ලංකාවේ පාසල්වල පළමු පන්තියට ඇතුළත් වන දරුවන්ගෙන් 11%ක් පමණ එනම් 36,200කට ආසන්න පිරිසක් අ.පො.ස. සාමාන්‍ය පෙළට පෙර පාසල් අතහැර යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)
මෙම කාලය තුළ වැඩියෙන්ම පාසල් අතහැර යන්නේ පිරිමි ළමුන් බව වාර්තා වේ.
ජන හා සංඛ්‍යාලේඛන වාර්තා අනුව ඒ බව සනාථ කර ඇත.
2008-2021 අතර කාලය තුළ රජයේ පාසල් පද්ධතියට ඇතුළත් වූ සිසුන් සහ ඒ ඒ පන්තිවලින් පාසල් හැරගොස් ඇති සිසුන් පිළිබඳ අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ පළමු පන්තියට ඇතුළත් වන පිරිමි ළමුන්ගෙන් 23,300කට ආසන්න පිරිසක් එනම් 14%ක ප්‍රමාණයක් අ.පො.ස. සාමාන්‍ය පෙළට පෙර පාසල් හැරගොස් ඇති අතර, ගැහැනු ළමයින්ගෙන් 13,000කට ආසන්න පිරිසක් හෙවත් 8%කට ආසන්න පිරිසක් පාසල් හැරගොස් ඇත.
තවද ලංකාවේ පාසල් පද්ධතියට ඇතුළත් වන සිසුන්ගෙන් 1,27,500කට ආසන්න පිරිසක් එනම් 37%කට ආසන්න පිරිසක් අ.පො.ස. උසස් පෙළ පන්තියට යෑමට පෙර පාසල් පද්ධතියෙන් ඉවත්ව යෑමක් සිදුවේ.
එහිදී පිරිමි ළමයින්ගෙන් 46%ක් හෙවත් 77,500කට ආසන්න පිරිසක් සහ ගැහැනු දරුවන්ගෙන් 31%ක් හෙවත් 50,000කට ආසන්න පිරිසක් අ.පො.ස. උසස් පෙළට පෙර පාසල් හැර යෑමක් දැකගත හැකිය.
ප්‍රේමලාල් විජේරත්න










