කොයි තරම් ආර්ථික දුෂ්කරතා පැවැතියත් අපේ රටේ බහුතරයක් දෙනා මෙන්ම විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවා සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නට සූදානම් වන්නේ අවුරුදු උදාවට සති කිහිපයක් තිබියදීය. කොවුල් නද ගම්බිම් සිසාරා පැතිර යද්දී නෑගම් යන්නට බලාපොරොත්තුවෙන් කැවිලි වර්ග සකස් කිරීමටද බොහෝ අය උත්සුක වෙයි. විවිධ හැලහැප්පීම් මැද ගලාගිය අවුරුද්දට සමුදෙමින් උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද, ජීවිතයට නැවුම් අත්දැකීමක් කරගන්නට ලැබුණු මහඟු අවස්ථාවක් බව ඒ සියලු දෙනාගේ අදහසයි. බොහෝ පවුල්වල සියලු දෙනා එකට එකතු වෙන්නේ අවුරුදු දවසට පමණයි. ඒ දවසේ කාබී සතුටින් ගතකරන්න දින ගණනාවක සිට පෙරුම්පුරන්නේ පුංචි දරුවන් පමණක් නොවෙයි. තම දරු මුණුබුරන් කලකට පසු ගමට ඇවිත් අවුරුදු සිරිත් ඉටුකරන තුරු බලාසිටිනා මවුපියවරුන් ද ඕනෑ තරම්ය. ඒ සතුට කිසිදු ලෙසකින් මුදලට ගන්නට බැහැ. අලුත් අවුරුද්දේ අරුතද ඒ එකමුතුකම සහ නැවුම් බවයි. දුරාතීතයේ තරම් මෙන්ම අදත් අප රටේ එවැනි ආකාරයට පවුලේ සියලු දෙනාම ඒකරාශී වෙමින්, චාරිත්‍ර ඉටුකරමින් අලුත් අවුරුදු මිහිර විඳගන්නා පිරිස ඉතා විශාලය. එහෙත් අලුත් අවුරුදු සතුට සමරන්නට යැයි කියමින් ඇතැමුන් මත්පැන් සාද පැවැත්වුවද ඒ සාද අවසන් වන්නේ බොහෝ දෙනකුගේ සතුට අවුරුදු දිනයට පමණක් නොව, ජීවිත කාලයටම අහිමි කරමිනි. මත්පැන් මත්ද්‍රව්‍යවලින් බොහෝ දෙනකුගේ සතුට විනාශ කරන්නට ගතවන්නේ ඉතා සුළු මොහොතකි. මත්පැන් හේතුවෙන් ඇතිවූ නොයෙක් ආරවුල්, රිය අනතුරු නිසා වටිනා ජීවිත අවසන් වූ අවස්ථා අපට නිරන්තරව අසන්නට ලැබෙනවා.
මත්පැන් හේතුවෙන් අහිමි වී ගිය වටිනා ජීවිත කිහිපයක් පිළිබඳ අනුවේදනීය පුවතක් අපට පසුගිය 16 වැනිදා පස්වරුවේය. අසන්නට ලැබුණේ පොළොන්නරුව ඕනගම වෙලේකඩේ ප්‍රදේශයෙන්. තම දියණියගේ නිවෙස වෙත ගිය එකම පවුලේ සහෝදරියන් දෙදෙනකුට, මත්පැනට ලොල් වූ රියැදුරකු නිසා ජීවිතය අහිමි වී තිබුණා. එම මරණ සිදුව තිබුණේ ලොරි රථයක් සහ අත්ට්‍රැක්ටරයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් වන අතර, ලොරි රථයේ රියැදුරු එම අවස්ථාවේ මත්පැන් පානය කර සිට ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිව තිබුණේ.
අනතුර සිදුවන අවස්ථාවේ අත්ට්‍රැක්ටරයේ පුද්ගලයන් 11 දෙනකු ගමන් කර ඇති අතර, මියගිය සහෝදරියන් දෙදෙනාද එම පිරිස අතර සිට තිබෙනවා. අනතුර හේතුවෙන් ට්‍රැක්ටරයේ රියැදුරු ඇතුළු අනෙකුත් සියලු දෙනාම තුවාල ලබා තිබුණා. මියගිගොස් තිබුණේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු වන අතර, ඔවුන් 46 හැවිරිදි එච්.ඩබ්. නෙලුම් කාන්ති සහ 47 හැවිරිදි කුමුදුනී අරුණ ශාන්ති නමැති විවාහක කාන්තාවන්ය. තුවාල ලැබූවන් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කිරීමටයි ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණේ. ලොරි රථයේ රියැදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනුරුව දින 07ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණා.
අනතුරින් මියගිය එක් කාන්තාවකගේ දියණියක් හැඬූ කඳුළින් මෙලෙස මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
‘ලොරියේ රියැදුරා හොඳටම බීලා හිටියේ. මම මහත්තයාගේ ගෙදර ගිහින් හිටියේ. මල්ලි තමයි කෝල් කරලා කිව්වේ අම්මා නැතිවෙලා කියලා. මමත් ගෙදර හිටියා නම් අම්මාත් එක්ක යනවා. පුතාලා දෙන්නා විතරයි බේරුණේ. නවත්තලා තියෙන ලෑන්ඩ්මාස්ටරයේ තමයි ලොරිය හප්පලා තියෙන්නේ…’
මියගිය කාන්තාවකගේ බාල සහෝදරියක් පවසා සිටියේ, ‘අම්මටයි තාත්තටයි කන්න දුන්න අක්කලා දෙන්නා අවුරුද්දට ඕනෑගම පාලින්ගල ලොකු දුවගේ ගෙදර ගියේ සතුටුවෙන්න’ යනුවෙනි.
