මෙරට වයස අවුරුදු 60ට වැඩි ජනගහනය ලක්ෂ 32කට ආසන්න වන අතර, ඔවුන්ගෙන් 34%ක පිරිසක් ජීවත් වන්නේ තමන් සතු මුදල් ස්ථාවර තැන්පතු ලෙස බැංකුවල තැන්පත් කර එයින් ලැබෙන පොලියෙන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)
පසුගිය කාලය පුරා ලංකාවේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍ර ලෙස වර්ධනය වූ අතර, අවුරුදු 55ට වැඩි පිරිස මේ වන විට ලක්ෂ 39 ඉක්මවා ඇත.
එසේම අවුරුදු 65ට වැඩි ජනගහනය ලක්ෂ 25 ඉක්මවා ඇත.
මෙම ජනතාවට නිශ්චිත ආදායම් මාර්ග නොමැති අතර, එහි සැලකිය යුතු පිරිසක් තමන් සතු මුදල් බැංකුවල තැන්පත් කිරීම තුළින් ලැබෙන පොලී ආදායමෙන් දිවි ගෙවන බව සඳහන්ය.
එහෙත් මේ වන විට ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය 9% දක්වා පහත දමා ඇත. මේ නිසා ඔවුන්ගේ ආදායම් සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇත.
සාමාන්‍යයෙන් ලක්ෂ 10ක තැන්පතුවක් පවත්වාගෙන යන අයකුට පොලිය ලෙස මාසිකව ලැබෙන්නේ රුපියල් 7,500ක් වැනි මුදලකි.
එහෙත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන මෙම දරිද්‍රතා මායිම 2024 මාර්තු මාසය වන විට වාර්තා වන්නේ රුපියල් 16,619ක් වශයෙනි.
මේ අනුව පුද්ගලයකුට ජීවත් වීම සඳහා අවශ්‍ය අවම ආදායමක්වත් ඔවුන්ට නොලැබෙන අතර, ඒ තුළින් වැඩිහිටි ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න









