ඇල්පිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දීපාල් රොෂාන් පුෂ්පකුමාර මහතාගේ ඝාතනය මේ වන විටත් නොවිසඳුණු අබිරහසක් බවට පත්වෙලා. බොහෝ දෙනෙක් විමසා සිටින්නේ කාටවත් කරදරයක් නොකළ ඔහුව කුමන හේතුවක් නිසා ඝාතනය කළාද කියලයි. කාගේ වුවමනාවක් නිසා මේ ඝාතනය කළාද කියන එක ගැනත් පරීක්ෂණ සිදුකරන කණ්ඩායම්වලට මෙතෙක් සොයාගැනීමට හැකිවී නැහැ.(Sri Lanka Latest News)
පසුගිය 26 වැනිදා උදෑසන 7.35ට පමණ දීපාල් රොෂාන් මහතාට වෙඩිතබා ඝාතනය කර ඇති බවයි ඇල්පිටිය පොලිසිය පවසා සිටියේ. මියයන විට 51 වැනි වියේ පසුවූ ඔහු ඇල්පිටිය, කරන්දෙණිය සහ අම්බලන්ගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට අනුයුක්තව සේවය කරමින් සිටියා. එසේම කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ දකුණු පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අදාළව විභාග වෙමින් පවතින නඩු මෙහෙයවන නිලධාරියා ලෙසත් දීපාල් රොෂාන් මහතා අවසන් වරට කටයුතු කරමින් සිට තිබෙනවා.
ඝාතනය සිදුවූ දින දීපාල් රොෂාන් මහතාගේ එක් දරුවකු පාසල් යන පළමු දිනය වුණා. ඒ නිමිත්තෙන් ඔහු තම දරුවාගේ පාසල් නිල ඇඳුමේ ඇලවීම සඳහා පරිගණකයෙන් Name tag සකස් කරමින් සිට තිබෙනවා. ඒ, ඇල්පිටිය දිවිතුරුගම කුරුඳුගහ හැතැප්ම අධිවේගී මාර්ගය පිටුපස පිහිටා ඇති නිවෙසේය. ඒ අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු නිවෙසට ඇතුළු වී ඇති බවත්, ඉන් එක් අයෙකු වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර රොෂාන් මහතාව නිවෙස තුළම ඝාතනය කර ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිව තිබුණා.
ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමාගේ උපදෙස් පරිදි ඇල්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිරි, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් වැල්ගේ, උපපොලිස් පරීක්ෂක විජය කුමාර ඇතුළු අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා. වැඩබලන මහෙස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරනු ලැබුවා.
තිදරු පියකු වූ දීපාල් රොෂාන් මහතාගේ බිරිය, මෙම අනපේක්ෂිත සිදුවීම පිළිබඳ අදහස් පළ කළේ මේ ආකාරයටයි.
‘මගේ මහත්තයා දරුවෝ තුන්දෙනාට පණ වගේ ආදරෙයි. අනේ මගේ දරු පැටව් දැන් තාත්තා නැතිව කොහොමද ඉන්නේ? අපි හරිම නිදහසින් ජීවත්වුණේ. මගේ දරුවන්ට කෝ දැන් තාත්තා කෙනෙක්. මගේ මහත්තයා රාජකාරිය දේවකාරියක් කරගෙන ජීවත්වුණු කෙනෙක්. නීතිය අකුරටම කළා කාටවත් දොසක් කියන්න රාජකාරිය කළේ නැහැ. රාජකාරිය කරන අයත් එක්ක ගැටුම් ඇති කරගත්තේ නැහැ. ගෙදර වැඩත් අඩුවක් නැතිව ඉෂ්ට කළා. මොන දුකක් විඳලා හරි අපි දරුවන්ගේ ඇස් පාදමු කියලා එයා නිතරම කිව්වා.’
