කුඩු මාෆියාව ඊළඟට මෙහෙම කරන්නේ මොන රටේද?
‘මම දේශපාලකයෙක් වුණේ මම පත්තරකාරයෙක් වුණාට පස්සෙයි. මම හැමදාම ජනතාව වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යකරුවෙක්. මත්ද්‍රව්‍ය දේශපාලනයට සහ මාෆියාවට එරෙහිව මම පසුගිය වසර 20ක්ම පුවත්පත් කලාව තුළින් මගේ සටන ගෙනගියා. මේ රටේ සමහර බලගතු දේශපාලකයන් සිටින්නේ මත්ද්‍රව්‍ය මාෆියාව සමගයි. මම ඒ රහස් රාශියක්ම හෙළිකළා. මෙක්සිකානු සිනලෝවා මත්ද්‍රව්‍ය සංවිධානය අද අපේ ඉක්වදෝරයේත් මුල් බැහැගෙන.(Sri Lanka Latest News)
කාලයක් පුරාම අපේ රටට දරුණු විදියට මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය තිබුණේ නැහැ. සිනලෝවා කල්ලියේ පාතාල නායකයන් ගැන රහස් හෙළිකළා. එම කල්ලියේ ප්‍රධාන සන්නද්ධ අංශ නායකයා අද මෙක්සිකෝවේ සිරගත කර සිටිනවා. මට ඔහුගෙන් කිහිප වතාවක්ම මරණ තර්ජන ආවා. ඒත් මම පත්තරවල ලියන එක නැවැත්තුවේ නැහැ. මම මේ මත්ද්‍රව්‍ය කල්ලි නායකයන්ට බිය මිනිහෙක් නෙවෙයි. සාපරාධී ව්‍යුහයන්ට එරෙහිව මම වසර 20ක් සටන් කළා. මම නැවත නැවතත් කියන්නෙ කිසිවකුගේ තර්ජන ගර්ජනවලට මම බිය වන්නේ නැහැ….’
මෙම එඩිතර වදන් ප්‍රකාශ කරන නිර්භය මිනිසා කවරෙක්ද? අපට එතෙරින් ඇසෙන මෙම වගතුග සුවිශේෂ එකකි. මෙම නිර්භය මිනිසාගේ නම ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝ (Fernando Villavicencio)ය. ඔහු දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන ඉක්වදෝරයේ වැසියෙකි. ඔහු වෘත්තියෙන් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අයෙකු වූ අතර, පසුව දේශපාලනයට පිවිස දේශපාලකයකු ලෙස ජනතාව අතර ප්‍රකට වන්නට විය.
එනම් ඔහු ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන ඉක්වදෝරයේ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්ව 2021 මැයි 14 වැනිදා තමන් තරග කළ ආසනය දනාගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වන්නේය. එහිදී ඔහු ව්‍යවස්ථාදායක මණ්ඩලය විසුරුවන තෙක්, එනම් 2023 මැයි 17 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි කටයුතු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට තේරීපත්වන්නට පෙර සිටම ඔහු දේශපාලනයෙහි නිරත වූයේ තමන් පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කරන විටදීය. එසේම ඔහු වෘත්තීය සමිති නායකයකු ලෙසද කටයුතු කර ඇත.
ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝ යනු ඉක්වදෝරයේ ප්‍රබල ලෙස ක්‍රියාත්මකව තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවල ක්‍රියාදාමයන්ට එරෙහි වූ අතිශයින්ම නිර්භය මාධ්‍යවේදියකු විය. ඔහු එකල තමන් සේවය කළ ලොව ප්‍රකට ‘ද ගාඩියන්’ පුවත්පතට මෙම මාෆියා මත්ද්‍රව්‍ය කල්ලි ගැන වාර්තා ලියා තබමින් බොහෝ රහස් හෙළිකර සිටියේය. එසේම මෙම මත්ද්‍රව්‍ය කල්ලි නායකයන් සහ ඉක්වදෝරයේ දේශපාලකයන්ගේ විවිධ සම්බන්ධකම් ගැනද රහස් හෙළිකර සිටියේය.