මේ කාන්තාවන් දෙදෙනාට ජීවිත අහිමි වුණේ මත්පැන් පානය කර රිය පැදවූ රියැදුරකු නිසයි. ඒ නිසා පවුල් දෙකක් අද අසරණභාවයට පත්වෙලා. දරුවන්ට අම්මා කෙනෙක්, ස්වාමි පුරුෂයාට බිරිඳක් නැතිවුණා.
මේ දෙසොහොයුරියන් තම වැඩිමහලු දියණියගේ දුකසැප බලන්නට ඇගේ නිවෙස බලා යන අතරතුරදීයි මේ අනතුරට මුහුණපා තිබුණේ. ඔවුන්ගේ සිත්වල දහසක් බලාපොරොත්තු තිබෙන්නට ඇත. ඒත් ඒ බලාපොරොත්තු සියල්ල උදුරාගත්තේ මත්පැනින් සිහි විකල් කරගත් සිත්පිත් නැති රියැදුරකු නිසාය. මේ එක සිදුවීමක් පමණයි. දිවයින පුරාම අලුත් අවුරුදු සමයේ බීමත් රියැදුරන් නිසා සිදුවන රිය අනතුරු ප්‍රමාණය ඉතා විශාලය. අවුරුදු දිනවලදී රෝහල් කරා රැගෙන එන පුද්ගලයන්ගෙන් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇත්තේ රිය අනතුරු හේතුවෙන්ය. එම අනතුරුවලට හේතු වී ඇත්තේ බීමත්කම සහ බීමත් රියැදුරන්ය.
කෙසේ වෙතත් අලුත් අවුරුදු සමයේ බිමත්ව රිය පදවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද පසුගියදා මාධ්‍ය මගින් ප්‍රකාශ කෙරුණා. එහෙත් එම මෙහෙයුම් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන පමණක් සිදුවීම කනගාටුවට කරුණකි. ඈත ගම් දනව්වලද ජනාකීර්ණ නොවන මාවත්වලද මෙකී බීමත් රියැදුරන් හේතුවෙන් අහිංසක ජීවිත සදහටම අපට අහිමි වෙමින් තිබේ. එසේම තවත් බොහෝ දෙනෙක් මෙම බීමත් රියැදුරන්ගේ ගොදුරක්ව සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වෙමින් සිටියි.
කොළඹ නගරයේ අස්සක් මුල්ලක් නෑරම පොලිස් නිලධාරින් යොදා තිබෙන ආකාරය අපට දක්නට ලැබුණා. නමුත් බීමත් රියැදුරන් නිසා අනතුරු සිදුවන්නේ කොළඹ නගරයේ පමණද? ඈත දුෂ්කර ගම්මානවලත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු හෝ රාජකාරියේ යෙදෙව්වා නම් බොහෝ විට මෙවැනි කනගාටුදායක සිදුවීම්වලට වැට බැඳෙන්නට තිබුණා නොවේද?
එසේම සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් තිබේ. අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාවට කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් විශේෂ බස් රථ සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා. එසේ වුවත් ප්‍රධාන නගරවලින් තරමක් ඈතට වන්නට පිහිටි ගම්වල කිසිදු පොදු ප්‍රවාහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට එම බලධාරීන් උනන්දුවක් දක්වන්නේ නැහැ. මෙම අනතුර සිදුවූ ප්‍රදේශයේද ගමනාගමන මණ්ඩලය හරහා බස් රථයක් යෙදවන්නට කටයුතු කර තිබුණා නම් ඔවුන් 11 දෙනකු සමග අත්ට්‍රැක්ටරයකින් මෙවැනි අනාරක්ෂිත ගමනක් නොයනු ඇත.
එසේම මෙවැනි බීමත් රියැදුරන් නීතියෙන් වරදකරු වී දින 14ක් හෝ මාස කිහිපයක් සිර දඬුවම් විඳ ඇප ලබා නැවත පැමිණෙන අතර, නැවතත් ඔවුන් සුපුරුදු ලෙස රිය ධාවනයට එක්වන අයුරුද දැකගත හැකිය. ඔවුන් අතින් නැවත වරක් මෙවැනි අනතුරු සිදුවිය නොහැකි යැයි කාට නම් කිව හැකිද? එබැවින් එවැනි බරපතළ වරදක් සිදුකළ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගත යුතු බව අප තරයේ විශ්වාස කරමු. අහිංසක ජීවිත තඹ සතයකට මායිම් නොකරන මෙවැනි අකාරුණික රියැදුරන් නිසා මේ වන විට ජීවිත කී දාහක් නම් අප රටට අහිමිව ඇද්ද? එවැනි වැරැදි තවදුරටත් සිදුවීම වළක්වා ගැනීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත පැවරෙන වගකීම අතිමහත්ය. කොළඹ ඇතුළු තදාසන්න නගරවලට පමණක් සීමා නොවී, මුළු දිවයිනම ආවරණය වන පරිදි බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ට නිසි දඬුවම් දීමටත් ක්‍රමවේදයක් කඩිනමින් සැකසිය යුතු බවද සඳහන් කළ යුතුය. එසේ නොමැති වුවහොත් ගතවන දිනයක් පාසා අහිංසක ජීවිත කොපමණ සංඛ්‍යාවක් අප රටට අහිමිවනු ඇද්ද යන්න සිතාගන්නට නොහැකිය.
නිලන්ති රේණුකා