශේෂ ගුප්ත බව තේරුම් ගත් මේ බැතිමතා තමන්ගේ රන් මාලය සියඹලා ගසට පලඳවන්න දෙපාරක් හිතුවේ නෑ. ඒ ආකාරයෙන් සියඹලා ගහට පලඳවපු රන් මාලය දැකපු එක්තරා පුද්ගලයෙක් එය සොරකම් කරගෙන නිවෙසට රැගෙන යනවා. ඒ අවස්ථාවේදී ඔහු මේ මාලය තමන්ගේ බිරියගේ ගෙලට දමා හැඩ බලපු අතර, පසුදා උදෑසනම ලක්ෂ ගණනක් වටිනා ඔහුගේ වෙළෙඳසල ගිනිගෙන විනාශ වී ගිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
මේ කැබිලිත්ත දේවාලය සම්බන්ධයෙන් ගොඩනැගී තිබෙන විවිධාකාරයේ විස්මිත කතා කිහිපයක් පමණයි. බොහෝ දෙනෙක් විශ්වාස කරනවා කැබිලිත්ත දේවාලය වැඳපුදා ගැනීමට යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඔහු අනිවාර්යයෙන්ම නිර්මාංශව මාසයක කාලයක්වත් පේවී සිටිය යුතු බව. අනතුරුව මේ ගමන යනතුරුත් එනතුරුත් කට වචනය පරිස්සම් කරගත යුතු බවත් මතක තබාගත යුතු වෙනවා. ඒ වගේම වර්තමානයේ බොහෝ දෙනෙක් මේ ප්‍රදේශයට වන්දනා කරන්න එන මුවාවෙන් එහි ඇති වටිනා කියන දේ රැගෙන යෑමට උත්සාහ කරනවා.
නමුත් ඒ ආකාරයට වටිනා දේ රැගෙන යන කිසිවෙකුට යහතින් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ කියලා තමයි බොහෝ දෙනා පවසන්නේ. එදා යුද සමයේදී මේ ප්‍රදේශය තුළට මිනිස් පුළුටක්වත් ගියේ නැතත්, යුද්ධය අවසන් වුණාට පස්සේ බොහෝ දෙනෙක් කැබිලිත්ත දේවාලය වන්දනා කරන්න එන්න නැවතත් පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ කතරගම දේවාලයට අධික ජනකායක් කැබිලිත්ත දේවාලයට ඒකරාශී වනවා. ඒ නිසාම බැති සිතින් පේ වෙලා ආධ්‍යාත්මික සුවය පමණක්ම මේ සුවිශේෂ ආගමික ස්ථානයෙන් ලබාගන්නට, වැඳපුදා ගන්නට, එය ආරක්ෂා කරන්නට පමණක් එයි යන්න කියන ආරාධනාව ඔබට කරනවා.
Naifm යූටියුබ් නාලිකාවෙන් උපුටා ගන්නා ලද්දකි










