අපි දන්නවා ශ්‍රී ලංකාව තියෙන්නෙ පණ අදින තත්ත්වයක. එක එක තාලෙට ලෙඩ හොඳ කරන්න කියලා ආපු දොස්තර මහත්තුරු කළේ ලෙඩ්ඩුන්ගෙ වකුගඩුවෙ ඉඳලා විකුණ ගත්ත එක. ලෙඩාගෙන් හම්බකරගෙන කාපු එක. ලෙඩාගෙන් පොඩි සොමියක් ගත්ත එක. ලෙඩා තව තවත් ලෙඩ වුණ එකයි වුණේ. ලෙඩාගෙ ලෙඩේ ගැන හොයන්න කියලා ආපු හුඟාක් දොස්තර මහත්තුරු ලෙඩේ වවාගෙන කෑවා.(Sri Lanka Latest News)
හැමෝම පාවිච්චි කළේ ලෙඩා මළත් බඩ සුද්දයි කියන න්‍යායෙ වැඩ. අවාසනාවකට අපිත් හිටියෙ ලෙඩා මැරුණත් ඒ මැරුණ විදිය දොස්තර මහත්තයගෙ දක්ෂතාවක් මත වුණ දෙයක් කියලයි. ඒ නිසා දොස්තරලා දොස්තරලාගෙ ආතල් එක ගත්තා. දොස් තර වුණා. ලෙඩ පණ අදින ගානටම ආවා. දැං ඉන්නෙ ඒ ගානටම පත්වෙලා.
ඔය අස්සෙ ලංකාවෙ වෙච්ච නරකම දේ වෙන්නෙ රෝහල්වල. ඔබට මතකද අද වෙනකොට කීදෙනෙක් රෝගීන් රෝහල ඇතුළෙ මියගිහිල්ලද? කිරිසප්පයො පවා මියගිහිල්ලා ඉවරයි. ඒ මරණ හරිම සැහැල්ලුවෙන් විස්තර කරන්න අපේ බලධාරීන්ට පුළුවන්. අපි හිතන්නෙ ඒ මහත්වරු නෝනාවරු අනිත්‍ය බව ප්‍රගුණ කරලා කියලා. තමන්ගෙ ජීවිතවල වටිනාකම මෙනෙහි කරන බව අනුන්ගෙ ජීවිත ක්ෂිණිකව නැති වෙන බව ඒ මහත්වරු දැනගෙන. ඒ නිසා දුකක් වේදනාවක් නෑ.
ඔය අස්සෙ අපිට දොස්තරලා අහිමි වීගෙන යනවා. දිගින් දිගටම ඒ අය ලංකාව අතැරලා යනවා.
‘ඒ යන්නෙ ඉගෙන ගන්නනෙ…’
කියන එක බොරුවක් නෙවෙයි. ඒත් ඇත්තටම අපි දන්නවා ඒ මිනිස්සු යන්නෙ මේ රට එපාම වෙලා කියන එක. ඒ එපාවෙලා ඒ මිනිස්සු යන්නෙ සැනසිල්ල හොයාගෙන. ලොකු සල්ලි බාගෙම නෙවෙයි, හැදියාවක් තියෙන මිනිස්සු එක්ක ජීවිත් වෙන එක පහසු බව ඔවුන් කියනවා. විනයගරුක රටවල සුවපහස ලැබෙනවා නම් මේ රටෙන් යන එකට හිත හදාගන්න අමාරු වුණත් කරන්න දෙයක් නෑ. ඒ නිසා දොස්තරලා රටෙන් ගියා කියලා බොරුවට එක එක සෙල්ලම් දාලා කෑකෝ ගහලා වැඩක් නෑ. එයාලා යනවා. එයාලා එයාලට ආදරය කරන එයාලගෙ මිනිස්සුන්ව අරගෙන යන්න යනවා.
එක කාලයක් ඔබට මතක ඇති ළමා රෝග විශේෂඥවරු ලංකාවෙන් ගියා. දරුවො වෙනුවෙන් ප්‍රතිකාර කරගන්න බැරිවුණා. දරුවො අසරණ වුණා. ප්‍රමාණවත් දොස්තරලා නැතිව රෝහල් ගානක් අවුලෙන් අවුලට පත්වෙන්න ගත්තා. ඒ වෙලාවෙවත් මේක වෙන්නේ ඇයි කියලා හිතන්නෙ නැතිව විකල්ප සකස් කරන්නෙ නැතිව බලධාරීන් ඇඟ බේරගත්තා.
ඊළඟට හම්බන්තොට රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා ලංකාවෙන් ගියා. ඔහු පැදුරටත් නොකියා පලායන්නෙ රෝගීන් දහස් ගානක් මරණය ළඟ දාලා. ඒ වෙනකොටත් ලංකාව රෝගීන් මියයන රටක් වෙලා තිබ්බෙ. විශේෂයෙන්ම රෝගීන් කීපදෙනෙක්ම නිර්වින්දන එන්නත විද්දට පස්සෙ ආයෙ ගෙදර ගියේ නෑ. මේ විදියෙ සිදුවීම් ගානක්ම ලංකාව පුරා රෝහල්වලින් වාර්තා වෙන පසුබිමකයි මේ වෛද්‍යවරයා නොකියාම පලායන්නෙ.
