මවුපියන් තමන්ගෙ දරුවන් වෙනුවෙන් කොයි තරම් නම් බලාපොරොත්තු තියාගන්නවද? දස මාසයක් කුසේ තියාගෙන බිහිකරන කිරිකැටියා ටිකෙන් ටික ලොකුමහත් වෙද්දී ඒ දරුවා අනාගතේ දවසක රටටම ආඩම්බරයක් වෙන දක්ෂයෙක් වේවි කියලයි හැම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම හිතන්නේ. ඒ වගේම දරුවන් තුළත් අනාගතය ගැන මහ මෙරක් තරම් බලාපොරොත්තු තියෙනවා.(Sri Lanka Latest News)
මම අනාගතේ දවසක ලෝකයම පිළිගන්න, වටිනා රැකියාවක් කරනවා කියලා හිතලා ඒ වෙනුවෙන් කැපවෙන දරුවෝ අපි අතර ඕනෑ තරම් ඉන්නවා. අද අපි ඔබට කියන්න යන්නේත් එවැනි පුතකු ගැනයි. මේ පුතා තමන්ගේ අම්මාගේ තාත්තාගේ හිතේ තිබුණු බලාපොරොත්තුව ඉෂ්ට කළා. එවැනි දරුවෙක් ලබන්නට ඒ අම්මා තාත්තා කොයි තරම් නම් වාසනාවන්ත වෙන්න ඕනෙද? ඒ අවස්ථාව කොයි තරම් හැඟීම්බරද? අම්මාගේ ආදරයට කරුණාවට සමකරන්න පුළුවන් වෙන කිසිවක් මේ මිහිපිට නැහැ. අම්මා මොන තරම් පීඩාවකට පත්වෙලා හිටියත්, ඇය රකින්නේ තම දරුවන්වයි. ඒ වගේමයි තාත්තා කෙනකුගේ ආදරය. තාත්තෙක් තම දරුවට ආදරය දෙන්නේ ලෝකයට නොපෙනන ලෙසයි. තාත්තා දරුවන්ව කුසයේ නොදැරුවාට, දරුවන්ගේ ජීවිතවල වගකීම දැරුවේ ඔහුයි.
බොහෝ මවුවරුන් ජීවිතේ දුක් කම්කටොලුවලට මුහුණ දෙන්න බැරිව මැදපෙරදිග රටවල රැකියා සඳහා යනවා. එහෙම විදෙස්ගත වෙන මවුවරුන්ගේ බලාපොරොත්තුව තමයි තමන්ගේ දරුවන්ගේ අනාගත සිහින සැබෑ කරවීම. මවුවරුන් කරන ඒ කැපකිරීම් වචනවලින් කියන්න බැහැ. නන්නාඳුනන දුරු රටක පැය ගණනාවක් තිස්සේ කුසට හරි හමන් ආහාරයක් නැතිව දිවා රෑ ඔවුන් වෙහෙසෙන්නේ දරුවන් ගැන සිතමින්. අම්මා කෙනකු සිදුකරන ඒ කැපකිරීම මුදලින් මනින්න කවදාවත්ම බැහැ.
තම පුතාගේ සිහිනය වුණු ගුවන් නියමුවකු වීමේ අපේක්ෂාව ඉටුකරලීම වෙනුවෙන් වසර 30ක් පුරා අප්‍රමාණ කැපකිරීමක් කළ ඉතියෝපියානු ජාතික මවක් ගැන සංවේදී කතාවක් අද අපේ ලිපියට පාදක වෙන්නේ. තම පුතාගේ අපේක්ෂාව වුණේ කවදා හරි දවසක ගුවන් නියමුවෙක් වෙනවා කියන අදහසයි. මේ අම්මා තම දරුවාගේ ඒ අපේක්ෂාව මුදුන් පමුණුවා ගන්න අවශ්‍ය අතිවිශාල මුදල සොයාගන්න ලෙබනනයේ ගෘහ සේවයට පිටත්ව යනවා. අවුරුදු 30ක් එලෙස ගෘහ සේවයේ යෙදී සිටිමින් උපයාගත් මුදල් තම දරුවාගේ අරමුණ වෙනුවෙන් මේ අම්මා යොදවනවා.
