කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු වැලඳුණු ළමා රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
ඒ පිළිබඳ මවුපියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත්, තමන් පදිංචි ස්ථානය අවට දිනපතා පිරිසිදු කරගැනීමට උනන්දු නොවුණහොත් ඩෙංගු උවදුර මැඬලීමට නොහැකි වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙසේ ඩෙංගු රෝගයට මැදිවන ළමා රෝගීන්ගෙන් 0.1%ක් මියයෑමේ ඉඩකඩ පවතින බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
කොළඹ නගරාසන්නයේ පිහිටි විවිධ වැඩබිම්වල ඉවත දමා තිබෙන භාජනවලද ඩෙංගු කීටයන් බෝවීමේ ඉඩකඩ වැඩිවී ඇති හෙයින් ඒ පිළිබඳවද අවධානය යොමුකරන ලෙස සෞඛ්‍ය අංශවලට දැනුම් දී ඇති බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
දැනට උද්ගතව ඇති ඩෙංගු අවදානම නිසා සතිපතා නොව දිනපතා තමන් ජීවත් වන පරිසරය පිරිසිදුව තබාගැනීමට ජනතාව උනන්දු විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පසුගිය 10 වැනිදා වන විට කොළඹ දිස්ත්‍රික්ය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 810 දක්වා ඉහළ නැග තිබූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කොට තිබිණි.
ප්‍රේමලාල් විජේරත්න










