‘අපි යුද්ධය දින්නා. අපි යුද්ධය දින්නා…’
‘අපි කොටි මැරුවා, අපි කොටි මැරුවා…’ යැයි අණබෙර ගසමින් හොරණෑ වයමින් සිටීම අපගේ බොහෝ පවුල් පාර්ශ්වික දේශපාලකයන්ගේ සිරිත විය. කොටි ත්‍රස්තවාදීන්ගේ යුද්ධය දිනාගැනීම අප ගෞරවයෙන් සිහිපත් කරන අතර එය අවතක්සේරු කිරීමට අපට අවශ්‍ය නැත. එහෙත් යුද්ධය නිමාවී වසර ගණනාවක් යන තෙක්ම එම ක්‍රියාවලිය ගැන මහා ශබ්ද ඝෝෂා නැගීම අහේතුක කාර්යයකි. මෙවැනි සමාජ වටපිටාවකදී මෙම පවුල් පාර්ශ්වික දේශපාලකයෝ ජනතාව මානසික යුද්ධයක පටලවා තැබීමට උත්සාහ කළහ. යුද්ධය නිමාවීමෙන් පසුවත් ජනතාවගේ අනෙකුත් එදිනෙදා ඕනෑ එපාකම් ගැන සොයා බැලීමට ඔවුන් කටයුතු කළේ නැත. යුද්ධයට තිත තැබීම නිසා ඉතිරි වූ මහා ධනස්කන්ධය නිසි ලෙස භාවිත කිරීමට කිසිදු බුද්ධිමත් ක්‍රමවේදයක් නොවීය. එනම් යුද්ධය නිමවීමෙන් පසු සාමය තුළදීද ජනතාවගේ ජීවන වියදම ඉතාමත් පහළ ගිය බව එම අතීත දත් වාර්තා දුටු විට පෙනී යයි. මෙම පවුල් පාර්ශ්වික දේශපාලකයන් එවිට සිදුකළේ කිසිදු තඹදොයිතුවකටවත් ප්‍රයෝජනයක් නැති මහා ව්‍යාපෘති සඳහා සුවිශාල මහජන මුදල් ධනස්කන්ධයක් වැය කිරීමය. ‘අපේ කාලයේ රන්බිම’ යැයි කියූ හම්බන්තොට ප්‍රදේශය තුළට මෙවැනි මහා ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරුණු අතර ඒවා ටික කාලයකින් බලු නගුටන් ලගින බිම් බවට පත්විය. අදටත් එම ප්‍රදේශවලදී මෙම දසුන් ඉතා පැහැදිලිව දක්නට හැකිය. අද බොහෝ පාර්ශ්ව දිවා රාත්‍රියේදී චෝදනා කරන ආකාරයට මෙම සුවිශාල ව්‍යාපෘති මගින් මහා ධනකුවේරයන් බවට පත්වුණේද මෙම දේශපාලකයන්මය. අද ඔවුන් අතැමකුගේ නම්ගම් ජාත්‍යන්තරයේ පැන්ඩෝරා සහ පැනමා පත්‍රිකාවලද මුද්‍රණය වී හමාරය.
අද අපේ රටේ මෙම ශෝචනීය තත්ත්වයට කිසිදු නිමාවක් පෙනෙන තෙක් මානයකවත් නැත. එම තත්ත්වය හෝරාවෙන් හෝරාවට උග්‍ර වෙමින් පවතී. එසේ සිදුවීමට ප්‍රධාන වන්නේ එය එකම බෝට්ටුවේම දේශපාලකයන් විසින් තවද මෙරට පාලනය කිරීම නිසාය. එදා ජාතික ඇඳුම් ඇඳ සාටක පැලඳි දේශපාලකයන් සිටි මහා පුටුවල අද වාඩිවී සිටින්නේ ටයි කෝට් කලිසම් ඇඳි දේශපාලකයන්ය. කෙසේ හෝ මෙවැනි වටපිටාවකදී පසුගිය කාලයේදී සිදුවූ ජන අරගල හේතුවෙන්ද ප්‍රබල දේශපාලකයන් එම පුටුවලින් විසිවී ගියේය. එහෙත් ඒ සෙවණැලි දිගින් දිගටම හොල්මන් කරන ආකාරය තවම දක්නට හැකිය. මේ අතර ලෝකයේ කිසිදු ජාත්‍යන්තර ප්‍රජාවක් මෙරටට උදව් කළේ නැත. පසුගිය මාස කිහිපයක කාලයක් ඉන්දියාව හෝ යම් උදව්වක් නොකළේ නම් මේ වන විට තත්ත්වය තවත් ශෝචනීය වනු ඇත. එහෙත් දැන් ඉන්දියාවද නැත. මේ වන විට මෙරට රාජ්‍ය පාලකයන් සම්පූර්ණයෙන්ම පත්ව තිබෙන්නේ හද්දා රූකඩ බවටය. ඔවුන් තුළ කිසිදු ප්‍රාණයක් ජීවයක් ඇත්තේම නැත.