‘මේක මහ පොළොව නූහුලන අපරාධයක්. මගේ මහත්තයාට මෙහෙම දෙයක් කරන්න කාටද උවමනා වුණේ? මොන හේතුවකටද? මම නම් හිතන්නේ මේක වැරැදිලා කරපු දෙයක්….’
ඇයට වගේම ගම්වාසීන්ටත් මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් මහතාගේ ඝාතනය ගැන ඇත්තේ විසඳාගත නොහැකි ගැටලුවකි. ඔහු කිසිවකුටත් වරදක් නොකළ අයකු විය. ඔහු, ආහාර සුරක්ෂිතතාව පිළිබඳවත් මහජනතාවට අහිතකර ආහාර අලෙවිය පිළිබඳවත් නීතිය අකුරටම ක්‍රියාත්මක කළ, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ පුද්ගලයකු විය. එසේම හෙතෙම පිළිකාකාරක ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සුවිශාල සමාජ මෙහෙවරක් ඉටුකළ බව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. කිසි විටෙකත් මුදලට හිස නොනැමූ ඔහු සිය රාජකාරිය අකුරටම ඉටුකළ අයකු බව ප්‍රකටය.
මීට මාස කිහිපයකට ඉහතදී දීපාල් රොෂාන් මහතා ප්‍රකට යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පිළිකාකාරක අඩංගු ආහාර නිෂ්පාදනය කරන ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් පිළිබඳ නොබියව හෙළිදරව් කිරීමට කටයුතු කර තිබුණා. ‘දුඹුරු සීනි, රතු සහල්, මිරිස්කුඩු, සෝස් මේ සියල්ලේම ඇති පිළිකාකාරක ඩයිවලින් නාවලා තියෙන්නේ’ යනුවෙන්ද එම සාකච්ඡාවේදී ඔහු සඳහන් කර ඇත.
රාජකාරිය දේවකාරිය හැටියට සලකලා, සාධාරණව ජීවත් වෙලා, අසාධාරණය වෙනුවෙන් කතාකරලා මැරිලා ගියත් කමක් නැහැ කියලා හිතන්නට හැම කෙනෙකුටම බැහැ. වර්තමානයේ බොහෝ දෙනකු කටයුතු කරන්නේ මුදලට, වාසියට රැකියාව පවා පාවාදෙමිනුයි. නීතිය නමමින් ඕනෑම ජඩකමකට ඉඩදෙන්නට අද ඇතැම් රාජ්‍ය නිලධාරීන් පහත් තත්ත්වයට වැටිලා. යහමින් මුදල් අතමිට මොළවනවා නම් කෙතරම් පහත්, නීති විරෝධී වැඩකට වුවද ඉඩ ලබාදෙන්නට මේ දූෂිත නිලධාරීන් පැකිලෙන්නේ නැහැ.
ඒවාට උදාහරණ දිනපතාම පාහේ ප්‍රවෘත්ති විකාශවල දැකගන්නට පුළුවන්. එවැනි දූෂිතයන් අතර රටට දැයට සේවය කර, ඒ අවංක සේවය වෙනුවෙන් ජීවිතය පූජා කළ උතුම් මිනිසුන් ඕනෑ තරම් අපේ රටේ සිටියා. නිදහස් ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ නම ඒ අතර ඉහළින්ම සටහන් වෙනවා. හදිසි රෝගී තත්ත්වයකින් මියගිය බව කියැවුණත් ඔහු යම් බහුජාතික සමාගමක් මගින් සංවිධානාත්මකව ඝාතනය කළ බවයි බොහෝ දෙනා අදටත් විශ්වාස කරන්නේ.
දීපාල් රොෂාන් මහතා ඝාතනය කිරීමට තරම් හේතුවක් ඔහු ළඟින් ඇසුරු කළ කිසිවකුටවත් අදටත් හිතාගන්නට බැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙම ඝාතනය පිළිබඳ පවසා තිබුණේ මෙවැන්නකි.