මේ තත්ත්වය නිසා මත්ද්‍රව්‍ය කල්ලි ඔහු සමග වෛර බැඳගත්තේය. මෙවැනි මාධ්‍ය කලාවක් ඔහු නිර්භයව සිදුකරන හෙයින් ඔහු පොදු ජනතාව අතරද ඉතා ප්‍රකට වන්නට විය. මෙවැනි වටපිටාවක් තිබියදී ඔහුගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් සිදුවන්නට විය. එනම් ඔහු මෙම 2023 අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ඉක්වදෝරයේ ජනාධිපතිවරණයට ප්‍රධාන විපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේය. එවිට ඔහු 59 වැනි වියෙහි පසුවිය.
කිසිවකුගේවත් තර්ජන ගර්ජනවලට බිය නොවන්නේ යැයි ඉහත එඩිතර වදන් ප්‍රකාශ කළ මෙම සුවිශේෂ ඉක්වදෝර මිනිසාගේ අද හෙළිවන අලුත්ම කතාන්දරය කුමක්ද? ඔහුගේ ජීවිතයේ මහා සංක්‍රාන්තියක් ඇතිවූයේ මෙයට දින කිහිපයකට පෙරදීය. එසේම එය සංක්‍රාන්තියක් පමණක් නොව, ශෝකාන්තයක්ද විය. ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝ නමැති මෙම විශේෂිත මිනිසා මේ කියන මොහොතේදී අප අතර නැත. ඔහුට සිදුවූ මහා ඛේදාන්තය කුමක්ද? මෙයට දින කිහිපයකට පෙරදී ඔහු මත්ද්‍රව්‍ය මාෆියා කල්ලි අතින් අතිශය කෲර ලෙස ඝාතනයට පත්විය.
එසේ වූයේ මෙයට දින කිහිපයකට පෙරදී ඔහු ජනාධිපතිවරණ රැලියක් අමතා එතැනින් පිටත්ව යන විටදී අපරාධකරුවන් ඔහුට දිගට හරහට වෙඩිතබන්නට ගත්තේය. මැතිවරණ වේදිකාවෙන් පිටත්ව තම ආරක්ෂකයන් සහ ආධාරකරුවන් සමග ගමන් කර රථයට නැගීමට සැරසෙත්ම වෙඩි ප්‍රහාරයට ලක්විය. වෙනත් සුදු පැහැති පික් අප් රථයකින් පැමිණි ප්‍රහාරකයන් 07 දෙනකු විසින් ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝගේ ශරීරයේ උඩු කොටසට දිගට හරහට වෙඩි තැබීය. ඔහු අසල සිටි කිහිප දෙනකුට වෙඩි වැදුණද ඔවුන්ට තුවාල සිදුවූ අතර කිසිවකු මියගියේ නැත.
මෙහිදී ප්‍රහාරකයන් තමන් අත වූ ස්වයංක්‍රීය තුවක්කුවලින් ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝ වෙතම එල්ල කරමින් වෙඩි තැබීම සිදුකර ඇත. එහෙයින් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය. ආධාරකරුවන් ඔහු වහා රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටද ඔහු මියගොස් තිබිණි. ප්‍රහාරකයන් මෙම ඝාතනය සාර්ථකව සිදුකිරීම සඳහා ස්වයංක්‍රීය මැෂින් තුවක්කු භාවිත කර නැති අතර, ස්වයංක්‍රීය බලගතු පිස්තෝල සහ රිවෝල්වර පමණක් භාවිත කර ඇත. පටිගතවී ඇති වීඩියෝ දසුන්වලින් පෙනී යන්නේ එම අවස්ථාවේදී කඩින් කඩ වදින වෙඩි 12ක ශබ්දයන් ඇසෙන ආකාරයය. එයින් පෙනී යන්නේ ඉතා දක්ෂ වෙඩික්කරුවන් විසින් තමන්ගේ ගොදුර ඉතා සාර්ථක අයුරින් ඩැහැගන්නා ආකාරයයි.