මෙරට තුළ දැනට වේදිකාගත වන මෙම ඛේදනීය නාටකය ගැන යමක් ලියා තැබුවේ හදවතින්ම නැගෙන කනගාටුව මතය. එසේම මෙම වදන් යමක් ලියා තබන්නට හේතුවූ අනෙක් ප්‍රධානම කරුණනම් මෙයට දින කිහිපයකට ඉහතදී ජාත්‍යන්තරය තුළින් අසන්නට සිදුවූ යම් වගතුගක් හේතුවෙනි. එනම් එය ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරයෙන් අසන්නට ලැබුණු අලුත්ම ශෝචනීය කතාන්දරය වෙයි. ශ්‍රී ලංකාව යනු ලෝකයේ සියලු රටවල් අතරින් ආහාර උද්ධමනය වැඩි රටවල් අතර පස්වැනි ස්ථානයට පත්වීම එම පුවත වෙයි. එනම් ලෝකයේ රටවල් 195ක් අතරින් ශ්‍රී ලංකාව 05 වැනි ස්ථානයට පත්ව ඇත. එහිදී එම ලැයිස්තුවේ අප රටට ඉහළින් සිටින්නේ රටවල් 04ක් පමණක් වන අතර අපට පසුව රටවල් 190ක් වෙයි. අපට මෙම ජාත්‍යන්තර තක්සේරුව ලබාදී තිබෙන්නේ ලොව පිළිගත් ප්‍රධාන පෙළේ සංවිධානයක් වන ලෝක බැංකුව විසිනි. මෙයට දින කිහිපයකට ඉහතදී ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නිල දත්ත වාර්තාවට අනුව මේ බව ප්‍රකාශ වී ඇත. ලෝක බැංකුවට එහා බැංකුවක් ලෝකයේ නැතැයිද කියමනක් ඇත. එහෙයින් මෙම මහා ජාත්‍යන්තර සංවිධානයේ නවතම තක්සේරුව අප ඉස්මුදුනින්ම පිළිගත යුතුය. කෙසේ හෝ මෙම ශෝචනීය තත්ත්වය අද ආන්දෝලනාත්මක වගතුගක් බවට පත්වී ඇත.
ලෝක බැංකුවේ මෙම ජාත්‍යන්තර තක්සේරු කිරීමට අනුව ලෝකයේ ආහාර උද්ධමනය අතිශයින්ම අධික රට ලෙස නම්කර ඇත්තේ ලෙබනනයයි. එනම් ලෙබනනය අංක එකට ඇති අතර, ඉන් පසුව පිළිවෙළින් 2,3,4 යන ස්ථානවලට සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය පත්ව ඇත. එහිදී ලෝක බැංකුව දක්වන ආකාරයට එම දත්තයන් මෙසේ පෙළගස්වා ඇත.
