වයඹ සහ උතුරුමැද පළාත්වල කිරි ගොවිපළවලින් රුපියල් කෝටි ගණනක් වටිනා කිරි හරක් 1,091ක් පමණ පිට පළාත්වලින් පැමිණෙන හරක් හොරුන් විසින් සොරාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ. (Sri Lanka Latest News)
වයඹ පළාතෙන් පමණක් රුපියල් කෝටි 10.5ක් පමණ වටිනා කිරි හරක් 573 දෙනකු සොරාගෙන ගොස් ඇති අතර, උතුරුමැද පළාතෙන් සොරාගත් කිරි හරක් සංඛ්‍යාව 519කි.
අදාළ පළාත් දෙකෙන් ආරම්භ වී ඇති මෙම කිරි ගොවිපළවල කිරි හරක් සොරාගැනීම උග්‍රවී ඇති හෙයින් දැනට සිදුකරගෙන යන යුක්තිය මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක හරක් හොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා එම ප්‍රදේශ භාර උසස් පොලිස් නිලධාරීන් කොළඹට කැඳවා උපදෙස් දී තිබේ.
එම මෙහෙයුම් පිළිබඳ ප්‍රගති වාර්තා දිනපතා කොළඹ පොලිස් මූලස්ථානයට ලබාදෙන ලෙසද නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ‘මව්රට’ට පැවැසීය.
පසුගිය 2021 සිට 2023 දක්වා වූ කාලය තුළදී උතුරුමැද ප්‍රදේශයේ කිරි ගොවිපළවලින් සොරාගෙන ගිය කිරි හරක් 519 දෙනාගේ වටිනාකම පිළිබඳ පොලිස් මූලස්ථානය අදාළ පොලිසි මාර්ගයෙන් වාර්තා ලබාගැනීමටද කටයුතු යොදා තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් 17 සිට මෙම වසරේ පෙබරවාරි 21 දක්වා වූ කාලය තුළදී දැනට අඛණ්ඩව සිදුකෙරෙන යුක්තිය මෙහෙයුම්වලදී නීති විරෝධී මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැටලීම් 59,123ක් සිදුකොට සැකකරුවන් සහ සැකකාරියන් 58,793 දෙනකු පොලිසිය සහ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් අතරින් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝග ලබාගැනීමට සැකකරුවන් 1874ක්ද, වත්කම් විමර්ශනය සඳහා 234 දෙනකුද, පුනරුත්ථාපනය සඳහා 2102ක්ද යොමුකොට ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පැවැසීය.
මෙම මෙහෙයුමේදී හෙරොයින් පිළිබඳ වැටලීම් 21,099ක් සිදුකොට සොයාගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 145යි ග්‍රෑම් 341ක්, අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 12,861ක් සිදුකොට අයිස් කිලෝග්‍රෑම් 210යි ග්‍රෑම් 803ක්ද සොයාගෙන ඇති අතර, ගංජා වැටලීම් 22,143ක් සිදුකොට ගංජා කිලෝග්‍රෑම් 2763ක් සහ ගංජා පැළ 4044195ක් සොයාගෙන තිබේ.
වෙනත් වැටලීම් 3020කින් මත් පෙති 369028ක් සොයාගෙන ඇති බව පොලිසිය පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