එඩිතරව වදන් ප්‍රකාශ කළ ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝ එම වදන් පවසා ඝාතනයට පත්වන්නට ගතවූයේ දින කිහිපයක් පමණි. මෙලෙස ඉක්වදෝරයේ 2023 ජනාධිපතිවරණයේ ප්‍රබලතම විරුද්ධ පක්ෂ අපේක්ෂකයා වූ මෙම මිනිසාගේ ඝාතනයත් සමග මුළු ලොවම මහත් කැලඹීමකට පත්වන්නට විය. එම ආන්දෝලනාත්මක සිදුවීමත් සමග පෙනීගියේ අතිශය භයානක මත්ද්‍රව්‍ය මාෆියා සංවිධාන විසින් මෙම ගොදුර ඩැහැගත් බවයි. ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධාන රැසක් තිබෙන්නේ දකුණු ඇමෙරිකාවේ වන අතර එයින් මෙක්සිකෝ රාජ්‍යය ප්‍රධාන ස්ථානයක් ගනියි.
එනම් ලොව අංක එකේ මත්ද්‍රව්‍ය මාෆියා සංවිධානය වන්නේ මෙක්සිකෝවේ ‘සිනලොවා’ (Mexican Sinaloa Cartel) සංවිධානයයි. මෙම මාෆියා සංවිධානයේ සන්නද්ධ අංශයේ ප්‍රධානියා වන්නේ ජෝස් අඩොල්ෆෝ මසියාස් (Jose Adolfo Macias) නොහොත් ‘ෆිටෝ’ (“Fito”) නමැති භයානක අපරාධකරුවායි. පසුගිය කාලයේ මහත් පරිශ්‍රමයක් දරා ආරක්ෂක අංශ විසින් මොහු අත්අඩංගුවට ගෙන දැනට සිරගත කර ඇත.
මොහුගේ ශාඛා සංවිධානයක් පසුගිය වසර ගණනාවක් පුරා ඉක්වදෝරය තුළද ක්‍රියාත්මක වන අතර, එම මාෆියා සංවිධානයට එරෙහිව ඉහත ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝ ප්‍රබල මාධ්‍ය මෙහෙවරක් ඉටු කළේය. මේ නිසා අවස්ථා ගණනාවකදී ඉහත අපරාධ කල්ලි නායකයා විසින් ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝට මරණ තර්ජන ඉදිරිපත් කර තිබිණි.
ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝ අනිවාර්යයෙන්ම මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇතැයි අපරාධ කල්ලි දැනගෙන සිටියේය. මේ නිසා වහාම ජනාධිපතිවරණයට ප්‍රථම ඔහු ඝාතනය කළ යුතු යැයි තීරණය කෙරිණි. ජනාධිපතිවරණයට හරියටම දින 11ක් තිබියදී එම ඝාතනය සාර්ථකව සිදුකෙරිණි. ඝාතනයෙන් පසුව එම මත්ද්‍රව්‍ය මාෆියා සංවිධානය එම ඝාතනයේ වගකීමද භාරගනිමින් ප්‍රකාශයක් නිකුත් කළේය.
ඉක්වදෝරයේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මෙම 2023 අගෝස්තු 20 වැනිදාය. එනම් හරියටම මෙම ලිපිය පළකෙරෙන අද දිනයේදීය. ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝ නමැති සුවිශේෂ මිනිසා අද ජීවතුන් අතර සිටියේ නම් තවත් දිනකින් හෝ දෙකකින් ඔහු ඉක්වදෝරයේ ජනාධිපතිවරයා වන්නට බොහෝ ඉඩකඩ තිබිණි. එහෙත් මත්ද්‍රව්‍ය අපරාධකරුවන් එයට ඉඩ දුන්නේ නැත. අද පැවැත්වෙන මෙම ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 08 දෙනෙක් තරග වදිති. එහෙත් එම ප්‍රමාණය 07 දක්වා පහත බැස ඇත්තේ ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝගේ අභාවය හේතුවෙනි.