• ලෙබනනය – 332%
• සිම්බාබ්වේ – 309%
• වෙනිසියුලාව – 155%
• තුර්කිය – 95%
• ශ්‍රී ලංකාව – 91%
• ඉරානය – 90%
• ආජන්ටිනාව – 66%
• සුරිනාම් – 38%
• ඉතියෝපියාව – 38%
• මෝල්ඩෝවා – 34%
දැන් ඉහත එම රටවල් 10 ලැයිස්තුව හොඳින් නිරීක්ෂණය කරන්න. ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය ඉතා ශෝචනීය අයුරින් ඉහළ ගොස් ඇත. මෙහිදී ප්‍රධානතම ස්ථාන 03ට තිබෙන රටවල අගය ඉතා ඉහළය. එහෙත් තුර්කිය සහ ශ්‍රී ලංකාවේ අගයන් බොහෝ සමාන තත්ත්වයක ඇත. එහෙයින් බොහෝ විට තවත් සති දෙකකින් පමණ අප ශ්‍රී ලංකාව 04 වැනි ස්ථානයටද පත්වීමේ අවදානම ඇත. දැන් මෙම නිල වාර්තාවට අනුව ඉතියෝපියාව ඇති ස්ථානය නිරීක්ෂණය කරන්න. එසේම එම ආහාර උද්ධමන ප්‍රතිශතයද බලන්න. එය දුටු විට පැනනැගෙන්නේ මහා ශෝකයකි. අප ඉතියෝපියාව ගැන කෙතරම් දේ කතාකර ඇද්ද? එසේම මුළු මහත් ලෝකයමද ඉතියෝපියාව ගැන කතා කර ඇත. ඒ, ඉතියෝපියාවේ දරිද්‍රතාවත්, ආහාර අගහිඟතා ගැනත්ය. ශ්‍රී ලංකාවත් ඉතියෝපියාවක් වෙයිද? යනුවෙන් අප බොහෝ අවස්ථාවලදී කතා කර ඇත. එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? ඉතියෝපියාවත් අභිභවමින් අපගේ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය අතිශය දරුණු ආකාරයෙන් ඉහළ නැග ඇත. තවද ඉතියෝපියාව සිටින්නේ 38%ක ප්‍රතිශතයකය. අප සිටින්නේ 91%ක ප්‍රතිශතයකය. කෙසේ හෝ ඉතියෝපියාව යනු දුප්පත් රටකි. එහි ඒකපුද්ගල ආදායම ශ්‍රී ලංකාවට වඩා තුන්ගුණයකින් අඩුය. එහෙත් ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය ඉතියෝපියාවට වඩා තුන්ගුණයකට ආසන්න අගයකින් වැඩිය.
අද ශ්‍රී ලංකාවේ ආහාරවල මිල ගණන් ලියන්නට ගියහොත් මෙහි ඉඩකඩ මදිවනු ඇත. එසේම එම බොහෝ ආහාර මිල ගණන් ඔබද හොඳ හැටි දන්නේය. එහෙත් අප සාමාන්‍ය අයුරින් පාන් ගෙඩියක මිල ගණන් බලමු. අද පාන් ගෙඩියක් රුපියල් 200ක මුදලක් වී ඇති බව අදහාගත හැකිද? පාන් ගෙඩියක් තබා පාන් භාගයක්වත් මිලදී ගැනීමට ජනතාවට හැකිද? අප වැනි මධ්‍යමපාන්තික මිනිසුන් මෙවැනි තත්ත්වයන්ට මුහණ දෙන්නේ කෙසේද? එහෙත් වත්මන් පාලකයන් මේ තත්ත්වය යටතේ සිටින්නේ ‘අඳ ගොළු බිහිරන්’ සේය. මෙම නිහීන පාලකයන් මෙලෙස අහිංසක ජනතාව මහා අගාධයකට ඇද දැම්මේ ඉතා කෙටි කාලයක් තුළදීය. එහෙත් ඔවුන් විසින් දීර්ඝ කාලයක් පුරා සිදුකළ මහා දූෂණ, වංචා සහ අනෙකුත් මුග්ධ ක්‍රියා හේතුවෙන් ජනතාව ඉතා ඉක්මනින්ම වළ පල්ලට ගියේය. අද මොවුන් විසින් ජනතාවට ලබාදී ඇති පවු ඔවුන්ට ගෙවා දමන්නට නිරයන් තුන හතරක් හෝ මදිය. ඔවුහු එහෙත් තවමත් වැජඹෙමින් සිටිති.
