අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නට අදහස් කරන්නේ ඉතා සංවේදී පරිසර ප්‍රශ්නයක් බවට පත්ව ඇති වන අලින් ඝාතනය කිරීම ගැනයි.(Sri Lanka Latest News)
මේ වන විට වන අලින් සහ ඇතුන් 290ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් මත හෝ වෙනත් හේතූන් මත ඝාතනය වී හෝ මියගොස් තිබෙනවා. මෙම තත්ත්වය පසුගිය මාසයේදී ඉතා ඉහළ අගයක් ගත් අතර, එම මාසයක කාලය තුළ මියගිය සහ ඝාතනය වූ අලි ඇතුන් සංඛ්‍යාව 25කට ආසන්නයි. එසේම මාධ්‍යවලට වාර්තා නොවන අලි මරණද විශාල වශයෙන් පවතින බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. වනජීවී ඇමැතිවරයාට හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙම මරණ පිළිබඳ වගේවගක් නැති බව පෙනීයන කරුණකි. මෙම කනගාටුදායක තත්ත්වයට විසඳුම් සෙවීමේ වුවමනාවක් ඔවුන් තුළ නැති බවද පෙනීයන්නේ ඔවුන් කසාය බිව් ගොළුවන් සේ සිටීම නිසාය.
මෙරට වන අලින්ගෙන් 65%ක් පමණ ජීවත් වන්නේ ජාතික වනෝද්‍යානවලින් පිටත රක්ෂිත, වැව් ආශ්‍රිත වනාන්තර හෝ ලඳු කැලෑවල බව නිරීක්ෂණය වී ඇත. එලෙස අලින්ගෙන් බහුතරයක් ජාතික වනෝද්‍යානවලින් පිටත ජීවත් වන බැවින් එම සතුන්ගේ ආරක්ෂාව සැලසීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වගකීමකි. ඒ සඳහා ප්‍රතිපාදන නොමැති නම් වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෙසු නිලධාරීන් එක්ව ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. වන අලින් ඝාතනය කරන්නන්ට නිසි දඬුවම් කළ හැක්කේ එවිටය. ඔවුන්ට දඬුවම් දීමට නීති නැතැයි කියමින් බලා සිටීම ඊට විසඳුම නොවන බව මෙහිදී අවධාරණය කළ යුතු කරුණකි.
මෙරට ඇමැතිවරුන්ගෙන් මෙවැනි ගැටලුවකට ප්‍රායෝගික විසඳුම් බලාපොරොත්තු වීම අනුවණ ක්‍රියාවකි. ඇමැතිවරයා ලවා අවශ්‍ය නීතිරීති සකසා ගැනීමට අදාළ නිලධාරීන් වගබලා ගත යුතුය.
අපේ රටේ වන අලි සම්පත යනු රටට ඩොලර් වැසි වස්සවන මහා උරුමයකි. එහෙත් ලොව රටවලින් වන අලි ඝාතනය අතින් අංක එකට ශ්‍රී ලංකාව පත්වී ඇති බව මෙහිලා ලියා තබන්නේ ඉතා කනගාටුවෙනි. අවිධිමත් සංවර්ධන, වන අලි මංකඩවල් ඇහිරීම, වන අලි ජීවත් වන කැලෑ ප්‍රදේශ වගාවන් සඳහා යොදාගැනීම, හිතුමතේ හේන් කෙටීම වැනි හේතූන් ගණනාවක් මෙම තත්ත්වයට මූලික හේතුව වී තිබේ.
වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වන අලි ගහනය ඉහළය. එම සතුන් කළමනාකරණය කිරීම සඳහා වනජීවී අමාත්‍යාංශය සතු නිලධාරීන් සංඛ්‍යාව ඇතුළු සම්පත් සීමිත නම්, ඒ වෙනුවෙන් යුද හමුදාවේ සහාය ලබාගත හැකි අතර, අදාළ අංශවලින් ඉල්ලීමක් කර එම සහාය ලබාගැනීමට පුළුවන. ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති වන අලි මරණ වළක්වාගැනීම පිණිස තම තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර සහ උද්දච්ච හැසිරීම් පසෙකළා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව සඳහන් කරමු.
එසේම දුම්රියේ ගැටීමෙන් සිදුවන අලි මරණ සංඛ්‍යාවද වාර්තාගත ලෙස පසුගිය දිනවල ඉහළ ගියේය. එම අනතුරු බහුලව සිදුවන පරිසර ප්‍රදේශ අධ්‍යයනය කොට ඊට නිසි විසඳුම් ලබාදීම බලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමකි. මෙවැනි තත්ත්වයක් ඉන්දියාවේද පැවැති අතර, එයට නිසි විසඳුම් ලබාදී මේ වන විට දුම්රියේ ගැටී සිදුවන වන අලි මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අවම කරගැනීමට ඔවුන් සමත්ව ඇත.
වනජීවී අමාත්‍යාංශය යනු අප රටේ සිටින සියලු වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයකි. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම වන්නේ ජාතික වනෝද්‍යානවල වැඩ බැලීම පමණක් නොවේ. දිනෙන් දින ඝාතනය වන වන අලින්, ඇතුන් ඇතුළු සියලු වන සතුන් වෙනුවෙන් ඔහු විධිමත් ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුය. එසේ නොමැති වුවහොත් නුදුරේදීම අප රටේ අලි ඇතුන් සියලු දෙනාම ඝාතනය වී අවසන් වනු ඇත. එවිට අපට අලි ඇතුන් දැකගත හැක්කේ ඡායාරූපවලින් පමණක් වනු ඇත. එසේ නොවීමට නම්, සියලු පරිසර බලධාරීන් සහ පරිසරයට ආදරය කරන සියලු දෙනා එක්ව මෙම ව්‍යසනයෙන් අලි ඇතුන් ආරක්ෂා කරගැනීමට හැකි ඉක්මනින් විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුය.
සමන් හල්ලොලුව