ඒ පුතත් තමන්ගේ අම්මා දුක් මහන්සි වෙලා හරිහම්බ කරලා එවන මුදල් අපතේ නොයවා තම අරමුණට යන්න දිවා රෑ වෙහෙසුණා. ඒ විදියට වසර 30ක් ගතවූ තැන මේ පුතා තමන්ගේ අරමුණ ජයගත්තා. ඔහුට ගුවන් නියමුවෙක් විදියට ඉතියෝපියානු ගුවන් සේවයේ රැකියාව හිමිවුණා. පුතාට ඕනෙ වුණේ අම්මාව පුදුමයට පත්කරන්නයි. අම්මාව සතුටු කරන්න පුදුම හිතෙන දෙයක් කරන්න ඔහු සිතාගත්තා. තම පුතාගේ ගුවන් නියමු සිහිනය සැබෑ වූ බව දැනගත්ත මේ අම්මා ලෙබනනයේ ගෘහ සේවයෙන් ඉවත් වෙලා නැවත තම මවු රට වූ ඉතියෝපියාව බලා යන්න තීරණය කරලා තිබුණා. ඒ අනුව ඇය ලෙබනනයේ බීරූට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියේ තම රටට යෑමට නියමිත ගුවන් යානය අපේක්ෂාවෙනුයි.
මේ අම්මාව ගුවන් සේවිකාවන් විසින් ගුවන් යානා පර්යන්තය වෙත රැගෙන ගියා. එහිදී ඇගේ ඇස් අදහා ගන්නට බැරි දෙයක් සිදුවුණා. ඇයට දැකගන්න ලැබුනේ ගුවන් නියමු නිල ඇඳුමෙන් සැරසී සිටින තම ආදරණීය පුතායි. මේ පුතා මල් කලඹක් සහ කේක් එකක් සූදානම් කර තම මව ඉතා ආදරයෙන් පිළිගත්තා. ඒ මොහොතේ අම්මාගේ දෑසින් සතුටු කඳුළු වැගිරෙන්නට වුණා. වසර 30ක් තිස්සේ දුරු රටක ගෘහ සේවයේ නිරත වෙමින් උපයාගත් මුදලින් තම පුතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න මේ අම්මා දුන් ශක්තිය අද ඵල දරලා.
අම්මාටත්, පුතාටත් ඒ අවස්ථාව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සංවේදී මොහොතක් වුණා. තවත් මොහොතකින් තමන්ගේ මෙහෙයවීමෙන් යුත් ගුවන් යානයෙන්ම තම ආදරණීය අම්මාව මවුබිමට රැගෙන යන්න ඔහු කටයුතු කළා. එවැනි මවකට දැනෙන සතුට කියා නිම කරන්නට වචන නැහැ. මේ සිදුවීම ක්ෂණයකින් මුළු ලොව පුරාම පැතිරෙන්නට වුණේ සමාජ මාධ්‍ය ජාල හරහායි. ඒ සංවේදී අවස්ථාව ගැන බොහෝ දෙනා සිය අදහස් පළකර තිබුණේ අම්මාගේ කැපකිරීම අගය කරමිනුයි.
අප රටේද මවුවරුන් කුවේට්, ඩුබායි, ලෙබනන්, සෞදි අරාබි ඇතුළු මැදපෙරදිග රටවල ගෘහ සේවයට යන්නේ තම දරුවන්ගේ සිහින සැබෑ කරවීමේ බලාපොරොත්තුවෙන්. නමුත් මැදපෙරදිග ගෘහ සේවය ගැන බොහෝ දෙනෙකු තුළ පවතින්නේ ඍණාත්මක අදහසක්. එසේ වුවත් දරුවන්ගේ සුබ සිහින වෙනුවෙන් එවැනි රටවල දුක් විඳින දහසක් අම්මාවරුන්ට අපේ ගෞරවය පුදකළ යුතු නොවේද? ඔවුන් කරනා සේවය අප අගය කළ යුතු නොවේද?
ඉහත සිදුවීමට යම් සමානකමක් දක්වන තවත් සිදුවීමක් පසුගිය දිනෙක අප රටෙන් වාර්තා වුණා. පියෙකු මෙලොව හැර යන විට ඔහුගේ පුතා, පියාගේ එකම සිහිනය සැබෑ කර තිබීම එම සිදුවීමයි. මේ තාත්තාගේ බලාපොරොත්තුව වී තිබුණේ කවදා හෝ දිනෙක තම පුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරනු දැකීමයි. නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වූ මේ පුතා, මියගිය සිය පියාගේ මෘත දේහය නිවෙසේ තිබියදී පසුගිය 22 වැනිදා බංගලාදේශයට එරෙහිව දඹුල්ලේ පැවැති අවසන් තීරණාත්මක තරගයට ක්‍රීඩා කර තම රට ජයග්‍රහණය කරා ගෙනයෑමට කටයුතු කර තිබුණා. මේ පුවත බොහෝ දෙනකුගේ හදවත සංවේදී කළ සිදුවීමක් වුණා. එහිදී බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැති එක්දින තරගාවලිය 2ට 1ක් ලෙස ජයග්‍රහණය කිරීමටයි ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබී තිබුණේ. එහෙත් මේ ජයග්‍රහණය පිටුපස සැඟව තිබුණේ දුක්බර කතාවක්.
