ගංවතුරේ මෙන්ම බැසයන ගංවතුරේ සෙල්ලම් කිරීමට ගොස් මේ දිනවල පැතිරී යමින් තිබෙන රෝගවලට ගොදුරු නොවන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. (Sri Lanka Latest News)
වර්ෂාවත් සමග පාචනය, අතීසාරය, මී උණ, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග පැතිරී යෑමේ අවදානමක් මතුව ඇති බැවින් අපිරිසුදු ආහාර, අපිරිසුදු ජලය භාවිතයෙන් වැළකී උණු වතුර පානය සහ පිසූ ආහාර ලබාගැනීමට පෙලඹීමෙන් එම රෝගවලින් ආරක්ෂා වීමට හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මඩ සහිත ජලයේ සෙල්ලම් කිරීමෙන් මී උණ වැලඳීමේ අවදානමට ලක්විය හැකි බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
පාචනය, වමනය වැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් ජීවනී, බැඳිහාල් කැඳ පානය කරන ලෙසත්, තෙල් සහිත ආහාරවලින් වැළකී මුව ආවරණ භාවිතයට යළි නැඹුරු වන ලෙසත් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දැනුම් දුන්නේය.
ඩෙංගු මදුරුවන් සිටින ස්ථාන පිරිසුදු කරගැනීමද ජීවිත අවදානමෙන් වැළකීමට එක් මාර්ගයක් බවද ඔහු පෙන්වා දී ඇත.
ප්‍රේමලාල් විජේරත්න