මෙලෙස ශ්‍රී ලංකාවේ උද්ධමනය අතිශයින් ඉහළ යන්නට ප්‍රධානතම හේතුව ලෙස ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන අසීමිත මුදල් නෝට්ටු මුද්‍රණයයි. දැනට වසර දෙකක පමණ කාලයක සිට එනම් වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව මෙසේ මුදල් නෝට්ටු මුද්‍රණය කිසිදු සීමාවකින් තොරව සිදුකරන්නට ගත්තේය. අද දිනපතා අදහාගත නොහැකි ආකාරයෙන් දිනකට රුපියල් බිලියන 4.2ක මුදල් නෝට්ටු මහ බැංකුව විසින් මුද්‍රණය කරනු ලබයි. මෙලෙස අසමතුලිත ආකාරයට ආර්ථිකය පත්වන විටදී උද්ධමනය ඉහළ යන බව ආර්ථික විශේෂඥයන් පුන පුනා ප්‍රකාශ කර සිටියේය. එසේම ශ්‍රී ලංකාව තුළ විදේශ සංචිත නැත්තටම නැතිවී යෑමද මෙලෙස උද්ධමනය ඉහළ යෑමට බලපා ඇත. එනම් විදේශ රටවලින් බඩු භාණ්ඩ ආනයනය කිරීමට නොහැකි වීම එයට හේතුවයි. එසේම ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ආහාර නිෂ්පාදනයද දරුණු ලෙස පහත වැටීම උද්ධමනයට තවත් හේතුවක් ලෙස පෙන්වාදී ඇත. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය පසුගිය 2022 මැයි මාසය වන විටදී තිබී ඇත්තේ 57.4%ක අගයකට වන අතර, එය 2022 ජුනි මාසය වන විට 80.1%ක් දක්ව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. ඉන් පසුව පසුගිය ජූලි සහ අගෝස්තු වන විටදී එම අගය 91% දක්වා ඉහළ නැග්ගේය. මේ අතර 2022 මැයි මාසයේදී සමස්ත උද්ධමනය 39.1%ක් වූ අතර, එය ජුනි මාසය වන විටදී 54.6%ක් දක්වා ඉහළ නැග්ගේය. කෙසේ හෝ දැන් ජූලි-අගෝස්තු වන විටදී සමස්ත උද්ධමනය 65%ක ප්‍රමාණයකට ඉහළ ගොස් ඇත. තව නුදුරු කාලයකින් සමස්ත උද්ධමනය 75% අභිභවා යන අතර, ආහාර උද්ධමනය 100%ක් අභිභවා යන බවටද ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා ඇත. දිනෙන් දින එය සිදුවෙමින් පවතී.
උද්ධමනය යනු අඛණ්ඩ සහ නිරන්තර සාමාන්‍ය මිල මට්ටමේ ඉහළ යෑමක් ලෙස නිර්වචනය කළ හැකිය. යම් කිසි කාලපරිච්ඡේදයක් තුළ ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැඳින්වෙයි. තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම උද්ධමනය ලෙස සලකන්නේ නැත. උද්ධමනය රටින් රටට වෙනස් වෙයි. ලෝකයේ දියුණු රටවල උද්ධමනය 3%, 5% වැනි මට්ටමක පවතී. එය සාමාන්‍ය තත්ත්වයකි. නමුත් එය 8%, 10% වැනි තත්ත්වයට පත්වේ නම් එය උද්ධමනයේ සැලකිය යුතු තත්ත්වයකි. එසේම එය 10% සීමාවෙන් ඉහළට යන්නේ නම් එය අධි උද්ධමනය ලෙස සැලකෙයි. ලෝකයේ ආර්ථික විශේෂඥයන් මෙම උද්ධමනය කාණ්ඩ 03කට වර්ග කර ඇත.
- මන්දගාමී උද්ධමනය
- ජවන උද්ධමනය
- අතිධාවන උද්ධමනය
එසේ නම් ශ්‍රී ලංකාවේ තිබෙන්නේ කුමන වර්ගයේ උද්ධමනයක් දැයි ඔබට අමුතුවෙන් කිවයුතු නැත. මෙකල ශ්‍රී ලංකාවේ ඇත්තේ අතිධාවන උද්ධමනයක් යැයි ආර්ථික විද්වතුන් ප්‍රකාශ කර සිටියි. එනම් ශ්‍රී ලංකාව තුළ මෙම උද්ධමන ප්‍රතිශතය දිනෙන් දිනම උච්ච වන ආකාරයක් දක්නට හැකිය. එය මාස 03ක පමණ කාලයක දත්ත පමණක් ගත් විට හොඳින්ම පෙනෙයි. 1970 දශකය කාලයේදී පමණ ශ්‍රී ලංකාවේ තිබී ඇත්තේ මන්දගාමී උද්ධමනයකි. එහෙත් පසුව 2000 වසර පසුවන විටදී උද්ධමනය ජවන උද්ධමනයක් බවට පත්ව ඇත. අද එතැනින්ද නොනැවතී වත්මන් රජය යටතේදී එය අතිධාවන උද්ධමනයක් බවට පත්ව ඇත.