සාමාන්‍යයෙන් සේවයෙන් ඉවත් වීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා මාස තුනකට පෙර දැනුම් දීම වගේ සාමාන්‍ය ක්‍රමවේද තියෙනවා. ඒකට හේතුව ඔහු හෝ ඇය යන බව කිව්වම බලධාරීන්ට පුළුවන් විකල්පවලට යන්න. ඒත් එහෙම නොකියා අතුරුදන් වුණාම සාමාන්‍ය ක්‍රමවේදය නම් ඔවුන් යම් වරදකට දඬුවමක් ලැබිය යුතුයි. පුද්ගලික ආයතනවල නම් මේ වගේ තත්ත්වයකදී මාස කීපයක වැටුප සහ තව ගෙවීම් කීපයක් නීතියෙන්ම අයකරගන්න පුළුවන්. නමුත් මේ වගේ අතිශය අවදානම් රැකියාවකට සහ ඉහළ වරප්‍රසාද ලබාදී ඇති අයෙක්ට එහෙම එකක් නෑ කියන එක ගැන සන්තෝෂයි. හැබැයි එහෙම හිතන කොට ජීවිතේ ගැන හරි බයයි.
හිටපු නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාම රට හැරයාම හේතුවෙන් වැඩ රාජකාරී අධික වීම නිසා ඇඹිලිපිටිය මහ රෝහලේ සේවය කරපු එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියත්, දවස් කීපයක් තිස්සෙ රාජකාරියට වාර්තා නොකර ඉන්න තීරණය කරලලු. ඒ නෝනා වෙනත් අයකුගේ වට්ස්ඇප් අංකයකින් රෝහල් බලධාරීන් වෙතට දැනුම්දීමක් සිදුකර ඇත්තේ නැවත සේවයට නොපැමිණෙන බව.
පහුගිය සිකුරාදා ඉඳලා විශේෂඥ වෛද්‍යවරිය රෝහල වෙත වාර්තා නොකිරීම හේතුවෙන් මේ වෙනකොට ඇඹිලිපිටිය මහ රෝහලේ හදිසි ශල්‍යකර්ම නතරකිරීමට සිදුවෙලා. ඒ හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වෙලා කියලයි කියන්නෙ. ඇත්තටම ඒ අර්බුදයෙන් වෙන්නෙ මහ ලොකු දෙයක් කියලා කාටවත් හිතෙන්නෙ නෑ. ඒ නිසා කලබල වෙන්න තරම් කාරණාවකුත් නෑ. මොකද ඕවයෙන් මහ එවුන්ගෙ කවුරුවත් මැරෙන්නෙ නෑ. මැරෙන්නෙ අපේ පන්තියෙ අපි වගේ අහිංසකයන්. මහ එවුන් වෙනුවෙන් නිර්වින්දනය කරන්න ඔය නෝනලා මහත්තුරු පුද්ගලික රෝහල්වල ‘වර්ක් ලෝඩ්’ කොහොම හරි දරාගෙන වැඩකරගෙන යනවා.
දැන් ඇඹිලිපිටිය මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට සහ ශල්‍යාගාර දෙක සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
මීට කලින් මේ රෝහලේ හිටපු නිර්වින්දන වෛද්‍යවරුන්ගෙන් එක්කෙනෙක් 2022.10.01 ද විදේශගත වෙලා. ඉන් පස්සෙ 2023.04.10 දී තවත් නිර්වින්දන වෛද්‍යවරයකු යන්න ගිහිල්ලා.
ඒ වෛද්‍යවරුන් මේ දක්වා යළි මෙරටට පැමිණ නොමැති බව දැනගන්න තියෙන්නෙ. එයාලා නොආව කියලා එයාලගෙ යාළු මිත්‍රාදීන් මිය නොයන බව එයාලා දන්නවා. ඒ වගේම එයාලා ආවාම එයාලට අවම වශයෙන් මනුස්සයෙක්ට ලැබිය යුතු ජීවත් වීමේ වුවමනාවන් ටිකවත් නොලැබෙන බවත් දන්නවා. මේ රටේ මහ එවුන් ඔය වගේ යන අයව ගෙන්න ගන්න උත්සාහ නොකරන බවත්, යන අයට නොයන්න පරිසරයක් හදන්න ඕනෙ කියලා නොහිතන බවත් අපි දන්නවා. ඉතිං ඇයි එයාලා එන්නෙ. එක්කො නීතිය ක්‍රියාත්මක කරලා මොකක් හරි උපක්‍රමයක් හදන්න ඕනෙ. නැත්නම් ඒ මිනිස්සුන්ට ඉන්න පුළුවන් තත්ත්වයක් රටේ හදන්න ඕනෙ.
කොහොම වුණත් දැන් ඇඹිලිපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ශල්‍යකර්ම සිදුකිරීම සඳහා රත්නපුර සහ කරාපිටිය රෝහල් වෙත මාරුකර යැවීමට සිද්ධ වෙලාලු. මේවායේ පෝලිම් දික්වෙලා සාමාන්‍ය රෝගීන් පවා මියයන්න පුළුවන්. ඒ වගේම ඉතාම ඉක්මනින් ඔය රෝහල්වල කට්‍ටියත් වර්ක් ලෝඩ් එක වැඩියි කිව්වම ඒ ප්‍රදේශවල ඉන්න මැතිඇමැතිවරුන්ට භාරදෙමු නිර්වින්දන වැඩේ. එයාලා කරයි ඕක හරිම ලේසියෙන්. මොක ද මෙච්චර තක්කඩි වෙලත් රටේ උන් මේ යක්කුන්ට ආදරේ කරනවා කියන්නෙ එයාලා පියවි සිහියෙන් ඉන්නව වෙන්න බෑනෙ. නිර්වින්දනය වෙලාමයි ඇත්තෙ…
ජීවන පහන් තිළිණ