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු පවන් රත්නායක ක්‍රිකට් තරගයට සහභාගි වුණේ මහමෙරක් තරම් හිතේ දුකක් සඟවාගෙන. ඒ, තරගය ආරම්භ කිරීමට පෙර තම ආදරණීය පියා ජීවිතයෙන් සමුගෙන ගොස් ඇති බවට වූ පුවත කනවැකීම නිසායි. ඒ ශෝකජනක පුවතෙන් පවන්ගේ හදවත වේදනාවට පත්වූ නමුත් පවන්ට අදිටන් කරගත්තේ තම ආදරණීය පියා වෙනුවෙන්, ඔහුගේ බලාපොරොත්තුව ඉෂ්ට කිරීමටයි. පවන්ගේ පියාගේ එකම සිහිනය වී තිබුණේ තම පුතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩයකු වනු දැකීමයි. කෙසේ වෙතත් පියාගේ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුකිරීමට සමත් වූ මේ තරුණයා ඒ පිළිබඳ පවසා සිටියේ මෙවැන්නකි.
‘තාත්තාගේ එකම බලාපොරොත්තුව වුණේ මම කවදා හරි දවසක ලංකාවේ ක්‍රිකට් ටීම් එකට සෙල්ලම් කරන එක. ඊට කලින් එයා නැතිවුණා. මම පුහුණුවීම් කරද්දී අම්මාට කෝල් එකක් දුන්නා. නමුත් අම්මා මට මුකුත් කිව්වේ නැහැ. මම තාත්තාට ෆෝන් එක දෙන්න කියද්දීත් අම්මා මුකුත් කිව්වේ නැහැ. මට ඒ ගැන ගොඩාක් දුකයි. මම ඒ සිහිනය කවදා හරි දවසක ඉෂ්ට කරනවා. මම දැන් කඩඉමකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම අම්මා එක්ක කතාකරගෙන ඒ මැච් එක ගැහුවා. ඇත්තටම මට තාත්තා වෙනුවෙන් දෙන්න පුළුවන් තාත්තා වෙනුවෙන් ඉෂ්ට කරන්න පුළුවන් දේ තරගය ජයග්‍රාහණය කිරීමයි…’
එම තරගයේදී පවන් පන්දු 56කට ලකුණු 86 රැස්කර කණ්ඩායමේ ජයග්‍රහණයට සුවිශාල දායකත්වයක් ලබාදී තිබුණා. පසුව සිය පියාට අවසන් ගෞරව දැක්වීමට පිළියන්දල පිහිටි සිය නිවෙසට පැමිණියේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ද සමගයි. එහිදී පවන් සිය මව වැලඳගෙන වැළපෙන්නට වුණේ ජයග්‍රහණයේ සතුටට වඩා පියාගේ සමුගැනීමේ ශෝකය ප්‍රබලව ඔහුගේ හිතට දැනී තිබූ නිසයි.
පවන් කියන්නේ මවුපියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කළ හොඳ පුතෙක්. තම ආදරණීය පියා ජීවිතයෙන් සමුගෙන ගොස් සිටි අවස්ථාවක වුණත් තම වගකීම අත්නොහැර ඉටුකළ පවන් වැනි දරුවන් අපේ රටට ආඩම්බරයක්.
අම්මා තාත්තා කියන්නේ දරුවකුගේ ජීවිතයේ හිරු සහ සඳුයි. මේ හිරු සඳු නැත්නම් දරුවකුගේ ජීවිතය එළිය වෙන්නේ නැහැ. මවුපියන්ට වාරු නැති වූ දවසක ඔවුන්ව ආදරෙන් රැකබලා ගන්න ඔවුන් වෙනුවෙන් ඔබට කළහැකි හැම කැපකිරීමක්ම කරන්න. හැම යුතුකමක්ම ඉටුකරන්න. එසේ නොකළොත්, ඔවුන් ඔබව අත්හැර ගිය දවසක ඔබට පසුතැවෙන්නට සිදුවේවි.
නිලන්ති රේණුකා