‘අද උදෑසනම ලැබුණු දුරකතන ඇමතුමකින් මගේ හදවත කම්පනයට පත්කරනු ලැබුවා. මොකද්ද කිව්වේ යනුවෙන් මා නැවතත් ඒ පිළිබඳ විමසා සිටියේ, මොකද්ද කිව්වේ?’
‘රොෂාන්ට අද උදේ කවුද වෙඩි තියලා. ඇම්බියුලන්ස් එකටවත් දාගන්න වෙලාවක් තිබිලා නැහැ’
රොෂාන් කුමාර යනු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකය. බොහෝ දෙනෙක් පැවැසුවේ ඔහු මිනිසත්කම හඳුනන හොඳ මිනිසකු බවයි. නිර්මාංශ ජීවිතයක් ගතකරන, ආගමට දහමට ළැදි මෙවැනි පුද්ගලයකු ඝාතනය කිරීමට කාටද ඕනෙ වුණේ යන්න මගේ හිතට නැගුණු උභතෝකෝටික ප්‍රශ්නයකි. ඔහු මහජනයාගේ සෞඛ්‍ය වෙනුවෙන් ඉදිරියට විත් නිතර හඬ නැගූ නිලධාරියෙක්. ජනතාවට වස විස කෑමට නොදී රසායනාගාර පරීක්ෂා කිරීමට අවශ්‍ය උපකරණ නොමැති බව පවසමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ගැටුම් ඇතිකරගනිමින් මහජනතාවට සේවයක් ලබාදීමට උත්සාහ කළ නිලධාරියෙක්. ඔහු නඩු කටයුතුවලට සම්බන්ධ කෙනෙක් නිසා යම් යම් බලපෑම් ඇති නොවූ බවට විශ්වාස කළ නොහැකිය’
දීපාල් රොෂාන් මහතාගේ පුංචි පුතු මුල්ම වරට ඇල්පිටිය ශාන්ත තේරේසා විදුහලට ඇතුළත් වන දිනයේදී ඔහු ඝාතනයට ලක්වුණේ. එහෙත් පියකුගේ ඒ අහිංසක සිහින බලාපොරොත්තු සුනුවිසුනු කරන්නට නාඳුනන ඝාතකයකුට ගතවුණේ තත්පර කිහිපයක් පමණයි.
අපේ රටේ රාජ්‍ය නිලධාරීන් කියූ පමණින් බොහෝ දෙනාගේ සිතට නැඟෙන්නේ නිකරුණේ කාලය ගතකරන පිරිසක් ලෙසටයි. එවැනි පුද්ගලයන් අතර, සිය සේවය අවංකව අකුරටම ඉටුකළ මෙවැනි නිලධාරීන් ගැන අසන්නට ලැබීම සතුටට කරුණක්. නමුත් අසාධාරණය වෙනුවෙන් හඬනගනකොට ජීවිතවලට මෙවැනි ඉරණමක් අත්වෙනවා නම් මේ රටේ බලධාරීන් ගැන අපට සිතන්නට දෙයක් නැත.
අසාධාරණය වෙනුවෙන් හඬ නැගීම නිසා අහිංසක දරුවන් තිදෙනකුට ආදරණීය පියෙක් වගේම බිරිඳට ආදරණීය සැමියෙකුත් අහිමි වුණා.
දීපාල් රොෂාන් මියගිගේ ප්‍රශ්න ගණනාවක් රට හමුවේ ඉතිරි කරමිනි. ඔහු ඝාතනය කළේ කුමන හේතුවක් නිසාද? ඒ, කාගේ උවමනාවකටද? ඝාතකයා කවුරුන්ද? මේ ප්‍රශ්න සියල්ලටම නුදුරු දිනෙකදී පිළිතුරු ලැබෙතැයි යන අපේක්ෂාවෙන් අප බලා සිටිමු.
නිලන්ති රේණුකා