ලෝකයේ උද්ධමනය අතිශය අධික රටවල් කිහිපයක් ගැන අප කතා කළෙමු. එසේනම් ලෝකයේ උද්ධමනය ඉතා අඩු රටවල් කිහිපයක් ගැනද අපි සොයා බලමු. එනම් 2021 වසරේදී සමස්ත උද්ධමනය ඉතා අවම ප්‍රධාන රටවල් කිහිපයක් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
• ජපානය – 2.6%
• චීනය – 2.7%
• සෞදි අරාබිය – 2.7%
• ස්විට්සර්ලන්තය – 3.4%
• ඉන්දුනීසියාව – 4.9%
• ඔස්ටේ්‍රලියාව – 6.1%
• ප්‍රංශය – 6.1%
• දකුණු කොරියාව – 6.3%
• ඉන්දියාව – 6.7%
• සිංගප්පූරුව – 7.0%
• ජර්මනිය – 7.5%
• කැනඩාව – 7.6%
• දකුණු අප්‍රිකාව – 7.8%
• ඉතාලිය – 7.9%
• මෙක්සිකෝව – 8.2%
• ඇමෙරිකාව – 8.5%
• එංගලන්තය – 10.1%
• නෙදර්ලන්තය – 10.3%
• ස්පාඤ්ඤය – 10.8%
• රුසියාව – 15.1%
දැන් ඔබට මේ තත්ත්වය හොඳින්ම පැහැදිලි වනු ඇත. හොඳින් බලන්න. අපේ යාබද ඉන්දියාවේ පවා සමස්ත උද්ධමනය 6.7%ක් පමණ වෙයි. එසේනම් අප සිටින්නේ කොතැනකද?
ලෝක බැංකුව මෙම දත්ත වාර්තා ලබාදෙන්නේ බොහෝ සමීක්ෂණාත්මක පසුබිමක් යටතේය. ලෝක බැංකුව යනු ලෝකයේ අංක එකට තිබෙන ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය වෙයි. දැනට වසර 76ක ඉතිහාසයක් ඇති මෙම ආයතනය ආරම්භ කරන ලද්දේ 1945 වසරේදීය. එහිද ප්‍රධාන මූලස්ථානය පිහිටා තිබෙන්නේ ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේය. මෙම සංවිධානය තුළ ලෝකයේ රටවල් 189ක් සාමාජිකත්වය ලබා ඇති අතර ශ්‍රී ලංකාවද එහි සාමාජිකයෙකි. මෙම සංවිධානයේ 13 වැනි වත්මන් සභාපතිවරයා වන්නේ ඇමෙරිකානු ජාතික ඩේවිඩ් මැල්පාස් වන අතර ප්‍රධාන විධායක ධුරය දරන්නේ බල්ගේරියානු ජාතික කාන්තාවක් වන ක්‍රිස්ටලිලා ජියෝර්ජිවා වෙයි. ලෝක බැංකුවේ ශාඛාවක් ශ්‍රී ලංකාව තුළද පිහිටුවා ඇති අතර එහි ප්‍රධානත්වය දරන්නේ චියෝ කැන්ඩා නමැති ජපන් ජාතික කාන්තාවකි. ලෝක බැංකුව දැනට දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවට ආර්ථික සහ මූල්‍යමය ආධාර සපයයි. එහෙත් මේ ශ්‍රී ලාංකික අර්බුදය හමුවේ එම සංවිධානය ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබාදීම ඉතා අවම කළේය. එයට හේතුව ලෙස ලෝක බැංකුව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික රටාව නිසායාකාර ලෙස ස්ථාවර වන තෙක් ආධාර ලබා නොදෙන බවය. පසුගියදා වත්මන් රජය පුළුල් ප්‍රචාරයක් කරමින් කියා සිටියේ මෙම අර්බුදය හමුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදෙන බවය. එතේ එම පුවත පළවී දිනක් ගතවීමට මත්තෙන් ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම පුවත සාවද්‍ය එකක් බවය. මේ ආකාරයට රජය විසින් ලෝක බැංකුවද ගොනාට ඇන්දවීමට උස්තාහ දැරීය. එම සිදුවීම ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක්ද විය. කෙසේ හෝ වත්මන් රජය කිසිදා සැබෑ නොවන සිහින මවමින් සිටින බව නම් පැහැදිලිය.
ප්‍රියන්ත හෙට්ටිගේ