දැනට ඉක්වදෝරයේ සිටින වත්මන් ජනාධිපති ගිලෙර්මෝ ලැස්සෝ (Guillermo Lasso) මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ නැත. එහෙයින් සත්‍ය ලෙසම ප්‍රබලතම අපේක්ෂකයා වූයේ විරුද්ධ පක්ෂය ප්‍රධාන වශයෙන්ම නියෝජනය කළ ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝය. ඔහුගේ අඩුව පිරවීමට තරම් සුදුසු ප්‍රබල අපේක්ෂකයකු අනෙක් අපේක්ෂකයන් 07 දෙනා අතර නැතැයි පැවැසෙයි. තත්ත්වය කෙසේ වුවත් තවත් දින දෙකකින් පමණ ඉක්වදෝරයේ නව ජනාධිපතිවරයා කවරෙක්දැයි දැනගැනීමට ලෝකයට හැකිවනු ඇත.
කෙසේ හෝ ඝාතනයට පත්වූ මෙම සුවිශේෂ දේශපාලකයා පසුගිය කාලයක් පුරා නොයෙකුත් මරණී තර්ජනවලට ලක්වුවත්, ඔහු තමන්ගේ ආරක්ෂාවට නිසි අයුරින් කටයුතු නොකළේ යැයි විවිධ පාර්ශ්ව චෝදනා කර තිබිණි. එනම් ඔහු නිසි අයුරින් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා නොතිබීම, දේශපාලන රැලිවලට යන විට වෙඩි නොවදින කබායක් නොපැලඳීම, වෙඩි නොවදින මෝටර් රථයක් භාවිත නොකිරීම, ජනතාව අතර බොහෝ විවෘතව හැසිරීම, ආරක්ෂක වළල්ලක් නොතිබීම යන හේතු නිසා මෙම ඝාතනය ඉතා පහසුවෙන් සිදුකළේ යැයි ඉහත පාර්ශ්ව දැඩි ලෙස චෝදනා කර තිබිණි.
වෙඩි නොවදින කබායක් පැලඳීම ෆර්නැන්ඩෝ විල්ලාවිසෙන්සියෝ විසින් කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කර ඇත. මේ තත්ත්වය මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට ඝාතනය සාර්ථකව සිදුකිරීමට ඉතා පහසු විය. ඔහුගේ ශරීරයේ උඩු කොටසට වෙඩි 12ක් පමණ වැදීම නිසා සියලුම ඉන්ද්‍රියන් විනාශ වී තිබිණි. අද ලතින් ඇමෙරිකාවේ මෙම මත්ද්‍රව්‍ය මාෆියා සංවිධාන කෙතරම් බලගතුද යත්, ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරුන්ට පවා මරණ තර්ජන එල්ල කරන අතර, තම සැකකාර සගයන් නිදහස් කරන ලෙස තර්ජනය කරමින් සිටිති.
ආරක්ෂක අංශ හඳුන්වාදී ඇත්තේ මෙම අපරාධ කණ්ඩායම් ත්‍රස්තවාදීන්ටද වඩා භයානක බවය. තත්ත්වය එසේ වුවද මෙම සිදුවීමේදී හෙළිවන තවත් සුවිශේෂ කරුණක් නම් ඝාතනය සිදුවූ විගසම ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී වෑන් රථයෙන් පැමිණ පලායමින් සිටි අපරාධකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. මොවුන් සියලු දෙනා වෙනත් යාබද ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයකින් ඝාතනය සඳහා ඉක්වදෝරයට පැමිණි අය බව හෙළිව තිබේ.
මෙයට වසර ගණනාවකට පෙර ඉක්වදෝරය අපරාධ බොහෝ අඩු සාමකාමී රටක් ලෙස තිබී ඇත. එහෙත් දැනට වසර 10ක පමණ කාලයක සිට එරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම අතිශය භයානක ලෙස හිස ඔසවා ඇත. එම ජාවාරම එරට තුළ මෙහෙයවනු ලබන්නේ මෙක්සිකානු සහ කොලොම්බියානු මත්ද්‍රව්‍ය මාෆියා සංවිධාන විසිනි. පසුගිය ජුනි මාසයේදී ඉක්වදෝරයේ සිට නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් වෙත යවන ලද විශාල කෙසෙල් තොගයක් තුළ කොකේන් මත්ද්‍රව්‍ය ටොන් 3.5ක අතිවිශාල ප්‍රමාණයක් තිබී හසුවී ඇත. මෙලෙස ටොන් ගණනින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීම මගින් පෙනී යන්නේ මෙම මාෆියා සංවිධාන කෙතරම් බලගතු සහ ධනවත්ද යන්න බව පෙනීයයි. මෙහිදී එම රටවල සමහර රාජ්‍ය නායකයෝ පවා මෙම ජාවාරම්කරුවන්ට සහාය ලබාදෙති. මත්ද්‍රව්‍ය දේශපාලනය නොහොත් Narcotic Politics ලෙසින් හඳුන්වන්නේ එයයි.
ඉක්වදෝරය නමැති රාජ්‍ය තුළ ඇති මෙම තත්ත්වය ගත්කල අපට වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළද පෙනී යන්නේ කුමක්ද? වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින අපරාධ රැල්ල ඉතා භයානක උච්ච තත්ත්වයේ තිබෙන ආකාරය පැහැදිලිවම දක්නට හැකිය. මෙයට වසර කිහිපයකට ඉහතදී මෙරට අපරාධ රැල්ල යම් මට්ටමකින් අඩුව තිබුණද දැනට වසර 03ක පමණ කාලයක සිට මෙම තත්ත්වය එන්න එන්නම උච්ච තත්ත්වයට පත්වෙයි. 2021 වසර අවසානය වන විට දකුණු ආසියානු කලාපයේ රටවල් අතර අපරාධකාරීත්ව දර්ශකයේ 06 වැනි ස්ථානයෙහි ශ්‍රී ලංකාව පසුවිය.
එම වසරේදීම ගෝලීය අපරාධ දර්ශකයේ ශ්‍රී ලංකාවේ අපරාධ ප්‍රතිශතය 3.48%ක් ලෙස සටහන් විය. මේ වන විට එම දර්ශකයෙහි ශ්‍රී ලංකාවට හිමි අගය දක්වන්නේ 4.6%ක් වශයෙනි. 2023 වසර සඳහා වන ගෝලීය අපරාධ දර්ශකය මෙතෙක් ප්‍රකාශයට පත්ව නැතත් ශ්‍රී ලංකාවේ වර්තමානයේ උද්ගතව ඇති අපරාධ රැල්ල හමුවේ මේ වසරේදී ශ්‍රී ලංකාවට එම දර්ශකයෙහි ඉහළ අගයක් හිමිවනු ඇත. මේ වන විට ගෝලීය අපරාධ දර්ශකයේ ශ්‍රී ලංකාව 110 වැනි ස්ථානයෙහි පසුවෙයි. මෙලෙස දිනෙන් දිනම ශ්‍රී ලංකාව තුළ අපරාධ වැඩි වීමට ප්‍රධානතම සාධක දෙක ලෙස විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදයයි.
අද පුවත්පතක් බලද්දී දකින්නට ඇත්තේ පාතාල කල්ලි විසින් වෙඩිතබා පුද්ගලයන් ඝාතනය කර ඇති ආකාරයයි. පාතාල කල්ලි පාතාල කල්ලි එකිනෙකා මරාගන්නා ආකාරයයි. පාතාල නායකයන් විදේශගතව සිට සිරගතව සිට නිදහසේ මිනී මරමින් පාතාලය මෙහෙයවන ආකාරයයි. පාලකයන් පාතාලය මර්දනය කරනවා යනුවෙන් කොතරම් පාරම්බෑවද එහි අවසානයක් දැකගන්නට ලැබෙන්නේ නැත.
ප්‍රියන්ත හෙට්ටිගේ










